රයන් මර්ෆි කියන නම නෙට්ෆ්ලික්ස් හොරර් සීරීස්වලට ආදරේ කරන ගොඩක් දෙනෙක් දන්නවා. Glee වගේ කොමඩි සීරීස්වලින් පටන්ගත්තට මර්ෆි වඩා ජනප්‍රිය වෙන්නෙ ඇමරිකන් හොරර් ස්ටෝරි, ඇමරිකන් ක්‍රයිම් ස්ටෝරි වගේ සීරීස් එක්ක. ඊට පස්සෙ amFar කියන HIV පර්යේෂණ ආයතනය, මර්ෆි hiv පාලනය වෙනුවෙන් ලබාදුන් ඉන්ස්පිරේෂන් එකට ජුලියා රොබර්ට්ස් අතින් සම්මානයක් පවා පිරිනමනවා. 2018දි නෙට්ෆ්ලික්ස් රයන් මර්ෆි එක්ක ඩොලර් මිලියන 300ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අවුරුදු 05කට. මොකද රයන් මර්ෆි කියන්නෙ ටීවී ‍සීරීස් ලෝකෙ මේ වෙලාවෙ ඉන්න සුපිරිම වැඩකරු විදිහටයි සැලකෙන්නෙ. මේ ගිවිසුමෙන් පස්සෙ රයන් මර්ෆි එයාගෙ සුවිශේෂතම නිර්මාණය එලියට දානවා කියලයි මං දකින්නෙ. ඒ තමයි ජෙෆ්රි ඩාහ්මර් ගේ කතාව.

ජෙෆ්රි ඩාහ්මර් කියන්නෙ 1978 ඉඳන් 91 විතර වෙනකල් සෑහෙන මිනිස්සු ගානක් මරපු සීරියල් කිලර් කෙනෙක්. ඇත්තටම මරලා කාපු කෙනෙක්. ඩාහ්මර්ගෙ බිහිසුණුකම කොයිතරම්ද කිව්වොත් එයා ගැන කිසිම කතාවක් ලියවෙන්න පවා එයා අතින් ඝාතනය වුනු අය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව ඉඩදෙන්නෙ නෑ. රයන් මර්ෆි මේ සීරීස් එක පටන් ගන්නෙත් කිසිම විදිහකින් අපි ඩාහ්මර්ගෙ පැත්තෙන් කතාව කියන්නෙ නෑ කියන තැන ඉඳලා.
‘කිසිම විදිහකින් ප්‍රේක්ෂකයා ඩාහ්මර්ගෙ පැත්තෙ සිට නොගත යුතුයි’ එයා නළු නිළියන්ට උපදෙස් දෙනවා.

ජෙෆ්රි ඩාහ්මර්ගෙ ඝාතනයන්ට මූලිකවම ලක්වෙන්නෙ කලු දුඹුරු වර්ණ ප්‍රජාව. ඒ වගේම ඩාහ්මර්ගෙ තිබුනු සමලිංගික චර්යාව නිසා මේ අය බොහොමයක් එයාගෙ පෙම්වතුන් විදිහට හමුවෙන අය. මේ වෙද්දි ඇමරිකාවෙ පැවතුනු දැඩි වර්ගවාදයත්, හෝමෙ‍ාෆෝබියාවත් නිසා මේ මිනිමැරුම් වළක්වාගන්න කොයිතරම් හැකියාවක් තිබුනත් නීතිය සහ සමාජය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඇත්තටම මේ මිනිමැරුම්වලට වගකිව යුතු වෙන්නෙ ප්‍රචන්ඩ මානසික විපරීතයකින් පෙළුනු ඩාහ්මර් නෙමෙයි. ඒ සිස්ටම් එක. මර්ෆි එයාගෙ කතාව හරියටම වගකීම වගකිව යුත්තන්ගේ පැත්තට ඉලක්ක කරනවා.

ඒ වගේම රයන් මර්ෆි කොහොම කිව්වත් මේ කතාව ඩාහ්මර්ගෙ දෘෂ්ටිකෝනයේ ගැඹුරු පතුලටම යනවා. කොටින්ම නරඹන්නාව ගොදුරුවන චරිත වලට වඩා ඩාහ්මර් වෙතට ආකර්ශනය කරනවා. සීරියල් කිලර් කෙනෙකුගේ අභ්‍යන්තරය මේ තරම් සියුම්ව, අගතීන්වලින් තොරව ග්‍රහණය කරගත්ත වෙන ටීවී සීරීස් එකක් නැති තරම්.

මීට කලින් 2002දි ඩාහ්මර් නමින් ඩේවිඩ් ජේකොබ්සන් චිත්‍රපටියක් හදනවා. ඒ චිත්‍රපටයත් ඩාහ්මර් නැමැති යක්ෂයාගේ මනුෂ්‍යත්වය මතු කරන්න උත්සාහ ගත්තත් මර්ෆිගේ සීරීස් එක යන තරම් සියුම් තැන් ස්පර්ශ කරන්න අසමත් වෙනවා. ඩාහ්මර් සීරීස් එක බලනවා කියන්නෙ අපි දවස් දහයක් ඩාහ්මර් එක්ක ගත කරනවා වගේ වැඩක්.

මර්ෆි එයාගෙ කතාවට පාදක කරගන්නෙ ජෙෆ්රි ඩාහ්මර්, ඩිෆෙන්ස් ඇටර්නි වෙන්ඩි පැට්‍රිකස් එක්ක සිරගත වීමෙන් පසු කරන ලද සම්මුඛ සාකච්ඡා පෙළක්. ඒ සම්මුඛ සාකච්ඡාවලින් කෙරුනු ඩොකියුමෙන්ට්‍රියත් නෙට්ෆ්ලික්ස්වල තියෙනවා.

වැදගත්ම කාරණය මර්ෆි විසින් ඩාහ්මර් නිර්මාණය වෙන ආකාරය මනුස්ස පැවැත්මක් හැටියෙන් පෙලින් පෙල නිරාවරණය කිරීමයි. සමාජයෙන් හුදකලා කෙරුනු මිනිසෙක් විසින් තමන්ගේ ආදරයේ ප්‍රකාශනයක් හැටියට ඝාතනය පාවිච්චි කරන විදිහ ‍ඩාහ්මර් සීරීස් එකෙන් කතා කරන ගැඹුරුම තේමාවයි.

ජෙෆ්රි ඩාහ්මර් තමන්ගේ පෙම්වතුන් මරා දමන්නේ ඔවුන් තමන් හැරයාවි කියන බයට. තමන් එතරම් ආදරය කරන අයගෙන් වෙන් වෙන්න ඇති නොකැමැත්තට. මරා දැමීමෙන් පසු ඔවුන් සදාතනිකව තමන් සමග රැ‍දෙන බවට ඇති හැගීමෙන්. ඒ මරණය ඇත්තටම ආදරය ප්‍රකාශ කිරීමක්. මේක සමාජය පිළිගන්න මැළිවෙන බරපතල ස්ටේට්මන්ට් එකක්.

ත්‍රිලර් හෝ ක්‍රයිම් ජොන්රා එකේ වැඩක් වඩාත්ම භයංකර වෙන්නෙ ඒ ඝාතකයා හෝ දුෂ්ටයා වෙනස් අභූත පැවැත්මක් විදිහට නැතුව හැගීම් දැනීම් ඇති මිනිහෙක් විදිහටම ඉදිරිපත් කිරීමේදීයි. එතනදි ඒ ඝාතනය පිළිබඳ හැගීම අපේ සාමාන්‍ය මිනිස් පරාසය ඇතුලට ගේනවා. අපිට අර ඝාතකයා සමග එම්පතියක් ගොඩනැගෙනවා. අපි තුල පවතින සමාන ප්‍රචන්ඩත්වයේ සේයාවන් ඉස්මතු කරනවා. සීරියල් කිලර් සහ අපි අතර සමීප සම්බන්දයක් ගොඩනගනවා. ජෙෆ්රි ඩාහ්මර් සීරීස් එක අතිශය භයානක වන්නේ මේ මානසික කලම්බනයට අපිව ලක් කරන නිසයි.

මරණයක් සිදු කරන මොහොතේදී ඩාහ්මර්ගෙ හිතේ කෲර වූ හැගීම් කිසිවක් පවතින්නෙ නෑ. ඒ වෙනුවට තමන්ට පාලනය කළ නොහැකි ආවේගයකින් මෙහෙයවෙනවා විතරයි. ඒක හරියටම කොටියෙක් විසින් බඩගින්නට සතුන් ගොදුරු කරගන්නා හා සමානම ප්‍රාථමික පෙළඹවීමක්. ඒ වෙනුවෙන් උදව් ගන්න පවා ඩාහ්මර් සූදානමින් ඉන්නවා. ඒත් දෙමව්පියන් අතරවත්, සමාජයේදිවත් ඩාහ්මර්ට එහෙම විවරයක් මුනගැහෙන්නෙ නෑ. රයන් මර්ෆි මේ අසරණබව, තමන් කවුද යන්න අපැහැදිලිව විපිලිසර වුනු තාරුණ්‍යය ඒ චරිතය ඇතුලෙන් හොඳටම මතු කරනවා.

ඩාහ්මර් පෙළෙන ලිංගික ආශාව ස්ප්ලැන්ච්නොෆීලීයා කියලා නම් කරනවා. ඒ කියන්නෙ කෙනෙකුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඇති ආශාවෙන් ලිංගික ප්‍රාණවත් වීම. ඒ ඉන්ද්‍රියයන්ගේ තෙත් සහිත බවට, ඇඟිලිවලට දැනෙන ස්වභාවයට අනුරාගී වීම. ඩාහ්මර් තමන්ගේ පෙම්වතුන්ගේ පපුවට කන තියලා හද ගැස්ම අහගෙන ඉන්නවා. එතකොට එයාට එනවා ඒ හදවත කෑමේ ‍වැළැක්විය නොහැකි ලිංගික ආශාවක්.

තමන් කළ මිනීමැරුම් සියල්ල තමන් පැහැදිලි සිහියෙන් කළ බව ඩාහ්මර්. තමන් කිසියම් උමතුවකින් පෙළෙනවා නෙමෙයි කියලා අවධාරණය කරනවා. කතාව ඇතුලෙදි අපිට මිනීමරු ඩාහ්මර්ගෙ ඉනසන්ස් එක මුනගැහෙනවා. ඇත්තටම ඒ ඉනසන්ස් එක ඉස්සරහ පවතින සිස්ටම් එක වගේම ඒ සිස්ටම් එකට විරුද්ධව යුක්තිය ඉල්ලන ප්‍රගතිශීලීන් කියන දොකොටසම ප්‍රචන්ඩයි. ඒක ඩාහ්මර් සීරීස් එකේ එක්සිස්ටන්ෂල් තැනක් ස්පර්ශ කිරීමක්.

ඩාහ්මර් අවසානයේ දැඩිව ආගම වැළඳගෙන බවුතීස්මය ලබනවා. තමන් වගේ පව්කාරයන්ටත් විනිශ්චයකින් තොරව ආධ්‍යාත්මයේ දොරටු විවෘත බව දැකීමෙන් සතුටට පත්වෙනවා. මර්ෆිගේ සීරීස් එකේ අවසානයේදී ඩාහ්මර් මුනිවර නිමේෂයකට එළඹෙනවා.

අනෙක් පැත්තෙන් පාරිශුද්ධ දෙවියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන තවත් ආගමිකයෙක් එනවා. එයාට අනුව ඩාහ්මර් විනිශ්චයට ලක්වෙන්න ඕන. කළ පව් වෙනුවෙන් විඳවන්න ඕන. ඔහු විසින් සිර ගෙදරදී ඩාහ්මර් මරා දමනවා.

ඒත් ඒ මරණයට පත්වෙන්නෙ අර ඝාතනයන් කළ ඩාහ්මර් ද?

මේ අතර ඩාහ්මර් කල්ට් වීරයෙක් වෙනවා. එයාගෙ මිනීමැරුම් වීරත්වයෙන් සලකන පිරිසක් නිර්මාණය වෙනවා. මේකට කියනවා හයිබ්‍රිස්ටොෆීලියා කියල. අපරාධකරුවන් ගැන ලිංගික ආශාවකින් පසුවීම. ඒ අයට ආදරය කිරීම.

ඩාහ්මර්ගෙ තාත්තා තේරුම් ගන්නවා එයාටත් ඩාහ්මර් හා සමානම වූ සිතුවිලි පැවතුනු බව. ඒවා තමන් යටපත් කළ නමුත් තමන්ගේ පුතාගෙන් පිටතට පැමිණි වග. මේක සීරියල් කිලර් කෙනෙක් ගැන ප්‍රබලතම එම්පතියක් ජනනය කරන මොහ‍ොතක්. තාත්තා කෙනෙක් දරුවාගේ සිතුවිලි වෙනුවෙන් තමන්ගේ වගකීම බාරගැනීම. ප්‍රතික්ෂේප කරමින් අපවාදයෙන් ගැලවීම වෙනුවට අපවාදය බාරගැනීම. ඒක ආදරයේ ගැඹුරු තැනක්.

ඩාහ්මර්ගේ තාත්තා ලයනල්ට එයාගෙ පුතා ගැන පොතක් ලිවීමට පවා විරෝධය එල්ල වෙනවා. ඩාහ්මර් ගැන කිසිවක් නොලිය යුතුයි කියන එකයි යුක්තිය ඉල්ලන වික්ටිම් පාර්ශ්වයේ බලකිරීම.

නමුත් ඩාහ්මර්ගෙ කතාව?

අපරාධකරුවාගේ මානුෂිකභාවය දැනවීම තරම් සමාජයක අපරාධහරණය කළ හැකි වෙනත් කිසිම මගක් නොතිබෙන්න පුළුවන්. ඒ අපරාධ කරන්නේ අමානුෂික යමෙක් නෙමෙයි, අපේ මනුෂ්‍යත්වයේම දිගුවක් බව තේරුම් ගැනීම තරම් අපරාධවල දරුණු බව දැනවීමට මගක් නොති‍බෙන්න පුළුවන්. රයන් මර්ෆි කරන්නෙ ඒක.

ඩාහ්මර්ගෙ ආත්මය අපිට මුනගැහෙනවා. අපරාධකරුවා ඩාහ්මර්ද කියල අපිට ආපහු හිතන්න වෙනවා. ඒ අතර සමාජයේ වර්ගවාදය, ලිංගවාදය ප්‍රශ්න කරනවා. ඩාහ්මර් අපරාධකරුවෙක් කරන පවුල් පාසැල් සමාජ සංස්කෘතිය ඇතුලට කඩා වදිනවා. ඒ අතර ඉඳහිට මුනගැහෙන සාන්තුවරු දකිනවා.

මේ සමහර පරිච්ඡේද ඩේවිඩ් ලීන්ච්ගෙ දුව ජෙනිෆර් ලින්ච් අතින් අධ්‍යක්ෂණය වෙලා තියෙනවා. මං පුද්ගලිකව ඒ ටච් එකට වඩා කැමතියි. නමුත් සමස්තයක් විදිහටම ජෙෆ්රි ඩාහ්මර් කියන්න ටීවී සීරීස් අතර නොමැකෙන සළකුණක්.