ඩාර්වින්ට පෙනුන මේ පිරිමි විසින් ගැහැණු කීප දෙනෙක් සමග ලිංගිකව හැසිරෙන චර්යාව නිසා එයා සැක හිතුවා මුල්ම මානවයො පොලිගමි හෙවත් බහු පුරුෂ- බහු භාර්යා සේවනයේ පසුවුනා කියල. එයා මෙහෙම ලියනවා, දැනට පවතින මිනිසාගේ සමාජ පුරුදු මත පිහිටා විනිශ්චය කරන කල, බොහෝ බොහෝ වනචාරීන් පොලිගමි වීම මත, වැඩි සම්භාවිතාවක් ඇති දැක්ම වන්නේ ගෝත්‍රික විදිහට ජීවත් වුනු අතීත මානවයාට තමන්ට රැකබලාගත හැකි තරම් කාන්තාවන් පිරිසක් සිටි බවත්, ඒ අයව ඊර්ශ්‍යාවෙන් යුතුව අනෙක් අයගෙන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත්ය..’

පරිණාමවාදී මනෝවිද්‍යාඥයෙක් වෙන ස්ටීවන් පින්කර් මේ ඩාර්වින් කියන ‘දැනට පවතින මිනිසාගේ සමාජ පුරුදු මත පිහිටා විනිශ්චය කරන ලද..’ කියන කොටස ඩාර්වින්ගේ අනුදැනුමකින් තොරව ඊටත් වඩා එහාට අරගෙන යනවා. පින්කර් කියනවා, ‘සෑම සමාජයකම සෙක්ස් කියන එක යම් ආකාරයකින් කැත දෙයක් වුනා. ඒක සිද්ද වුනේ පුද්ගලිකව. තරයේ හිතාබැලීමට ලක්වුනා. සම්ප්‍රදායන් සහ තහංචි මගින් පාලනය වුනා. සෙක්ස් නිසා ඕපාදූප ඇතිවුනා. ලිංගික ඉරිසියාව පැන නැගුනා’

සෙක්ස් සම්ප්‍රදායන් සහ තහංචි විසින් පාලනය කරන ලද වුනත් පින්කර් කියන අනිත් හැමදේටම කොයිතරම් වෙනස් තත්වයන් පැවතුනාද කියල අපි ඉදිරියට පෙන්නන්නම්.

අපි හැමෝම වගේ ඩාර්වින් එයාගෙ පුද්ගල විශ්වාසයන්, හෝ ඒවා නොමැතිකම්, මානව ස්වභාවය පිළිබඳ තමන්ගේ උපකල්පන, න්‍යායන් සඳහා පාවිච්චි කළා. ‍ෆ්‍රෙන්ච් ලුතිනන්’ස් වයිෆ් පොතේ ජෝන් ෆෙල්ස් (fowls) මේ ඩාර්වින් විසින් නිර්මාණය කරපු ලෝකයේ පවතින ලිංගික කුහකත්වය විස්තර කරනවා.

ෆෙල්ස් ලියනවා, දහනම වෙනි සියවසේ එංගලන්තය කියන්නෙ කාන්තාවො ශුද්ධ වූ වස්තූන් විදිහට සලකපු කාලයක්. ඒත් ඕනම තැනකින් ඔබට අවුරුදු දහතුනක දැරියකගේ පහස පවුම් කීපයකට ලබාගත හැකිව තිබුනා. පැයකට හෝ දෙකකට නම් සිලිං කීපයකට. කාන්තා සිරුර ඒ තරම් සඟවන ලද කාලයක් තිබුනෙ නෑ. මූර්ති අඹන්නන්ගේ විශිෂ්ටත්වය මනින ලද්දේ නිරුවත් කාන්තා රූපයක් ඇඹිය හැකි වීම මතයි. කාන්තාවන්ට සුරතාන්තයක් ලැබිය නොහැකියයි විශ්වීය ලෙස පිළිගත් මතයක් තිබුනා. නමුත් වෙසඟනන්ගෙන් ඉල්ලා සිටියේ එය මවා පාන ලෙසයි’

වික්ටෝරියානු බ්‍රිතාන්‍යයේ ලිංගික චර්යාව හරියටම තේරුම් ගන්න පුළුවන් මේ යුගය නිර්වචනය කරන සොයාගැනීම ලෙස සලකන වාෂ්ප එන්ජිමෙන්. ඉරොතික ශක්තිය නිදහසේ චලනය වීම අවහිර කිරීම හරහා ඒ ආතතියෙන්, කෙටි කාලීන, විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් අවදි කර තිබුනා. බොහෝ දේ සම්බන්ධයෙන් වැරදි වුනත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ කාරණය සම්බන්ධයෙන් නිවැරදියි. ශිෂ්ටාචාරය බිහිකර තිබෙන්නේ අවහිර කරන ලද, සංකේන්ද්‍ර කරන ලද, එකතු කොට නැවත ප්‍රතිදිශාගත කරන ලද ලිංගික ශක්තිය මතයි’ කියල ෆ්‍රොයිඩ් කියනවා.

