Tag: health

  • ගබ්සාව ඔබේ අයිතියක්

    ගබ්සාව ඔබේ අයිතියක්

    මං ආදරය කරපු මගේ පෙම්වතිය නොහිතපු වෙලාවක ගැබ් ගනිද්දි අපි කසාද බඳින්න හිතලාවත් නෑ. හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා. ටෙස්ට් කරලා බලද්දි පොසිටිව්. දරුවෙක් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැති වෙලාවක්. අපිට ජීවිත ගැන වෙනස් වෙනස් සැලසුම් තිබුන. අපි කසාද බඳියිද කියන එක ගැනවත් නිශ්චිතව හිතලා තිබුනෙ නෑ.

    ගබ්සාවක් ගැන කිසිම දෙයක් නොදන්න කාලයක් ඒක. දන්න හැමෝගෙන්ම විස්තර ඇහුවා. දොස්තරලා කීප දෙනෙක් මුනගැහෙන්නත් ගියා. ඒ අයගෙ අවවාදය වුනෙම දරුවා හදාගන්න කියන එක. ගබ්සාව නීති විරෝධීයි කියන එක. සැලසුමක් නැති දරුවෙක් බිහිකිරීමෙන් අපේ ජීවිත වලටත් දරුවාගේ ජීවිතයටත් වෙන අවදානම ගැන හිතන්න ඒ අයට උවමනාවක් හෝ හැකියාවක් තිබුනෙ නෑ. ගබ්සාව පාපයක් කියන එක දැන හෝ නොදැන උගත් නූගත් හැමෝගෙම හිත්වල පැලපදියම් වෙලා තිබුන.

    රෑට නින්ද නොයන ගානට අපි දෙන්නම බයෙන් හෙම්බත් වෙලා හිටියා.
    දරුවෙක්!! ඒක නිදි නැතුව පේන නපුරු හීනයක්.

    ඊළගට අමාරුවෙන් හොයාගත්ත තොරතුරක් අනුව ගබ්සාවක් කළ හැකි ආරක්ෂිත තැනක් හොයාගත්තා. ඒත් ඒකට යන වියදම අපිට දරන්න අමාරු එකක්. යාලු මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා. කසාද නොබැඳපු යාලුවො සල්ලි දෙන්න බය වුනා. ඒ මේ පාපයට සම්බන්ධ වීමෙන් කවදා හරි උන්ට බැඳලා ළමයි නැති වෙයි කියල. උන් අවවාද තොග පිටින් නොමිලේ දුන්නා.

    අන්තිමට සාප කන්දරාවක් මැද්දෙ ඕන කරන මුදල් හොයාගත්තා. ගබ්සාවක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ගබ්සා පෙති කීපයක් යෝනි මාර්ගය තුලට දැමීමෙන්. අනෙක සුළු සැත්කමක් මගින්. මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි. කළලය බොහෝ කලක් වැඩී තියෙනවා නම් තත්වය බරපතලයි. ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි. ලිංගික එක්වීමක් සිදුවීමෙන් පස්සෙ පීරියඩ්ස් පමාවක් වූ සැනින් පරීක්ෂාව කරගන්න ඕන.

    ගැබ් ගැනීමක් සිදු නොවී ආරක්ෂිත ලිංගික එක්වීමකට නම් තියෙන හොඳම මාර්ගය කොන්ඩම් භාවිතය. පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම උපත් පාලන පෙති සහ අනෙකුත් ක්‍රම බොහොමයක් පැවතුනත් ඒවායින් විවිධ අපහසුතා, සංකූලතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ හෝමෝන වෙනස්කම් ඇතිවීම නොයෙක් ආකාරයේ බලපෑම් ඇතිකරන්න පුළුවන්. (ඒ කිසිවක් සිදු නොවන අයත් ඉන්නවා).

    කොන්ඩමයක් ආරක්ෂිත වුනත් ලිංගික එක්වීමකදි පාවිච්චියට මැළි වීම ස්වභාවිකයි. රේන් කෝට් දාගෙන නානවා වගේ කියලනෙ කියන්නෙ. අවාසනාවට මීට වඩා සාර්ථක ක්‍රමයක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. පොස්ටිනෝ හෙවත් මෝනිං ආෆ්ටර් පිල් කියන්නෙත් නිතර පාවිච්චියට සුදුසු ක්‍රමයක් නෙමෙයි.

    මේ කළලය ඉවත්වීමේ කාලය තරුණ ගැහැණු ළමයෙකුගේ පැත්තෙන් ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ශාරීරික දැනීමට වඩා මානසිකව. සම්ප්‍රදාය විසින් ගොඩනගලා තියෙන බොහෝ සංකල්ප, මතවාද විසින් මේ අවස්ථාව තවත් දරුණු කරනවා. කෙල්ලෙකුට දරා ගත නොහැකි හුදකලාවක් සහ අසරණ බවක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ආදරෙන් ළග ඉඳන් රැකබලාගැනීම පෙම්වතාගේ වගකීමක්. වෙන කාටවත් කියන්න හෝ උදව් ඉල්ලන්න බැරි මේ අවස්ථාවෙදි ඇය ළග ඉන්න. ඇයට ආදරය දෙන්න.

    කිසිම වෙලාවක පවතින සම්ප්‍රදායික විශ්වාස ඇගයුම් නිසා සැලසුම් නොකළ දරුවෙක් හදන්න හිතන්න එපා. පාපයන් සහ ආගමික ඉගැන්වීම් පැත්තකින් තියන්න. තමන්ගේත් අනෙකාගේත් අනාගතය ගැන හොඳින් කල්පනා කරන්න. පුළුවන් නම් විශ්වාසවන්ත, විනිශ්චය නොකරන, ගතානුගතික නොවන කෙනෙක් මුනගැහිලා කතා කරන්න. උදව් ලබාගන්න.

    එකවරක් නෙමෙයි කීප වරක් ගබ්සාව කියන අත්දැකීමට මුහුණ දෙන්න මට සිද්ද වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක සැලසුමක් නැති දරුවෙක් ඉපැද්දවීම කියන එක මම බාරගත්තෙ නෑ. දරුවෙක් කියන්නෙ හොඳින් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන කියල අදත් මම විශ්වාස කරනවා.

    ගබ්සාවක් කියන්නෙ බිහිසුණු, පාපකාරී දෙයක් නෙමෙයි. ඒත් ආශාව නිසා සිදුවන අතපසුවීමකට ගෙවන්න වෙන මිළ අධික වන්දියක්. ඒත් ඒක ආරක්ෂිතව කරන්නත්, ඉන් පසු ජීවිතය නිදහසේ ගත කරන්නත් අවස්ථාව තියෙනවා. අද ලෝකෙ දියුණුයි.

    පුළුවන් තරම් ලිංගික ඇසුරකදි ආරක්ෂාකාරී වෙන්න උත්සාහ ගන්න. අත්වැරදීමක් සිදු‍වුනොත් හොඳින් හිතලා බලලා තීරණ ගන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන්න. අතපසුවීම් සහ වැරදීම් නිසා දරුවන් ලෝකයට බිහි නොකරන්න වග බලාගන්න.

  • ඔයාගෙ කොච්චර දිගද?

    ඔයාගෙ කොච්චර දිගද?

    පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

    කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

    රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

    ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

    පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.

    කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

    1. කාම්බෝජය – අගල් 3.95
    2. තායිවානය අගල් 4.24
    3. පිලිපීනය අගල් 4.27
    4. ශ්‍රී ලංකාව අගල් 4.29
    5. හොංකොං අගල් 4.41
    6. බංග්ලාදේශය අගල් 4.41
    7. තායිලන්තය අගල් 4.51
    8. වියට්නාමය අගල් 4.52
    9. මැලේසියාව අගල් 4.52
    10. සිංගප්පුරුව අගල් 4.54

    ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.

    කෙලින් වුනාම දිගම ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් තමයි මේවා.

    1. ඉක්වදෝරය – අගල් 6.93
    2. කැමරූන් අගල් 6.56
    3. බොලීවියාව අගල් 6.50
    4. සූඩානය අගල් 6.48
    5. හයිටිය අගල් 6.30
    6. සෙනෙගල් අගල් 6.26
    7. ගැම්බියාව අගල් 6.25
    8. කියුබාව අගල් 6. 25
    9. නෙදර්ලන්තය අගල් 6.25
    10. සැම්බියාව අගල් 6.21

  • කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳද?

    කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳද?

    මේක ඇත්තටම අහන්නවත් වලංගු ප්‍රශ්නයක් නෙමෙයි. කසාදෙට කලින් සෙක්ස් නොකරන්නෙ කවුද? කසාදයයි සෙකසුයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද? ඇත්තටම මේ මාතෘකාවෙ ප්‍රශ්නෙ වික්ටෝරියානු ප්‍රශ්නයක්. 1940 ගණංවල තත්වයක්. 1960න් පස්සෙ ලෝකෙ සෙක්ස් කියන එක වෙනස් වෙනවා. උපත්පාලන ක්‍රම දියුණු වෙනවත් එක්ක සෙක්ස් සහ ළමයි හැදීම කියන කාරණය දෙකක් වෙනවා. ආපහු HIV අවදානම එනකල් මිනිස්සු තමන්ගේ ජීවිත උපරිමෙන් බුක්ති විඳිනවා. ආගමික ප්‍රජාවත් කොයිතරම් අසාර්ථක වුනත් තමන්ගේ සෙක්ස් යටපත් කිරීමේ ව්‍යාපෘතිය අතාරින්නෙ නෑ. කොහොමෙන් හරි ගබ්සාවට විරෝධය පවත්වා ගනිමින් මිනිස්සුන්ගේ සෙක්ස් කොන්ට්‍රෝල් කිරීමේ තමන්ගේ ලෝකෝත්තර කාර්යය ඒ ගොල්ලො කරගෙන යනවා. සිවුරුකාරයො කොන්‍ඩම් මැෂින් ගිනි තියනවා.

    මේ වෙද්දි බටහිර රටක නම් අවුරුදු 20 වෙද්දි 75%‍ට වැඩි පිරිසක් ලිංගිකව හැසිරිලා තියෙනවා. ලංකාවෙත් හරි පර්යේෂණයක් නැතත් ප්‍රතිශතය මීට ආසන්න වෙන්න ඕන. කසාද බඳින්න කලින් කිසිම කෙනෙක් ඇසුරු නොකරපු ‍ගැහැණියක් හෝ පිරිමියෙක් කියන්නෙ ටිකක් අමුතු තත්වයක්. ඒක සුදුසුකමකට වඩා නුසුදුසුකමක්.මේක 1960න් පස්සෙ ඇතිවුනු විනාශකාරී තත්වයක් විදිහට මතයක් තිබුණත් පර්යේෂකයො පෙන්නලා දෙනවා 1940 ගනං වලත් මේ තත්වය මේ විදිහටම පැවතුනා කියල. සමාජය ඒක විවෘතව බාරනොගැනීම විතරයි වෙනස.

    මේ කතාව ගැන ලියන්න හිතුනෙ මෑතක ලිංගික අධ්‍යාපනය සම්බන්ධ සාකච්ඡාවකදි මට අහන්න ලැබුනු වෛද්‍ය මතයක් හින්ද. එතනදි මහජන සෞඛ්‍ය අංශයේ ප්‍රවීනයෙක් කියා හිටියෙ කසාද බැඳපු අයට පමණක් ලිංගිකව හැසිරීමේ ආරක්ෂිත ක්‍රම ප්‍රචාරය කළ යුතු බවත් කසාදයට පෙර නම් ලිංගිකව හැසිරෙන්න එපා කියන එක දැඩිව සමාජගත කළ යුතු බවත්.

    මේක විද්‍යාත්මකද කියල ඒ වෙලාවෙ මං ප්‍රශ්න කළා. මං එහෙම ඇහුවෙ අපි යමක් විද්‍යාත්මකයි කියන්නෙ ඒක අපි පිලිගන්නා වටිනාකම්වලින් තොර නම් විතරයි. ඒකට අපි කියනවා ‘වැලියු ෆ්‍රී’ කියල. බොහෝ විට විද්‍යාව කියල අපිට උගන්වන කාරණා පිටිපස්සෙ පරණ සාම්ප්‍රදායික ඇදහීම් තියෙනවා. ලංකාවෙ දොස්තර පාදෙණිය කියන්නෙ මේකට ජීවමාන උදාහරණයක්. විද්‍යාව උපදේශකයෙකු වන තිස්ස ජනනායක තවත් ඒ වගේ කෙනෙක්. ලංකාවෙ අන්-බයස්ඩ් සයන්ස් කතා කරන අය ඉන්නෙ අතේ ඇඟිලි ගාණටයි. කාලෙකට කලින් විද්‍යාවෙන් කිව්වා සමලිංගිකත්වය රෝගයක් කියල. ඒක මෑතක් වෙන තුරු ලංකාවෙත් උගන්වමින් තිබුන. ඒක තනිකරම විද්‍යාත්මක නොවන නමුත් විද්‍යාත්මක සහතිකය ඇතුලෙන් ප්‍රචාරය කරන ආගමික අගතියක්. කසාදයට කලින් ලිංගිකව හැසිරීමෙන් වැලැක්වීමත් ඒ හා සමානම ක්‍රියාවක්.

    මේ වගේ පිළිවෙත් නිසා සමාජයේ මිනිස්සු පීඩාවට පත් කරන අගතීන් නඩත්තු වෙනවා. විවාහය කියන්නෙ විද්‍යාත්මක සංසිද්ධියක් නෙමෙයි. ඒක තනිකරම සංස්කෘතික කාරණයක්. ඒ වගේම විෂම ලිංගික නිර්මාණයක්. සමලිංගික විවාහ තාමත් අපේ වගේ රටවල නීතිගත නැති තත්වයක් තියෙන්නෙ. ඒ වගේම අවුරුදු දොලහෙදි පමණ ලිංගික හැඟීම් උපදින ජීව විද්‍යාත්මක වෙනස්කම් සිදුවන දරුවෙක් විවාහයට පත්වෙන්නෙ අවුරුදු විසි අට හෝ තිහ නැත්නම් ඊටත් පස්සෙ. (අඩු වයස් මුස්ලිම් විවාහ හැර). ඒ අතර තුර කසාදය තෙක් පතිවත රැකීම විද්‍යාත්මක අර්ථයකින් ප්‍රවර්ධනය කිරීමෙන් වෙන්නෙ වක්‍රාකාරයෙන් කන්‍යාභාවය පිළිබඳ සියලු තත්වයන්වලට උඩගෙඩි දීමක්. ලිංගික අධ්‍යාපනය බෙදාහරින පිරිස් මේ විදිහෙ සංස්කෘතික අන්ධභාවයකින් හැසිරීම ඉතාම අවාසනාවක්.

    ඒ වගේම සෙක්ස් කරන්න අවශ්‍ය නිසා කසාද බඳින්න සිද්ද වෙන එක මොන අපරාදයක්ද? කසාදය ප්‍රවණතාවයක් හැටියට අඩුවෙමින් යන තත්වයක් පෙන්නුම් කරන්නෙ. තරුණ පිරිස් විශේෂයෙන් කාන්තාවන් තමන් ගත කරන අලුත් ජීවිත තත්වයන් එක්ක කල්පනා කරනවා කසාදයක් තමන්ට අවශ්‍යද කියල. කසාදය විසින් ආකර්ශනීය ජීවිතයක් නූතන පරම්පරාවට පිළිගන්වන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒත් කසාද බඳින්න අකමැතියි කියන්නෙ සෙක්ස් කරන්න අකමැතියි කියන එක නෙමෙයි.
    ලංකාවෙ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතිවලට බොහෝ විට ආධාර ලැබෙන්නෙ වෙනත් රටවල ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් හරහායි. මේ ව්‍යාපෘති ලංකාව තුල දියත් කරන්න ඒ අයට සිද්ද වෙනවා විවිධ රජයේ වෛද්‍ය කණ්ඩායම් එක්ක කටයුතු කරන්න. ඒ අයගෙ අධීක්ෂණය යටතෙයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ. ඒකෙ අදහස වඩා නිවැරදි තොරතුරු සමාජගත කිරීම වුනත් ඇත්තටම එතනදි සිද්ද වෙන්නෙ සදාචාර සීමාවන් මතින් තොරතුරු වාරණය කරන එකයි. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මේ දුක්ඛදායක යතාර්ථය හිතාමතා නඩත්තු කරන ආගමික එකක්.

    ඇබ්ස්ටිනන්ස්- ඔන්ලි ඒ කියන්නෙ ලිංගික ක්‍රියාවෙන් වැලකී සිටීමේ අධ්‍යාපනය පමණක් තරුණ පිරිස්වලට ලබාදීම නීතිවිරෝධී විදිහටයි ලෝකෙ පිලිගන්නෙ. එක පැත්තකින් සියලු පර්යේෂණ මගින් ඒක අසාර්ථක ක්‍රමවේදයක් බවට ඔප්පු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒක තමන්ගේ අගතීන් පාවිච්චි කරමින් තරුණ පරපුරේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ඔවුන්ගේ ලිංගිකව එක්වීමට ඇති අයිතිය යන දෙකම බාධාකරන බවට ඇමරිකානු අධිකරණයෙන් පිලිඅරන් තියෙනවා. ඒත් ලංකාවෙ මේක අපි දිගටම කරගෙන යනවා.
    කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජ රෝග, පසුතැවීම්, සිත්රිදීම්, මානසික ආතතිය, ලැජ්ජාව ආදී කාරණාවලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ තත්වය ‍මොනොගමික කසාදය තුල නොපවතින ඕනම විෂම ලිංගික සම්බන්ධතාවයකට පොදුයි. කොන්ඩමයක් පැළඳීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් සිදුවිය හැකි ආපදා සියල්ල මැනවින් කළමනාකරණය කරගන්න පුළුවන් අතර අනෙක් මානසික ආපදා ඇත්තෙන්ම ජීවිතය විඳින්න නම් අවශ්‍ය ඒවා වෙනවා.

    තාමත් අපිට හොඳ උපත් පාලන ක්‍රමයක් නැතිවීමේ අවාසිය තියෙනවා. කොන්ඩමය හැරුනු කොට අන් සියලු උපත් පාලන ක්‍රම කාන්තාවන් ඉලක්ක කරගන්නවා. ඒ අයගෙ හෝ‍මෝන එක්ක සෙල්ලං කරනවා. බොහෝ විට සාර්ථක වුනත් මූඩ් ස්වින්ග්ස් සහ තරබාරු වීම් ආදී තත්වයන්ට මුහුණ දෙන්න සිදුවන කාන්තාවො ඉන්නවා. ඒ වගේම මෝනිං ආෆ්ටර් පිල් හෙවත් ලංකාවෙ නම් පොස්ටිනො කියල හඳුන්වන පෙති පාවිච්චිය ශීග්‍රයෙන් ඉහල යාමක් දකින්න තියෙනවා. ඒකෙ අදහස තරුණ පිරිස් නිතර මේ පෙති මත පවතින තත්වයක් ඇතිවෙලා කියන එක. ඉතාම හදිසි තත්වයක් යටතේ පාවිච්චි කරන්න නියමිත මේ පෙති නිතර පාවිච්චියෙන් නරක ප්‍රතිඵල ඇති කරනවා.ලිංගික නිදහස ඇත්තටම විඳින්න තියෙන එකම මග කොන්ඩම් එකයි. ඒකෙන් නිරුවත් සතුට පිළිබඳ හැඟීම තරමක් අඩු කළත් දෙන්නාටම සමානව පසු ආපදාවලින් තොරව සතුටු වෙන්න පුළුවන්.

    මේ හැරුනු විට කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් වැලකෙන අය ගැන කරපු පර්යේෂනවලදි ඒ අය වඩාත් පක්ෂපාතී, දිගුකාලීන සම්බන්ධතාවලට නැඹුරු, දික්කසාද වීම් අඩු අය බව පෙනී ගිහින් තියෙනවා. ඒත් මේ ගැන නැවත අභියෝග කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ මේ දත්ත ඉතාම විකෘතිසහගත බවයි. ඒ වගේම කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් වලකින පිරිස එන්න එන්නම කුඩාවෙමින් යන අතර ‍එවන් සුලු ප්‍රතිශතයකින් මෙවන් නිගමනවලට එළඹීම විද්‍යාත්මක නෑ කියල ඔවුන් පෙන්වා‍ දෙනවා.

    ඒ කොහොම වුනත් මේ කියන ප්‍රතිඵල පොසිටිව් ඒවා නම් නෙමෙයි. කසාදයෙහි දැඩිව එල්ලී සිටින, සියල්ල සඳහා අනෙකා මත පදනම් වෙන, දික්කසාදයක් දරාගැනීමේ ශක්තිමත් මානසිකත්වයෙන් තොර, දුර්වල පුද්ගල පෞර්ෂයන් නිර්මාණය වෙන බවක් තමයි එතන පේන්න තියෙන්නෙ. ඒ වගේම තමන්ගේ එකම ලිංගික අත්දැකීමෙන් තෘප්තිමත් වීමත්, එය කුමක් වුනත් බාරගෙන ඉදිරි ජීවිත කාලයම එලෙසම පැවතීමත් වඩා ළංවෙන්නෙ වහල්බවකට මිස ආදරයකට නෙමෙයි. එතනදි අපි තෝරාගැනීම කියන කාරණය අහිමි කරනවා.සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ දෙයක්. සෙක්ස්වලින් ඩෝපමින්, ඔක්සිටොසීන් ආදී රසායනයන් මුදාහරිමින් අපිව සතුටට, සැනසිල්ලට පත් කරන අතර අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කරනවා. අපිව නිරෝගී කරනවා. අපි ෆේස්බුක් වගේ කලාපයකට ආවම දකින්න තියෙන දේශපාලනය, වාද විවාද, අපහාස, අවලාද, සෙල්ෆි සටන් බොහොමයක් ලිංගික අතෘප්තිමත්භාවයේ ප්‍රතිඵල. හැබැයි ජීවිතේ අනිත් හැමදෙයක්ම වගේ සෙක්ස් වලින් මේ හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න නම් ඒක අර්ථවත් සම්බන්ධයක් වෙන්න ඕන. නැත්නම් හිස්කමක්, මානසිකව බිඳවැටීමක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මිකව, මානුෂිකව පිරුණු අත්දැකීමක් වෙන්න ඕන.

    එහෙම නැතුව අපි දකින දකින අය එක්ක සෙක්ස් කරනවා නම් ඒකට අපි කියනවා ජන්ක්-සෙක්ස් කියල. හරියට ජන්ක් ෆුඩ් වගේම ඒකෙන් අපිට නරක ප්‍රතිඵල අත්කරලා දෙන්න පුළුවන්. ඒක හුදු ඇබ්බැහියක්, නොනවතින් පරිභෝජනයක් විතරයි. ඒ සතුට හරියටම අපි මතට ඇබ්බැහි වීමක් වගේ. මොහොතක තෘප්තිය සහ නතර නොවන හඹායාමක්. ඒ වෙනුවට සෙක්ස් කියන්නෙ අපි සවිඥානකව යෙදෙන සිරුරෙන් සහ මනසින් විඳින අත්දැකීමක් බවට පත් කරගන්න ඕන. ඒක අපිව පොහොසත් කරන දෙයක් වෙන්න ඕන. නිරෝගී ලිංගික ඇසුරක් කියන්නෙ ඒකට.

    ලිංගික අධ්‍යාපනය කියන්නෙ එවන් නිරෝගී ලිංගික ඇසුරකට අවශ්‍ය දැනුම ලබාදෙන එකටයි. නැතුව ‍රෝගී සමාජයක් පවත්වාගෙන යන එකට නෙමෙයි.

  • ජංගි හොරාට මල් මල් ජංගියක්

    ජංගි හොරාට මල් මල් ජංගියක්

    සෝමරත්න දිසානායක ජංගි හොරා කියන නමෙන් ෆිල්ම් එකක් දැම්මම මුලින්ම මං සතුටු වුනේ සෝමරත්න වැඩිහිටියෙක් වීම ගැනයි. මෙච්චර කාලයක් සෝමෙ මාමා කිය කිය ළමා චිත්‍රපටකරුවෙකුට ඇඳගෙන හිටියට සෝමරත්න දිසානායක කිසි දවසක ළමයින්ට චිත්‍රපට කලේ නෑ කියන එකයි මගේ අදහස. එයාගෙ චිත්‍රපටිවලින් කලේ වැඩිහිටියන්ව ළමයි කරන එක. ලොකු අය විසින් ළමයින්ට පෙන්විය යුතු යැයි හිතන දේවල් චිත්‍රපටවලට ඇමිනීමෙන් පවුල් පිටින් හෝල්වලට ගේන්න පුළුවන් තත්වයක් සෝමරත්න හදාගත්තා. ඒවා පන්සල් ගානෙ ඉස්කෝල ගානෙ පෙන්නුවා.

    සෝමරත්න දිසානායක කියන්නෙ මහින්ද චින්තන සිනමාවෙ පුරෝගාමී චරිතයක්. ඒ සිනමාව කියන එක නිර්මාණය වුනෙම අපේ 2500ක සංස්කෘතිය සදාචාරය කියල එකක් උඩදාන්න සහ රාජ පාක්ෂිකභාවය ඇති කරන්න. මොකද ඒ කාලෙ අපිට හිටියෙ ර‍ජෙක්.

    මේ සංස්කෘතික කතිකාව ගොඩනැගුනෙම ලිංගිකත්වය යටපත් කිරීම හරහා. කිසිම සරාගී අනුරාගී කලා කතිකාවක් මතු නොවන යුධ වින්දන ආකෘතියක (විදර්ශනගේ වචන). මේ යටපත් කරපු සෙක්ස් තමයි ජාතික හැඟීම විදිහට ඉස්සරහට ආවෙ. ඒ හින්ද ජනතාවට වඳ කොත්තු, වඳ බ්‍රා හීනෙං පේන්න පටන් ගත්තා. තමන්ගේ පුරුෂභාවය අඩුවෙයි කියලා හෙළ පිරිමි බයවුනා. ගඟ පලාගෙන පත නයි වඩින්න ගත්තා. ඒ කාලෙ ජනප්‍රිය වුනු ඕනම සංසිද්ධියක් අරන් බැලුවොත් ඒවා සමාජයේ ලිංගිකත්වය පාගා දැමීම හින්ද ඇති වුනු රෝග ලක්ෂණ බව තේරුම් ගන්න අමාරු නෑ. ඒ සිනමාවෙ උවමනාව වුනේ රටම ළමයින් බවට පත් කරන එක. සිනමාව ටීවී එක වගේ පවුලම එකට හිඳ නරඹන එකක් කරන එක. ලංකාවෙ සමස්ත සිනමා ඉතිහාසයම ඇතුලෙ ලිංගිකත්වය පූර්ණ මර්දනයක පැවතුනු යුගය ඒක. මැදගොඩ අබේතිස්සලා ඒ නෂ්ටකාම යුගයේ නිර්මාණ. ඒ කාලෙ කාමය යනු රාජපක්ෂලාට සහ ඊට පක්ෂලාට පමණක් හිමි වරප්‍රසාදයක් වුනා. අනිත් හැමෝටම උරුම වුනේ අතීතකාමය විතරයි.

    දැන් සෝමරත්න වැඩිහිටි චිත්‍රපටයක් කරනවා. ‘පුතේ දුවේ සෝමෙ මාමාගෙ මේ ෆිල්ම් එක ඔයගොල්ලො බලන්න එපා’ කියනවා. පවුලේ සිනමාව පමණක් විශ්වාස කරපු එයා වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටියක් හදනවා. එච්චරක් ඇති. මං ඊට වඩා කිසි දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.

    ලංකාවෙ මහා සිනමා ප්‍රේක්ෂාගාරය හිමි දැවැන්තම සිනමාකරුවා තමයි සෝමරත්න. එයා තනියම වුනත් කර්මාන්තමය මුහුණුවරකින් ඒක පවත්වාගෙන යාමේ ලොකු උත්සාහයක් දරනවා. සෝමරත්නගෙ ෆිල්ම් ලංකාවෙ ‘මාස්’ එකට කතා කරනවා. ඉතින් සෝමරත්න වැඩිහිටි වෙනවා කියන්නෙ ලංකාවෙ ‘මාස්’ එක වැඩිහිටි වෙනවා කියන එක. ඒක හින්ද මං සතුටු වුනා.

    ඇඩ්වලින් පෙනුනු විදිහට සෝමෙ තෝරගෙන තිබුනෙ ඉතාම ආරක්ෂිත කලාපයක්. මානසික රෝගයක් යටින් අතදාලා සෙක්ස් ටිකක් අතපත ගාන එක. වල් නමක් ගාගන්නෙ නැතුව ගානත් හොයාගන්න පුළුවන්. මුලින් ජංගිහොර කියල දාපු නම ටික ටික අන්ඩර්පෑන්ට් තීෆ් වෙද්දි මට මගේ විශ්වාසය තවත් තහවුරු වුනා. මං ෆිල්ම් එක බලන එක කල් දදා හිටියෙම බැලුවා කියල ඇති වැඩක් නැති හින්ද. ෆිල්ම් එක තියෙන්නෙ තිරයෙන් පිටත කියල හිතුන හින්ද.

    අන්තිමට බදාදාවක හවස හතරට විතර ජංගි හොරා බලන්න මං ජංගි නැතුව රොක්සි එකට ගියා.

    චිත්‍රපටිය බලන් ඉඳිද්දි මගේ පූර්ව නිගමන එකින් එක බිඳවැටෙන්න පටන් ගත්තා. ජංගි හොරා කියන්නෙ මානසික රෝගයක් ගැන චිත්‍රපටයක් නෙමෙයි. ඒක තමයි ලංකාවෙ පළවෙනි සෙක්ස් කෙ‍ාමඩි ෆිල්ම් එක වෙන්නෙ. මානසික රෝග තත්වයක් අරගෙන ‍සෝමරත්න ඒක කොමඩියක් දක්වා එක්සැජරේට් කරනවා. බලන වියත්තු ගොඩක් මේ මානසික රෝගයේ යතාර්ථය හොයන්න යනවා. ඒත් සෝමෙ කරන්නෙ වෙන වැඩක්.

    අපේ සිනමා ඉතිහාසය ගත්තොත් හැමදාම ලංකාවෙ සිනමා තිරය උඩ ලිංගිකත්වය නිරූපනය වුනේ මහ භයානක දෙයක් විදිහට. ලෝක විනාසයක් හැටියට. ගොඩක් වෙලාවට ඒක බලහත්කාරයක් හෝ දූෂණයක්. තනිකරම පුරුෂ කේන්ද්‍රීය තෘප්තියක්. ගැහැණියක් තමන්ගේ ආශාව තෘප්තිමත් කරගැනීමක් ගැන අපේ චිත්‍රපටයක කතා කරලා නැති තරම්. විවෘත ආර්ථිකයෙන් පස්සෙ වුනත් සෙක්ස් සහ භයංකාරය අතර තියෙන සම්බන්ධය කිසිම විදිහකින් බිඳුනෙ නෑ. විකල්ප සිනමාකරුවන් පවා ලිංගිකත්වය නිරූපණය කළේ ස්ත්‍රිය යටපත් වන, කෙලෙසෙන, පාවිච්චි වෙන රාමුව ඇතුලෙමයි. සමහර විට ඒක ලංකාවෙ බහුතර යතාර්ථය හින්ද වෙන්න ඇති. කසාද ජීවිත ඇතුලෙත් දිනපතා සිද්ද වෙන දූෂණයක් නැත්නම් ඉන් පිට කරන රැවටීමකට වඩා ‍දෙයක් සෙක්ස් ඇතුලෙ නොවිඳින ජනතාවකගේ සිනමා කැඩපත ඒක.

    ලංකාවෙ චිත්‍රපටයක පළවෙනි වතාවට ලිංගිකත්වය පොසිටිව් දෙයක් විදිහටත්, කලාත්මක දෙයක් විදිහටත් ගනිමින් සෙක්ස්වලදි ස්ත්‍රියගේ තීරණ ගැනීමේ අයිතිය ඉස්මතු කරන්නෙ ජංගි හොරා චිත්‍රපටිය. සිනමාවට අවුරුදු හැත්තෑපහක් ගතවුනා ලිංගිකත්වය පිළිබඳ අන්ධකාරයෙන් ගැලවෙන්න. පුදුම හිතෙන කරුණ වෙන්නෙ අවුරුදු හැත්තෑ පහකට පස්සෙත් ඒක කරන්නෙ මහින්ද චින්තන සෝමරත්න. ලංකාවෙ සිනමා ඉතිහාසය තුල බිහිවුනු ප්‍රෝග්‍රෙසිව්ම චිත්‍රපටය ජංගි හොරා කියලයි මං හිතන්නෙ.

    මේ අවුරුද්දෙ අපේ සිනමා දැවැන්තයන් දෙන්නෙක් ශෘංගාර කලාපයට අවතීරණ වුනා. උදයකාන්ත කලින් අතෑරපු තැනින් ආපහු වැඩේ පටන් ගත්ත අතර සෝමරත්න අලුතෙන්ම වැඩිහිටි වුනා. මෙතනදි උදයකාන්ත තමන්ට හුරු රොමැන්ටික් ත්‍රිලර් ආකෘතිය ගන්නවා. සෝමරත්න ලංකාවටම ආවේණික සෙක්ස් කොමඩි හැඩයක් නිර්මාණය කරනවා. පළවෙනි වතාවට රටක ජොන්රා අත්හදා බැලීමක් කරනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.

    මේක සෝමෙගෙ අනිත් ෆිල්ම් එක්ක බලද්දි ලෝබජට් වැඩක්. කතාව තියෙන්නෙ සීතල කඳුකර පැත්තක බංගලාවක් අයිති අමුතු ලිංගික ආතතියකින් පෙලෙන සෑම් කියන තරුණයෙක් ගැන. ෆිල්ම් එක පටන් ගන්නෙමත් සෑම්ගෙ නෑනා අපි කාට වුනත් හොරකම් කරන හිතෙන ජංගි දෙකක් රෙදි වැලෙන් ගන්නවා සෑම් බලන් ඉන්න තැනින්. සෑම්ට කෙල්ලෙකුගෙ ජංගියක් දැක්කම ඇතිවෙන හැඟීම පාලනය කරන්න බෑ. එයාව වෙව්ලන්න ගන්නවා. එයාට මිරිකන්න හිතෙනවා. ෆේස්බුක් එකේ අපි දකින ලංකාවෙ බහුතරයකටත් මේ ජංගි දැක්කම වෙව්ලන ලෙඩේ තියෙනවා. ඒ ගොල්ලො ඒ වෙව්ලිල්ලට බනිනවා, විවේචනය කරනවා, ලියුම් ගහනවා . එහෙම කරලා තෘප්තිමත් වෙනවා. හැබැයි සෑම් ඒ ජංගිය අල්ලලා බලනවා.

    සෑම්ගෙ මේ ආසාව විවෘත එකක්. භයානක හිංසාකාරී රෝගයක් නෙමෙයි. ඒක බලන් ඉන්න අපිට විනෝදයක්. මේ ජංගි ආතතියෙන් සෑම්ව මුදවගන්න තමයි දිල්හානි ඒ කියන්නෙ අයියගෙ බිරිඳ උත්සාහ කරන්නෙ. සෑම් ජංගි හොරකමට අමතරව කරන්නෙ ගිටාර් ගහන එක. එයා ගෑනුන්ගෙ පියයුරු අල්ලන්නත් ආසයි (අපි හැමෝම වගේ). අපි මිරිකද්දි සෑම් පියයුරු වාදනය කරනවා. එයාට ඒවා ගිටාර් තත් වගේ.

