අද උදේ ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මට නතර වෙලා ටිකක් කල්පනා කරන්න කිව්වා. ඒ පෝස්ට් එක දාලා තිබුනෙ විසි ගානක කොල්ලෙක්. ඒ කොල්ලා අහලා තිබුනෙ තමන් දරුණුවට පීඩා විඳින ප්‍රශ්නයක් ගැන.

කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ දැඩි උවමනාවක් තිබුනත් එයාට කෙල්ලෙක්ව මුනගැහෙන සමාජ අවකාශයක් නැති වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉඳන් ඔන්ලයින් රස්සාවක් කරන හින්ද මිනිස්සු මුනගැහෙන තැනක් නෑ. ඒ හින්දම එයා විවිධ පාඨමාලා, ක්‍රීඩා කරන්න යනවා. ඒ කවුරුන් හෝ මුනගැසීමේ උවමනාව වෙනුවෙන්ම. ඒත් ඒ උත්සාහයත් ඒ තරම් සාර්ථක වෙන්නෙ නෑ. මේ හින්දම මේ තරුණයා ඩිප්‍රෙෂන් එකකට යනවා. එයා උදව් ඉල්ලලා තිබුනෙ කෙල්ලොන්ව දකින්න ඇසුරු කරන්න ලැබෙන කලාපයක් ගැන විස්තර දැනගන්න.

මේක ඉස්සරහට තව තවත් මුහුන දෙන්න සිද්ද වෙන අර්බුදයක්. අපි තාක්‍ෂණයේ දියුනුවත් එක්ක ශරීර මුනගැහෙන අවකාශයන් අවතක්සේරු කරලා තියෙනවා. මිනිස්සු විදිහට පොකුරට මුනගැහුනම ඒ පොදුබව ඇතුලෙ නිර්මාණය වෙන, බෙදාගන්නා ශක්තිය නොතකා හැරලා තියෙනවා. ඒක ඔන්ලයින් සම්බන්ධතා හරහා ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඉස්සර පන්සල්වල, පල්ලිවල මේ අවකාශය තිබුන. දේශපාලනය කියන්නෙ මූලිකවම මෙන්න මේ මිනිස් හැකියාව පිළිබඳ කාරණයක්. එකට එකතු වීමේ, එකට වැඩ කිරීමේ, පුද්ගලික අපිට වඩා විශාල සමස්තයක්, දේවත්වයක් නිර්මාණය කරන තැනක්. අපි සාකච්ඡාවකදි වුනත් ඔන්ලයින් තනියම එකතු වෙනවට වඩා මුහුනට මුහුන සංවාද කරද්දි එහා මෙහා වෙන එනර්ජි එක වෙනස්.

මහා සංගීත ප්‍රසංගවල අපිට දැනෙන උතුරා යන ජීවය මේක. ලක්ෂ ගානක් මිනිස්සු එකට එකතු වෙද්දි, එකම අරමුණකට දිශාගත වෙද්දි, එකම හැඟීමක් බෙදා ගනිද්දි දැනෙන ආශ්චර්යමත් හැඟීම. ඒක සාමූහික සත්වයෙක් විදිහට මිනිසාට අවශ්‍යම දැනීමක්.

හුදකලා බව අනවශ්‍යයි නෙමෙයි. ඒත් සාමූහික බව ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික රංචු ගැසීම් වෙනුවට මිනිස්සු එකතුවෙන සුන්දර ලෞකික අවකාශයන් අවශ්‍යයි. ඒ මහා සාමූහික එක්රැස්වීම් නිර්මාණය කරන මිනිස්සු අවශ්‍යයි. ඒවා චාරිත්‍රයන් ලෙස සැමරීම පවත්වාගැනීම අවශ්‍යයි.

ශරීර අතර සන්නිවේදනය නොතකා හැරීම හින්ද අපි අපේ පැවැත්මේ මූලිකම හරයක් අහිමි කරගන්නවා. අපිට ග්‍රවුන්ඩ් රියැලිටිය අහිමි වෙනවා. අපේ මනස් අධිරාජ්‍යයක් ජීවත් වෙන්න පටන් ගන්නවා.

අනෙකාගේ මැදිහත්වීම, අනෙකාගේ පැවැත්මේ අභියෝගය අපිට අහිමි වෙනවා. ඒකෙන් කාලයත් එක්ක අපිට අපිවම අහිමි වෙන්න පටන් ගන්නවා. අපේ දැනීමේ සහ සිතීමේ සීමාවන් පටුවෙන්න ගන්නවා. අපිට එකතු වීම, එකතු වී වැඩ කිරීම ගැන තියෙන දක්ෂතාවයන්, ඒ ආඛ්‍යානයන් ටිකෙන් ටික නැති වෙනවා.

ඇත්තටම මිනිස්සු එකතු කරන නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හෝ මොනයම්ම දෙයක් හෝ කරන කෙනෙක් එතනදි කරන සුවිශේෂම කාරණය වෙන්නෙ ඒ මිනිස් පොකුරකට එකතු වෙන්න අවකාශයක් නිර්මාණය කරන එක. ඒ සමූහ සන්නිවේදනය ඇති කරන එක. ආර්ට් එක හෝ ඉදිරිපත් කිරීම එතනදි ද්විතියිකයි. වැදගත් දේ සීයක් දෙසීයක් එකට බඳවාගෙන උත්පාදනය කරන ශක්තිය. ඒ මිනිස් ඇදහිල්ල.

මේ වෙනුවෙන් තාක්‍ෂණය උදව් කරගන්නත් අපිට පුළුවන්. උදා විදිහට කිසි තේරුමක් නැති ඩේටින් ඇප් වෙනුවට මිනිස්සු එකිනෙකා මුනගැහෙන ඇසුරු කිරීම් කලාප නිර්මාණය කරන ඇප් ගැන අපිට හිතන්න පුළුවන්. පොත් කියවන්න එකතු වෙන අය, ෆිල්ම් බලන්න එකතු වෙන අය, බියර් බොන්න එකතු වෙන අය වගේ තව එකී නොකී අමුතු අපූරු සාමූහික මුනගැසීම් නිර්මාණය කරන්න පුළුවන්. තවකෙක් සමග ඇසුරක් පවත්වාගෙන යාමේ මූලික මිනිස් හැකියාවන් වර්ධනය කරන්න, පවත්වාගෙන යන්න අපිට මීට වඩා හිතන්න සිද්ද වෙනවා. එහෙම නැති වුනොත් වෙන්නෙ ටිකෙන් ටික අපි කාංසාව හරහා ඩිප්‍රෙෂන්වලට යන එක.

එහෙම මිනිස් ඇසුරක් නැතිව, ආදරෙන් වියළුනු, හැකිළුනු සිත් ඇතිව අපි ගන්න තීරණ ධනාත්මක වෙන්නෙ නෑ. ඒ වෙනුවට අපේ යටපත් හැඟීම්, පීඩාවන් විසින් අපේ ලෝක දෘෂ්ටිය අඳුරු කරනවා. පටු කරනවා. ආත්මාර්ථකාමී කරනවා. අපි වඩා සුන්දර දේවල් නිර්මාණය කරන්නෙ ආදරය ඇතුලෙ. අපේ හිත් පිරිලා තියෙන කොට. හිත් හිස් වෙලා තියෙද්දි වැඩ කරන්නෙ තාර්කික මොළය විතරයි. ඒ තීරණ වියළියි.

කොවිඩ් වගේ වසංගත විසින් අපිට ඇති කරන ලොකුම බලපෑම වෙන්නෙ මේක. අපේ සාමූහිකත්වය නැති කරන එක. අපේ ශරීර අතර සම්බන්ධය අහිමි කරන එක. ඒ හරහා මිනිස් සමූහයක් විදිහට අපිට නිර්මාණය කළ හැකි විශාල ආඛ්‍යානයන් නතර කරන එක. මේ ඇහැට පේන හෝ විද්‍යාත්මක මනින්න පුළුවන් කාරණයක් නෙමෙයි. ප්‍රොඩක්ටිවිටි ගැන නිර්ණායකවලට අහුවෙන දෙයක් නෙමෙයි. ඒත් දීර්ඝ කාලීන දරණු හිස්කමක් සහ මානව පැවැත්ම පිළිබඳ ගොඩ ආ නොහැකි කාංසාවක් මතු කරන තත්වයක්. ඒ ගැන අපි දැනුවත් වෙද්දි ඒක ස්වභාවිකයක් වෙලා ඉවරයි. අපි අපේ ශරීරයේ භාෂාව නැති කරගෙන හමාරයි.