Tag: mother

  • ගබ්සාව ඔබේ අයිතියක්

    ගබ්සාව ඔබේ අයිතියක්

    මං ආදරය කරපු මගේ පෙම්වතිය නොහිතපු වෙලාවක ගැබ් ගනිද්දි අපි කසාද බඳින්න හිතලාවත් නෑ. හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා. ටෙස්ට් කරලා බලද්දි පොසිටිව්. දරුවෙක් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැති වෙලාවක්. අපිට ජීවිත ගැන වෙනස් වෙනස් සැලසුම් තිබුන. අපි කසාද බඳියිද කියන එක ගැනවත් නිශ්චිතව හිතලා තිබුනෙ නෑ.

    ගබ්සාවක් ගැන කිසිම දෙයක් නොදන්න කාලයක් ඒක. දන්න හැමෝගෙන්ම විස්තර ඇහුවා. දොස්තරලා කීප දෙනෙක් මුනගැහෙන්නත් ගියා. ඒ අයගෙ අවවාදය වුනෙම දරුවා හදාගන්න කියන එක. ගබ්සාව නීති විරෝධීයි කියන එක. සැලසුමක් නැති දරුවෙක් බිහිකිරීමෙන් අපේ ජීවිත වලටත් දරුවාගේ ජීවිතයටත් වෙන අවදානම ගැන හිතන්න ඒ අයට උවමනාවක් හෝ හැකියාවක් තිබුනෙ නෑ. ගබ්සාව පාපයක් කියන එක දැන හෝ නොදැන උගත් නූගත් හැමෝගෙම හිත්වල පැලපදියම් වෙලා තිබුන.

    රෑට නින්ද නොයන ගානට අපි දෙන්නම බයෙන් හෙම්බත් වෙලා හිටියා.
    දරුවෙක්!! ඒක නිදි නැතුව පේන නපුරු හීනයක්.

    ඊළගට අමාරුවෙන් හොයාගත්ත තොරතුරක් අනුව ගබ්සාවක් කළ හැකි ආරක්ෂිත තැනක් හොයාගත්තා. ඒත් ඒකට යන වියදම අපිට දරන්න අමාරු එකක්. යාලු මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා. කසාද නොබැඳපු යාලුවො සල්ලි දෙන්න බය වුනා. ඒ මේ පාපයට සම්බන්ධ වීමෙන් කවදා හරි උන්ට බැඳලා ළමයි නැති වෙයි කියල. උන් අවවාද තොග පිටින් නොමිලේ දුන්නා.

    අන්තිමට සාප කන්දරාවක් මැද්දෙ ඕන කරන මුදල් හොයාගත්තා. ගබ්සාවක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ගබ්සා පෙති කීපයක් යෝනි මාර්ගය තුලට දැමීමෙන්. අනෙක සුළු සැත්කමක් මගින්. මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි. කළලය බොහෝ කලක් වැඩී තියෙනවා නම් තත්වය බරපතලයි. ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි. ලිංගික එක්වීමක් සිදුවීමෙන් පස්සෙ පීරියඩ්ස් පමාවක් වූ සැනින් පරීක්ෂාව කරගන්න ඕන.

    ගැබ් ගැනීමක් සිදු නොවී ආරක්ෂිත ලිංගික එක්වීමකට නම් තියෙන හොඳම මාර්ගය කොන්ඩම් භාවිතය. පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම උපත් පාලන පෙති සහ අනෙකුත් ක්‍රම බොහොමයක් පැවතුනත් ඒවායින් විවිධ අපහසුතා, සංකූලතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ හෝමෝන වෙනස්කම් ඇතිවීම නොයෙක් ආකාරයේ බලපෑම් ඇතිකරන්න පුළුවන්. (ඒ කිසිවක් සිදු නොවන අයත් ඉන්නවා).

    කොන්ඩමයක් ආරක්ෂිත වුනත් ලිංගික එක්වීමකදි පාවිච්චියට මැළි වීම ස්වභාවිකයි. රේන් කෝට් දාගෙන නානවා වගේ කියලනෙ කියන්නෙ. අවාසනාවට මීට වඩා සාර්ථක ක්‍රමයක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. පොස්ටිනෝ හෙවත් මෝනිං ආෆ්ටර් පිල් කියන්නෙත් නිතර පාවිච්චියට සුදුසු ක්‍රමයක් නෙමෙයි.

    මේ කළලය ඉවත්වීමේ කාලය තරුණ ගැහැණු ළමයෙකුගේ පැත්තෙන් ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ශාරීරික දැනීමට වඩා මානසිකව. සම්ප්‍රදාය විසින් ගොඩනගලා තියෙන බොහෝ සංකල්ප, මතවාද විසින් මේ අවස්ථාව තවත් දරුණු කරනවා. කෙල්ලෙකුට දරා ගත නොහැකි හුදකලාවක් සහ අසරණ බවක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ආදරෙන් ළග ඉඳන් රැකබලාගැනීම පෙම්වතාගේ වගකීමක්. වෙන කාටවත් කියන්න හෝ උදව් ඉල්ලන්න බැරි මේ අවස්ථාවෙදි ඇය ළග ඉන්න. ඇයට ආදරය දෙන්න.

    කිසිම වෙලාවක පවතින සම්ප්‍රදායික විශ්වාස ඇගයුම් නිසා සැලසුම් නොකළ දරුවෙක් හදන්න හිතන්න එපා. පාපයන් සහ ආගමික ඉගැන්වීම් පැත්තකින් තියන්න. තමන්ගේත් අනෙකාගේත් අනාගතය ගැන හොඳින් කල්පනා කරන්න. පුළුවන් නම් විශ්වාසවන්ත, විනිශ්චය නොකරන, ගතානුගතික නොවන කෙනෙක් මුනගැහිලා කතා කරන්න. උදව් ලබාගන්න.

    එකවරක් නෙමෙයි කීප වරක් ගබ්සාව කියන අත්දැකීමට මුහුණ දෙන්න මට සිද්ද වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක සැලසුමක් නැති දරුවෙක් ඉපැද්දවීම කියන එක මම බාරගත්තෙ නෑ. දරුවෙක් කියන්නෙ හොඳින් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන කියල අදත් මම විශ්වාස කරනවා.

    ගබ්සාවක් කියන්නෙ බිහිසුණු, පාපකාරී දෙයක් නෙමෙයි. ඒත් ආශාව නිසා සිදුවන අතපසුවීමකට ගෙවන්න වෙන මිළ අධික වන්දියක්. ඒත් ඒක ආරක්ෂිතව කරන්නත්, ඉන් පසු ජීවිතය නිදහසේ ගත කරන්නත් අවස්ථාව තියෙනවා. අද ලෝකෙ දියුණුයි.

    පුළුවන් තරම් ලිංගික ඇසුරකදි ආරක්ෂාකාරී වෙන්න උත්සාහ ගන්න. අත්වැරදීමක් සිදු‍වුනොත් හොඳින් හිතලා බලලා තීරණ ගන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන්න. අතපසුවීම් සහ වැරදීම් නිසා දරුවන් ලෝකයට බිහි නොකරන්න වග බලාගන්න.

  • හිරුණිකාගේ තනය සහ හියුමිලියේෂන් සංස්කෘතිය

    හිරුණිකාගේ තනය සහ හියුමිලියේෂන් සංස්කෘතිය

    හිරුණිකාගේ පියයුරක් සෙනග අතර තෙරපෙන පිංතූරයක් බුකිය සලිත කරන්න පටන් ගත්තා. පිරිසක් ග්‍රාම්‍ය ආකාරයෙන් ඒ සිදුවීම වරනගන්න උත්සාහ කළ අතර අනෙක් පිරිස හිරුණිකාගේ පියයුර මාතෘත්වයෙන් වසන් කරන්න උත්සාහ කළා. මේක ග්‍රාම්‍ය කතා කියන පිරිසගේ සෙක්ස් ඇරියස් එකක් විදිහටත් කතා ඇහුනා. ඇත්තටම හොඳින් නිරීක්ෂණය කළ යුතු කාරණය වුනේ මේ කියන මොකක් හෝ ඇරියස් එක මේ තනය නිරුවත් කළ පිරිස් වෙතින් වගේම එය ආවරණය කරන්න ගිය පිරිස් වෙතින්ද එක සමානව නිරූපනය වීමයි.

    මේ පියයුර සම්බන්ද සිද්දිය අපිට තේරුම් ගන්න වෙන්නෙ හියුමිලියේෂන් කියන කලාපය ඇතුලෙ. අපහාසය වගේ වචනයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් වුනත් මේ නියම අදහස එන්නෙ නෑ. මේ හිරුණිකාගෙ සිද්දිය සෙක්ෂුවල් හියුමිලියේෂන් එකක්. සෙක්ෂුවල් හියුමිලියේෂන්වල වර්ග දෙකක් තියෙනවා. එකක් ඉරොටික් හියුමිලි‍යේෂන්. ඒක දෙන්නෙක් හෝ කීපදෙනෙක් කැමැත්තෙන් ශෘංගාරයක් හැටියට හියුමිලියේෂන් පාවිච්චි කිරීම. සැඩොමැසොකිසම් හෙවත් පර/ස්වපීඩකකාමය ඇතුලෙ මේක ආර්ට් එකක්. මෙතන වැදගත් දේ වෙන්නෙ කන්සෙන්ට් එක. ඒ කියන්නෙ එකිනෙකාගේ කැමැත්ත.

    හිරුණිකා සම්බන්ද සිදුවීම පබ්ලික් හියුමිලියේෂන් එකක්. එතනදි සිද්ද වුනේ එයාගෙ පියයුරක් සම්බන්ධයෙන් ඉතාම ග්‍රාම්‍ය, පහත් ආකාරයේ කතා ප්‍රචාරය කිරීම. මේක ශෘංගාරාත්මක දෙයක් නෙමෙයි. මේක ඇත්තටම සෙක්ස් කියන දේ රසය පවා ඇබියුස් කිරීමක්. ඒ කතාවල අරමුණ වෙන්නෙ හිරුණිකා කියන චරිතය නිරුවත් කිරීම හරහා පහතට ඇද දැමීම. එයාගෙ දේශපාලන හෝ වෙනයම් වටිනාකමක් ඇත්නම් ඒවා මකා දමමින් සමූහයක් ඉදිරියේ නිරුවත් කරන ලද ගැහැණියක් බවට ඇයව පත් කිරීම.

    හියුමිලියේෂන් කියන එක හැදෙන්නෙම කාරණා දෙකක් පදනම් කරගෙන. එකක් නිරුවත් කිරීම. මේක ශාරීරික නිරුවත් කිරීමක් හෝ මානසික නිරුවත් කිරීමක් වෙන්න පුළුවන්. අබුග්‍රයිබ් බන්ධනාගාරයේ සිරකාරයන්ට නිරුවත්ව එහි පාලකයන් ඉදිරියේ ස්වයං වින්දනය කිරීමට බලකිරීම ශාරීරික එකක්. ඒ වගේම හිලරි ක්ලින්ටන්ට තමන්ගේ සැමියා නිසා අත්විඳින්න ලැබෙන එක මානසික එකක්.

    මේ නිරුවත් වීමත් එක්කම බැදෙන දෙවෙනි කාරණය තමයි ඩිග්‍රඩේෂන්. ඒ කියන්නෙ පහල හෙලීම. නිරුවත් කිරීමේ අරමුණ වෙන්නෙම පහත හෙලීමයි.

    හියුමිලියේෂන් පදනම් වෙන්නෙ ලැජ්ජාව මත. මේ ලැජ්ජාව ඇති කරන්නෙ සංස්කෘතිය විසින්. නිරුවත් කිරීම හරහා ප්‍රකට කරන්නෙ සංස්කෘතියෙන් පිටුවහල් කිරීම. ඒ මොහොතේදී සංස්කෘතිය බිහිසුණු වන සතෙකුගේ ස්වරූපය ගන්නවා. සංස්කෘතිය අසංස්කෘතික වෙනවා.

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා පෙළ බලපු කෙනෙකුට අමතක නොවෙන තැනක් තමයි සර්සි නම් බලසම්පන්න බිසව මේ විදිහට නිරුවතින් ජනතාව අතරට ඇවිද යන්නට සැලැස්වීම. ඒක කරන්නෙ ආගම විසින්. එතනදි ජනතාව සර්සි දිහා බලාගෙන මාස්ටර්බේට් කරනවා නෙමෙයි. කෙළ ගහනවා, අපහාස කරනවා ආදී වශයෙන් ඇයව පහතටම හෙලා දමනවා.

    හියුමිලියේෂන් කියන වචනෙ හැදෙන ලතින් මූලාශ්‍රය ‘හියුමුස්’ කියන එක. ඒකෙ අදහස වෙන්නෙත් දූවිලි නැත්තං පොලොව. පොලොවටම සමතලා කර දැමීම තමයි හියුමිලියේෂන්වල අරමුණ.

    හිරුණිකාගේ පියයුර ගැන කරන නිරුවත් අපහාස සහ අරගලයට පහරදුන් අවස්ථාවෙ මැරයන්ව ජංගි පිටින් යැවීම අතර හියුමිලියේෂන් අර්තයෙන් ලොකු වෙනසක් නෑ. දෙකේදිම අරමුණ වෙන්නෙ නිරුවත් කිරීම හරහා අපහාසයට, පහත හෙලීමට බඳුන් කිරීම.

