සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් ගැන කිසි කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද අපි ජීවත්වෙන්නෙම ෆ්‍රොයිඩියානු විශ්වයක. අපි දැන්වීම්, විලාසිතා සහ කලාවන් විදිහට දකින්නෙම ෆ්‍රොයිඩියානු සංකල්ප. කොටින්ම අපේ අවිඥානය සොයාගත් මහා මනස් ගවේෂකයා වෙන්නෙ ෆ්‍රොයිඞ්.

ෆ්‍රොයිඞ් ඔස්ටි‍්‍රයානු ස්නායුවේදියෙක්. එයා තමයි මනෝ විශ්ලේෂණවාදය ලෝකයට හඳුන්වාදෙන්නෙ. ඒ හරහා මිනිස් පෞර්ෂය කියවන්නෙ අලූත්ම එළඹුමක් ෆ්‍රොයිඞ් අරන් එනවා. විසිවෙනි සියවසේ වඩාත් බලපෑම්කාරී චරිතයක් විදිහට ෆ්‍රොයිඞ්ව ගැනෙන්නෙ මේ හින්ද.

මිනිසාට අවිඥානයක් තියෙනවා කියල මුලින්ම හොයාගන්නෙ එයා. ඒ අවිඥානයේ සැගවුනු ලිංගික සහ අවේගකාරී හැගීම් නිරන්තරයෙන් ඒවා මත යෙදවෙන තෙරපුම්වලට එරෙහිව සටන්කරමින් ඉන්න වග එයා එලිකරනවා. ෆ්‍රොයිඞ් එයාවමත් ගැඹුරු විශ්ලේෂණ විෂයයක් විදිහට පාවිච්චි කරනවා. සිහින විශ්ලේෂණය හරහා අපේ අවිඥානයට කවුළුවක් නිර්මාණය කරනවා.

ඒ කාලෙ ස්ථාපිත වෛද්‍ය සංස්ථාව ෆ්‍රොයිඞ්ගෙ අදහස් පිලිගන්නෙ නෑ. ඒත් එයා වටේට ශිෂ්‍ය පරම්පරාවක් සහ අනුගාමිකත්වයක් නිර්මාණය වෙන්න ගන්නවා. 1910 ෆ්‍රොයිඞ් කාල් යුංග් එක්ක ජාත්‍යන්තර මනෝවිශ්ලේෂණ සංගමය ආරම්භ කරනවා. යුංග් තමයි මේ සංගමයෙ සභාපති වෙන්නෙ. කාල් යුංග් කියන්නෙ සාමුහික අවිඥානය ගැන අදහස ලෝකෙට ඉදිරිපත් කරපු මනුස්සයා.

පලවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ෆ්‍රොයිඞ් සායනික වැඩවලින් දුරස්වෙලා එයාගෙ තියරි ඉතිහාසය, කලාව, සාහිත්‍ය, මානව විද්‍යාව ආදී විෂයයන් ඇතුලෙ හොයන්න පටන් ගන්නවා. 1923 එයා ඉගො සහ ඉඞ් පිලිබඳ අදහස සමාජගත කරනවා. ඒ හරහා මනස ඉඞ් ඉගො සුපර් ඉගො හැටියෙන් බෙදලා වෙනම ආකෘතිගත කිරීමක් කරනවා.

මිනිස් ලිංගිකත්වයේ අවධීන් ෆ්‍රොයිඞ් විස්තර කරනවා. මුඛ අවධිය, ගුද අවධිය, ෆැලික අවධිය, ගුප්ත අවධිය සහ ලිංග අවධිය හැටියෙන් මිනිසෙක් ලිංගිකව වර්ධනය වෙන හැටි වයස් අනුව බෙදා දක්වනවා. ඉතාම කුඩා අතදරුවා පටන් මිනිසා මෙහෙයවන ආශාවක් හැටියෙන් ෆ්‍රොයිඞ් ලිංගිකත්වය දකිනවා. මේ මනෝ ලිංගිකත්වය ලිබිඩො කියල නම් කරනවා.

පිරිමි දරුවන් තමන්ගේ මව පිළිබඳ ලිංගික ආශාවකින් පසුවන බවත්, ඊඩිපස් සංකීර්ණය, ගැහැණු දරුවන් තමන්ගේ පියා පිළිබඳ එවැනිම ආශාවකින්, ඉලෙක්ට‍්‍රා සංකීර්ණය, පෙලෙන බවත් ෆ්‍රොයිඞ් එලිදරව් කරනවා. මේ සොයාගැනීම් ඒ කාලෙ සමාජය මත බෝම්බ වගේ පතිත වෙනවා.
1933 නාසි විසින් ෆ්‍රොයිඞ්ගෙ පොත් ප‍්‍රසිද්දියෙ පුච්චනවා. කෙටිකාලෙකින් නාසීන් ඔස්ටි‍්‍රයාව යටත් කර ගනිද්දි ෆ්‍රොයිඞ් වියනාවලින් ලන්ඩනයට පලා යනවා.

මිනිසාගේ මනෝ ලිංගික විෂයෙහි පතුල ස්පර්ශ කරමින් ලෝකය හිතමින් සිටි සෑම දෙයක්ම උඩුයටිකුරු කළ ලිංගික විප්ලවවාදියෙක් විදිහට ෆ්‍රොයිඞ් නොමැකෙන ජීවිත සටහනක් තියනවා.