හිරුණිකාගේ පියයුරක් සෙනග අතර තෙරපෙන පිංතූරයක් බුකිය සලිත කරන්න පටන් ගත්තා. පිරිසක් ග්‍රාම්‍ය ආකාරයෙන් ඒ සිදුවීම වරනගන්න උත්සාහ කළ අතර අනෙක් පිරිස හිරුණිකාගේ පියයුර මාතෘත්වයෙන් වසන් කරන්න උත්සාහ කළා. මේක ග්‍රාම්‍ය කතා කියන පිරිසගේ සෙක්ස් ඇරියස් එකක් විදිහටත් කතා ඇහුනා. ඇත්තටම හොඳින් නිරීක්ෂණය කළ යුතු කාරණය වුනේ මේ කියන මොකක් හෝ ඇරියස් එක මේ තනය නිරුවත් කළ පිරිස් වෙතින් වගේම එය ආවරණය කරන්න ගිය පිරිස් වෙතින්ද එක සමානව නිරූපනය වීමයි.

මේ පියයුර සම්බන්ද සිද්දිය අපිට තේරුම් ගන්න වෙන්නෙ හියුමිලියේෂන් කියන කලාපය ඇතුලෙ. අපහාසය වගේ වචනයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් වුනත් මේ නියම අදහස එන්නෙ නෑ. මේ හිරුණිකාගෙ සිද්දිය සෙක්ෂුවල් හියුමිලියේෂන් එකක්. සෙක්ෂුවල් හියුමිලියේෂන්වල වර්ග දෙකක් තියෙනවා. එකක් ඉරොටික් හියුමිලි‍යේෂන්. ඒක දෙන්නෙක් හෝ කීපදෙනෙක් කැමැත්තෙන් ශෘංගාරයක් හැටියට හියුමිලියේෂන් පාවිච්චි කිරීම. සැඩොමැසොකිසම් හෙවත් පර/ස්වපීඩකකාමය ඇතුලෙ මේක ආර්ට් එකක්. මෙතන වැදගත් දේ වෙන්නෙ කන්සෙන්ට් එක. ඒ කියන්නෙ එකිනෙකාගේ කැමැත්ත.

හිරුණිකා සම්බන්ද සිදුවීම පබ්ලික් හියුමිලියේෂන් එකක්. එතනදි සිද්ද වුනේ එයාගෙ පියයුරක් සම්බන්ධයෙන් ඉතාම ග්‍රාම්‍ය, පහත් ආකාරයේ කතා ප්‍රචාරය කිරීම. මේක ශෘංගාරාත්මක දෙයක් නෙමෙයි. මේක ඇත්තටම සෙක්ස් කියන දේ රසය පවා ඇබියුස් කිරීමක්. ඒ කතාවල අරමුණ වෙන්නෙ හිරුණිකා කියන චරිතය නිරුවත් කිරීම හරහා පහතට ඇද දැමීම. එයාගෙ දේශපාලන හෝ වෙනයම් වටිනාකමක් ඇත්නම් ඒවා මකා දමමින් සමූහයක් ඉදිරියේ නිරුවත් කරන ලද ගැහැණියක් බවට ඇයව පත් කිරීම.

හියුමිලියේෂන් කියන එක හැදෙන්නෙම කාරණා දෙකක් පදනම් කරගෙන. එකක් නිරුවත් කිරීම. මේක ශාරීරික නිරුවත් කිරීමක් හෝ මානසික නිරුවත් කිරීමක් වෙන්න පුළුවන්. අබුග්‍රයිබ් බන්ධනාගාරයේ සිරකාරයන්ට නිරුවත්ව එහි පාලකයන් ඉදිරියේ ස්වයං වින්දනය කිරීමට බලකිරීම ශාරීරික එකක්. ඒ වගේම හිලරි ක්ලින්ටන්ට තමන්ගේ සැමියා නිසා අත්විඳින්න ලැබෙන එක මානසික එකක්.

මේ නිරුවත් වීමත් එක්කම බැදෙන දෙවෙනි කාරණය තමයි ඩිග්‍රඩේෂන්. ඒ කියන්නෙ පහල හෙලීම. නිරුවත් කිරීමේ අරමුණ වෙන්නෙම පහත හෙලීමයි.