    අපි දන්නවා මනම්පේරි වගේ අයව දූෂණය කරලා නිරුවතින් පාරෙ අරන් යනවා. මේ දූෂණය කිරීම පවා කාමයට හෝ අසහනයට වඩා බලය සම්බන්ධ කාරණයක්. යුද්ධයකදි අනෙක් පාර්ශ්වයේ කාන්තාවන් දූෂණය කිරීම අතීතයේ පටන් සම්ප්‍රදායක් විදිහට පවතිනවා. එක අතකින් අනෙකා සතු මානව දේපොල (කාන්තාවන් සැලකුනේ එහෙම) බලෙන් අත්පත් කරගැනීමත්, ඒ හරහා තමන්ගේ බලය තහවුරු කිරීමත් තමයි මෙතනදි වඩා ප්‍රබල කාරණය වෙන්නෙ. ඒ හරහා නැවත සුව කළ නොහැකි කැළලක්, අපවාදයක් ප්‍රතිපාර්ශ්වය වෙත ඇති කිරීමයි අරමුණ. තමන්ගේ ප්‍රතිවාදීන්ගේ කලිසම් ගැලවීම හරහා අරගලකරුවන් කරන්නේත් ඒකමයි. හිරුණිකාගේ පියයුරෙහි එල්ලීම හරහා අනෙක් පිරිස කරන්නෙත් ඒකමයි.

    හියුමිලියේෂන්වලින් පාවිච්චි වෙන අවස්තා තුනක් අපිට දකින්න පුළුවන්. යම් කෙනෙකුට දඩුවම් දීමක් විදිහටත්, අපචාරයට බඳුන් කිරීමක් විදිහටත් සහ පාගා දැමීම හෝ යටපත් කිරීමක් විදිහටත් මේක පාවිච්චි වෙනවා.

    හිරුණිකාගෙ සිද්දියෙදි මතුවුනු ඉන්ටරෙස්ටින් කාරණයක් තමයි පියයුරෙහි අනුරාගය මාතෘත්වය ඉස්සරහට දැමීමෙන් නෂ්ටකාමී කරන්නට ගත්ත සදාචාර වෑයම. පියයුරක් ගැන ආශක්ත වීම පවතින්නෙමත් අපි කිරිබී හැදුනු උන් නිසාමයි. පොඩි එකෙක් තමන්ගේ මවගේ පියයුර ගැන ඇති ආශාවම තමයි උන් ලොකුවුනාට පස්සෙ තමන් ආශා කරන ගැහැණියකගේ පියයුරෙනුත් විඳින්නෙ. අනෙක් අතට හැම අම්මා කෙනෙක් කියන්නෙමත් කවුරු හෝ තාත්තා කෙනෙකුගේ අනුරාගී වස්තුවක්. පොඩි එකා විතරක් නෙමෙයි ඒ තාත්තත් ඇගේ පියයුරු උරා බොනවා.

    අම්මා මතක් කිරීමෙන් සමාජය යහපත් කරන්න හදන වෑයම ඉතා අහිතකර එකක්. රටක් විදිහට අපි තවමත් අත්විඳින්නෙ මේ අම්මාගෙන් ගැලවෙන්න බැරි පිරිමින්ගෙ අර්බුදය. මේ රට ළමා සමාජයක් කියන්නෙ ඒකයි. අම්මට… කිව්වොත් පිහියක් උස්සන් කොටන්න එන තරමට වියරු වැටෙන පිරිමි තාමත් බහුලයි. අම්මා කියන එක ශෘංගාරභංග නිමිත්තක් කිරීම නිසා අද වෙලා තියෙන්නෙ ගෑනුන්ට දරුවෙක් හම්බුන තැන පටන් ඇගේ ලිංගික ජීවිතය අහිමි වීම. ඒ දරුවා වෙනුවෙන් පමණක් ජීවත් වෙන්න සිදුවීම. හැම අම්මා කෙනෙකුටම අනුරාගී ජීවිතයක් තියෙනවා. ගැහැණියක් අම්මා කියන තනතුරට පමණක් සීමා කිරීම ඇගේ ඒ ජීවිතය උදුරා ගැනීමක්.

    හියුමිලියේෂන් නොකළ යුත්තේ අම්මා කෙනෙක් හෝ ගැහැණියක් හෝ නිසා නෙමෙයි. අපි විශ්වාස කරන මනුස්ස සංස්කෘතිය නිසයි. එය යටපත් වී යා යුත්තේ අනෙකා නිරුවත් කරමින් පහත් කරන්නට තනන අය ගැන සමාජයක් විදිහට අපි නැවත හැරී හෙළන නිරුවත් බැල්ම සහ විවේචනය නිසයි. ඒක තමන්ගේ මතවාදයට එකග අය වෙනුවෙන් පමණක් සිද්ද වෙනවා නම්, විරුද්ධවාදීන් නිරුවත් වන තැනදි චූන් වෙනවා නම් ඒ ඇත්ත සංස්කෘතික ප්‍රගතියක් නෙමෙයි.

    සෙක්ෂුවල් හියුමිලියේෂන් පවතින්නෙ සංස්කෘතියක් විදිහට සෙක්ස් යටපත් කරලා තියෙන නිසාමයි. ඕනම සංස්කෘතියක් නිර්මාණය වෙන්නෙ මේ සෙක්ස් යටපත් කිරීම හරහා. වනයට, නිරුවතට බියපත්වීම හරහා. ඒක කොයිතරම් දියුණු විදිහට අපි කළමනාකරණය කරගන්නවද කියන එකයි වැදගත්. නිරුවතට අපි දෙන සංස්කෘතික අර්ථය මොකක්ද කියන එකයි වැදගත්. බලහත්කාරයෙන් කෙනෙක් නිරුවත් කිරීම අපි මොනයම්ම ආකාරයකින් හෝ එන්ටර්ටේන් කරනවද එතන අපේ කුහකකම සටහන් වෙනවා. බලහත්කාරයෙන් නිරුවත් කිරීම අපරාධයක් වන අතර කැමැත්තෙන් නිරුවත්වීම ප්‍රකාශනයක්.

    කාගේ හෝ නිරුවත් ඡායාරූපයක්, වීඩියෝවක් ලීක්වුන ගමන් පෝස්ට් වැටෙන්න ගන්නෙත් මේ හියුමිලියේෂන් උවමනාව නිසාම තමයි. ඒ වීඩියෝව නරඹා ස්වයං වින්දනයේ යෙදීම අපරාධයක් නෙමෙයි. ඒක ප්‍රසිද්ධියේ පෝස්ට් කිරීම හරහා අර පුද්ගලයාගේ චරිතය ඝාතනය කිරීමේ උවමනාවයි සපරාධී වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්.

    ෆේස්බුක් එකේ කමෙන්ට් කියවන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි ෆේස්බුක් කියන්නෙ හියුමිලියේෂන් දරුණු රෝගයක් විදිහට පවතින අවකාශයක් කියන එක. ඒ කමෙන්ට්වල තමන්ගේ ප්‍රතිවාදියාව සියලු ආකාරයෙන් නිරුවත් කරන්න දඟලන අය හිරුණිකාගේ තනය ආවරණය කිරීමෙන් ප්‍රගතිශීලී වෙන්න උත්සාහ කිරීම මනස්ගාතයක්. හිරුණිකාගේ පියයුර හරහා සිද්ද වුනේ අපි සියල්ලන් නිරුවත් කිරීම කියලයි මං දකින්නෙ.

  • අම්මා

    අම්මා

    ගොඩක් වෙලාවට ගැහැණියක් අම්මා කෙනෙක් උනාම පලවෙනියටම කරන දේ තමයි තමන්ව අත් අරින එක. තමන් ඇතුලේ ඉන්න නිදහස් ගැහැණියව මරා දමන එක. අලුතින් ලෝකෙට ගෙනාපු ජීවිතේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙලා, මනුස්සයෙක් විදිහට තමන්ගේ අවශ්‍යතාවයන් තව දුරටත් නොසලකා හැරීම.

    මේ චරිත ලක්ෂණ තමයි අම්මා කියන චරිතයෙන් අපි බොහෝ වෙලාවට දකින්නේ.

    ‘බැන්දට පස්සේ ලමයෙක් හදන්න ඕනේ’ කියන තේරුමක් නැති වාක්‍ය විතරක් ප්‍රමාණවත් මදි අම්මා කෙනෙක් වෙන්න කියලයි මම හිතන්නෙ.

    බැන්දට පස්සේ ගොඩක් couples සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, ‘sex කරන එක කාලෙත් එක්ක එපා වෙනවා’ කියලා. මේක ඕන කෙනෙක් නිතර අහලා තියෙන දෙයක්. එහෙමනම්, මුලින්ම කල යුතු දේ තමයි ඒ මැරිච්ච spark එක නැවත ගෙන එන්න උත්සහ කිරීම. ළමයෙක් හැදෙන්න ඕන හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන දෙන්නෙක් ළඟයි.

    couple එකක ලිංගික ජීවිතය කාලෙත් එක්ක එපා වෙලා ගිහින් කියන්නේ අලුත් දේවල් අත්හදා නොබලන නිසා, තමන්ගේ sexual capacity එක ගවේෂණය නොකරන නිසා වෙන දෙයක්. Sex කියන්නේ එහෙම එපා වෙන දෙයක් කියලා ඇහෙන්නෙ ඇත්තටම අපේ වගේ රටවල් වල විතරයි. කසාදයක ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ට එහෙම උනා කියලා දෙන්නටම එහෙම වෙනවා කියලා නිගමනයකට එන්නත් අමාරුයි.

