‘ගමනාන්තයක් කියන්නෙ තැනක් නෙමෙයි. දේවල් වෙනස් විදිහට දකින අලුත් විදිහක්’ – හෙන්රි මිලර්

හෙන්රි මිලර් පැරිසියෙ ගතකරපු ස්වයං පිටුවහල් ජීවිතේදී ලියන ට්‍රොපික් ඔෆ් කැන්සර් පොතේ පලවෙනි පිටුවෙ බොරිස් කියන කාලගුන අනාවැකිකරුවා මෙහෙම කියනවා, ‘කාලගුණය දිගටම නරක් වේවි. තව තවත් විනාශයන්, මරණයන්, සහ වියවුල් සිදුවේවි. වෙනසක් වෙන හෝඩුවාවක් හෝ කොතනකවත් නෑ. කාලයේ පිළිකාව විසින් අපි සියල්ලන් කා දමමින් තියෙනවා. අපේ වීරයො ඔවුන්ම මියගිහින් හෝ මියයමින් ඉන්නවා. වීරයා කියන්නෙ කාලයට නෙමෙයි, අකාලයට. අපි මරණයේ සිරකුටිය වෙත යන්න ඕන. ඉන් ගැලවීමක් නෑ. කාලගුණය වෙනස් වෙන්නෙ නෑ’.

මිලර්ගෙ ලේඛන එකතුවක් සංස්කරණය කරන ඔහුගේ මිත්‍රයෙක් වුනු බි්‍රතාන්‍ය ලේඛක ලෝරන්ස් ඩුරෙල් ඒකෙ පෙරවදනෙ මිලර්ව හඳුන්වා දෙන්නෙ ‘සාහිත්‍යයේ විශිෂ්ටම පාදඩයෙක්’ විදිහට.

මේක ඇත්තක්. මේ සියවසෙත් ඕනම කෙනෙක් මිලර්ව කියන්නෙ ඒ ලිවීම ගැන පුදුම වෙමින්. මිලර් අසභ්‍ය රචකයෙක් හැටියට තහනම් වුනු නිසා ඇමරිකාවෙ සහ බි්‍රතාන්‍යයේ 1964 වෙනකල් මිලර්ව කියවන්න දෙන්නෙ නෑ. ඒත් අද වෙද්දි හෙන්රි මිලර්ගෙ පොත් ඒ රටවලම විශ්ව විද්‍යාල වල අධ්‍යනය කරනවා, විශිෂ්ට සාහිත්‍යය විදිහට.

මුල්කාලෙදි මිලර් ප්‍රංශය ගැන ගොඩක් ආදරෙන් හිටියෙ. මොකද ප්‍රංශයෙ අසභ්‍යයි කියල පොත් තහනම් කිරීම සිද්ද වුනේ නෑ. ඒ වගේම ප්‍රංශ අධිකාරීන් ඉංග්‍රීසියෙන් ලියන පොත් ගැන එච්චර උනන්දු වුනෙත් නෑ. ඇත්තටම මිලර්ව ඉංග්‍රීසි කතාකරන රටවලට වඩා ජපානයේ මිනිස්සු කියෙව්වා.

මිලර්ගෙ කෘතිවලට ලැබිය යුතු ගෞරවය ඒ කාලෙදිම හිමි නොවීම දුකක්. ඒත් ලෝකෙ හැටි එහෙමයි. මේ වෙද්දි ඇමරිකානු පෙරටුගාමී සාහිත්‍යකරුවන් විදිහට ගන්න විට්මන්ලා, ට්වේන්ලා, හෙමින්ග්වේලා එක්කම හෙන්රි මිලර්වත් කියවනවා.

මිලර් කියන්නෙ දැඩි බුද්ධිමය එඩිතරභාවයක් තිබුනු ලේඛකයෙක්. ඒ වගේමයි එයාගෙ වචන පාවිච්චිය. මිලර් එයාගෙ වියවුල් පිරුනු ලෝකය ගැන කියවන්නාගේ ඇස් ඉස්සරහ රූප මැවෙන්න ලිව්වා. එයා ඇත්තටම සාහිත්‍ය ගැන්ග්ස්ටර් කෙනෙක්. අසභ්‍යයි කියන දෙයින් හා ජීවිතේ ගැන තිබුනු කොන්දේසි විරහිතව නිදහස් දැක්මෙන් එයා අකුරු ඇතුලෙ ප්‍රොටෙස්ට් කළා. සාහිත්‍ය කියන දේ සාහිත්‍යයේ සීමාවෙන් ගලවලා අරන් ගිහින් ජීවිතය තියෙන තැන ඇත්තට හිටෙව්වා. මිලර්ගෙ හැම ලියවිල්ලක්ම ප්‍රකෝපකාරීයි. ඇවිලෙනසුලුයි.

