මුලදි රටේ වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුනේ 35ත් 40ත් අතර. 2010 න් පස්සේ මේ පිරිස අවුරුදු 25-35ත් අතර අය වුනා. දැන් අවුරුදු 18-19 අයත් HIV ආසාදිතයන් විදිහට වාර්තා වෙන්න අරගෙන.

දොස්තර දයානාත් රණතුංග
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඞ්ස් මර්දන ව්‍යාපෘතියේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරු
බීබීසී සිංහල

මේ ප්‍රවෘත්තිය පලවුනේ බාල පරපුර සෙක්ස් කරන්න පටන් අරගෙන වගේ කැප්ෂන් එකකින්. ඒක කියවන්නා නොමග යවනසුලුයි. අවුරුදු 18ක් කියන්නෙ තවදුරටත් බාල පරපුරේ කෙනෙක් නෙමෙයි. නමුත් අවුරුදු 18 කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට HIV ආසාදනය වෙන්න පුළුවන් කොහොමද කියන එක හිතන්න වටින කාරණයක්.

මේ වයසෙදි විෂම ලිංගික කොල්ලෙක් හෝ කෙල්ලෙක් නම් ස්වභාවිකව තමන්ගේ වයසෙම කෙනෙක් හෝ කීප දෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ සාමාන්‍ය ලිංගික ඇසුරකදි ්‍HIV බෝවෙන අවදානම අඩුයි. මෙතනදි බොහෝ විට විය හැකි දේ තමයි ලංකාව වගේ රටක පනවලා තියෙන සෙක්ස් තහංචි නිසා සම වයසෙ කෙල්ලෙක්ව හොයාගන්න බැරි වෙන එක. කසාදෙට කලින් ලිංගික ඇසුර ගැන තියෙන පසුගාමී අදහස් නිසා ඒ අය ආදරය කළත් සෙක්ස් නොකර ඉන්න එක. එතකොට ඒ අවශ්‍යතා වෙනුවෙන් ලිංගික ශ්‍රමිකයෙකුගෙ සහාය ගන්න වෙනවා.  HIV ආසාදනය වීමේ වැඩි අවදානමක් තියෙන කලාපයට විශේෂයෙන්ම තරුණයො තල්ලු වෙන්නෙ මේ විදිහට. ඒකට මූලිකම හේතුවක් වෙන්නෙ සෙක්ස් ගැන විවෘත බාරගැනීමක් සමාජයේ නැතිකම. කොල්ලෙක් කෙල්ලෙක් බීච් එකේ ඉඳගෙන ඉන්න එක පවා පොලිසි යන්න වෙන වරදක් කරන සංස්කෘතිය.

අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය තහනම් වෘත්තියක් කිරීම නිසා ඒ වෘත්තියේ ආරක්ෂිත තත්වයන් ගොඩනංවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නීත්‍යානුකූල වෘත්තියක් වුනා නම් අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂාවක් පනවන්න පුළුවන් වෙනවා. කොන්ඩොම පාවිච්චියේ වැදගත්කම ගැන අවබෝධයෙන් සහ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඒ වෘත්තිය කරන්න අවකාශ සැලසීමෙන් මේ වෘත්තිකයන් අතර  HIV ආසාදනය අවම කරගන්න හැකියාව තියෙනවා. ඒත් නැවතත් අපේ සංස්කෘතියෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න බැරි වෙනවා.

සමලිංගික ප්‍රජාව අතරත් තත්වය මේකමයි. සමලිංගිකත්වය වරදක් කිරීමෙන් වගේම ඒ ගැන පනවා තියෙන සමාජ සංස්කෘතික තහංචි නිසා ඒ මිනිස් ලිංගික ඇසුර නොමිනිස් අඳුරු තැනකට තල්ලු කරලා තියෙනවා. මිනිස්සුන්ගෙ ස්වභාවික අවශ්‍යතාවයක් තහනම් වීමෙන් සිද්ද වෙන එකම දේ ඒක අපචාරී දිශාවන්ට ගමන් කරන එක. තමන්ගේ ශරීර සෞඛ්‍යය හෝ ආරක්ෂාව හෝ ගැන සැලකීමට වඩා අවශ්‍යතාවය ඉස්මතු වෙන එක. ඒ වගේම සමලිංගික ආදර සම්බන්ධතා ඇතුලෙ වඩා පරිණත, විවෘත සම්බන්ධතා ගොඩනැගෙන්න ඉඩ ඇහිරෙනවා. ඒකෙන් වෙන්නෙ අවශ්‍ය කරන දැනුවත් කිරීම, සමාජයෙන් මිනිස්සු විදිහට බාරගැනීම ආදී තත්වයන් නිර්මාණය නොවීම නිසා මේ මිනිස් ලිංගික ඇසුර අනාරක්ෂිත කලාපයකට ඇදන් වැටෙන එක.

HIV ව්‍යාප්තිය කියන්නෙම ලංකාව වගේ රටක නම් සංස්කෘතික ලිංගික තහනමේ ප්‍රතිඵලයක් වෙනවා. ඉස්කෝලවල ලිංගික අධ්‍යාපනය ලබාදීමටත් විරුද්ද වෙන හාමුදුරුවරු වගේම සෙක්ස් කරන අනෙකාගෙ ශරීරයවත් නොබලා සෙක්ස් කරන්න බණ කියන හාමුදුරුවරු මේ පාපයේ වගකීම බාරගන්න වෙනවා.