ලෝකෙ සදා නිමකල තේරුම් සහිත දේවල් ටිකෙන් ටික අර්බුදයට යමින් තියෙනවා. ඒ වෙනුවට විවිධ අය අතින් විවිධ තේරුම් නිර්මාණය කළ හැකි අවකාශයන් වඩා ව්‍යාප්ත වෙමින් තියෙනවා. මේ හින්ද ජීවිතේ සමාජීය, දේශපාලන හෝ සංස්කෘතික අර්ථයන් හොයන්න යන පිරිස් විකාර වෙන්න පටන් ගන්නවා. කලාව යනු කුමක්ද වගේ ප‍්‍රශ්න එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා. තමන් විසින් තමන්ට අදාල තේරුමක් සම්පාදනය කර ගැනීමෙන් සෑහීමට පත්වෙන්න පරණ කට්ටියට පුරුදු වෙන්න සිද්ද වෙනවා. නැත්තං පුළුවන් ඉවරයක් නැතුව බැන බැන නතර වෙලා ඉන්න. ඒත් ලෝකෙ ඉස්සරහට යනවා.
මේ කතාව කියන්න පෙළඹුනෙ ලෝකෙ පුරා ළ`ගදි ජනප‍්‍රිය වෙමින් උන්මාදයක් විදිහට පැතිරෙන්න ගත්ත ජැක්සන් හෝල් හන්දියෙ වීඩියෝවක් නිසා. මේක ඇමරිකාවෙ දකුණු කොණට වෙන්න තියෙන වයෝමින්ග් පළාතෙ තියෙන කඳුකර මිටියාවතක්. මේ පළාතට සංචාරකයො එන එක වැඩි කරන්න හිතාගෙන ටවුමෙ හයිකරලා තියෙන කැමරා කීපයක ‘ලයිව් ෆීඞ්’ යූ ටියුබ් එකට දෙන්න පටන් ගන්නවා. ඒත් නොහිතපු විදිහට මේ එක හන්දියක කලර් ලයිට් සහිත ක්‍රොසින් එකක් ඉහලින් තියෙන කැමරාවෙ ෆීඞ් එක ලෝකෙ පුරා ජනප‍්‍රිය වෙන්න ගන්නවා. (සමහර විට කැමරාවෙ පිහිටීම බලපාන්න ඇති) හැම මිනිත්තුවකම 2000ට ආසන්න පිරිසක් මේ කැමරාවෙන් එබිලා හන්දිය දිහා බලාගෙන ඉන්නවා.
එතන කිසි සිදුවීමක් වෙන්නෙ නෑ. අතිශය සාමාන්‍ය හන්දියක් විතරයි. වාහන එහා මෙහා යනවා. පාරෙන් එහා පැත්තෙ පොඩි ආර්ක් එකක් එහෙම තියෙනවා. ඒත් එකපාරක් මේ වීඩියෝව දිහා බලාගෙන ඉන්න කෙනෙක් ආයි ආයිත් නිවාඩු වෙලාවල ජැක්සන් හෝල්වලට එබෙන්න ඇබ්බැහි වෙනවා. උදේ එලිය වැටීගෙන එන කොට, ? බෝවීගෙන එනකොට තමන්ට කොහෙත්ම සම්බන්දයක් හෝ අදාලත්වයක් නැති කඳුකර හන්දියක් දිහා සාමූහිකව බලන් ඉන්න පිරිසක් ලෝකෙ වටේ නිර්මාණය වෙනවා.
මේක පටන් ගන්නෙ එක්කෙනෙක් මේ ලින්ක් එක ෂෙයාර් කරමින් එයාට මේ පලාතට ගිහින් මේ කැමරාව ඉස්සරහ මොකක් හරි පිස්සුවක් කරන්න ආසයි කියල දාන කමෙන්ට් එකකින්. ඊට පස්සෙ උන්මාදයක් විදිහට මේ නැරඹීම ඇවිලිලා යනවා. මේකට වැටෙන කමෙන්ට් දැක්කම පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. කට්ටියක් නිහ`ඩව මේ නගරයේ පරිසරය නරඹනවා.