මිලර් එයාගෙ කතා ලිව්වෙ ආත්මකථන විදිහට. පිටු ඉරාගෙන එලියට පනින්නෙ එයාගෙ ජීවිතය. එයා ලිව්වෙ හරියට නැවත නැවත එයාගෙ ජීවිතේ ගතකරන්න කෑදරකමෙන් වගේ. මිලර් ලියපු දේවල් ආන්දෝලනාත්මක නොවුනා නම් අනිවාර්යෙන්ම ඒ ලිවීම ඒ කාලෙත් ප්‍රශංසාවට ලක්වෙන්න තිබුන. මාකි ඩි සාද් වගේම මිලර්ගෙ සාහිත්‍යයත් බිහිසුණු එකක්.

මිලර් එක්ක ඊලඟට මතක්වෙන්නෙ ඩීඑච් ලෝරන්ස්ව. ලෝරන්ස් වගේම මිලර්ටත් පුළුවන් මිනිස්සුන්ගෙ වල් වැදුනු අභ්‍යන්තරය ඇතුලට රිංගන්න. හැබැයි ලෝරන්ස්ට වගේ මිලර්ට සදාචාරමය හෝ සත්‍යය සොයා යාමේ උවමනාවක් දශමයකටවත් නෑ. නමුත් ආර්ට්වල නිදහස වෙනුවෙන් දෙන්නම එකම විප්ලවීය තැනක පෙනී හිටියා.

මිලර් ලෝරන්ස්ව ඉතා අගය කළා. ‘තමන්ගෙ අදහස් රාක්කෙ සාහිත්‍යය එල්ලා තැබූ මිනිහෙක්’ මිලර් ලෝරන්ස් ගැන ලිව්වෙ එහෙම. එයා උත්සාහ කළා ලෝරන්ස් ගැන විචාර කෘතියක් කරන්න. ‘මං පොත ඇතුලට යන්න යන්න මට මං කරන්නෙ මොකක්ද කියල තේරුමක් නැතුව ගියා’. මිලර් තමන්ගෙ විචාරය මගදි නැවැත්තුවා.

තව පැත්තකින් මිලර් සැමුවෙල් බෙකට් ළඟින් යන ගතියක් තියෙනවා. ‘ආගමටයි පාරභෞතික දේවල්වලටයි ලෝකෙ තිබුන අධිකාරිය ඉවරයි’ බෙකට් කියනවා. බෙකට් ලියන්නෙ හරියට තමන්ගේ මනසින් පිට කිසිවක් නොපවතී වගේ තැනක ඉඳන්. ‘ආදරය කියන්නෙ බලයේ මායාවක්’ කියල බෙකට් කියනවා. තමන් ජීවත්වෙන කාලයේ නාස්තිවෙලා ගිය මනස් සහ අබ්බගාත වුනු ශරීර යලි කිසි දවසක එක් නොවනු ඇතැයි කියල බෙකට් හිතුවා.

අපරාධය ඇරඹෙන්නේ දෙවියන්ගෙනි, කියාගෙන මිලර් එන්නෙ ඔතනදි. මිලර් එයාගෙ ‘එයාර්-කන්ඩිෂන්ඩ් නයිට්මෙයාර්’ (වායුසමීකරණය කළ මාරක හීනය) පොතේ ලියනවා ‘ දෙවියන් නැවත මුනගැහෙන තැනදී අපරාධය මිනිසාගෙන් අවසන් වෙයි’ කියල.

මිලර්ට පැරිසියෙදි ශෘංගාර කතා ලියන්නියක් වුනු ඇනායිස් නීන් මුනගැහෙනවා. ඒ දෙන්නා අතර ඉතා දැඩි වගේම එකිනෙකා පෝෂනය කරන ආදර සම්බන්දයක් ගොඩනැගෙනවා. මිලර් අතින් ට්‍රොපික් ඔෆ් කැන්සර් ලියවෙන්නේ ඒ කාලෙදි.

