උන්මාද වූ ප්‍රේමාදරේ

මං අඳුරන කොල්ලෙක් ඉන්නවා. අවුරුදු විසි ගානයි. උගේ කෙල්ලට පන ඇරලා ලව්. කොයිවෙලාවෙත් ඉන්නෙ ෆෝන් එකේ. හම්බුකරන පඩියම වුනත් කෙල්ලට වියදම් කරනවා. පුදුම හදිස්සියක් තිබුනෙ මේ කෙල්ලව බැඳගන්න.
මං අයියෙ සීරියස් කරන්නෙ එකම එක කෙල්ලයි. අනිත් ඒවා නිකං චැට් කරනවා විතරයි. හැබැයි ඒ කෙල්ල වෙන කාගෙ හරි අතින්වත් අල්ලලා තිබුනොත් මට නං ඒකිව ආයිමත් වැඩක් නෑ. මොකටද අයියෙ එහෙම ගෑනු?
මූ මට කියල තියෙනවා.
ඔන්න එකපාරටම මූ දැනගත්තා කෙල්ලට තව කොල්ලෙක් ඉන්නවා කියල. ඌ බැඳපු එකෙක්. ඒත් අවුරුදු දෙකක් විතර තිබුන සම්බන්දයක්. මේක දැනගත්ත ගමන් කොල්ලා පරල වුනා.
මං ඕකිගෙ ඔක්කොම වීඩියෝ එලියට දානවා. වෙන එකෙක් බැඳලා යන්න පුළුවන්කමක් එයාට නෑ.
මූ දුක සිංදු අහ අහ වහසිබස් කිව්වා. දවස් ගනං නොකා නොබී හිටියා. සැරින් සැරේට කෙල්ලට කෝල් අරන් කුනුහරුපෙන් බැන්නා. කෙල්ල එහා පැත්තෙ ඉඳන් අඬනවා.

කොහොම හරි ආපහු අර කෙල්ල මූ එක්ක යාලු වුනා. මූ ගෙදරටත් ගියා. හම්බුකරපු සල්ලි ඔක්කොම වියදම් කරලා කෙල්ලගෙ උපන්දිනෙත් ගත්තා. දැන් ඔන්න බඳින්න ඔන්න මෙන්න.

එකපාරට මූට ආයිමත් අහුවුනා කෙල්ල අර අනිත් කොල්ලට මැසේජ් කරනවා. ඒ ෆෝන් එකත් ඒ කොල්ලා අරන් දීපු එකක්. මූට යක්ෂාවේශ වුනා. කෙල්ලගෙ ගෙදරට කඩාගෙන බිඳගෙන ගිහින් කෙල්ලට ගහන්න පටන් ගත්තා.

මං මෙහෙම මෙහෙම ඇනගෙන ඇනගෙන ගියෙ. ආයි මරනවා ඕකිව..
කෙල්ල ගුටිකකා අර කොල්ලට ටෙක්ස්ට් කරනවා.

මට මූ එක්ක ඉන්න බෑ. මූ මාව මරනවා සුදු..

කොහොම හරි කෙල්ලට සිහිනැති වුනාම මූ පැනලා ඇවිත්.
සිහිය ආපු ගමන් කෙල්ල පැනලා ගිහින්.

මං ඕකිව කොහොම හරි බඳිනවා.
බැඳලා මට කරපු විනාසෙට ඕකිගෙ ජීවිතෙන්ම පලිගන්නවා. 

මූ පිස්සුවෙන් වගේ දඟලනවා.

ඉතිං බං උඹ ඕක අතෑරලා වෙන කෙල්ලෙක් හොයාගනිංකො.
මං ඌට කිව්වා.

එහෙම බෑ අයියෙ. මං ඕකිට කොයිතරං වියදං කරලා තියෙනවද?
මට ඕකම මරාගෙන මැරෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.

පව්.. ඌ ඒකිට බොක්කෙන්ම ලව්.. උගේ යාලුවො කියන්නෙ එහෙමයි.
ඌ සිරා ප්‍රේමවන්තයෙක් නිසයි මේ දුක කියල. 

ඒත් ඇත්තටම මේකට කියන්නෙ ආදරේද? එකිනෙකාගෙන් පලිගන්න, එකිනෙකාට රිද්දන්න, රිද්දගන්න කරගෙන යන ඇබ්බැහියක් නෙමෙයිද? අපි ආදර කතා කියලා අහන බහුතරයක් මේ වගේ ලෙඩ නෙමෙයිද?
දැන් මෙතන මේ කෙල්ල වැරදිද? ඒ කෙල්ලගෙ කතාව ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ කොල්ලගෙ කතාව විතරයි. ඒ කොල්ලගෙ කතාව ඇතුලෙත් අපි ඌ කරන බලහත්කාරයක් දකිනවා. ආදරය ගැන ඉමෝෂනල් කතන්දර බැහැර කළහම මනුස්සයෙක් තව මනුස්සයෙකුගෙ තීරන ගැනීමේ නිදහසට බාධා කරමින් ඉන්නවා. අපි ආදරේ නමින් බලහත්කාරයක් සාධාරනීකරනය කරමින් ඉන්නවා.

ආදරේ කියන්නෙ නිදහස. ආදරේ කියන්නෙ සතුට. ආදරය කියන්නෙ සමහර වෙලාවට අත්හැරීම. ජීවිත විනාස කරන ආවේගකාරී පිස්සුවලට ආදරේ කියන්නෙ නෑ. ඒකට කියන්නෙ උන්මාදය.

Comments

  1. keshan gunasekara Avatar
    keshan gunasekara

    emotional kalla atharala baladdi partner ge nidahasata api badawak welanan,karalalanan eka patta unfair.nidahasa kiyana matter eka athule api asarana wena ekama thana emotional kotasa

  2. මයන්න(ම) Avatar
    මයන්න(ම)

    මේ ලියවිල්ල අමු වැඩි ද මන්දා, ඕකේ තියන facts ඔයිට වඩා හොදට කියන්න තිබ්බ ධ කොහෙද? බලහත්කාරකම සාධාරණීකරණය නොකර ආදරය කරන එක උපකල්පනය කරන්න වත් බැරි නිකන්ම වචන ටිකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *