Tag: covid

  • “සෙක්ස් කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි” – මංගල සමරවිර

    “සෙක්ස් කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි” – මංගල සමරවිර

    මංගල සමු අරන් අදට දවස් හතයි. මංගලත් එක්ක කාලෙකට කලින් සෙක්ස් ගැන කරපු වීඩියෝව මේ විදිහට අකුරු වලට දාන්න හිතුවෙ ලිංගිකත්වය ගැන විවෘතව පෙනී සිටින, ඒ ගැන ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලනඥයෙක් අපිට ඉතිරි නෑ කියන හිස්තැන මතක් කරන්නත් එක්ක.

    මංගලට සෙක්ස් කියන දේ දැනෙන්නෙ කොහොමද?

    දැනෙන විදිහට වඩා නොදැනෙන විදිහ කියන්න ඕන. සෙක්ස් කියන්නෙ කුනුහරුපයක් නෙමෙයි. අපේ වගේ රටවල මේක කුනුහරුපයක් වුනේ පහුගිය සියවස් එකහමාරක විතර කාලය ඇතුලෙ. අපේ බෞද්ධ සංස්කෘතියෙ, සිංහල සංස්කෘතියෙ, අග්නිදිග ආසියාවේ, ග්‍රීසියෙ වගේ සංස්කෘතිවල සෙක්ස් කියන්නෙ වැඩිහිටියන් අතරෙ, ඒ කියන්නෙ වගකිව යුත්තන් අතරෙ පෞද්ගලිකව සිදුවෙන දෙයක්. ඒක රහසක් වගේ තියාගෙන ඒ වටේ විවිධ කතන්දර හැදුනෙ නෑ. බෞද්ධ දර්ශනය දිහා බැලුවොත් අසූමහ ශ්‍රාවිකාවන් ගැන අපදාන පාලියෙ අම්බපාලි සුත්‍රයෙ කතා කරනවා. ඒ අසූමහ ශ්‍රාවිකාවන්ගෙන් 34ක්ම නිදහස් ලිංගික කාන්තාවන්. ඒ කියන්නෙ ෆ්‍රීසෙක්ස් ෆීමේල්ස් කියන එක. ඒ අය ගනිකාවන් කියන එක වැරදියි. ඒ ගොල්ලො සමාජය‍ යම් වැඩ කොටසක් ඉටු කරපු කාන්තාවන් හැටියට ඒ සමාජවල සැලකුවා. අසූමහ ශ්‍රාවකයන්ගෙන් 16ක්ම නිදහස් ලිංගික පිරිමින් කියල නම් වෙනවා. ඒ කියන්නෙ සමලිංගික හෝ වෙනත් ලිංගික චර්යාවන් දැරූ අය වෙන්න පුළුවන්. සෙක්ස් කුනුහරුපයක් බවට පත්වුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත් වුනු වික්ටෝරියානු යුගයෙදි.

    මේ වෙද්දි වික්ටෝරියා රුජිනගේ රට මේ මතවලින් එලියට ගිහින් විවෘත, වගකිව යුතු ලිංගික සංස්කෘතියක් ඇති කරගෙන තිබුනත් අපි මේ වික්ටෝරියානු සංකල්ප අපේ සංස්කෘතියෙ සංකල්ප විදිහට පෙන්නමින්, පටු විදිහට දේවල් දිහා බලමින්, සෙක්ස් කියන එක හොරෙන් බලලා හොරෙන් කරන බ්ලූ ෆිල්ම් එකක් බලනවා වගේ තැනකට තමයි අරන් තියෙන්නෙ. තරුනයන්ට තරුනියන්ට ලිංගික අධ්‍යාපනයක් නොදීමෙන් විවිධ මිත්‍යා මතවලට ඒ ගොල්ලො ගොදුරු වෙනවා. සමහර විට ඒ හින්දම පර්වර්ට්ස්ලා බවට පත්වෙනවා. බස්වල යනකොට ජැක් ගහනවා වගේ ඒවා ඇතිවෙන්නෙ සෙක්ස් කියන එක කුනුහරුපයක් විදිහට සලකන අපේ වගේ සංස්කෘතිවල විතරයි.

    මංගලට අනුව අසභ්‍යයි කියන්නෙ මොකක්ද?

    දෙන්නෙක් අතර දෙපාර්ශ්වයෙම කැමැත්ත නැතුව යම් කිසි දෙයක් වෙනවා නම්, බලහත්කාරයක් වෙනවා නම්, රේප් වගේ දේවල් වෙනවා නම් ඒවා ඉතාම අසභ්‍යයි.ඒවා ගැන දැඩිලෙස ක්‍රියාත්මක වෙන්න ඕන.රේප් කියන දේ වැඩියෙන් සිද්ද වෙන්නෙත් මේ සෙක්ස් කියන දේ කුනුහරුපයක් කියල ඒ ගැන කතා නොකරන රටවල. කුඩා දරුවන් සමග කරන බාල අපචාර වගේ දේවල් ඉතාම අසභ්‍යයි. ඒවට කිසිම ඉඩක් තියන්න නරකයි. නමුත් වැඩිහිටියන් දෙන්නෙක් තමන්ගෙ කැමැත්තෙන් කරන දෙයක් වෙන කාටවත් වැඩක් නෑ. ඒ ගැන කතා කරන්න විවේචනය කරන්න පුළුවන්. ඒත් කාටවත් හානියක් නොවෙනවා නම් ඒක අපිට අයිති දෙයක් නෙමෙයි.

    ආර්ට්වලට අසභ්‍ය සීමාවක් තියෙන්න ඕනද? වාරණය පිලිගන්නවද?

    වාරණය මං කිසිසේත්ම පිලිගන්නෙ නෑ. නමුත් කලාකාර‍යාගේ පැත්තෙන් යම් මට්ටමක ස්වයං වාරණයක් තියෙන්න ඕන කියල මං හිතනවා. ෂොක් කරන්න සමාජය තිගස්සවන්න කරන දේවල් අපි කොයිතරම් දුරට ගෙනියනවද කියන එකත්, ඒක කන්ස්ට්‍රක්ටිව්ද ඩිස්ට්‍රක්ටිව්ද කියන එකත් අපි බලන්න ඕන. වාරණය නොවුනු පලියට වගකීම් රහිතව නිදහස පාවිච්චි කිරීමත් භයානකයි.

    වෙන රටවලට සාපේක්ෂව ලංකාවෙ මිනිස්සු සෙක්ස් දිහා බලන්නෙ කොහොමද?

    ලංකාවෙ බහුතරයක් සෙක්ස් දිහා බලන්නෙ කුනුහරුපයක් විදිහට. සෙක්ස් කිරීම ගැන ගිල්ටියක් තියෙනවා. අනවශ්‍ය විදිහට තමන්ගේ ලිංගිකත්වය හංගන්න හදනවා. මේ නිසා සෙක්ස්වලින් පීඩාවට පත්වුනු සංස්කෘතියක් නිර්මාණය කරනවා.සෙක්ස්වලින් පීඩනයට පත්විය යුතු නෑ. සෙක්ස් කියන්නෙ ඉතා ලස්සන දෙයක්. ඒක ස්වභාවික දෙයක්. තමන් නිදහස් වීමක්. නමුත් මේක වැරදි දෙයක්, පවක්, නරකක් කියල හිතන් ඉන්න තාක්කල් සෙක්ස්වලට ඇබ්බැහියකුත් ඇතිවෙනවා. හොරෙන් සෙක්ස් කරන්න ඇබ්බැහි වෙනවා. කිසි දේකට ඇබ්බැහි වෙන්න හොඳ නෑ. සෙක්ස්වලටත් මැද ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.ඒක අගය කරන ගමන් ඒකෙන් කාටවත් හානියක් නොවෙන්නත් අපි බලාගන්න ඕන.

    කොවිඩ් පැනිය පවා වැඩ කරන්න නම් සෙක්ස් නොකර ඉන්න ඕන කිව්වා. අපේ හැමදේකම සෙක්ස් වි‍රෝධයකුත් පවතිනවා නේද?

    ඔව්. මිත්‍යාවට තවත් මිත්‍යා එකතු කරනවා. අසියාවේ වැඩිම සාක්ෂරතාවයක් තියෙන රටක් විදිහට මං පුදුම වුනා මේ පැනිය ගැන කතාවෙන්. මේ පැනිය ගන්න පෝලිමේ හිටියෙ නූගත් මිනිස්සු නෙමෙයි.වාහනවලින් මෝටර්බයිසිකල් වලින් ගිහින් රජයේ රස්සාවල් කරන මධ්‍යම පංතිකයන් තමයි එතන පේන්න හිටියෙ. ඒ අයත් මේවට රැවටෙනවා කියන්නෙ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පසුබෑමක් තියෙනවා කියල අපිට පිලිගන්න වෙනවා.

    සෙක්ස් ගැන විවෘතව කතා කරන එකෙන්, සෙක්ස් විඳින්න පුරුදු වෙන එකෙන් සමාජයට යහපතක් අත්වෙනවාද?

    ඔව්. සෙක්ස් ගැන විවෘතව කතා කරනවා කියන්නෙ තමන් සෙක්ෂුවල් වොරියර් කෙනෙක් කියල කයිවාරු ගහන එක නෙමෙයි. සමහරු ආසයි පැය ගනං තමන්ගේ වීරකම් ශක්තිය ගැන කියවන්න. සෙක්ස් වගේ දෙයක් බය නැතුව කතා කිරීමෙන්, ඒක සමාජය පිලිගැනීමෙන්, (පිලිගන්න දෙයක් නෑ ඒක මනුස්ස ස්වභාවයක්) , ප්‍රබුද්ද නිවහල් සමාජයක් නිර්මාණය වෙනවා. අපි බුදුන් වහන්සේට සමකාලීනව තිබුනු ග්‍රීසියේ ඇතන්ස් වගේ ශිෂ්ටාචාර දිහා බැලුවොත්, ඒ වගේම හින්දු ශිෂ්ටාචාරය තුල බැලුවොත්, ඒ යුගවල විවෘතව ලිංගික දේ ගැන සංවාද විවාද ඇතිවුනා. අදටත් තියෙන ඒවායේ නටඹුන් දැක්කත් අපිට ඒ සමාජය තිබුනු තත්වය බලාගන්න පුළුවන්. සොක්‍රටීස් ප්ලේටො සංවාද බැලුවමත් කොයිතරම් චින්තන මට්ටමක් ඇතුවද ඒවා දිහා බැලුවෙ කියල අපිට හිතාගන්න පුළුවන්.

    පෝර්න් ගැන මොකද හිතන්නෙ? තහනම් කරන්න ඕනද? පෝර්න් නරකද?

    මං පෝර්න්වලට එච්චර ලැදියාවක් නෑ. මට ලැදියාවක් නෑ කියල ඒක තහනම් කරන්න ඕන කියන්නෙත් නෑ. පෝර්න් බලන්න වැඩියෙන් ඕන වෙන්නෙ සෙක්ස් අඩුකමෙන්මයි. පෝර්න් විදිහට ඉතාම නිර්මාණශීලී චිත්‍රපටි හැදෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් පෝර්න්වල නමින් කාන්තාව ඉතා පහත තත්වයකට දාන, අසභය තත්වයකට දාන, ළමා අපචාරවලට පොළඹවන තත්වයන් තියෙනවා නම් ඒ ගැන අපි දැඩි විදිහට කටයුතු කරන්න ‍ඕන. එතනදිත් මං කියන්නෙ මේවා නීතියෙන් විතරක් නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

    ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුද?

    ගණිකා වෘත්තිය සාමාන්‍යයෙන් කියන්නෙ ලෝකෙ පැරනිම වෘත්තිය කියල. මනුස්සයාගේ ස්වභාවික උවමනා අනුව ඒක ඇතිවෙන එක නවත්තන්න බෑ. ගොඩක් අය ගනිකා වෘත්තියෙ යෙදෙන්නෙත් සමාජය‍ෙ තියෙන අඩුපාඩුකම් නිසා. විශේෂයෙන්ම ආර්තික ප්‍රශ්න ආදිය නිසා. ලස්සන ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් ඒ අයට වෙන කිසිම ආදායම් මාර්ගයක් නැත්නම්, තියෙන එකම සම්පත රූපය නම්, ජීවත් වෙන්න ඒක උපයෝගි කරගන්න වෙනවා. ඒක කාටවත් නවත්තන්නත් බෑ. ඉතිහාසය බැලුවත් ඒක පේනවා. තව අවුරුදු පන්දාහක් ගියත් ඕක තියෙනවා. ගනිකා වෘත්තියෙ යෙදෙන අයටත්, ඒ අය ඇසුරු කරන අයටත්, මේක යතාර්තයක් විදිහට පිලිඅරගෙන ආරක්ෂාව, විශේෂයෙන් සෞඛ්‍ය ආදී ආරක්ෂාවන් වෙන රටවල වගේ අපිත් ලබාදෙන්න ඕන. මේක නෑ කියල හිතා‍ගෙන අපි ඉන්න එක ප්‍රශ්නයක්. විශේෂයෙන් ඒඩ්ස් වගේ රෝග තියෙන වටපිටාවක මේ කාන්තාවන් හිරකරලා හරියන්නෙ නෑ. තමන්ට පුළුවන් එකම වෘත්තිය කරගෙන යන්න හරි යම් ආරක්ෂාවක් දෙන්න ඕන.

    අනවශ්‍ය ගැබ් ගැනීම් එක්ක ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් ගබ්සාව. ගබ්සාව රටට අවශ්‍යද?

    අනිවාර්යෙන්ම. මනුස්සයො ජීවත් වෙන රටක අනපේක්ෂිත ගැබ් ගැනීම් සිද්ද වෙනවා. සෙක්ස් කියන දේ කුනුහරුපයක් වුන රටක රේප් වගේ දේවලුත් වැඩියෙන් සිද්ද වෙනවා. ඒ වගේ වෙලාවක ගබ්සාවක් හරි කරන්න අවසර දෙන්න ඕන. ඒ දරුවා හදාගන්න වෙන්නෙ, ලොකු මහත් කරන්න වෙන්නෙ ඒ අම්මට. දරුවෙක් තියාගන්නවද නැද්ද කියල තීන්දු කිරීමේ අයිතිය අම්මට තියෙන්න ඕන.

    සමලිංගිකත්වය ගැන හිතන්නෙ කොහොමද? නීතිගත කළ යුතුද? මේක රෝගයක්ද?

