පොඩ්ඩක් සංසුන් වෙන්න. කොහේ හරි යන්න වගේ තියෙන කලබලෙන්, අනාගතය ගැන තියෙන හදිස්සියෙන් මිදෙන්න. අනාගතය කියන්නෙම වියුක්ත අදහසක්. එහෙම අනාගතය කියල දෙයක් නෑ.

මේ මොහොත නාස්ති කරන්න එපා. වර්තමාන මොහොත කියන්නෙ ශුද්ධ වූ මොහොතක්. ඒකෙ ජීවත් වෙන්න. වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔයාට වර්තමානයෙන් ගැලවීමක් නෑ. ඒත් මිනිස්සු ජීවිතේ ගිලදාන්නෙ හරියට කෑම ගිලදානවා වගේ. ඊට පස්සෙ ඒ ගොල්ලො පුදුම වෙනවා ජීවිතේ කොහෙද ගියෙ කියල.

ඔයාට පුළුවන් වෙලාව හෙමින් ගත කරන්න. හැමෝම ඉන්නෙ පුදුම හදිස්සයකින්. රොබින්සන් ජෙෆර්ස් කියනවා ඇමරිකාවෙ අනිත් කොතනකටවත් වඩා වේගෙන් කැලිෆෝනියාවෙ වෙලාව දුවනවා කියල. මොකද හැමෝම ඉර පස්සෙන් දුවනවා. ගිහිල්ලා පැසිෆික් සාගරය ළඟ නතර වෙනවා. ඊට පස්සෙ ඉර බැහැලා යනවා. ඒත් මේ අය තවත් බටහිරට ඇවිදන් යනවා. හරියට දවස දිගු කරගැනීමෙන් ජීවිතේ දිගු කරගන්න වගේ. එහෙම වුනාම කොතනකදි හරි කොයිම වෙලාවකදි හරි තමන් හොයාගෙන යන මේ අනුරාගී වස්තුව මුනගැහෙයි කියල ඒ ගොල්ලො බලාපො‍රොත්තු වෙනවා. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද ඔයාට බෑ හෙට කියන එක හොයාගෙන යන්න. ඔයාට හොයාගන්න පුළුවන් අද මේ මොහොත විතරයි.

අපේ සංස්කෘතියෙ ඉවුම් පිහුම් කරන්නෙ කවුද? හොඳටම පීඩාවට පත්වෙලා ඉන්න ගෘහනියක්. එයාට සිද්ද වෙනවා හැමදාම දරුවන්ටයි අනිත් අයටයි කෑම උයන්න. ඒ ගොල්ලො ඉන්නෙ පුළුවන් තරම් ඉක්මනට කෑම කාලා පිටවෙලා යන්න. හරියට ඊට වඩා ගොඩක් වැදගත් වැඩක් තියෙනවා වගේ. ගෙදරක උදේ බ්‍රෙක්ෆස්ට් එක කියන්නෙ පිස්සුවක්.

මොකද හැමෝම නැගිටලා ළමයි වෙලාවට ඉස්කෝලෙ යවන්න ඕන. පවුලේ ස්වාමියාව වෙලාවට රස්සාවට යවන්න ඕන. මේක අන්තිම ‍මොහොත වෙනකල් ප්‍රමාද වෙනවා. ඒ‍ක වෙන්නෙ අන්තිම මොහොත වෙනකල් කලින් දවසෙ නින්ද ප්‍රමාද වෙන හින්ද. ඔය විදිහට අපේ ජීව විද්‍යාත්මක පැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ පැවැත්ම තියෙන්නෙ මුදල් ඉපැයීම වෙනුවෙන්. මුදල් ඉපැයීම සහ සංස්කෘතික වීම තමයි කාරණය. මිනිස්සු ඉන්නවා ඒ ගොල්ලො මියුසික් අහන්නෙ, පොත් කියවන්නෙ, නාට්‍ය බලන්නෙ සංස්කෘතික මිනිස්සු බවට පත්වෙන්න උවමනාවෙන්. එහෙම අයට කවදාවත් මියුසික් අහන්න බෑ. ඒ අයට නාට්‍යය තේරෙන්නෙ නෑ. පොත් කියවන්න බෑ. මොකද ඒ ගොල්ලො ඒ ක්‍රියාවෙ යෙදෙන්නෙම ඒකෙන් තමන්ව කවුරු හරි කෙනෙක් බවට පත්කරන බලාපොරොත්තුවෙන්. ඒකෙන් යම් කිසි සමාජ තත්වයක් ලැබෙනවා කියන අපේක්ෂාවෙන්. ඉතින් ඒකෙන් ඇත්තටම මොකුත් කෙරෙන්නෙ නෑ.

