මීමනව මට කියවන්න හම්බුවෙන්නෙ හතරෙ පංතියෙදි විතර. මීමන අපේ අම්මාගෙ ප්‍රියතම කවියෙක්. මියුණු ඇල්ල වගේ කවි අම්මා මට තෝර තෝර රස කර කර විස්තර කරනවා. මේ තරම් මීමනට මං ආශක්ත වෙන්න ඇත්තෙත් ඒ හින්ද. දවසක් අම්මා වැඩි තේරුමක් නැතුව කන්තෝරුවෙ පුස්තකාලෙන් මීමනගේ ‘මගේ ප්‍රේමය කලාව සහ ජීවිතය’ පොත අරන් ඇවිත් තිබුණ. ගුණදාස අමරසේකරගෙ යළි උපන්නෙමි කියන්න ලැබුනෙත් මේ විදිහටම අම්මට සිද්ද වුනු අත්වැරැද්දකින්. මීමනගෙ කවි විතරක් දැකලා තිබුනු මට මේ පොත මාර එකක් වුනා. මං හිතන්නෙ මං හිතන පතන විදිහ දරුණුවට වෙනස් කරන්න ඒ කාලෙ මේ පොත කියවීම බලපෑවා කියල. මීමනගේ ජීවිත කතාව රැගත් ඒ සුන්දර පොත කොටසින් කොටස ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙතින් ගේන්න බලාපොරොත්තු වෙනවා. මීමන කියන්නෙ අපේ ශෘංගාර සාහිත්‍යයේ නිර්භීත පුරෝගාමියෙක්.

‘අප ජීවත් වන්නේ ස්වභාවයට සම්පූර්ණයෙන්ම විරුද්ධ අන්දමිනි. මිනිසා ස්වභාව ධර්මයේ කොටසකි. එහෙයින් ස්වභාවික ජීවිතයක් ගත කිරීමට අපට බැරි ඇයි? කෘතිම ශිෂ්ටාචාරයක් බදාගෙන මිනිසා ස්වභාව ධර්මයෙන් ඈත්වී සිටී.

මගේ පුද්ගලික කල්පනාවෙ හැටියට නම් ලිංගේන්ද්‍රිය වසාගෙන සිටීම පවා අස්වාභාවිකය. බොරු කීම අස්වාභාවිකය. අනුන් හට ද්වේශ කිරීම අස්වාභාවිකය.

මේ ලෝකය ඇතිවී තිබෙනුයේ එහි උපදින කාහට වුවත් ස්වභාවික අන්දමින් ජීවත්වීම සඳහාය. ඒ සඳහා ස්වභාව ධර්මයා විසින් ආරක්ෂාව සලසා ඇත්තේය.

හිරු රැසින් හිස ආරක්ෂා කිරීම සඳහා හිසෙහි කෙස් ඇත්තේය. අන් සියල්ලම ඒනයින් බැලිය යුතුය.

මිනිසා හැර අන් සියලු සත්වයෝ ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් පිනවීම සඳහා පීඩා රහිත නිදහසක් ලබා සිටිති. මිනිසාගේ කෘතිම ශිෂ්ටාචාරය නිසා ඔහු සියල්ලම සඟවා ගනී. ඇත්ත සැඟවීම පාපයකි. සාපයකි.

යම්කිසි කෙනෙකු යම් කිසි දෙයක් කරතොත් කියතොත් එය හිතට එකඟව එළිපිට කළ යුතුය. එළිපිට කිව යුතුය.

මගේ මේ කෙටි ජීවිත කතාව මා ලියන්නට අදහස් කලේ ඇත්ත ඇති සැටියෙන් කීමේ අදහසිනි. එහෙත් මටද මා කී පාපකර්මයට, සාපයට භාජනය වීමට සිදුවී ඇත්තේය. ඒ නම් අන් කිසිවක් නිසා නොව කරදහි හිඟයත්, මුද්‍රණ ගාස්තු ඉහළ නැග තිබීමත් නිසාය.

මගේ ජීවිතයේ මා කළ සියල්ල පොතක් වශයෙන් ලියුවහොත් ඒ පොතෙහි පිටු දහස් ගණනක් අඩංගුවනු නියතය. ‘මගේ ප්‍රේමය කලාව සහ ජීවිතය’ ඔබ‍ට ගෙන එන්නේ මගේ ජීවිතයේ ඉතාම වැදගත් විශේෂ වූ කරුණු කීපයක් පමණකි.’
– මීමන-

ඒ මීමන පොත පටන්ගන්න හැටිය. ආපහු මීමන ගැන ලියන්න මට උනන්දුව ඇතිවුනේ ගුණසිරි සිල්වා විසින් ෆේස්බුක් එකේ දමා තිබුණු මීමන පරිවර්තනය කළ කවි පොතයි. ගුණසිරිගේ කෙටි සටහනත් සමග ඒ කවි ටික මෙසේ පළකරනවා.

ගුණසිරි සිල්වා ලියූ ෆේස්බුක් පෙරවදන.

අද උදෑසන කෝපි තොලගාද්දී අතට හසුවුණේ
මීමන ප්‍රෙමතිලකගේ ‘පෙරදිග පෙම් මැණික්’ ය !
කොළඹ යුගයේ කවිය මෙන්ම කවියන්ද බොහෝවිට අතිශයින්ම රොමාන්තික විය. මීමන ප්‍රෙමතිලක කවියා ද දැඩි රොමාන්තිකවාදියෙකි.
ඔහුගේ ඇස ගැටෙන්නේද රොමාන්තික කවිය වෙතමය. 1953 දී ඔහු විසින් අනුවර්තනය කොට පළ කරන ලද මෙම කාව්‍ය සංග්‍රහය තුළ එන්නේ විවිධ රටවල රොමාන්තික කවීන්ගේ නිර්මාණයි.
මෙබඳු නිර්මාණ එකල බිහිවීම හා මෙම කවි හඳුන්වා දීම සඳහා මීමන ලියූ සටහන්වල ස්වභාවය හඳුනා ගැනීම වැදගත් වන්නේ එම යුගයේ කවීන් ගේ නිර්මාණ භාවිතය කෙරෙහි බලපෑ මනෝමූල සහ විෂය මූල තත්ත්වයන් එමගින් පිළිබිඹු කෙරෙන බැවිනි.
කෙසේ වෙතත් මේ කවිවල භාෂාව ගැන ගුණදොස් විමසීම කාව්‍ය විචාරකයන්ට බාර කරමි.