ගොඩක් වෙලාවට ගැහැණියක් අම්මා කෙනෙක් උනාම පලවෙනියටම කරන දේ තමයි තමන්ව අත් අරින එක. තමන් ඇතුලේ ඉන්න නිදහස් ගැහැණියව මරා දමන එක. අලුතින් ලෝකෙට ගෙනාපු ජීවිතේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙලා, මනුස්සයෙක් විදිහට තමන්ගේ අවශ්‍යතාවයන් තව දුරටත් නොසලකා හැරීම.

මේ චරිත ලක්ෂණ තමයි අම්මා කියන චරිතයෙන් අපි බොහෝ වෙලාවට දකින්නේ.

‘බැන්දට පස්සේ ලමයෙක් හදන්න ඕනේ’ කියන තේරුමක් නැති වාක්‍ය විතරක් ප්‍රමාණවත් මදි අම්මා කෙනෙක් වෙන්න කියලයි මම හිතන්නෙ.

බැන්දට පස්සේ ගොඩක් couples සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, ‘sex කරන එක කාලෙත් එක්ක එපා වෙනවා’ කියලා. මේක ඕන කෙනෙක් නිතර අහලා තියෙන දෙයක්. එහෙමනම්, මුලින්ම කල යුතු දේ තමයි ඒ මැරිච්ච spark එක නැවත ගෙන එන්න උත්සහ කිරීම. ළමයෙක් හැදෙන්න ඕන හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන දෙන්නෙක් ළඟයි.

couple එකක ලිංගික ජීවිතය කාලෙත් එක්ක එපා වෙලා ගිහින් කියන්නේ අලුත් දේවල් අත්හදා නොබලන නිසා, තමන්ගේ sexual capacity එක ගවේෂණය නොකරන නිසා වෙන දෙයක්. Sex කියන්නේ එහෙම එපා වෙන දෙයක් කියලා ඇහෙන්නෙ ඇත්තටම අපේ වගේ රටවල් වල විතරයි. කසාදයක ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ට එහෙම උනා කියලා දෙන්නටම එහෙම වෙනවා කියලා නිගමනයකට එන්නත් අමාරුයි.

Couple එකක් විදිහට, දිගු කාලීන කසාදයක ඉන්න දෙන්නෙක්ට ඒ සතුට එහෙම නැත්නම් spark එක නැවත ඇති කරගන්න පුලුවන් පිලියම් තියෙනවා. පලවෙනිම දේ තමයි කාලයක් එකට ඉන්න දෙන්නෙක්ගේ ලිංගික ජීවිතය මළානික වෙන එක සාමාන්‍යය දෙයක් බව පිලිගැනීම. දෙවෙනි දේ තමයි ඒ ආස්වාදය යළි අත්පත් කරගැනීමේ උවමනාව තිබීම. ඒ වෙනුවෙන් විවිධ ඇඩ්වෙන්චරස් දේවල් අත්හදා බැලී‍මේ නිදහස සහ නිර්භීතකම. මෙතනදි දෙන්නා අතර ඉතා හොඳ සන්නිවේදනයක් සහ තේරුම් ගැනීමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. බොරු කරන දෙන්නෙක් අතර සතුටක් පවතින්නෙ නෑ.

sex life එක දුර්වල වෙන තැනදි එතනට තව ළමයෙක් ගේන එකෙන් කරන්නේ, අම්මා තාත්තා කියන roles වෙනුවෙන් ජීවත් වෙන්න තෝරගන්න එක. ඒ තමයි අපිට නිතර ඇහෙන, ‘දරුවන් වෙනුවෙන්’ කසාදයේ ඉදීම’ කියන කතාවෙ උපත.

වල පල්ලට යන කසාදයක් ගොඩ දාන්න පුලුවන් මායා බලයක් ළමයින්ට නැහැ, හැබැයි sex වලට තියෙනවා. තමන් තුල ඉන්න නිදහස් ගැහැණිය මරා දැමීමෙන් වෙන්නේ ‘පවුල’ කියන සමස්ත සංස්ථාවම සොහොනක් විදිහට පවත්වාගෙන යාමයි.

මේ මොනයම් අකාරයේ couple එකක් උනත්, ළමයෙක් හදනවා කියන්නේ සෑහෙන්න study කරන්න ඕන දෙයක්. ළමයෙක් ලැබුනට පස්සේ ශාරීරිකව මුහුණ පාන්න වෙන වෙනස්කම්, අලුත් වගකීම් සහගත භූමිකාවන් නිසා දෙපාර්ශ්වයටම මුහුන දෙන්න සිද්ද වෙන anxiety තත්වය, ඇතැම් විට තමන්ගේ දරුවා මරා දැමීමට පවා හිතෙන postpartum depression වගේ කියන තත්වයන් ගැන දැනුවත් වීමක්, මේ සියල්ල සම්බන්ධයෙන් මානසික සූදානමක් අත්‍යවශ්‍යයි.

තමන් ජීවත් වෙන්නෙත් ඉතාම සීමිත සම්පත් එක්ක නම්, ඒ සම්පත් ටික තව ජීවිතයක් එක්ක බෙදාගන්න පුළුවන්කම තියෙනවද කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ආදරේ නම් දරුවෙක් මේ ලෝකෙට ගේන්න ඕන දුක් විඳින්න නෙමෙයි.

ඒ විතරක්මත් මදි.

තමන් ඇත්තටම මේ addition එකට කැමතිද, ඒ වෙනස්කම කොච්චර postive attitude එකකින් බාරගන්න පුලුවන් කම තියෙනවද කියන එක ගැන වෙලාව අරගෙන හිතන්න වෙනවා.

එහෙම නැතුව, ඉස්කෝලේ යනවා, degree එකක් ගන්නවා, රස්සාවක් කරනවා, කසාද බඳිනවා, ළමයෙක් හදනවා, ළමයින්ටත් ඒකම කරවන්න උදේ හවස මැරෙනවා කියන මේ cycle එක පදින එකෙන් බහුතරයකට හොඳ ප්‍රතිඵල ලබන්න පුලුවන් කමක් නැහැ.

හැමෝම කරන නිසා ඒ විදිහට ජීවිතේ තීරණ ගන්න ගියාම වෙන්නේ, මේ හැම experience එකක්ම තමන්ට බලෙන් විඳින්න සිද්ධ වීමයි. Parental instinct කියන දේ බලෙන් තමන් තුල ඇතිකර ගන්න හදන එකයි.

ඊට පස්සේ මේ හදපු ජීවිතේ ජීවත් කරවන්න දරන මහන්සිය නිසා දැනෙන විඩාවට compensation එකක් ළමයින්ගෙන් අනාගතේ දි බලාපොරොත්තු වීම ඉබේම වගේ සිද්ධ වෙනවා.. කාටවත් සෙතක් නැති නිශ්ඵල cycle එකක් මේක.

මේ ක්‍රමය ඇත්තටම කරන්නේ මිනිස්සුන්ට ජීවිතේ විඳවන්න දෙන එක. ලංකාවේ ජීවත් වෙන ළමයින්ට තමන්ගේ අම්මා සතුටින් ඉන්නවා දකින්න පුලුවන් වෙනවා කියන එකත් ඇත්තටම luxury එකක්. හැම අම්මා කෙනෙක්ම වගේ අනේක දුක් විඳිනවා, දර දිය අදිනවා වගේ දේවල් අහන්න තමයි අපි උනත් පුරුදු වෙලා ඉන්නේ. අම්මා ගැන සිංදුවක ඇහුවත් බොහෝ වෙලාවට තියෙන්නෙ ඔය කතන්දරේමයි.

‘කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා

‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා’

‘නැති බැරිකම් මගෙ දෑසින් හංගා
සෙනෙහස දුන් මාගේ අම්මා….’

එතකොට මේ කිසිම අම්මා කෙනෙක්ට ජීවිතේ සතුටක් කියලා දෙයක් නැද්ද? තමන්ගේ කියලා ජීවිතයක් නැද්ද?

අම්මායි, නිදහස් ගැහැණියයි කියන දෙන්නටම එකට පවතින්න බැරි ඇයි කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. ළමයෙක් හැදුවට පස්සේ, ඊට කලින් හිටපු ගැහැණියටම පවතින්න බැරි බව ඇත්ත, ඒ වෙනස් වීමට මුහුණ දෙන්න වෙනවා.

ඒ වුනත්, මේ සියල්ල මැද තමන් තුල පවතින නිදහස් ගැහැණිය පිලි අරගෙන, ඒ ගැහැණියට නොමැරී ජීවත් වෙන්න ඉඩදෙන එක අම්මා කියන චරිතය සාර්ථක කරගැනීමට උදව් වෙනවා. ඒ තුලින් තමන්ගේ දරුවාට වුනත් ලැබෙන්නේ නිරෝගී, සතුටින් කල් ගෙවන්න උත්සහා කරන මවක්.
ඒ නිසා, හැමවෙලේම තමන් තුල ඉන්න නිදහස් ගැහැණියට සලකන්න.

තමන්ගෙ සිරුර ගැන නොසලකා හරින්න එපා, ලස්සනට අඳින්න පළඳින්න, ආස දේවල් කරන්න, නිරෝගී ලිංගික ජීවිතයක් ගත කරන්න. අමාරුවෙන් ජීවත් වෙන්න හෝ ළමයාව ජීවත් කරවන්න වෙහෙසෙන එක නෙමෙයි ගැහැණියක් අම්මා කෙනෙක් විදිහට කළ යුතු දේ වෙන්නේ….

‘මගේ අම්මා නම් සතුටින් ජීවත් උන ගැහැණියක්’ කියන එක දරුවන්ගෙන් අහන්න පුලුවන් නම් ඒ අම්මා ඇත්තටම සාර්ථකයි.


ශේනි විජේසු‍රේන්ද්‍ර ලියයි