Tag: family

  • අපිට පුළුවන් මුනගැහිලා කතා කරන්න

    අපිට පුළුවන් මුනගැහිලා කතා කරන්න

    මට නිතර නාඳුනන යාළුවො කතා කරනවා. ඒ අයට වෙන කාත් එක්කවත් කියන්න බැරි කතා බෙදාහදාගන්නවා. සමහර අය ඒ අයගෙ ආශාවන් රුචිකත්වයන් නිසා ඒ අය විපරීතද කියල බයෙන් සැකෙන් ඉන්නවා. තමන්ගේ ආශාව මානසික රෝගයක්ද කියල තැවෙනවා.

    ලංකාවෙ මනෝ උපදේශනය තියෙන්නෙ ඉතාම පහළ මට්ටමක. උදා විදිහට සංක්‍ර‍ාන්ති ලිංගිකයෙක් නව යොවුන් වයසෙදි තමන්ට දැනෙන වෙනස කියන්න මනෝ උපදේශකයෙක් මුනගැහුනම කොහොම හරි විෂම ලිංගිකයෙක් වෙලා සාමාන්‍ය වෙන්න උත්සාහ කරන්න කියන වර්ගයේ උපදෙස් ලැබුනු අය මට මුනගැහිලා තියෙනවා. බහුතරයක්ම මේ උපදේශකයන් අනෙකාව සංස්කෘතිකව විනිශ්චය කරනවා. තමන්ගේ සංස්කෘතික අගතීන් අනෙකා මත පටවනවා.

    එහෙම ලේසියෙන් තමන් රෝගී යැයි පිළිගන්න අකමැති ශක්තිමත් ගැහැණු පිරිමි සහ වෙනත් අය මට කතා කරනවා. මං විධිමත්ව මනෝ විද්‍යාව හෝ වෙනත් කිසිම විෂයක් හදාරා සහතික ලද්දෙක් නෙමෙයි. වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන ප්‍රතිකාර කිරීමේ හැකියාවක් මට නෑ.

    නමුත් මං ඉතා හොඳ සවන් දෙන්නෙක්. විනිශ්චය නොකරන්නෙක්. මිනිස් ජීවිතේ විවිධත්වයට ආදරය කරන්නෙක්. විශ්වාසවන්ත යාලුවෙක්. ඒ හින්ද ඔයාව පෙළන ආදරය හෝ ලිංගික කාරණා සම්බන්ධ ඕනෑම දෙයක් අපිට බෙදාහදාගන්න පුළුවන්. හොඳ නරක යැයි සම්මත සීමාවලින් ඔබ්බෙහි මිනිස් අවකාශයක අපිට මිතුරන් හැටියට මුනගැහෙන්න පුළුවන්. බොහොමයක් තැවුල් පීඩනවල දැරිය නොහැකි වේදනාව වෙන්නෙ විවෘතව අසා සිටින හෝ බාරගන්නාසුලු මිත්‍රත්වයක් නැතිකමයි.

    ඒ වගේ කතා කරන්න දේවල් තියෙනවා නම් පහත ලින්ක් එකෙන් පැයක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සතියෙ හැම බදාදාම පැය දෙකක් මං මේ වෙනුවෙන් වෙන් කරන්න කල්පනා කළා. කිසිම මුදල් අයකිරීමක් නෑ. එක්කෙනෙක් පැයකට වඩා වෙන් කරන්න එපා.

    මුනැගහෙන තැන තිඹිරිගස්යායෙ, ස්පැතෝඩියා ඇවනියුහි ෆ්‍රීඩම්හබ් ආයතනය.

    වෙලාවක්ලි වෙන් කරගැනීමට Link එක මෙන්න.
    https://calendly.com/chinthana/60min

  • දරුවන් ලැබීම සතුට අඩු කරයි

    දරුවන් ලැබීම සතුට අඩු කරයි

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන, බහුලව විශ්වාස කරන දේ තමයි කසාද බැඳලා ළමයි නැත්තං ඒ පවුල් ජීවිතේ සතුටක් නෑ කියන එක. ඒක හින්දම බැඳපු දවසෙ ඉඳන් පාරෙ හම්බුවෙන මිනිස්සුත් අහන්නෙ ළමයෙක් හදන්නෙ නැද්ද කියල. මේ ගැන දශක ගණනාවක දත්ත ගවේෂණය කරමින් පර්යේෂණ කීපයක්ම සිද්ද වෙලා තියෙනවා. විස්මයට කාරණය වෙන්නෙ ළමයි නැති අය ළමයි ඉන්න අයට වඩා සතුටෙන් ජීවත් වෙනවා කියල මේ පර්යේෂණ මගින් සනාථ වීමයි. දෙමව්පියන් බවට පත්වීම ජීවිතේ නොසතුට වඩන මගක් විදිහටයි ඇත්ත හෙලිවෙන්නෙ.

    මේක මේ අද ඊයෙ තත්වයක් නෙමෙයි. 1970 ගණන්වල ඉඳන් ඇත්ත තත්වය පැවතිලා තියෙන්නෙ මෙහෙමයි. ළමයි හදන්න කියල බණ කියන අම්මලා තාත්තලා කියන විදිහටම ලෝකෙ කැරකෙන්නෙ නෑ කියන එක තමයි පේන්න තියෙන්නෙ.

    එක පර්යේෂණයක් තමයි 2011 කරපු තෝමස් හැරිසන් පර්යේෂණය. මේ නෝර්වේජියානු පර්යේෂණයෙදි හෙලිවුනා ඇත්තටම දරුවො නැත්තං ජීවිතේ තේරුමක් නෑ කියල මිනිස්සු විශ්වාසයකින් පෙලෙන බව. හැබැයි ඇත්තටම පර්යේෂණය අවසානයේදි පෙනුනෙ ළමයි හින්ද දෙමව්පියන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පහතට වැටෙන බවයි.

    ඒ වගේම පවුල් සබඳතා ගැන ජාතික කවුන්සිලය මගිනුත් දත්ත පදනම් කරගෙන මෙටා ඇනැලිසිස් එකක් කළා. මෙතනදි මේ සතුට සම්බන්ධයෙන් නිශ්චිත මිනුමක් ගන්න ඒ අය උත්සාහ කළා. එතනදි ඒ අයට දකින්න තිබුණු දෙයක් තමයි ළමයි නැති පවුල්වල අය අතර වඩා රොමාන්තික සම්බන්ධයක් පවතින බව. කුඩා දරුවන් ඉන්න අම්මලා වැඩිපුරම තමන්ගේ ජීවිතයේ තෘප්තිය අහිමියි කියල කිව්වා. පිරිමි නම් එහෙම විශේෂයක් නැතුවම දරුවෙක් ලැබීමෙන් පස්සෙ තමන්ගේ ජීවිතයේ තෘප්තිමත්භාවයේ අඩුවීමක් ඇති වග සළකුනු කළා.

    මේ අතර ඇමරිකානු සමාජ විද්‍යා ජර්නලයේ ප්‍රකාශයට පත්වූ අධ්‍යනයකුත් මේ කාරණය ගැන ගැඹුරෙන් විමර්ශනය කළා. ඒ අය මීට බලපාන ආර්ථික කාරණා ගැන උනන්දු වුනා. එතනදි සංවර්ධිත රටවල ජීවත්වන දරුවන් නැති පවුල්වල අය ඉතා ඉහළ මට්ටමක තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව පේන්න තිබුන.

    දරුවන් ඇති අය සහ නැති අය අතර සතුටේ විෂමතාවය ඇමරිකාව වගේ රටවල ලොකුවට තිබුන. ඇමරිකාවෙ ළමයි නැති අයගෙ සතුට ඇති අයට වඩා 12%කින් විතර වැඩියි. අයර්ලන්තය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල තත්වයත් මීට බෙහෙවින් ආසන්නයි.

    මෙතනදි පර්යේෂකයන් පැහැදිලිව පෙන්වා දෙන්නෙ ළමයි විසින් නොසතුට ඇති කරනවා නෙමෙයි කියන කාරණයයි. විවිධ කාරණා ගණනාවක් එකිනෙක මත බලපෑමෙන් මේ තත්වය ඇතිවෙනවා මිස එය ළමයා විසින්ම උදා කරන දෙයක් නෙමෙයි කියලයි මේ අය කියන්නෙ.

    වඩාත් නොසතුටෙන් හිටියෙ සින්ගල් මම්, නැත්නම් තනිව දරුවෙක් හදාගන්නා මව්වරුයි. ඒ වගේම පහල සමාජ ස්ථරවල මේ නොසතුටේ ප්‍රතිශතය වැඩියෙන් පෙනුනා. ඉහළ සමාජ ස්ථරවලත් දරුවන් ලැබීමෙන් පස්සෙ ඒ අයගෙ සතුට විශාල වශයෙන් අඩුවෙන බවක් දකින්න තිබුන. ඒකට හේතුව ඒ අය දෙමව්පියන් වෙන්න කලින් බුක්ති විඳපු නිදහස විශාල නිසා බව පවුල් සබඳතා පිළිබඳ ජාතික කවුන්සිලය කියනවා.

    රටවල් අටක විතරක් ළමයි ඉන්න අය ළමයි නැති අය තරම්ම සතුටකින් ඉන්න වග පෙනුනා. ස්පාඤ්ඤය, නෝර්වේ සහ පෘතුගාලය මේ රටවල් අතර තිබුන. ඒ ගැන හොයලා බලද්දි පෙනුන දේ තමයි ඒ රටවල පවුල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන පහසුකම් සහ විවිධ සහන මේකට බලපානවා කියල.

    රජයෙන් පවුල්වලට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් මේ දරුවන් ඇති පවුල්වල නොසතුට යම් පමණකට අවම කරන්න පුළුවන් වග පෙනුනා. දෙමව්පියන්ට වි‍ශේෂ නිවාඩු, දරුවන් වෙනුවෙන් පවුලට ලබාදෙන විවිධ සහනාධාර, අධ්‍යාපනය ආදිය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් පහසු කිරීම ආදිය මගින් යම් සහනයක් මේ තත්වයට ලබාදෙන්න පුළුවන් වෙනවා. ඇමරිකාව තමයි අධ්‍යනයට තෝරාගත් රටවල් අතරින් මේ පහසුකම් ලබාදීම අතින් පහළම තැනක පැවතුනු රට වුනේ.

    මෙහෙම පවුල් විශේෂ කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති නිසා දරුවන් නැති පවුල්වලට කිසිම බලපෑමක් ඇති වුනේ නෑ. ඇත්තටම එවන් ප්‍රතිපත්ති නිසා සමස්තයක් වශයෙන් කාන්තාවන්ගේ සතුට ඉහළ යන බවක් පෙනුනා.

    දරුවක් ලැබීමෙන් සතුට උපදිනවා කියල පොදුවේ විශ්වාස කළාට දෙමව්පිය සතුට කියන එක ඉතා සංකීර්ණ කාරණයක්. ඒකට බලපාන කරුණු ගණනාවක් තියෙනවා. මෙතනදි දුප්පත්කම නැත්තං සම්පත් හිඟය කියන එක දරුණුවටම බලපෑම් ඇති කරනවා. ඉහළ පාංතික පවුලක වුනත් සම්පත් හිඟතාවයක් ඇතිවෙද්දි සතුට පහළ වැටෙන වග පෙන්නුම් කළා.

    තවත් අපූර්ව කාරණයක් වුනේ ස්පාඤ්ඤය වගේ රටවල විස්තෘත පවුල් ක්‍රමය නිසා සතුට වැඩි කරන බවයි. මෙහිදී ඇතිවන දුෂ්කරතා ප්‍රශ්න ආදිය සමූහයක් අතර බෙදී යාමෙන් දොම්නස අඩුවීමක් සිද්ද වෙන බව හිතන්න පුළුවන්.

    අනෙක් කාරණය තමයි ළමයි හදන්නෙ කවුද කියන එක. ළමයි ඇත්තටම ඕන අයද කියන ප්‍රශ්නය. ස්පාඤ්ඤය, ඉතාලිය වගේ රටවල දරු සාඵල්‍යතාවය අඩුයි. මේ නිසා දරුවන් අවශ්‍යම අය උත්සාහයෙන් දරුවන් හදනවා. ඒත් ඇමරිකාව වගේ රටක සාඵල්‍යතාවය වැඩියි. ඒ නිසා දරුවන් ඕන නැති අයත් ළමයි හදනවා.

    මේ අධ්‍යයන වලදි පෙනී ගිය තවත් දෙයක් තමයි අවුරුදු 50-70 දක්වා වයස්වල දෙමව්පියන් තමන්ගේ දරුවන් නිවසේ රැඳී සිටීම ගැන නොසතුටෙන් පසුවන බව. ළමයි ගෙදරින් පිටව ගොසින් නම් ඒ අයගෙ සතුට වැඩිවුනා.

    ඒ වගේම එක ළමයෙක් ඉන්න අම්මලට වඩා ළමයි කීප දෙනෙක් ඉන්න අම්මලා වඩා සතුටෙන් ඉන්න වගත් පෙනුනා. මෙතනදි පවුලක් විදිහට ඇතිවන සාමූහික ප්‍රීතිය විසින් අනෙක් නොසතුටුකම් මකාදානවා කියලයි පර්යේෂකයො අනුමාන කරන්නෙ.

    ළමයි හදන විදිහත් මේ සතුටට බලපාන බව ප්‍රකාශ වුනා. ළමයෙක් කියන්නෙ දෙමව්පියන්ට අවශ්‍ය හැටියෙන් අඹා ගත යුතු මැටි පිඩක් නැත්තං, හැඳි ගාලා හදන හොද්දක් කියල හිතන මොඩ්ල් එක අසාර්ථකයි වගේම එයින් දෙමව්පියන්ගෙ ජීවිත පවා විනාශ කරන බවයි ඇලිසන් ගොප්නික් කියන ළමා සංවර්ධන මනෝ විද්‍යාඥවරිය පවසන්නෙ. ඒක ස්වභාවික නොවූ මෙන්ම නරක ප්‍රතිඵල ඇති කරන ආකෘතියක් හැටියෙන් ඇය බැහැර කරනවා.

    දෙමව්පියන් හැටියට විඳින සතුටට තමන් මවක් හෝ පියෙක් හැටියෙන් විශිෂ්ටයි කියන හැඟීම තමන්ටම දැනෙන්න උවමනා වග මේ විශේෂඥයන් පෙන්වා දෙනවා. ඒ වගේම ළමයි නැති ජීවිතය අඳුරුයි කියන එක යල් පැනගිය මිත්‍යාවක් බවත් ළමයෙක් හැදීමෙන් සතුට ඇති නොවන බවත් ඔවුන් කියනවා. ඒ සතුට උපදින්න ළමයාට අමතර තව බොහෝ කාරණා එකතු වෙන්න ඕන. වැදගත්ම දේ ළමයෙක් හදන්න කලින් හිතන්න ඕන.

  • ගැහැණියක් විඳින්න දන්නවද?

    ගැහැණියක් විඳින්න දන්නවද?

    ගැහැණියක් විඳින්න දන්න පිරිමි අඩුයි.

    ගැහැණියක් විතරක් නෙමෙයි, සමස්තයක් විදිහට ගත්තම ජීවිතේ විඳින්න දන්න මිනිස්සු සෑහෙන්න අඩුයි.

    අපි කරන කියන හුගක් දේවල් විඳවන්න මිසක් විඳින්න මග පාදගන්නේ නැත්තේ නොදැනුවත්කම නිසා වෙන්න පුලුවන්.
    ඒක දුක්බර උනත් ඇත්ත තත්වයක්.

    ගැහැණියක් විඳිනවා කියන්නේ මොකක්ද ?

    ඇගේ ශරීරයයි, මනසයි කියන දෙකම එක විදිහට විඳින එක.

    ගොඩක් වෙලාවට කසාද ජීවිත වල හෝ සම්බන්ධතා ඇතුලේ ඉන්න පිරිමි ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් තමයි, ‘ගෙදර ගෑනි’ කියන එක.

    මේකෙන් ඉස්මතු කරන්නෙ, අර්ථ ගන්වන්නෙ, ලංකාවේ පවුල් කේන්ද්‍රය ඇතුලේ සාමාන්‍යයක් වෙලා තියෙන බරපතල අවුලක්.

    ‘ගෙදර ගෑනි’ කොටට අඳිනවට කැමති නැහැ, හැබැයි ගෙදරින් එලියට ගිය වෙලේ ඉදන් බලන් ඉන්නේ කොටට ඇදන් යන වෙන ගෑනු දිහා. එහෙම බලලා, ‘අපේ ගෙදර ගෑනු ඔහොම අදින්නේ නෑනෙ බං’ කියනවා.

    තමන් ආස කරන විදිහේ කාන්තාවක් කසාද බඳින එක වෙනුවට සමාජය හොදයි කියලා හිතන කෙනෙක්ව කසාද බැඳලා, ඒ කාන්තාව ගේ කාර්යය උයන්න, රෙදි හෝදන්න, ළමයි බලාගන්න පමණක් සීමා කරනවා. ගෙදර ගෑනි හැදෙන්නෙ එහෙම .

    ළමයි ලැබුනට පස්සේ ගෙදර ගෑනි ළමයින්ගේ අම්මා බවට පත්වෙනවා. ඉන් පස්සේ sex කියන එක ගෙදරින් පිටතදි තමන් ආස කාන්තාවන් සමග විඳින්නත්, කරන්නත් පුරුදු වෙනවා.

    හැබැයි, පිටතදිත් ගැහැණියක් හරියට විඳිනවද කියන එක සැකයක්.

    ලිංගිකව එකතු වෙනවා කියන එක බහුතරයක් පිරිමි වගේම ගැහැණු බලන්න පුරුදු වෙලා ඉන්නෙ, තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න කාන්තාවක් පාවිච්චි කිරීම කියන කෝණයෙන්.
    Sex කරනවා කියන්නේ පිරිමියා හා සමානවම ගැහැණියත් වින්දනය ලබන ක්‍රියාවක්, සිතීමක් කියන එක ගැන දැනුවත් නැති නිසා, කසාදය ඇතුලේ ඉන්න ගැහැණියත් හිතන්න පුරුදු වෙනවා තමන්ගේ රාජකාරිය සැමියාට අවශ්‍ය වෙලාවට ඇ‍ඳ මත වැතිරී සිටීම කියලා.

    පවුලක් කියන එක ඉන් මත්තට ගහපු අත්සනකින්, සාලේ මැද්දේ තියලා තියෙන මගුල් photo එකෙන් පමණක් රැකිලා තියෙනවා.

    මේ තත්වෙට තව ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනේ දෙයක් තමයි, ආගම.

    උදාහරණයක් විදිහට, ගිහි ජීවිතයේ උපරිම ඵල ලබාගන්න නම් සැමියා සමග ලිංගිකව හැසිරීමෙන් පවා වැලකී සිටිය යුතුයි කියලා මහමෙව්නාවේ බෞද්ධ භික්ෂූන් බුදුබණ කියලා හිතාගෙන දෙසනවා මම දැකලා තියෙනවා.

    මේ දේවල් තුලින් සිද්ධ වෙන්නේ, ආගම විසින්, ගැහැණුන්ට ජීවිතේ විඳවන්න මග පාදමින්, පවුල් ජීවිත විනාස කර දමන්න අවශ්‍ය අඩිතාලම සකසන එකයි.

    මේ ඔක්කොම මැද්දේ, කොහොමද එහෙමනම් ජීවිතේ විඳින්නෙ?

