*Spoiler Alert
හඳයා නාට්‍යයක් කරනවා කිව්වම මට මුලින්ම ආවෙ හඳයා ඉවර වෙන්න යනවද කියල සැකයක්. මොකද වේදිකාවෙන් පටන් අරන් ආපහු වේදිකාවෙන් රවුමක් සම්පූර්ණ වෙන්න යනවද කියල හැඟීමක් මට තිබුන. මිනිස්සුන්ට එහෙම වෙනවා. ආපහු මුලටම එනවා. ඔය රස්සාවෙන් විශ්‍රාම යනවා කියන කාලෙ හරිම ක්‍රිටිකල්. ඒත් හඳයා තද විශ්වාසෙකින් ඉන්න වග පෙනුන.
හඳයා කියන්නෙ ලංකාවෙ අමුතුම අනන්‍යතාවයක් හදාගත්ත ආර්ටිස්ට් කෙනෙක්. එයා කරන වැඩවලින් ලාබ ගන්න බෑ. ඒ වගේම මාර ප්‍රශංසා ලැබෙන්නෙත් නෑ. රට රටවල සම්මාන ලැබෙන්නෙත් අඩුවෙන්. හැබැයි ඒ ආර්ට්වලින් අනිවාර්යෙන්ම ලොකු කම්පනයක් ඇති කරනවා. සමහර වෙලාවට නඩු යන තරමට කම්පනය ප්‍රබලයි. හඳයා මහා සමාජයට කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ නිෂ් එකකට. තෝරාගත් ක්‍රිටිකල් සමාජ තීරුවකට. හරිම හිතුවක්කාර විදිහට එයා තමන්ට හිතෙන දෙයින් දමලා ගහනවා. ඒක ආර්ට්ද නැද්ද කියන එකවත් හඳයාට අදාල නෑ. එයාට අදාල වෙන්නෙ ඒකෙන් ඇති කරන කම්පනය. තිගැස්ම. ඒක හින්දම හඳයාගෙ හැම වැඩක්ම ප්‍රචන්ඩයි. ඉස්සර මං කිව්වෙ හඳයාගෙ වැඩ දේශපාලනිකයි කියල. ඒත් දැන් මං කැමතියි හඳයාව ලිංගිකව කියවන්න. හඳයා අපේ අවිඥානය එක්ක කරන ගනුදෙනුව කියවන්න. හඳයා අපේ පුරුෂ ලිංගයෙන් අල්ලගන්න හැටි කියන්න.
හරියට 07ට නාට්‍යය පටන් ගත්තා.
නාට්‍යයක් ආරම්භ වෙද්දි හෝල් එකක තියෙන්න ඕන බලාපොරොත්තුව පිරිලා පිම්බිලා තිබුන. ඒ වගේ ප්‍රේක්ෂාගාරයක ඉඳගෙන ඉන්න එකත් චමත්කාරයි. නාට්ටියෙ මුල ඉඳන්ම පුදුම එනර්ජි එකක් තිබුන. පටන් ගත්ත තැන ඉඳන් ඕඩියන්ස් එකත් එක්ක කෙලින් හරිම සජීවී සම්බන්දයක් ගොඩනගා ගන්නවා. අපි අපෙන් බාහිර කතාවක් බලන් ඉන්නවා නෙමෙයි. සිනමාවට වගේ නෙමෙයි වේදිකාවට පුළුවන් අපිත් එක්ක ගනුදෙනු කරන්න.
තල ගණනාවක දිගහැරෙන ඇන්ටික් කඩයක් ඒක. කතාව, කතාව කියන තාක්‍ෂණය, වේදිකාව පාවිච්චි කරන විදිහ ආදී මේ හැමදේකදිම ලේයර් ගනනාවක් එකිනෙක අතිපිහිත වෙන විචක්ෂන එලීමක්.
සිනමාවෙන් වේදිකාවට හඳයාගෙ පැමිනීම ඒකෙ තියෙනවා. ඒ සිනමාව ඇතුලෙ මූන දීපු නඩු තියෙනවා. සිනමාව ඇතුලෙ ඒ මේ චරිතවල අතීත කතාව තියෙනවා. වේදිකාව උඩ ඒ අයගෙ වර්තමානය තියෙනවා. ඒක කාලය සමග කරන පුදුමසහගත සෙල්ලමක්. සිනමා තිරයෙ ඉඳන් අපි ප්‍රේක්ෂකයො මේ ඉඳන් ඉන්න පුටුව දක්වා හඳයා එයාගෙ කතාව එලනවා. ඇස් ඉස්සරහ නළුනිළියො පේන වේදිකාව පාවිච්චි කරලා අපිව හීනයක් ඇතුලට ගෙනියනවා. ඒ හීනය සාමූහික හීනයක්. හඳයා ඇන්ටික් කඩේ ඇතුලෙන් යන්නෙ අපේ ඉතිහාසෙට. අතීතයේ ජීවත් වෙන ජාතියක් දකින භයානක හීනයක්. ඒ මදිවට ඒක ඇත්තක්.
කතාවෙ මූලික තේමාවක් විදිහට ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකල්පය එනවා. අම්මා සහ පුතා අතර සම්බන්ධය. හැම පැටලිල්ලක්ම පටන් ගන්නෙ මේ ඊඩිපස් අවුල හරියට විසඳිලා නැති තැනින්. කප්පාදු නොවුනු පුතෙක්. එයාට නීතියක් නෑ. නීති කඩන එකමයි එයාගෙ සතුට. එයාට ලෝකයක් නෑ. ඉන්නෙ අම්මෙක් විතරයි. එයා අම්මා එක්ක තියෙන සම්බන්දෙ සදාකාලික හිරකාරයෙක්. එකවර ලිංගික සහ අලිංගික ස්වභාවයන් දෙකම දරන ජීවිතේ එකම සම්බන්දය එයාව නෂ්ටකාමියෙක් කරනවා. මට ධර්මසිරිගෙ තුන්වෙනි යාමයෙ පොඩි එකාවත් මතක් වෙනවා. හැබැයි මං කැමති නෑ හඳයාව ෆ්‍රොයිඩ්ගෙ තියරියක හිරකරන්න.
මේ පොඩි එකාට ඕන අම්මා එක්ක නිරුවතින් නාන්න විතරයි. ඌ කරදඬු උස්වෙනකලුත් සෙක්ස් කියල දන්නෙ එච්චරයි. ඉතුරු ටික ඌට අනුව දූෂනයක්. නොවැඩුනු කැඩීබිඳුනු ලිංගික ජීවිතයක අර්බුදය. හඳයා ලංකාවෙ ඉංග්‍රීසි කතා කරන මැද පංතියේ වර්තමානය කියවන්නෙ එහෙම.
මේ කතාව අතීතයක් සහ අනාගතයක් අතර පිහිටන එකක්. ඒත් ඒ අනාගතය කියන්නෙ අද. එතකොට ඇත්තටම අනාගතයක් නෑ. අනාගතය කියන්නෙ අද දකින හීනයක් විතරයි.
හැබැයි මේ අද නැත්තං වර්තමානය තියෙන්නෙත් නැවතත් අතීතයක. ඒ අතීතයෙන් තමයි මේ වර්තමානයේ සියල්ල තීරනය කරන්නෙ. ඒ අතීතය කියන්නෙත් භයංකාර හීනයක්. අතීතය තුල පවතින වර්තමානයක් තමයි මේ ඇන්ටික් කඩේ මොහොත.