    Couple එකක් විදිහට, දිගු කාලීන කසාදයක ඉන්න දෙන්නෙක්ට ඒ සතුට එහෙම නැත්නම් spark එක නැවත ඇති කරගන්න පුලුවන් පිලියම් තියෙනවා. පලවෙනිම දේ තමයි කාලයක් එකට ඉන්න දෙන්නෙක්ගේ ලිංගික ජීවිතය මළානික වෙන එක සාමාන්‍යය දෙයක් බව පිලිගැනීම. දෙවෙනි දේ තමයි ඒ ආස්වාදය යළි අත්පත් කරගැනීමේ උවමනාව තිබීම. ඒ වෙනුවෙන් විවිධ ඇඩ්වෙන්චරස් දේවල් අත්හදා බැලී‍මේ නිදහස සහ නිර්භීතකම. මෙතනදි දෙන්නා අතර ඉතා හොඳ සන්නිවේදනයක් සහ තේරුම් ගැනීමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. බොරු කරන දෙන්නෙක් අතර සතුටක් පවතින්නෙ නෑ.

    sex life එක දුර්වල වෙන තැනදි එතනට තව ළමයෙක් ගේන එකෙන් කරන්නේ, අම්මා තාත්තා කියන roles වෙනුවෙන් ජීවත් වෙන්න තෝරගන්න එක. ඒ තමයි අපිට නිතර ඇහෙන, ‘දරුවන් වෙනුවෙන්’ කසාදයේ ඉදීම’ කියන කතාවෙ උපත.

    වල පල්ලට යන කසාදයක් ගොඩ දාන්න පුලුවන් මායා බලයක් ළමයින්ට නැහැ, හැබැයි sex වලට තියෙනවා. තමන් තුල ඉන්න නිදහස් ගැහැණිය මරා දැමීමෙන් වෙන්නේ ‘පවුල’ කියන සමස්ත සංස්ථාවම සොහොනක් විදිහට පවත්වාගෙන යාමයි.

    මේ මොනයම් අකාරයේ couple එකක් උනත්, ළමයෙක් හදනවා කියන්නේ සෑහෙන්න study කරන්න ඕන දෙයක්. ළමයෙක් ලැබුනට පස්සේ ශාරීරිකව මුහුණ පාන්න වෙන වෙනස්කම්, අලුත් වගකීම් සහගත භූමිකාවන් නිසා දෙපාර්ශ්වයටම මුහුන දෙන්න සිද්ද වෙන anxiety තත්වය, ඇතැම් විට තමන්ගේ දරුවා මරා දැමීමට පවා හිතෙන postpartum depression වගේ කියන තත්වයන් ගැන දැනුවත් වීමක්, මේ සියල්ල සම්බන්ධයෙන් මානසික සූදානමක් අත්‍යවශ්‍යයි.

    තමන් ජීවත් වෙන්නෙත් ඉතාම සීමිත සම්පත් එක්ක නම්, ඒ සම්පත් ටික තව ජීවිතයක් එක්ක බෙදාගන්න පුළුවන්කම තියෙනවද කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ආදරේ නම් දරුවෙක් මේ ලෝකෙට ගේන්න ඕන දුක් විඳින්න නෙමෙයි.

    ඒ විතරක්මත් මදි.

    තමන් ඇත්තටම මේ addition එකට කැමතිද, ඒ වෙනස්කම කොච්චර postive attitude එකකින් බාරගන්න පුලුවන් කම තියෙනවද කියන එක ගැන වෙලාව අරගෙන හිතන්න වෙනවා.

    එහෙම නැතුව, ඉස්කෝලේ යනවා, degree එකක් ගන්නවා, රස්සාවක් කරනවා, කසාද බඳිනවා, ළමයෙක් හදනවා, ළමයින්ටත් ඒකම කරවන්න උදේ හවස මැරෙනවා කියන මේ cycle එක පදින එකෙන් බහුතරයකට හොඳ ප්‍රතිඵල ලබන්න පුලුවන් කමක් නැහැ.

    හැමෝම කරන නිසා ඒ විදිහට ජීවිතේ තීරණ ගන්න ගියාම වෙන්නේ, මේ හැම experience එකක්ම තමන්ට බලෙන් විඳින්න සිද්ධ වීමයි. Parental instinct කියන දේ බලෙන් තමන් තුල ඇතිකර ගන්න හදන එකයි.

    ඊට පස්සේ මේ හදපු ජීවිතේ ජීවත් කරවන්න දරන මහන්සිය නිසා දැනෙන විඩාවට compensation එකක් ළමයින්ගෙන් අනාගතේ දි බලාපොරොත්තු වීම ඉබේම වගේ සිද්ධ වෙනවා.. කාටවත් සෙතක් නැති නිශ්ඵල cycle එකක් මේක.

    මේ ක්‍රමය ඇත්තටම කරන්නේ මිනිස්සුන්ට ජීවිතේ විඳවන්න දෙන එක. ලංකාවේ ජීවත් වෙන ළමයින්ට තමන්ගේ අම්මා සතුටින් ඉන්නවා දකින්න පුලුවන් වෙනවා කියන එකත් ඇත්තටම luxury එකක්. හැම අම්මා කෙනෙක්ම වගේ අනේක දුක් විඳිනවා, දර දිය අදිනවා වගේ දේවල් අහන්න තමයි අපි උනත් පුරුදු වෙලා ඉන්නේ. අම්මා ගැන සිංදුවක ඇහුවත් බොහෝ වෙලාවට තියෙන්නෙ ඔය කතන්දරේමයි.