හියුමිලියේෂන් පදනම් වෙන්නෙ ලැජ්ජාව මත. මේ ලැජ්ජාව ඇති කරන්නෙ සංස්කෘතිය විසින්. නිරුවත් කිරීම හරහා ප්‍රකට කරන්නෙ සංස්කෘතියෙන් පිටුවහල් කිරීම. ඒ මොහොතේදී සංස්කෘතිය බිහිසුණු වන සතෙකුගේ ස්වරූපය ගන්නවා. සංස්කෘතිය අසංස්කෘතික වෙනවා.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා පෙළ බලපු කෙනෙකුට අමතක නොවෙන තැනක් තමයි සර්සි නම් බලසම්පන්න බිසව මේ විදිහට නිරුවතින් ජනතාව අතරට ඇවිද යන්නට සැලැස්වීම. ඒක කරන්නෙ ආගම විසින්. එතනදි ජනතාව සර්සි දිහා බලාගෙන මාස්ටර්බේට් කරනවා නෙමෙයි. කෙළ ගහනවා, අපහාස කරනවා ආදී වශයෙන් ඇයව පහතටම හෙලා දමනවා.

හියුමිලියේෂන් කියන වචනෙ හැදෙන ලතින් මූලාශ්‍රය ‘හියුමුස්’ කියන එක. ඒකෙ අදහස වෙන්නෙත් දූවිලි නැත්තං පොලොව. පොලොවටම සමතලා කර දැමීම තමයි හියුමිලියේෂන්වල අරමුණ.

හිරුණිකාගේ පියයුර ගැන කරන නිරුවත් අපහාස සහ අරගලයට පහරදුන් අවස්ථාවෙ මැරයන්ව ජංගි පිටින් යැවීම අතර හියුමිලියේෂන් අර්තයෙන් ලොකු වෙනසක් නෑ. දෙකේදිම අරමුණ වෙන්නෙ නිරුවත් කිරීම හරහා අපහාසයට, පහත හෙලීමට බඳුන් කිරීම.

අපි දන්නවා මනම්පේරි වගේ අයව දූෂණය කරලා නිරුවතින් පාරෙ අරන් යනවා. මේ දූෂණය කිරීම පවා කාමයට හෝ අසහනයට වඩා බලය සම්බන්ධ කාරණයක්. යුද්ධයකදි අනෙක් පාර්ශ්වයේ කාන්තාවන් දූෂණය කිරීම අතීතයේ පටන් සම්ප්‍රදායක් විදිහට පවතිනවා. එක අතකින් අනෙකා සතු මානව දේපොල (කාන්තාවන් සැලකුනේ එහෙම) බලෙන් අත්පත් කරගැනීමත්, ඒ හරහා තමන්ගේ බලය තහවුරු කිරීමත් තමයි මෙතනදි වඩා ප්‍රබල කාරණය වෙන්නෙ. ඒ හරහා නැවත සුව කළ නොහැකි කැළලක්, අපවාදයක් ප්‍රතිපාර්ශ්වය වෙත ඇති කිරීමයි අරමුණ. තමන්ගේ ප්‍රතිවාදීන්ගේ කලිසම් ගැලවීම හරහා අරගලකරුවන් කරන්නේත් ඒකමයි. හිරුණිකාගේ පියයුරෙහි එල්ලීම හරහා අනෙක් පිරිස කරන්නෙත් ඒකමයි.

හියුමිලියේෂන්වලින් පාවිච්චි වෙන අවස්තා තුනක් අපිට දකින්න පුළුවන්. යම් කෙනෙකුට දඩුවම් දීමක් විදිහටත්, අපචාරයට බඳුන් කිරීමක් විදිහටත් සහ පාගා දැමීම හෝ යටපත් කිරීමක් විදිහටත් මේක පාවිච්චි වෙනවා.

හිරුණිකාගෙ සිද්දියෙදි මතුවුනු ඉන්ටරෙස්ටින් කාරණයක් තමයි පියයුරෙහි අනුරාගය මාතෘත්වය ඉස්සරහට දැමීමෙන් නෂ්ටකාමී කරන්නට ගත්ත සදාචාර වෑයම. පියයුරක් ගැන ආශක්ත වීම පවතින්නෙමත් අපි කිරිබී හැදුනු උන් නිසාමයි. පොඩි එකෙක් තමන්ගේ මවගේ පියයුර ගැන ඇති ආශාවම තමයි උන් ලොකුවුනාට පස්සෙ තමන් ආශා කරන ගැහැණියකගේ පියයුරෙනුත් විඳින්නෙ. අනෙක් අතට හැම අම්මා කෙනෙක් කියන්නෙමත් කවුරු හෝ තාත්තා කෙනෙකුගේ අනුරාගී වස්තුවක්. පොඩි එකා විතරක් නෙමෙයි ඒ තාත්තත් ඇගේ පියයුරු උරා බොනවා.

අම්මා මතක් කිරීමෙන් සමාජය යහපත් කරන්න හදන වෑයම ඉතා අහිතකර එකක්. රටක් විදිහට අපි තවමත් අත්විඳින්නෙ මේ අම්මාගෙන් ගැලවෙන්න බැරි පිරිමින්ගෙ අර්බුදය. මේ රට ළමා සමාජයක් කියන්නෙ ඒකයි. අම්මට… කිව්වොත් පිහියක් උස්සන් කොටන්න එන තරමට වියරු වැටෙන පිරිමි තාමත් බහුලයි. අම්මා කියන එක ශෘංගාරභංග නිමිත්තක් කිරීම නිසා අද වෙලා තියෙන්නෙ ගෑනුන්ට දරුවෙක් හම්බුන තැන පටන් ඇගේ ලිංගික ජීවිතය අහිමි වීම. ඒ දරුවා වෙනුවෙන් පමණක් ජීවත් වෙන්න සිදුවීම. හැම අම්මා කෙනෙකුටම අනුරාගී ජීවිතයක් තියෙනවා. ගැහැණියක් අම්මා කියන තනතුරට පමණක් සීමා කිරීම ඇගේ ඒ ජීවිතය උදුරා ගැනීමක්.

හියුමිලියේෂන් නොකළ යුත්තේ අම්මා කෙනෙක් හෝ ගැහැණියක් හෝ නිසා නෙමෙයි. අපි විශ්වාස කරන මනුස්ස සංස්කෘතිය නිසයි. එය යටපත් වී යා යුත්තේ අනෙකා නිරුවත් කරමින් පහත් කරන්නට තනන අය ගැන සමාජයක් විදිහට අපි නැවත හැරී හෙළන නිරුවත් බැල්ම සහ විවේචනය නිසයි. ඒක තමන්ගේ මතවාදයට එකග අය වෙනුවෙන් පමණක් සිද්ද වෙනවා නම්, විරුද්ධවාදීන් නිරුවත් වන තැනදි චූන් වෙනවා නම් ඒ ඇත්ත සංස්කෘතික ප්‍රගතියක් නෙමෙයි.

සෙක්ෂුවල් හියුමිලියේෂන් පවතින්නෙ සංස්කෘතියක් විදිහට සෙක්ස් යටපත් කරලා තියෙන නිසාමයි. ඕනම සංස්කෘතියක් නිර්මාණය වෙන්නෙ මේ සෙක්ස් යටපත් කිරීම හරහා. වනයට, නිරුවතට බියපත්වීම හරහා. ඒක කොයිතරම් දියුණු විදිහට අපි කළමනාකරණය කරගන්නවද කියන එකයි වැදගත්. නිරුවතට අපි දෙන සංස්කෘතික අර්ථය මොකක්ද කියන එකයි වැදගත්. බලහත්කාරයෙන් කෙනෙක් නිරුවත් කිරීම අපි මොනයම්ම ආකාරයකින් හෝ එන්ටර්ටේන් කරනවද එතන අපේ කුහකකම සටහන් වෙනවා. බලහත්කාරයෙන් නිරුවත් කිරීම අපරාධයක් වන අතර කැමැත්තෙන් නිරුවත්වීම ප්‍රකාශනයක්.

කාගේ හෝ නිරුවත් ඡායාරූපයක්, වීඩියෝවක් ලීක්වුන ගමන් පෝස්ට් වැටෙන්න ගන්නෙත් මේ හියුමිලියේෂන් උවමනාව නිසාම තමයි. ඒ වීඩියෝව නරඹා ස්වයං වින්දනයේ යෙදීම අපරාධයක් නෙමෙයි. ඒක ප්‍රසිද්ධියේ පෝස්ට් කිරීම හරහා අර පුද්ගලයාගේ චරිතය ඝාතනය කිරීමේ උවමනාවයි සපරාධී වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්.

ෆේස්බුක් එකේ කමෙන්ට් කියවන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි ෆේස්බුක් කියන්නෙ හියුමිලියේෂන් දරුණු රෝගයක් විදිහට පවතින අවකාශයක් කියන එක. ඒ කමෙන්ට්වල තමන්ගේ ප්‍රතිවාදියාව සියලු ආකාරයෙන් නිරුවත් කරන්න දඟලන අය හිරුණිකාගේ තනය ආවරණය කිරීමෙන් ප්‍රගතිශීලී වෙන්න උත්සාහ කිරීම මනස්ගාතයක්. හිරුණිකාගේ පියයුර හරහා සිද්ද වුනේ අපි සියල්ලන් නිරුවත් කිරීම කියලයි මං දකින්නෙ.