කාලෙකට පස්සෙ ආපහු බිගාස් ලුනාගෙ ඒජස් ඔෆ් ලුලු ෆිල්ම් එක බැලුවා. අනූගනංවලම මේක බලලා තිබුනත් ඒ කාලෙ බැලුවෙ ඩබල්එක්ස් එකක් හින්ද මිසක් වෙන විශේෂයක් ඇතුව නෙමෙයි. ආපහු බලද්දි ලූනාගෙ සිනමාව මාව පුදුමයට පත් කළා. ටයිට්ල් දාන තැන ඉඳන්ම ඒ රූපරාමු අපේ සම්මතයන් හොල්ලන්න පටන් ගන්නවා. මං වඩාත්ම කැමති අධ්‍යක්‍ෂවරයා සතු ඉවසීමට. ශෘංගාරාත්මක මොහොත පමා කරමින්, අත්පත් කරගත නොහැකිවන රසයකට ඇබ්බැහි කරමින් ලූනා එයාගෙ රූප ගොඩනැංවීම කරන හැටි ඉරොතික සිනමාවේ ව්‍යාකරණ හොඳට කියල දෙන තැනක්. කිව්වට විශ්වාස කරන්න විනාඩි පහලොවකට වඩා එකදිගට බලන් ඉන්න බැරි තරම් මේ සිනමාව ප්‍රබලයි. අපේ ඉවසීම පරීක්ෂා කරනසුලුයි. අලුමදෙනා ග්‍රාන්දෙ ලියපු නවකතාවේ ස්ත්‍රීමය ශෘංගාරය කැමරාවට දක්ෂ විදිහට අහුකරගන්න බිගාස් ලුනා සමත්වෙනවා කියල මං හිතනවා.

ලුනා කියන්නෙ ස්පාඤ්ඤ ඉරොතික සිනමාවෙ කැපී පෙනෙන නිර්මාණකරුවෙක්. ඒ වගේම එයාගෙ චිත්‍රපටිවල කෑමවලටත් ලොකු ඉඩක් ලැබෙනවා. මොකද ලුනාට ෆිල්ම් ගැන වගේම ෆුඞ් කල්චර් එක ගැනත් ලොකු ආශක්තබවක් තියෙනවා. එයා චිත්‍රපටකාරයෙක් විතරක් නෙමෙයි. ඩිසයිනර් කෙනෙක්, සිත්තරෙක් වගේම මල්ටිමීඩියා ආර්ටිස්ට් කෙනෙක්.

එයා පටන් ගන්නෙ ඉන්ඩස්ටි්‍රයල් සහ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට. 60 ගනං වෙද්දි එයාගෙ ඩිසයින් අලුතෙන් මතුවේගෙන එන විෂුවල් තාක්ෂනයන් පැත්තට යොමුවෙනවා. 70 ගනංවලදි එයා සිනමාවට එන්නෙ කෙටි ඉරොතික චිත්‍රපටි හදලා. එයාගෙ පලවෙනි ෆිල්ම් එක ටැටූ කාන්ස් සම්මාන උළෙල නියෝජනය කරනවා. ඒ ශෘංගාර මැවීමේ විප්ලවීය ගුනය බිගාස් ලූනා සලකුණ මුල්වරට තියනවා.

80 ගනං වෙද්දි එයා විශ්‍රාම යනවා. ළමයි හදාගෙන බිරිඳත් එක්ක ඕගනික් ෆාම් එකක් කරගෙන සතුටෙන් ජීවත් වෙන්න ගන්නවා. 90 ගනංවලදි අන්ද්‍රෙ වින්සන් ගොමස් කියන නිෂ්පාදකයා තමයි නැවත එයාව හොයාගෙන ගිහින් ඒජස් ඔෆ් ලුලු කරන්න පොළඹවා ගන්නෙ. ඒක අතිශය සාර්ථක කෘතියක් වෙනවා.

ඊට පස්සෙ ලුනා අතින් එයාගෙ සුවිශේෂම නිර්මාණ ත්‍රිත්වය හැදෙනවා. හැම් හැම්, ගෝල්ඩන් බෝල්ස්, ටිට් ඇන්ඞ් ද මූන් කියන්නෙ ඒ ට්‍රයොලොජිය. යේමොන් යේමොන් (හැම් හැම්) එකෙන් තමයි අවුරුදු 16ක පෙනිලොප් කෲස් සිනමාවට හඳුන්වාදෙන්නෙ. මේ චිත්‍රපට ඇතුලෙන් බිගාස් ලුනා ස්පාඤ්ඤ ජනතාවගේ මනස් අභ්‍යන්තරයෙ අඳුරුම ආශාවන්ට එබෙනවා. යෙමොන් යෙමොන් වැනිස් සිනමා උළෙලේ රිදී සිංහ සම්මානය පවා දිනාගන්නවා. 

 

මං චිත්‍රපටියක් හදනකොට මට ඕන නෑ මගේ සංකේතමය අර්ථකතන මතුපිටට ගේන්න. ඒක සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයාට කරන අසාධාරනයක්. ඒත් මං නිකංම විනෝදාස්වාදය වෙනුවෙන් චිත්‍රපට කරන්නෙ නෑ. ඒ වගේම ඕනවට වඩා සැඟවුනු අර්ථ ප්‍රකාශ කරන්නෙත් නෑ. මට හිතෙන්නෙ ඉතාම සාර්ථක සංකේතමය අර්ථ සහිත චිත්‍රපටියක ඒ සංකේතාර්ථ දුවන්න ඕන යටිපෙලක් විදිහට. මොනවා හරි තියෙනවා කියල දැනෙනවා. ඒත් කාටවත් ඒක ලේසියෙන් අල්ලගන්න බෑ. ඒක ආස්වාදජනකයි.