    ‘කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා

    ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා’

    ‘නැති බැරිකම් මගෙ දෑසින් හංගා
    සෙනෙහස දුන් මාගේ අම්මා….’

    එතකොට මේ කිසිම අම්මා කෙනෙක්ට ජීවිතේ සතුටක් කියලා දෙයක් නැද්ද? තමන්ගේ කියලා ජීවිතයක් නැද්ද?

    අම්මායි, නිදහස් ගැහැණියයි කියන දෙන්නටම එකට පවතින්න බැරි ඇයි කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. ළමයෙක් හැදුවට පස්සේ, ඊට කලින් හිටපු ගැහැණියටම පවතින්න බැරි බව ඇත්ත, ඒ වෙනස් වීමට මුහුණ දෙන්න වෙනවා.

    ඒ වුනත්, මේ සියල්ල මැද තමන් තුල පවතින නිදහස් ගැහැණිය පිලි අරගෙන, ඒ ගැහැණියට නොමැරී ජීවත් වෙන්න ඉඩදෙන එක අම්මා කියන චරිතය සාර්ථක කරගැනීමට උදව් වෙනවා. ඒ තුලින් තමන්ගේ දරුවාට වුනත් ලැබෙන්නේ නිරෝගී, සතුටින් කල් ගෙවන්න උත්සහා කරන මවක්.
    ඒ නිසා, හැමවෙලේම තමන් තුල ඉන්න නිදහස් ගැහැණියට සලකන්න.

    තමන්ගෙ සිරුර ගැන නොසලකා හරින්න එපා, ලස්සනට අඳින්න පළඳින්න, ආස දේවල් කරන්න, නිරෝගී ලිංගික ජීවිතයක් ගත කරන්න. අමාරුවෙන් ජීවත් වෙන්න හෝ ළමයාව ජීවත් කරවන්න වෙහෙසෙන එක නෙමෙයි ගැහැණියක් අම්මා කෙනෙක් විදිහට කළ යුතු දේ වෙන්නේ….

    ‘මගේ අම්මා නම් සතුටින් ජීවත් උන ගැහැණියක්’ කියන එක දරුවන්ගෙන් අහන්න පුලුවන් නම් ඒ අම්මා ඇත්තටම සාර්ථකයි.


    ශේනි විජේසු‍රේන්ද්‍ර ලියයි

  • සරාගී උපන්දිනයක් වේවා පියුමි

    සරාගී උපන්දිනයක් වේවා පියුමි

    පියුමි හංසමාලි කියන නිරූපිකාව ගැන මට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. ඒ ලංකාව වගේ රටක තනියම ගැහැණියක් විදිහට අනුරාගය වෙනුවෙන් බය නැතුව පෙනී සිටීම නිසා ඇතිවුනු එකක්. කෙල්ලෙක් විවෘතව ලිංගික යමක් ගැන කමෙන්ට් කරන පරක්කුවෙන් බහුතරයක් පිරිමි හිතන්නෙ ඇය ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලෑස්තියි කියල. ඒ ඇසිල්ලෙන් ඇගේ ඉන්බොක්ස් පිරී යනවා. රෝගී මානසිකත්වයකින් පෙළෙන මිනිස් රංචුවක් ඇයව වට කරගන්නවා. පියුමි ඒ සියලු පිරිමි පීඩන දරා ගනිමින් ඇය කැමති දේ කළා. වරදක් නොකර විඳින සුවිසල් ජනතා අපවාද අතර හිනාවෙවී ජීවත්වෙනවා කියන්නෙ ලේසි නැති වැඩක්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඒක හිතාගන්න බැරි තරම්.

    මෑතකදි කාන්තාවන්ගේ සුරතාන්තය ගැන කතා කරන්න ඉතාම ප්‍රබුද්ධ සමාජ කතිකා නියෝජනය කරන කාන්තාවන් කීප දෙනෙකුට මං ආරාධනා කළා. එතනදි එක කාන්තාවක් කියපු කතාවකින් මාව තිගැස්සුනා.

    ‘මල්ලි, ඉස්කෝලෙට ගියාම අම්මලා එක එක කතන්දර කියනවා මදිවට ටීචර් වෙනම කතා කරලත් අවවාද දෙන්න එනවා. මගේ දුවගෙ අධ්‍යාපනයටත් ඒක බලපානවා’

    ඇය මගේ ආරාධනාව වේදනාවෙන් බැහැර කළා. සදාචාරය කියන්නෙ ඒ වගේ බලහත්කාරයක්.