    සෝමරත්න මෙතනදි ලස්සන වැඩක් කරනවා. පියයුරක් ස්පර්ශ කිරීම ගැන තියෙන අපේ සාමූහික වනචර අදහස වෙනස් කරනවා. ඒක ගිටාර් තතක් වයනවා වගේ ලස්සන වැඩක් කරනවා.

    මේ සෑම්ගෙ නෑනත් කලාත්මක හැඟීම් තියෙන කෙනෙක්. එයා නටන්න ආසයි. සෑම් වයන්න ආසයි. නෑනා සම්මතයේ සීමාවන් ඉක්මවා ගිහින් සෑම්ගේ ආශාව සංතර්පනය කරනවා. සෑම්ගෙ පාලනය කළ නොහැකි ආශාව පාලනය කළ හැකි එකම ගැහැණිය බවට පත්වෙනවා. ඇත්තටම ජංගි හොරා කියන්නෙ විපරීත සෑම් සහ අයියාගේ බිරිඳ අතර ඇතිවන ප්‍රේමයේ කතාව. සෝමරත්න සෙක්ස් රොමාන්තික කරනවා.

    සෑම්ගේ අකීකරු ආශාව කීකරු කළ හැකි එකම ශරීරය බවට නෑනා පත්වෙන මේ ප්‍රේම කතාව අවසාන වෙන්නෙ අයියා සහ මල්ලි දෙදෙනා සමගම විවෘතව නිරුවතින් හැසිරෙන තෘප්තිමත් ගැහැණියක් නිර්මාණය කිරීමෙන්. එක පැත්තකින් සෙක්ස් කියන්නෙ බෙහෙතක් ගානට අරන් එන ගමන් සෝමරත්න සෙක්ස් සම්බන්ධ විපරීතයන් මානසික රෝග හැටියෙන් පිටස්තර නොකර සම්මතයන් එහා මෙහා කරගනිමින් විසඳාගැනීමක් යෝජනා කරනවා. සම්මතයෙන් රෝගී වෙන තත්වයන් අසම්මතය තුල ප්‍රේමනීය බවට පත්වෙනවා.

    අන්තිමට නෑනා විවෘතව සෑම් සමග සබඳතා පවත්වන අතරම අයියා සමග දරුවන් හදන හැටි ගැන සිහින දකින විසල් මිනිස් ගැහැණියක් වෙනවා. කුහකකම, දෙබිඩිකම අහෝසි කරනවා.

    ලිංගිකත්වය සම්බන්ධ කුහකකම නිරූපණය කරන්නෙ මෙහෙකාරිය වන කරුණාගෙ චරිතයෙන්. එයා දෙබිඩි විදිහට සදාචාරය සහ අපචාරය අතර සෙල්ලම් කරමින් සෑම්ගෙ ලිංගික අසහනයෙන් සල්ලි කඩා ගන්නවා. නෑනා මේ දෙබිඩිකම කුඩුපට්ටම් කරනවා. සෑම් තමන්ගේ නිරුවත් පියයුරු ස්පර්ශ කරන හැටි බලන්න කරුණාටත් එන්න කියනවා. සෝමරත්න අලුත් සදාචාරයක් යෝජනා කරනවා.

    සෝමරත්න නිර්මාණය කරන ඇතැම් ශෘංගාර දර්ශන හිරිගඩු පිපෙන තරම් තීව්රයි. එක තැනක අයියා සමග ලිංගිකව හැසිරෙන නෑනා එයාගෙ යට ඇඳුම ගලවලා මල්ලිට ගන්න ලේසි තැනක තියනවා. මල්ලිට පේන්න අයියා එක්ක ලිංගිකව හැසිරෙනවා. අයියා කලබල වුනාම ‘එයා බලන් හිටියම මොකද’ කියල අහනවා. ඒ සියලු සම්මත විපරීතයන් ආදරය ඇතුලෙ සොඳුරු බෙදාගැනීම් බවට පෙරලනවා.

    මේ කිසි දෙයක් සෝමරත්න කරන්නෙ බරසාර විදිහට නෙමෙයි. ඉළ ඇදෙන දෙබස් එක්ක. චිත්‍රපටය පුරාම දිවෙන්නෙ හාස්‍යය. ලංකාවෙ ශෘංගාර සිනමා උත්සාහයන් වලදි ගොඩක් වෙලාවට ජයගන්න බැරි අභියෝගයක් වන ‘සොෆිස්ටිකේටඩ් බියුටි’ කියන කාරණය මගහරින්න සෝමරත්න හාස්‍යය ඇතුලෙන් පාරක් හොයාගන්නවා.

    අපේ සිනමාවෙ සාමාන්‍ය ලිංගික දර්ශන පෙන්නද්දි ගස්වලට, ජනෙල් තිරවලට කැමරාව හරවන බයගුළුකම ජංගිහොරාගෙ නෑ. සෝමෙ නිරුවත දිහා බය නැතුව බලනවා. මේ දර්ශන වෙනුවෙන් එඩිතරව පෙනී සිටීම ගැන බුද්ධි රන්දෙණියට සහ හේලිට ගෞරවය හිමිවෙන්න ඕන. ලංකාව වගේ රටක කැමරාවක් ඉස්සරහ ඇදුම් ගලවනවා කියන්නෙ ගෑනියෙකුට ලොකු ගටක් තියෙන්න ඕන වැඩක්.

    ගොඩක් අය මැසිවිලි කිව්වෙ දිල්හානි තමන්ගේ පියයුරු නොපෙන්නීම ගැනයි. දිල්හානි කියන්නෙ අපේ පරම්පරාවෙ බහුතරයකගෙ අනුරාගී සිහින උල්පතක්. ඒ ප්‍රතිරූපය අපි වෙනුවෙන් ඉතුරු කරන එක දිල්හානිගෙ වගකීමක්. වයසත් එක්ක ඒ අපි සිහින පයෝධර අනුහස වියැකී ඇත්නම් ජංගි හොරා වෙනුවෙන් ඒවා නොපෙන්නා සිටීම ගැන දිල්හානිට ස්තුතිය පළකරන්න ඕන. දිල්හානි නිරුවත් වෙනවා දකින්න ආසාවෙන්ම ෆිල්ම් එක බලන්න ආපු අයගේ ආශාව අනිත්‍ය පිළිබඳ වැටහීමක් බවට පත් නොකර ගෙදර අරන් යන්න දීපු එක ඉතා වටිනවා.කතාවෙ මුල ඉඳන් ජංගිය වෙනුවට පෑන්ටිය හෝ නොකියා ඉතාම ආගන්තුක විදිහට අන්ඩර්පෑන්ට් කියන වචනය යොදන හේතුව නම් හිතාගන්න අමාරුයි. මොකක් හරි හින්ද මුල ඉඳන්ම ජංගියට වාරණයක් තිබිලා තියෙනවා.

    සෑම්ගේ සහ නෑනාගේ අමුතු ප්‍රේමය මුහුකුරා යද්දි සෑම් බලන් ඉන්නෙ ඇඳුම් වැල දිහා. ඒ තමයි සෑම්ගෙ ආලකමන්දාව. ඇඳුම් ඔක්කොම අරගෙනත් තමන් වෙනුවෙන් ලස්සන පෑන්ටියක් ඉතුරු කරයි කියන එකයි සෑම්ගෙ ආදර පැතුම. ඒත් නෑනා පෑන්ටියත් ගන්නවා. සෑම්ට දුක හිතෙනවා. හැබැයි නෑනා සෑම් ළඟටම ඇවිත් පෑන්ටිය එයා අතට දෙනවා. මේ වගේ හිත හිරි වට්ටන ආදර සැමරුම් නං මං සිනමාවෙ දැකලා නෑ.

