මේ මට ආපු ටෙක්ස්ට් එකක්.
“කෙල්ලෙක් ඉන්නවා. ඒකි කොළඹ. මං ගමක. මං ඒකිට හොඳටම ට්‍රයි. හැබැයි කෙල්ලගේ කිසිම හොඳ සුබවාදී ප්‍රතිචාරයක් නෑ. අවුල තියෙන්නෙ කොතනද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම හරි ඒකිව දාගන්න ඕනි. මං දෙපාරක්ම ඇහුවා. එයාට ඉගෙන ගන්න ඕනිලු. ඒකියි මායි දෙන්නම එක කැම්පස් එකේ.
ඒකිව දැක්කම නම් සෙක්ස් හැඟීමක් තමයි එන්නෙ. අපි ටි්‍රප් එකක් ගියා. එදා ටිකක් මාත්‍රාව වැඩිවෙලා මං පිස්සුවක් කෙලියා. ඒ දවස්වල මට එහෙම හැඟීමක් තිබුනෙ නෑ. දැන් තමයි එකපාරට එයා ලස්සන වෙලා පේන්නෙ”
මගේ පිලිතුර- එයාගෙ හොඳ යාලුවෙක් වෙන්න බැලුවෙ නැද්ද?
මැසේජ් එක- “යාලුවො වගේ ඉඳලා හැමදෙයක්ම කරගන්නත් බෑනෙ. යාලුවො යාලුවො කියල සමහර කෙල්ලො මට ගේම දීලා ගිහින් තියෙනවා. ගමේ හිටිය එකත් යාලුවො වගේ ඉඳලා තමයි ගේම දුන්නෙ”
මේ ටෙක්ස්ට් එක කියවන කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන ඇයි මේ කියන කෙල්ල මේ කියන කොල්ලට අකමැති කියල. මූලිකවම පැහැදිලියි මේ දෙන්නා ඉන්නෙ සංස්කෘතික කලාප දෙකක. කොල්ලා ගමේ කෙල්ල කොළඹ. මේ ගමේ සංස්කෘතිය නිසාම ආදරයේ සංස්කෘතිය ගැන අඩු දැනුමක් කොල්ලගෙන් ප්‍රකට වෙනවා.
1. මුලින්ම ගරුත්වය කියන එක. ආදරය වුනත් සෙක්ස් වුනත් පළවෙනිම කාරණය වෙන්නෙ අනිත් කෙනාට අපි දක්වන ගෞරවය. එයා තමන්ගේ ආශාව හෝ උවමනාව පිරිමසාගන්නා බඩුවක් විතරද නැත්තං එයා එක්ක බෙදාහදාගන්න පුළුවන් ආස්වාදයක්, අත්දැකීමක් වෙනුවෙන්ද තමන් මහන්සි වෙන්නෙ කියන එක. ආදරය හරි සෙක්ස් හරි කියන්නෙ දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකතුවෙලා බෙදාහදාගන්න මිනිස් ඇසුරක්. එතනදි වැදගත්ම දේ අනෙකාට තමන් හා සමානව සලකන එක. සමහර විට හුරුපුරුදු භාෂාව නිසා වෙන්න පුළුවන්, ඒත් “ඒකි ඒකි” කියන වචනය කොහෙත්ම ඉන්ටිමේට් සම්බන්දයක් දනවන එකක් නෙමෙයි. ඒක නිසා කෙල්ලෙක් එක්ක ලව් කරන්න හරි සෙක්ස් කරන්න හරි හැගීමකින් පසුවෙන කෙනෙක් පිලිපදින්න ඕන පලවෙනි කාරණය, ඒ ආදරයේ වස්තුවට ගරු කරන්න. ඒක උත්කර්ෂයට නංවන්න.
2. දෙවෙනි කාරණය තමයි යාළුවෙක් වෙන එක. සම්බන්ධතාවයකදි අපි මුනගැහෙන්නෙ වෙනස් සංස්කෘතික කලාප දෙකක් විදිහට.
වෙනස් සංස්කෘතියක් මුනගැහෙද්දි ඒක තමන් ඇස්පයර් කරන නැත්තං ආශාවෙන් පසුවෙන සංස්කෘතියක් නෙමෙයි නං පලවෙනි ප්‍රතිචාරය වෙන්නෙ ප්‍රතික්‍ෂේප කරන එක. ඈත් වෙන එක. මෙතනදි සංස්කෘතියක් කියන්නෙ අපි අඳින පළඳින කතාබහ කරන ඇවිදින හිතන පතන විදිහ.
ඒක නිසා වැදගත්ම කාරණය වෙන්නෙ මිත්‍රත්වයේ කලාපයට ඇතුල්වෙන එක. එතනදි අපිට තේරුම් ගන්න පුළුවන් අනිත් කෙනාගෙ ජීවිත රිද්මය. එයාගෙ වේගය. එයාගෙ ආශාව. මේකට අපි කියනවා පේසින්ග් කියල. කෙනෙක් කියන දේකට අනෙකා නතුවෙන්න නම් ඒ දෙන්නා අතර පේස් එක නැත්තං වයිබ් එක සමාන රේන්ජ් එකකට එන්න ඕන. ඒ දෙන්නා අතර ඉන්ටිමේට් අවස්ථා නිර්මාණය වෙන්න ඕන. කෙනෙක් අනෙකාගේ ආශාව ස්පර්ශ කරන්න ඕන. මේ හැමදෙයක්ම කරන්න නම් අපි ඒ අපි ආශා කරන කෙනාගේ මානසික විශ්වයට ඇතුල් වෙන්න ඕන. ඒක තමයි යාළුකම කියන්නෙ.
මෙතනදි මට මැසේජ් කරපු කොල්ලා අපූරු කතාවක් කියනවා. යාළුවො වගේ ඉඳලා ඇරලා යාමක් ගැන. මේ ආකල්පය හරිම ග්‍රාම්‍ය එකක් වග කියන්න ඕන. මේ කියන්නෙ යාළුවෙක් වගේ ඉඳලා ආදර සම්බන්ධයකට එන්නෙ නැතුව වෙන්වෙලා යාමක් වෙන්න පුළුවන්. ඒ යාළුකම ඇතුලෙ වැයවුනු තමන්ගේ මහන්සිය කාලය ගැන පසුතැවීම වෙන්න පුළුවන්. ඒත් කෙනෙක් ආදරවන්තයෙක් වෙන්න සුදුසු වෙන්නෙම ඒ ඉඩ දෙන්න තරම් පොහොසත් නම් විතරයි. මෙතනදි ඒ ඇරලා ගිය කෙල්ලගෙ පැත්තෙන් ගත්තොත් එයා කියයි මේ යාළුකම ඇතුලෙ කොල්ලා කොයිතරම් ඩෙස්පරේට් විදිහට තමන්ගෙ උවමනාවන් වෙනුවෙන් ඉන්න වග එයාට දැනුනද කියල. තමන්ගේ ආදරයේ භාෂාව එයාට තේරුම් ගන්න බැරි වුනාද කියල.
කෙල්ලෙක් වෙනුවෙන් මහන්සි වීම, ඒ කෙල්ල වෙනුවෙන් සිහින දැකීම, එයා වෙනුවෙන් දහසක් දේවල් ඉටුකිරීම මේවා ආදරයක තියෙන චමත්කාර දේවල්. අපි මිනිස් සම්බන්දයකදි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි ඒ සම්බන්ධයේ අවසානය නෙමෙයි වැදගත්ම වෙන්නෙ. ඒ සමබන්ධය පවතින අවකාශය. වෙන විදිහකට කිව්වොත් මේ ට්‍රයි කරන කාලයමයි ආදරේ වැදගත්ම කාලය වෙන්නෙ. අත්පත් කරගැනීමේ මොහොත කියන්නෙ ආදරය අවසන් වෙන මොහොත. ඒක නිසා තමන් ආදරය කරන හෝ ආශා කරන අය වෙනුවෙන් කළ හැකි උපරිමය බැතිමත්ව කරන්න. ඒක ගනුදෙනුවක ස්වරූපයෙන් විනිශ්චය කරන්න එපා.
3. එයාට එයා වෙන්න ඉඩ දෙන්න. මේකට තමයි අර මිත්‍රත්ව අවකාශය වැදගත්ම වෙන්නෙ. කෙනෙක් තමන් හා රැඳෙන්නෙ මොකක් හරි උවමනාවක් වෙනුවෙන් කියන හැඟීම කිසි කෙනෙකුට ප්‍රියජනක එකක් වෙන්නෙ නෑ. එතනදි අපි අපේ සීමාවන් ආරක්ෂා කරනවා. අපි විවෘත වෙන්නෙ නෑ. එතකොට ආදරයක් ඇතිවෙන්නෙ නෑ.
