අපේ අසම්මත සම්බන්ධතාවලට සම්මත රාමුවෙන් තේරුම් දෙන්න යන එක ලොකු අවුලක්. ඒ වරද හින්ද ගොඩක් සුන්දර අසම්මත සබඳතා අසුන්දර වෙනවා. උදා විදිහට විවාහයෙන් පිටත ආදර සම්බන්ධතා ඇතුලෙ අපිට නිතර ඇහෙන ප්‍රශ්නයක් තියෙනවා.

‘මොකක්ද මේ සම්බන්දෙ තේරුම?’

මේ අහන්නෙ මේ සම්බන්ධයෙ ගමනාන්තය කොහෙද කියන එක. අපි දන්න ගමනාන්තය වෙන්නෙ විවාහයක්. එක ගෙදරක ජීවිතයක්. ළමයිබමයි. ඒකට සාපේක්ෂව තමයි අපි විවාහයෙන් බාහිර සම්බන්ධතාවත් විනිශ්චය කරන්නෙ.

‘අන්තිමට වේදනාව විතරයි’

ඊට පස්සෙ අපි කවදා හෝ අහිමිවීමේ වේදනාව පෙරට අරගෙන ඊට කලින් සම්බන්ධය ඉවර කරන්න හදනවා.

ඒත් ඒ සම්බන්දෙ අපි පටන් ගන්නෙම සම්මතයට පිටින්. ඒකෙ සුන්දරත්වය, ආකර්ශනය තිබුනෙම ඒ හින්ද. ඒත් දැන් අපිට ඕන වෙනවා ඒක ආපහු සම්මත රාමුව ඇතුලට ගේන්න. කලින් එක වගේම කරන්න. එතකොට අපිට අපි බලාපොරොත්තු වෙන තේරුම හොයාගන්න පුළුවන්. හැබැයි අපි අලුත් කියල කරගෙන යන්නෙත් පරණ සම්බන්දෙමයි.
‘නෑ ඒත් වෙන කෙනෙක් එක්කනෙ’ එහෙම හිතෙන්න පුළුවන්. ඒත් අපි අපේ සම්මත සම්බන්ධතාවයෙන් එලියෙ ඇසුරුක් හොයන්නෙ පුද්ගලයාගෙ අවුලක් නිසාම නෙමෙයි. ඒ සම්බන්ධතා ස්වරූපයේ තියෙන අවුලක් හින්ද. ඉන් බාහිර සම්බන්ධයක් වඩා අනුරාගී හින්ද. ඒක ඇතුලෙ වඩා නිදහසක් දැනෙන හින්ද. අපි ඇඩ්වෙන්චරස් හින්ද

වර්තමානයේ මේ මොහොත විඳීම කියන එක මත ඇතිවුනු සම්බන්ධයක් අපි ඊට පස්සෙ අනාගත ස්ථාවර තේරුමකට සාපේක්ෂව කිරා බලනවා. විස්සෝප වෙනවා. අනිත්‍ය බවේ, අස්තිර බවේ, හැඩයක් රාමුවක් නොමැති වීමේ සෞන්දර්ය අපිට අමතක වෙනවා.

අපේ සම්බන්ධතාවලට පවතින ආකෘතිවලින් තේරුම් හදන්න යන එක බයානකයි. ඒකෙන් සම්බන්දතාව කැත වෙනවා. අනුරාගීබව නැති වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන අපේ සම්බන්ධය ඇතුලෙන් ඒකට තේරුමක් නිර්මාණය කරන්න. ඒ තේරුම හෝ ආස්වාදය පොදු එකක් නෙමෙයි. ඒක අපේ එකක්. ඒක වෙන කිසිවකට සාපේක්ෂව විනිශ්චය කරන්න බැරි එකක්.

සමහර මිනිස්සුන්ගෙ සම්බන්ධතා ගැන කතා කරද්දි මේ වගේ පොදු කතා ඇහෙනවා.

‘ඌ ගෑනිට බයයි බං. ගෑනිගෙන් අහලා තමයි හැමදේම කරන්නෙ. ගෑනි ඕකට ගහනවත් එක්ක’
මේ වෙනස් විදිහක සම්බන්ධතා ස්වරූපය අපි කියවන්නෙ සම්මත පුරුෂ මූලික පවුලට සාපේක්ෂව. එහෙම තමන්ගේ සහකාරියගේ වහලා බවට පත්වීමෙන්, යටත් වීමෙන්, නින්දා අපහාස ලැබීමෙන් ලිංගික තෘප්තියක් ලබන අය ඕනතරම් ඉන්නවා. ඒක තමයි ඒ අයගෙ ආස්වාදයේ ස්වරූපය. අපේ පරණ පවුල් දේශපාලනයෙන් ඒ ශෘංගාර ෆැන්ටසිය කියවන්න බෑ. ඒක ඒ සම්බන්ධතාවයේ සුවිශේෂී හැඩයක්.

සම්මතයේ හැඩයට අසම්මතය කපා මහන්න යනවා කියන්නෙ විකාරයක්. ඒ ඒ සම්බන්ධතාවල තියෙන සුවිශේෂතා තේරුම් ගන්න ඕන. ආශා කලාපයන් හඳුනාගන්න ඕන. ඒ මගින් තමන්ගේ සම්බන්ධතාවයට තමන්ට අනන්‍ය හැඩයක්, තේරුමක් හදාගන්න ඕන. ඒ නිර්මාණය ඒ සම්බන්ධතාවයෙ ඉන්න දෙන්නාගේ හෝ කීපදෙනාගේ බෙදාහදා ගැනීමක්. එහෙම සම්බන්ධතා ලස්සනයි.

සම්මත තේරුම් තියෙන්නෙ අලුත් තේරුම් හදාගන්න බැරි අයට.