සුසුකි රොෂි කියල සැන්ෆ්‍රැන්සිස්කෝ වල සෙන් මාස්ටර් කෙනෙක් හිටියා. එයාගෙ ශිෂ්‍යයො පුදුම වෙලා හිටියෙ එයාට කරන්න පුළුවන් අසීමිත වැඩ ප්‍රමාණය ගැන. ඒත් කිසි වැඩක් වෙනුවෙන් එයා උත්සාහ ගන්නවා හෝ මහන්සි වෙනවා පෙනුනේ නෑ. එයාට පුළුවන් එයාට වඩා ශක්තිමත් තරුණයන්ට සාපේක්ෂව ලොකු බර උස්සන්න. එක දිගට වැඩකරන්න. එයා හති වැටුනෙ නෑ මොකද එයාට කිසි වෙලාවක හදිස්සියක් තිබුනෙ නෑ. ඔයාට දෙයක් අවසන් කිරීමේ උවමනාව හෝ අවසාන අරමුණක් නැත්තං වෙහෙසක් නෑ. කොතනකටවත් ළඟාවෙන්න, කවුරු හෝ බවට පත්වෙන්න හදිස්සියක් නෑ. ඔයාගෙ හිතේ තියෙන්නෙ වැඩේ එක්ක ගතවෙන ඒ මොහොත විතරයි. ඒක කොයිවෙලාවක හරි ගමනාන්තයට ළඟා වේවි. ඒත් ගමනාන්තයට වඩා මේ ගතවෙන මොහොතයි වටින්නෙ. ඒක හරියට ඔයා සංගීතය වාදනය කරනවා වගේ. ඔයා ඒ සංගීතය නිර්මාණය කරන්නයි ඒකෙ නියැලෙන්නෙ. ඔයාට ඒක වාදනය කරලා අවසන් කිරීමේ හදිස්සියක් නෑ.

සෙක්ස් වලදිත් මේක මෙහෙමයි. ගොඩක් අය හදිස්සි වෙන්නෙ අවසානයට ළඟා වෙන්නයි. ඒක හින්ද ඒ අයට ලිංගික තෘප්තිය සම්පූර්ණයෙන් ලබන්න බැරි වෙනවා. ඒ අයට ලබන්නෙ සුරතාන්තයක් විතරයි.

ඒත් මේක මොන තරම් නවනිංගිරාවක්ද මනුස්ස ජීවිතේට. ඔයා හැමදාම මොකක් හරි බස් එකක් අල්ලන්න දුවන මිනිහෙක්. ඔයා ගමනෙ වේගය අඩු කරන්න ඕනි. හදිස්සියෙන් ඉන්න කිසි කෙ‍ෙනක් ඒ මොහොතෙ භෞතික යතාර්ථය එක්ක සම්බන්ධ නෑ. නිකමට හිතන්න. ඔයාට උදේ හදිස්සියි කෝපි එකක් බොන්න. ඔයා මොකද කරන්නෙ? ඉන්ස්ටන්ට් කෝපි එකක් බොනවද? ඒක හරියට හදිස්සි වීමට දෙන දඬුවමක් වගේ. එතකොට ඔයා බොන්නෙ කෝපි නෙමෙයි. මොකද ඔයා ඒක බලෙන් හදිස්සි කරලා ගන්නෙ. හරියටම ඔයා තක්කාලි වවන්න හදිස්සි වෙනවා වගේ. ඔයා ඉක්මනට ගෙඩි ගන්න එක එක දේවල් කරනවා. ඔයාට හම්බුවෙන්නෙ තක්කාලි නෙමෙයි. මෙන්න මේක හරි වැදගත්. මේකෙන් පේනවා අපි ඉන්නෙ මෙතන මේ මොහොතෙ නෙමෙයි කියල. අපි උන්මත්තකයි. අපි හැම වෙලාවකම මොකක් හරි වෙන්න ට්‍රයි කර කර ඉන්නෙ. අපි ප්‍රතිඵලයක් හොයාගෙන යනවා. අන්තිමේදි අපිට සතුට හම්බුවෙයි කියල හිතනවා. වෙලාව කියන්නෙ බරපතල මායාවක්. වෙලාව කියල දෙයක් නෑ. වෙලාව කියන්නෙ චලනය මැනීමක් හරියට දේශාංස අක්ෂාංස වලින් පෘතුවිය මතුපිට මනිනවා වගේ.

ඒත් ටයිමින්ග් කියල එකක් තියෙනවා. ඒක වෙලාව අල්ලන්න යන එකක් නෙමෙයි. ඒක රිද්මය එක්ක සම්බන්ද එකක්. ඔයා හදිස්සි නම් ඔයාට කීයටවත් හරි ‍ටයිමින් එක ගන්න බෑ. ඔයා අනාගතය අත්පත් කරගන්න හදිස්සියි. ඒත් අනාගතය කවදාවත් එන්නෙ නෑ. ඒක නිසා ඒ වෑයමට ඔයාට ලැබෙනවා දඬුවමක්. ඉන්ස්ටන්ට් කෝපි, ටීවී බලන් කෑම කන්න, ඔය ප්ලේන්වලට කන්න දෙන කෑම, ඉලෙක්ට්‍රොනික් උදුන්වල රෝස්ට් කරන බීෆ්.. ඒක රත්වෙලා තමයි, ඒත් රෝස්ට් කියන්නෙ ඒක නෙමෙයි. මේ ඔක්කොම අර මායාකාරී කාලය හඹාගෙන යාම වෙනුවෙන් ලැබුනු දඬුවම්. ‍මේකෙම ප්‍රතිඵලයක් තමයි අපේ අධ්‍යාපනය. සාක්ෂරතාවයයි ගණිතමය දැනුමයි පුහුණු කරන්නම නිර්මාණය වෙලා තියෙන ඒ ක්‍රමයෙන් අපි හැමෝමව ලිපිකරුවො, රක්ෂණ නියෝජිතයො‍ සහ නිලධාරීන් විදිහට පුහුණු කරනවා. අපේ ජීවිතය සහ සංස්කෘතිය එක්ක සම්බන්ධ ‍‍‍ මූලික කලාවන් වගාව, ඉවුම් පිහුම්, ඇඳුම්, වඩුවැඩ සහ ලිංගිකත්වය වගේ දේවල් සම්පූර්ණයෙන්ම නොතකා හැරලා තියෙනවා. මේ සමහර ඒවා ඉගෙන ගන්නෙ බුද්ධිමතෙක් වීමේ සුදුසුකම් සපුරා නැති අය විතරයි. මේ කලාවන් ගැන ගැඹුරු පුහුණුවක් දැනීමක් සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන් තැනක් නෑ.

මේක හින්දම අපි ඉතුරු කරගන්න කාලය මුදල අපිට වැය කරන්න ඵලදායී දෙයක් නැති වෙනවා. අපිට ගන්න තියෙන්නෙ ඔක්කොම කුණු. බොරු කාඩ්, බෝඩ්වලින් ගහපු ගෙවල්, කාඩ්බෝඩ් වගේ හැබැයි විටමින් පිරුන පාන් මේවා තමයි අපිට ගන්න තියෙන්නෙ. මේ අපි කාලය කියන මායාවට අහුවුන හින්ද. මේ හින්ද සංස්කෘතියක වැදගත්ම සාධකය වෙන්නෙ, සංවර්ධිත මනුස්ස ප්‍රජාවක් කියන්නෙ, මේ මොහොතෙ පවතින වර්තමාන භෞතික ලෝකය එක්ක බැඳුනු, තියරි ලෝකයක හිර නොවුනු මිනිස්සු.


ඇලන් වොට්ස්


සමහර විට නූතන බටහිරට පෙරදිග ආධ්‍යාත්මික දැනුම හඳුන්වාදුන් ප්‍රමුඛතම චරිතය ඇ‍ලන් වොට්ස් වෙන්න පුළුවන්. ඇලන් ‍වොට්ස්ට තියෙනවා ලිවිය නොහැකි දේ ලිවීමේ දුර්ලභ හැකියාවක්. වොට්ස් බුද්ධියේ තැනින් පටන් අරන් කලාත්මක සෞන්දර්ය හරහා ඒක ආධ්‍යාත්මය තෙක් අරන් යනවා. ගැඹුරු දැනීමකට ළඟාවිය හැකි ආකර්ශනීය මාවතක් නිර්මාණය කරනවා.


LA Times