    බුදු මැදුරේ අපි sex කරන්නෙ නෑනෙ. කොටින්ම ඒ ගැන හිතන්නෙවත් නෑනෙ. ඒ වගේම නිදන කාමරේ ඇතුලෙත් බුදු බණ අහන්න තියා හිතන්නවත් අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ඒ ඉරි දෙක වෙන් කර තබා ගන්න එකයි පළමු පියවර. ලිංගික ජීවිතය අත්හැර ගිය හාමුදුරුවරුන්ගෙන් ලිංගික උපදෙස් පතන්න එපා.Sex විඳිනවා කියන්නෙ, ගැහැණියක් විඳිනවා කියන්නෙ කායිකව සහ මානසිකව කියන දෙකෙන්ම එකතු වෙන තැනක්. එහෙම එකතු වෙන සම්බන්ධකම් ඇතුලෙ, එකිනෙකාගේ ආසාවන් ගැන විවෘත කතාබහක් ඇති වෙනවා. අලුත් දේවල් කරන්න, ගවේෂණය කරන්න ආසාව ඇති වෙනවා. ළමයි, ජීවන අරගල, මේ සියල්ල පොඩ්ඩකට හරි පැත්තකින් තියලා, Sex තුලින් මානසිකව, ශාරීරිකව දෙදෙනාම සුවයක් ලබා ගන්නවා.

    ඒ සුවය ඇබ්බැහියක් බවට පත් වෙනවා.

    ඒ ඇබ්බැහිය ඇතුලේ තියෙන්නෙ ජීවිතේ විඳීම.

    සම්බන්ධකමකදි, එහෙම ඇබ්බැහියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

    ජීවත් වෙනවා කියන්නෙම, තව තව විඳින්න ආස හිතෙන එක්තරා විදිහක ඇබ්බැහියක්ම තමයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • Living Together ජීවිතේ

    Living Together ජීවිතේ

    කාලයක් තිස්සෙ ඉන්බොක්ස් හරහා මැසේජ් ඇවිත් තියෙනව ලිවින් ටුගෙදර් ඉන්න ගැන අදහස්, අත්දැකීම් බෙදාගන්න කියල. ඉතින් කසාද නොබැඳ ලිවින් ටු ගෙදර් ඉන්න කෙනෙක් විදියට මේ සටහන ලියන්න කල්පනා කලා. සටහන දිගයි. කැමති අය විතරක් කියවන්න.


    “ආදරය කරන්න බඳින්නෙ මොකටද…?”

    මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන මුල් කාලෙ අහද්දි මම ලෑස්ති කරගෙන හිටිය කෙටි උත්තරය ඒ. ඒත් ප්‍රායෝගික අවස්ථා වලදි කියන්න අමාරු, ඒ ප්‍රශ්නයට මට දෙන්න තියෙන ඇත්තම උත්තරය කියනව නම් මෙහෙමයි.

    “අපි දෙන්නගේ ආදර සම්බන්ධය ගැටගහල තියෙන්නේ අපි අතරෙ මැදිහත්කරුවෙක් විදියට ක්‍රියාකරන රාජ්‍යය (state එක) විසින් ය කියන අදහසට මගේ හිතේ ඇතිවෙන්නෙ නොකැමැත්තක්. මම කැමති අපේ ආදර සම්බන්ධය අපි දෙන්නගෙම එකඟතා, තේරුම් ගැනීම්, මෙහෙය වීම් මත පදනම් වුන අපිටම ගැලපෙනව කියල අපි හිතන අපිම හදාගත්ත හැඩයක් ගන්නවට. එතකොට ඒ ආදරය අපේ. අපි එකතු වෙන්නෙත්, අපේ ආදර සම්බන්ධය පවත්වාගෙන යන්නෙත් කවද හරි වෙන් වෙනව නම් වෙන් වෙන්නෙත් අපේම උවමනා එපාකම් අනුව. පුද්ගලයෙක් හෝ (ඒ කියන්නේ දෙමාපියන්, යාලුවන්, නෑදෑයන්) හෝ වෙන කවුරු හරි හදපු නීතියක් නෙමේ අපේ සම්බන්ධයේ හැඩය තීරණය කරන්නේ. අපිමයි. ඒ නිදහස, අනෙක් අයගෙන් අපි වෙන් වන ඒ ස්වාධීනත්වය ගැන හැඟීම, අපි ගැන අපිටම තියෙන හිමිකම මං හිතනව අපේ ආදර සම්බන්ධයට සමාජයෙන් නියම කරල තියෙන සාම්ප්‍රදායික උදාසීන ආකෘතියට හිරවෙනව වෙනුවට හැමදාම නැවුම් බවක් එක් කරනව කියල. මොකද අපේ ආදරයට වෙන මැදහත් කරුවො නැහැ. අපි දෙන්නා අතරෙ වෙන කවුරුත් නැහැ. කාටවත් උත්තර බැඳිය යුතු නැහැ. අපිව එකිනෙකාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳල තියෙන බාහිර බලවේග නැහැ. අපිව එකට තියන්නෙ අපේ ආදරයම විතරයි. ඉතින් අපිට අපේ ආදර සම්බන්ධය වටිනව නම්, අපිට ඒක පවත්වාගෙන යන්න ඕන නම් අපිම ඒ වෙනුවෙන් දිනපතා වැඩ කරන්න ඕන. Effort එකක් දාන්න ඕන. අපි ගැන අපිටම තියෙන ඒ වගකීමට මම කැමතියි. එතකොට ආදරය කියන්නෙ ඒ වෙනුවෙන් මහන්සි විය යුතු දෙයක් ය කියන හැඟීම දැනෙනව. එක තැන පල් වෙවී තියෙන, ජීවිතයේ නානාප්‍රකාර දේවල් ඉදිරියේ මඟහැරී යන අඹුසැමි සම්බන්ධයක් නෙමේ, මේක පණ ගැහෙන ආදරයක්. ඕනෑම වෙලාවක මියයන්න ඉඩ තියෙන, ජීවත් වෙන ආදරයක්. මං ඒකට මාර ආසයි!”

    මම තේරෙන වයසට ආපු කාලෙ ඉඳල මම කැමති වුනේ ආකෘති ගත නොවන සම්බන්ධයකට.(තේරෙන වයස කිව්වේ වයස අවුරුදු 26න් පස්සෙ).

    සැමියා.. බිරිඳ.. පෙම්වතා… පෙම්වතිය.. අලුත බැඳපු ජෝඩුව.. ළමයි ඉන්න අම්මා, ළමයි ඉන්න තාත්තා… මැදි වයසේ යුවල… වයසට ගිය වැඩිහිටියො දෙන්නා..

    මේ වචන අස්සෙ තියෙනවා සමාජය විසින් හදපු ආකෘතියක්. අපි වෙනුවෙන් අපේ සම්බන්ධයේ එක් එක් කාලය තුළ හැඩයත් අපි රඟපෑ යුතු භූමිකා ගැන අවිඥ්ඥාණික නියමන් එකතුවකුත්, සමාජීය අපේක්ෂාවකුත් ඒ එක්කම එනව. ඒ අපේක්ෂිත භූමිකා, හැසිරීම් අනුව අපව ඇගයීමට ලක් වෙනව. එක් එක්කෙනා හැසිරිය යුතු විදිය ගැන කලින් නියම කරන ලද නිර්දේශ මාලාවක්. ඒක ඇත්තටම ආරක්ෂිතයි. තම තමාගේ භූමිකා අනුව වැඩ කලාම ලේසියි.

    ඒත් මට ඒ පහසුව ඕන නැහැ. මම කැමතියි මගේ ජීවිතයේ වටිනාකම්, ඒ ඒ කාල වල මගේ භූමිකාව මං විසින්ම හොයාගන්න. වෙන කවුරුත් නිර්දේශ කරල තියෙන උපදෙස් මාලාවක් අනුගමනය කරන්න තරම් මම සමාජීය හර පද්ධතිය විශ්වාස කරන්නෙ නැහැ. මොකද වෙන දේවල් වගේ නෙමෙයි මේක මගේ ජීවිතය. මගේ ජීවිතයේ මට වැදගත්ම දෙය.

    මගේම වෙච්චි මටම ආවේණික ඒ පාර හොයාගෙන යාමේ පළමු පියවර තමයි, මගේ ආදර සම්බන්ධය අතරට රාජ්‍යය (state එක) සම්බන්ධ කර ගත යුතුය කියල මට දීලා තියෙන ගයිඩ් ලයින් එක බැහැර කරන එක.


    මුල ඉඳලම මම දැනගෙන හිටියෙ නැහැ මම ආදරය කරන කෙනාව දාන සමාජීය ආකෘතිය මොකක්ද කියල.

    ඇය මගේ බිරිඳද? නැහැ. මම කොහේවත් අත්සන් කරල ඇයව අයිති කරගෙන නැහැ. නීතියකින් ඇයට බැඳිල නැහැ. අපව එකට තියාගන්න එකම බන්ධනය අපේ හිත් අතුලෙ තියෙන බැඳීම විතරයි. ඇය මගේ පෙම්වතියද? ඒත් නැහැ. නිකම්ම නිකන් පෙම්වතිය කියන වචනයෙන් ඇය සහ මම දැන් අවුරුදු ගානක් තිස්සෙ ගෙවන ජීවිතයේ ඇය ගැන මා තුළ තියෙන හැඟීම කියවෙන්නෙ නැහැ වගේ. ඒ වචනය මදි වගේ. ඇය මගේ හොඳම යාලුවෙක්ද? පැහැදිළිවම ඔව්. ඇය හොඳම යාලුවෙක් විතරක් නෙමෙයි. ඇය තමා මගේ හොඳම යාලුවා. නමුත්, හොඳම යාලුවා කියන වචන දෙකෙනුත් ඇයව විස්තර කෙරෙන්නෙ නැහැ. ඇත්තටම ඇය මගේ කව්ද?

    ඇයට මගේ ජීවිතය තුළ තියෙන තැන විස්තර කරන්න මට වචනයක් එන්නෙ නැහැ. ඒ හැඟීම විස්තර කෙරෙන වචනයක්, නිලයක්, පට්ටමක්, ලේබලයක් මීට කලින් කවුරුත් නිර්මාණය කරල නැහැ. ඒකයි ඒ ගැන කල්පනා කරද්දි මට හිතෙන්නෙ. අනික් අය හදල දීපු කිසිම ආකෘතියකින් ඒක හරියටම කියවෙන්නෙ නෑ කියන එකෙන්ම ඒ හැඟීමට දෙන්නෙ අමුතුම වටිනාකමක්. ඒ වටිනාකමට මම මාරම කැමතියි.

    “ජීවිතයේ වටිනාම දේවල් වචනයෙන් විස්තර කරන්න බැහැ” මම විශ්වාස කරන දෙයක්.

    මේ මගේ කැමැත්ත. හැමෝම මේ දේවල් වලට එකඟ වෙන්න ඕනය කියල මම කියන්නෙ නැහැ. මගේ කැමැත්ත, මගේ පුද්ගලික අදහස් බෙදා ගැනීමක් විතරයි මේ.


    “බඳින්නෙ නැති එකෙන් පස්සෙ කාලයක ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද?” ඊළඟට එන ප්‍රශ්නය.

    ඔව්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බැන්දත්, නොබැන්දත්. ඒත් මම ආදරය කරන, ආදරය කරපු කෙනෙක් එක්ක, බැරි වෙලාවත් කවද හරි අපි වෙන් වෙන දවසක් ආවත්, කතා කරල විසඳගන්න බැරි ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. අපි මිනිස්සු. තිරිසන්නු නෙමෙයි..!

    මම පුද්ගලිකව ආදරය ගැන විශ්වාස කරන තව අදහසක් බෙදාගන්නම්.

    “ආදරය කරපු දෙන්නෙක්ට කවද හරි ආදරයෙන් වෙන් වෙන්න බැරි නම්, ඒ දෙන්නා අතර තිබිල තියෙන්නෙ මනුෂ්‍යයන් විදියට එකිනෙකාගේ ආශාවල්, ස්වාධීනත්වය, නිදහස කෙරේ ගරුත්වයෙන් පිරි ආදරයක් නෙමෙයි. එකිනෙකා අයිති කරගැනීමේ මෙහෙයුමක්. තමාගේ සැප සතුට මුල් කරගෙන ඒ වෙනුවෙන් තවත් මනුස්සයෙක්ව මෙවලමක් විදියට පාවිච්චි කරපු මොකක්දෝ කැත සම්බන්ධයක්. එකිනෙකාව බාහිර ලෝකයෙන් ඈත් කරල, ඒ කෙනාගෙ කැමැත්ත ඇතුව හෝ නැතුව එයාව හැමදාම තමාගෙම කරගන්න උත්සාහ කරපු බල අරගලයක්. ඒක මට ආදරය කියල මම අදහස් කරන, මට දැනෙන හැඟීමට සමාන කරන්න බැහැ. ඒ විදියට හිමිකමක හැඟීමකින් අයිති කරගන්න උත්සාහ කරගන්න පුළුවන් වාහන, ඉඩම්, දේපල වගේ දේවල්. මනුස්සයෙක්ව එහෙම අයිතිකරගන්නෙ කොහොමද? එහෙම දෙයකට කියන්න වෙන්නෙ වෙන මොකක් හරි කුණුහරපයක් මිසක් ආදරය කියල නෙමෙයි”

    කෙටියෙන්ම, එකිනෙකා කෙරේ ගෞරවයෙන් අනෙකාගේ හොඳම ප්‍රාර්ථනා කරමින් වෙන් වෙන්න බැයි නම් ඔබ ආදරය කරල නැහැ. මේ මට ආදරය දැනෙන හැටි.

    “බැන්දෙ නැත්නම් පස්සෙ තේරෙයි” වගේ කතා වලින් නොකියා කියවෙන දේ අපි හැමෝම නොදන්නව නෙමේ. වෙන් වෙන දවසට දේපල බෙදාගැනීමේ ප්‍රශ්න, ළමයි බෙදා ගැනීමේ ප්‍රශ්න!

    මාව අදාල කරගෙන කතා කරනව නම්, අපි ළමයි බිහි කරන්නෙ නැති නිසා ඒ ප්‍රශ්නය අපිට අදාල වෙන්නෙ නැහැ. (මීට කලින් මගේ මේ අදහස ගැන නොදන්න කෙනෙක්ට ඒකට හේතුව එක වාක්‍යයකින් සාරාංශගත කරනව නම්, “මෙවන් ලෝකයකට දරුවෙක් නොගෙනෙන්න තරම් අපි නූපන් දරුවන්ට කරුණාවන්තයි”. ඔබ එකඟ වෙන්න එපා. ප්‍රශ්නයක් නැහැ).

    ඊලඟට දේපළ ගැන කියනවා නම්, තමාට හිමි යමක් තමාගේ මරණින් පස්සෙ කාට හරි අයිතිවෙනවට කැමති නම් මරණයට කලින් ඒ අදාල ලියකියවිලි සකස් කරන්න පුළුවන්. කොටින්ම කසාද බැඳපු කෙනෙක්ට පුළුවන් තමන්ගේ බිරිඳට හෝ දරුවන්‍ට හැර වෙනම මනුස්සයෙක්‍ට හැමදේම ලියල මැරිල යන්න.

    මේකෙන් හෙළි වන දේ තමයි මේ අයගෙ සම්බන්ධකම් වල මුල් තැන දීල තියෙන්නෙ දේපළ, ඉඩම්කඩම් ගෙවල් දොරවල් යාන වාහන වලටනෙ කියන දේ. ආදරය එන්නෙ දෙවනුවට කියන දේ. එහෙම වීමේ වරදක් කියනව නෙමෙයි. ඒත් මතුපිටින් කියද්දි කියන්නෙ එහෙම කතාවක් නෙමේනෙ.

    ගෑණියෙකුයි මිනිහෙකුයි ගැන ඕනම දෙයක් අරන් බලන්න. සින්දු, චිත්‍රපටි, කවි, නවකථා.. ආදරයෙ පැණි බේරෙනව. උතුරා පිටාර ගලනව. කාවද මේ රවට්ටගන්නෙ? පිට මිනිස්සුන්වද තමාවමද නැත්තන් දෙගොල්ලන්වමද? හරි නම් සින්දු හදන්න ඕන ආදරය ගැන ලියල නෙමේ. ඉඩම් දේපළ ගැන ලියලා.

    “වෙන් වුනත් කමක් නෑ ඔබ මගෙන්….
    ඉඩම් ඔප්පුව දීපන් ගුටිනොකා හොඳ හිතින්….”

    “…අනේ මට ඔබ නැතුව බෑ දාලා යන්න එපා….
    බැංකු පොතේ සල්ලි ටිකයි ඉඩමෙ කෑල්ලකුයි දීලා යන තැනක පල ඩලා….//”

    ඔහොමනෙ හරි නම් මේ මානුෂීය සම්බන්ධකම් ගැන සිංදු කියන්න වෙන්නෙ.


    කසාද සහතිකය අත්සන් නොකලාම ජීවිතයේ යම් යම් අවස්ථාවල ප්‍රායෝගික ගැටළු එන්න පුලුවන්. ඇත්ත. මොකද සමාජීය ජීවන රටා සම්මතයන් එකිනෙකින් අනික බැඳිල තියෙන විදියට සකස්වෙන නිසා. (උදාහරණයකට දැන් කැබ් එකක් දාගන්න එකේ ඉඳල ඊමේල් එකක් යවාගන්න දක්වා ෆෝන් නම්බරයක් හැමෝටම තියෙන්න ඕන. එතනින්ම ෆෝන් එකක් නොගැනීම කියන එක සෑහෙන අමාරු දෙයක් බවට පත් කරනව. ඒ වගේ). ඒ වගේ හදිසි ශල්‍යයකර්මයකට වුනත් කසාද අයිතිය හිමි වෙන්න ඕන කල යුතුදේ තීරණය කරන්න.

    නමුත්, ඒ වගේ සමහර විට එන්න පුළුවන් ප්‍රශ්න එවෙලාවට මූණ දීලා වෙන ක්‍රම වලින් විසඳගන්න තමාට හැකි නම්, ඒ ආත්ම විශ්වාසය තියෙනව නම් ලිවින් ටුගෙදර් ඉන්න එක ප්‍රශ්නයක්ම නෑ. කිසිදා නොඑන්න පුළුවන් ශල්‍යකර්මයක් වෙනුවෙන් අවධානමක් ගන්න අකමැති නිසා බඳින්න ඕන කියන මිනිස්සු තමාගේ නූපන් දරුවාගේ අනාගතය ගැන කතා කරද්දි සුභවාදී දේශනා තියන හැටි උත්ප්‍රාසජනකයි. අවධානම තමාගෙ වෙද්දි සිද්ධ වෙන්න ඉඩ අඩුම දෙයට පවා සූදානම් වෙනව.. ඒත් අවධානම වෙනත් ජීවිතයක වෙද්දි??

    කසාද බඳින්න කැමති අය ඒ දෙයට වගේම නොබැඳ ඉන්න කැමති අය තමාට ලේසි දේ කරන්න හේතු හොයාගන්නව. ඒ වගේ බඳින්නත්, නොබැඳ ඉන්නත් හේතු හදාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. තම තමාගෙ වටිනාකම් අනුවයි ඔය දේවල් තීරණය වෙන්නෙ.

    තව ලොකුම හේතුවක් තියෙනවා කසාද බැඳීම ගැන ආයෙ හිතල බලන එක සුදුසුයි කියල මම යෝජනා කරන්න හේතු වෙන.

    කවුරු මොනව කිව්වත්, මොන සුරංගනා කථාවක් දෙඩුවත්, බැන්දයින් පස්සෙ අවුරුදු තුන හතර යද්දි ඕනම සම්බන්ධයක් ඒකෙ ස්වභාවය වෙනස් වෙලා නිරස වෙනවා වෙනවාමයි. ලිවින් ටුගෙදර් හිටියත්, බැන්දත්, ඉනා කැව්වත් ඔය ඇත්ත වෙනස් වෙන්නෙ නම් නැහැ. ඉතින්, ඔතනදි ආදරයෙන් ඉන්න දෙන්නෙක්ට ලිවුන් ටුගෙදර් සංකල්පය නොදැනුවත්වම හරි පොසිටිව් විදියට වැඩ කරනව කියල මම හිතනව.

    හිතන්න මෙහෙම.

    ඔයා ජොබ් එකක් කරනවා. ඔයා දන්නවා ඔයා කරන ජොබ් එකේ ඔයා අතින් වැරැද්දක්, අතපසුවීමක් වුනොත්, ඒ වැරැද්ද තරමක් විශාල වැරැද්දක් වුනත් ඔයාගෙ ජොබ් එක ඔයාට නැති වෙන්නෙ නැහැ කියල. ඔයාගෙ ජොබ් සෙකියුරිටි එක උපරිමයි කියල හිතන්න.

    එහෙම තැනක ඔයා වැඩ කරද්දි ඔයා ඔයාගෙ වැඩ ගැන පොඩ්ඩක් හරි දක්වන අවධානයේ අඩුවීමක් වෙයිද වැඩිවීමක් වෙයිද ?කල් යද්දි යද්දි? මොනව වුනත් මේ ජොබ් එක තියෙනවනෙ කියල හිතෙද්දි?

    අනිත් පැත්තට, ඔයා කරන ජොබ් එක කොයි වෙලේ ගහල යයිද කියල ඔයා දන්නෙ නැත්නම්. ඔයා කරන වැරදි ෆයිල් එකකට ගිහින්, එකතු වෙලා, එකපාරම බකස් ගාලා ඔයාගෙ ජොබ් එක ගහලා යන්න චාන්ස් එකක් තියෙනවා කියල දන්නවා නම්, කොච්චර කල් ගියත් අලුත් දවසක වැඩ කරද්දි ඒ ජොබ් එක ඔයාට ඕන නිසා, ජොබ් එක නැති වෙයි කියන බය නිසා ඒ ගැන තමා තුළ වැඩි අවධානයක්.. වැරදි කරන්න බයක් තියෙනවා නේද??

    මට හිතෙනව ඒ වගේම තමයි ලිවින් ටුගෙදර් ඉන්න එකයි, කසාද බඳින එකෙයි ප්‍රදානම, වැදගත්ම වෙනස කියල. මොකද ලිවින් ටුගෙදර් සම්බන්ධයකදි දෙන්නාට දෙන්නා මඟ හැරී යන්න තියෙන ඉඩ අඩුයි, කසාද සම්බන්ධයකට සාපේක්ෂව.

    මෙතනදි තවත් කරුණක් කියන්න ඕන. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නව ආදර සම්බන්ධයක් විනාශ වෙලා යන්නෙ තමන් හෝ තමන්ගෙ සහකාරියා/සහකාරිය වෙන ගෑණියෙක් එක්ක, මිනිහෙක් එක්ක නිදියගත්ත දවසට කියල. රණ්ඩු කරල රණ්ඩු කරල ඉන්නම බැරි තැනට ආවම දික්කසාද වෙන දවසයි ආදර සම්බන්ධය අවසන් වෙන දවස කියල.

    ඒත් මම හිතන්නෙ ඊට වඩා වෙනස් විදියට.

    කා එක්කවත් නිදාගන්න ඕන නැහැ, දවසෙන් දවස සිද්ධ වෙන පොඩි පොඩි දේවල්, නොසලකා හැරීම්, සිත් රිදවීම්ම ඇති සම්බන්ධයක් විනාශ වෙලා යන්න. එකට අවුරුදු දහය විස්ස ඉන්න යුවලවල් ඉන්නවා සම්බන්ධය විනාසම වෙලා ගිහින් අවුරුදු ගාණක් වෙලත් වෙනත් බාහිර හේතු නිසා එකට ඔහේ ‘කාලය ගෙවන’!

    කසාද බැන්දයින් පස්සෙ නොදැනුවත්වම දෙන්නෙක් ඒ දෙන්නාගෙ සම්බන්ධය ගැන දාන effort එක අඩු වෙනවා.ඇයි? කොහොමත් එයා ඉන්නවනෙ. ගෙදර තියෙන තවත් බඩුවක් ගාණට හිත ඇතුලෙ අනිකාව පරිවර්තනය වෙනව.

    අපි හැමෝම ආදරය කරල තියෙනව. ඒ ආදරය කරපු යුගයන් වල අත්දැකීම් මතක් කරගෙන බලන්න. ඒ කාලෙ එකිනෙකාගෙ වැරදි ඉවසනවා, අනෙකාගෙ හිත රිද්දන්න බයයි. තමාගෙ වැරදි පුළුවන් තරම් අඩු කරනවා. ඇයි? යාලුවො, දෙමාපියො වගේ බාහිර සාධක වලට එච්චරම තමන්ගෙ සම්බන්ධෙට ඇඟිලි ගහන්න දෙන්නෙ නැහැ. හැමදාම අංක එක තමාගේ පෙම්වතායි/පෙම්වතියයි.

    ආදරය කරන කාලෙ, සාමාන්‍යය භාෂාවට අනුව කසාද බඳින්න කලින් කාලෙ සම්බන්ධයේ ස්ථීරත්වය අඩුයි. කොයි වෙලේ කැඩෙයිද දන්නෙ නෑ. ඉතින් ඉවසීම, අනෙකා කෙරේ අවධානය, අනෙකාගේ හැඟීම් ගැන සංවේදීබව වැඩියි.

    ඒත් බැන්දයින් පස්සෙ…?


    කසාද බඳින දවස කියන්නෙ පෙම්වතුන් දෙන්නෙක් තමාගෙ ආදරය නැමති සුන්දර රෝගය හොඳ කරගන්න පළමු බෙහෙත් මාත්‍රාව ගන්න දවසට.

    අනික, ලිවින් ටුගෙදර් ඉන්න දෙන්නෙක්ට කවදා හරි සම්බන්ධය නිරස වෙලා හරි, වෙන යම් හේතුවක් නිසා හරි, එකිනෙකාට එකිනෙකා එපා වෙලා හරි, වෙන් වෙන්න ඕන වුනොත් ලේසියෙන්ම කතා කරලම ඒක කරගන්න පුළුවන්. සරලවම කියනවා නම් දෙන්නා එකට ඉන්න මූලික වෙන්නෙ දෙන්නා දෙන්නා ගැනම තියෙන ආදරය, හැඟීම විතරමයි.

    ඒත් කසාද බැඳලා ඒක ලෙහා ගන්න උසාවි ගානේ රස්තියාදු වෙවී, තුන්වන පාර්ශවයකට ඒ ආදර මතකයන් විනිශ්චය කරන්න බාර දීලා දෙන්නා දෙපැත්තට වෙලා බලන් ඉන්න එක…. මට නම් ඒ හැඟීම ගේන්නේ අප්පිරියාවක්.

    තමා ආදරය කරන කෙනාව අත්සන් කරල තමාව දාලා යන්න බැරි විදියට ලියා නොගත්තොත් එයා කවද හරි තමාව දාලා යයි කියල හිතන් ආදරය කරන මිනිස්සුන්ගෙ මානුෂීය සම්බන්ධතා ගැන නම් මට හිතාගන්නවත් බැහැ.

    “කසාද බඳිනව කියන දේ ගො-න්*ක$ම අතින් දෙවෙනි වෙන්නේ ළමයි හදන එකට විතරයි” කියල මම කීපවතාවක්ම බුකියෙ ලියල තියෙනව. ඒකට හේතුව, මෙච්චර තමා ඇසුරු කරන ජීවිත වල කසාදය කියන සම්බන්ධයේ ප්‍රායෝජික කටුක ඇත්ත දකින ගමන්.. නෑ නෑ මට එහෙම වෙන්නෑ මං තමා මේ කසාද ජීවිතේ කියන ප්‍රශ්නය විසඳගෙන මැරෙනකල් ආදරෙන් ඉන්නෙ.. කියල හිතල බැඳගත්තොත් ලෙහා ගන්න හතර අතේ ගාගන්න ඕන හිරකූඩුවක් වගේ ඒ නීතිමය බැඳීමට කැමැත්තෙන් ඇතුල් වෙන්න මනුස්සයෙක්ට තියෙන්න ඕනේ එසේ මෙසේ ගො-න්_ක-ම_ක් නෙමේ කියන අර්ථයෙන්.


    දවසක් මගේ යාලුවෙක් ඉන්බොක්ස් එකට මැසේජ් කරල ඇහැව්වා “මචං අපිත් ලිවින් ටුගෙදර් ඉන්න ට්‍රයි කලා. ඒත් මාර ප්‍රෙශර් එකක් ආවා බං නෑදෑයන්ගෙන්. අන්තිමට බඳින්න වුනා බං. උඹට එහෙම වුනේ නැද්ද? උඹ කොහොමද ඒක හැන්ඩ්ල් කලේ?” කියල.

    මං ඕකට උත්තරේ කල්පනා කලා. ඒ කරන අතරෙ මට එහා පැත්තෙ හිටිය මගේ හාමිනේ මහත්මියගෙන් (ඔය, ගැලපෙන හරි වචනයක් නෑ ඇයව හඳුන්වන්න) ඇහැව්වා ඒ ප්‍රශ්නය. මෙහෙම යාලුවෙක් මගෙන් අහනවය කියල.

    “අපිට ප්‍රශ්න ආවනෙ. මතක නැද්ද? යාලුවො, නෑදෑයො එහෙම කොච්චර ප්‍රශ්න කලාද?” ඇය කිව්වා.

    “යාලුවා අහන්නෙ අපි ඒක හැන්ඩ්ල් කල හැටි ගැන” මම ඇයට කිව්වා. අවුරුදු හත අටකට කලින් සිදුවීම්නෙ. මගේ මතකය කොහොමත් බිංදුවයි. මං මොකක් හරි මහප්‍රාණ උත්තරයක් ඇති කියල ඒක මොකක්ද කියල කල්පනා කර කර හිටියේ යාලුවගෙ ප්‍රශ්නයට උත්තරය විදියට.

    “අපි ගණං ගත්තෙ නෑ ඒ කිසිදෙයක්” ඇය කිව්වා.

    ඔව්නෙ. අපි ගණන් ගත්තෙ නෑනෙ. සතපහකට ගනන් ගත්තෙ නෑ.

    කොච්චර සරල උත්තරයක්ද? ඒ එක්කම ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාත්මක කරන්න සාමාන්‍යය මනුස්සයෙක්ට කොච්චර නම් අමාරු, සංකීර්ණ උත්තරයක්ද??


    සටහන ටිකක් නෙමේ හොඳටම දිග වුනා. නමුත් මේ ගැන උනන්දු අය කියවයි කියල දිග වුනත් කමක් නෑ කියල ලියල දැම්මා. මේ අදහස් හැමෝටම සෙට් වෙන්නෙ නැහැ. හැමෝටම සෙට් විය යුතුත් නැහැ.

    මම ගොඩක් වෙලාවට ලියන සටහන් වලින් බහුතරයක් සටහන් ලියන්නේ තමාගේ ජීවිතයේ හැඩය හැකි තරම් තමාම නිර්මාණය කරන්න බලන, නිදහස්ව හිතන්න, ජීවත් වෙන්න බය නැති මිනිස්සුන්ට. එහෙම අය මං හිතන්නෙ ලක්ෂයකට එක්කෙනෙක් වගේ ප්‍රමාණයක් ඉන්නෙ. සමහර විට ඊටත් අඩුවෙන්.

    ඒ අය එක්ක අදහස් බෙදාගැනීමක් විතරයි මේ. තමන්ම තමන්ගෙ ජීවිතයේ හැඩය තමන්ට ඕන විදියට කස්ටමයිස් කරගන්න. සමාජය විසින් හැමෝටම හදපු ආකෘති අස්සට තමා ඇඹරිලා නැමිලා හිර වෙන්න හදනවට වඩා මට අනුව නම් ඒක වටිනවා. හැමෝටම මේ ජීවන රටාව ගැලපෙනවය කියල මම කියන්නෙ නැහැ. නමුත් ඒ ගැලපීම නොගැලපීම තමාම තීරණය කරන්න ඕන දෙයක්. මේ වගේ අදහස් තමාට ගැලපෙනව කියල දැනෙනව නම්, මේ ගැන ආයෙම පොඩ්ඩක් හිතල බලන්න.

    හැබැයි ඔබ අයිති බහුතරයක් දෙනා ඉන්න ගොඩට නම්, ඒ කියන්නෙ කසාද බඳිනවද නැද්ද කියන එක නෙමේ.. කසාද බඳින දවස, බඳින විදිය, අඳින ඇඳුම, නැකත, විවාහ උත්සවේ ස්වභාවයෙ ඉඳල දරුවට නම තියන මුල් අකුර පවා දෙමාපියන්ගේ වචන වලටයි නෑදෑයන්ගේ ඇස් වලටයි යට වෙලා තීරණය කරන කෙනෙක් නම්…. දෙමාපියන්ගේ වචන හින්දා තමන්ගේ ප්‍රියයා එක්ක ගැටුම් ඇති කරගන්න ජාතියේ එක්කෙනෙක් නම්…

    මේ සටහන සම්පූර්ණයෙන්ම අමතක කරල ඒ ජීවන රටාව ගෙනියන්න.

    මම ඒවගේ සම්බන්ධකම් හඳුන්වන්නෙ “සාමූහික පවුල් කෑම්” කියල. මොකද කසාද ජීවිතේ ගෙනියන්නෙ දෙන්නෙක් නෙමේ. මිනිහගේ අම්මයි, ගෑණිගේ නැන්දයි, අල්ලපු ගෙදර අංකල් පවුල් කෑම ගැන දෙන චරිත සහතිකයයි, යාලුවෝ දාන කිංඩි ප්‍රමාණයයි, නෑදෑයන්ගේ අදහසුයි එකී මෙකී නොකී අටෝරාසියක් දෙනාගේ සිතුම් පැතුම් වලට අනුව ජීවත් වෙන කෙනෙක් නම්, කොල්ලෙක් නම් තමන්ගෙ මූණේ රැවුලෙත් කෙල්ලෙක් නම් තමන්ගෙ කොණ්ඩෙත් දිග පවා තීරණය කරන්නේත් අම්මා තාත්තා නම්, මේ සටහන ඔබට නෙමෙයි.


    අවසාන වශයෙන්,

    කසාද බැන්දත් නැතත්, ලිවින් ටුගෙදර් හිටියත් නැතත්, ආදරය කලත්, තනිකඩව හිටියත් ජීවිතයේ අවධානමක් තියෙනවා. තියන පියවර වරදින්නත් හොඳම එකෙන් කෙළවෙන්නත් ඉඩ තියෙනවා.

    ඒ ජීවිතයේ හැටි.

    ඒක ඉතින් දෙමාපියන් අපිව මේ ලෝකයට ගෙනාපු දවසෙ ඉඳන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට මූණ දෙන්න වෙලා තියෙන කටුක ඇත්ත.

    මෙතනදි මට ෆ්‍රාන්ස් කෆ්කාගේ කතාවක් මතක් වෙනවා.

    “මම නිදහස් වුනෙමි. ඒ නිසාම මම අතරමං වී ඇත” (I am free, that is why I am lost.)

    අතරමං වෙන්නත් ඔක්කොටම කලින් නිදහස් වෙලා ඉන්න ඕන.

    මේ සටහන නිදහස් වෙලා ජීවිතය ගවේෂණය කරන්න කැමති අයටයි. තමාගේ ජීවිතයේ හැඩය තමාම හදාගන්න උත්සාහ කරන අයටයි. ඒ අයට හිතන්න යමක් බෙදාගන්න එකයි මේ සටහනේ අරමුණ.

    ඔක්කොමල්ලා කරන දේ ඒ විදියටම කරන්න ගියොත් වරදින එකත් ඒ ඔක්කොටම වෙන විදියටම වෙයි.

    හැබැයි පොඩ්ඩක් ඇස් ඇරල බලන්න. එතකොට පෙනෙයි එකිනෙකාගෙන් වෙනස් මිනිස්සු එකම දේ කරන්න ගිහින් ඒ හැම දෙනාටම එකම විදියට නහුතෙටම වැරදිලා තියෙන බව.


    ජේමිස් බණ්ඩාගේ සටහනක්

  • විවාහයෙන් පිට සොඳුරු ප්‍රේමයකට රහස් 06ක්

    විවාහයෙන් පිට සොඳුරු ප්‍රේමයකට රහස් 06ක්

    විවාහ වෙලා ‍හෝ කැපවුනු ප්‍රේම සම්බන්ධයක හෝ ඉන්න අතරෙ ඉන් බාහිර තවත් සම්බන්ධතා ඇතිවෙන එක ඉතාම සාමාන්‍යයි, ස්වභාවිකයි. අපි ගොඩක් වෙලාවට හිතන්න පුරුදු වෙලා ඉන්නෙ එකම කෙනෙක් එක්ක මැරෙනකල්ම ජීවත් වෙන එක තමයි සාමාන්‍ය කියල. ඒත් එහෙම ජීවිත තියෙන්නෙ ඉතාම සුළුතරයක්. සමාජයේ බහුතරයකට තමන්ගේ ලියාපදිංචි ප්‍රේමයෙන් බැහැර තවත් ප්‍රේමයන් තියෙනවා. ඒවා රහසේ පවත්වාගෙන යාම සහ අහුවුනොත් කළමනාකරණය කරගැනීම තමයි සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය. මේ රහස් පැවතුම් ක්‍රමයෙදි තමන්ට වෙනත් ප්‍රේමයක් තිබුනත් අනෙකා‍ගේ පූර්ණ වශයෙන් තමන් සතුයි කියන හැඟීමෙන් දෙන්නාටම සතුටු වෙන්න පුළුවන්.

    බාහිර වෙනත් ප්‍රේමයකට ගොඩක් අය ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්නෙ අනෙකා අහිමිවීම, සමාජ අපවාදය පිළිබඳ බියටත් වඩා එක්ස්ක්ලුසිවිටි එක ගැන හැඟීම මත. තමන්ටම වෙන්වූ සම්බන්ධයක දැනෙන ආරක්ෂිත, සුවපහසු, වටිනාකම පිළිබඳ හැඟීම. හරියට මගේම කලිසමක්, මගේම ‍දත්බුරුසුවක්, මගේම ජංගියක් වගේ මටම වෙනුවුනු ප්‍රේමයක් ගැන අදහස. වෙනත් සම්බන්ධයක් අනෙකාට තිබීමෙන් මේ දේ අහිමිවීම මූලිකවම දැනෙන බයක්.

    මේක මේ විදිහට භාණ්ඩමය අර්ථයකින් තොරව මිනිස් සබඳතාමය අර්ථයකින් ගත්තොත් ඕනෑම සම්බන්ධයක් ස්වභාවයෙන්ම එක්ස්ක්ලූසිව් තමයි. දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවයක ස්වරූපයක් කොයි විදිහකින්වත් නැවත තව තැනක රෙප්ලිකේට් කරන්න බෑ. ඒක ඒ දෙන්නා අතර විතරක්ම ඇතිවෙන බැඳීමක් වෙනවා. ලස්සන සම්බන්ධයකදි වගේම කැත සම්බන්ධයකදිත් මේක මෙහෙමමයි. ලස්සන වගේම කැතත් සුවිශේෂයි.

    සමහරක් මේ විදිහට තමන්ගේ පිළිගත් සම්බන්ධයෙන් පිට වෙනත් සම්බන්ධතා හොයන්නෙ හුදු ලිංගික අත්දැකීමක් විදිහට. සමහර විට ඒකෙන් තමන්ගෙ බෝරිං සම්බන්ධය ඇතුලට ස්පාර්ක් එකක් ගන්න. Hook-ups විදිහට. එතනදි කියන ලියන සියලු රොමාන්තික වදන් එක විදිහක play එකක් වෙනවා. හැඟීම්මය සම්බන්ධයකට මැදි නොවී පොඩ්ඩක් බැටරි චාර්ජ් කරගෙන ආපහු තමන්ගේ පුරුදු සම්බන්ධය ඇතුලට රිංගගන්නවා.

    ඒක තමයි ආරක්ෂාව ගැන හිතන බහුතරයක් කරන විදිහ.

