Ages of Lulu කියන්නෙ අල්මුදීනා ග්‍රන්ඩෙ කියන ස්පාඤ්ඤ ලේඛිකාව අතින් 1989දි ලියවෙන ආන්දෝලනාත්මක ඉරොතික නවෙලාවක්. ඒකෙ කතාව වෙන්නෙ අවුරුදු පහලොවක ලුලු කියන නව යොවුන් තරුනිය එයාගෙ ලිංගික ආශාව සීමාවන් නොතකා තෘප්තිමත් කරන්න යන ගමනක්. මේ කතාව බිගාස් ලුනා අතින් 1990 දි චිත්‍රපටියකට නැගෙනවා. කාන්තා ශෘංගාර සාහිතන්‍යේ නව දොරටු විවර කිරීම වෙනුවෙන් මේ කෘතිය සම්භාවනාවට පාත්‍ර වෙනවා. මේ එම ලේඛිකාවක සමග කළ සංවාදයක පරිවර්තනයක්.

අල්මුදීනා – ඒජස් ඔෆ් ලුලු කියන්නෙ බෙස්ට් සෙලර් එකක්. ඒක අදටත් විකිනෙනවා. මේ වෙද්දි අවුරුදු තිහක් පරණයි. මේ නවකතාව මට ඕන කරන ජීවිතේ මට දුන්නා. මට ලේඛිකාවක් වෙන්න ලැබුනෙ ඒ පොතත් ඒක නිසා ඇතිවුනු හඬත් නිසා. ඒකෙන් මට ගොඩක් දේවල් ලැබුන. මට සමහරවිට හිතෙනවා. ඒ තමයි මගේ අම්මා කියල. මං ඉතාම කෘතඥවෙනවා ඒ පොතට. ඇත්තටම ඒ පොතෙන් පස්සෙ මට ලැබුන සාර්තකත්වය හින්ද පොලොවෙ පය ගහන්න ලැබුනෙත් අමාරුවෙන්.

ප්‍රශ්නය – මරියා ලූයිසා කියන මේ නවයොවුන් කෙල්ල ලිංගික ලෝකය සොයාගෙන යාමේ කතාවක් මේ තරම් රැල්ලක් ඇති කළේ කොහොමද?

 

අල්මුදීනා – මං ඒක ගැන ගැඹුරෙන් හිතලා තියෙනවා. ඒ ඒක ඉරොතික නවකතාවක් හින්ද නෙමෙයි. ඒ වගේ කතා ස්පාඤ්ඤයෙ ඕන තරම් තිබුන. ඒක කාන්තාවක් ඉරොතික කතාවක් ලියලු පලවෙනි වතාවත් නෙමෙයි.

 

සෑහෙන කාලයක් මං විශ්වාස කළා එක පරම්පරාවක් මේ කතාව එක්ක තමන්ගෙම කතාව වගේ අනන්‍ය වුනා කියල. ඒක ඒ ගොල්ලොන්ගෙ භාවාත්මක අධ්‍යාපනයෙ කොටසක් වුනා. මොකද ලුලු එක විදිහකට දේශපාලන නවකතාවක්. ඒ කතා නායිකාවගෙ පෙම්වතා කොමියුනිස්ට්වාදියෙක් හෝ හිරේ හිටපු මිනිහෙක් නිසා නෙමෙයි. ඒක රටක් ඒකාධිපතිවාදෙයන් එලියට ඒම ගැන කතාවක් හින්ද. කතා නායිකාවට ඕන ඒකෙන් පලිගන්න. සීමාවන්ගෙන් තොරව ජීවත් වෙන්න. අඩුම තරමෙ ඒක තමයි මෑතක් වෙනකල්ම මගේ තියරිය වුනේ. මං තරුණ කාලෙදි ලිංගිකත්වය කියන්නෙ එක්තරා සීමාවක්. මං දැනුත් අත්සන් කරනවා ලුලු පොත ගන්න අවුරුදු 25-30 අයගෙ කොපි. ඒ ගොල්ලො දන්නෙ නෑ මං මොකක් ගැනද මේ කතා කරන්නෙ කියල. හරිම වෙනස් පිරිසක් මේ වෙද්දි ලුලු කියවන්නෙ. ඒ හින්දම ඒ ගොල්ලො ඒකෙන් කියවන කතාවත් සම්පූර්න වෙනස් එකක්. ඒක නිසා මං දන්නෙ නෑ ඔය ප්‍රශ්නෙට දැන් කොහොම උත්තර දෙන්නද කියල.

 

ප්‍රශ්නය – සමහර විට හොඳට ලියවුනු ඉරොතික කතා නොතිබෙන්න ඇති.

 

අල්මුදීනා – ෆිෆ්ටි ෂේඞ්ස් ඔෆ් ග්‍රේ පොත නිකුත් වුනාට පස්සෙ ඒක ගත්ත ගොඩක් තරුණ ගෑනු ළමයි මගේ අත්සන ගන්න ආවා. ඒ ගොල්ලො මට කිව්වා අම්මා කිව්වා කියල 50 ෂේඞ්ස් කියවනවා වෙනුවට ලුලු කියවන්න කියල,

 

ප්‍රශ්නය – ලේඛිකාවක් විදිහට ඔයාගෙ ගමන ස්පාඤ්ඤයො වෙනස්කම් එක්ක සමාන්තර විදිහට කෙනෙකුට දකින්න පුළුවන්. ඔයා මුලින්ම ලිව්වෙ සෙක්ස් සහ සම්ප්‍රදායන් ගැන. පස්සෙ ටිකෙන් ටික අතීතයට සහ ඒ අතීතයේ හොල්මන් ගැන ලියන්න හැරුන.

 

අල්මුදීනා – මං ලියන්න පටන් ගනිද්දි මට හිතුනා මොවිඩා (1980දි මැඞ්රිඞ්වල ඇතිවුනු ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරය) කියන්නෙ සුවිශේෂ දෙයක් ඒ වගේම මගේ පරම්පරාව සුවිශේෂ එකක් ඒක හින්ද හැමෝටම ඒ කතාව කියන්න ඕන කියල. 1980දි මට අවුරුදු 20යි. හැම රෑකම මං හැම බාර් එකකටම ගියා. එතකොට මොවිඩා හරියට නිර්මානය වෙලා තිබුනෙත් නෑ. ඒක තමයි මගේ තරුණ කාලෙ. මට අල්මදෝවා සහ තවත් ඒ වගේ තරු චරිත දැක්ක පමනින් අඳුරන්න පුළුවන් වෙලා හිටියා. මං නවයොවුන් රටක, නව යොවුන් නගරයක, නව යොවුන් තරුණියක් වුනා. මගේ ජීවිතෙත් අලුත්. ස්පාඤ්ඤයත් අලුත්. ඔක්කොමටම වඩා මගේ පරම්පරාවෙ ගෑනුන්ගෙ ජීවිතය අලුත්. මං මේක නිතර කියනවා. මිනිස්සු හිතනවා මං චියර් එකක් ගන්න එහෙම කරනවා කියල. ඒත් මගේ පරම්පරාවෙ පිරිමින්ට වඩා ආකර්ශනීය ජීවිත තිබුනෙ ගෑනුන්ට.

 

පිරිමි හිටියෙ ඒ ගොල්ලොන්ගෙ තාත්තලාගෙ වගේම ජීවිත ගත කරමින්. ඒත් ගෑනුන්ගෙ ජීවිත ඒ ගොල්ලොන්ගෙ අම්මලට සමාන වුනේ නෑ. මගේ තුන්වෙනි නවකතාව, මැලීනා ඉස් ද නේම් ඔෆ් අ ටැන්ගො, ඒකෙන් ලැබුන සාර්තකත්වය නිසා තමයි මං ලුලුගෙන් ගැලවුනෙ. ඒ කතාවෙ මං ලිව්වෙ මගේ පරම්පරාවෙ ගෑනියෙකුට ගෑනියෙක් වීම කොයිතරම් අමාරු වුනාද කියන එක. මං හිතන්නෙ ගැහැනියක් වීමම ප්‍රශ්නයක්. මට කවදාවත් ඕන වුනේ නෑ මගේ අම්මා වගේ වෙන්න. එයා හිටියෙ 19වෙනි සියවසේ. ගැහැනියකට තිබුන නීතිමය තත්වය වෙනස්. මගේ අම්මට කවදාවත් එයාගෙම බැංකු ගිනුමක් අරින්න පුළුවන්කමක් තිබුනෙ නෑ. විවාහක කාන්තාවක් හැටියට එයාට වැඩ කරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ.

 

ප්‍රශ්නය- එයා ඒ වෙනුවෙන් සටන් කළේ නැද්ද?

අල්මුදීනා- එයා එහෙම යටහත් කෙනෙකුත් නෙමෙයි. ඒත් සටන්කාමියෙකුත් නෙමෙයි. එයා ඒ වගේ ප්‍රශ්න ගැන හිතලා තිබුනෙ නෑ. මං යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් ආපු ෆෙමිනිස්ට් රැල්ල බාරගන්න කෙනෙක් නෙමෙයි. මේ ෆෙමිනිස්ට්ලගෙ අම්මලා ශිෂ්‍ය කාලෙදි ඒ ගොල්ලොන්ගෙ යටට අඳින බ්‍රා ගලවලා පුච්චලා දැම්මා. මගේ අම්මට එයාගෙ සැමියාගෙ අවසරය නැතුව ඇවිදින්නවත් බැරි වුනා. ඔය ෆෙමිනිස්ට්ලා කියපු දේවල් ඒ කාලෙදි හරිම ඒලියන් විදිහටයි දැනුනෙ.

 

මගේ පරම්පරාවෙ ගෑනුන්ට රෝල් මොඞ්ල්ස්ලා නෑ. අපි එහෙම මාර්ග ලකුනු නැතුවයි අපේ වැඩිහිටි වයසට ආවෙ. අපි හොඳ තීරන වගේම වැරදි තීරනත් ගත්තා. අන්තිම අමාරු කාලයක් වුනත් අපි ප්‍රගතිශීලී වුනා. හරියට මැලීනා පොතේ ඉන්න ට්වින්ස්ලා දෙන්නා වගේ. එක්කෙනෙකුට හැමදේම හරියටම හරි යනවා. අනිත් එක්කෙනා දෙවියන්ට කියනවා එයාව පිරිමියෙක් කරලා දෙන්න කියල. ඒ තරමට ජීවිතේ අමාරුයි.

 

මගේ මුල් නවකතාවල මං කිව්වෙ මගේ අවට ජීවත් වුනු කාන්තාවන්ගෙ කතන්දර. ඒ ගොල්ලොන්ගෙ ප්‍රතිවිරෝදතා, ගැටුම්, අම්මලා එක්ක තිබුනු අර්බුදකාරී සම්බන්ධතා ගැන. මං හරි ආසයි අම්මලා ගැන ලියන්න. මට අවුරුදු 22දි මගේ අම්මා නැති වුනා. මට බැරි වුනා එයා නැතිවෙන්න කලින් එයත් එක්ක හොඳ සම්බන්දතාවයක් ගොඩනගාගන්න. මගේ ඔක්කොම යාලුවන්ට ඒ ගොල්ලොන්ගෙ අම්මලා එක්ක තියෙන්නෙ ගැටුම්කාරී සම්බන්දතා. ඒත් අන්තිමට ඒ ගොල්ලො සාමකාමී තැනකට එනවා. මට ඒක බැරි වුනා.