මට මේ බෝතලේ කවි හම්බුවෙන්නෙ කොළඹ පොත් ප්‍රදර්ශනයෙදි. කවියො වෙන හැමෝගෙම බලාපොරොත්තුව කවි පොතක් කරන එක. එහෙම නැත්තං එයා කවියෙක් වෙන්නෙ නෑ. මේ ලියාපදිංචිය අමතක කරලා තමන්ගෙ කවි බෝතලේට දාපු කවියා ගැන මට ඇතිවෙනවා ඇල්මක්. කවි ගැන මොකුත් නොදැනම. කවියට කරපු කෙළිය ගැනයි ඇල්ම.

කවියේ හැඩය මාරු කරන එක ක්‍රියේටිව් වැඩක්. ඒකෙන් කවියාගේ හැඩයත් මාරු වෙනවා. තමන්ගේ කවි වෙනුවට කවි බහාලුම කතාවක් කරන්න හිතන එකම වැඩක්. ඕනම දේක අන්තර්ගතය තරම්ම සමහර විට ඊටත් වඩා ඇසුරුම වටිනවා කියන එකයි මගේ කියවීම. ඒක හින්ද මේ කවියාගේ මූලිකම කවිය වෙන්නෙ බෝතලය. කවි ගොඩක් බහාලූ බෝතලය තමයි චාමින්ද ගුණසිංහගේ කවි ප්‍රකාශනය.

කවිය සහ මත්වීම අතර තියෙන්නෙ අපූර්ව සම්බන්ධයක්. ඒ මත් බවත් එක්ක හදවතට කතා කරන කවි කියවෙනවා. හිතේ දුකට එතකොට කවි කියවෙනවා කියලා අමරදේව කියන්නෙ ඒකයි. මේ කවි වගේම ඒ වෙලාවට පපුවට කතා කරන සිංදුත් මතක් වෙනවා.

මේ විදිහට බොද්දි මතක් වෙන කවි කියන්නෙ ජන කවි. ඒවා ජෝතිලගේ මිල්ටන් ලාගේ සිංදු වගේ. ඒවා සම්මානලාභී, ප්‍රබුද්ධ ගණයේ ඒවා නෙමෙයි. ඒ කවි තියෙන්නෙ හැගීම් එක්ක පාවිච්චි වෙන්න. දාර්ශනිකව විවරණය කරන්න නෙමෙයි. ජිප්සීස්ලාගේ භාෂාවෙන් අපිට කියන්න පුළුවන් පීචං කවි කියල.

අති විශේෂ කවි බෝතලය කියන්නෙ මෙන්න මේ විදිහෙ සාහිත්‍යය ඇගයුම් අතර නිර්ප්‍රභූ එළඹුමක්. ඒක ඇත්තටම මත්පැන් වීදුරුවක් එක්ක එකින් එක රස විඳින්න පුළුවන්. වදින්න වදින්න සමහර කවි දැනෙනවත් වැඩියි.

ඒ කවි සමහරකගේ භාෂාව, බොහෝ ඒවායේ කවියේ තේමාව එහෙම පරණයි. ඒත් ගල් අරක්කු ටිකක් එක්ක පරණ කවියක රහ කියන්නෙත් මාරයි. ඒක ඒ නොස්තැල්ජියාවට හරියටම සෙට්.

හාල් ගෝනිත් දැනගන්න ඕනි
දවසෙම එයා ළග නැවෙන මුදලාලි
විකුණලා ඉවර වුනු දාට පිටි සීනි
පාපිස්සකට ගන්න බව
හිස් ගෝනි

පොඩි ආප්තෝපදේශයක්. ත්‍රීවීල් එකක ස්ටිකර් එකක් වගේ. කාලයක් මං පාවිච්චි කරපු එහෙම වැකියක් තමයි, සීනි දියවුනාට ගෝනි දියවෙන්නෙ නෑ කියන එක. මේක ඒකෙ රිවර්ස් අයිඩියා එක වගේ.

ඩෝං නොයන් ඩෝං පුතා කියලා ජාතිමාමක සෙට් එකෙන් අවසර එහෙම ඉල්ලලා චාමින්ද අහනවා බොන්න ඕන ප්‍රශ්නයක්.

සෝපාකට සුනීතට දෑත පා
කොරෙකුට යන්න බැරි තැනක
තියාවිද සිරිපා?

බොන වෙලාවක බෞද්ධ ලැදියෙක් හිටියොත් අනිවා පැටලෙන තත්වයක්. ඒත් තනියම බෝතලේ එක්ක කවි බොන කෙනෙකුට බුදුන්ගේ මහා කරුණාවෙන් අඳ කොර පීඩිත මිනිස් ප්‍රජාවත් සිහිපත් කරන කඳුළක්.

කිසිවකින් නොසැලෙන
ගඳ සුවඳ හඳුනන
දුක මත්තෙ නොදිරන
ප්ලාස්ටික් පොලිතින්
උඹේ ඔය හදවත

මේ කවිය තියෙන්නෙ කුණුලොරියෙ ආරි ගැන. කවි බෝතලේ කවි ගොඩක්ම මේ වගේ පීඩිත මිනිස්සු ගැන සාම්ප්‍රදායික අනුකම්පාවෙන් පෙගිලා තියෙනවා. ඒවා එම්පති වෙනුවට සිම්පති පැත්තටයි බර. ඇල්කො‍හොලික් සිතීම එහෙමයි. අනෙකාට පිහිට විය යුතුයි කියන දැක්මෙන් සසලයි.

පිළුණු වූ හදවත්ය
පුයර ගෑ මුහුණත්ය

නාගරික සංස්කෘතිය විසින් හුරු කළ මතුපිට සුන්දරත්වයට, රූපලාවන්‍යයට, විලවුන්වලට විරෝධයක් මේ කවි බෝතලය ඇතුලෙ තියෙනවා. ඒ වගේම වැලන්ටයින් දවසෙ රෙජිෆෝම් හාර්ට් ගැන අවුලක්, අම්මා තාත්තා ගැන නිතර බර දුකක්, ආපහු ගමට නැඹුරුවක් ඒ කවිවල තියෙනවා. මගේ කියවීමේ හැටියට මේ කවි පිහිටන්නෙ නගරයත් ගමත් අතරමැද තැනක. නගරයට ආශක්ත නමුත් ගම අතාරින්න බැරි අවුලක. අති විශේෂ බෝතලයකට හරියනම සැන්ඩිය.

ඒ නෝනලා ඉන්නෙ පට්ට බඩගින්නක
රොටිය නිවුනොත් කන්න බෑ බල්ලෙකුට
හෙමින් පැදපන්
අම්මා කිව්වට

ගමෙන් නගරෙට ඇවිත් පීසා කඩේක වැඩකරන, විදුලි වේගෙන් බයිසිකල් පදින මල්ලි කෙනෙක් ගැන ලියපු කවියක්. පීසා ඩිලිවරි රස්සාව ගැන ඒ මල්ලිගේ ගමේ ඇහෙන් බලලා ආපු සිතුවිල්ලක්. ලංකාවෙ හැම පිරිමියෙකුටම තියෙන අම්මා අත්ඇරගන්න බැරි අවුලෙ ප්‍රතිඵලයක්.

සිවුරට මුවාවෙන්න ඔට්ටු නෑ
බුදු සාදු ඔහොම ඒවා කියලා නෑ

එක කවියක එනවා රෝස මල සහ දාස්පෙතියා මල අතර සංවාදයක්. රෝස මල යෝජනා කරන්නෙ ශෘංගාර සංස්කෘතිය. දාස්පෙතියා මල යෝජනා කරන්නෙ මල්ග‍හේම පිපිලා ගහ යටම පෝර වෙන සංස්කෘතිය. දාස්පෙතියා මල කියන්නෙ යතාර්ථය කියල තනාගත් දුප්පත්කම. රෝස මල කියන්නෙ ප්‍රාර්ථනා කරන රොමාන්තිකය. දාස්පෙතියා මල කියන්නෙ ගම. රෝස මල කියන්නෙ නගරය. චාමින්දගෙ කවි තියෙන්නෙ රෝස මලට විරුද්ධව. දාස්පෙතියාට පක්ෂව.

මේ බෝතලේ පතුලෙම තිබිලා හලාගත්ත අන්තිම කවි උගුර. එකම පෙමක් පතාගෙන ආපු පරණ පෙම්වතෙකුට බහු පෙම්සිත් රිසි නූතන පෙම්වතියක් මුණගැහුනු කම්පනය. ගල් අරක්කු වඩියකට කියාපු විරහවක්

මං නැග්ගෙ
දිගු දුරක්
යනවමයි හිතාගෙන
මාධවී
ඔයා පවර් සෙට් එකක්
පිටිපස්සෙ
තව ඇන්ජිමක් තියාගෙන

කවි බෝතලේ හිස්. අරක්කු ටිකක් ඉතුරුයි.