    ඒ ඇරුනම ශාරීරික තෘප්තියට එහා ගිය යමක් හොයන පිරිසකුත් ඉන්නවා. ඒ අයට ඕනවෙන්නෙ මානසික සම්බන්ධයක්. ආදරයක්. වෙනත් විදිහක බෙදාහදා ගැනීමක්. ඒ වගේ දෙයක් ගැන තියෙන ජනප්‍රිය තේරුම් ගැනීම තමයි අර පවතින සම්මත සම්බන්ධයේ මොකක් හරි අඩුවක් කියන එක. ඒක පදනමක් ඇති කතාවක් නෙමෙයි. ආදරය එක තැනක එක විදිහකට පවතිනවා කියන එක මිත්‍යාවක් මිස ඇත්තක් නෙමෙයි. දෙන්නා අතර ඉතාමත් ස්ථාවර සම්බන්ධතා ගොඩනගා ගත් අය බය නැතුව වෙනත් සම්බන්ධතා පවත්වාගෙන යනවා.

    ඉතිං අපි මේ කතා කරන්නෙ hook-ups ගැන නෙමෙයි. ඒ වෙනුවට සම්මත ආදරයකට බාහිර තවත් සීරියස් බැඳීමක් පවත්වාගෙන යාම ගැනයි. එහෙම සම්බන්ධයක් ලස්සනට කරගෙන යන්න වැදගත් වෙන කාරණා 06ක් මෙහෙමයි.

    1. තමන්ගේ සැමියාට/බිරිඳට ගරු කරන්න.

    වෙනත් සම්බන්ධයකදි තමන්ගේ සැමියාට හෝ බිරිඳට ගරු කිරීම වැදගත්. ඒ ගරුත්වය දෙන්න දන්නෙ නැති කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ‍නොගැනීමත් වැදගත්. තමන් සමග ජීවත්වන අනෙකාට නිගරු කරමින්, ඔහු හෝ ඇයව පාවා දෙමින් කරගෙන යන සම්බන්ධයකදි අපි නිර්මාණය කරන්නෙ ආදරය නෙමෙයි. ඒක පලිගැනීමක් වගේ දෙයක්. පවතින සම්බන්ධතාවලට ගරු කරමින් ඒ අයට ආදරය කිරීම වඩා මානුෂික සම්බන්ධතා කලාපයක් අපිට විවෘත කරනවා. වෙනත් ප්‍රේමයන් රසවත්ව විඳින්න ඒක අවශ්‍යම ආචාර ධර්මයක් වෙනවා.

    2. දෙදෙනාගේ රහස් දෙදෙනාටම නොකියා ඉන්න.

    මේකත් ගරුත්වය සම්බන්ධම කාරණයක්. මෙතනදි වැදගත් වෙන්නෙ ඒ ඒ සම්බන්ධතා තුල පවතින රහස් එකිනෙකා සමග හුවමාරු කර නොගැනීමයි. එක් එක් සම්බන්ධයේ ඇති එක්ස්ක්ලුසිවිටි එක පවත්වාගෙන යන එකයි. ඒ විශ්වාසය ආදරය ඇතුලෙ තියාගැනීම වැදගත්. එක සම්බන්ධයක රහස් අනෙක් සම්බන්ධයේ කෙනා සමග බෙදාගැනීම ඔයාගෙ බාල ගතියක් ඉස්මතු කරනවා. ආදරය කියන්නෙ බාල කොලිටියක් ඇති හිත්වලට අයිති දෙයක් නෙමෙයි.

    3. සමානව ආදරය කරන්න.

    තමන්ගේ ස්ථාවර සම්බන්ධය වඩා වැදගත්කමින් සලකන අතර අනෙක අනියම් මට්ටමෙන් කරගෙන යනවා නම් සම්බන්ධ වන අනෙකාට ඒක විවෘතව කියන්න. ඒත් යම් සීරියස් බෙදාහදා ගැනීමක් ඇති ආදරයක් නම් ලියාපදිංචි සම්බන්ධයට තරම්ම වටිනාකමක් දෙවෙනි සම්බන්ධයටත් ලබාදෙන්න. ආදරයේ එකක් උසස් අනෙක පහත් කියල එකක් නෑ. ඒ දෙක වෙනස් එක විතරයි තියෙන්නෙ. ඒ නිසා ප්‍රේමය සමානව කිරීම සියලු සබඳතා සුන්දර කරනවා.

    4. සංසන්දනය නොකරන්න.

    එක ආදරයක් අනෙක් ආදරයට වඩා කොහොමත් වෙනස්. ඒ ආදරයන් දෙක එකවිට පවතින්නෙම ඒ වෙනස්කම නිසයි. ඒ හින්ද ඒ ආදරය අනෙක් ආදරය සමග සංසන්දනය කරන එක මෝඩ වැඩක්. ඒ දෙකටම විශේෂ සොඳුරුතා අසුන්දරතා දැනහඳුනගන්න. ඒවා එක්ක පවතින්න. විඳින්න.

    5. එකක් වෙනුවට අනෙක තෝරා නොගන්න.

    වෙනත් සම්බන්ධයක් පටන් අරගෙන ටික කාලයක් යද්දි ගොඩක් අයට සිද්ද වෙන වැරැද්දක් තමයි කලින් එක කැප කරලා දෙවෙනි එක පවත්වාගෙන යන්න පෙළඹීම. මෙතනදි එකක් පවතින්නෙ අනෙක නිසාය කියන එක අමතක වෙනවා. එකක් තෝරාගැනීමෙන් අපි නැවත කරන්නෙ කලින් පැවති තත්වයට එන එකයි. ඒ කියන්නෙ ආපහු තවත් සම්බන්ධයකට හිඩැසක් හදාගන්න එකයි. ඒ නිසා ආදරයන් කීපයටම එකවිට පවතින්න ඉඩදෙන්න. එකක් වෙනුවෙන් අනෙක කැප නොකරන්න.

    6. පුළුවන් නම් විවෘත වෙන්න.

    විවෘතව තමන්ගේ දෙවෙන සම්බන්ධය ගැන පෙර සම්බන්ධයේ පාර්ශ්වකරුවාට කියන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේ විවෘතභාවයක් විසින් සම්බන්ධයක් ඇතුලෙ නිර්මාණය කරන විශ්වාසය බැඳීම වෙන කිසිම විදිහකින් සම කරන්න බෑ. ඒත් ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ගොඩක් අයට අකමැත්තෙන් වුනත් බොරු කරන්න සිද්ද වෙනවා. පුළුවන් තරම් විවෘත අවංක සම්බන්ධයක් අනෙකා එක්ක ගොඩනගාගන්න උත්සාහ කරන්න. අසීමිත නිදහසක් සහ ආදරයක් එක්ක ජීවත් වෙන්න ඒකෙන් පුළුවන් වෙනවා. එහෙම කරන්න බැරි තැනදි තමන්ගේ රහස අනෙකා රැවටීමක් වෙනුවට තමන්ට අවංකවීමක් බව තේරුම් ගන්න.

  • 1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ සඟරාව බෞද්ධ සහ වෙනත් ඇදහිලි මිත්‍යා සමග පවත්වන සම්බන්ධය විවාහකයන්ගේ සඟරාවේදි අපිට මුනගැහෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ කාලෙ හිතාගැනීමට පවා අපහසු විද්‍යාත්මක කාරණා ස්පර්ශ කිරීමේ උනන්දුවක් මේකෙ තියෙනවා. නුගේගොඩ මොඩර්න් පොත් සමාගම ලිංගික විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා විශාල මෙහෙවරක් කරලා තියෙනවා.

    “අප සමාජය පුරුදු කර ඇති ව්‍යාජ ලැජ්ජාශීලී ගතිය මෙම අවශ්‍ය දැනුම ලබාගැනීම බාධා කරන තිරයකි. එයට අප වහල්විය යුතු නොවේ. කාමය උල්පන අවිනීත කුණුසරුපයෙන් නොව අවශ්‍ය ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට උපකාරවන අන්දමින් මෙම සඟරාවේ මංගල කළඹ ඔබ අත තබනෙමු”

    1922 පළවෙන ෆ්‍රැන්සිස් මාර්ෂල්ගෙ ෆිසියොලොජි ඔෆ් රිප්‍රොඩක්ෂන් වගේ පොත්වලින් උපුටාගැනීම් පළකරමින්, බ්‍රිතාන්‍ය ආදී රටවල ලිංගික සංස්කෘතිය ගැන විස්තර කරමින් විවාහකයින්ගේ සඟරාව විසින් ලංකාවට සම්පාදනය කරන දැනුම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ඒ වගේම ඒ කාලෙ පාවිච්චි වෙන වචන පවා වෙනස්. උදා විදිහට කන්‍යාසිවිය වෙනුවට ප්‍රශස්ත රජ්ජුව කියල යොදනවා. ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.

    කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා. උපත් පාලනයේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ කාලෙදි උපත් පාලනයත් පවක් හැටියෙන් සළකන ලද වගක් තමයි පේන්න තියෙන්නෙ. විවාහකයන්ගේ සඟරාව විසින් ගබ්සාව පාපයක් වන අතර ගැබ්ගැනීම වැළැක්වීම පාපයක් නොවෙන හැටි පැහැදිලි කරනවා. ගබ්සාව විෂයෙහි පසුගාමී අදහසක් වුනත් ඒ කාලය සම්බන්ධයෙන් වඩා ප්‍රගතිශීලී තැනක මේ සඟරාව වැඩ කරමින් තිබුණු වගක් පේනවා.

    වැදගත්ම දෙයක් තමයි සිරුර සුවඳවත් කරන ආකාරයන් ගැන දැනුම ලබාදීම. ඒ කාලෙ ඩියොඩ්‍රන්ට් වර්ග තිබුනෙ නෑ. ඩියොඩ්‍රන්ට් තියෙන අද කාලෙත් ස්වභාවික ගැමි සුවඳ ගැන වර්ණනා ලියන හෙළයො බොහොමයි. ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා. සම්භෝගයේදි සුගන්ධවත්බවහෙි වැදගත්කම අවධාරණය කරනවා.

