කාමසූත්‍ර කියවන්න පටන්ගමු.

කාමසූත්‍රයට පෙරවදනක්.

ගැහැණිය සහ පිරිමියා ලොව මවන ලද බ්‍රහ්ම විසින් ධර්ම, අර්ථ සහ කාම යන අංශයන්හි ඔවුන් විසින් පිළිපැදිය යුතු කාරණා සියක් දහසක් පරිච්ඡේදයන් හැටියට ගෙනහැර දක්වන ලදී. මේවායින් ධර්ම විෂයෙහි කාරණා ස්වයංභූ මනු විසින්ද, අර්ථ විෂයෙහි කාරණා බ්‍රහස්පති විසින්ද කාම විෂයෙහි කාරණා මහාදේවයන්ගේ අනුගාමික වූ නන්දි විසින්ද දහසක් පරිච්ඡේදයන් හැටියට ලියා තබන ලදී. 

පසුව මෙම කාම විෂයෙහි දහසක් පරිච්ඡේදයන් උද්වාලකගේ පුත්‍ර ශ්වේතකේතු විසින් කෙටිකොට පන්සියයක් පරිච්ඡේද හැටියට ලියා තැබිනි. එතැනින් පංචාල දේශයෙහි බභරව්‍ය විසින් පරිච්ඡේද එකසිය පනහකට සංක්‍ෂිප්ත කෙරින. මෙම එකසිය පනහ නැවත කොටස් හතකට බෙදන ලදී.


1. සාධාරන – සාමාන්‍ය කාරණා

2. සම්ප්‍රයෝගිකා – වැළඳගැනීම් ආදිය

3. කාම සම්ප්‍රයුක්ත – ස්ත්‍රී පුරුෂ සම්භෝගය

4. භාර්යාධිකාරිකා – තමන්ගේ බිරිඳ සම්බන්ධ

5. පරාධාරිකා – අනුන්ගේ බිරින්දන් සම්බන්ධ

6. වෛශික – වෛශ්‍යාවන් සම්බන්ධ

7. ඕපාමිෂාධිකා – අනුරාගී පෙළඹවීම සහ ප්‍රතිකර්ම සම්බන්ධ

මෙහි සයවන කොටස පාටලීපුත්‍රයෙහි විසූ නගරශෝභනියන්ගේ ඉල්ලීම මත දත්තක විසින් නැවත වෙන්කොට ලියා තැබීය. එබඳුවම පළමු කොටස චරායන විසින් වෙන් කොට ලියා තැබීය. ඉතිරි කොටස් පිලිවෙලින් පහල අය විසින් වෙන් වෙන් වශයෙන් ලියා තැබීය.

දෙවන කොටස -සුවර්නානභ

තෙවන කොටස- ඝෝතකාමුඛ

සිව්වන කොටස – ගෝනාර්ධිය

පස්වන කොටස – ඝෝනිකපුත්‍ර

සත්වන කොටස- කුචුමාර

මෙසේ කොටස් වෙන වෙන කර්තෘන් විසින් වෙන් වෙන් වශයෙන් ලියාතබන ලද හෙයින් ඒවායින් ලැබෙන සමස්ත අර්ථය වටහාගැනීම දුෂ්කර විය. එකිනෙක කොටස් අතර සම්බන්ධය ගිලිහී යන ලදී. එමෙන්ම බභරව්‍ය විසින් දීර්ඝ වශයෙන් ලියාතබන ලද මුල් කෘතිය පරිශීලනයද දුෂ්කර කාරණාවක් විය. එබැවින් වාතස්‍යාන විසින් පෙරකී  කර්තෘන් සත් දෙනාගේ කෘතීන් අධ්‍යනය කිරීමෙන් ඒ සතම සංක්ෂිප්ත කොට කාමසූත්‍ර ලියා තබන ලදී.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *