මං මගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක පාවිච්චි කරන්නෙ කවි ලියන්න. කවි ලියනවටත් වඩා කවි ලියන අය අඳුරගන්න. ෆේස්බුක් වගේ ආක්‍රමණශීලී, පිරිමි-විවේචනයට බර වේදිකාවක් නොවෙන හින්දම තමන්ගේ පිටුවලට මුවාවෙලා, අවංකව දේවල් කුරුටු ගාන අය ඉන්ස්ටා වැඩියි. උවමනාවටත් වඩා තමන්ව පුම්බාගන්න විසිතුරු ජීවිත එතන බහුලබව නොපිලිගන්නවා නෙමෙයි. ඒත් සොඳුරු හුදකලා කවීන් බොහොමයක් මට එතනදී මුනගැහුන. ඒ අතර ඉංග්‍රීසියෙන් ලියන නමුත් ගැඹුරු තැන් සියුම්ව පිරිමදින කීපදෙනෙක් හිටියා. පර්පල් ෂටර් ටේල්ස්, දම්පාට කවුළුවේ කතාව මට එහෙම මුණගැහුනු, සමීපම නමුත් ස්පර්ශ නොකළ අත්දැකීම්වල ආස්වාදය දනවපු කවි පිටුවක්. වැඩියෙන්ම මං වැටුනෙ ඒ කවිවල ගැහැණුකමට. ඒ ගැහැණුකම රහසින් තරණය කරන ඉසව්වලට. ආසාව හින්දම ඉංග්‍රීසියෙන් ඉතා සුන්දර ඒ කවි මගේ කුරුටු සිංහලෙන් කැත කරන්න තීරණය කළා මම. එක විදිහකට ඒක පිරිමියෙක් හැටියට අනෙක්පස ගැහැණිය නිරුවත් කිරීමක්.
ඒ එලිවෙන යාමයේ
ගලායන වතුරෙ හඬ ඇයට ඇසුනා
බැඳීම අපරාධයක් බව
මාස ගානක රහස්බව ඇයට කියා දී තිබුනා
ආස්වාදනීය රාත්‍රි‍යේ මත්වීම මතක්කරමින්
ඇය ඉතිරි ටිකීලා ටික සින්ක් එකට හැලුවා
දැල්වුනු සතුටේ ශේෂයන් වූ
සිගරට් කොට බක්කියට දැම්මා
ඔහු සාලය හරහා ගියේ හැඟීමක් නැතුව
නළලතට හාදු නෑ, මෘදු සමුගැනීම් මොකුත් නෑ
ඔහු, හිස් මාවතේ නවතා තිබුනු කාර්එකට ඉක්මනින් ගොඩ‍වෙමින්
ඇස්කොනින් පමණක් ඉක්මන් බැල්මක් හෙලුවා
ඇය, දොර අඩවල්ව තබමින් ඇතුලට ඇදුනා
මේ ‘අනෙක් ගැහැණිය’ බලා සිටිනා දවස වැඩි ඈතක නොවේ.
තහනම් අනුරාගයක පසුයාමයේ දැනෙන කාංසිය, පාළුව, හිස්තැන, රහස සියල්ල රූප මැවෙන විදිහට සිත්තම් කරපු කවියක් ඒක. ඒ වගේ කාමර කොයිතරම් ගානක් අපි පහුකරලා ඇත්ද? ඒත් ගැහැණියක් ඒ ගැන ලිව්වා දැක්කාමයි මම.

මම මගේ හදවත දුර්වලම බලාපොරොත්තුවේ රඳවමි
බලාපොරොත්තු විරහිත බව කෙතරම්ම පෙනුනත්
හැකි උපරිමයෙන් එහිම එල්ලී සිටිමි
ඔබ විහිළුකරන ඒ බලාපොරොත්තුව
ඔව් එ් මට විසුළ එළියක්

ඒ කඩාවැටෙන කොලය මත මම මගේ තටු ලිහිල් කරමි
එය මැසිවිලි නොනගා මගේ සියලු බර දරාගනු ඇත
දුර්වල නුමුදු මේ බලාපොරොත්තුව මගෙයි
එය මාත් මගේ වේදනාවත් දරා සිටී
එබැවින් මගේ හරිත බලාපොරොත්තුවට ඔබේ විහිළු නවතන්න.

මේ කවිය ලියලා තිබුනෙ හීන් කඩා වැටෙන තණපතක එල්ලුනු සමනලයෙකුගෙ රූපයක් එක්ක. බිඳී යන බව දැනදැනත් එල්ලී සිටින ආදරයක් ගැන හරිම සියුමැලි හේතුවක් ඒ වචනවල තිබුන.

උත්ප්‍රාසයක් නොවෙද?
මරණයෙන් වෙන්කරන තුරු -වෙන්නොවී ඉන්නට දිවුරූ
කිසිදිනක මුනනොගැසෙන මාවතක පියමනින
සදාතනික යැයි දිසි නමුත් සදා වෙන්වුනු අපි,
උමං කෙලවර ඇති, කිසිදිනෙක් මුනනොගැසෙන
ඒ රවටනසුලු එලිය..සොයා යන ගමනේ
අපි තවත් පිය මනිමු.

එකටම ආදරෙන් බැඳුනත් කිසිදා මුනනොගැහෙන ජීවිත දෙකක්.. කවදා හෝ මුනගැහෙන බලාපොරොත්තුවෙන් එකට යන, එකට නොබැ‍ඳ‍ෙන ගමනක්… පවතින නමුත් බිඳුනු ආදරයක අමුතු ලස්සනක්. මේ හිස්තැන දම්පාට කවුළුවෙන් ලියවුනු හැම කවියකම තියෙන මං ආස හැඟීමක්.ඇස් නිලංකාර කරන ඒ රැස්
කාමරය එළිය කරනවා
හැම මුල්ලක්ම පැල්මක්ම නිරුවත් කරනවා
කැපුම් නිරාවරණයවී
කැළැල් හෙළිදරව් වී
රහස් එලිවෙනවා
මං ඇකිලෙනවා
හැංගෙන්න පලක් නැති වෑයමක් දරනවා
දරාගත නොහැකි නිරුවත
කුපිතකරනවා
මම මගේ රැකවල් පහත හෙලනවා
ඔබට සියල්ල දැකගන්න ඉඩ දෙනවා
ඔබේ ආදරය ඒ වගෙයි
ඇස් අන්ධකරන තරම් එලියයි..
අලුතෙන් හඳුනාගත් ඒ අවදානමේ මං ඇලීගැලෙනවා
නිබයව නිරුවත් වෙනවා
මම දැන් මගේ කැළැල් පළඳිනවා
හරියට කොටිදෙනක් ඇගේ ඉරි රටා පළඳිනවා වගේම..

මේ කවිවලට සිංහලෙන් මට කරන්න පුළුවන් සාධාරණය අවමයි. ඒත් ඒ ගැහැණු අදහස් සිංහලෙන් කියවන්න ඕන කියල මට හිතුන. පරිවර්තනයෙදි සාහිත්‍ය මැරුනත් ඒ වගේ ගැහැණු හැඟීම් සිංහලෙන් ලියවෙන්නෙ නැති තරම්. කොතනකටවත් වහන් නොවුනු, නිදහස්, අවංක හැඟුම් තැවරුමක ආස්වාදය මං ඒ කවි ඇතුලෙ විඳිනවා.
දම්පාට ජනේලෙන් නැවත නැවත එබෙන්න මං ආසාවෙන් පෙළෙනවා.


චින්තන ධර්මදාස