මං වෙන්ඩ්ට් එකට ඇතුල්වෙන තැන ජැකා හිටියා. එයත් ඩ්‍රාමා එක බලන්න ඇවිත්. සෞම්‍ය කරන මේ ඇන්ටික් කඩේ මනුස්සයාගෙ චරිතෙ මට පුදුමාකාර විදිහට ජැකාට මාරු වෙවී පෙනුනා. ජාතික කෞතුකාගාරයක් මුර කරපු මනුස්සයා දැන් පුද්ගලික ඇන්ටික් කඩයක් දාගෙන ඉන්නවා. මිනිහා විකුනන්නෙ මහා සිංහල වංශකතාව. මං කියන්නෙ හඳයා ජැකාව ඔලුවෙ තියාගෙන මේ චරිතය කළා කියල නෙමෙයි. අපි ඉන්න වර්තමානය ඒ තරම් සමීපව වේදිකාව උඩ තිබුන කියන එක.
මුලු කතාවම ඉන්සෙස්ට්. ව්‍යභිචාරීයි. අපේ ඉතිහාසය වගේමයි. අම්මයි පුතයි අතර සම්බන්දෙ, ඊට පස්සෙ තාත්තයි දුවයි අතර සම්බන්දෙන් බිහිවෙන දරුවො, දුව සමග කොල්ලෙක් සංසර්ගය කරනකල් එලියට වෙලා ඉන්න තාත්තෙක්. මේ කතාවෙ තරුණයා ව්‍යභිචාරි සම්බන්දෙකින් පස්සෙ පරිවාසෙක අපචාරයට ලක්වෙමින් ඉඳලයි එලියට එන්නෙ. ඒ අපචාරී පරිවාසය තමයි ඒ තරුණයා දකින බාහිර ලෝකය.
කතාව පිහිටන්නෙ පංති දෙකක් අතර කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. එකක් ඉංග්‍රීසි කතා කරන ඉහල මැද පංතිය. අනික සිංහල කතා කරන පහල මැද පංතිය. හඳයා මේ චරිතවලින් කියන්නෙ පංති විඥානයට වඩා පංති අවිඥානයේ කතාව කියලයි මට හිතෙන්නෙ.
මේ සිංහල පහල මැද පංතිය ආරක්ෂා කරන්නෙ අතීතය. ඒ කෞතුක වස්තු. ඒක තමයි ඒ ගොල්ලන්ට තියෙන එකම සහ ලොකුම එක. සාමූහික අතීතයක නටඹුන් උරුමය. ඒ ගොල්ලො ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. පුළුවන්කමක් තියෙනවා නම් ඒ ජාතික උරුමය පුද්ගලික කරගන්න බලනවා. ඒ වගේම ඒ සිංහල අතීත උරුමය විකුනලා හරි සුද්දගෙ උරුමය ලබාගන්න හීන දකිනවා. ඒ ලෝකෙන් එන අපරාධකාරයෙක් වුනත් ගැලවුම්කාරයෙක් විදිහට වැළඳගන්නවා.
ඉංග්‍රීසි කතා කරන ඉහල මැද පංතියෙ අතීතය හිස්. ඒක ගලපගන්න බැරි තරම් බිඳුනු එකක්. ඒක අම්මගෙ අතීතයක්. සිංහල පහල මැද පංතිය නියෝජනය කරන්නෙ තාත්තාගෙ අතීතයක්. දුටුගැමුනුගෙ පරපුර. ඇන්ටික් කතාවෙ පෙම්වතුන් වෙන්නෙ තාත්තා එක්ක හැදෙන දුවෙක් සහ අම්මා එක්ක හැදෙන පුතෙක්. මේ පිරිමි ඉතිහාසය අවුල් කරන්නෙ ගැහැනිය. ඇත්තටම නම් ඒ ගැහැනියගේ උමතුව. තෙරපාගත් පීඩාව පුපුරා හැලෙන මොහොත. වංශක්කාර පවුල්වල පිරිමින්ට දාව මෙහෙකාරියන්ට ඉපදුනු, ඉංග්‍රීසි මැද පාංතික සමාජයේ වරප්‍රසාද ඇතුව හැදුනු වැඩුනු ගැහැනු, ඒ පංතියේ මළමිනී වගේ පිරිමි නිසා අර්බුදයට යනවා. පුපුරා යන ඒ ස්ත්‍රී ලිංගික ආතතිය සිංහල බෞද්ධ- වික්ටෝරියානු ඉතිහාසය කුඩුපට්ටම් කරගෙන යනවා. ඒ ගැහැණිය දමනය කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රානවත් වෙන පුරුෂ ලිංගයකට විතරයි. සිංහල බෞද්ධ ඉතිහාසය උරුම පරපුරෙත් ප්‍රානවත් වෙන පුරුෂ ලිංගයක් හොයාගන්න බැරි වෙලාවක්. ඒවා බෙලහීනවෙලා ගිහින්. ඒ බෙලහීනකම විශ්ව විද්‍යාල වාමාංශික අරගල විදිහට පවා එලියට ආ හැකියි.
සිංහල මැද පාංතික පිරිමියාගේ අකලට කඩා වැටුනු ශිෂ්නය ප්‍රානවත් වන්නේ ඉංග්‍රීසි මැද පාංතික ගැහැනියගේ උමතුව ඇතුලෙයි. ඒ ට්‍රෝමැටික් අත්දැකීමට පස්සෙ මුලු ජීවිත කාලයම ඒ පිරිමියා ගත කරන්නෙ වරක් පමනක් ලැබුනු ඒ අසමසම සුරතාන්තය ගැන හීන දකිමින්. ඒ මදිවට දූෂනයක වරදකාරීත්වයකුත් එතන තියෙනවා. අතීතය රකින්නාගෙ තැන ඉඳන් අතීතය විකුනං කන්නා බවට පත්වෙද්දි තමන්ගෙ සදාචාරය අවසන් වෙන අභ්‍යන්තර පැල්මකුත් සිංහල බෞද්ද- ක්‍රිස්තියානි තාත්තාගෙ තියෙනවා.
දැන් පෙම්වතුන් දෙන්නා ගැන. පුංචි කාලෙ මේ කොල්ලට මේ කෙල්ලව මුනගැහෙන්නෙ සාපරාධී මොහොතක. ඒ කෙල්ල ඉස්සරහ කොල්ලා අම්මට පිහියෙන් අනිනවා. මැරෙන්න පණ අදින අම්මා ළඟට යන්න දෙන්නෙ නැතුව කෙල්ල කොල්ලව තමන් ළඟට ඇදලා ගන්නවා. තමන්ගේ මව මරනවා ඇසින් දුටු පිරිමියා සමග ප්‍රේමයෙන් වෙලීමේ නොතිත් ආශාවෙන් මැඩිමැඩී කෙල්ල ලොකුමහත් වෙනවා. ඒක මාර සරියල් තැනක්. මාතෘගාතක පිරිමියෙක් සමග රමණය කිරීමේ ගැහැණු ආශාව හඳයා වේදිකාව උඩට ගේනවා.
මේ කෙල්ල අනුරාගී වෙන්නෙ අම්මා මරා දැමූ පුතාටයි. නමුත් පුතාට කෙල්ලව පේන්නෙ නැවත අම්මා වගේමයි. පන්සල් ප්‍රේමයක අතෘප්තියෙන් හිරවෙලා ඉන්න කෙල්ල මේ සාපරාධී පෙම්වතාට වසඟ වෙනවා.
එයාගෙ මෙච්චර කාලයක් හිරවෙලා තිබුනු ආශාව, පීඩාව ඇන්ටික් කඩය බිඳගෙන යක්ෂාවේශයක් විදිහට මුදාහරිනවා. පංති භේදයක් නැතුව ගැහැණියගේ උමතු ආශාව ඉතිහාසය කුඩුපට්ටම් කරනවා. අම්මාගෙ අලිංගික ප්‍රේමයේ හිරවෙලා ඉන්න පුතා ආශාභරිත අම්මාගේ රූපයෙන් තැතිගෙන ඇයව මරා දානවා. පලවෙනි වතාවෙ තමන්ගේ රැකවරණයට ආපු අම්මව. දෙවෙනි වතාවෙ තමන් එක්ක රමණයට ආපු අම්මව.
මේ විදිහට පංති අතර කතාවක් මතුපිටින් තිබුනත් අන්තිමට අපි බලන් ඉන්නෙ එකම පංතියක කතාවක් දිහා. එකම පංතියක පීඩිත උන් පංති දෙකක් විදිහට වෙස් මාරු කරගැනීමක්. ඒ අයට නැවත මුනගැහෙන්නෙ ඒ අයමයි. වෙනින් කවුරුවත් නෙමෙයි.
ඇන්ටික් කඩේ කියන්නෙ ඇලොගරියක්. අපේ වර්තමානයෙන් ඇතුල්වෙලා අතීතය සහ අනාගතය දකින්න දොරක්. හැබැයි ඒ අතීතයත් අනාගතයත් තියෙන්නෙ මෙතන මේ මොහොතෙමයි.
නළු නිළියන්ගෙ රංගනය විශිෂ්ට වග කියන්න ඕන. නිපුනි ශාරදා, පසන් ඒ චරිත කරනවා රිදෙන්න. අනිත් හැම චරිතයක්මත් අවසානය දක්වා පුදුම ජවයකින් තමන්ගෙ භූමිකාව කරනවා. නාට්‍යය පුරාම ඉන්නවා මියුසික් බෑන්ඩ් එකක්. උන් ඔය යන එන අයට විහිලුතහලු කරන වර්ගයේ සෙට් එකක්. කවුරු හරි කුනු කානුවක් ගැන කිව්වොත් උන් කියනවා කුනු කානුවේ ගීතය. ගල්කාලේ ගීතය. ඇඟ හිරිවැටෙන ගීතය, පුරුෂ ලිංගයේ ගීතය. හඳයා මේ සිංදු එක්ක කරන විහිලුව මරු. මං දන්න තරමින් හඳයාගෙ එකම වචනයක්වත් වෙනස් කරන්න මියුසික් බුවාට, අපේ චින්තක ජයකොඩිට අවසර නෑ. ඒ විදිහටම තියෙද්දි මෙලඩි දාන්න ඕනි. ඒවා සිංදු කියල හිතලා ලියපු සිංදු නෙමෙයි. සිංදු නොවෙන සිංදු. පට්ටම ආතල් සිංදු.
මේ මියුසික් බෑන්ඩ් එක හින්ද නාට්ටිය පුරාම තියෙනවා පොප් ගතියක්. විනෝදයක්. කොයිතරම් බරපතල කාරනා කතා කළත් ඇන්ටික් කඩේ කියන්නෙ ආතල් එකේ බලන්න පුළුවන් නාට්‍යයක්. ඒක හැම අංශයකින්ම පොහොසත්, පරිකල්පනය කිතිකවන වැඩක්.
ඇන්ටික් කඩේ පැහැදිලිවම පේන දේ තමයි පිරිමි ඇන්ටික් කඩේට විරුද්ධව ස්ත්‍රී ආවේශය අරන් එන එක. කතාව පුරාම අපි දකින්නෙ බිඳ වැටුනු දුර්වල පිරිමි සහ ශක්තිමත් ගැහැණු.
ඩ්‍රාමා එක ඉවර වුනාම මං බලාපොරොත්තු වුනේ ස්ටෑන්ඩින් ඕවේෂන් එකක්. ඒත් ඒ නාට්ටිය බරයි. නැගිටගන්න බැරි තරම් බරට හැමෝටම නාට්ටිය වැදිලා තිබුන කියල මට හිතුන. ඉවර වෙලත් ටික වෙලාවක් යනකං පුටුවෙන් නැගිටගන්න බැරි තරමෙ කම්පනයක් ඇන්ටික් කඩේ තිබුන.
හඳයා මරු.
By Chinthana Dharmadasa