Tag: slave

  • සෙක්ස් ස්ලේව් (දෙවෙනි කොටස)

    සෙක්ස් ස්ලේව් (දෙවෙනි කොටස)

    පළමු කොටස මෙතැනින් කියවන්න


    ස්ටාලින් කිසිවක් කීවේ නැත. ඒ නිශ්ශබ්දතාවය අමන්දාගේ දවසම මූසල කළේය. උඩ පැන පැන තලන්න බලන් ඉඳිද්දී යකඩය රත් වෙන්නෙ නැතිවුනාම අසීරුය. ඒ අසහනය දරාගෙනම අමන්දා ගෙදර යන්න ගියාය.

    ත්‍රීවිලයක් ළඟපාත නැති නිසා ඈට ටික දුරක් ඇවිදන් යන්න සිදුවිය. ඇයට ඒ දවස වෙනදට වඩා වෙනස්වට දැණුනි. ඇගේ අඩියක් අඩියක් පාසා ස්ටාලින් බලන් ඉන්නවා යැයි හැඟුනි. එය මාරම විඩාවකි. කවුරුන් හෝ තමන්ගේ පැද්දෙන පස්ස දිහා බලන් ඉන්නවා යැයි සිතුනොත් ඉන් ඉස්සරහට ඇවිදින්න බැරිය. අමන්දාට වුනේ එබන්දකි. හැම අඩියක්ම ඕනවටත් වඩා සිතා තබන්නට ගොස් ඇය ඇද නොවැටුනා පමණකි. නොයෙක්වර බොරුවට දුරකතනය කනේ තබා ගත්තේද තමන්ටම තමන්ව රවටාගැනීමේ උවමනාව නිසාය.

    ස්ටාලින් ඇගේ මනසට රිංගා ඇත. ඇයව අමුතුම ආතතියකට ඇද දමා ඇත. ඒ මතක් වෙද්දි ඇය විසින් ස්ටාලින්ට කළ හදිය ගැන සතුටින් ඇය දත්මිටි කෑවා. දත්මිටි කන තරම් සතුටක්.. ඒක අමුතු එකක්.
    ගෙදර එද්දි පොඩි එකා බිංදු ආච්චි අම්මා එක්ක ඉඳලාම හෙම්බත් වීලයි සිටියෙ.

    අම්මා… ආච්චි අම්මා එක්ක බෑ.. එයා බොරු කියනවා..
    ගෙට ගොඩවෙද්දිම බිංදු පැමිනිල්ලක් අරන් ආවේය.
    එයා කියනවා අම්මා සිදුහත් කුමාරයා නෙළුම් මල් හතක් උඩ ඇවිද්දලු. මං ඇහුවා විලක් උඩද කියල. නෑලු ගොඩලු. පච නේද අම්මා. එයා මුසාවාදාත් කියනවා..
    මේ කොල්ලට වස් වදිනවා ඔය කතන්දර කියල. පන්ඩිතයා.. ආච්චි අම්මා බිංදුගෙ පුකට චටස් ගා එකක් ගැසුවා.
    ආව්… බිංදු ආපහු හැරී ආච්චි පස්සෙන් පැන්නුවෙ ආච්චිට රිටර්න් එකක් දීමටයි.

    බිංදු.. මං කියල තියෙනවානෙ ලොකු අයට…
    අමන්දා කෑ ගැහුවත් බිංදුට ඒ ඇහුනේ නැතිය. අමන්දා කිව්වෙත් ඒක ඇහෙනවට වඩා යුතුකමක් කොට සලකාය. ඈ කාමරයට ගොස් ඇගේ ඇඳුම් උනා දමන්න ගත්තාය. හැඳ සිටි ගවුම උනා දැමූ ඇය බ්‍රා එක සහ පෑන්ටි එක පිටින් කණ්ණාඩිය ඉස්සරහ උන්නාය.

    ඈ කවදාවත් මේ විදිහට ඇයව නරඹන්නේ නැත. පිළිකා පරීක්ෂාවට කියා පියයුරු මිරිකන්න කිව්වත් ඇය එය කරන්නේ කණ්ණාඩිය අසලට ඇවිත් නොවේ. කාලයත් සමග තමන්ගේ නිරුවත් දකින්නට තමන්ටම ඇතිවෙන ලැජ්ජාව ගැන අමන්දා පුදුම වුනේ නැත. ඇයට එය දැනුනේ දරුවෙක් සිටින මවකගේ ස්වභාවික තත්වයක් හැටියෙනි. දැන් ඇය විසේකාර කෙල්ලක නොවේ. ඇය දැන් මවකි. බිරිඳකි. ඇය ඒ ගරුත්වය රැකිය යුතුය.

    නමුත් අද අමන්දාට තමන් දෙස බැලුනේය. තමන්ගේ පියයුරු දෙස උවමනාවෙන් බැලුනේය. යන්තම් පියයුරු තනපටයෙන් පිටතට දමා බලන්නට සිතුනේය. හැරී තමන්ගේම නිතඹ දෙස බැලෙද්දි තාමත් හැඩකාර යැයි සිතුනේය. මේ හැමදෙයක්ම ස්ටාලින් හින්දාය. තමන්ගේ වහලෙක් වන්නත් පෙරුම් පුරන පිරිමියෙක් මේ රටේ සිටී. හැමෝම තමන් මවක් හැටියෙන් දකිද්දි තමන්ව කසයක් අතින් ගත් අනුරාගිනියක් හැටියෙන් දකින ස්ටාලින් කෙනෙක් සිටී. අමන්දාට තමන්ගේම සිතුවිලි ගැන සිනා නැගුනි. එතකොටම බිංදු කාමරේට ආවේය.

    අම්මා…
    අමන්දා අඩ නිරුවතිනි. ඇය බිම වැටී තිබුනු ගවුමෙන් ඇඟ වසා ගත්තාය.
    බිංදු.. මං කියල තියෙනවා ඇඳුම් මාරු කරද්දි කාමරේට එන්න එපා කියල..
    බිංදු අමන්දා දෙස බලා සිටියා. ඔහුගේ මූනේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්.
    නෑ අම්මා එහෙම කියල නෑනෙ..

    ඇස් ලොකු කරගෙන බිංදු එහෙම කියනවිට අමන්දාටද එය නිවැරදි වග මතක් විය. ඇය ඕනෑ තරම් බිංදුව කාමරේ තියාගෙන ඇඳුම් මාරු කරයි. බිංදු නිතර කිරි බොන්න හදන කරදරෙන් ඇය මිදුනේද මෑතකයි.
    මට මේ මොකද වෙලා තියෙන්නෙ…

    අමන්දා බිංදුගේ ඔලුව අතගාමින් සිනාසුනා. ෆේස්බුක් ගිහින් ස්ටාලින්ට මොකද වුනේ යැයි බැලුවා. තාමත් පොරය එහෙමමය. දැන් එය කාන්තාවාදී සටනකි. එය විනෝදයකි.

    පැය කීපයකින් නිර්මාල් ගෙදර ආවේය. ඔහුගේ කාර්එක මිදුලේ නවත්තන සද්දෙට අමන්දා උනන්දුවෙන් සාලයට ආවාය.

    මොකද පරක්කු වුනේ… ඇය ඇහුවෙ විශේෂයක් ඇති නිසා නොවේ. නිර්මාල් හැමදාම එන්නේ මේ වෙලාව ආසන්නයේය. ඕනෑ නම් පැය බාගයක් පරක්කු වෙන්න ඇතිය.

    අද අපේ ඔෆිස් එකට ආවානෙ හමුදාවෙන්. කොවිඩ් වැක්සින් එක ගහපු නැති අය අල්ලන්න. හොඳ වෙලාවට මගේ ළඟ කාඩ් එක තිබුනෙ. දෙන්නෙක් ඇල්ලුවා. උසාවි දැම්මා. මෙච්චර වෙලත් මුං වැක්සින් එක ගන්නෙ නෑනෙ..

    නිර්මාල් ගෙට ඇතුල් වුනේ තමන්ගේ දවසේ විශේෂම ප්‍රවෘත්තිය කියාගෙනය. බහුතරයක් වැක්සින් කර ඇති නිසා දැන් මාස්ක් පළඳනා කරදරය අහවරය. නමුත් කාඩ් එක ළඟ තබාගැනීම අයිඩෙන්ටියට වඩා වැදගත්ය. නැත්තං ඕනම වෙලාවක ඕනම තැනක අත්අඩංගුවට පත්විය හැකිය.

    ඒත් වැක්සිනය අන්තර් ජාතික කුමන්ත්‍රණයක් ලෙස සළකා එය නොකර සිටීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන සුලුතරයක් රටේ සිටී. නිර්මාල්ලාගේ ඔෆිස් එකේ හිටියේ නම් ඉඳිකටුවට ඇති බය නිසා මළත් එන්නත් නොකරන දෙන්නෙකි. උන් දැන් පිටුවහලුන් මෙන් හැංගි හැංගි ජීවත් වෙති. එන්නත් නොකරන සියල්ලන් රාජ්‍ය ද්‍රෝහීන් හැටියෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ කතාවට වඩා අමන්දාට දැනුනේ නිර්මාල් ළඟින් ආ බීර ගඳය. කොහෙට හෝ ගොසින් බීලා ඇවිත් ඇත. එය වරදක් නොවේ. නමුත් නිර්මාල් තමන් විසින්ම එය වරදක් හැටියෙන් ගෙන වසන් කරන්නට විවිධ දේශපාලන කතන්දර කියයි. එය විහිලුවකි. නමුත් ඒ නිර්මාල්ගේ හැටිය.

    අමන්දා නහය වසා ගත්තාය. ඒ ගඳ දැනෙන බව නොකියා ඇඟවීමටයි.

    ඔහු වැඩ කරන්නේ සොෆ්ට් වෙයාර් කොම්පැනියකය. ඒ නිසාම තේරුම් ගත නොහැකි ජාතිමාමකත්වයක්, ආගම් බැතියක් නිර්මාල්ට ඇත. උදේ කාර් එකේ ඩෑෂ් බොර්ඩ් එක උඩ අලවා ඇති බුදු පිළිමය ඉදිරියෙන් මල් කීපයක් නොතබා නිර්මාල් වාහනය ස්ටාර්ට් කරන්නේ පවා නැත. ඒ මදිවාට ඔහු වෙජිටේරියන්ය. අමන්දා බිංදුත් එක්ක එලියට ගිය විටෙක් මස් මාංශ කෑවොත් මිස ගෙදරට ඒවා නොගෙනෙයි. මේ නිසාම බිංදුගේ ආසම කෑම කේඑෆ්සී චිකන්ය.

    ස්ටාලින් ගැන කියන්නට ඕනෑ වුනත් අමන්දා එය නොකීවේ නිර්මාල් ළඟින් ආ බීර ගඳ නිසාය. බීර බීම ඇත්තට සිදුවු දෙයක් නොවන හැටියෙන් හිඳින්නට ඔහු දරන තේරුමක් නැති උත්සාහය අමන්දාට ඇති කළේ බාල හැඟීමකි.

    මල් පබා… වී….. මල් පබා…
    පුදුම නිර්මාණයක් අප්පා.. මේ රටේ මිනිස්සුන්ට මේවා වටින්නෙ නෑනෙ.. බලන්න වචන.. මියුසික්.. මේකනෙ සංගීතය කියන්නෙ. දැන් ඔක්කොම උන් කියන්නෙ කුණුහරුප. ඒ මදිවට ඒවා සාහිත්‍ය කියල කියන්න හදන එවුනුත් ඉන්නවා…

    නිර්මාල් තමන්ගේ අයිමැකයේ සිංදු අහමින් ඒවා තනියම විචාරය කරයි. අමන්දා පිටුපස සිට අසා සිටිනවා යැයි ඔහු සිතයි. අමන්දාට වේරලියැද්දව පේන්න බැරිය. ඇය සිටියේ හෙට ප්‍රසන්ට් කළ යුතු වාර්තාවක් සකස් කරමිනි. බිංදු ඇඳේ අනිත් පැත්තේ නිදි.

    නිදාගන්න පෙරාතුවද අමන්දා නැවත තමන්ගේ ෆේස්බුක් එක බැලුවාය. ස්ටාලින්ගෙන් මොනවා හෝ ඇවිත් ඇතැයි පැතුවාය. නමුත් සියල්ල හිස්ය. ගෝෂාව විතරය. ඈ ලැප්ටොපය පසෙකින් තබා නිදාගන්න හැදුවාය.

    මට ඔයාගෙ සෙක්ස් ස්ලේව් වෙන්න ඉඩ දෙන්න… ඈට ඒ අකුරු වචන වී සද්ද වී ඇසුනේය. ඒ වචනවලින් තමන්ගේ ඇඟට වෙන අමුත්තක් දැනුනේය. නිර්මාල් ඇඳට ආවේ අමන්දා ඒ හැඟීම් එක්ක ඒ අතට මේ අතට පෙරලෙද්දීය.

    කාමරේ ලයිට් නිමී ගියේය. නොනිමුනු පරිගනක තිරය විතරක් දැල්වුනේය.

    නිර්මාල්ගේ තමන්ගේ සිරුරේ යාන්තමින් තැවරෙද්දි අමන්දාට බොහෝ කලකින් නොදැනුනු හැඟීමක් දැනුනාය. ඈට තවත් ඒ ස්පර්ශය හොඳින් දැනෙන්න උවමනා විය. ඈ ඔහුට සමීප වූවාය.
    නිර්මා….ල්..
    ඈ හෙමින් මතුළාය.

    හ්ම්…. නිර්මාල් සාමාන්‍යයෙන් ඇඳට වැටෙන්නෙම නිදාගෙනය.
    ඈ හෙමින් ඔහුගේ අතක් රැගෙන තමන්ගේ ටීෂර්ට් එක ඇතුලෙන් දමාගත්තාය. යන්තමින් පියයුරුවල වැදෙන්නට ඉඩහැරියාය..

    අප්‍රාණිකව තමන්ගේ පියයුරු මත දැවටෙන ඇඟිලිවලින් අමන්දා මුසපත් විය. ඈට තුරුල් වෙන්නට උවමනා විය. ඒ ඇඟිලිවලින් තමන්ගේ පියයුරු මිරිකෙනවාට ආසා විය.

    නිර්මා….ල්.. මෙවර ඈ කීවේ අනුරාගී සුසුමක්ද සමගය. තමන්ටම පාලනය කරගත නොහැකි පරිදි ඈ නිරුවත් කකුලක්ද නිර්මාල්ගේ සිරුර මතින් දමා ගත්තාය.

    නිර්මාල්ගේ ඇස් ඇරුනි.
    මොකෝ මේ?

    ඔහු ඇසුවේ යම් රෝගයක් දැයි අසන නියාවෙනි. ඒ ස්වරයෙන්ම අමන්දාගෙ දැහැන් බිඳුනි. කකුල ආපසු නිසි තැනට ආවේය. අමන්දා අනිත් පැත්ත හැරුනාය.


    කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ පෙරේරා ලියයි

  • සෙක්ස් ස්ලේව්

    සෙක්ස් ස්ලේව්

    කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ පෙරේරා ලියන නවකතාව

    පළමු කොටස

    එදින කාර්ය බහුල දවසකි. අමන්දා හිටියේ පිස්සුවෙන් වගේය. හුවමාරු වෙන කෝල් අතරෙ ඇගේ සිහියද විකල් විය. ඒත් ජීවිතයේ හැටි එහෙමය. පඩියට වැඩ කරනවා නම් මහන්සි විය යුතුමය. නිකං පඩි දෙන්න කවුරුවත් අමන්දාට නැත.

    ආ.. මොකද මූන රතුවෙන්න වැඩ හම්බුවෙලා නේද?
    පිටිපස්සෙන් යන ගමන් අරලියා අමන්දාගේ පස්ස කෙනිත්තුවාය.

    ඌයි..
    අනිත් පැත්තේ ක්ලයන්ට් ගැන නොහිතා අමන්දාට කෑ ගැස්සුනි. අමන්දා හිටියේ මේසයට හේත්තු වී ඉදිරියට නැමීගෙනය. අරලියා හැමතිස්සෙම එහෙමය. අමන්දාගේ පස්ස දුටු තැන අඩන්තේට්ටම් කරයි. අමන්දාට තිබුනෙත් එහෙම මොනවාම හරි කරන්න හිතෙන පස්සකි. කෙනිත්තූ වෙලාවට කේන්තියෙන් ගහන්න පැන්නත් පස්සෙ හැඩයට ලැබුනු ප්‍රශංසාව අමන්දාට මොහොතකින් සතුටක් ගෙනෙයි.

    කොන්ෆරන්ස් කෝල් කියන්නෙ ඔහේ කාලය කාදමමින් අහගෙන ඉන්න එකටය. වැදගත් කාරණයක් කවුරුන් හෝ කියතොත් ඒ ඉතාම අහම්බයකි. කොහොමත් කතා කරන සියල්ල පටිගත වෙයි. එබැවින් කතා කරන කෙනෙකුට කියවාගෙන යන්න ඉඩදෙනවා මිස කළ යුතු වෙන මොකුත් නැත. කනේ ෆෝන් එක තිබුනට කන ඕෆ් කර තබා ගත හැක. එය කාලයක් තිස්සෙ දුරකතන පනිවුඩවලින් හිරිහැරයට පත්වෙන කන් විසින් සොයාගන්නා තාක්‍ෂණයකි.

