මේ දවස්වල මගේ යාලුවෙක් ගෙයක් හදනවා. මිනිහෙකුට ජීවිතේ තියෙන වෙහෙසකරම වැඩේ මේක වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ විදිහට ස්පේස් එකක්, අවකාශයක් නිර්මාණය කරගැනීම ගොඩක් අයගෙ හීනයක්.

අපිට ඉන්න හිතෙන අවකාශයක් නිර්මාණය කරගැනීම කියන අදහස ඇතිවුනේ ගොඩක් මෑතක. ඊට කලින් ගෙයක් ගැන අපිට තිබුනෙ හිසට වහලක්, වැටිලා ඉන්න තැනක් වගේ අදහසක්. වලව් වගේ ගෙවල් තිබුනු අයට එහෙම එකක් තිබුණා කියල අපිට හිතෙන්න පුළුවන්. ඒත් සුද්දන්ගෙ බංගලාවලින් ගොඩක් වෙලාවට කොපි කරලා කළා මිසක් ඒ පිටිපස්සෙ තිබුණු විවේකය කියන අදහස ගත්තද කියන එක සැකයි. කොහොම වුනත් ඉහළ පාංතිකයන්ට විතරක් සීමා වෙලා තිබුනු මේ විවේකය කියන දේ අපි අතරට ආවෙ ගොඩක් මෑතකදි. ඒ ලංකාවෙ බහුතරයක් මධ්‍යම පාංතිකයො වෙද්දි.

ඉස්සර අපේ අම්මා ගේ හැදුවෙ කෑමක් දෙන්න, දානයක් දෙන්න ලොකු සාලයක් තියෙන්න ඕන කියන අදහසින්. ගෙදරක දාන ශාලාවක් හදන ආසාවක් කොහෙන් ආවද කියල මං තාම පුදුම වෙනවා. ගොඩක් බිසී නැති වුනත් අපේ අම්මලාගේ පරම්පරාවට එහෙම විවේකයක් තිබුනෙ නෑ. ඒ ගොල්ලො ගොඩක් වැඩ කළා. ගේ හදන්න ගත්ත ලෝන් එකත් අවුරුදු පහලොවක් විතර ගෙව්වා.

අපි නිර්මාණය කරන අපේ අවකාශය ගැන අපි එක එක්කෙනාට තියෙන්නෙ එක එක අදහස්. සමහර විට අපි කැමති අපාර්ට්මන්ට් එකකට, නැත්තං ෆ්ලැට් එකකට. එතනදි අපිට ගෙදර කියන අවකාශය ඕන වෙන්නෙ පහසුවට. රස්සාව කරන්න ළඟ, බඩු ටිකක් ගන්න ළඟ, නාගරික, සාමූහික පරිසරයක නවාතැනක් විදිහට. එතනදි අපි ගත කිරීම කියන එකට තෝරගන්නෙ එළිය. ගෙදර තියෙන්නෙ සුවපහසුව නිදාගන්න, ෆිල්ම් එකක් බලන්න, වැඩ ටිකක් කරන්න.

තාමත් සමහර ඇඩ්වල හිසට වහලක් කියල හවුසින් ලෝන් විකුණනවා මං දැකලා තියෙනවා. එහෙම ඒවා ලියලත් තියෙනවා. හිසට වහලක් කියන්නෙ ගෙදරක් ගැන තියෙන්න පුළුවන් අවම හැඟීම. අව්වට වැස්සට නොතෙමී ඉන්නවා මිසක් ඊට වඩා වටිනාකමක් ගෙදරකින් දකින්න බැරි එක සංකල්පීය දුප්පත්කමක්.

ගෙදරක් කියන්නෙ අපි, අපි වෙනුවෙන් නිර්මාණය කරගන්න අවකාශයක්. ගත කරන්න, විඳින්න, ඉන්න ආසම තැන ගෙදර වෙන්න පුළුවන්. ඒ බිත්ති අපිටම වෙන්වුනු ගැලරියක බිත්ති. ඒ ඉඳගන්න පුටු, ලියන කියන මේස, වැවෙන ගස්කොලන්, ඇහෙන මියුසික්, සෙක්ස් කරන ඇඳ එක්ක එලියට නොගිහින් දවස් සති මාස ගත කරන්න පුළුවන්. එතකොට අපි එලියෙ වැඩකරන්නෙ පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න. ඒ ගෙදර කියන්නෙ අපේ පුද්ගලික ආර්ට් එක.

මිනිස්සු එළිමහන් ජීවිතේ අත්ඇරලා ගෙදරට කූඩු වෙන්න ඕන කියන අදහස නෙමෙයි මේ කියන්නෙ. අපි අපේ පුද්ගලික අවකාශයක ගත කරන්න පුරුදු වෙන එක ලස්සනයි කියල විතරයි. ඒ විවේකය, ඒ තෘප්තිමත් බව අපිට එලියට අරන් එන්න පුළුවන් නම් මාරයි. නැත්තං අපිට පුළුවන් එලියෙ අපි ආදරය කරන අය ගෙදර එක්කන් යන්න.

පීටර් ස්ලොඩඩයි කියන ජර්මානු කල්චර් තියරිස්ට් කියනවා අපි කියන්නෙම අපි විසින් නිර්මාණය කරන අවකාශයේ ප්‍රතිඵලයක් කියල.

ගෙදර ඇති කරන හුරතල් සත්තු කියන්නෙ හරියට ඒ ගෙදර ආත්මය භෞතික වේශයක් අරගෙන වගේ. අපි ගෙදර එනකල් බලන් ඉන්න, අපිට නවතින්න, ගත කරන්න බලකරන, හුස්ම ගන්න ගෙදර කොටස්. පූසන්ව ඇතිකරන අය දන්නවා පූසො විවේකය ගැන කියල දෙන පාඩම්. ගෙදරට ඉර එළිය වැටෙන හැටි, හවස් වෙද්දි අනිත් පැත්තෙන් ඉරඑළිය බහින හැටි විඳින්න පූසො දන්නවා.

ගෙවල් වලටත් ආයු කාලයක් තියෙනවා. කඩලා වෙන ගොඩනැගිල්ලක් නොහැදුවත් කාලයත් එක්ක ගෙවල් මැරෙනවා. ඒ ගෙවල් එක්ක බැඳුනු ජීවිත, මතක, අලුත් වෙන්නෙ නැත්තං ගෙවල් නාකි වෙලා නිහඬවම මැරිලා යනවා. ඒ වගේ ගෙදරක බිත්තියකට අත තියලා බැලුවත් ඒක දැනෙනවා. ඒ වගේමයි ඒ ගෙදර අවකාශයේ ජීවත් වෙන, විඳින, රමණය කරන මිනිස්සු ඉන්න ගෙවල්වල බිත්ති හුස්ම ගන්නවා.

ඉංග්‍රීසියෙන් හවුස් සහ හෝම් කියල වචන දෙකක් තියෙනවා. සිංහලෙන් නිවස සහ ගෙදර කිව්වොත් හරිද මං දන්නෙ නෑ. ඒත් හවුස් කියන්නෙ ගොඩනැගිල්ලට. හෝම් කියන්නෙ හැඟීමට. ගොඩක් අයට තියෙන්නෙ නිවස කියන ගොඩනැගිල්ල. ගෙදර කියන තමන් සමවදින අවකාශය නෑ.

මිනිස්සු තවත් මිනිසුන්ගේ ඇසුර විඳිනවට එහා ගිහින් නිර්මාණය කරගන්නා අවකාශයන් විඳින්න ගත්ත එක සංකල්පීය දියුණුවක්. තමන්ට පිටින්, තමන්ගෙ වටේට හිස් අවකාශයක් තියෙනවා කියල හිතන තැනින් තමනුත් අඩංගු වෙන විශාල අවකාශයක දියවීම කියන්නෙ සෞන්දර්ය පුහුණුවක්. ශරීරයක් වෙනුවට හැඟීමක්, පැවැත්මක් බවට පත්වෙන මොහොතක්. ගෙදරක් කියන්නෙ අපිට එහෙම කරන තැනක්.

එතකොට මේක කොහොමද සෙක්ස්වලට සම්බන්ධ වෙන්නෙ? පුද්ගලික අවකාශය නැත්තං ස්පේස් එක විඳින්න දන්නෙ නැත්තං සෙක්ස් කොහොම වුනත් ශෘංගාරයේ ලොකු කොටසක් අහිමි වෙනවා. ශරීර දෙකක් විතරක් නෙමෙයි බෙදුනු විහිදුනු වැසුනු නොවැසුනු අවකාශයක රමණයක් හැටියෙන් අපිට එයින් ලැබිය යුතු විමුක්තිය ලබන්න බැරි වෙනවා.


චින්තන ධර්මදාස