එක ගැහැණියක් එක පිරිමියෙක් කියන්නෙ විවාහය කියන සංස්ථාවට හොඳ ගැලපීමක් වෙන්න පුළුවන්. ඒත් ඒක සම්බන්ධතා එක්ක පටලගැනීම නරකයි. ඒ කියන්නෙ විවාහය කියන නීතිමය, සමාජ සංස්ථාව සැලසුම් වෙලා තියෙන්නෙ එක ගැහැණියක්- එක පිරිමියෙක් පදනම උඩයි. ඒත් අපි ඒ විවාහයට කොටු වෙලා අපේ සම්බන්ධතා පවත්වන්නෙ එක ගැහැණියක් හෝ එක පිරිමියෙක් සමග විතරක් නම් ඒක හරියට එක පොතක් විතරක් කියවනවා වගේ. එක කවියක්, එක චිත්‍රපටියක් විතරක් රස විඳිනවා වගේ. අපේ ඇතුලාන්තය හිස් කරන වැඩක්.
කිසිම ගැහැණියකට හෝ පිරිමියෙකුට තවත් කෙනෙකුගේ සම්පූර්ණ මානසික අවශ්‍යතා සපුරන්න පුළුවන්කමක් නෑ. ඒ විදිහෙ සීමා පැනවීමකින් වෙන්නෙ අපේ මානසික අවශ්‍යතා පටු කරගැනීමක්, සිර කරගැනීමක් විතරයි. ඒ කියන්නෙ ඒවා වෙනත් විකෘති, නරක ආකාරවලින් පිටතට මුදාහැරෙනවා. ගොඩක් වෙලාවට දරුවන්ගේ පිටින් ඒ පීඩනයන් ගලා යන්න පටන් ගන්නවා.
දෙන්නෙක් ඒ දෙන්නා සමග පමණක් ලිංගික සම්බන්ධතා පවත්වනවා යන සීමාව මත ජීවත් වෙනවා කියන්නෙ ඒ අයගෙ ජීවිතය පදනම් වෙලා තියෙන්නෙම ලිංගිකත්වය මතයි කියන එකයි. ඇත්තටම ජීවිතය ඊට වඩා ගොඩක් විශාලයි. ලිංගිකත්වය කියන්නෙ ඉතාම පුංචි, සැහැල්ලු, සෙල්ලක්කාර ආශාවක් විතරයි.
ගොඩක් අය මේ දෙන්නෙක් එක්ක විතරක් ගත කරන සිරගත ජීවිතයට කියන්නෙ විශ්වාසය කියල. ඒත් හොඳට බැලුවොත් පේන දෙයක් තමයි ඒ ජීවිතේ ළගා කරගත නොහැකිම දේ වෙන්නෙත් විශ්වාසය කියන එක. අනෙකාගෙ ජීවිතයේ ආශාවේ සීමාව තමන් වෙනවා කියන්නෙ ඇත්තටම ඒ කෙනාගේ ජීවිතය සිරගත කරලා යතුර තමන් ළග තියාගෙන ඉන්නවා වගේ වැඩක්.
විවෘත ලිංගික ඇසුරු කිරීම් සහිත සම්බන්ධතාවලදි අවංකත්වය සහ විශ්වාසය ඉතාම වැඩියි කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. ඒ අය විවෘත සම්බන්ධතාවලට යන්නෙම අවංක ඇසුරක් අනෙකා සමග පවත්වාගෙන යාමට තියෙන උවමනාව නිසයි. කෙනෙකුට හොරෙන් තවත් කෙනෙක් එක්ක පවත්වන සම්බන්ධතා ගැන නෙමෙයි මේ කියන්නෙ. එකිනෙකා දැනුවත්ව තමන්ගේ ලිංගික ආශාවන් නිදහසේ සපුරාගැනීමට අවකාශ ඇති සම්බන්ධතාවයක තියෙන රමණීයත්වය ගැනයි.
මේ විදිහෙ විවෘත සම්බන්ධතාවල එකිනෙකා අතර සංවාදය හැමදාටම පවතිනවා. ඒ අය තමන්ගේ හැගීම් ගැන එළිපිට අනෙත් සහකරැවා සහකාරිය එක්ක කතාබහ කරනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ලිංගිකත්වයට වඩා විශාල ඇත්ත හේතු ගොඩක් තමන්ගේ සම්බන්ධතාවය පවත්වාගැනීමට පදනම් වෙනවා කියලා ඒ අය තේරුම් ගන්නවා.
විවාහයක් බිඳ වැටෙන්නෙ ලිංගික සතුට නැතිවීම නිසා කියන කතාව මෝඩ මිත්‍යාවක්. විවාහයක් නෙමෙයි කිසිම මිනිස් සම්බන්ධතාවයක් ලිංගික සතුට මත පමණක් පවතිනවා නම් ඒක රෝගයක්. ඒත් අපේ සම්මත සමාජ ජීවිතය අපිට අදහන්න පුරුදු කරලා තියෙන සත්‍යය මේකයි. කවුරු හරි විවාහයෙන් පිට සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඒ අනෙකාට ලිංගික සතුට සපුරන්න නොහැකි නිසා යැයි විශ්වාස කිරීම ආදිකල්පිකයි.
ලිංගික සතුට කියන්නෙම නිදහස, කුතුහලය, අලුත් දේ සොයා යාම මත පවතින දෙයක්. එහෙම නොවන හැම තැනකම තියෙන්නෙ රෝගී ලිංගිකත්වයක්. ඒ කියන්නෙ සිරගත කළ, සදාචාරගත කළ ලිංගික ඇසුරක්. ඒක ආශාව නිදහස්වන, මිනිසා පරිපූර්ණ කරන ආස්වාදයක් නෙමෙයි. ඒ වගේ ඇසුරන් අපිට නිතර මතක් කරන්නෙ අපේ ජීවිතේ කොයිතරම් බෝරිංද කියල විතරයි.
ලිංගිකත්වය නිදහස් කරලා ඇත්ත සම්බන්ධතාවයකට එළඹෙන එකයි දෙන්නෙකුගේ සැබෑ උත්සාහය විය යුත්තෙ. ඉරිසියාව සැකය පදනම් වුනු මිනිස් සම්බන්ධතාවයක් වෙනුවට ආදරය නිදහස පදනම් වුනු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි අපේ දිශාව විය යුත්තෙ.
මේ ලිංගික නිදහස් වීමෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභයත් විශාලයි. ඇරියස් වලින් පිරුණු ආතතිකර මිනිස්සු වෙනුවට සැහැල්ලු, විනෝදකාමී, විනිශ්චයන්ගෙන් තොර නිරෝගී මිනිස්සු සමාජයේදි මුනගැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම දෙන්නෙක් කියල කොටු කරපු විවාහ සංස්ථා වෙනුවට ආදරයෙන් බැඳුනු, වඩා අවංක සම්බන්ධතා පවත්වන ලොකු පවුල් නිර්මාණය වෙනවා. අපි එකිනෙකා සම්බන්ධ වෙන හැම කෙනෙක්ම අපේ පවුලෙ සාමාජිකයෙක්. ඒ වගේ ජීවිතයක් වඩා සුන්දර මිනිස් වාසයක් නිර්මාණය කරනවා.
ආදරයේ මුල් අවධියේදී ඉරිසියාව, ආශාව මත තමන්ට සීමා කරගත හැකි අනෙකා පිළිබඳ උමතුව ස්වභාවිකයි. ඒ තත්වයත් රස විඳිය යුතු එකක්. නමුත් එතැනින් ඔබ්බට ඒක බාධාවක්, බරක්, කණස්සල්ලක් වශයෙන් පවතිනවා විතරයි. අපේ මිනිස් සම්බන්ධතාවයේ සොදුරු බව, අවංක බව, විශ්වාසය නැති කරනවා විතරයි.
මිනිස් ඇසුරක පදනම විය යුත්තේම නිදහසයි. ආදරයක පදනම විය යුත්තේම අනෙකාගේ සතුටයි. මේ කාරණා සීමා කරන කිසිම තැනක නිරෝගී මිනිස් ඇසුරක් පවතින්න විදිහක් නෑ.
විවාහයට බාහිර ආදර සම්බන්ධතා නිසා විවාහයක් තවත් රසවත් වෙනවා. නිදහස් වෙනවා. නමුත් වැදගත් කාරණය වෙන්නෙ විවෘතභාවයයි. අනෙකාටත් ඒ නිදහස ලබා දෙමින්, අනෙකාත් දැනුවත්ව ඒ චමත්කාරය අත්විඳීමයි.