    ජංගි හොරාගේ රූප රචනය, රංගනය, සංස්කරණය වගේ කාරණා ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒවායෙ කිසිම සුවිශේෂයක් නෑ. ඒ වගේම කතාව බලාගෙන යන්න බාධාවකුත් නෑ. අපි සිනමා කෘතියක සෞන්දර්ය වියරණ සාකච්ඡා කළ යුත්තේ ඒ කෘතිය විසින් ‍ඒ භාෂාවන් යොදාගෙන ඇත්නම් නම් විතරයි. සෝමරත්න කතා කරන ‘මාස්’ එකට සිනමා භාෂාවෙන් ඇති වැඩක් නෑ. ඒ ගොල්ලො කිසි අවුලක් නැතුව විසිල් ගගහා හිනාවෙවී ජංගි හොරා බලනවා. කතාවෙ අපිට පේන හැම දුර්වලකමක්ම ඒ සරල සිනා රතියට උදව්වක් වෙනවා කියල මට හිතෙනවා.

    ජංගි හොරා බැලුවම මට සෝමරත්න ගැන දැනුනෙ ආඩම්බරයක්. ඒ 2500ක සදාචාරය කරේ තියාගත්ත තමන්ගෙ ඕඩියන්ස් එකට මේ ලිංගික විවෘතබව, පිලිගැනීම යෝජනා කරන එකම ලොකු අභියෝගයක්. මොනවා වුනත් ජංගි හොරා විසින් කරන්නෙ ඉතා දියුණු ශෘංගාර සංස්කෘතික යෝජනාවක්.


    චින්තන ධර්මදාස

  • කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ කතා කළ ලංකාවේ පළමු ජනාධිපති අපේක්ෂකයා

    කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ කතා කළ ලංකාවේ පළමු ජනාධිපති අපේක්ෂකයා

    ශ්‍රී ලංකාවේ වසරකට නීති විරෝධී ගබ්සා 240,170ක් සිදුවෙනවා. එනම් දිනකට නීති විරෝධී ගබ්සා 658ක් සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය බේරාගැනීම සඳහා පමණයි. ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය අවුරුදු 136ක් පැරණියි. ඒ සඳහා නෛතික ප්‍රතිසංස්කරණ කිරීමට උත්සාහ කරනවා. ගැහැණු, පිරිමි භේදයකින් තොරව අප කිසිවකු මනුෂ්‍ය කළලයක් විනාශ කිරීමට පෞද්ගලිකව කැමති නැහැ. නමුත් ගැහැණියකගේ සිරුර අයිති ගැහැණියටයි. ඒ පිළිබඳව ඇයට නැති අයිතියක් මට නැහැ.


    අනුර කුමාර දිසානායක
    කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ කතා කළ
    ලංකාවේ පළමු ජනාධිපති අපේක්ෂකයා
    2019 ඔක්තෝම්බර් 21

  • මල්ලි පරිස්සමෙන් තියාගන්න.

    මල්ලි පරිස්සමෙන් තියාගන්න.

    අපි පිරිමි ශිෂ්නය පිරිසිදුව තියාගන්නවද? පොල්කුඩු බැ‍‍ඳ‍ෙනවා වගේ කටවහරෙ තියෙන ප්‍රශ්නවලට හේතුව මොකක්ද? ඕක නිකං නානකොට අතුල්ලලා හෝදගත්තම ඇද්ද?

    පිරිමි ශිෂ්නයක් පිරිසිදුව පවත්වාගැනීම කියන එක තරමක අවධානය යොදන්න ඕන කාරණයක්. ස්ත්‍රී යෝනියක් නම් ඒක ඇතුලතට යොමුවෙලා තියෙන නිසාම ස්වභාවිකව පිරිසිදු බව පවත්වාගැනීමේ පහසුවක් තියෙනවා. නමුත් පිටත දහඩියට, උණුසුමට ගොදුරු වෙන ශිෂ්නයක් අපිරිසිදු වීමේ අවදානම් මොනවද?

    ශිෂ්නයක පිරිසිදු පැවැත්මට ඉතාම හොඳ දෙයක් තමයි චර්මඡේදනය. සිංහලෙන් කොන කපනවා කියන්නෙ. මේක මුස්ලිම් ආගමික සිරිතක් විදිහට බොහෝ විට බැහැර කරන්න, උපහාසයෙන් බලන්න නැඹුරුවක් තිබුණත් පුරුෂ ශිෂ්නයක පැවැත්මට මේ කොන කැපීම ඉතා හොඳ දෙයක්.

    මුලින්ම මේ නිසා ශිෂ්නය පිරිසිදු කිරීම පහසු වෙනවා. පෙරසමකින් වැසී නැති නිසාම දිලීර බැක්ටීරියා ආසාදන ඇතිවීම අවම කරනවා. බොහොමයක් ශිෂ්නාශ්‍රිත දිලීර බැක්ටීරියා ආසාදනවලට හේතුව පෙරසම. ඒ වගේම මේ චර්මඡේදනය නිසා එච්අයිවී සහ වෙනත් ලිංගිකව බෝවන රෝග බෝවීමේ අවදානමත් අඩු කරනවා. මේ කියන්නෙ කොන්ඩම පාවිච්චියකින් තොරව අනාරක්ෂිත සෙක්ස් කරන්න කියල නෙමෙයි. නමුත් චර්මඡේදනයෙන් ලිංගික රෝග බෝවීමේ අවදානම අඩු කරන බව ඇත්තක්. ඒ විතරක් නෙමෙයි ශිෂ්න පිළිකා ඇතිවීමත් මේකෙන් ඉතාමත් අවම කරනවා කියලයි කියන්නෙ.

    ඒත් කොහොම වුනත් චර්මඡේදනය කරලා නැත්නම් දැන් කොහොමද ශිෂ්නය පිරිසිදුව, නිරෝගීව පවත්වාගෙන යන්නෙ කියල කල්පනා කරන්න වෙනවා.

    ශිෂ්නය පිටතට නිරාවරණය වෙලා තියෙන හින්දම දාඩියත් එක්ක මේ ප්‍රදේශයේ දිලීර බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකි ප්‍රවණතාවය වැඩියි. ඒ වගේම ගඳ ගහන්නත් පටන් ගන්නවා. තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙද්දි තමන්ගේ අවයව පිරිසිදුව පවත්වාගැනීම අපේ හැදියාව සම්බන්ධ කාරණයක්. ඕක කොහොම හරි තියාගෙන ඉඳලා මුනගැහෙන කෙනෙකුගේ කටේ ඔබන්න සූදානම් වෙනවා කියන්නෙ අශිෂ්ට චර්යාවක්. ඒ නිසා තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙද්දි තමන්ගේ සිරුර උපරිමයෙන් පිරිසිදු සුවඳවත් තිළිණයක් කරන එක වැදගත්.

