ටාමි ලින් කෙන්ට් කියන්නෙ කාන්තාවන්ගෙ යෝනි මාර්ගය ආශ්‍රිත ආබාධවලට ප්‍රතිකාර කරන තෙරපිස්ට් කෙනෙක්. එයා යෝනි මාර්ගය හුදු කායිකමය දෙයක් කියන තැනින් එහාට අරගෙන ගිහින් ඒ හා සම්බන්ධ මානසික සහ ආධ්‍යාත්මික කාරනා ගැනත් උනන්දු වෙනවා. ඒක හින්දම එයාට වැජයිනා විස්පරර් ඒ කියන්නෙ යෝනි මාර්ගය හා කොඳුරන්නා කියල නමක් පවා ගැටගැහිලා තියෙනවා.

ලින් කෙන්ට්ගෙ අදහස් කතා කරන්න කලින් අපි ඉන්නෙ කොතනද කියලත් අවබෝධයක් අපිට තියෙන්න ඕන. අපි මේ කතා කරන්නෙ කාන්තාවන්ගෙ සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීම පවා ලැජ්ජාවක් කියන රටක ඉඳගෙන. අපේ රටේ ජනකාන්ත නළු නිළියො වේදිකා උඩ නැගලා කිව්වා තමන්ගේ පීරියඞ්ස් නැත්තං ඔසප් වීම තමන්ගෙ සැමියාවත් දන්නෙ නැති රහසක් කියල. ඒ රහස ඒ ගොල්ලො හංගගෙන රැකගෙන ඉන්නෙ ලැජ්ජාවෙන්. තමන්ගෙ ශරීරයේ තමන්ගෙම ඉන්ද්‍රිය කලාපයක් ගැන ලැජ්ජාවෙන් පසුවෙන කාන්තාවන් අපේ රටේ ඉන්නෙ.

ලින් කෙන්ට් කියන විදිහට කාන්තාවන්ගෙ ඇත්ත බලය එක්ක යෝනි මාර්ගය සම්බන්ධයි. ඒ තමයි ඇය විසින් ලෝකයට දරුවන් උපදවන මාර්ගය. ඇගේ ලිංගික තෘප්තියේ සහ ස්ත්‍රීත්වයේ මධ්‍යය. ඒත් කාන්තාවන්ට තමන්ගේ යෝනිය ලැජ්ජාසහගත හෝ ඒ ගැන කතා නොකළ යුතු දෙයක් කියල හිතෙනවා කියන්නෙ ඒ කාන්තාවන් ඒ සමාජය ඇතුලෙ අඩපනයි. ඇයව ඇගේ ශරීරයෙන්ම වෙන් කරලා තියෙන්නෙ. ඇගේ ශරීරයේ කොටස්ම ඇයට ලැජ්ජාවක් බවට පත් කරලා තියෙන්නෙ.

මේක හොඳටම තේරෙනවා අපි ලීක් වෙන ෆොටෝ දිහා බැලුවොත්. කොල්ලෙකුගෙ නිරුවත් ෆොටෝ නැත්තං වීඩියෝ ලීක් වුනා කියල කිසි කෙනෙක් කලබල වෙන්නෙ නෑ. අඩුම ගානෙ ඒ කොල්ලාවත් ඒ ගැන ලැජ්ජා වෙන එකක් නෑ. ඒත් කාන්තා නිරුවතක් හැම වෙලාවකම ඒ කාන්තාවට දිවිනසා ගන්න තරමෙ ආතතියක් සමාජය පැත්තෙන් නිර්මාණය කරනවා. ඇගේ සම්පූර්ණ ජීවිතයම ඒ නිරුවත බවට ලඝු කරනවා.

ගැහැනියක් තමන්ගේ නිරුවත් ශරීරය නැත්තං යෝනි මාර්ගය අත්පත් කරගන්නවා කියන්නෙ, ඒක ආඩම්බරෙන් බාරගන්නවා කියන්නෙ එයාගෙ ලිංගික ශක්තිය පූර්ණ විදිහට වැළඳගන්නවා කියන එක. ඒක තමයි කාන්තාවකගේ පරිපූර්ණ පැවැත්ම. ඒත් සමාජය විසින් පනවාපු පටවාපු ලැජ්ජාව කාන්තාවන් තමන්ගෙ යෝනි මාර්ගයෙන් දුරස් කරනවා. ඒක තමන්ගෙ නොවන කොටසක් බවට පත් කරනවා.

සමාජය විසින් ස්ත්‍රී යෝනිය ලැජ්ජාවක් බවට පත් කරලා තියෙනවා.

අපි පුළුවන් තරම් බලන්නෙ ලැජ්ජාවෙන් පැනලා යන්න. අර නිළියො ටික ස්ටේජ් උඩ කිව්වෙ ඒක. ලැජ්ජාවෙන් වහන් වෙලා ඉන්න ඉඩදෙන්න කියන එක. ඒත් ලැජ්ජාව ඇතුලට යාමෙන්, ඒ ලැජ්ජාව බාරගැනීමෙන් විතරයි අපිට පුළුවන් වෙන්නෙ ඒක ඉක්මවා යන්න. නැවත අපිව අත්පත් කරගන්න.

ශිෂ්ට සමාජයක් ගැන විශ්වාස කරන මිනිස්සුන්ට තියෙන ලොකුම අභියෝගයක් තමයි කාන්තා ශරීරය ලැජ්ජාව කියන තැනින් ගෞරවය කියන තැනට ඔසවා තියන එක. එක එක කොටස් වාරණය කිරීමෙන්, හංගාගැනීමෙන් නෙමෙයි. සමස්ත ස්ත්‍රී ශරීරය එහි අලංකාරය සුන්දරත්වය සහ දරුවන් බිහිකිරීමේ දරාගැනීමේ සුවිශේෂ හැකියාව වෙනුවෙන් ගරුත්වයට පත්වෙන්න ඕන. යෝනිය ලැජ්ජාවන ඉන්ද්‍රියක් නෙමෙයි බුහුමන් ලබන ඉන්ද්‍රියයක් වෙන්න ඕන

තමන්ගෙ යෝනි මාර්ගය ගැන ලැජ්ජාවෙන් ජීවත් වෙන කාන්තාවක් එයාගෙ සමස්ත සම්බන්ධතා රටාවම හදාගන්නෙ ඒ ලැජ්ජාව ඇතුලෙන්. ඒක එයා එක්ක ගනුදෙනු කරන අනිත් මිනිස්සුන්ටත් සමාජයටත් බලපාන කාරණයක් වෙනවා. එයා විවෘත නිදහස් ජීවියෙක් විදිහට නෙමෙයි ජීවත් වෙමින් ඉන්නෙ. එයා රෝගී වෙලයි ඉන්නෙ. මේ රෝගී බව එයාගෙ ආදරයට, දරුවන්ට පවා බෝවෙනවා.

අපි හැමෝම ගැහැණු ශරීරයක් ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු. ඒ තමයි අපේ මුල්ම නිවහන.

ලින් කියනවා එයාට මුනගැහෙන බොහොමයක් ගැහැනුන්ගෙ යෝනි මාර්ගයන් විවිධ ආතතීන් නිසා ආබාධවලින් පෙලෙනවා කියල. සමහර ඒවා උපතින්ම එන දෝෂ. තව බහුතරයක් සමාජය විසින් ඇති කරන දෝෂ.

ගැහැනු ගොඩක් තමන්ගේ යෝනිය ගැන හිතන්නෙ නෑ. ඒ ඉල්ලීම් වලට සාවධාන නෑ. තමන්ගේ ශරීරයේ තිබුනට ඒ ගැන දන්නෙවත් නෑ. කොටින්ම ඒක ශරීරයේ කොටසක් විදිහට සලකන්නෙ නෑ.

ලින් හොයාගන්නවා මේ යෝනි මාර්ගය ආශ්‍රිත ආබාධ තියෙන ගොඩක් කාන්තාවන්ට ඒ පිටිපස්සෙ ලොකු මානසික වේදනාවක් හිරවෙලා තියෙනවා කියල. මේ ආතතීන් ඇති කරන ප්‍රධානම හේතුව ලැජ්ජාව සම්බන්ධ කාරණයක්. ලැජ්ජාව කියන්නෙ අපිට උපතින් එන එකක් නෙමෙයි. ඒක අපේ අත්දැකීම් තුලින් අපි ඇතුලෙ නිර්මාණය කරන දෙයක්. ඔයාගෙ ඇඟේ කොටසක් ගැන ඔයාට ලැජ්ජාවක් ඇතිවුනොත් ඔයා ඒ කොටසෙන් ඈත් වෙනවා. ඒක තමන්ගේ නොවෙන විදිහට හිතනවා.

පෙල්වික් ගර්භය නැත්තං ශ්‍රෝනිය ආශ්‍රිත මේ කලාපය ලස්සන තැනක්. ලින් කෙන්ට් කියන්නෙ ඒක තමයි කාන්තාවන්ගේ නිර්මාණශීලීත්වයේ උපත. ගැහැනුකමේ ගැඹුර. ඒත් අවසනාවට ගැහැනුන්ව මේ තමන්ගේ පන්සලෙන් එලියට ඇදලා දාලා තියෙනවා. ඒ ගොල්ලො ඉන්නෙ ඒ ගොල්ලොන්ගෙම ආත්මයේ ගැඹුරු සම්බන්ධතාවයක් අහිමිව.

ගැහැණුකම කියන්නෙ වනාන්තර ආත්මයක්. ඒක සුන්දරයි. ගැහැණුමයයි. යෝනි මාර්ගය ආශ්‍රිත ආතතීන්ගෙන් පෙලෙන ගොඩක් අයට ඕන කරන්නෙ කායිකමය සුවපත් වීමක් නෙමෙයි. මේ බිඳුනු ආධ්‍යාත්මික සම්බන්ධය ආපහු හදන්න. අපි මේ ගැහැණු ශරීරයේ ප්‍රඥාවට කන්දෙන්න ඕන. ඒ නිහඬතාවයේ ගැඹුර තේරුම් ගන්න ඕන.

හරියටම ලැජ්ජාව තියෙන තැනමයි සුවපත් කිරීම අවශ්‍ය වෙන්නෙ. පෑඞ් එක ගැන ලැජ්ජාව ආපු තැනමයි ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි කරන්න ඕන ඒ ගැන කතා කිරීම නතර කරන එක නෙමෙයි. තව තවත් ඒ ලැජ්ජාව ගැන විවෘත වෙන්න පුළුවන් නිදහසක් නිර්මාණය කරන එකයි.

ලින් කෙන්ට් එයාගෙ ප්‍රතිකාර හරහා ගැහැණු ශරීරයෙන් ඉගෙන ගත්ත සත්‍යයන් කීපයක් සලකුණු කරනවා.

එකක් තමයි යෝනිය ආශ්‍රිතව පවතින ලැජ්ජාව කොයිම ආකාරයකින් හෝ අතීත ඛේදයක් එක්ක සම්බන්ධයි කියන එක. බහුතරයක් ගැහැනුන්ට මේ විදිහෙ ජීවිතේ ප්‍රකාශ නොකර හිරකරගත්ත ට්‍රෝමා තියෙනවා. ඒවා යෝනි මාර්ගයේ ආබාධ විදිහට ප්‍රකාශමාන වෙනවා.

ලින් කියන විදිහට එයාට මුනගැහුනු ගැහැනු 80%ක් කායික හෝ ලිංගික බලහත්කාරකම්වලට මූන දීලා තියෙනවා. මේක හැරස්මන්ට් වගේ තත්වයකින් සැලකුවොත් කාන්තාවන් 100%ක්ම මේ තත්වයන් අත්විඳලා තියෙනවා.

ගැහැණුන්ගෙන් පහෙන් එකක් රේප් වීමකට නැත්තං දූෂනයකට ලක්වෙලා තියෙනවා කියලයි සංඛ්‍යා දත්ත කියන්නෙ. මේ පිරිසෙන් 81%ක් දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන පෝස්ට් ට්‍රොමැටික් ආබාධවලට ලක්වෙනවා. 

කොයිතරම් අඩුපාඩු තිබුනත් METOO කියන කැම්පේන් එක ආවෙ මේ නිදහස් කිරීම වෙනුවෙන්. එලියට හැමදෙයක්ම හඬගාලා කියලා තමන්ගෙ ලැජ්ජාව නිරුවත් කිරීමේ ව්‍යාපෘතියක් ඒක. ඒ ලැජ්ජාවෙන් නැවත සමාජයට දමා ගැසීමේ සාමූහික ප්‍රතිකාරයක් ඒක. ලැජ්ජාවෙන් කෙනෙක්ව සදාතනිකව අබ්බගාත කරන්න පුළුවන්. එයාට එයාගෙ ශරීරය එක්ක තියෙන සම්බන්ධය බිඳෙනවා කියන්නෙ සරල දෙයක් නෙමෙයි. මේ වගේ තත්වයන්ට පූර්ණ සුවපත් කිරීමක් අවශ්‍යයි කියලයි ලින් කියන්නෙ.

මේ විදිහෙ ඛේදනීය බලහත්කාරයකට ලක්වුනු කෙනෙකුගෙ මානසික පීඩාව විසින් යෝනිය ආශ්‍රිත මාංශපේශීන් තද කරනවා. එයාගෙ ලිංගික ජීවිතය ප්‍රතික්‍ෂේප කරනවා. කාංසාමය තත්වයන් ඇති කරනවා. කොටින්ම සදාකාලිකව කාන්තාවකගේ සතුට සහ සාමය උදුර ගන්නවා. කාන්තාවක් සමතුලිත වෙන්නෙ තමන්ගේ යෝනිමාර්ගය නිරෝගී විදිහට බාරගන්න පුලුවන් තැනදි විතරයි.

රේප් එකක් ගැන ඇබියුස් එකක් ගැන කතා කිරීමත් ටැබූ එකක් වුනු සමාජයක අපි ජීවත් වෙන්නෙ. තමන්ගේ වේදනාව හෝ පැල්ම එක්ක තනියම හුදකලාවීම මිස වෙන විකල්පයක් කාන්තාවකට නෑ.

සමහර අම්මලට තමන්ගෙ මුල්ම දරුවා උපතේදී මීය ගිය වේදනාව විසින් යෝනි මාර්ගය ප්‍රතික්‍ෂේපිත කලාපයක් බවට පත් කරනවා. වේදනාකාරී ප්‍රදේශයක් කරනවා. ලින් කියනවා එයාට මුනගැහුනු ආර්ටිස්ට් කෙනෙක් ගැන. ඒ ආර්ටිස්ට් මුහුන දුන් රේප් එකක් නිසා එයාගෙ සම්පූර්ණ කලාත්මක ප්‍රකාශනයම අවහිර වෙනවා. නිර්මාණශීලීත්වය අගුල් වැටෙනවා

කෙනෙකුට තමන්ගේ සැමියා එක්ක කිසි දවසක ඕගසම් එකකට යන්න බැරි විදිහට එයාට මූන දෙන්න සිද්ද වුනු අතීත බලහත්කාරයක් නැවත නැවත මතක් වෙනවා.

අපිට සිද්ද වුනු ට්‍රෝමා එකක් වෙනස් කරන්න බෑ. ඒත් ඒක ඇඟ ඇතුලෙ හිරවෙලා ලෙඩ කරන එක නතර කරන්න පුළුවන්. ඒකට ඒ දුක වේදනාව බාරගන්න ඒක බෙදාගන්න පොළඹවන්න සිද්ද වෙනවා. ඒ නිදහස් කිරීමෙන් විතරයි සුවපත් කිරීම ආරම්භ වෙන්නෙ.

රෙප් වුනු කෙනෙකුට නැවත ආරක්ෂාව ගැන හැඟීමක් ඇති කරන්න ඕන. ඒ බලහත්කාරය විසින් එයාට අහිමි කළ ඒ ශරීරය ආපහු එයාට අත්පත් කරලා දෙන්න ඕන. ඒක මිනිස් වගකීමක්. සමාජයක් විදිහට අපිට සිද්ද වෙනවා ගැහැනියට අහිමි කළ ඇගේ ගෞරවය නැවත ඇයට හිමි කරලා දෙන්න. ගෞරවය තමයි ලැජ්ජාවට තියෙන එකම ඇන්ටිඩෝට් එක.

පිරිමි ළමයින්ට පොඩි කාලෙ ගැහැනු ශරීරය ගැන කියල දෙන්න කියල ලින් මතක් කරනවා. ඔසප් වීම ගැන, ඉන් විඳින පීඩාව ගැන වගේම ඒ වගේ වෙලාවලට පුළුවන් තරම් සහනයක් උදව්වක් වෙන්න පිරිමි දරුවන් පුරුදු කරන්න ඕන. පොඩි කාලෙ ඉඳන් පවුල ඇතුලෙ ගැහැනියට ගරු කිරීම උගන්නන්න ඕන.

පීරියඞ්ස් ගැන කතා නොකරන මහ මිනිස්සු ඉන්න එක ගැන ලැජ්ජ වෙන්න ඕන. ලේ කියන්නෙ ජීවය. ලේ කියන්නෙ නරක අපවිත්‍ර හෝ කිළිඅහුවෙන දෙයක් නෙමෙයි.

සමහර ගෝත්‍රවල ශාමන්ලා ඒ කියන්නෙ ඒ රැහේ ආධ්‍යාත්මික නායකයො හිටියා ගිනිමැලය ළඟට වෙලා ගමේ ඔසප් වෙන ගැහැනුන්ගෙ හීනවලට ඇහුම්කන් දෙන. මේ කතාව මොකක් වුනත් ඒ හරහා ඒ අය කිව්වෙ මේ කාන්තාවන් ඔසප් වෙන කාලෙදි විවිධ ගැඹුරු ආධ්‍යාත්මික පනිවුඩ ලබනවා කියල. ඒ විශ්වාසයන් ඇතුලෙන් ඔසප් වීම ගැන ගෞරවයක් ඒ සමාජයට ඉගැන්නුවා. ලැජ්ජා කරනවා වෙනුවට ඒක ආධ්‍යාත්මික තැනකට ඔසවා තැබුවා.

අද අපි කොතනද?

වේදනාව සුවපත් කරන්න නම් නැවත ශරීරයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන.