ආයිමත් අපි ඉන්නෙ කොරොනා කාලෙක. අතින් අල්ලන්න බය, මූන පෙන්නලා කතා කරන්න බය, මිනිස්සු මිනිස්සුන්ට බය කාලයක්. කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව අපේ නිදහස අපිම සීමා කරගන්න කාලයක්. අපේ ආදර සම්බන්දතා, අපේ විනෝදවීම්, අපේ ඇසුරු කිරීම් හැමදෙයක්ම නවතින, නවතින්නෙ නැති වුනත් සැකසහිත බයසහිත වෙන විපරීත කාලයක්. මේ කාලෙදි අනිවාර්යෙන්ම අපේ ලිංගික ජීවිතය දැඩි පීඩාවකට ලක්වෙනවා. සමහර විට අපිව ගෙදර අය එක්කම කොටු කරලා දානවා. අපේ විවිධත්වය, තෝරාගැනීම අහිමි වෙනවා.

යෝනි හෝ ගුද සංසර්ගයෙන්, නැත්නම් ලිංගශ්‍රාවී තරලයන්ගෙන් කොරොනා බෝවෙනවා කියල ඔප්පු වෙලා නෑ. ඒත් සිපගැනීම්, වැළඳගැනීම් ආදී ස්පර්ශය මූලික දේවලින් කොරොනා බෝවෙන්න පුළුවන්. මේකෙන් අපිට ලිංගික ජීවිතයේ විශාල කොටසක් අහිමි වෙනවා. ආරක්ෂිත වෙන්නෙ ගෙදර තමන් එක්කම ඉන්න අය සමග ලිංගික ආශ්‍රයන් විතරයි. ඒත් ඒ අය පිට කොරොනා පොකුරු එක්ක සම්බන්ද නොවෙන තාක් විතරයි.

ස්පර්ශය කියන්නෙ මනුස්සයාගෙ මානසික තුලනයට හරිම වැදගත් දෙයක්. අපේ ශරීරයේ ආතතිකර කෝටිසොල් ප්‍රමානය අඩු කරමින් අපිව සමාජ සම්බන්ධතාවලට පොළඹවන, ලිංගික උත්තේජනය ඇති කරන ඔක්සිටොසින් වලින් පුරවන්නෙ මේ මිනිස් ස්පර්ශය කියන ලිංගිකමය දැනීම. මිත්‍රත්වයෙන් වැළඳගැනීමක් පවා දවසක කොයිතරම් තැවුල් අසහනයන් තුනී කරන බැඳීමක්ද?

ලංකාවෙ නැති වුනාට කොරොනා එක්ක මිනිස්සුන්ගෙ සෙක්ෂුවල් සම්බන්ධතාවලට මොනවා වෙයිද කියන සංවාදය ලෝකෙ දියුණු රටවල පැතිරිලා ගියා. කායිකමය සම්බන්ධතාවයක් නැති ලිංගික චර්යා, ෆෝන් සෙක්ස්, සෙක්ස් ටෝයිස්, සහ මාස්ටර්බේෂන් වගේ දේවල් ගැන වැඩි උනන්දුවක් ඇති වුනා. නිව්යෝර්ක් සිටි ගවර්න්මන්ට් එක, ඔස්ටේ්‍රලියානු ලිංගික සෞඛ්‍ය පිලිබඳ සමාජය වගේ ආයතන වලින් කායිකමය සම්බන්ධයක් නැති ස්වයං වින්දනය මූලික ලිංගික ඇසුරු කිරීම් වලට යන්න කියල මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒක ඒ තරම් සරල දෙයක් නෙමෙයි. සෙක්ස් කියන්නෙ නිකංම එකපාරට ඇවිත් මෝචනයකින් පස්සෙ පහවෙලා යන සරල කායික උද්දීපනයක් නෙමෙයි. ඒක තව ගොඩක් මානසික කාරනා එක්ක සම්බන්ධයි. දෙන්නෙක් අතර ස්පර්ශයෙන් ප්‍රකාශමාන වෙන හැඟීම්මය සම්බන්ධතාවය එතනදි ප්‍රධානයි. ඒක ස්ක්‍රීන් හරහා ඒ විදිහට වැඩ කරන්නෙ නෑ.

කොවිඞ් නිසා ලිංගික ජීවිතයට ඇතිවෙන බලපෑම එක් එක් අයට වෙනස් වෙන්න පුළුවන්. කොවිඞ් සීමා නිසා තමන්ගේ රැකියාවෙ, මිතුරන්ගෙ, නිවාසගතවීමේ ඇතිවෙන ආතතිය විසින් කෙනෙකුගෙ ලිංගික උවමනාවන් සම්පූර්නයෙන්ම නැති කරන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට මේ ආතතිය විසින් ලිංගික සම්බන්ධයක් හරහා නැවත තමන් හා අනෙකා අතර සම්බන්ධය දැනීමේ, විඳීමේ දැඩි උවමනාවක් ඇති කරන්නත් පුළුවන්. මේ දෙකම වෙන්නත් පුළුවන්. යුවලක් අතර මේ දෙන්නගෙ උවමනාවන් මේ ප්‍රතිවිරුද්ද අන්ත දෙකට ගියොත් තත්වය සංකීර්ණ වෙන්න පුළුවන්.

අලුතෙන් ආදර සම්බන්ධතා පටන් ගත්ත අයට මේක බලපාන විදිහ, ලව් කරන වයසෙ කොල්ලො කෙල්ලොන්ට මේක බලපාන විදිහ, බ්‍රේක්අප් වෙලා අමාරුවෙන් ගොඩඑන්න දගලන කෙනෙකුට සමාජයේ සපෝර්ට් එකක් නැති වුනාම මේක බලපාන විදිහ, පවුල ඇතුලෙ කොහොමත් ප්‍රශ්න තිබුනු ජෝඩුවලට මේක බලපාන විදිහ.. මේ එක එක විදිහට එක එක්කෙනාගෙ බාරගැනීමේ සහ දරාගැනීමේ ප්‍රමාන අනුව කොවිඞ් නිසා ඇතිවෙන ලිංගිකමය බලපෑම වෙනස් වෙනවා. ආතතිකර, අර්බුදකාරී සම්බන්දතාවල හිටපු අයගෙ තත්වයන් තවත් බරපතල වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.

කොවිඞ් එක්ක එන ආර්තික ආතතිය හැමෝටම දැනෙනවා. සමහර අය රස්සාව පවා නැතිවෙයිද කියල බයකින් ඉන්නවා. ඒ එක්කම ඩිප්‍රෙෂන්, තරහයාම, ඇන්සයටි වගේ මානසික තත්ව වලින් පෙලුනු අයට මේ හුදකලාවීම තවත් නරක විදිහට බලපානවා. ගොඩක් දෙනෙකුට සිද්ද වෙනවා පූර්නකාලීන දෙමව්පියන්ගෙ රෝල් එකට අවතීර්න වෙන්න. දන්නෙම නැතුව ඒකෙන් අපේ අනන්‍යතාව පිලිබඳ ගැටලු මතු කරනවා. අපි තව දුරටත් අපේ ආකර්ශනීය පෙනුම වෙනුවෙන් මහන්සි වෙන්නෙ නෑ. ආතතිය නිසා කනවා වැඩි වෙනවා. මහත් වෙනවා. සෙක්ෂුවල් ඇපිටයිට් එක අඩුවෙනවා. සමහර විට ලිංගික අප්‍රානිකත්වයන් පවා ඇතිවෙනවා.

කොවිඞ් නිසා ගෙවල්වලට වෙලා සෙක්ස් කරන්න කියල මීම්ස් සෝෂල් මීඩියාවල ගියාට තත්වය මීට වඩා වෙනස්. සමහර අයගෙ සෙක්ස් කරන පාර්ට්නර්ස්ලා මුනගැහෙන්නෙ නෑ. සමහර අය එකම ගෙදර හිටියත් සම්බන්ධතා පලුදු වෙලා. ඒ ඇතුලෙ සෙක්ෂුවල් ඉන්ටිමසි නෑ. දවසම ළමයි එක්ක ගත කරනවා කියන්නෙත් වැඩිහිටි දෙන්නෙකුට ඕන කරන පුද්ගලික මොහොතවල් මුනගැහෙන්නෙ නෑ.

ඇත්තටම කරන්න පුළුවන් දෙයක් වෙන්නෙ වැඩියෙන් සෙක්ස් කිරීම නෙමෙයි සෙක්ස් ලයිෆ් එක පුළුවන් තරම් ඇඞ්වෙන්චරස් කරන එක. එකම එක්කෙනා එක්ක බෝරිං නැති කායික සම්බන්දයක් හදාගන්නවා කියන්නෙ නිර්මාණශීලී වැඩක්. ඒකට අපිට වෙනවා අනිත් කෙනාගෙ ෆැන්ටසීන් තේරුම් ගන්න. ඒවා ෂෙයාර් කරගන්න. අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. ඇඳට වෙනස්කම් අරන් එන්න. ඇත්තටම මේවා කරන්න පැන්ඩෙමික් එකක් එනකල්ම ඉන්න ඕනත් නෑ.

ඇත්තටම කාරණය වෙන්නෙ පැන්ඩෙමික් එකකදි හුදකලා වුනු යුවලක් සෙක්ස් කරන ප්‍රමානය අඩු කරනවද වැඩි කරනවද කියන එක නෙමෙයි. ඒ කොහොම කළත් ලිංගික තෘප්තිය කියන එක මේ ආතතිය විසින් ක්‍රමයෙන් අඩු කරන්න බොහෝ ඉඩ තියෙනවා. සෙක්ස් කියන්නෙ නිකංම එකපාරට ඇතිවෙලා ඉවර වෙන ආවේගයක් නෙමෙයි. ඒක බොහොමයක් හැගීම්මය කාරණා එක්ක සම්බන්ධයි. ඒ හින්ද ලිංගික තෘප්තියේ ප්‍රමානය තියෙන්නෙ ඒ වගේ බොහෝ ඇතිරුනු පැතිරුනු කාරනා උඩයි. වඩාත් සැලකිලිමත් වෙන්න ඕන සෙක්ස්වලට මේ හුදකලාවීමේ ආතතිය බලපාන විදිහට වඩා සෙක්ෂුවල් හැඟීම් ජනනය කිරීමට අපේ සම්බන්දතා ඇතුලට කොයිතරම් මේ ආතතිය කරදරකාරී වෙනවද කියන එක. උදා විදිහට අපිට මේ වෙලාවෙ එලියට පැනලා ගිහින් ආපහු එනර්ජයිස් වෙන්න ඉඩකඩ අවමයි. ඒ නිසා හැමදෙයක්ම නැවත ගෙදර ඇතුලෙම එකතු වෙන්න නියමිතයි. එතකොට අපිට කොයිතරම් අනෙකා ගැන බලන්න, හිතන්න, එයා එක්ක එකතු වෙන්න පුළුවන්ද කියන එක ඇඳට යාමට වඩා බලපාන කාරනයක්. ගෙදර වැඩ, ළමයින්ගෙ වැඩ, ඒකාකාරීකම ඔක්කොම අතරෙ අපිට අපි ගැන ආදරෙන් බලන්න වෙලාවක් තියෙනවද කියන එකයි වැදගත්.

ඇත්තටම සමහර පෙම්වතුන්ට මේක ඉතාම ධනාත්මක තත්වයක් වෙනවා. ඒ ගොල්ලො පරණ අවුල් අත්ඇරලා නැවත සම්බන්දතා අලුත් කරගන්නවා. වැඩි වෙලාවක් ඒ අය වෙනුවෙන් වෙන් කරන්න පටන් ගන්නවා. පුරුදු පැය අටේ චක්‍රය බිඳෙන තැනදි අලුත් නිර්මාණාත්මක ජීවිතයක් පටන් ගන්නවා. වඩාත් ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න කෑම රටාවකට පුරුදු වෙනවා. ඒකෙන් ලිංගික උත්තේජනය වැඩි කරගන්නවා. එකට අලුත් දේවල් කරන්න පටන් අරන් ආදරය අලුත් කරගන්නවා. අලුත් රොමාන්තික ජීවිතයක් හදාගන්නවා. මෙතනදි පරිස්සම් වෙන්න කාරණයක් තියෙනවා. සමීපබව ආදරයට වැදගත් වගේම වඩා සමීපබව විසින් ලිංගික ආශාව අඩු කරනවා. අපිට වෙන්වුනු, අපේම වුනු වෙලාවක් දැනීමත් අවශ්‍යමයි. ඒ නිසා එක ගෙදර හිටියත් වෙන්ව පැවතීමත් අපි පුරුදු වෙන්න ඕන. අනෙකාගෙ පුද්ගලිකත්වයට වෙලාව දෙන්න ඕන. පෝර්න් බලන්න, ටිකක් අයාලෙ යන්න නිදහස තියෙන්න ඕන. ඒ හැමදෙයක්ම නැවත ඒ දෙන්නා අතර ලිංගික බැඳීම උත්කර්ෂවත් කරනවා.

වෙන් වෙලා ඉන්න අයට පුළුවන් වඩාත් ඩිජිටල් ආශා විශ්වයන් ගවේෂනය කරන්න. වීඩියෝ, ෆොටෝ, ච ැට් මගින් පුළුවන් තරම් ළංවෙන්න. වල් වෙන්න. කොහොමත් ළංව ඉන්නවට වඩා දුරින් ඉන්නකොට ආශාවේ ප්‍රබලකම වැඩියි. මේ සම්බන්ධය හුදු මතුපිට ලිංගිකමය එකක් කරගන්නවට වඩා කවි ලියවෙන, සිත්තම් ඇඳෙන, කතා කියවෙන නිර්මාණාත්මක අවකාශයක් දක්වා ගැඹුරු කරගන්න පුළුවන්. ඒ මගින් මෙතෙක් අත්නොවිඳි බ්‍රේන් සෙක්ස් සුරතාන්තයන් අත්විඳින්න පුළුවන්.