    අමන්දා කෝල් එක අහන් ඉන්න අතරෙ ෆේස්බුක් එක එබුවාය. මැසෙන්ජර් පනිවුඩයක් ඇවිත් එල්ලී තිබුනේය. එය එවා ඇත්තේ ජෝසප් ස්ටාලින්ය.

    ඇමන්ඩා මයි ඒන්ජල්. ලෙට් මී බී යුර් සෙක්ස් ස්ලේව් ෆොර් මයි එන්ටයර් ලයිෆ්. ලෙට් මී වර්ෂිප් යූ.
    (අමන්දා මගේ දෙවඟන. මගේ ජීවිත කාලය පුරාවටම ඔබේ ලිංගික වහලා වීමට මට ඉඩදෙන්න . ඔබව නමස්කාර කිරීමට අවසර දෙන්න)

    පණිවුඩය එපමණය. හාට් සහ හාදු පෝලිමක්ය. කෝල් එක අතර පනිවුඩය බැලූ අමන්දාට ඉක්කා වැටුනි. ඈට නිතැතින්ම වටපිට බැලුනේ එය කාගේ හෝ නොමනා විහිලුවක් වීමට ඕනෑතරම් ඉඩ ඇති නිසාවෙන්ය.
    ඒත් හැමෝම තමන්ගේ පාඩුවේ වැඩය.

    හෙලෝ.. කැන් අයි කෝල් යූ ඉන් අ මිනිට්..
    (හලෝ, මම ඔබට තව ටිකකින් කතාකරන්නද)

    එක්වරම නැගුනු මැඩගත නොහැකි කෝපය නිසා අමන්දාට ක්ලයන්ට්ව විසන්ධි කරන්නට සිදුවිය. මොනවා හෝ කියවෙන්න ඉඩ ඇත. සියල්ලට පෙර තමන්ගේ කේන්තිය පිටකර හැරිය යුතුය. ඒකට මේ වහලාව ඉවරයක් කළ යුතුය.

    ජෝසප් ස්ටාලින්? ගුරු සටනෙ ඉස්සරහ හිටපු කෙනා නෙමෙයි. අවුරුදු හතලිහක විතර පෙනුමක් තියෙන මූන උල් හාදයෙක්. කොහොමටත් ගුටිකන මූනක් ඔහුට තිබුනෙ. බැඳලා ළමයිනුත් ඉන්න මිනිහෙක්. අහලා පුරුදු නමක් මිසක් කොහේවත් දැකලා පුරුදු කෙනෙක් නෙමෙයි. අමන්දාට ඔහු දුටුවනම ආවෙ පිළිකුලකි.

    ඒ පණිවුඩය තමන්ට අපහාසයක් හැටියෙන් අමන්දාට දැනුනේ ඇයි කියා අප දන්නේ නැතිය. අමන්දා ඒ ගැන දැනසිටියේද නැතිය. නමුත් කවුරුන් හෝ තමන් අපහරණය කරනවා වගේ හැඟීමක් අමන්දාට දැනුනේය.

    හිටපං මං ඉස්ටාලින්ට..

    අමන්දා අනිත් සියලු වැඩ පැත්තකින් තබාලා ස්ටාලින්ගේ ෆේස්බුක් පිටුවේ ස්ක්‍රීන් ෂොට් ගහන්න වුනාය. දත්මිටි කමින් ඒ ගැසූ සියල්ල එකතු කර පෝස්ට් එකක් ලියන්න ගත්තාය.

    ”මේ ස්ටාලින් කියන පිරිමියා මගේ සෙක්ස් ස්ලේව් වෙන්න අහනවා. ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං මේ ඔක්කොම එතුමාගේ බිරිඳටත් යවනවා. වැඩ කරන තැන්වලටත් යවනවා. වහලෙක් වෙලා තමයි ඊට පස්සෙ කොහොමත් ඉන්න වෙන්නෙ.”ඇය ඇඬෙන හිනා පෝලිමක්ද අගට එකතු කළාය. ස්ටාලින් වැඩකරන්නෙ බැංකුවකය. පුළුවන් හැමතැනම ස්ටාලින්ගේ රෙදි ගැලවීම අමන්දාගෙ ඒ මොහොතේ ඒකායන පරමාර්ථය වුනේය. පෝස්ට් බොත්තම ඔබන්න ඔන්න මෙන්න තියෙද්දි අරලියා එතනට කඩාපාත් වුනාය.
    මොනවද උඹ ඔය කරන්නෙ?