අපි අතර තියෙන සම්බන්ධය අනෙකාව වඩා නිදහස් කරන, විවෘත කරන අවකාශයක් නම් එතන අපිට අපේ හැඟීම් බෙදාගන්න පුළුවන්. අනෙකා හුදු ශරීරයක් විදිහට නැතුව පැවැත්මක් විදිහට තේරුම් ගන්න පුළුවන්.
විශේෂයෙන්ම ගැහැණියක් තමන්ගේ ආශාව නිරුවත් කරන්නෙ ඒ වගේ ආරක්ෂිත විශ්වාසනීය පරිසරයකදි විතරයි. වඩා වැදගත් වෙන්නෙ අපේ ආශාව එයා තේරුම් ගන්න එක නෙමෙයි, එයාගේ ආශාව අපි තේරුම් ගන්න එකයි. එතනදි හොඳ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. හොඳ කන් දෙකක් තියෙන්න ඕන. හදිස්සියෙන් තොර වෙන්න ඕන. ඒ ඇසුරම ආස්වාදයක් වෙන්න ඕන. අපි අතර සම්බන්ධයකදි එයාට ආරක්ෂිත වැටවල් නැතුව එයා විදිහටම පවතින්න ඉඩ තියෙනවා නම් ඒ කියන්නෙ අපි දැනටමත් ආදරෙයි.
4. ඔයා කවුද කියල පෙන්නන්න. ඔයා හිතන විදිහ, අහන සිංදු, බලන චිත්‍රපටි, ආස කරන දේවල් එයා එක්ක බෙදාහදාගන්න. කෙනෙක්ට ආදරේ වෙනවා ඒ කෙනා ජීවත් වෙන ලෝකෙට ආදරේ වෙන එක. සම්බන්ධයකදි වැදගත් වෙන්නෙ ඒ ලෝකෙ දෙකක් අතර හුවමාරු වෙන දේවල්. ඉතින් එයාටත් ඔයාගෙ ලෝකෙට ඇතුල්වෙන්න ඉඩදෙන්න. ඔයාගෙ හැඟීම් එයාව ඔෆෙන්ස් කරන්නෙ නැතුව කියන්න පුළුවන් තරමෙ විශ්වාසයක් තේරුම් ගැනීමක් ගොඩනගා ගන්න. එයා ගැන කෙයාර් කරන තරම, එයාට ඔයාව විශ්වාස කරන්න පුළුවන් තරම දැනෙන්න ඉඩ හදන්න. වැදගත්ම දේ තමයි ඔයාගෙ වල්නරබිලිටීස්, ඒ කියන්නෙ බයසැක, නොතේරෙන තැන් එයාට දැනෙන තරමට විවෘත වෙන්න. ඒ පෞර්ෂය එයාට අනුරාගී නම් තීරණය කරන්න එයාට ඉඩ දෙන්න. ඒ තීරණයට ගරු කරන්න ඉගෙන ගන්න.
5. ආචාරශීලී වෙන්න. ආදරය කරන කෙනා වෙනුවෙන් ලස්සනට අඳින්න. ලස්සනට කතාබහ කරන්න. ලස්සන වචන පාවිච්චි කරන්න. අර මැසේජ් එකේ තිබුනා වගේ එයා ඉස්සරහ බීලා පිස්සු කෙලින්න යන්න එපා. වෙන කවුරුවත් ළඟකදි නැති තරම්, වෙන කිසිම තැනකදි නැති තරම් එයා වෙනුවෙන් ආචාරසම්පන්න වෙන්න. ඒක බොරු මවාපෑමක් නෙමෙයි. එයාව අපිට කොයිතරම් විශේෂද කියල දැනවීමක්.
අපේ ලංකාවෙ සංස්කෘතියෙන් පුරුදු කරපු නැති දෙයක් තමයි ගැහැණුන්ට ගරු කිරීමේ සමාචාර. එයා වෙනුවෙන් දොරක් විවෘත කරගෙන සිටීම, අවශ්‍ය වෙලාවට අතදීම වගේ දේවල් පුරුදු කරන්න. ඒවා සෝබන නෙමෙයි. අනෙකාට ගරුත්වය, පිලිගැනීම පළකරන විදි.
මේ විදිහට ආදරය කරන හෝ ආශා කරන ඇයව දිනාගැනීම කලාවක් විදිහට රසවිඳින්න. ඔබේ ආශාව වෙනුවෙන් අනෙකා අවනත විය යුතු නෑ. ඒ වෙනුවට ඇගේ ආශාව අවදි කිරීමට තරම් ඔබ අනුරාගී වෙන එකයි වැදගත්.