ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලූ අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. ඒත් කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.

කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා, ඩබ් ඞී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම දක්වා ගමන ඇත්තටම අසීරු වගේම දීර්ග එකක්. අමරදේවගේ හැකියාව මුලින්ම හඳුනාගන්නෙ සුනිල් ශාන්ත. ඒත් සුනිල් ශාන්තට තිබුණු අදීන සහ මතවාදිමය ගුණය අමරදේවට පිහිටන්නෙ නෑ. ඉන්දියානු රාගධාරී සංගීතය සමග අපේ ජන සංගීතය සම්බන්ධ කිරීමේ පර්යේෂණාත්මක මෙහෙවරක් අමරදේව අතින් සිදුවුණා කියල බොහෝ දෙනෙක් වරනගන කතාව ඒ තරම් පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. අමරදේව අතින් ලංකාවෙ සංගීතය ඉන්දීය රාගධාරී සංගීතයට යටවෙනවා. ඒ ඇසුරෙන් අධිපති සංගීත කතිකාවක් ගොඩනැගෙනවා. තමන් යම් විෂයක් තුල ලත් පරිචය හරහා තමන්ගේ මූලයන් හඳුනාගනිමින් ඒවා ගැන සංවිධිත නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අමරදේව අතින් සිද්ද වෙන්නෙ අනුකාරක ප‍්‍රවේශයක් ගැනීම කියලයි මං විශ්වාස කරන්නෙ.

ප‍්‍රධානවම සංගීතඥයෙක් වේවා, කලාකරුවෙක් වේවා, තිබිය යුතු ස්වීය දාර්ශනිකත්වය අමරදේවගේ ව්‍යාපෘතිය තුල අහිමියි. උදා විදිහට පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් (මට අනුව ලංකාවේ ජාතික සංගීතඥයා විය යුත්තෙ ඔහුයි) තමන්ගේ අත්දැකීම් සහ අදහස් එක්ක රැුඩිකල් පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලට යනවා. සුනිල් ශාන්තගේ ගත්තත් ඒ සංගීත භාවිතාවෙ දේශපාලනයක් තියෙනවා. උදා විදිහට වරෙක ඉන්දීය සංගීත විශාරදයෙක් වෙතින් ගුවන් විදුලියෙ සංගීත වර්ගීකරණයක් කරන්න සූදානම් වීම නිසා සුනිල් ශාන්ත ගුවන් විදුලියෙ තමන් කරමින් සිටි රැුකියාවෙන් පවා ඉවත් වෙනවා. ඒ සරල මමත්ව හේතුවක් නිසා නෙමෙයි.

ලාංකේය සරල ගීතය ගැන විවරණයක් කිරීමට ඉන්දීය ශාස්ත‍්‍රීය සංගීතකරුවෙකුට නොහැකියි කියන තාර්කික ස්ථාවරය මතයි. ඒත් අමරදේවගේ ජීවිතය තුල ඒ විදිහෙ පෙනී සිටීම් නැහැ.

අමරදේව මං දකින විදිහට ඉතා පළල් මිනිස්සු ඇසුරු කරන්න වාසනා ගුණය තිබුණු හොඳ හ`ඩක් හිමි කෙනෙක්. මහගමසේකර, සුනිල් ශාන්ත, සරච්චන්ද්‍ර වැනි විශාල පරාසයක් තිබුණු අයගේ හෙවනැල්ල නිසා අමරදේව උවමනාවට වඩා ලොකුවට පේන්න ගන්නවා. (ඇල්බට් කියන නම ප‍්‍රසිද්ධියට බාධාවක් කියල අමරදේව කියන නම පවා දෙන්නෙ සරච්චන්ද්‍ර) ලංකාවෙ සංස්කෘතික අවකාශයෙ පවතින ගතිකයන් එක්ක මේක සිද්ද වුණු හැටි තේරුම් ගන්න ලේසියි. මතවාදිමය අතින් හෝ නිර්මාණාත්මක අතින් ස්වාධීන නොවන, වෙනස් අදහස් නොදරන අයට පහසුවෙන්ම මේ අවකාශයේ ස්ථාපිත වෙන්නත් ඉදිරියට යන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම යම් සම්ප‍්‍රදායක් රකින, ක‍්‍රමයකට අනුගත අයට මේ ගමන ඉක්මන්. අපේ අනිත් බොහොමයක් ක්‍ෂේත‍්‍රවලදි වගේම පොඩි තැනක ඉඳන් අමාරුවෙන් ඉහළ නැගි බොහෝ අයට හිමි මේ ගුණාංගයෙන් අමරදේවත් පොහොසත්.

ඔහු අතින් පර්යේෂණාත්මක සිදුවුණා කියල වියත්තු උදාහරණ කොට දක්වන බොහෝ නිර්මාණත් ඇත්තටම ප‍්‍රශ්නකාරීයි. උදා විදිහට රන් දහඩිය බිංදු බිංදු ගීතය බයිලා සංගීතය යොදා ගනිමින් කළ නිර්මාණාත්මක වෑයමක් විදිහට හඳුන්වන ගොඩක් අයගෙන් අහන්න සිද්ද වෙන්නෙ ඇත්තටම අපිට මේ ගීතයෙ බයිලා සංගීතය ඇහෙනවද කියන එකයි. හුදු ශාස්ත‍්‍රීය ආකාරයකින් ඉන්දියානු රාගධාරී සංගීතය ඇතුලෙ බයිලා ගීතය මරාදානවා ඇරෙන්න යම් සංගීතයකට හිමි ආත්මීය ගුණය අමරදේව අඳුරගෙන නොහිටි බවයි මේ ගැලපීම ඇතුලෙ ප‍්‍රකට කාරණය වෙන්නෙ.

අමරදේවට අනුව නිර්මාණයකට බලපාන ප‍්‍රධාන කාරණා තියෙන්නෙ දෙකයි. එකක් ප‍්‍රතිභාව. ඒ කියන්නෙ ගිය ආත්මභවයක ඉඳන් අරගෙන එන නිර්මාණ හැකියාව. අනික සතත අභ්‍යාසය. නිරන්තර පුහුණුව. මට අනුව මේ දෙක පිහිටියා වූ කිසි කෙනෙකුට නිර්මාණකරුවෙක් වෙන්න නම් බෑ. ගිය ආත්මභවයක ඉඳන් පොදි බැඳගෙන එන පැරණි හැකියා පොදියක් නැවත නිතර නිතර අභ්‍යාස කිරීමෙන් ඉපදෙන නිර්මාණය කොයි වගේ වෙන්න පුළුවන්ද?

විශේෂයෙන්ම මේ ඇදහීම ඇතුලෙ තියෙනවා අමරදේවගෙ ආත්මය. එයා නිර්මාණයක් දකින විඳින ආකාරය. පැරණි පවතින ක‍්‍රමයක් තුලම ගිලීයන නිර්මාණ හැකියාවකට වැඩි යමක් මේ ඇදහිල්ල ඇතුලෙ හැදෙන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්.

අමරදේවට හැකියාවක් නොතිබුණා හෝ ඔහු විසින් යම් කාර්යයක් සිද්ධ නොකළා හෝ කියනවා නෙමෙයි. විශේෂයෙන් ඔහුගේ ගීත ගණනාවක්ම මගේ ප‍්‍රියතම සිංදු අතර තියෙනවා. ඒත් ඔහු මහා සංගීතකරුවෙක් හැටියට දකින්න තරම් මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒ වෙනුවට නිර්මාණාත්මක හැකියාවක් තිබුණත් දැක්මක්, නව අර්ථයක් අහිමි කෙනෙක් පවතින සීමාව ගැන අමරදේව කියන්නෙ හොඳ නිර්ණායකයක්.

ජීවිත කාලයක් සංගීතය වෙනුවෙන් කැප කළ සුන්දර හ`ඩක් හිමි සොඳුරු මිනිසෙක් හැටියට අමරදේව ගැන මට තියෙන්නෙ ආදරයක්. ඒත් ඒ මිනිසා ඇසුරෙන් ආරක්ෂා කරන්න යන ශාස්ත‍්‍රීය, සුවච-කීකරු නිර්මාණකරන ප‍්‍රවේශය සහ ඒ නිසා යටපත් වන වඩා පුළුල් දැක්මකින් යුත් නිර්භීත කලා ව්‍යායාමයන් නිසා කිව යුත්ත විවෘතව කියන්න සිද්ද වෙනවා.

අමරදේවයන් කියන්නෙ හැකියාවෙන් පිරිපුන් නමුත් දැක්මක් අහිමි ලාංකේය සරල ගී කලාවේ පුරෝගාමියෙක් විතරයි.

(මෙයින් කිසිසේත්ම අමරදේවයන්ට සහ ඔහුගේ සංගීතය අදහන ශ‍්‍රාවකයන්ට අපහාස කිරීම අරමුණු නොකරන වගද නැවත ලියා තබමි)