මිලර් සාර්ථක වෙන්නෙ මේ පොතෙන්. ප්‍රංශයේ ඔබෙලිස්ක් ප්‍රෙස් එක මේ පොත ප්‍රින්ට් කරනවා. පොතේ පිරිලා තියෙන්නෙ කාලකණ්ණිකම සහ සෙක්ස්. ඒ තමයි මිලර්ගෙ ඇත්ත අත්දැකීම්. මේ පොතෙන් පස්සෙ මිලර් එයාගෙම වූ ශෛලියක් ගොඩනගනවා. එයා විසින් මෙතෙක් අගය කළ කිසිවෙකුගෙ ටෝන් එකක්, ස්ටයිල් එකක් හෙවනැල්ලක් හෝ මිලර් අනුගමනය කරන්නෙ නෑ.

මිලර්ට ආරට් කියන්නෙ ජීවිතයට ආදේශකයක්. එයා පෲස්ට්, එලියට්, ජොයිස් ආදීන් නියෝජනය කරපු නූතනවාදී රැල්ලට සෙට් වුනේ නෑ. මිලර් වැඩිපුර ළංවුනේ ඩාඩාවාදීන්ට, අධිතාත්විකවාදීන්ට වගේම ප්‍රංශමය නොවුනු ප්‍රංශ ලියන්නන්ට. මිලර් විශ්වාස කලේ සාහිත්‍යය කියන්නෙ අසනීපයක් තරමට බරපතල අතිශය විශිෂ්ට නියුරෝසියාවක් කියල.

සාත්‍ර එයාගෙ සාහිත්‍ය යනු කුමක්ද කෘතියෙ කියනවා ආර්ට් එකක් වටිනවා නම් ඒක ජනතාවගේ කැමැත්තෙන් පිළිඹිඹු වෙනවා කියල. මිලර් හිටියෙ මේ අදහසට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තෙ. එයා හිටියෙ හරියටම ඇමරිකානු සිත්තරෙක් වුනු ජැක්සන් පොලොක් හිටපු තැන. ඒ කියන්නෙ ආර්ට් සම්පූර්ණයෙන්ම පුද්ගලිකයි කියන ස්ථාවරයෙ. පොලොක් විශ්වාස කලේ ආර්ට් එකකට සැමවිටම එහි ආර්ටිස්ට් විසින් ප්‍රේක්ෂකයාට වඩා වටිනාකමක් දෙනවා කියල.

මිලර් කිව්වෙ ලිවීම කියන්නෙ ආත්මකථනයක් කියල. ‘අපි ඩයරියක් නැවත නැවත බලන්න ඕන ඒ සිදුවීම්වල සත්‍යය තේරුම් ගන්න නෙමෙයි. අපි ඩයරිය කියවන්න ඕන සත්‍යය ගැන තියෙන මේ උන්මාදයෙන් නිදහස් වීමේ අරගලයේ ප්‍රකාශනයක් විදිහට’ – මිලර්

මිලර්ට බලපාපු විවිධාකරයේ ලේඛකයන් සහ සිතන්නන් හිටියා. විශේෂයෙන්ම ස්වාමි විවේකානන්ද, ජේ ක්‍රිෂ්ණමූර්ති, රාමක්‍රිෂ්න වගේ අය ලොකු බලපෑමක් කළා. ඩුරෙල් කියනවා ඉන්දියානු සහ චීන ආගම් වගේම ෆ්‍රොයිඩ්ගේ හෙවනැල්ල මිලර්ගෙ ලිවීම් පිටිපස්සෙ තිබුන කියල.

මිලර් අසභ්‍ය දේට පක්ෂ වෙමින් පෝර්න්වලට විරුද්ධ වුනා. එයාට පෝර්න් ගැන වෙනම අදහසක් තිබුන. පැරිස් රිවීව් ඉන්ටර්විව් එකක එයා මේක කියනවා.

