විනිශ්චය කියන්නෙම වැරදි වචනයක්. කිසිම ආර්ට් එකක් හෝ මනුස්සයෙක් විනිශ්චය කරන්න බෑ. ඒත් එක එක අවස්තාවල අපි යම් යම් මානයන් හදාගන්නවා උවමනාව අනුව. ඉරොටික් ෆෙස්ට් එකත් එහෙම වැඩක්. අපිට ලැබුන කතා ගොඩ අපි කරුනු කීපයක් හිතේ තියාගෙන බලනවා.

සාහිත්‍යමය විනිශ්චයන්ට වඩා මෙතනදි ප්‍රායෝගික විනිශ්චයන් මූලික වෙන්න ඕන කියලයි අපි හිතන්නෙ. ඒක නිසා එක දෙයක් විදිහට කතාව කොයිතරම් අලුත් අත්දැකීම් දිශාවට ගිහින් තියෙනවද කියල අපි බලනවා. අපිට කොයිතරම් දේවල් ෆැන්ටසයිස් කරන්න පුළුවන්ද කොයිතරම් ඩීටේල් ඇතුව ෆැන්ටසිය මවන්න පුළුවන්ද කියන එක මූලිකම කාරණයක්.

ඊට පස්සෙ ඒ ශෘංගාර අත්දැකීම ලිංගික උවමනාව කියන ප්‍රාථමික තැන ඉඳන් කොයිතරම් දුරට සෞන්දර්යාත්මක, මනෝවිද්‍යාත්මක හෝ සමාජ දේශපාලනික වටපිටාවක් එක්ක සම්බන්දද කියන එක. අපිට ආශාව ඇතුලෙ කොයිතරම් වැඩ දාන්න පුළුවන්ද කියන එකයි මෙතනදි වැදගත්.

මේ හැම දෙයක් අතරම කියවන්නාගේ ආශාව අවුස්සන එකත් වැදගත්. මේ තරම් පෝර්න් තියෙද්දි අකුරු ඇතුලෙ හැංගුන ශෘංගාරය හොයන රහස දැනගන්න එකත් වැදගත්. අනිත් කලාවන් වගේ බුද්ධිමය ආමන්ත්‍රණ කතා කියල පැනලා යන්න බෑ. තෙත් වුනේ නැත්තං කෙලින් වුනේ නැත්තං කතාව ෆේල්.

ඉරොතික කතාවක් ලියන්නෙ කොහොමද කියන එක ගැන නම්දරාපු ඉරොතික ලේඛකයො මේ වගේ මතක් කිරීම් කීපයක් කරනවා. 

ඉරොතික කතාවක සෙක්ස් මූලික කාරණයක් වුනාට ඒක ලියන කෙනා විසින් ද්විතියික විදිහට සැලකිය යුතුයි කියලයි කියන්නෙ. නිතරම කතාවෙ ප්ලොට් එකට සහ චරිතවලට ලිංගික ක්‍රියාවට වැඩි මූලිකත්වයක් දෙන්න කියන එකයි උපදෙස. මොකද ඒ කතාව සහ චරිතවලින් තමයි කියවන්නා ලිංගික අත්දැකීමට ඇතුල්වෙන්නෙ.

ඒ වගේම චරිත ගොඩනැංවීමේදී ඒ චරිතවල ඩයිනමික්ස් නැත්තං ගතිකයන් නිර්මාණය වෙන්න ඕන. කවුරුවත් කැමති නෑ ෆ්ලැට් චරිත දිහා බලන් ඉන්න. ඒ හින්ද ඔබේ චරිත කතා කරන විලාසය, ඒ චරිතවලට ඇති විනෝදාංශ ආදිය ඒ ගොල්ලො අහන විඳින මියුසික් වගේ චරිතයේ විවිධ නැඹුරුතා කතාව කියවන පාඨකයා දැනගන්න ඕන.

කතාවෙ පර්ස්පෙක්ටිව් එක නැත්තං දෘෂ්ටිකෝනය කියන එකත් සැලකිලිමත් විය යුතුම දෙයක්. අපි කතාව කියන්නෙ ගැහැණියකගෙ පර්ස්පෙක්ටිව් එකෙන්ද නැත්තං පිරිමියෙකුගෙ පර්ස්පෙක්ටිව් එකෙන්ද එහෙමත් නැත්තං වෙනමම කෝනයකින්ද කියල තීරණය කරන්න වෙනවා. ගැහැණු පර්ස්පෙක්ටිව් එකෙන් ලියවෙන කතාවලට වැඩි ආකර්ශනයක් තියෙනවා කියලයි ඉරොතික සාහිත්‍යයේ පේන්න තියෙන්නෙ. හැබැයි ඒක අනිවාර්යයක් නෙමෙයි. මේ විදිහටම ලේඛකයා මේ චරිත සහ සිද්දීන් දිහා බලන දෘෂ්ටිකෝනයත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලේඛකයා ඒ දේවල් දිහා බලන්නෙ වරදකාරීත්වයකින්ද, පසුගාමීබවකින්ද නැත්තං නිදහස් දැක්මකින්ද කියන එක කතාවෙ ශෘංගාරයෙ තීව්රබවට හෝ බිඳවැටීමට බවට බලපානවා.

අපිට පුළුවන් ඉරොතික කතාවක් අතර විවිධ ජොන්රා වලට මාරු වෙන්න. සමහර විට රොමෑන්ස්වල ඉඳන් ඇක්ෂන් හෝ ත්‍රිලර් හොරර් ජොන්රා එකක් දක්වා කතාව දිගහැරෙන්න පුළුවන්. එකම කතාවක් ඇතුලෙ මේ විදිහට ජොන්රා අතර ගමන්කිරීම එක්සයිට්මන්ට් එක වැඩි කරන කාරනයකුත් වෙනවා.

කතාව පුරාම අනුරාගය එකම හුයක් විදිහට අරගෙන යන එක වැදගත් වෙනවා. අපි සමහර විට කතාව ඇතුලෙ ගේ, ගෲප්, බීඩීඑස්එම් වගේ සබ්කැටගරි ස්පර්ශ කරන්න පුළුවන් ඒත් අනුරාගය එකම විදිහට පවත්වාගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මේ සියල්ල අතරෙ කියවන්නාව සියුම්ව බැඳතබාගන්න . අනුරාගය කිව්වම ඒකට ගොඩක් දේවල් ඇතුලත්. පසුබිම, දෙබස්, විස්තර, චරිත, භාෂාව, රිද්මය මේ හැමදෙයක්ම අනුරාගීව හසුරුවන්න පුලුවන්.

ඉරොතික කතාවලදි වැදගත්ම දේ බය නැතුව අත්හදාබැලීම් කරන එක. අනිත් කිසිම සාහිත්‍යයකට වඩා මෙතනදි පරිකල්පනය නිදහස් කරන්න අවසර තියෙනවා. තහංචි නොතකාහරින එකම ශෘංගාරය උපරිම කරනවා . එතනදි අපි අපේ සිහින පුළුවන් තරම් විශාල අවකාශයක මෝචනය කරන්න උත්සාහ කරන්න ඕන.

කතාවෙ ටෙන්ෂන් එක නැත්තං ශෘංගාර ආතතිය නිදහස් කරන්න කොයිම වෙලාවකවත් හදිස්සි වෙන්න එපා. ඒ ආතතිය පුළුවන් තරම් දුර දරාගෙන යාමෙමයි සෞන්දර්යය තියෙන්නෙ. හදිස්සිය හැමදෙයක්ම කැත කරනවා කියලයි කියන්නෙ.

ගොඩක් අය හිතනවා සෙක්ස්වලදි ආදරය අනිවාර්යයි කියල. ආදරයත් එක්ක බැඳුන ශෘංගාරය වගේම ආදරය විරහිත රළු, හදිසි ශෘංගාරයෙත් ඊට අනන්‍ය ආස්වාදයක් තියෙනවා. ඒ නිසා හැමදෙයක්ම ආදරෙන් වටකරලා සමමිතික කරන්න ඕන නෑ.

