අපි සාමාන්‍යයෙන් අහලා තියෙන, බහුලව විශ්වාස කරන දේ තමයි කසාද බැඳලා ළමයි නැත්තං ඒ පවුල් ජීවිතේ සතුටක් නෑ කියන එක. ඒක හින්දම බැඳපු දවසෙ ඉඳන් පාරෙ හම්බුවෙන මිනිස්සුත් අහන්නෙ ළමයෙක් හදන්නෙ නැද්ද කියල. මේ ගැන දශක ගණනාවක දත්ත ගවේෂණය කරමින් පර්යේෂණ කීපයක්ම සිද්ද වෙලා තියෙනවා. විස්මයට කාරණය වෙන්නෙ ළමයි නැති අය ළමයි ඉන්න අයට වඩා සතුටෙන් ජීවත් වෙනවා කියල මේ පර්යේෂණ මගින් සනාථ වීමයි. දෙමව්පියන් බවට පත්වීම ජීවිතේ නොසතුට වඩන මගක් විදිහටයි ඇත්ත හෙලිවෙන්නෙ.

මේක මේ අද ඊයෙ තත්වයක් නෙමෙයි. 1970 ගණන්වල ඉඳන් ඇත්ත තත්වය පැවතිලා තියෙන්නෙ මෙහෙමයි. ළමයි හදන්න කියල බණ කියන අම්මලා තාත්තලා කියන විදිහටම ලෝකෙ කැරකෙන්නෙ නෑ කියන එක තමයි පේන්න තියෙන්නෙ.

එක පර්යේෂණයක් තමයි 2011 කරපු තෝමස් හැරිසන් පර්යේෂණය. මේ නෝර්වේජියානු පර්යේෂණයෙදි හෙලිවුනා ඇත්තටම දරුවො නැත්තං ජීවිතේ තේරුමක් නෑ කියල මිනිස්සු විශ්වාසයකින් පෙලෙන බව. හැබැයි ඇත්තටම පර්යේෂණය අවසානයේදි පෙනුනෙ ළමයි හින්ද දෙමව්පියන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පහතට වැටෙන බවයි.

ඒ වගේම පවුල් සබඳතා ගැන ජාතික කවුන්සිලය මගිනුත් දත්ත පදනම් කරගෙන මෙටා ඇනැලිසිස් එකක් කළා. මෙතනදි මේ සතුට සම්බන්ධයෙන් නිශ්චිත මිනුමක් ගන්න ඒ අය උත්සාහ කළා. එතනදි ඒ අයට දකින්න තිබුණු දෙයක් තමයි ළමයි නැති පවුල්වල අය අතර වඩා රොමාන්තික සම්බන්ධයක් පවතින බව. කුඩා දරුවන් ඉන්න අම්මලා වැඩිපුරම තමන්ගේ ජීවිතයේ තෘප්තිය අහිමියි කියල කිව්වා. පිරිමි නම් එහෙම විශේෂයක් නැතුවම දරුවෙක් ලැබීමෙන් පස්සෙ තමන්ගේ ජීවිතයේ තෘප්තිමත්භාවයේ අඩුවීමක් ඇති වග සළකුනු කළා.

මේ අතර ඇමරිකානු සමාජ විද්‍යා ජර්නලයේ ප්‍රකාශයට පත්වූ අධ්‍යනයකුත් මේ කාරණය ගැන ගැඹුරෙන් විමර්ශනය කළා. ඒ අය මීට බලපාන ආර්ථික කාරණා ගැන උනන්දු වුනා. එතනදි සංවර්ධිත රටවල ජීවත්වන දරුවන් නැති පවුල්වල අය ඉතා ඉහළ මට්ටමක තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව පේන්න තිබුන.

දරුවන් ඇති අය සහ නැති අය අතර සතුටේ විෂමතාවය ඇමරිකාව වගේ රටවල ලොකුවට තිබුන. ඇමරිකාවෙ ළමයි නැති අයගෙ සතුට ඇති අයට වඩා 12%කින් විතර වැඩියි. අයර්ලන්තය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල තත්වයත් මීට බෙහෙවින් ආසන්නයි.

මෙතනදි පර්යේෂකයන් පැහැදිලිව පෙන්වා දෙන්නෙ ළමයි විසින් නොසතුට ඇති කරනවා නෙමෙයි කියන කාරණයයි. විවිධ කාරණා ගණනාවක් එකිනෙක මත බලපෑමෙන් මේ තත්වය ඇතිවෙනවා මිස එය ළමයා විසින්ම උදා කරන දෙයක් නෙමෙයි කියලයි මේ අය කියන්නෙ.

වඩාත් නොසතුටෙන් හිටියෙ සින්ගල් මම්, නැත්නම් තනිව දරුවෙක් හදාගන්නා මව්වරුයි. ඒ වගේම පහල සමාජ ස්ථරවල මේ නොසතුටේ ප්‍රතිශතය වැඩියෙන් පෙනුනා. ඉහළ සමාජ ස්ථරවලත් දරුවන් ලැබීමෙන් පස්සෙ ඒ අයගෙ සතුට විශාල වශයෙන් අඩුවෙන බවක් දකින්න තිබුන. ඒකට හේතුව ඒ අය දෙමව්පියන් වෙන්න කලින් බුක්ති විඳපු නිදහස විශාල නිසා බව පවුල් සබඳතා පිළිබඳ ජාතික කවුන්සිලය කියනවා.

රටවල් අටක විතරක් ළමයි ඉන්න අය ළමයි නැති අය තරම්ම සතුටකින් ඉන්න වග පෙනුනා. ස්පාඤ්ඤය, නෝර්වේ සහ පෘතුගාලය මේ රටවල් අතර තිබුන. ඒ ගැන හොයලා බලද්දි පෙනුන දේ තමයි ඒ රටවල පවුල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වෙන පහසුකම් සහ විවිධ සහන මේකට බලපානවා කියල.

