කොලින් විල්සන්ගෙ ඔරිජින්ස් ඔෆ් සෙක්ෂුවල් ඉම්පල්ස් පොත මායි දිමුතු ගලප්පත්තියි අවුරුදු බරගානකට කලින් සෙක්සොලොජි ගැන උනන්දු වෙද්දි කියවන්න ගත්ත පොතක්. සුගතපාලද සිල්වාගෙ පොත් එකතුවෙන් ගත්ත මේ පොත කාලයත් එක්ක ආගිය අතක් නැති වුනා. වතාවෙන් වතාව මතක් වෙද්දි අලුතෙන් කොපියක් හොයාගන්න උත්සාහ කළත් ඒක හරි ගියෙ නෑ. ළඟදි දවසක අහම්බෙන් ඔන්ලයින් ලින්ක් එකක් තිබිලා හම්බුනා. ඒ පොත කොටසෙන් කොටස පරිවර්තනය කරන්න ගන්න උත්සාහයක් මේක.

මනුස්ස පැවැත්මෙහි සෙක්ස් වල භූමිකාව කුමක්ද?

මේ ප්‍රශ්නෙ කොටස් දෙකක් තියෙනවා.
එකක් ලිංගික පෙළඹුම කියන්නෙ මොකක්ද? දෙක සමස්ත මනුස්ස පැවැත්ම කියන්නෙ මොකක්ද? පලවෙනි එකට හරිහමන් උත්තරයක් හොයාගත්තොත් දෙවෙනි එකට ඒකෙන් උදව්වක් ගන්න පුලුවන්.

ලිංගික පෙළඹුම කියන කාරණය ගත්තොත් ඒක ගැන ස්වභාව ධර්මයාටයි මිනිහාටයි තියෙන්නෙ උවමනාවන් දෙකක්. ස්වභාව ධර්මයට ඕන වර්ගයා බෝ කරන්න. මිනිහට ඕන උපරිම ලිංගික තෘප්තිය ලබන්න.

කොහොමත් ස්වභාව ධර්මයෙයි මිනිහාගෙයි උවමනා එකට එක ගැලපෙන්නෙ කලාතුරකින්. උදා ස්වභාව ධර්මයට අනුව මිනිස්සු නිරෝගීව ජීවත්වෙන්නයි ආහාර ගන්න ඕන. ඒත් මිනිස්සුන්ගෙ කෑම ගැන උවමනාව ඊට වඩා ගොඩක් දුර යනවා. සමහරු මැරෙනකල්ම කනවා. ඒත් හැබැයි කෑමවලදි මිනිහා ස්වභාව ධර්මය එක්ක යම් සීමාවලට එකග වෙනවා කියන්න පුළුවන්. කෑම විතරක් නෙමෙයි බීම, නින්ද, ව්‍යායාම මේ ඔක්කොම එහෙමයි.

ඒත් සෙක්ස්වලදි නං ස්වභාව ධර්මයයි මිනිහගෙ උවමනාවයි අතර පරතරය මාර ලොකුයි. ඒක හින්දමයි අනෙක් හැමදේකටම වඩා සෙක්ස්වලදි මිනිස්සු පර්වර්ට් වෙන්නෙ.

මොකක්ද පර්වර්ට් කියන්නෙ. සිංහලෙන් විපරීතයි කියන්නෙ. සරලවම ස්වභාවික නැති ක්‍රියාවක්. මේක මෙහෙම කියන්න නම් අපි ස්වභාවික මොකක්ද කියල හරියටම දැනගෙන ඉන්න ඕන. ඒත් සෙක්ස්වලදි අපි මේක කියන්නෙ කොහොමද?

තොලස්තෝයිගෙ විග්‍රහය

සමහර වෙලාවට මේක තේරුම්ගන්න සාමාන්‍ය දැනීම ගැන වැටහීමක් තිබීම ප්‍රයෝජනයක් වෙයි. සෙක්ස් ගැන සාමාන්‍යයෙන් තියෙන දැනීම තොලස්තෝයි ක්‍රොට්සර් සොනාටාවෙ ලියනවා. ඒකෙ ඉන්න භාර්යා ඝාතක පොඞ්නිචෙව් කියන චරිතය හිතනවා නවීන සමාජය සෙක්ස් පිස්සුවකට ගිහිල්ලා කියල. මේක වෙලා තියෙන්නෙ විවේකය වැඩිවීම හින්ද. මිනිස්සුන්ගෙ ශක්තිය ඉතුරු වෙන හින්ද. මිනිස්සු මේ අතිරික්ත ශක්තිය තෘප්තිය හොයාගෙන යන්න වැය කරනවා. ඉස්සර විදිහට ගෑනියෙකුට හෝ මිනිහෙකුට මේ තරම් ශක්තියක් ඉතුරු වෙන්නෙ නෑ. දරුවන්ගෙ වැඩපල ටික කළාම ගෑනිටත්, දවසෙ අනිත් වැඩ ටික කළාම මිනිහටත් හොඳටම වෙහෙසයි. ඒක හින්දම ලිංගික ආශාව සීමිතයි. දැන් මේ සංස්කෘතික වංශවත්තු කරන්නෙ දවසෙම සෙක්ස් ගැන හිතන එක. ඒක අහිංසක අවධියෙදි අපි කියනවා ආදරේ කියල. තරුණ වංශවතෙක් එක්ක තමන්ගෙ බිරිඳ බීතෝවන්ගෙ නවවෙනි සොනාටාව ප්ලේ කරපු එක ගැන පොඞ්නිචෙව් ඉරිසියාවෙන් පැලෙනවා. මේ ඊනියා සංස්කෘතික ප්‍රහර්ෂය වරදේ බැඳෙන්නම හදාගත්ත කාරණයක් කියලා පොඞ්නිචෙව්ගෙ ඇතුලෙන් තොලස්තෝයි කියනවා.

තොලස්තෝයි කියන්නෙ ස්වභාවික සෙක්ස් නම් ඒකෙ අරමුණ දරුවන් හදන එකම විය යුතුයි කියල. සැමියා සහ බිරිඳ අතර වුනත් ඊට එහා ගිය තෘප්තිය හොයන දේවල් සියල්ල විකෘතියි. 

මේ ඉගැන්වීම කාලාන්තරයක් දිගටම පැවතගෙන එන එකක්. ඒක කතෝලික පල්ලියෙ උපත් පාලනය ගැන ඉගැන්වීම් දක්වාම යනවා. ඇත්තටම ඒක ආගමික දෘෂ්ටියක්. ඒකෙ හැටියට මිනිහාගෙ ස්වීය ඕනෑ එපාකම් වලට ස්වභාවිකත්වය තීරණය කිරීමේ ලා කිසිම බලයක් නෑ. ඊට වඩා ඉහල ඉඳන් බලන්න ඕන. ඒක මිනිස්සුන්ගෙ ආශාවට ප්‍රතිවිරුද්ධව ගියත් ඒක තමයි ස්වභාවික.

ඒත් තොලස්තෝයි තරම් දරුනුවට මේක කරේ තියාගන්නෙ සුලු පිරිසක් විතරයි. සෙක්ස් ගැන ලියන බොහොමයක් ලේඛකයන් ඉන්නවා ඒ අයට අනුව, මොනම විදිහකින් හරි අවසානයේ ප්‍රජනනයක් සිද්ද වෙලා තියෙනවා නම් ඒක ස්වභාවික විදිහ ගන්න ඕන. ඒ කියන්නෙ කොයි විදිහකින් හරි කමක් නෑ අවසානයේ යෝනි මාර්ගයක ධාතු පහවීම සිද්ද වුනොත් ඒක ස්වභාවිකයි. ඊට කලින් මොන විපරීතයක් වුනත් අදාල නෑ. එහෙම මෝචනය වෙන්න කලින් එලියට ගන්න කෙනෙක් හරි නැත්තං කොපුවක් පළඳින කෙනෙක් හරි මේ අනුව විපරීතයෙක් වෙනවා. මේ තර්කය අනුව බිරිඳට පහර දීමෙන් තමන්ගේ ආශාව වැඩි කරගන්න සැමියෙක් හෝ අඩු වයස් දැරියක් දූෂනය කරන මිනිහෙක් සමහර විට ඊට වඩා ස්වභාවික වෙන්න පුළුවන්. මෙතනදි ස්වභාවිකත්වය තීරණය කරන්නෙ අවසාන ප්‍රතිඵලය දිහා බලලයි. ඒ කරා ළඟාවෙන මාවත අදාලම නෑ. බොහොමයක් ලිංගික ක්‍රියාවල අවසානය වෙන්නෙ සුරතාන්තයයි. ඒත් සුරතාන්තය කරා ළඟා වුනු විදිහෙන් නෙමෙයිද විපරීත බව විනිශ්චය කරන්නෙ?

විපරීතය ගැන සෙක්සොලොජිස්ට්ලගෙ දැක්ම හරිම ලේසියට හදාගත්ත එකක්. ඒක නිවැරදි වගේ පේන්නෙ ගැහැනියක් තුල සුරතාන්තයට පත්වෙන බොහොමයක් පිරිමි සාමාන්‍ය විදිහට ලිංගික ඇවිස්සීම ලබන නිසා විතරයි.