පාර්ලිමේන්තුවෙදි තිස්ස කුට්ටිආරච්චි වම්බටු ගහලා පලා ගත්තද කියල අහපු කතාව ලොකුවට පත්තුවෙලා ගියා. ඒක කාන්තාවකට කරපු අපහාසයක් විදිහට අරගෙන සියලු පක්ෂවල කාන්තාවො එකතුවෙලා ඒකට විරෝධය පෑවා. කුට්ටිආරච්චිට නැතිවෙන්න ගැහුවා. මේ කාන්තාවන් එක්ව මතවාදීමය භේද පසෙකලා කාන්තා ගරුත්වය වෙනුවෙන් පෙනී සිටීම ගැන වාමාංශිකයො ගොඩක් ආඩම්බර වෙනවා දැක්කා.

තිස්ස කුට්ටිආරච්චි කියන්නෙ පාදඩයෙක්. ඒක ගැන කතා දෙකක් නෑ. පාර්ලිමේන්තුවක නොසිටිය යුතු කෙනෙක් වගේම එසේ සිටීමෙන් චන්දය පාවිච්චි කරන රටේ ජනතාවගේ තත්වය පැහැදිලි වෙන චරිතයක්. හැබැයි මේ විරෝධය මොකක්ද? මේක ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමක්ද? නැත්තං ස්ත්‍රිය තවත් බොළඳකරණ ව්‍යාපෘතියක්ද?

පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්නෙ අද ඊයෙ නෙමෙයි. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙදිම වාසුදේව නානායක්කාර රනිල්ට පකයා කියල බනිනවා. එතනදි කවුරුවත් රනිල්ගේ පුරුෂ මොකක් හරි හෑල්ලුවුනා කියල පෙනී හිටියෙ නෑ. මේ හෑල්ලු වීම සිද්ද වෙන්නෙ පිරිමියෙක් ගැහැණියකට යමක් කීමෙන් පමණද?

කාන්තා අයිතීන් සම්බන්ධ මේ කතිකාවන් ගොඩනැගෙන්නෙ පොලිටිකල් කරෙක්ට්නස් කියන බහුබූතය ඇතුලෙ. කාන්තාවන් දුර්වලයි නැත්නම් ලේසියෙන් කැඩෙන බිඳ‍ෙනසුලුයි කියන පදනමකින්. ඇත්තටම මේ වගේ කාරණයකදි අපි ජෙන්ඩර් ඩිෆරන්ස් කියන තැනට වඩා ජෙන්ඩර් රියලිස්ට් තැනකින් දේවල් දිහා බලන්න ඕන.

මොකක්ද මේ ජෙන්ඩර් රියලිසම් කියන්නෙ? ඒ කියන්නෙ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර යමක් තීරණය වෙන එකම සාධකය සංස්කෘතික ගොඩනැංවීමක් වුනු සමාජ ස්ත්‍රී-පුරුෂභාවය නෙමෙයි කියන පිලිගැනීම. ඒ සම්බන්ධයෙන් බලපෑ හැකි තවත් බොහෝ කාරණා තියෙන බවට සාවධාන වීම. එතනදි ගැහැණු පිරිමි සියල්ලන් එකසමානව මුහුණ දෙන තත්වයක් ගැහැණුන්ට විශේෂ කොටගැනීම දෝෂයක් වෙනවා. ජෙන්ඩර් රියලිසම් ඇතුලෙ පොලිටිකල් කරෙක්ට්නස් කියන බොරු විරෝධයට වඩා පරිණත කියවීමක් යෝජනා කරනවා. දේවල් දිහා බලද්දි ජෙන්ඩර් කියන පටු රාමුවෙන් එලියට විමසා බැලිය යුතුයි කියන අදහස ගේනවා.

ජෙන්ඩර් රියලිස්ට් ඇහැකින් බැලුවොත් වම්බටු කතාව කාන්තාවන්ට කළ විශේෂ අපහාසයක් විදිහට ගනිමින් කැරලි ගැසීම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒක බොරු පිම්බීමක්. කුණුහරුප කීම ස්ත්‍රීන් විෂයෙහි පමණක් සිද්ද වෙන දෙයක් නෙමෙයි. ඒක යම් සමාජ ලිංගිකත්වයක් ඉලක්ක කරගෙන කරපු අපහාසයක් විදිහට අපි ගනිද්දි සාමාන්‍ය ව්‍යවහාරික ලෝකයේ යතාර්ථය බැහැර කරනවා. වම්බටු ගෙඩියක කුණුහරුපයක් දරාගන්න බැරි පිරිසක් බවට කාන්තාවන් පත් කරනවා.

ඒකට ඒ වෙලාවෙම තවත් කුණුහරුපයකින් හෝ පිළිතුරු දීමයි කළ යුත්තෙ. වම්බටු කතාවක් දරාගන්න පුළුවන් කාන්තාවන් බිහිකරන එකයි අපේ උත්සාහය විය යුත්තෙ. එහෙම නැතුව අරයා මට කුණුහරුපෙන් බැන්නා කියාගෙන අඬන දුර්වල කාන්තා ප්‍රතිරූපයක් නිර්මාණය කරන එක භයානක තත්වයක්. පිරිමියෙකුට දරාගත හැකි කුණුහරුපයක් සමාන අවකාශයකදී විශේෂයෙන්ම දේශපාලනය වගේ තැනකදි, කාන්තාවකටත් දරාගැනීමට හැකියාව තියෙන්න ඕන. නැත්තං ඒක කාන්තාවන් විශේෂ කොට සැලකීමක් වෙනවා.

මේ වගේ වෙලාවක ඒ වෙනුවෙන් නැගී සිටිනවා කියල කාන්තාවන් පෙරමුණුගත වෙන්නෙ ඇත්තටම ප්‍රතිගාමී තැනකට. ඒ අය සදාචාරය පැත්තෙයි හිටගන්නෙ. ලිංගික කාරණා අසභ්‍යයි කියල කියන පිලිගැනීම මතයි ක්‍රියාත්මක වෙන්නෙ. කැමිල් පැග්ලියා වගේ කාන්තාවාදීන්ගේ අදහස් වැදගත් වෙන්නෙ මෙන්න මේ වගේ තැන්වලදි. කැමිල් පැග්ලියා කියන්නෙ කාන්තාවාදය ලිංගිකත්වය ධනාත්මක බාරගැනීම සහ කතා කිරීමේ නිදහස මූලික කරගැනීම මත පිහිටන්න අවශ්‍යයි කියල. අනූ ගණන්වල තිබුණු ඒ පරිණත කාන්තාවාදය වෙනුවට දැන් ඇත්තටම තියෙන්නෙ සෙක්ස් විරෝධී, අනෙකාගේ ප්‍රකාශනයේ නිදහස නොතකා හරින, සංස්කෘතික කාරණා කෘතිමව නිවැරදි කිරීමට දඟළන පුහු ප්‍රකෝපයක්.

පාර්ලිමේන්තුවේ කුණුහරුප කීම අකැප නම් ඒක පිරිමි ගැහැණු භේදයකින් තොරව ආචාරධර්ම පැත්තෙන් සාකච්ඡා කළ යුතු කාරණයක් වෙනවා. ගැහැණු මේ විදිහට එකතු විය යුත්තේ වම්බට්ටකට එරෙහිව නෙමෙයි. තමන් ඩිල්ඩෝවක් පාවිච්චි කරනවා කියන එක පිරිමියෙක් ස්වයං වින්දනය කරනවා තරම්ම ලේසියෙන්, සෙක්ස් පොසිටිව් දැක්මකින් බාරගැනීමයි කරන්න ඕන. පුළුවන් නම් වම්බටු ගෙඩි අතින් අරගෙන ආඩම්බරෙන් හිනාවෙවී ෆොටෝ ගහන්න, ඒ ලිංගික තෘප්තියේ නිදහස අයිති කරගන්නයි කාන්තාවන් එක පෙලට හිටගන්න ඕන.


චින්තන ධර්මදාස