මුවිඳුගෙ සර්වයිවල් ඔෆ් ද ෆ්‍රැජයිල් ප්‍රදර්ශනය බලන්න ගියා. ‘සියුමැලිබවෙහි ගැලවීම’ වගේ සිංහල තේරුමක් ටයිට්ල් එකට දෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනය කුටි තුනක පරිච්ඡේද තුනක් විදිහට දිගහැරෙනවා කියලයි මං හිතන්නෙ. අපි මුලින්ම ඇතුල්වෙන්නෙ මුවිඳුගෙ ප්‍රංශ බලපෑම තුල කියවීමට. දෙවෙනි කාමරය ඒ සියුමැලිබවෙහි අභියෝගය ලාංකේය වර්ෂන් එක. තුන්වෙනි කාමරය අරගලය පදනම් කරගෙන හාර්ඩ්කෝර් විදිහට සියුමැලිබව හා රෙජීමය අතර ගැටීම ගැන කතා කරනවා.

මේ ප්‍රදර්ශනය පුරාම මට තේරුනෙ තේමාවන් දෙකක් එකිනෙක හා රමණය කරමින් දිගහැරෙනවා කියල. එකක් සෙක්ස්. අනික වයලන්ස් හෙවත් ප්‍රචන්ඩත්වය. සියුමැලිබවෙහි ගැලවීම තීන්දු වෙන්නෙ මේ බලවේගයන් දෙක අතර.

අරගලය පසුබිම් කරගත්ත චිත්‍ර පෙළ මං උවමනාවෙන්ම කතා නොකර පැත්තකින් තියනවා. තාක්ෂණය විදිහට කතා කරන්න බොහෝ දේ තිබුණත් ඒක මුවිඳුගෙ දුර්වල ප්‍රකාශනයක් කියන එකයි මගේ හැගීම. ඒක සර්ෆස් එකට නැත්තං මතුපිටට වැඩියි.

දෙවෙනි කාමරයේ සර්වයිවල් 02 සහ සර්වයිවල් 03 කියන චිත්‍ර දෙක මාව ආශක්ත කරගත්තා. බෝම්බ ඇඳුම ලූ කාන්තා සිරුරකට වටාපත් හිසක් සවිකරමින් මුවිඳු අපි පහුකරපු රෙජීමයක අතීතයක් කොලාජ් එකකට ගේනවා. ඒ අපේ ජීවිත ගතවුනු එක්තරා මොහොතක විශ්වයක්. වෙළඳ දැන්වීම්, නිෂ්පාදන, සියල්ල කැළතෙන නූතන මොහොතක වටාපත් හිසැති බෝම්බකාරිය පෙරමුණ ගන්නවා.

ඊළඟ චිත්‍රයේ යට ඇඳුම් වලින් සැරසුනු මැටි පෝච්චි හිස් ඇති කාන්තාවන් පෙළක්. ඒ පිටිපස්සෙ මුවිඳු හැමදාම ගේන බිත්තිවල ලියපු කුරුටු කුණුහරුප. මේ කුරුටු කුණුහරුප ගැලරියක සම්භාව්‍ය ආර්ට් අතරට ගෙන ඒමේ ගෞරවය මුවිඳුට අයිති වෙන්න ඕන. මැටි හිස් ඇති පුළුලුකුල් ඇති මේ කාන්තාවන්ට පහලින් දළ යකෙක් විලිස්සාගෙන ඉන්නවා. ඒ අපේ සම්ප්‍රදාය වෙන්නත් පුළුවන්.

වැදගත්ම දේ මේ කාන්තා ශරීරත් අර මැටි බඳුන් මෙන්ම දේවල් බවට පත්ව තිබීමයි. ඒවායින් ආත්මය උපුටා ඉවත් කරලා තියෙනවා.

අපේ පරණ ක්‍රිමිරාජ පැකට් එක සහිත චිත්‍රයත් බොහෝ දේ අතර මනස ගෙනියන කොලාජයක්. බඩ මහත මල්ලු සිරුරක් චිත්‍රයේ ලොකු ඉඩක් ගන්නවා. ඒ උඩ නිරුවත් පෙම්වතුන් යුවළක් වෙලී ඉන්නවා. හැබැයි උන් සිමෙන්ති ප්‍රතිමා. අපි ක්‍රිමිරාජ ගුලියේ ඉඳන් නයිකි සපත්තු දක්වා ලොකු ගමනක් ඇවිත් තියෙනවා (සපත්තුවෙ බ්‍රෑන්ඩ් එක හරියටම මතක නෑ). නමුත් ඇස් දෙකක් ඇතුව අපි දිහා බලා සිටි මිනිහෙක් ඉන්නේ ක්‍රිමිරාජ පැකට්ටුවෙ විතරයි.

බෝම්බ ජැකට් එකකින් ඇන්තූරියම් මල් පිපුණු චිත්‍රයත් කතන්දර ගොඩක් කියනවා. මේ චිත්‍රය අපි මීට කලින් දැකලා තියෙන්නෙ සීටීබී බස්වල ඩ්‍රයිවර්ට පිටිපස්සෙ තහඩු පුවරුවෙ. දෙපැත්තෙන් මල් හලන කාන්තාවන් වෙනුවට මුවිඳු කඳුළු හලන කාන්තාවන් ගේනවා. මල් බඳුන වෙනුවට බෝම්බ ජැකට් එකක් ගේනවා. අර සීටීබී බස් එකේ පොදු ජන සෞන්දර්ය මුවිඳු ඛේදවාචකයක් විදිහට ආර්ට් එකට ගේනවා.

මේ ප්‍රදර්ශනයෙ වැදගත්ම සංකල්පයක් තමයි දේවල් අතර සන්නිවේදනය කියන එක. විවිධ වූ දේවල් අතර මිනිස් විෂයත් දෙයක් විදිහට ඉදිරිපත් කිරීම. දේශපාලනය, යුද්ධය අතර අපි දේවල් බවට පත්වුනු ඉතිහාසයේ එක පරිච්ඡේදයක් මුවිඳු දෙවෙනි කාමරෙන් කියනවා.

සියුමැලි බවෙහි ගැලවීම කියන තේමාවෙ පරිපාකයට පත්වීම මං දකින්නෙ පළවෙනි කාමරය. ඒක අපිට නම් කරන්න පුළුවන් ප්‍රංශ කාමරය කියල. මේ චිත්‍ර පෙලේදී මුවිඳු කන්සේප්ට් එක ජාතිකත්වයෙන් ගලවගන්නවා. ඒක යුනිවර්සල් කරනවා. අපේ රටට අදාල දේශපාලන කියවීම් සියල්ල බැහැර කරනවා. කැන්වසය උඩ තියෙන්නෙ මස්, කොන්ක්‍රීට්, යකඩ, කම්බිකටු විතරයි. බ්ලොක් ගලක සහ කාන්තා මස් කුට්ටියක් අතර සම්බන්ධය මුවිඳු හොයන්න උත්සාහ කරනවා. සමහර විට සොබා දහම, මිනිස් සිරුරක කොටසක්, බ්ලොක් ගලක්, කටු කම්බි ඔටුන්නක් තමයි මුවිඳුගෙ කොලාජ් එකේ දේවල්. ගස්, ගල්, කොන්ක්‍රීට් හා සමානවම මාංශය සැලකුවොත් ඒ බ්ලොක්ගත කිරීම කොයි විදිහෙ හැගීමක් දෙයිද? මොකද මුවිඳු චිත්‍රයෙන් හැගීම් ඉවත් කරනවා. අපි දකින්නෙ දේවල් විතරයි.

මං පෝර්න් කියන්නෙ මේකට. ඒ කියන්නෙ ආත්මය, හැගීම් ඉවත් කළ මාංශයට. ඒ සියල්ල ඉවත් කළාට පස්සෙ අපිට ඉතුරු වෙන්නෙ එල්ලා වැටෙන තඩි බඩක මස් වැදැල්ලක් විතරයි. එතන මිනිහෙක් නෑ. දෙයක් විතරයි. අනුරාගය ශෘංගාරය නෑ. මුවිඳුගේ ගැඹුරක් නැති ද්විතල කොලාජ් එකක සිමෙන්ති කළු ගල් මැද මිනිස් බුරියක්.

මේ කාමරයේ චිත්‍රවල වර්ණ ගැලපීම, එකලස් කිරීම ප්‍රංශයෙන් ඉන්ස්පයර් වුනු බව පේනවා. ඒ වගේම ඒ මිනිමල් සෞන්දර්යයත් දූපතෙන් එපිට බලපෑමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

හැම චිත්‍රයකම වර්ණ විවරයක් තියෙනවා. ඒක එක එක චිත්‍රයේ එක එක වර්ණයෙන් එනවා. ඒ විවරය මේ සියල්ලට පිටින් පවතිනවා. හරියට වෙනත් අවකාශයකට දොරටුවක් වගේ, චිත්‍රය තුලම චිත්‍රයට පිටතින් ඒ විවරය කාමර තුනේම තියෙනවා. ඒක මුවිඳුගෙ සිග්නේචර් එකක් වෙන්න ඕන. කලින් ග්ලිච් පාවිච්චි කිරීමේ සංකල්පයම වඩාත් පරිණත තැනකට පැමිනීමක් විදිහට මට ඒක දැනුන.

එතකොට කෝ සෙක්ස් සහ ප්‍රචන්ඩත්වය? හැම චිත්‍රයකම තියෙන්නෙ ප්‍රචන්ඩත්වය. හැබැයි සෙක්ස්හරණය කරල කියලයි මං හිතන්නෙ. සෙක්ස් වෙනුවට එතන තියෙන්නෙ මාංශය. ඒ මාංශය සමග බැඳුනු ආශාව නැත්නම් ජීවිතය අයින් කරලා තියෙනවා. එතකොට ඒ මාංශය සහ අනෙක් දේවල් ප්‍රචන්ඩ විදිහට ගැටෙනවා. මේ ගැටුම ඇතුලෙ සියුමැලි මාංශයේ ගැලවීම කොහොම වෙයිද? මං හිතන්නෙ මුවිඳු අහන ප්‍රශ්නය ඒක.


චින්තන ධර්මදාස