    අද ලෝකෙම පිලිඅරන් තියෙනවා මේක රෝගයක් නෙමෙයි කියල. WHO එකේ ඉඳන්ම පිලිඅරන් තියෙනවා ඒක තවත් ලිංගික චර්යාවක් කියන එක. කායික හෝ මානසික රෝගයකක් නෙමෙයි කියන එක. සමලිංගිකත්වය කියන එක ලංකාවටත් ලෝකයටත් අලුත් දෙයක් නෙමෙයි. ලෝකෙ චිත්‍ර මූර්ති ගත්තොත් ඒවා බොහොමයක් හොමොඉරොටික් සංස්කෘතිය උඩ ගොඩනැගිච්ච දේවල්. ලෝකෙ අද මේ තියෙන තත්වෙට ගේන්න වැඩ කරපු ගොඩක් අය අතර‍ෙ සමලිංගික අය ඉන්නවා. හැබැයි මං හිතනවා අපි අපේ ලිංගිකත්වය උඩම අපේ ජීවිතය හදාගන්න හොඳත් නෑ කියල. ලිංගිකත්වය අපේ ජීවිතේ එක්තරා කොටසක් විතරයි. සමහරු තමන්ගේ ජීවිතය ඩිෆයින් කරගන්නෙ, තමන්ගෙ යාලුවො, බලන චිත්‍රපටි, අහන සිංදු හැම එකක්ම මේ ලිංගිකත්වය උඩ තීරණය කරනවා. මං ඒ ගැනත් වැඩි කැමැත්තක් නෑ. මම ‘ගේ’. ඉතිං මොකද? ඒක මගේ වැඩක්. ජීවිතේ ලිංගිකත්වයට වඩා විශාල වෙන්න ඕන. මේක නිසා තමයි මම මනුස්සයෙක් වෙන්නෙ කියල හිතුවොත් ඒක වැරදියි..සමලිංගික වීම ගැන ලැජ්ජා නොවී, ඒ ගැන වැඩිපුර ආඩම්බරත් නොවී අපි යන්න ඕන.

    මගේ ‘ගේ’ යාලුවො මාත් එක්ක විරුද්ද වෙන්න පුළුවන්. මේ සමලිංගික විවාහ කියන සංකල්පයට මං විරුද්දයි. ඔය කසාදය කියන එක විෂම ලිංගික සමා‍ජයේ සංකල්පයක්. අපිට පුළුවන් වෙන්න ඕන දෙන්නෙකුට එකට ඉන්න මේ පරණ සමාජයේ, මහා සමාජයේ ලේබල් ගහගන්නෙ නැතුව. සිවිල් පාට්නර්ෂිප් කියල එකක් තියෙනවා. ඒක නම් වැදගත්. මොකද දෙන්නෙක් එකට වැඩ කරනවා නම්, ජීවත් වෙනවා නම්, හම්බු කරනවා නම් ඒ අයට අර අනිත් අයට වගේම බදු සහන වගේ දේවල් වෙන රටවල හම්බුවෙනවා. ඒ වගේ දෙයක් ගැන හිතාගෙන කලොත් මිස මං හිතන්නෙ හස්බන්ඩ් ඇන් වයිෆ් කියන සංකල්පයෙන් ලෝකයමත් අනාගතේදි සිවිල් පාට්නර්ෂිප් කියන සංකල්පෙට යයි කියල.

    ලිංගික අධ්‍යාපනය පවුලේ, පාසැලේ ක්‍රමවත්ව සිදුවිය යුතුද?

    සෙක්ස් එඩියුකේෂන් එකක් නැති නිසා තමයි දවසින් දවස මේ රට් බහුබූත ප්‍රශ්න, මානසික පීඩනයෙන් ජීවත් වෙන මිනිස්සු නිර්මාණය වෙන්නෙ. ස්වාමීන් වහන්සේලා පවා, පන්සල්වලට කුඩා කාලයේම දරුවන් දන්දීමෙන් ඒ දරුවන්ව බරපතල විදිහට ළමා අපයෝජනයට ලක්වෙනවා. මේක ප්‍රසිද්ද රහසක්. පාසැල්වල කුඩා ළමයි ගුරුවරුන්ගෙ අපයෝජනයට ලක්වෙනවා. ටියුෂන් මාස්ටර්ලත් එහෙමයි. ඒ වගේ දේවල්වලට නීතිරීති පනවන ගමන්ම අනිත් පැත්තන් මේවාට ගොදුරක් නොවෙන්න වේලාසනින්ම ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබාදීම අත්‍යාවශ්‍යයි.

    ක්‍රිස්තියානියේ සෙක්ස් කියන පවක්. දැන් බෞද්ධයොනුත් මේක පිටුදැකිය යුතු දෙයක් විදිහට දකිනවා. සමහර ආගමික තැන්වලට එද්දි දවස් හතක් සෙක්ස් නොකර එන්න කියනවා. ආගම සහ සෙක්ස් අතර සම්බන්ධය ඔබ දකින්නෙ කොහොමද?

    මගේ ක්‍රිස්තියානි යාලුවො මාත් එක්ක තරහ වෙන එකක් නෑ. මේ ලිංගික කුහකත්වය අපේ රටට අඳුන්වලා දුන්නෙ අර ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමෙන්. වික්ටෝරියා රැජිනිගෙ අධිරාජ්‍ය කාලෙ තමයි පොදු රාජ්‍ය මන්ඩලේ රටවල මේක මහා පිලිකුලක් ලැජ්ජාවක් බවට පත්වුනේ. අද අපි සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ මේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආචාර ධර්මයට. නමුත් ඒ රටවල ප්‍රොතෙස්තන්ත පල්ලිය පවා එදා වගේ නෙමෙයි සෙක්ස් සම්බන්දව ඉතා ලිහිල් තැනකට ඇවිත් අද ඇවිත් තියෙනවා. ඒ ජනතාවත් පල්ලිය මොනවා කිව්වත් ඊට වඩා ඉස්සරහට ගිහින් තියෙනවා. කතෝලික පල්ලිය විතරයි තාම මේ සම්බන්දෙයන් දෙගිඩියාවෙන් ඉන්නෙ. තවත් ආගම් තියෙනවා සෙක්ස් ගැන ඉතාම වැරදි අර්ත කතනයන් දීලා ආගමෙන් කියන විදිහට ජීවත් වුනේ නැත්තං ගල් ගහලා මරා දානවා. බෙල්ල කපනවා. 21 වෙනි සියවසෙත් මේ තත්වයන් තියෙන එක ගැන මං අවංකව කනගාටුවෙනවා.

    මංගල ඔබට සුබ ගමන්.

  • ශරීර අතර ශක්තිය

    ශරීර අතර ශක්තිය

    අද උදේ ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මට නතර වෙලා ටිකක් කල්පනා කරන්න කිව්වා. ඒ පෝස්ට් එක දාලා තිබුනෙ විසි ගානක කොල්ලෙක්. ඒ කොල්ලා අහලා තිබුනෙ තමන් දරුණුවට පීඩා විඳින ප්‍රශ්නයක් ගැන.

    කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ දැඩි උවමනාවක් තිබුනත් එයාට කෙල්ලෙක්ව මුනගැහෙන සමාජ අවකාශයක් නැති වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉඳන් ඔන්ලයින් රස්සාවක් කරන හින්ද මිනිස්සු මුනගැහෙන තැනක් නෑ. ඒ හින්දම එයා විවිධ පාඨමාලා, ක්‍රීඩා කරන්න යනවා. ඒ කවුරුන් හෝ මුනගැසීමේ උවමනාව වෙනුවෙන්ම. ඒත් ඒ උත්සාහයත් ඒ තරම් සාර්ථක වෙන්නෙ නෑ. මේ හින්දම මේ තරුණයා ඩිප්‍රෙෂන් එකකට යනවා. එයා උදව් ඉල්ලලා තිබුනෙ කෙල්ලොන්ව දකින්න ඇසුරු කරන්න ලැබෙන කලාපයක් ගැන විස්තර දැනගන්න.

    මේක ඉස්සරහට තව තවත් මුහුන දෙන්න සිද්ද වෙන අර්බුදයක්. අපි තාක්‍ෂණයේ දියුනුවත් එක්ක ශරීර මුනගැහෙන අවකාශයන් අවතක්සේරු කරලා තියෙනවා. මිනිස්සු විදිහට පොකුරට මුනගැහුනම ඒ පොදුබව ඇතුලෙ නිර්මාණය වෙන, බෙදාගන්නා ශක්තිය නොතකා හැරලා තියෙනවා. ඒක ඔන්ලයින් සම්බන්ධතා හරහා ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    ඉස්සර පන්සල්වල, පල්ලිවල මේ අවකාශය තිබුන. දේශපාලනය කියන්නෙ මූලිකවම මෙන්න මේ මිනිස් හැකියාව පිළිබඳ කාරණයක්. එකට එකතු වීමේ, එකට වැඩ කිරීමේ, පුද්ගලික අපිට වඩා විශාල සමස්තයක්, දේවත්වයක් නිර්මාණය කරන තැනක්. අපි සාකච්ඡාවකදි වුනත් ඔන්ලයින් තනියම එකතු වෙනවට වඩා මුහුනට මුහුන සංවාද කරද්දි එහා මෙහා වෙන එනර්ජි එක වෙනස්.

    මහා සංගීත ප්‍රසංගවල අපිට දැනෙන උතුරා යන ජීවය මේක. ලක්ෂ ගානක් මිනිස්සු එකට එකතු වෙද්දි, එකම අරමුණකට දිශාගත වෙද්දි, එකම හැඟීමක් බෙදා ගනිද්දි දැනෙන ආශ්චර්යමත් හැඟීම. ඒක සාමූහික සත්වයෙක් විදිහට මිනිසාට අවශ්‍යම දැනීමක්.

    හුදකලා බව අනවශ්‍යයි නෙමෙයි. ඒත් සාමූහික බව ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික රංචු ගැසීම් වෙනුවට මිනිස්සු එකතුවෙන සුන්දර ලෞකික අවකාශයන් අවශ්‍යයි. ඒ මහා සාමූහික එක්රැස්වීම් නිර්මාණය කරන මිනිස්සු අවශ්‍යයි. ඒවා චාරිත්‍රයන් ලෙස සැමරීම පවත්වාගැනීම අවශ්‍යයි.

    ශරීර අතර සන්නිවේදනය නොතකා හැරීම හින්ද අපි අපේ පැවැත්මේ මූලිකම හරයක් අහිමි කරගන්නවා. අපිට ග්‍රවුන්ඩ් රියැලිටිය අහිමි වෙනවා. අපේ මනස් අධිරාජ්‍යයක් ජීවත් වෙන්න පටන් ගන්නවා.

    අනෙකාගේ මැදිහත්වීම, අනෙකාගේ පැවැත්මේ අභියෝගය අපිට අහිමි වෙනවා. ඒකෙන් කාලයත් එක්ක අපිට අපිවම අහිමි වෙන්න පටන් ගන්නවා. අපේ දැනීමේ සහ සිතීමේ සීමාවන් පටුවෙන්න ගන්නවා. අපිට එකතු වීම, එකතු වී වැඩ කිරීම ගැන තියෙන දක්ෂතාවයන්, ඒ ආඛ්‍යානයන් ටිකෙන් ටික නැති වෙනවා.

    ඇත්තටම මිනිස්සු එකතු කරන නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හෝ මොනයම්ම දෙයක් හෝ කරන කෙනෙක් එතනදි කරන සුවිශේෂම කාරණය වෙන්නෙ ඒ මිනිස් පොකුරකට එකතු වෙන්න අවකාශයක් නිර්මාණය කරන එක. ඒ සමූහ සන්නිවේදනය ඇති කරන එක. ආර්ට් එක හෝ ඉදිරිපත් කිරීම එතනදි ද්විතියිකයි. වැදගත් දේ සීයක් දෙසීයක් එකට බඳවාගෙන උත්පාදනය කරන ශක්තිය. ඒ මිනිස් ඇදහිල්ල.

    මේ වෙනුවෙන් තාක්‍ෂණය උදව් කරගන්නත් අපිට පුළුවන්. උදා විදිහට කිසි තේරුමක් නැති ඩේටින් ඇප් වෙනුවට මිනිස්සු එකිනෙකා මුනගැහෙන ඇසුරු කිරීම් කලාප නිර්මාණය කරන ඇප් ගැන අපිට හිතන්න පුළුවන්. පොත් කියවන්න එකතු වෙන අය, ෆිල්ම් බලන්න එකතු වෙන අය, බියර් බොන්න එකතු වෙන අය වගේ තව එකී නොකී අමුතු අපූරු සාමූහික මුනගැසීම් නිර්මාණය කරන්න පුළුවන්. තවකෙක් සමග ඇසුරක් පවත්වාගෙන යාමේ මූලික මිනිස් හැකියාවන් වර්ධනය කරන්න, පවත්වාගෙන යන්න අපිට මීට වඩා හිතන්න සිද්ද වෙනවා. එහෙම නැති වුනොත් වෙන්නෙ ටිකෙන් ටික අපි කාංසාව හරහා ඩිප්‍රෙෂන්වලට යන එක.

    එහෙම මිනිස් ඇසුරක් නැතිව, ආදරෙන් වියළුනු, හැකිළුනු සිත් ඇතිව අපි ගන්න තීරණ ධනාත්මක වෙන්නෙ නෑ. ඒ වෙනුවට අපේ යටපත් හැඟීම්, පීඩාවන් විසින් අපේ ලෝක දෘෂ්ටිය අඳුරු කරනවා. පටු කරනවා. ආත්මාර්ථකාමී කරනවා. අපි වඩා සුන්දර දේවල් නිර්මාණය කරන්නෙ ආදරය ඇතුලෙ. අපේ හිත් පිරිලා තියෙන කොට. හිත් හිස් වෙලා තියෙද්දි වැඩ කරන්නෙ තාර්කික මොළය විතරයි. ඒ තීරණ වියළියි.

    කොවිඩ් වගේ වසංගත විසින් අපිට ඇති කරන ලොකුම බලපෑම වෙන්නෙ මේක. අපේ සාමූහිකත්වය නැති කරන එක. අපේ ශරීර අතර සම්බන්ධය අහිමි කරන එක. ඒ හරහා මිනිස් සමූහයක් විදිහට අපිට නිර්මාණය කළ හැකි විශාල ආඛ්‍යානයන් නතර කරන එක. මේ ඇහැට පේන හෝ විද්‍යාත්මක මනින්න පුළුවන් කාරණයක් නෙමෙයි. ප්‍රොඩක්ටිවිටි ගැන නිර්ණායකවලට අහුවෙන දෙයක් නෙමෙයි. ඒත් දීර්ඝ කාලීන දරණු හිස්කමක් සහ මානව පැවැත්ම පිළිබඳ ගොඩ ආ නොහැකි කාංසාවක් මතු කරන තත්වයක්. ඒ ගැන අපි දැනුවත් වෙද්දි ඒක ස්වභාවිකයක් වෙලා ඉවරයි. අපි අපේ ශරීරයේ භාෂාව නැති කරගෙන හමාරයි.

  • ඔලිම්පික් සෙක්ස් භීතිකාව

    ඔලිම්පික් සෙක්ස් භීතිකාව

    ඉස්සර HIV ආවම ඒක පාවිච්චි වුනේ සෙක්ස් සීමා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට. හරියට දැන් නිරෝධායන නීතිය විරෝධතා මැඩලන්න පාවිච්චි කරනවා වගේම. ඒත් HIV සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම නිර්මාණය වීමත්, කොන්ඩමයේ ආශ්චර්යයත් නිසා මේ කාලයේ පනවපු එක් විශ්වාසවන්ත සහකරුවෙකුට සෙක්ස් සීමා කිරීමේ කොන්දේසිය අවලංගු වෙලා ගියා. ඒත් ලෝකෙ හැමදාම මේ විදිහට සෙක්ස්වලට විරුද්ධ නැත්තං සෙක්ස් අධෛර්ය කිරීමේ උත්සාහයන් විවිධ දේවල්වලට මුවාවෙලා කරගෙන ගියා.

    දැන් ටෝකියො ඔලිම්පික් ගම්මානෙ මලල ක්‍රීඩකයන් සෙක්ස් කිරීමෙන් වළක්වන්න ඒ අයට කාඩ්බෝඩ් ඇඳන් දීලා තියෙනවා. මේවට කියන්නෙ සෙක්ස් විරෝධී ඇඳන් කියල. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්නත් ඒ නිසාම දෙන්නෙක් අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම අවම කරන්නත් තමයි මේ උත්සාහය අරගෙන තියෙන්නෙ. මේ ගැන ට්වීට් කරපු ක්‍රීඩකයො මුලින් කිව්වෙ මේ ඇඳ කිලෝ 200ට වැඩි බරක් ආවොත් කැඩිලා යන විදිහටයි හදලා තියෙන්නෙ කියල. පස්සෙ තරග සංවිධායකයො මේ ඇඳන් උඩ නැගලා, උඩ පැනලා ඒක එහෙම නෙමෙයි කිව්වා.

    හැබැයි සෙක්ස් සීමා කිරීමේ කතාව ඇත්තක්. කාඩ්බෝඩ් ඇඳන් කැම්පේන් එක එන්නෙ ඒකට.
    දැන් මේ ඔලිම්පික් ක්‍රිඩා පවත්වන්නෙ ආරක්ෂිත බුබුළක් ඇතුලෙ. ඒකට එන හැම කෙනෙක්මත් පීසීආර් පරීක්ෂාවට ලක්වෙනවා. එතකොට ඒ අය අතර ලිංගික සම්බන්ධතා ඇතිවීමේ අවුල කොවිඩ් අවදානමක් වෙන්නෙ කොහොමද? මේ උත්සාහය තනිකරම මිනිස්සු අතර ලිංගික සම්බන්ධතා සීමා කිරීමේ නොදියුණු උත්සාහයක් වෙනවා.

    එක අතකින් මේ අදහස අරන් එන අය කල්පනා කරනවා මිනිස්සු සෙක්ස් කරන්නෙ ඇඳන් උඩමයි කියල. හිටගෙන, හේත්තු වෙලා, බිම දිගාවෙලා, ඕන නං ඇවිදින ගමන් වුනත් සෙක්ස් කරන්න පුළුවන් කියන එක ඒ අය අමතක කරනවා. නැත්තං ඒ ගතානුගතික සෙක්ස් විරෝධීන් ඒක දන්නෙ නෑ. මූලිකවම ඇඳ උඩ සෙක්ස් කරන පටු සාම්ප්‍රදායික අදහසකින් තමයි මේ අය දුරස්ථකරණයටත් බැහැලා තියෙන්නෙ.

    අනිත් පැත්තෙන් මේ සීමා කිරීම අදහසක් විදිහටමත් වැරදියි. ඔලිම්පික් කියන්නෙ ක්‍රීඩා උළෙලක්. ක්‍රීඩාවෙ අරමුණ වෙන්නෙම මිනිස්සු සාමූහික කිරීම. ශරීරයන් අතර සම්බන්ධය ගොඩනැංවීම. ක්‍රීඩාව කියන්නෙ මිනිස්සු දුරස්කිරීමේ අරමුණක් ඇතුව ක්‍රියාත්මක කළ හැකි දෙයක් නෙමෙයි. නියම ක්‍රීඩා අරමුණක් ගමන් කළ යුත්තේ ආරක්ෂාකාරී විදිහට මිනිස්සුන්ගෙ ශරීර අතර සම්බන්ධය වැඩිදියුණු කරන්නයි. අපේ ශරීරයේ මූලිකම ශක්තියක් වන ලිංගික ශක්තිය වාරණය කරමින් ක්‍රීඩාවක් උත්කර්ෂයට නංවන්න බෑ.

    ඒ මදිවට මේ උළෙලට එන ක්‍රීඩකයන් අතර 160.000ක් කොන්ඩම් බෙදාදීමකුත් කරලා. ඒ කොන්ඩම් ක්‍රීඩා උළෙල තුල පාවිච්චියට නෙමෙයි, තමන්ගේ රටවලට ගිහින් ආරක්ෂිතව සෙක්ස් කරන්න කියන පණිවුඩය වෙනුවෙන් ලබා දුන්නා කියලයි සංවිධායකයන් කියන්නෙ. මේක ඔලිම්පික් ලිංගික භීතිකාව කියල නම් කරන්න තරමට බරපතල රෝගයක්.

    මේ අය අතර ලිංගික සම්බන්ධතා ඇතිවිය හැකි නම් ඒ සඳහා හැකි උපරිම ආරක්ෂාව සැලසීමයි තරගය සංවිධානය කරන්නන්ගෙන් විය යුතුව තිබුනෙ. ඒ වෙනුවට කාඩ්බෝඩ් ඇඳන් ලබා දෙමින් මෙහි ලිංගික හැසිරීම් වරදකාරී කරන ආකාරයේ පණිවුඩ දෙන්න යන්නෙ මොන එහෙකටද?
    ඒක පැහැදිලිවම කොවිඩ්වලට මුවාවෙලා ලිංගිකත්වය යටපත් කිරීමේ පුහු සදාචාරයේම තවත් දිගුවක්. ඒකට නිව්යෝර්ක්ද ටෝකියෝද අගුනකොලපැලැස්සද කියන එක අදාල නෑ. එකම වික්ටෝරියානු සදාචාර වාරණයයි හැමතැනම ක්‍රියාත්මක වෙන්නෙ.

    ලිංගික විවෘතභාවය සහ නිදහස අගය කරන පිරිස් මේ ආකාරයේ ගතානුගතික කැම්පේන් ජෝක් කරන්න ඕන. ඒවා නැවත සෙක්ස් ගැන වැඩි අවධානයක් සහ දැනුවත්භාවයක් ඇතිකිරීම වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන. උදා විදිහට සෙක්ස් කරන්න ඇඳක් ඕනමද කියන වර්ගයේ කවුන්ටර් කැම්පේන් එකක් මේ ඔලිම්පික් සෙක්ස් භීතිකාවට එරෙහිව අරන් එන්න වටිනවා.

    Be Sporty- Have Sex Beyond the Bed

    මොනවා වුනත් මේ සෙක්ස් භීතිකාව ජෝක් කරමින් දැනටමත් ක්‍රීඩකයො මේ වාරණ වෑයම තමන්ගේ මට්ටමින් සමච්චලයට ලක්කරනවා.

  • අරක්කුවලට නිදහස

    අරක්කුවලට නිදහස

    මෙතෙක් අරක්කු බීමට ලැබුනේ අපචාරයක සැලකිල්ලයි. ඕනෑම වැදගත් දවසක තේරුමක් ඇකුව හෝ නැතුව මුලින්ම වැසී යන්නේ වයින් ස්ටෝර්ස් එකයි. රට පුරා නඩත්තු කළේ දහම් පාසැල් සමාජයකුයි. ඒ මදිවාට වැඩිහිටි වුවත් ගැහැණුන්ට අරක්කු මිළදී ගත නොහැකියි. විවාහයට පමණක් නොව ජවිපෙ ආදී පක්ෂවල තනතුරු දැරීමටත් අරක්කු නොබීම සුදුසුකමකි.

    ඒත් දැන් ඉතිහාසෙ පළමු වරට අරක්කු ගෙදරටම ඩිලිවර් කරවා ගන්න පුළුවන්.

    සුපිරි වෙළඳසැල්වලින් මත්පැන් නිවෙසටම ගෙන්වා ගැනීමේ නිදහස ලබාදීම වෙනුවෙන් රජයට ප්‍රශංසා කළ යුතුමය. මෙය රජයේ අහිමිවන ආදායම ගැන සළකා බලා ගන්නා ලද තීරණයක් වුවත් මෙය රටේ ජීවත් වන්නේ වැඩිහිටි පුරවැසියන් බව පිලිගැනීමේ තීරණයක්ද වෙයි. එයින් ආර්ථිකයට මත්පැන් වලින් ලබාදෙන ප්‍රබල දායකත්වයත්, තමන්ගේ මත්විම පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස වැඩිහිටියන් සතු විය යුතු බවත් පැහැදිලිව ප්‍රකාශමාන වෙයි.

    සුපිරි වෙළඳසැල් වලට පමණක් අවසර ලබාදීම හරහා දිනකට කාලේ තුනක් පානය කරන නිර්ධන පාංතිකයා නොසලකා හැරීමක් දකින්න තිබුනත් රජය පැත්තෙන් ගත් පළමු වැඩිහිටි පියවරක් වශයෙන් මෙය වැදගත් තීන්දුවකි. බීලා සල්ලි නාස්ති කිරීම හෝ ගෘහ ප්‍රචන්ඩත්වය වැනි හේතූන් හුවා දක්වමින් දියුණු මත්වීමේ සංස්කෘතියක් නිර්මාණය වීමට අවහිර කළ අමද්‍යප සුචරිතවාදීන්ට සහ වෛද්‍යවරුන්ගේ පුහු සෞඛ්‍ය අධිකාරීමය සීමාවන්ට අභියෝග කිරීමකි. එමෙන්ම නොදැනුවත්ව වුවද ස්ත්‍රීන්ටද මත්වීමේ සම අයිතිය ලැබෙන අවස්ථාවකි.

    අනෙක් සියලු ආහාර ද්‍රව්‍ය මෙන්ම තමන්ගේ අරක්කු බෝතලයද නිවසටම ගෙන්වා ගත හැකිවීම අරක්කුද අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සමව සැලකීමකි. එමෙන්ම මත්වීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ මානසික අයිතියක් හැටියෙන් බාරගැනීමකි.

    කොවිඩ් නිසා සිදුවුනු තවත් වැදගත්ම වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය.

  • සංචරන සීමා නැති ටෙක්ස්ට් කරන ශෘංගාරය

    සංචරන සීමා නැති ටෙක්ස්ට් කරන ශෘංගාරය

    දැන් කොවිඩ් හින්ද එකිනෙකා මුනගැහෙන එකත් ඇනහිටලනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ දුරස්ථ සම්බන්ධතා ඒවායේ උපරිම ඉම හොයාගෙන යන කාලයක් මේක. අපේ අතේ තියෙන ෆෝන් එක තමයි එතනදි ලොකුම ලිංගික අතරමැදියා වෙන්නෙ. මෙතනදි සමහර අය කැමතියි ෆෝන්කෝල් එකක් අරන් ඒ කටහඬ අහමින් තමන්ගේ ශෘංගාරය හොයාගෙන යන්න. ඒ අතර තව සමහර අය කැමතියි සාහිත්‍යය පාවිච්චි කරන්න. මෙතනදි සාහිත්‍යය කියල කියන්නෙ ටෙක්ස්ට් කරන එකට. මැසේජස් යවන එකට. ඒ ටෙක්ස්ට්වල සෙක්ස් කතා කරනකොට අපි කියනවා සෙක්ස්ටින්ග් කියල. සෙක්ස්ට් කරන්න දක්ෂ ලියන්නන්ට අපි කියනවා සෙක්ස්ටර්ස්ලා කියල.

    සෙක්ස්ටින්ග් වලදි අපි ඉගෙන ගන්න වැදගත්ම දෙයක් තමයි සෙක්ස් කියන එක ශරීරයම මූලික දෙයක් නෙමෙයි කියන එක. අකුරුවල පවා සෙක්ස් තියෙනවා කියන එක. අපි අපේ හැඟීම් අකුරුවලට කොටලා ෆෝන් එක හරහා තව අපිව කියවන්න කැමති කෙනෙකුට යවනවා. ඒ අකුරු නැවත හැඟීම්වලට ඩීකෝඩ්වෙලා ඒ කියවන්නාගේ ඉරොතික කලාපයන් අවුස්සනවා.

    මේක ඉතාම ක්‍රියේටිව් වැඩක්. දක්ෂ ලේඛකයෙක් වගේම සෙක්ස්ටර් කෙනෙක් දැනගන්න ඕන හරිම කෙටියෙන් වැඩියෙන්ම අවුස්සනසුලු දේ ලියන්න. ඒකට ඒ කියවන්නාගේ මනස ගැන දැනීමකුත් තියෙන්න ඕන. ඒ වගේම නිකංම කුනුහරුප කොටනවට වඩා හොඳ සෙක්ස්ටර් කෙනෙක් තමන්ගේ ශෘංගාර පරිකල්පනය දිගේ අනෙකාව අරගෙන යනවා, අනිත් හැම ලේඛකයෙක් වගේම. හැබැයි සෙක්ස්ටර් කෙනෙක් ලියන්නෙ එකම එක පාඨකයෙක් වෙනුවෙන්. එයාට දැනෙන පුද්ගලිකම තැන්වලින්. ඒක ලේඛකයා සහ කියවන්නා අතර තිබිය හැකි වඩාත් ඉන්ටිමේට්ම සම්බන්ධතාවලින් එකක්.

    සෙක්ස්ටින්ග්වලදි අපි අනෙකාගේ අනුරාගය අවුස්සනවා. එයාව සුරතාන්තයක් දක්වා අරගෙන යනවා. එතනදි අපි පාවිච්චි කරන සාහිත්‍යය වෙන කිසිම තැනක පාවිච්චි කරන විදිහෙ එකක් නෙමෙයි. ඉතාම පහත් නැත්තං වනචර විදිහට හඳුන්වන වචන යෙදුම් පවා සෙක්ස්ටින්ග්වලදි අනුරාගී කූටප්‍රාප්තීන් දෙනවා වෙන්න පුළුවන්. පිළිගත් සාහිත්‍යයේ සීමාවන්ට යටත් නැති නිදහස් පුද්ගලික සාහිත්‍යයක් ඇතුලෙ සෙක්ස්ටර්ස්ලා ලියන දේවල් සම්මාන ඇගයුම්වලට පාත්‍රවෙන්නෙ නෑ. සෙක්ස්ටර් කෙනෙක් ලබන ලොකුම සම්මානය වෙන්නෙ කියවන අනෙකාගේ උපරිම සුරතාන්තය.

    සමාජයෙන් අපහාසාත්මකයි කියන, සදාචාරාත්මක නොවෙන, ආචාරශීලී නොවෙන ඕනම දෙයක් සෙක්ස්ටර් කෙනෙකුට පාවිච්චි කරන්න නිදහස තියෙනවා. එතනදි අදාල වෙන්නෙ අනිත් කියවන්නාට ඒ දේ සන්නිවේදනය වෙන විදිහ විතරයි. අනිත් හැම ටෙක්ස්ට් එකේදිම පොලයිට් වෙන අපි සෙක්ස්ටින්ග්වලදි ඒ සීමා තරණය කරනවා. අපේ හැම අකුරක්ම අනෙකාගෙ ශරීරය කිතිකවන ස්පර්ශයක්. ඒ අකුරු ගැලපෙන වචන රිද්මය තමයි අනෙකාගේ සිරුර පුරා අපේ අතැඟිලි දුවන කලාව. අපිට අපේ ජීවිතේ ගැඹුරුම, අතිශය පුද්ගලිකම දේවල් සෙක්ස්ටින්ග් ඇතුලෙ බෙදාගන්න පුළුවන්. අපිට කිසිම වැරදිකාරී හැඟීමක් නැතුව අනෙකා එක්ක අපේ සියලු යටපත් නොකළ ආශාවන් දිගේලි කරන්න පුළුවන්. කෙඳිරිලි සද්ද, ඉමෝජීස්, ඉමේජස්, වීඩියෝස්වලින් කුල්මත් කරන්න පුළුවන්. සෙක්ස්ටින්ග්වලදි අපිට හොඳ ළමයෙක් වෙන්න ඕන නෑ. අපිට පුළුවන් අපේ සංස්කරණය නොකළ ජීවිතය ඒ අකුරු ඇතුලට කවන්න.
    රෑ එලිවෙනකල් නිදි නැතුව පෙම්වතුන් හුවමාරු කරන සෙක්ස්ට් අන්තිමට ෆෝන් කොම්පැනිවලට වටින්නෙ ඩේටා විදිහට විතරයි. ඒත් ඒ ඩේටා ඇතුලෙ තියෙන තොග ගනං බර හැඟීම් කිසි තැනක ගනන් බැලෙන්නෙ නෑ. ඒවා ඒ රහස් සම්බන්ධතා ඇතුලෙ අත්දැකීම් විදිහට සම්පූර්ණ වෙනවා.

    කිසිම ආර්ට් එකක් නැතුව ගොරහැඬි ටෙක්ස්ට් යවන බහුතරය නිසා සෙක්ස්ටින්ග් අතාරින්න ඕන නෑ. අපිට පුළුවන් සෙක්ස්ටින් ඇතුලෙ කලාවන් හොයාගෙන යන්න. වෙනස් භාවිතාවන්, සාහිත්‍යයන් අත්හදාබලන්න. ශූර සෙක්ස්ටර් කෙනෙක් වෙනවා කියන එක එකරැයක වැඩක් නෙමෙයි. ඒකට සතථ අභ්‍යාසය ඕන කරනවා. කවදා හරි දවසක ලෝකෙ සෙක්ස්ටින්ග් කියන එක සාහිත්‍යයක් විදිහට කියවන්න පටන් ගනීවි. එදාට අපේ අනෙක් සාහිත්‍යයන්ට ඉගෙන ගන්න ගොඩක් දේ එතන තියේවි.

  • කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් අපිට කියන්නෙ ආධ්‍යාත්මික මාධ්‍යයක් හැටියට සෙක්ස්වල වැදගත්කමද?

    කොවිඩ් 19 නිසා අනිවාර්යෙන්ම ඩිජිටල් සෙක්ස් ගේම්වල වැඩිවීමක් සිද්ද වෙයි. හැබැයි ඒ වගේම අපේ ශාරීරික සමීපතාවයේ වටිනාකම අගය කරන්නත්, දෙන්නෙක් අතර සෙක්ස් කියන එක ආධ්‍යාත්මික මාවතක් හැටියෙන් තේරුම්ගන්නත් කොවිඩ් අපිව පොළඹවයි.

    අයිරිෂ් සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්වලදි සෙක්ස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ තියෙන ප්‍රධානම නිර්දේශ දෙකක් තියෙනවා.

    එකක් ශාරීරික සහ මුහුණට මුහුණ සම්බන්ධතාවලින් ඈත් වෙලා ඉන්න එක සලකා බැලීම වැදගත් කියන එක, විශේෂයෙන් සෙක්ස් ආශ්‍රිත රැකියා කරන අයට වීඩියෝ ඩේට්ස්, චැට් රූම්ස්, සෙක්ස්ටින් වගේ දේවල් පාවිච්චි කරන්න සලකා බලන්න කියල උපදෙස් දෙනවා. අනිත් අය එක්ක කීබෝර්ඩ් එක බෙදාගන්නවා නම් පාවිච්චි කරන්න කලින් ඒක විශබීජහරණය කරන්නත් ඕන. අනිත් කාරණය තමයි ස්වයං වින්දනයෙන් කොරොනා වයිරසට බෝනොවෙන බව. විශේෂයෙන්ම ස්වයං වින්දනයට  තත් 20ට කලින් ඔබේ අත් සහ සෙක්ස් ටෝයිස් සබන් යොදා පිරිසිදු කරගත්තොත් එය ආරක්ෂිතයි කියල කියනවා.

    මේවා ශරීරයෙන් ශරිරයට බෝවෙන වසංගතයක් ඇති කාලෙක සාමාන්‍ය කාරණා. හැබැයි කෙනෙකුට පේන්න ඕන මේ නිර්දේශයන්ගෙන් ඇත්තටම කරන්නෙ දැනටමත් අපේ ජීවිතේ සිද්ද වෙමින් යන ඩිජිටල්කරනය වඩා හොඳින් ස්ථාපිත කරන එකයි කියල. සංඛ්‍යා දත්ත වලින් පේනවා මේ වෙද්දි නව යෞවනයෙක් තමන්ගේ ලිංගිකත්වය හොයාගෙන යාමට යොදවන කාලය එයා වෙබ් එකේ ගත කරන කාලයට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රමානයක් කියල.

    ඒ ගොල්ලො සෙක්ස් කළත් ඒක කරන්නෙත් ඩිජිටල් ස්පේස් එකක. සමහර විට පෝර්න් එක්ක. ඒක ලේසියි වගේම ඉක්මන් තෘප්තියක්.

    මේ හේතුව නිසාම HBO එකෙන් හයිස්කූල් ශිෂ්‍ය පිරිසක්  ඩ්‍රග්ස්, සෙක්ස් සමග අනන්‍යතා, ඛේදවාචක, සෝෂල් මීඩියා, ආදරය සහ යාලුකම් අතර යන ගමනක් කියල යුෆෝරියා සීසන් එක ගෙනෙද්දි ඒ ගොල්ලො ගේන්නෙ දැන් යෞවනයේ නැතිම දේ. ඒක මේ කාලෙ නව යෞවනය නෙමෙයි. ඒ හින්ද ඒක අදාල නැති කාලයක කතාවක් වගේම දැන් මැදිවියේ කාගෙ හරි නොස්තැල්ජියාවක් වගේ වෙනවා.

    හැබැයි අපි මෙතනින් අඩියක් ඉස්සරහට ගිහින් ඇහුවොත්, ඇත්තටම කවදාවත් එහෙම රියල් සෙක්ස් කියල දෙයක් තිබුනද? ෆැන්ටසියකින් තොරව පැවතුනු රියල් එකක් ඉතිහාසෙවත් තිබුනද? ස්වයං වින්දනය කියන එකම සාමාන්‍ය අර්තයෙන් ගත්තොත් වෙන අයව මවාගනිමින් තමන් විසින් කරගැනීම. රියල් සෙක්ස් කියන්නෙ කොහොමත් තව කෙනෙක් එක්ක කරන මාස්ටර්බේෂන් එකක් කියල කිව්වොත්?  මොකක්ද මං ඒකෙන් අදහස් කරන්නෙ? ගාඩියන් එකේ කමෙන්ට් එකක් විදිහට ඊවා වයිස්මන් විසින් ජොන් රොන්සන්ගෙ ඉන්ටර්නෙට් පෝර්න් කම්පනය ගැන කරපු බටර්ෆ්ලයි අෆෙක්ට් කියන පොඩ් කාස්ට් සීරීස් එක මතක් කරනවා. පෝර්න් සෙට් එකක නළුවාට මගදි බහිනවා. ඒක ආපහු නග්ගගන්න නළුවා කරන්නෙ නිළියගෙන් අනිත් පැත්තට හැරිලා ෆෝන් එකෙන් පෝර්න් හබ් බලබල ස්වයං වින්දනයෙ යෙදෙන එක. නිරුවත් ගෑනියෙක් එයාගෙ කකුල් දෙක ළඟ ඉන්නවා. මේ සිද්දිය ඇයව කම්පනය කළා කියල ඊවා කියනවා.

    ‘සෙක්ස් කියන දේ මොකක් හරි නරක් වෙලා’ ඊවා අවසන් කරන්නෙ එහෙම.

    මං එකඟයි. ඒත් මං මේකට සයිකොඇනලසිස් පාඩමක් එකතු කරනවා. සෙක්ස් කියන එකේ කොහොමත් ස්වභාවයෙන්ම නරක් වෙලා තමයි තිබුනෙ. මානව ලිංගිකත්වය කොහොමත් විපරීතයි. සැඩොමැසිකිස්ට් දේවල්වලට විවෘතයි. විශේෂයෙන්ම ඒක රියැලිටියෙ සහ ෆැන්ටසියෙ මිශ්‍රණයක්. මං මගේ සහකරුවා හෝ සහකාරිය සමග ඉඳිද්දී පවා ඔහු/ඇය සමග මගේ සම්බන්ධය මගේ ෆැන්ටසි එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. හැම ලිංගික සම්බන්ධයක්ම ගොඩනැගිලා තියෙන්නෙ ඇත්ත සහකරුවෙක් එක්ක ස්වයං වින්දනය කිරීමක් විදිහට. මං මගේ සහකරුවාගේ මාංශය, ශරීරය පාවිච්චි කරන මගේ ෆැන්ටසිය අත්පත් කරගන්න මෙවලමක් විදිහට.

    අපිට මේ සහකරුවකුගේ ශරීරමය යතාර්ථය සහ ෆැන්ටසි විශ්වය අතර පරතරය පීතෘමූලික සහ සමාජ ආධිපත්‍යයික ස්වරූපය නිසා හෝ සූරාකෑම නිසා ඇතිවුනු තත්වයක් විදිහට ලඝු කරන්න බෑ. මේක ආරම්භයේ ඉඳන්ම මෙහෙමයි. ඒ හින්ද මට හොඳටම තේරෙනවා නැවත ප්‍රානවත් වෙන්න පෝර්න් හබ් බලන නළුවාගෙ තත්වය. එයා හොයන්නෙ එයාගෙ පර්ෆෝමන්ස් එකට ෆැන්ටැස්මික උදව්වක්. සෙක්ස් කරද්දි කෙනෙක් අනෙකාට මොනවා හරි කියන්න, ගොඩක් වෙලාවට වල් දේවල් කියන්න කියන්නෙත් මේ හේතුවටමයි. අපි අපේ අත්වලින් ඒ දේ, අපේ සහකරුවාගේ ශරීරය අල්ලගෙන හිටියත් අපි ඉල්ලනවා ෆැන්ටසියක උදව්ව.

    මේක අර නළුවට හරියටම වැඩකරනවා. මොකද එයා ඒ නිළිය එක්ක ආදර සම්බන්දයක ඉන්නවා නෙමෙයි. ඇගේ ශරීරය එයාට පන තියෙන සෙක්ස්බොට් කෙනෙක් විතරයි. ඔන්න ඒ නළුවා ඇය සමග අනුරාගී ආදරයකින් පසුවුනා නම් ඒ ශරීරය එයාට දැනෙන්න තිබුන. මොකද එහෙම වුනා නම් ඔහුගේ හැම ස්පර්ශකින්ම ඇගේ ආත්මයේ අරටුව කම්පනය කරන හින්ද. කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් සමග සංවාසයේදී ඒ සහකරුවාගේ ශරීරය ස්පර්ශ කිරීම හරිම වැදගත් දෙයක්. ඒ හින්ද අපිට සිද්ද වෙනවා ලිංගික අනුරාගය ශාරීරිකයි -ආදරය ආධ්‍යාත්මිකයි කියන සාමාන්‍ය පිලිගැනීම වෙනස් කරන්න. ලිංගික ආදරය ශාරීරීකයි, දැනෙනසුලුයි, ආදරයෙන් තොර ලිංගිකයට වඩා. තවත් විදිහකින් කිව්වොත් ආදරයත් එක්ක සෙක්ස් දැනෙනවා වැඩියි, ආදරයක් නැති සෙක්ස්වලට වඩා.

    එහෙම නං මේ වසංගතය නිසා ලිංගිකත්වය සීමා වෙලා ආදරය පැතිරෙන්න පටන් ගනීද? ස්පර්ශ කළ නොහැකි දුරින් සිටින ආදරවන්තයා ගැන වර්ණනාත්මක හැඟීම් විකසිත වෙයිද? වසංගතය නිසැකවම ඩිජිටල් සෙක්ස් ගේම්වලට නම් ලොකු තල්ලුවක් දේවි.

    ඒ වගේම ලිංගික අනුරාගය ගැන සමීපත්වය ගැන අලුත් විදිහක වටිනාකමක් වසංගතය නිසා මිනිස්සු තේරුම් ගනීවි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    මෙතනදි ආන්ද්‍රෙයි තර්කොව්ස්කිගෙ පාඩමක් මතක් කරන එක හොඳයි. තර්කොව්ස්කිට පොලොව කියන්නෙ ඒ පොලොව ඇතුලෙ තියෙන තෙත සහිත බවත් එක්ක, ආධ්‍යාත්මිකබවට විරුද්ධ යමක් නෙමෙයි. පොලොව කියන්නෙ ආධ්‍යාත්මිකත්වයේ මාධ්‍යයමයි. තර්කොව්ස්කිගෙ මාස්ටර්පීස් එකක් වුනු මිරර් ෆිල්ම් එකේ එයාගෙ තාත්තා අර්සෙනි තර්කොව්ස්කි මේ වචන කියනවා. ‘ශරීරයක් නැති ආත්මය පව්කාරයි. හරියටම ඇඳුම් නැති ශරීරයක් වගෙයි’

    පෝර්න් බලාගෙන මාස්ටර්බේට් කරන එක පව්කාරයි. ශරීරයෙන් ශරීරය ස්පර්ශය ආධ්‍යාත්මිකයට මාර්ගයයි.

  • ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා. ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත් ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

    එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

    මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි… මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න ඕන.

    බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.

    ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ඡේදනයක්.

    මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

    මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

    ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

    මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

    සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර – මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

    ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

    සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි, ‘ට්‍රේනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

    අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

    මම නං ගඟේ පනිනවා – වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා – රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

    සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

    ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
    ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ…

    සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැකිලි වෙනුවට ඇඟට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.

    සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
    මං දුන්නා තව එකක් දැන් දෙකයි

    එපා යන්න- තවත් එන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි…

    මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත් ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

    එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

    ‘නෝනා මට සමාවෙන්න ඕනා
    මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
    මගේ අතින් වැරදි වුණා තමයි
    ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
    නෝනා මට සමාවෙන්න ඕනා‘

    ‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ – සුනිල් පෙරේරා

    සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

    ‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
    – සුනිල් පෙරේරා

    ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
    ‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

    එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
    එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

    මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

    ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

    ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත් ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

    77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.


    චින්තන ධර්මදාස


    Original interview from –
    Interview with Sunil Perera for lt part 1
    Interview with Sunil Perera for lt part 2