    ඒ නිසා ශිෂ්නය අවට රෝම වනාන්තරය වගේ වවාගෙන ඉන්න එපා. ඒවා මුඩු කිරීම හෝ කොටට කැපීම පුරුදු වෙන්න. එයින් ඒ අවට ප්‍ර‍දේශයේ පිරිසිදු බව පවත්වාගන්න උදව් වෙනවා විතරක් නෙමෙයි දකින කෙනෙකුටත් ස්පර්ශ කළ හැකි පිරිසිදු හැඟීමක් දනවනවා. (කිළුටු සෙක්ස් රසවිඳින පිරිසක් ඇතිබව බැහැර කරනවා නෙමෙයි)

    මේ දහඩිය මුසු පැවැත්ම නිසාම ශිෂ්නය පෙරසම පසුපසට කරමින් හොඳින් පිරිසිදු කරන්නෙ නැත්නම් යීස්ට් ආසාදන ඇතිවෙන්න පුළුවන්. එයින් ශිෂ්න මුන්ඩයේ රතුපාට පැල්ලම් ඇති කරනවා. දුර්ගන්ධයක් වහනය කරනවා. කැසීමක් ඇති කරනවා. ශිෂ්න මුන්ඩය මේ විදිහට ආසාදනය වීමට කියනවා බැලනයිටිස් කියල. මේ තත්වයෙදි පෙරසමේ මැරුනු කොටස් කහ පැහැයට හුරුව ශිෂ්නය වටා බැ‍ඳ‍ෙනවා. මේකට කියනවා ස්මෙග්මා කියල. අපි අර පොල්කුඩු කියන්නෙ ස්මෙග්මාවලට.

    මේ ආකාරයටම පෙරසම කොටස ආසාදනය වෙන්නත් පුළුවන්. ඒකට තමයි පොස්තයිටිස් කියන්නෙ.

    මේ විදිහෙ තත්වයක් ඇති වුනාම සමහර විට පෙරසම පසුපසට ගන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවල බලෙන් පෙරසම මෑත් කිරීමෙන් තුවාල ඇතිවෙන්න පුළුවන්. මේකට කියනවා ෆයිමොසිස් කියල. පොඩි ළමයින්ගෙ අවුරුදු 5-7 දක්වා සමහර විට ස්වභාවිකවම මේ තත්වය තියෙන්න පුළුවන්. අපි නූල කැඩෙනවා කියන්නෙ මේ අවුල විස‍ඳ‍ෙන එකට. වයසත් එක්ක ඉබේටම පෙරසම පසුපසට එන හැටියෙන් සකස්වෙන එක. ආසාදනයන් නිසා ෆයිමොසිස් තත්වයක් ඇතිවුනාම වෛද්‍යවරයෙක් මුනගැහීම අවශ්‍යයි.

    මේ කිසි දෙයක් ලිංගිකව බෝවෙන රෝග නෙමෙයි. අපිරිසිදුකමේ විපාක. හොඳින් පිරිසිදු කිරීමෙන් මේ තත්වයන් මගහරවා ගන්න පුළුවන්. නමුත් ලිංගිකව බෝවන රෝගවලදිත් මීට සමාන ලක්ෂන ඇතිවෙනවා. ඒ නිසා රතු වීමක්, ඉදිමීමක්, කැසීමක්, ගැටිති හෝ ඉන්නන් වැනි යමක් ලේසියෙන් සුව නොවී පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න පරක්කු කරන්න එපා.

    ඔයා ඒනල් සෙක්ස් නැත්නම් අධෝමාර්ගයෙන් ශිෂ්නය ඇතුල් කිරීමෙන් තෘප්තියක් ලබනවා නම් අනිවාර්යෙන්ම කොන්ඩමයක් පළඳින්න. ගුද මාර්ගයේ බැක්ටීරියා ලේසියෙන්ම ශිෂ්නය ආසාදනය කරන්න පුළුවන්. එමගින් යුරේත්‍රාවේ පමණක් නෙමෙයි ප්‍රොස්ටේට්වල පවා ආසාදන ඇති කරන්න ඉඩ තියෙනවා.

    දැන් තේරෙනවනෙ ඕක නිකං එල්ලි එල්ලි තිබුනට විශේෂ සැලකිල්ලකින් බලාගන්න වෙනවා කියල.

    කොහොමද මේක පිරිසිදුව තියාගන්නෙ?

    දිනපතා උණුසුම් දියෙන් ශිෂ්නය, මුණ්ඩය, වෘෂන සහ ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීම වැදගත්. මේ සඳහා ඉතා මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. සැර සබන් වලින් ආසාදන ඇති කරන්න පුළුවන්. බොඩි වොෂ් වගේ දේවල් නම් පාවිච්චි කරන්නම එපා. ඒ වගේම සබන් පාවිච්චියත් උවමනාවට වඩා කරන්න එපා.

    පෙරසම ඉවත් නොකළ කෙනෙක් නම් එය පසුපසට ගෙන හොඳින් ඇතුලත පිරිසිදු කරන්න. තදින් අතුල්ලන්න යන්න එපා. එහෙම වුනොත් ඒ මත ඇති සියුම් පටක තුවාල වෙන්න පුළුවන්.

    නාන්නෙ නැති දවසක වුනත් (අනිවාර්යෙන් දිනපතා නාන එක හොඳ පුරුද්දක්) මතක ඇතුව මේ ලිංග ප්‍රදේශය පිරිසිදු කරන්න. දහඩිය සහ උණුසුම නිසා අනිවාර්යෙන්ම මේ අවට අපිරිසිදු තත්වයක් නිර්මාණය වෙනවා.

    කා සමග හෝ ලිංගිකව හැසිරෙන්න කලින් ශිෂ්නය පිරිසිදු කිරීම අනිවාර්යෙන් කරන්න. ඒක අනෙකාට දක්වන ගෞරවයක්. ඒ වගේම සංසර්ගයෙන් පසුවත් නැවත හොඳින් පිරිසිදු කරගන්න. ඇතැම් විට අනෙක් තැනැත්තාගේ ශ්‍රාවයන්ගෙන් ඔයාගෙ ශිෂ්නය ආසාදනය කරන බැක්ටීරයා එන්න පුළුවන්. ඒ වගේම සංසර්ගයෙන් පසුව මේ පිරිසිදු කිරීම එච්අයිවී සහ වෙනත් ලිංගිකව බෝවන රෝග යම් පමණකින් අඩු කරන්නත් හේතු වෙනවා.

    ස්වයං වින්දනයේ යෙදුනු පසුවත් ශිෂ්නය පිරිසිදු කරන්න අමතක කරන්න එපා. නැත්නම් තැවරී ඇති ශුක්‍රානු ආදී තරලයන් නිසා විවිධ ආසාදනයන් ඉක්මන් කරන්න පුළුවන්. නිතරම ශිෂ්නය තෙත රහිතව තබා ගැනීම වැදගත්. ඒ නිසා සේදූ පසුව හොඳින් වියළා ගැනීමත් කරන්න ඕන.

    මේ විදිහට සුවඳට පිරිසිදුව තබාගන්නා ශිෂ්නයක් පුළුවන් තව කෙනෙකුට ආඩම්බරෙන් පිරිනමන්න. එහෙම නැතුව කුණු ගොඩක් වගේ ඕක අරන් ගිහින් තව කෙනෙකුගෙ මූනෙ අතුල්ලන්න පුළුවන් ගෝත්‍රිකයෙකුට විතරයි.