රජයෙන් පවුල්වලට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් මේ දරුවන් ඇති පවුල්වල නොසතුට යම් පමණකට අවම කරන්න පුළුවන් වග පෙනුනා. දෙමව්පියන්ට වි‍ශේෂ නිවාඩු, දරුවන් වෙනුවෙන් පවුලට ලබාදෙන විවිධ සහනාධාර, අධ්‍යාපනය ආදිය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් පහසු කිරීම ආදිය මගින් යම් සහනයක් මේ තත්වයට ලබාදෙන්න පුළුවන් වෙනවා. ඇමරිකාව තමයි අධ්‍යනයට තෝරාගත් රටවල් අතරින් මේ පහසුකම් ලබාදීම අතින් පහළම තැනක පැවතුනු රට වුනේ.

මෙහෙම පවුල් විශේෂ කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති නිසා දරුවන් නැති පවුල්වලට කිසිම බලපෑමක් ඇති වුනේ නෑ. ඇත්තටම එවන් ප්‍රතිපත්ති නිසා සමස්තයක් වශයෙන් කාන්තාවන්ගේ සතුට ඉහළ යන බවක් පෙනුනා.

දරුවක් ලැබීමෙන් සතුට උපදිනවා කියල පොදුවේ විශ්වාස කළාට දෙමව්පිය සතුට කියන එක ඉතා සංකීර්ණ කාරණයක්. ඒකට බලපාන කරුණු ගණනාවක් තියෙනවා. මෙතනදි දුප්පත්කම නැත්තං සම්පත් හිඟය කියන එක දරුණුවටම බලපෑම් ඇති කරනවා. ඉහළ පාංතික පවුලක වුනත් සම්පත් හිඟතාවයක් ඇතිවෙද්දි සතුට පහළ වැටෙන වග පෙන්නුම් කළා.

තවත් අපූර්ව කාරණයක් වුනේ ස්පාඤ්ඤය වගේ රටවල විස්තෘත පවුල් ක්‍රමය නිසා සතුට වැඩි කරන බවයි. මෙහිදී ඇතිවන දුෂ්කරතා ප්‍රශ්න ආදිය සමූහයක් අතර බෙදී යාමෙන් දොම්නස අඩුවීමක් සිද්ද වෙන බව හිතන්න පුළුවන්.

අනෙක් කාරණය තමයි ළමයි හදන්නෙ කවුද කියන එක. ළමයි ඇත්තටම ඕන අයද කියන ප්‍රශ්නය. ස්පාඤ්ඤය, ඉතාලිය වගේ රටවල දරු සාඵල්‍යතාවය අඩුයි. මේ නිසා දරුවන් අවශ්‍යම අය උත්සාහයෙන් දරුවන් හදනවා. ඒත් ඇමරිකාව වගේ රටක සාඵල්‍යතාවය වැඩියි. ඒ නිසා දරුවන් ඕන නැති අයත් ළමයි හදනවා.

මේ අධ්‍යයන වලදි පෙනී ගිය තවත් දෙයක් තමයි අවුරුදු 50-70 දක්වා වයස්වල දෙමව්පියන් තමන්ගේ දරුවන් නිවසේ රැඳී සිටීම ගැන නොසතුටෙන් පසුවන බව. ළමයි ගෙදරින් පිටව ගොසින් නම් ඒ අයගෙ සතුට වැඩිවුනා.

ඒ වගේම එක ළමයෙක් ඉන්න අම්මලට වඩා ළමයි කීප දෙනෙක් ඉන්න අම්මලා වඩා සතුටෙන් ඉන්න වගත් පෙනුනා. මෙතනදි පවුලක් විදිහට ඇතිවන සාමූහික ප්‍රීතිය විසින් අනෙක් නොසතුටුකම් මකාදානවා කියලයි පර්යේෂකයො අනුමාන කරන්නෙ.

ළමයි හදන විදිහත් මේ සතුටට බලපාන බව ප්‍රකාශ වුනා. ළමයෙක් කියන්නෙ දෙමව්පියන්ට අවශ්‍ය හැටියෙන් අඹා ගත යුතු මැටි පිඩක් නැත්තං, හැඳි ගාලා හදන හොද්දක් කියල හිතන මොඩ්ල් එක අසාර්ථකයි වගේම එයින් දෙමව්පියන්ගෙ ජීවිත පවා විනාශ කරන බවයි ඇලිසන් ගොප්නික් කියන ළමා සංවර්ධන මනෝ විද්‍යාඥවරිය පවසන්නෙ. ඒක ස්වභාවික නොවූ මෙන්ම නරක ප්‍රතිඵල ඇති කරන ආකෘතියක් හැටියෙන් ඇය බැහැර කරනවා.

දෙමව්පියන් හැටියට විඳින සතුටට තමන් මවක් හෝ පියෙක් හැටියෙන් විශිෂ්ටයි කියන හැඟීම තමන්ටම දැනෙන්න උවමනා වග මේ විශේෂඥයන් පෙන්වා දෙනවා. ඒ වගේම ළමයි නැති ජීවිතය අඳුරුයි කියන එක යල් පැනගිය මිත්‍යාවක් බවත් ළමයෙක් හැදීමෙන් සතුට ඇති නොවන බවත් ඔවුන් කියනවා. ඒ සතුට උපදින්න ළමයාට අමතර තව බොහෝ කාරණා එකතු වෙන්න ඕන. වැදගත්ම දේ ළමයෙක් හදන්න කලින් හිතන්න ඕන.