අපි පිරිමි ශිෂ්නය පිරිසිදුව තියාගන්නවද? පොල්කුඩු බැ‍‍ඳ‍ෙනවා වගේ කටවහරෙ තියෙන ප්‍රශ්නවලට හේතුව මොකක්ද? ඕක නිකං නානකොට අතුල්ලලා හෝදගත්තම ඇද්ද?

පිරිමි ශිෂ්නයක් පිරිසිදුව පවත්වාගැනීම කියන එක තරමක අවධානය යොදන්න ඕන කාරණයක්. ස්ත්‍රී යෝනියක් නම් ඒක ඇතුලතට යොමුවෙලා තියෙන නිසාම ස්වභාවිකව පිරිසිදු බව පවත්වාගැනීමේ පහසුවක් තියෙනවා. නමුත් පිටත දහඩියට, උණුසුමට ගොදුරු වෙන ශිෂ්නයක් අපිරිසිදු වීමේ අවදානම් මොනවද?

ශිෂ්නයක පිරිසිදු පැවැත්මට ඉතාම හොඳ දෙයක් තමයි චර්මඡේදනය. සිංහලෙන් කොන කපනවා කියන්නෙ. මේක මුස්ලිම් ආගමික සිරිතක් විදිහට බොහෝ විට බැහැර කරන්න, උපහාසයෙන් බලන්න නැඹුරුවක් තිබුණත් පුරුෂ ශිෂ්නයක පැවැත්මට මේ කොන කැපීම ඉතා හොඳ දෙයක්.

මුලින්ම මේ නිසා ශිෂ්නය පිරිසිදු කිරීම පහසු වෙනවා. පෙරසමකින් වැසී නැති නිසාම දිලීර බැක්ටීරියා ආසාදන ඇතිවීම අවම කරනවා. බොහොමයක් ශිෂ්නාශ්‍රිත දිලීර බැක්ටීරියා ආසාදනවලට හේතුව පෙරසම. ඒ වගේම මේ චර්මඡේදනය නිසා එච්අයිවී සහ වෙනත් ලිංගිකව බෝවන රෝග බෝවීමේ අවදානමත් අඩු කරනවා. මේ කියන්නෙ කොන්ඩම පාවිච්චියකින් තොරව අනාරක්ෂිත සෙක්ස් කරන්න කියල නෙමෙයි. නමුත් චර්මඡේදනයෙන් ලිංගික රෝග බෝවීමේ අවදානම අඩු කරන බව ඇත්තක්. ඒ විතරක් නෙමෙයි ශිෂ්න පිළිකා ඇතිවීමත් මේකෙන් ඉතාමත් අවම කරනවා කියලයි කියන්නෙ.

ඒත් කොහොම වුනත් චර්මඡේදනය කරලා නැත්නම් දැන් කොහොමද ශිෂ්නය පිරිසිදුව, නිරෝගීව පවත්වාගෙන යන්නෙ කියල කල්පනා කරන්න වෙනවා.

ශිෂ්නය පිටතට නිරාවරණය වෙලා තියෙන හින්දම දාඩියත් එක්ක මේ ප්‍රදේශයේ දිලීර බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකි ප්‍රවණතාවය වැඩියි. ඒ වගේම ගඳ ගහන්නත් පටන් ගන්නවා. තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙද්දි තමන්ගේ අවයව පිරිසිදුව පවත්වාගැනීම අපේ හැදියාව සම්බන්ධ කාරණයක්. ඕක කොහොම හරි තියාගෙන ඉඳලා මුනගැහෙන කෙනෙකුගේ කටේ ඔබන්න සූදානම් වෙනවා කියන්නෙ අශිෂ්ට චර්යාවක්. ඒ නිසා තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙද්දි තමන්ගේ සිරුර උපරිමයෙන් පිරිසිදු සුවඳවත් තිළිණයක් කරන එක වැදගත්.

ඒ නිසා ශිෂ්නය අවට රෝම වනාන්තරය වගේ වවාගෙන ඉන්න එපා. ඒවා මුඩු කිරීම හෝ කොටට කැපීම පුරුදු වෙන්න. එයින් ඒ අවට ප්‍ර‍දේශයේ පිරිසිදු බව පවත්වාගන්න උදව් වෙනවා විතරක් නෙමෙයි දකින කෙනෙකුටත් ස්පර්ශ කළ හැකි පිරිසිදු හැඟීමක් දනවනවා. (කිළුටු සෙක්ස් රසවිඳින පිරිසක් ඇතිබව බැහැර කරනවා නෙමෙයි)

මේ දහඩිය මුසු පැවැත්ම නිසාම ශිෂ්නය පෙරසම පසුපසට කරමින් හොඳින් පිරිසිදු කරන්නෙ නැත්නම් යීස්ට් ආසාදන ඇතිවෙන්න පුළුවන්. එයින් ශිෂ්න මුන්ඩයේ රතුපාට පැල්ලම් ඇති කරනවා. දුර්ගන්ධයක් වහනය කරනවා. කැසීමක් ඇති කරනවා. ශිෂ්න මුන්ඩය මේ විදිහට ආසාදනය වීමට කියනවා බැලනයිටිස් කියල. මේ තත්වයෙදි පෙරසමේ මැරුනු කොටස් කහ පැහැයට හුරුව ශිෂ්නය වටා බැ‍ඳ‍ෙනවා. මේකට කියනවා ස්මෙග්මා කියල. අපි අර පොල්කුඩු කියන්නෙ ස්මෙග්මාවලට.

මේ ආකාරයටම පෙරසම කොටස ආසාදනය වෙන්නත් පුළුවන්. ඒකට තමයි පොස්තයිටිස් කියන්නෙ.

මේ විදිහෙ තත්වයක් ඇති වුනාම සමහර විට පෙරසම පසුපසට ගන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවල බලෙන් පෙරසම මෑත් කිරීමෙන් තුවාල ඇතිවෙන්න පුළුවන්. මේකට කියනවා ෆයිමොසිස් කියල. පොඩි ළමයින්ගෙ අවුරුදු 5-7 දක්වා සමහර විට ස්වභාවිකවම මේ තත්වය තියෙන්න පුළුවන්. අපි නූල කැඩෙනවා කියන්නෙ මේ අවුල විස‍ඳ‍ෙන එකට. වයසත් එක්ක ඉබේටම පෙරසම පසුපසට එන හැටියෙන් සකස්වෙන එක. ආසාදනයන් නිසා ෆයිමොසිස් තත්වයක් ඇතිවුනාම වෛද්‍යවරයෙක් මුනගැහීම අවශ්‍යයි.

මේ කිසි දෙයක් ලිංගිකව බෝවෙන රෝග නෙමෙයි. අපිරිසිදුකමේ විපාක. හොඳින් පිරිසිදු කිරීමෙන් මේ තත්වයන් මගහරවා ගන්න පුළුවන්. නමුත් ලිංගිකව බෝවන රෝගවලදිත් මීට සමාන ලක්ෂන ඇතිවෙනවා. ඒ නිසා රතු වීමක්, ඉදිමීමක්, කැසීමක්, ගැටිති හෝ ඉන්නන් වැනි යමක් ලේසියෙන් සුව නොවී පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න පරක්කු කරන්න එපා.

ඔයා ඒනල් සෙක්ස් නැත්නම් අධෝමාර්ගයෙන් ශිෂ්නය ඇතුල් කිරීමෙන් තෘප්තියක් ලබනවා නම් අනිවාර්යෙන්ම කොන්ඩමයක් පළඳින්න. ගුද මාර්ගයේ බැක්ටීරියා ලේසියෙන්ම ශිෂ්නය ආසාදනය කරන්න පුළුවන්. එමගින් යුරේත්‍රාවේ පමණක් නෙමෙයි ප්‍රොස්ටේට්වල පවා ආසාදන ඇති කරන්න ඉඩ තියෙනවා.

දැන් තේරෙනවනෙ ඕක නිකං එල්ලි එල්ලි තිබුනට විශේෂ සැලකිල්ලකින් බලාගන්න වෙනවා කියල.

කොහොමද මේක පිරිසිදුව තියාගන්නෙ?

දිනපතා උණුසුම් දියෙන් ශිෂ්නය, මුණ්ඩය, වෘෂන සහ ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීම වැදගත්. මේ සඳහා ඉතා මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. සැර සබන් වලින් ආසාදන ඇති කරන්න පුළුවන්. බොඩි වොෂ් වගේ දේවල් නම් පාවිච්චි කරන්නම එපා. ඒ වගේම සබන් පාවිච්චියත් උවමනාවට වඩා කරන්න එපා.

පෙරසම ඉවත් නොකළ කෙනෙක් නම් එය පසුපසට ගෙන හොඳින් ඇතුලත පිරිසිදු කරන්න. තදින් අතුල්ලන්න යන්න එපා. එහෙම වුනොත් ඒ මත ඇති සියුම් පටක තුවාල වෙන්න පුළුවන්.

නාන්නෙ නැති දවසක වුනත් (අනිවාර්යෙන් දිනපතා නාන එක හොඳ පුරුද්දක්) මතක ඇතුව මේ ලිංග ප්‍රදේශය පිරිසිදු කරන්න. දහඩිය සහ උණුසුම නිසා අනිවාර්යෙන්ම මේ අවට අපිරිසිදු තත්වයක් නිර්මාණය වෙනවා.

කා සමග හෝ ලිංගිකව හැසිරෙන්න කලින් ශිෂ්නය පිරිසිදු කිරීම අනිවාර්යෙන් කරන්න. ඒක අනෙකාට දක්වන ගෞරවයක්. ඒ වගේම සංසර්ගයෙන් පසුවත් නැවත හොඳින් පිරිසිදු කරගන්න. ඇතැම් විට අනෙක් තැනැත්තාගේ ශ්‍රාවයන්ගෙන් ඔයාගෙ ශිෂ්නය ආසාදනය කරන බැක්ටීරයා එන්න පුළුවන්. ඒ වගේම සංසර්ගයෙන් පසුව මේ පිරිසිදු කිරීම එච්අයිවී සහ වෙනත් ලිංගිකව බෝවන රෝග යම් පමණකින් අඩු කරන්නත් හේතු වෙනවා.

ස්වයං වින්දනයේ යෙදුනු පසුවත් ශිෂ්නය පිරිසිදු කරන්න අමතක කරන්න එපා. නැත්නම් තැවරී ඇති ශුක්‍රානු ආදී තරලයන් නිසා විවිධ ආසාදනයන් ඉක්මන් කරන්න පුළුවන්. නිතරම ශිෂ්නය තෙත රහිතව තබා ගැනීම වැදගත්. ඒ නිසා සේදූ පසුව හොඳින් වියළා ගැනීමත් කරන්න ඕන.

මේ විදිහට සුවඳට පිරිසිදුව තබාගන්නා ශිෂ්නයක් පුළුවන් තව කෙනෙකුට ආඩම්බරෙන් පිරිනමන්න. එහෙම නැතුව කුණු ගොඩක් වගේ ඕක අරන් ගිහින් තව කෙනෙකුගෙ මූනෙ අතුල්ලන්න පුළුවන් ගෝත්‍රිකයෙකුට විතරයි.