කොලින් විල්සන්ගෙ පොතේ දෙවන කොටස

ගයිඩ්ගේ කොරිඩන්

ගයිඩ්, මෙතන කියන්නෙ නොබෙල් සම්මානලාභී ප්‍රංශ ලේඛක අන්ද්‍රේ ගයිඩ් ගැන, එයා ලියනවා සමලිංගික සම්බන්ධතා ගැන සොක්‍රටීස් ඩයලොග් වර්ගයේ සංවාද හතරක් එක කරපු පොතක්. මේ සංවාද යන්නෙ කොරිඩන් කියන පෙඩරස්ටි (වැඩිමහල් පිරිමියෙක් සහ ළාබාල තරුණයෙක් අතර ලිංගික සම්බන්ධය) චර්යාවක් ඇති චරිතයක් එක්ක. ගයිඩ්ගෙ පෙඩරස්ටි නැඹුරුව කොහෙත්ම රහසක් වුනේ නෑ. මේ පොතේ ගයිඩ් උත්සාහ කරනවා සමලිංගික චර්යාව දාර්ශනිකව සාධාරනීකරනය කරන්න. ඒත් මේ පොත හුදු සමලිංගිකත්වයට පක්ෂපාතවීමකට වඩා එහාට යනවා. ගයිඩ්ම කියන විදිහට මේක තමයි එයා අතින් ලියවුනු වැදගත්ම පොත. තමන්ගෙ ලිංගික චර්යාවක් සාධාරනීකරනය කරන්න පමණක් ලියවුනු පොතක් ගැන එහෙම පෙනී සිටීමක් කරන වර්ගයේ මෝඩයෙක් නෙමෙයි ගයිඩ්. මේ පොතේ මතුකරන ප්‍රශ්න ඇත්තටම සමලිංගිකත්වය ස්වභාවිකද නැත්තං පිටුදැකිය යුතුද කියන කාරණයට වඩා ගැඹුරට ගමන් කරනවා.

ගයිඩ් පෙන්නලා දෙනවා සතුන්ගෙ නම් ලිංගික ආකර්ශනය ඇතිවෙන්නෙ ගැහැණු සත්වයා ලිංගික ඍතුවට ළඟාවීමේදී පැතිරෙන සුවඳත් එක්ක කියල. ඒක නිසා සතුන්ගෙ ලිංගිකත්වය සම්පූර්ණයෙන්ම ස්වභාවික හෝ කායික විදිහට ගන්න පුළුවන්. ඒත් ගයිඩ් කියනවා සතුන්ගෙ වුනත් මේ ලිංගික ඍතුව එනකල්ම එබඳු ආශාවක් ජනනය වෙන්නෙ නෑ කියන එක බොරුවක් කියල. ගොඩක් සත්තු මේ ලිංගික උවමනාව ඉවසගන්න බැරුව පිරිමි සතුන්ගෙම ඇඟ මත නගිනවා. මොකක් හෝ සුමුදු පෘෂ්ටයක් මත ඇතිල්ලීමෙන් ආස්වාදය ලබන්න උත්සාහ කරනවා (සමහර විට මිනිහෙකුගෙ කකුලක් වුනත් වෙන්න පුළුවන්). නමුත් මේ ලිංගික ඍතුවේ ඇතිවන සුවඳ සතුන්ගේ ලිංගික ආවේග එකතු කරන්නත් හසුරවන්නත් බලපානවා කියන එක ඇත්ත.

මිනිස්සුන්ගෙත් මේ විදිහටම ලිංගික ආශාවන් උතුරා යනවා. ඒත් අර සතුන්ගෙ වගේ එහෙම ඍතුමය සුවඳක් හෝ නිශ්චිත කාලයක් වෙලාවක් හෝ නෑ. මිනිසාගේ ලිංගික ආවේග හසුරවන්නෙ සම්පූර්ණයෙන්ම මනසින්. මේ හින්දම තමයි මිනිස් ලිංගික ආවේගයන් යොමුවන විවිධ විවිධ දිශානතීන් ඇතිවෙන්නෙ. වෙන විදිහකින් කිව්වොත් පර්වර්ෂන්ස්, විකෘති ඇති වෙන්නෙ. සාමාන්‍යයි සැලකෙන පිරිමියෙක් නිරුවත් ගැහැනියක් දැකීමෙන් උත්තේජනය වෙනවා. ඒත් ඒ පිරිමියා අතිශය කෙසඟ ගැහැනියක් හෝ අතිශය තරබාරු ගැහැනියක් හෝ මැදිවයසෙ අම්මා කෙනෙක් වගේ ගැහැනියක් ප්‍රිය කිරීම වුනත් අස්වාභාවික විදිහට සැලකන්නෙ නෑ. ඒ වගේම ඒ පිරිමියා කාන්තාවක් යටඇඳුම් පිටින් ඉන්නවා දැකීමෙන් හෝ ඇගේ මුදාහල කෙස්කළඹ දැකීමෙන් හෝ වඩාත් උද්දීපනය වෙනවා වුනත් ඒක අස්වාභාවික විදිහට ගන්නෙ නෑ.

ගයිඩ් මේ හින්ද කියන්නෙ පිරිමියෙක් ළාබාල ගැටවරයෙක් හෝ වෙනත් පිරිමියෙක් ප්‍රිය කිරීමත් අස්වාභාවික විදිහට ගන්න බෑ කියල. ඔව්, සමලිංගික සම්බන්ධතාවයකින් ඊලඟ පරපුරක් බිහිකරන්න බෑ තමයි. ඒත් ගයිඩ් පෙන්නලා දෙනවා එහෙම සමලිංගික සම්බන්ධතා ඇති අයත් පවුල් ජීවිත ගතකරමින් දරුවන් බිහිකරන අවස්තා ඕනතරම් තියෙනවා කියල. ගයිඩ් නොකියා කියන්නෙ ලෝකෙ සෑම ගැහැනියක්ම සහ පිරිමියෙක්ම සමලිංගික වුනත් කමක් නෑ ඔවුන් වගකීමක් හැටියට තමන්ගේ දරුවන් බිහිකිරීමේ කාර්යය ඉටු කරනවා නම් කියල.