    ප්‍රසුතියකින් පසු ලිංගික කාර්යයේ යෙදිය යුතු අන්දම, සැබෑ නිවුන් සහ ව්‍යාජ නිවුන් දරුවන් අතර වෙනස, නපුංසකයන්, ඌන සහ අධිවෘද්ධි ලිංගිකයන් ආදී තත්වයන් ගැන තොරතුරු කියනවා. වැදගත්ම ලිපියක් විදිහට ආගම සහ ලිංගිකත්වය ගැන සාකච්ඡාවක් පළවෙනවා.

    ‘රති කලාවො දුරාතීතයේ නම් ප්‍රමුඛ ආගමික ලක්ෂණයක් විය. පියවි මිනිසුන් බොහෝ සෙයින් මෙම ස්වභාවික රස වරප්‍රසාදය ආගම හා සම්බන්ධ කොට සිරිත් විරිිත් තනාගත් බව පෙනේ. බැබිලොනිය, ග්‍රීසිය, ඉන්දියාව වැනි දේශයන්හිද සමෘද්ධිමත් කාලයන්හි පවා රති පූජාව ආගමික චාරිත්‍රයක්ව පැවතිනි. ශිව ලිංගිය ශුක්‍රයෙන් පූජා කිරීම මෑතක් වන තුරු දකුණු ඉන්දියාවෙ සිරිතක් විය.’

    සියලු පැරණි ආගම් ලිංගිකත්වය බාරගනිද්දී ‍බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය විසින් ලිංගිකත්වය බැහැර කරන ආකාරය මේ ලිපිය පෙන්වා දෙනවා. විනය පිටකයෙ පාරාජිකා පාලියෙන් උදාහරණයක් ගෙනෙමින් භික්ෂුවක් විසින් ස්ත්‍රියකගේ ස්ථානත්‍රයක් සංසර්ගයෙන් සේවනය කළහොත් එය පාරාජිකාවක් වන හැටි කියනවා. ඒ තුන වෙන්නෙ මුඛ මාර්ගය, ගුද මාර්ගය සහ යෝනි මාර්ගය යන තුනයි. ඒ කාලෙ පටන්ම මේ බහු ආකාර සංසර්ග විධි පැවතුනත් අසූගනංවලත් බ්ලෝජොබ් එකක් දෙන්න ලංකාවෙ ගෑනු දැනගෙන හිටියෙ නැති එක පුදුමයක්. බ්ලූ ෆිල්ම්වලට පිං සිද්ද වෙන්න දැන් නම් ඒ අර්බුදය අවසන්.

    විවාහකයන්ගේ සඟරාව වඩාත් නාගරික, ඒ වගේම බටහිර විද්‍යාත්මක දැනුමට නැඹුරු වුණු සඟරාවක් බව පේනවා. මේ දැනුම පරිශීලනය කරපු පිරිස් ගැන යම් වටහා ගැනීමක් ගන්න තිබුණා නම් ඉතා වැදගත් කියල හිතෙනවා. මොනවා වුනත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙමින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙන්න පෙර කාල‍යේදී,  54දි මේ වගේ සඟරාවක් කරන්න මොඩර්න් පොත් සමාගම පෙළඹීම අගය කළ යුතුයි.

    (මේ ස්කෑන් පිටපත් ලබාදීම වෙනුවෙන් නන්දිත බැද්දේගමට අපගේ ස්තුතිය)

  • බිල් මෙලින්ඩා ආදරයක විරාමය

    බිල් මෙලින්ඩා ආදරයක විරාමය

    අවුරුදු 27ක විවාහ ජීවිතයකින් පස්සෙ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් දික්කසාද වෙනවා. එතනදි ඒ ගොල්ලො ඒකෙ හේතුව විදිහට ලස්සන කතාවක් කියනවා.

    ‘අපිට එකට වර්ධනය වෙන්න පුළුවන් කියල අපි තවදුරටත් විශ්වාස කරන්නෙ නෑ’

    ඒ ගොල්ලො දික්කසාද වෙන්නෙ දෙන්නගෙම ජීවිතේ ඉදිරි වර්ධනයට මේ කසාදය ඵලදායී වෙනවද කියන විමසා බැලීමෙන් පස්සෙ. අවුරුදු 65ක් වෙලා, දැන් ළමයි තුන්දෙනත් ලොකුයි, ඉතුරු ටිකත් කොහොම හරි ඔහොම අල්ලගෙන ඉන්නවා කියන කුසීත සම්බන්ධතා ස්වරූපයෙන් මිදිලා ඒ වෙනුවට අලුත් ජීවිතයක් උත්සාහ කරන්න තරමට ඒ දෙන්නම තාම තරුණයි.

    මෙලින්ඩා සහ බිල් කියන්නෙ ලෝකෙ ධනවත්ම යුවළ පහෙන් එකක්. ඒ දෙන්නා වෙන්වීම ගැන ට්විටර් පණිවුඩයක් දාලා තියෙනවා.

    “ගොඩක් දුර සිතා බැලීමෙන් සහ අපේ සම්බන්ධතාවය පැත්තෙන් ගොඩක් දේ උත්සාහ කිරීමෙන් පස්සෙ අපේ විවාහය අවසන් කරන්න අපි තීරණය කළා. එකට ගත කළ අවුරුදු 27දි අපි ඉතාම සුන්දර දරුවන් තුන්දෙනෙක් ලොකුමහත් කළා. ලෝකෙ පුරා මිනිස්සුන්ට නීරෝගී ජීවිතයක් ගත කිරීමට උදව් දෙන පදනමක් ගොඩනැගුවා. අපි තවමත් ඒ මෙහෙවර විශ්වාස කරන අතර පදනමේ වැඩ දෙදෙනාම එකතු වෙලා ඉදිරියට කරගෙන යනවා. නමුත් අපේ ජීවිතේ ඊළඟ අදියරේදී අපට එක්ව වර්ධනය විය හැකි යැයි අපි විශ්වාස කරන්නේ නෑ. අපි අපේ අලුත් ජීවිත ආරම්භ කරන මේ අවස්ථාවේ අපට ඒ සඳහා අවශ්‍ය පුද්ගලිකත්වය සහ ඉඩකඩ ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා”

    මෙලින්ඩා සහ බිල් ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සහ රෝග වැලැක්වීමේ මෙහෙයුම් සඳහා විශාල වශයෙන් ආධාර කරනවා. කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර සොයාගැනීමටත් මේ පදනම විශාල දායකත්වයක් දක්වනවා.

    ගේට්ස් පවුලෙ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ජෙනෆර් අවුරුදු 25යි. රෝරි 21යි. බාලයා ෆෝබි 18යි.

    මෙලින්ඩාට මේ වෙද්දි අවුරුදු 56ක්. එයා කියන්නෙ බිල් එක්ක විවාහ ජීවිතය ඉතාම දුෂ්කර එකක් කියල. මොකද බිල් අවුරුදු 65දිත් දවසට පැය 16ක් වැඩකරනවා. පවුලට කියල වෙලාවක් ඇත්තෙම නැති තරම්.

    ‘විශ්වාස කරන්න, අපේ විවාහ ජීවිතේ සමහර තැන් ඇවිත් තියෙනවා ‘මේක මෙහෙම කරගෙන යන්න පුළුවන්ද ’ කියල හිතෙන තරමට’ මෙලින්ඩා 25වෙනි විවාහ සංවත්සරය සමරමින් ඉන්ටවිව් එකකදි කියල තිබුන.

    1975දි මයික්‍රොසොෆ්ට් පටන් ගන්න බිල් මෙලින්ඩාව මුනගැහෙනකොටත් බිලියනපතියෙක්. එයා අවුරුදු 31දි මෙලින්ඩා එක්ක විවාහ වෙනවා. මෙලින්ඩා කියනවා බිල් එදත් සති ගානක් තිස්සෙ බඳිනවද නැද්ද කියල කල්පනා කරමින් හිටියලු. ඒ මෙලින්ඩා සම්බන්ද ප්‍රශ්නෙකට නෙමෙයි, තමන්ගේ වැඩත් එක්ක පවුල් ජීවිතයක් ගතකරගෙන යන්න ඇත්තටම පුළුවන්ද කියල.

    ‘ගේට්ස්ගෙ දික්කසාදය පවුල් ප්‍රශ්නයක් කියන තැනින් එහාට ගිහින් ලෝකෙ ව්‍යාපාර, අධ්‍යාපන, සෞඛ්‍ය, සිවිල් සමාජ සහ සහන සේවා ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට බලපාවි. ඒක එහෙම වෙන්නෙ අපේ සමාජය විසින් ධනයේ බලයෙන් රජයක් හැටියට තීරණ ගැනීමේ අවස්ථාව මිළට ගන්න පුද්ගලික පුරවැසියන්ට දීලා තියෙන හින්ද’ විනර් ටේක්ස් ඉට් ඕල්’ පොත ලියපු ආනන්ද ගිරිධාරදාස් මේ දික්කසාදය පුද්ගලික තැනකින් එහාට අරගෙන කතා කරනවා.

    ඒ කොහොම වුනත් බිල් සහ මෙලින්ඩා දෙන්නම අවුරුදු 65ක් 55ක් වයසෙදිත් තමන්ගෙ ජීවිතේ ඉස්සරහ ගැන කල්පනා කරනවා. තම තමන්ගේ අනාගත වර්ධනයට තමන්ගේ පවුල් ජීවිතය බලපාන්නෙ කොහොමද කියල හිතනවා. තමන්ගේ ජීවිතයේ ඊළඟ පියවර වෙනුවෙන් ඵලදායී නැති තැනදි සුහදව පරිණතව කතා කරලා සම්බන්ධතාව අවසන් කරනවා. දෙන්නා අලුතෙන් ජීවිත දෙකක් පටන් ගන්නවා.

    ඒක අභියෝගයක්. ඒත් නිදහස් තීරණයක්.

    එකට ඉන්න එක තවදුරටත් තේරුමක් නැත්තං අනුන් වෙනුවෙන් කොහොම හරි එකට ඉන්නෙ නැතුව ගෞරවාන්විතව වෙන්වීමේ වටිනාකම ගේට්ස් යුවළ කියල දෙනවා.