    පියුමි තමන්ගේ ආකර්ශනීය විදිහට පිටතට නෙරා ආ දෙ‍ෙතාල්, පියයුරු විදහා පාමින් ඇගේ සොඳුරු ගත සළු උනා දමමින් ලංකාවෙ එකම අනුරාගී තරුව වීමේ කිරුළ දරාගෙන හිටියා. පියුමිට කලින් මේ එඩිතර බව තිබුනෙ සුමනා ගෝමස්ට විතරයි.

    අවාසනාවට පියුමි එකතු වුනෙත් ඒ කාන්තාවන් අපහාසයට අපහරණයට ලක්කරන සමාජ ධාරාවටමයි. ඒ ඉරාජ්ලා විසින් පවත්වාගෙන ගිය කුහක ලාංකික ප්‍රජාවයි. ඒ අයම තමයි කාන්තාවන්ට සමලිංගිකයන්ට සංක්‍රාන්ති ලිංගිකයන්ට අපවාද අපහාස කරමින් ඒ ජීවිත සමාජීය වශයෙන් පීඩාවට ලක් කරන්නෙත්. පියුමි තමන්ගේ හිතුවක්කාර බවේ ප්‍රතිලාභ පිරිනැමුවෙ ඒ ප්‍රතිගාමී රෝගී මිනිස් රොත්තටමයි.

    මං කීපවිටක්ම විවිධ සංවාදවලට පියුමිට ආරාධනා කරලා තියෙනවා. ඒ වඩා නිදහස් සහ විවෘත කතිකාවක් වෙනුවෙන් පියුමිගේ මැදිහත්වීම උදව් කරගන්න. ඒත් ඒ හැම වතාවකම පියුමි ඒ ආරාධනා බැහැර කළා.

    තමන් කරමින් ඉන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැතිවීම නිසා එයාට කළ හැකි විසල් දේ වෙනුවට ඉතාම සිල්ලර දේ වෙනුවෙන් දියවී අවසන් වෙන්න නියමිතයි. දැනටත් තමන්ට ලංකාව අත්හැර යන්න උවමනා බව පියුමි කියන්නෙ මේ වෙහෙස නිසාම වෙන්න ඕන.අන්තිමට පියුමි දෙරණට ඇවිත් චතුර එක්ක කරපු සංවාදයෙන් පස්සෙ මං පියුමිව හිතෙන් අත්ඇරලා දැම්මා. එතනදි කිසිම දවසක ඇගෙන් අපේක්ෂා නොකළ තරමෙ දෙබිඩිකමක් විද්‍යාමාන වුනා. තමන්ගේ කොටට ඇඳීමේ නිදහස ගැන කතා කරන අතරෙම පියුමි ටික්ටොක්වල නාකි ඇන්ටිලා නටන එකට හිනාවුනා. ඒක ලැජ්ජා විය යුතු දෙයක් විදිහට කතා කළා. එයාට අනුරාගය සහ විලාසිතා ගැන තිබුනෙ තරුණ වයස එක්ක ගැටගැහුණු පටු අදහසක්. මේ වයසට මේවා කරන්න ඕන කියන එකයි පියුමිගේ දර්ශනය වුනේ. එහෙම නැතුව කැමති කෙනෙකුට, කැමති වයසකදි, කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන කියන එක ගැන එයාට කොහෙත්ම හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි සුමනා ගෝමස් කියන නිළියට ඒ නිදහස ගැන වැටහීමක් තිබුන.

    යම් අදහසක් එක්ක පාවිච්චි වෙන්න තිබුණු නිරුවතක් අනුරාගයක් හුදු ස්වයං වින්දනමය රූපකායක් විදිහට විතරක් අවසන් වීම අපේ වගේ රටක ඛේදවාචකයක්. ඒ වගේම ලිංගිකත්වය සහ ශෘංගාරය පිළිබඳ තියෙන ගරුත්වය සෞන්දර්ය හෝ බාරගැනීම තවත් පටු කරන්නත් ඒක බලපානවා. ඇත්තටම කාමය වරදවා හැසිරීම කියන්නෙ ඒකට. කාමය හරි සමාජ දේශපාලන අදහසකින් තොරව පාවිච්චි කරන එක.

    ඒ මොනවා වුනත් අද අපේ රටේ එකම ශෘංගාර තරුව පියුමි හංසමාලිගේ උපන්දිනය. තමන් කැමති විදිහට ජීවත් වෙන්නත්, තවත් බොහෝ අය වසඟ කරන්නත් පියුමිට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මේ කාන්තාරයක් වගේ රටේ පිරිමි සරතැස නිවන සිසිල් පොදක් වීමේ මහා පින ඇයට තියෙනවා.


    චින්තන ධර්මදාස