තව කට්ටියක් අමුතුම දේවල් කියනවා. ‘ෂා මේ පැත්තෙ මාර ඉනිමං තියෙනවනෙ…’
තවත් කට්ටියක් එක එක ඉවෙන්ට් හදා ගන්නවා. ‘අර පනුවෙක් වගේ නටන මනුස්සයා දැක්කද?’
ඒ මොකුත්ම නැති අය එක පාරට දකින දේවල් ගැන කෑ ගහනවා. ‘අන්න රතු පාට ට‍්‍රක් එකක්….’
ඒත් කාටවත් හිතාගන්න බෑ ඇයි මේ ලයිව් කැමරාව මේ තරම් ජනප‍්‍රිය වුනේ කියල. මෙතන මොකක් වෙන්න පුළුවන්ද? අපි චිත‍්‍රපටියක හෝ කතාවක නරඹන කියවන කිසි දෙයක් නැතුව මේ හන්දියක් දිහා බලන් ඉන්න සාමූහික ආශාව මොකක්ද? වෙන විදිහකට ඇහුවොත් ජැක්සන් හෝල් හරහා අපි මුහුණදෙන විෂුවල් රියැලිටිය මොකක්ද?
පළවෙනි කාරනේ මේ නැරඹීම කරන්න පුළුවන් වෙබ් එකේ විතරයි. මේක අපි චිත‍්‍රපට තිරයක් ඉස්සරහ එකිනෙකා ඉඳගෙන කරන නැරඹීමකට වඩා වෙනස්. මෙතන තියෙනවා පොදු නැරඹීමක්. ඒත් එක්කම හුදකලා තනි නැරඹීමක්. ප‍්‍රයිවෙට් සහ පබ්ලික් කියන දෙක එකතු වෙන තැනක්. ත‍්‍රිල් එක තියෙන්නෙ එතන. අපි තනි තනිව වොයෙරිස්ටික් විදිහට ජැක්සන් හෝල් ජීවිතය දිහා සත්තු වත්තක් දිහා වගේ නැත්තං මාලූ ටැංකියක් දිහා වගේ බලන් ඉන්නවා. ඒ වෙලාවෙම අපි සාමූහික බෙදාහදා ගැනීමකුත් කරනවා. එක්තරා විදිහකට පෝර්න් එකක් බලනවා වගේ.
යම් දෙයක් දැන් දැන් සිද්ද වෙයි කියල බලාපොරොත්තුවක් අපි ළ`ග තියෙනවා. ඒත් කිසි දෙයක් සිද්ද වෙන්නෙ නැති අනන්තයක් ඒක. ඒ හින්දම යමක් සිද්ද වීමේ බලාපොරොත්තුව දිගටම ආස්වාදනීය විදිහට පවතිනවා. යම්කිසි කෙනෙකුගේ අධ්‍යක්‍ෂණයකදී යමක් සිද්ද නොවුනම අපිට වෙන බිඳ වැටීම මේ නිදහස් අවකාශයෙදි වෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් තේරුමක් සහිත දෙයක් දිහා වැඩි වෙලාවක් බලන් ඉන්න අමාරුයි. ඒත් තේරුමක් රහිත දෙයක් දිහා දිග වෙලාවක් බලන් ඉන්න පුළුවන්.
ඕනම මොහොතක අලූතෙන් යමක් සිදුවිය හැකිය කියන පළල් දැක්මකින් අපි දෙවියන් වහන්සේ වගේ මේ ක්ෂුද්‍ර හන්දිය නරඹමින් ඉන්නවා.
මේ හන්දියෙ මිනීමැරුමක් වගේ දෙයක් සිද්ද වුනොත් මේ ජනප‍්‍රියතාවය තවත් වැඩි වෙයිද? මං නිකමට කල්පනා කළා. ඒත් මේ වියුක්ත ආස්වාදය ඒ වගේ සංයුක්ත සිද්දියකින් ආමන්ත‍්‍රණය කරන්න බෑ කියල මට හිතෙන්නෙ. ඒ වෙනුවට මිනිස්සුන්ට තේරුමක් හිතාගන්න බැරි යමක් සිද්ද වුනොත්, හරියට අර පනුවෙක් විදිහට නටන මිනිහා වගේ, ඒකෙන් මේ ආස්වාදය ගුණනය වෙන්න පුළුවන්.
එක්තරා විදිහකට මේක අලූත් මිනිස් සවිඥාන අත්දැකීමක් ස්පර්ශ කරනවා. අපිට කියන්න පුළුවන් මේක ‘සාමූහික-පුද්ගලික සවිඥාන අත්දැකීමක්’ collective- private consciousness (definition by Stefan Sebestian) කියල. පුද්ගලිකව ඉන්න අතරම සාමූහිකත්වයක් දනවන මිනිස් අත්දැකීමක්. එහෙම වින්දන අවකාශයක් මෙතෙක් පැවතුනේ නෑ. ඒක මේ අලූත් වෙබ් කැමරා හරහා නිර්මාණය වෙන තත්වයක්.
කාට හරි ලේසියෙන්ම කියන්න පුළුවන් මේක තවත් එක විපරීත තත්වයක් කියල. ඒත් ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. විපරීත නොවෙන කවුද ඉන්නෙ? ලෝකෙ පුරා පැතිරී යන උන්මාදයක් විපරීතයි කියන එකම ප‍්‍රකෘතියක්ද?
මට හිතෙන්නෙ මේ අත්දැකීම හරහා අපිට අලූත් නිර්මාණ අවකාශයන් ගැන හිතන්න පුළුවන්. උදා විදිහට මේ වෙද්දිත් ජැක්සන් හෝල් කැමරාව විවිධ අයගෙ විවිධ ජනප‍්‍රිය වීමේ උවමනා වෙනුවෙන් පාවිච්චි වෙනවා. ලෝකයක් තමන් දෙස බලා සිටින නිකම්ම එල්ල වුනු කැමරාවක්. ඒ හරහා ඕනෑම ප‍්‍රකාශනයක් කරන්න පුළුවන්.
අපි දන්නා සීමිත කාලයක, සීමිත කතා අවකාශයක දිවෙන සිනමාවට වඩා දැවැන්ත සදාකාලික සිනමාවක් මේ කැමරාව ඉස්සරහ නිර්මාණය වෙන්නෙ නැද්ද? තමන් නොදන්නා වූ තමන්ටම විශේෂ වූ උවමනාවකින් මේ පරාරෝපිත කැමරාව සමග බැඳුනු දැවැන්ත පේ‍්‍රක්‍ෂාගාරයක් මේ පිටිපස්සෙ නැද්ද?
ජැක්සන් හෝල් කියන්නෙ අර්තයක් වෙනුවට තාමත් නොදන්නා මිනිස් අත්දැකීමක්. මේ ගැන මම මෙතන සපයන අර්තයන් වුනත් කැමරාවෙන් බලන් ඉඳලා කෑ ගහන තවත් කෙනෙකුගේ කමෙන්ට් එකක් විතරයි. තාක්‍ෂණය හරහා තව තවත් අපි නොදන්නා මිනිස් විශ්වයන්ට අපි ඇතුල් වෙන්න නියමිතයි. ජැක්සන් හෝල් කියන්නෙ ඒ විදිහට අපි ඇතුලට එබෙන්න වගේම අපි සහ සමාජය අතර අප‍්‍රකාශිත සම්බන්දතා හොයන්න ඇරුනු තවත් ලොකු විවරයක් විතරයි..
චින්තන ධර්මදාස