සිත හා කය දූෂිත නොවි තබා ගැනීමට පිරිමි දරුවන්ට කාන්තාව විශාල ගරුත්වයකින් යුත්, ආශ්චර්යමත් වස්තුවක් ලෙස දකින්න පුරුදු කළා.. වෝල්ටර් හෆ්ටන් වික්‍ටෝරියන් ෆ්‍රේම් ඔෆ් මයින්ඩ් පොතේ ලියනවා. තමන්ගේ මව සහෝදරිය සහ අනාගත බිරිඳ මනුෂ්‍යත්වයට වඩා දේවත්වයට සමීප වූ අය විදිහට ඔහු දැකිය යුතු වුනා. මේ ප්‍රතිරූපය නිර්මාණය කර තිබුනේ ආදරය සහ ලිංගිකත්වය වෙන් කරන්න විතරක් නෙමෙයි, ආදරය වන්දනාවක් බවට පත් කරන්නත්, එය ශුද්ධත්වය බවය පත් කරන්නත් මේ හරහා ක්‍රියාත්මක වුනා. මේ මවගේ, සහෝදරියගේ, නැත්නම් බිරිඳගේ ශුද්ධවන්තභාවය තුලින් නිවීම ලද නොහැකි තැනදී පිරිමින් වෛශ්‍යාවන් ඇසුරෙහි මේ පාපයන් මුදාහල යුතුව තිබුන. එසේ නොකොට වෙනත් යහපත් කාන්තාවන් වරදෙහි හෙලීමෙන් සමාජ සහ පවුල් සංස්ථාවේ ස්ථාවරබවට තර්ජනයක් ඇති කිරීම නොකළ යුතු වුනා. 19 වෙනි සියවසේ ආතර් ෂොපෙන්හවර් කියන විදිහට ලන්ඩන් නගරයේ පමණක් 80000ක් ගණිකාවන් හිටියා. මේ අයව සලකන්න වෙන්නෙ මොනොගමි අල්තාරය මත කළ ආත්ම පූජාවන් මිස වෙන කොයි විදිහකටද?

චාර්ල්ස් ඩාර්වින් මේ යුගයේ පැවතුනු ඉරොටොෆෝබියාවෙන් කොහෙත්ම ගැලවුනේ නෑ. කෙනෙකුට කියන්න පුළුවන් ඩාර්වින් මේ ගැන වඩාත් සංවේදී වුනා කියලත්. මොකද ඩාර්වින්ගේ කාලය එළඹුනේ සමාජ සදාචාරය පයිසෙකට මායිස් නොකළ, එයාගෙ ප්‍රසිද්ධ, ලැජ්ජා නැති, සීයා වුනු ඉරැස්මස් ඩාර්වින්ගේ සෙවනැල්ල යටයි. ඉරැස්මස් ඩාර්වින් ප්‍රසිද්ධියේ බොහෝ කාන්තාවන් ඇසුරු කරමින් දරුවන් බිහි කළ අතර ඔහුගේ කවිවල ගෲප් සෙක්ස් පවා උත්කර්ෂයට නංවපු කෙනෙක්. ඒ වගේම අවුරුදු 08දි මවගේ වියෝවත් ඩාර්වින්ට මෙම කාන්තාවන් සම්බන්ධයෙන් ස්වභාවික ආශාවන්ට සහ හැගීම්වලට ඔබ්බෙන් පවතින දිව්‍යමය හැගීම ඇති කරන්න උදව් වුනා කියල හිතන්න පුළුවන්.

ජෝන් බෝල්බි කියන ඩාර්වින්ගේ ඉතා විශිෂ්ට යැයි පිළිගැනෙන ජීවිත කතාවලින් එකක් ලියන මනෝ විද්‍යාඥයා පෙන්වා දෙන විදිහට ඩාර්වින්ගේ ජීවිත කාලය පුරාම පවතින ඇන්සයටි බලපෑම්, විෂාධි තත්වය, දරුණු හිසරදය, නිදිමත, වමනය, හේතුවක් නැතිව එක්වර හඩා වැටීම ආදී බොහෝ කාරණා මවගෙන් ඇතිවූ වියෝගය නිසා මතුවන සෙපරේෂන් ඇන්සයටි තත්වයන්ට වඩාත් ගැලපෙනවා. චාර්ල්ස් ඩාර්වින් ඔහුගේ ඥාති සහෝදරයෙකුගේ බිරිද වියෝ වූ විට ලියන ලිපියකින් මේ තත්වය වඩාත් පැහැදිලිව මතුවෙනවා.

‘මගේ ජීවිතේට මේ තරම් ළග ඥාතියෙක් මියගොස් නෑ…’ ඩාර්වින්ට තමන්ගේ මවගේ මියයාම අව‍රෝධිත මතකයක්. ‘මට හිතාගන්න බෑ කොහොමද ඔබ මේ තරම් දුකක් දරාගන්නෙ කියල..’

ඒ වගේම ඩාර්වින්ගේ මිණිපිරියක් කියන විදිහට ස්ක්‍රැබල් වගේ සෙල්ලමක් කරද්දි කවුරුන් හෝ විසින් other කියන වචනය ඉදිරියෙන් M අකුර තබන සෑම අවස්ථාවකම ඩාර්වින් විශාල තැතිගැන්මකට යනවා. ඩාර්වින් ඒ වෙලාවට දිගු කාලයක් බෝර්ඩ් එක දිහා බලාගෙන ඉඳලා කියනවා ‘එහෙම වචනයක් නෑ’ කියල.

මේ ශෘංගාරයට එරෙහි (එමෙන්ම එහි දැඩිව ඇලුනු) අධි වික්ටෝරියානු බලපෑම චාර්ල්ස් ඩාර්වින්ගෙ වැඩිමල් දුව හෙන්රිටා දක්වාම යනවා. එටී නමින් හඳුන්වන ඇය තමයි තාත්තාගේ පොත් සංස්කරණය කරන්නෙ.

එයා නිල්පාට හුනු කෑල්ලකින් අනවශ්‍ය කොටස් ලකුණු කරලා ඉවත් කරනවා. චාර්ල්ස් එයාගෙ සීයාගේ නිදහස්කාමී ජීවිතය ගැන බයොග්‍රෆිය ලියද්දි ඇය ඉරැස්මස්ගේ ස්ත්‍රීලෝලීත්වය පිළිබඳ උදාහරණයක් ඉවත් කරනවා. ‘ද ඩිසෙන්ට් ඔෆ් මෑන්’ සහ ඩාර්වින්ගේ ජීවිත කතාවෙනුත් ඇය නුසුදුසු යැයි ලකුණු කරමින් කොටස් කපා දමනවා.

එටීගේ මේ ලිංගිකත්වයට සම්බන්ධ ඕනෑම දෙයක් කපා ඉවත් කිරීමේ පුරුද්ද ලිඛිත වචනවලට පමණක් සීමා වුනේ නෑ. වත්තෙ පිපෙන ස්ටින්කොර්න් නැමැති හතු වර්ගයකට (ෆැලස් රැවනෙලි) විරුද්ධවත් ඇය සටනක් කරනවා. ඒ හතුවල ස්වභාවය පුරුෂ ලිංගයක හැඩය ගැනීම ඇයට දරාගන්න බැරි වෙනවා. ඇගේ නෑනා වන (චාර්ල්ස්ගේ මිනිපිරිය) ලියන විදිහට ආන්ටි එටී බාස්කට් එකක රිටක් සහ දඩයමේ යන ඇඳුමක් ඇඳගෙන මේ හතු හොයාගෙන වත්තට යනවා. හවස් වෙද්දි එකතු කරගත්ත මේ හතු සියල්ලම අරගෙන ඇය රහසේම විසිත්ත කාමරයට වැදිලා අගුල් ලා ගන්නවා. ඒ හතු පුළුස්සා දමනවා. රහසේම මේ දේ කරන්නෙ ඇය සේවිකාවන්ගේ සදාචාරයට මේ හතු දැකීමෙන් හානියක් වෙයි කියන සිතුවිල්ලෙන්.


ඊළග කොටස බලාපොරොත්තු වන්න.