    මං මේ බෙල්ල කඩාගෙන වැඩකරනවා. මේ යකා බලපං.. ඌ මගේ සෙක්ස් ස්ලේව් වෙන්න අහනවා..
    ඉතිං ඇයි ඔච්චර තරහ ගිහින්. මිනිහා මොනවා හරි නරක දෙයක් කියල තියෙනවද?
    නරක දෙයක්? ඇයි මේක හොඳ දෙයක්ද?

    අරලියාට තමන්ගේ කේන්තිය නොතේරීම නිසාම ඇතිවුනු තරහට අමන්දාගෙ අතින් පෝස්ට් බොත්තම තද විය.

    ඕක ඩිලීට් කරන්න.. ඌ පව්..
    අරලියා ඉල්ලා සිටියත් අමන්දා සිටියේ කාලි ආවේශ වීය. තමන්ගේ පුද්ගලික මැසේජ් කලාපයට ඇවිත් තමන්ට ලිංගික යෝජනා කිරීම නිසාම ඇගේ සංස්කෘතිය සදාචාරය කෝප වී සන්නිපාත වී තිබුනේය. ඒ වෙලාවට කතා කිරීමෙන් පලක් නැත. අරලියා පැත්තකට විය.

    ඌ වැරැද්දක් කරලා නෑ. උඹයි වැරදි..
    යන්න කලින් අරලියා ඒ ටික අමන්දාට කිව්වාය. අමන්දාට යක්ෂාවේශ වීමට උවමනා වී තිබුනේ ඒ කෙනිත්තිල්ල විතරය.

    ඔයා මේ වගේ වල්කම් ටොලරේට් කළාට මං එහෙම නෑ අරලියා. අයි ඇම් අ මැරීඩ් වුමන්. අයි හැව් අ හස්බන්ඩ් ඇන්ඩ් අ සන්. සම් පීපල් හැව් සම්තින්ග් කෝල්ඩ් ඩිග්නිටි ඉවන් දෝ මැනි ඩෝන්ට් හැව් ඉට්..
    (මම කසාද බැඳපු ගැහැණියක්. මට සැමියෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. සමහර අයට තිබෙනවා ගරුත්වය කියා දෙයක් . බොහෝ දෙනෙකුට නැතුවාට)

    ස්ටාලින් ගැන කෝපය අමන්දා අරලියාට දමා ගැසුවාය. අරලියා මොහොතින් එතනින් වාෂ්ප විය. පස්සෙන් පන්න පන්නා බනින්න අමන්දාට ඕනෑ වුනු නමුත් ඈ ඒ මැඩ ගත්තාය. අරලියා අතහැර නැවත ස්ටාලින් වෙත හැරුනාය.

    කමෙන්ට් වරුසාවක් වැස තිබුනි. බුකි වාසීන් ස්ටාලින්ගේ ඇඳිවත උනා ඉන් සරුංගල් අරමින් සිටින්නේය. ඔහුගේ බිරිඳගේ සහ දරුවන්ගේ පිංතූරද එලියට ඇදී ඇවිත්ය.

    මෙච්චර ලස්සන ගෑනියෙක් මොකට බැන්දද මන්දා අර වගේ අසහනකාරයෙක්…

    අමන්දාට ස්ටාලින්ගේ බිරිඳ ගැන අවංකව දුක හිතුනි. තමන්ගේ සැමියා ගැන හීන් ආඩම්බරයක්ද දැනුනි.
    මොනවා නැතත් මෙහෙම වල් නැති එකම මදිද..

    මොනවා නැතත් කියා ඇයට සිතුනේ මොනවා ගැනදැයි ඇය දැන සිටියේ නැතිය. ඇය දැන නොසිටි මොනවා හෝ ඇයට නැතිවී ඇද්දැයි සොයාගන්නටද බැරිය. බුකියට කාන්තා අපචාරයක යෙදුනු එක පිරිමියෙක් හසුවී ඇත්තේය. එබැවින් මොහොතකින්, කමෙන්ටුවක් හෝ ෂෙයාර් එකක ප්‍රමාදයෙන් අන් සියල්ලන්ට සුදනන් විය හැක්කේය. අමන්දා බලා සිටියේ ස්ටාලින්ගේ ප්‍රතිචාරයක් එනකල්ය.

    උඹට දෙන්නංකො මං සෙක්ස් ස්ලේව්..’


    දෙවන කොටස මෙතැනින් කියවන්න