ආදරේ කියන්නෙ අපි වැඩියෙන්ම කතා කරන දේ වෙන්න පුළුවන්. හැබැයි අඩුවෙන්ම කරන දේ වෙන්න පුළුවන්. ආදරය නැති තැන මොකක්ද තියෙන්නෙ කියල කවුරු හරි හිතුවොත්, ආදරේ නැති තැන තියෙන්නෙ දේශපාලනය කියල තේරුම් ගන්න පුළුවන්. ආදරයෙදි අපි එක්කෙනා දෙන්නෙක් විදිහට හිතනවා හෝ දෙන්නා එක්කෙනෙක් විදිහට හිතනවා කියල කියනවා නම් දේශපාලනයේදි දෙන්නා දෙන්නෙක් විදිහට හෝ දෙන්නා බහුතරයක් විදිහට හිතන්න ගන්නවා.

ඒ කොහොම වුනත් ආදරය කියන එක ස්ක්‍රිප්ට් රයිටින් තාක්ෂණයෙන් ගත්තොත් කොහොමත් ෆේල් ස්ක්‍රිප්ට් එකක්. ආදරය පටන්ගන්නෙ උපරිමෙන්. ඒ කියන්නෙ දෙන්නෙක් ආදරෙන් බැඳෙන තැන තමයි ඒ දෙන්නාගේ ආදර කතාවෙ කූටප්‍රාප්තිය වෙන්නෙ. ඊට පස්සෙ තියෙන්නෙ පල්ලම. ආදරය ගැන හීන දකින එක තමයි ආදරයේ උපරිම ආස්වාදය. ඇත්ත අත්දැකීමට කිසි දවසක ඒ හීනවලට ළංවෙන්නෙ බෑ. ඒක හරියට පෝර්න් වගේම තමයි. පෝර්න් බැලීමෙන් ලබන ආස්වාදය ඒ පෝර්න්වල දේවල් ඇත්තට කිරීමෙන් ලබන්න බෑ.

ඉතින් ආදරේ එක මොහොතක විකසිත වෙනවා. ඊට පස්සෙ මුකුලිත වෙන්න ගන්නවා. අපි ගොඩක් පරමල් පරිස්සම් කරනවා. වැඳුම් පිදුම් කරනවා.

අපි මෙතනදි කතා කරන රොමාන්තික ආදරය කියන්නෙ සංවෘත රටක් වගේ. රට වහගනිද්දි ඒක සෑහෙන දේශානුරාගයක් දනවන වැඩක් වෙන්න පුළුවන්. ඒත් වහගෙන කාලයක් යනකොට ඒ අනුරාගය කෙලවර වෙන්නෙ එකඑකා මරාගෙන. ආදරෙත් එහෙමයි. විකසිත මොහොතෙ දෙන්නා විතරක් ඉන්න ගල්ගුහාවක, මහා වනාන්තරේක නවතින්න තරම් පිරිපුන් ස්වයංපෝෂිත හැඟීමක් දැනෙන්නෙ.

මහ වන පියසක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරවේ මා හද

ආදරේ පල්ලම් බැහැගෙන එද්දි අපිට තෝරගන්න පුළුවන් පාරවල් දෙකක් මුනගැහෙනවා. ගොඩක් අය තෝරගන්න පොදු මාවත තමයි ආදරවන්තයින් දෙමව්පියන් බවට පත්වෙන එක. ළමයි හදන එක. දෙන්නගෙ ආදරේ කොමියුනිටි එකක් කරගන්නවා. හැබැයි තවදුරටත් අර පටන්ගත්ත ආදරය පවතිනවා නෙමෙයි. ඒ දෙන්නා අම්මා සහ තාත්තා වෙනවා. මේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නෙ දරුවන් වෙනුවෙන්. ඒ ගොල්ලො දේවල් දකින්නෙ දරුවන්ගෙ ඇස්වලින්. දේවල්වලට දරුවො වගේම බය වෙනවා. තමන්ගෙ වැඩිහිටි ආශාවන් කැපකරනවා. නිදහස කැපකරනවා. සෙක්ස් කියන එක තවදුරටත් ශරීර කෘත්‍යයක් මිස ශෘංගාරයක් නොවී යනවා. පුළුවන් තරම් ඉක්මනට මේ දෙමව්පියන් නිර්මාණය කරගැනීම තමයි සාම්ප්‍රදායික සමාජ අපේක්ෂාව වෙන්නෙ. අම්මා තාත්තා බවට පත්වුනාට පස්සෙ ඒ අය ආදරවන්තයන් වගේ කැරලිකාර නෑ. ඒ අය සංස්කෘතිය සදාචාරය රකින්න නිහඬ ගිවිසුමක ඉන්නවා.

අම්මා කෙනෙක් විදිහට ඔහොම අඳින එක හරිද?

අනියම් පෙම්වතා දෙදරු පියෙක්…. වගේ කතා ලියවෙන්නෙ ඒ ගිවිසුම හින්ද.

අනිත් පාර තමයි සංවෘතබව වෙනුවට විවෘත වීම පිලිගන්න එක. රට අරින එක. එතකොට අර තරු එළි දැල්වෙන අනුරාගී ආදරයට එපිටින් තමන්ට එකට පවතින්න ඇත්ත හේතුවක් තියෙන්න ඕන. වෙනත් වෙනත් ආදර සම්බන්ධතා, රාගී ඇවිලීම්, සියල්ලක් අතර විවෘතව පවතින ආදරයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක හරියට ආදර කොමියුනයක් නිර්මාණය කරනවා වගේ වැඩක්. මේ අයට තමයි සාම්ප්‍රදායික සමාජය බරපතලම විදිහට විරුද්ධ. මොකද මේ ආදරයට සමාජය එක්ක සම්මුතියක් නෑ. ඒක ඇත්තටම කැරැල්ලක්. කැපකිරීම වෙනුවට ආශාවම තෝරාගැනීමක්. අනාගතය වෙනුවට වර්තමානයම තෝරාගැනීමක්. නැව වරායක නැංගරුම් ලනවා වෙනුවට කුනාටු මුහුදක යාත්‍රා කිරීමටම ගන්න තීරණයක්.

එතනදි නැවත නැවත ආදරයේ අසනිමල් පිපෙනවා. ඒ මල් තහනම් වෙන්නෙ නෑ. ඒවා ආදරයන් විදිහටම පිලිගන්නවා. දෙමව්පිය ආදරයේදි මේ ආදරයන් අනියම් වෙනවා. වරදකාරී වෙනවා. මොකද දෙමව්පිය ආදරය පවතින්නෙම ලිංගිකත්වයට සීමාවක් පැනවීම මත. දෙවෙනි ආදරය පවතින්නෙම ඒ සීමාව ඉවත් කිරීම මත.

අපි හැමෝම රොමාන්තික ආදරයේ මුදුනෙදි ආසාවෙන් විලංගු ලාගන්නවා. ඒක ආස්වාදනීය ෆැන්ටසියක්. කන්ද පාමුලට ආවම විලංගුව ඉවත් කරනවද නැත්තං දිගටම තියාගන්නවද කියන යතාර්ථය මුනගැහෙනවා.

පළමු වර්ගයෙන් පිටපත ලියවුනොත් එතනින් පස්සෙ තියෙන්නෙ දූදරුවො පන්නයේ මෙගා ටෙලියක්. දෙවෙනි වර්ගයෙන් ලිව්වොත් සීරීස් එකෙන් සීරීස් එකට අලුත්වෙන ඇඩ්වෙන්චර් එකක්.

එතකොට දෙමව්පියන් වෙලා විවෘත ආදරයක පවතින්න බැරිද? ඒ කියන්නෙ මේ ඔප්ෂන් දෙකම පාවිච්චි කරන්න බැරිද? එහෙම වෙනවා නම් ඒක තමයි ලස්සනම. ඒත් ඒකට තමන් දරුවන් ලැබුවත් දෙමව්පිය තනතුරෙන් පිදුම් නොලබා හිතුවක්කාර ආදරවන්තයන් විදිහටම ඉන්නවා කියන තීරණය ගන්න වෙනවා. අම්මෙක් හෝ තාත්තෙක් ඉපදෙනවා කියන්නෙ පෙම්වතෙක් හෝ පෙම්වතියක් මියයනවා කියන එක.