ගොඩක් වෙලාවට අපි අතින් හරියට නිර්මාණය නොවෙන කොටස තමයි ෆෝර්ප්ලේ කොටස. හැම ලිංගික අත්දැකීමකදී වගේම කතාවකදිත් පෙර ශෘංගාර කොටස ඉතා හොඳින් හෙමින් ලියවෙන්න ඕන. තියෙන හදිස්සියට කෙලින්ම ඇක්ෂන් එකට පනින්න නරකයි.

කතාව ලියද්දි ඒක හරියටම සෙක්ස් ඇක්ට් විදිහටම ගන්න. කතාවෙ අවසානය තෘප්තිමත් එකක් කරන්න. ඒ කියන්නෙ සියල්ලො සතුටෙන් විසිර ගියා වගේ එකක් නෙමෙයි. සමහර විට මිනීමැරුමක් වුනත් තෘප්තිමත් අන්තයක් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නෙ අපි හැඟීම්වලින් උස්සලා තියෙන තැන අනුව.

ඉරොතික කතාවක ස්ට්‍රක්චර් එක හරියටම ලිංගික ක්‍රියාවක් විදිහටම නිර්මාණය කරන්න කියලයි මේ ශෘංගාර ප්‍රවීනයො කියන්නෙ. පූර්ව ලිංගික කලාපය (උත්තේජනය), ක්‍රියාත්මක වෙන කලාපය (ක්‍රියාව), සුරතාන්තය සහ සංසුන්බවට පත්වීම කියන කොටස් හරහා තමන්ගෙ කතාව ස්ට්‍රක්චර් කරගන්න එක වැඩකරන විදිහක්.

කතාව කියවන කෙනා තමන්ගේ ශෘංගාර අත්දැකීමේ සජීවී කොටස්කරුවෙක් විදිහට සලකන්න. ඇඳ ළඟ පාඨකයා පුටුවක් තියාගෙන බලන් ඉන්නවා කියල හිතන්න. එයා වෙනුවෙන් දේවල් ලියන්න.

ඉරොතික කතාවකදි අපි තෝරගන්න ලොකේෂන් එකත් සෑහෙන වැඩකොටසක් කරනවා. ඒ පසුබිමේ ඊස්තටික්වලින් අනුරාගයට ලොකු බලපෑමක් සිද්ද වෙනවා. ක්විකී එකකට තෝරගන්න පසුබිමක් රොමාන්තික ශෘංගාරයකට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම තෝරාගන්නා පසුබිමෙන් පුළුවන් ආස්වාදය උපරිමයෙන් දැනවෙන ඩීටේල් කතාව ඇතුලට ගේන්න. වර්ණ සුවඳ ස්පර්ශය හඬ විඳින්න පුළුවන් විදිහට දැනෙන්න ලියන්න.

ගොඩක්ම කෙලවෙන තැන තමයි වචන. මේක හරිම සබ්ජෙක්ටිව් තෝරාගැනීමක්. වැඩකරන්නත් පුළුවන් කෙලවෙන්නත් පුළුවන්. හැබැයි තෝරගන්න හැම වචනයකටම තමන්ගෙ ඇතුලෙ ඉරොතික සාධාරණයක් ඉටු කරන්න ලියන කෙනාට පුළුවන් වෙන්න ඕන.

කතාව ලියන රිදම් එක ගැනත් හිතන්න. ඔයා ශෘංගාරය ප්‍රිය කරන්නෙ සෙමින් සුමුදුවද නැත්තං වේගයෙන් රළුවද? මේ හැගීම කතාවෙ වචන වාක්‍ය කඩන රිද්මයෙන් දනවන්න පුළුවන්. උස්පහත් කරන්න පුළුවන්. හරිටම ශෘංගාර නර්තනයකදි වගේ කතාව අවසානයේ සමාපත්තියකට ගේන්න පුළුවන්කම තියෙනවා.