‘අසභ්‍යයි කියන්නෙ කෙලින් කියන දේට. පෝර්න් කියන්නෙ වටරවුම්වලට. මං විශ්වාස කරන්නෙ අමුවෙන් කෙලින් ඇත්ත කියන එක. ඒක කොයිතරම් තැතිගන්වනසුලු වුනත්. ඒක වචනවලින් හංගන්න, වහන් කරන්න නරකයි. අසභ්‍යයි කියන්නෙ ඇත්තටම පවිත්‍රකරණයක්. පෝර්න් කියන්නෙ තවත් මඩ කිරීමක්. අසභ්‍ය දේ නෙමෙයි වැදගත්ම දේ. හැබැයි කිසිම වෙලාවක ඒක නොතකා හැරීම හෝ යටපත් කිරීම කරන්න නරකයි’

හෙන්රි මිලර්ගෙන් වදන් අටක්

1. රාක්කෙක තියෙන පොතක් කියන්නෙ අපතෙ යන උන්ඩයක් වගේ. සල්ලි වගේම පොත් නිතරම වටේ යන්න ඕන. පොතක් කියන්නෙ ඔයාට යාළුවෙක් විතරක් නෙමෙයි තව යාළුවො තනා දෙන්නෙක්. පොතක් ඔයාගෙ මනස, ආත්මය අල්ලාගත්තා කියන්නෙ ඔයා පෝසත්. ඒ පොත තව අයට පාස් කළා කියන්නෙ ඔයා තවත් පෝසත්.

2. මට හුදකලා වෙන්න ඕන. මගේ ලැජ්ජාව සහ අවුල ගැන මට හුදකලාව හිතන්න ඕන. මට හිරු එළිය සහ පදික වේදිකාවෙ ඇල්ලූ ගල් විතරක් ඕන වෙන කවුරුවත් නැතුව. කිසි සංවාදයක් නැතුව මට මටම මුහුණ දෙන්න ඕන. මගේ හදවතේ සංගීතය විතරයි මට ඇහෙන්න ඕන.

3. හැමෝටම තියෙනවා තමන්ගෙම රියැලිටියක්. කෙනෙක් බියගුළු නැත්තං එයාට ඒකෙ එහාමෙහා පීනන්න පුළුවන්. ඒක විතරයි පවතින එකම රියැලිටිය.

4. පරිකල්පනය කියන්නෙ නිර්භීතබවේ හඬට. දෙවියෙක් කියල දෙයක් තියෙනවා නම් ඒ තමයි ඒක. එයා පොඩ්ඩක්වත් බයවුනේ නෑ ඕනම දෙයක් පරිකල්පනය කරන්න.

5. මං විශ්වාස කරනවා අපි පොතක් හොයාගෙන යන්න ඕන, ඒකෙ එක හොඳ පිටුවක් හරි තියෙනවා නම්. අපි පුංචි කොටස්, කෑලි, නියපොතු ඕන දෙයක් හොයාගෙන යන්න ඕන ඒකෙ වටින දෙයක් තියෙනවා නම්. අපේ ශරීරය සහ ආත්මය පණගස්වන්න පුළුවන් ඕනම දෙයක් එතන තියෙනවා නම්.

6. මම ඉගොයිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ මං ආත්මාර්ථකාමියෙක් කියන එක නෙමෙයි. ඒක වෙනස්. මං නියුරෝසිකයෙක්. මට මං ගැන නොහිතා ඉන්න බෑ. ඒ කියන්නෙ මං මාර වැදගත් කියල මං හිතනවා නෙමෙයි. මට වෙන කිසි දෙයක් ගැන හිතන්න බෑ. එච්චරයි. මං කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් ඒකෙන් පොඩි හරි උදව්වක් වෙයි. ඒත් මාව උනන්දු කරවන කෙල්ලෙක්ව මට හොයාගන්නත් බෑ.

7. ඔයා යටත් වුනාම ප්‍රශ්නය නතර වෙනවා. ඒක විසඳන්න හරි යටත් කරන්න හරි ඔයා වෑයම් කරද්දි තව ප්‍රතිවිරෝධය වැඩිවෙනවා විතරයි. මට හොඳටම විශ්වාසයි මං ඒ කියන දේ වුනොත් සියලු බාධක එතනින් අවසන් වෙනවා. ඒත් තියෙන අමාරුම දේ තමයි තමන්ගෙ සම්පූර්ණ පැවැත්ම ඇතුලෙන්ම මේ තේරුම් ගැනීමට යන එක. ඔයා තනියෙන් ජීවිතේ කිසි දෙයක් පාලනය කරන්නෙ නෑ කියන තේරුම් ගැනීම.

8. මිනිස් වර්ගයාගේ ජීවන තත්වය ගැන සදාතනික අවුලකින් පෙලෙන මිනිහෙක් කියන්නෙ එක්කො ඒ මිනිහට තමන්ගෙම කියල ප්‍රශ්න නෑ, නැත්තං ඒ ප්‍රශ්නවලට මුහුන නොදී පලායනවා.