Category: Uncategorized

  • ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය

    ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය

    මෙය වසර 400 ක් පුරා “ඔඩිසි” (The Odyssey) කාව්‍යයේ සිංහල පරිවර්තන සහ එහි පැවති ස්ත්‍රී පුරුෂ පක්ෂපාතීත්වය පිළිබඳ එමිලි විල්සන්ගේ (Emily Wilson) විප්ලවීය පරිවර්තනය ඇසුරින් සැකසුණු ලිපියේ සිංහල අනුවාදයයි:

    “වසර 400 ක් පුරා පිරිමින් ‘ඔඩිසි’ පරිවර්තනය කළා — ඔවුන් ඒ හැමෝම එක දෙයක් රහසින් වෙනස් කළා: ඒ ස්ත්‍රීන්වයි.”

    හෝමර්ගේ මෙම වීර කාව්‍යයේ සෑම ඉංග්‍රීසි පරිවර්තනයක්ම සිදු කළේ පිරිමින් විසිනි. චැප්මන්, පෝප්, ෆිට්ස්ජෙරල්ඩ්, ලැටිමෝර්, ෆේගල්ස් — ඔවුන් සියල්ලෝම දක්ෂ විද්වතුන් විය. නමුත් 2017 දී අසාමාන්‍ය දෙයක් සිදු විය.

    එමිලි විල්සන් ඉතිහාසයේ ප්‍රථම වතාවට “ඔඩිසි” කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ කාන්තාව බවට පත් වූවාය. ඇගේ කෘතිය එළිදැක්වුණු මොහොතේම පාඨකයින් කම්පනයට පත් කරවන සත්‍යයක් වටහා ගත්හ: අපි වසර 400 ක් තිස්සේ කියවා ඇත්තේ මුසාවක් බවය.

    1. “පොලිට්‍රොපොස්” (Polytropos) – වීරයාගේ සැබෑ ස්වරූපය

    හෝමර් තම වීරයා වන ඔඩිසියස්ව හැඳින්වීමට භාවිතා කරන මුල්ම වචනය මෙයයි. සෑම පිරිමි පරිවර්තකයෙකුම ඔහුව හැඳින්වූයේ “සම්පත්දායක,” “බහුවිධ දක්ෂතා ඇති” හෝ “බුද්ධිමත්” ලෙසයි. එමඟින් ඔහු උදාර වීරයෙකු ලෙස චිත්‍රණය විය.

    නමුත් එමිලි විල්සන් එය පරිවර්තනය කළේ “සංකීර්ණ” (Complicated) යනුවෙනි. ඒ එක වචනයෙන් සියල්ල වෙනස් විය. ඔඩිසියස් යනු පරිපූර්ණ වීරයෙකු නොවේ; ඔහු සදාචාරාත්මකව ගැටලු සහගත, බොරුකාරයෙකු සහ තමාගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පුද්ගලයෙකි. හෝමර් ඇත්තටම ලිව්වේ එයයි. නමුත් වීරයන් සැමවිටම උදාර විය යුතු යැයි සිතූ පරිවර්තකයෝ වසර 400 ක් තිස්සේ එය මකා දැමූහ.

    2. වහල් ස්ත්‍රීන් සහ මනුෂ්‍යත්වය

    ඔඩිසියස් වසර 20 කට පසු තම මාලිගාවට පැමිණි විට, එහි සිටි වහල් ස්ත්‍රීන් කිහිප දෙනෙකු ආක්‍රමණිකයන් අතින් දූෂණය වී ඇති බව දැනගනී. ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඔවුන් සියල්ලන්වම එල්ලා මැරීමයි.

    හෝමර් මේ කාන්තාවන් හැඳින්වීමට “dmôai” යන ග්‍රීක වචනය භාවිතා කළේය. එහි තේරුම “වහලුන්” යන්නයි. නමුත් පිරිමි පරිවර්තකයින්ට එය දිරවා ගැනීමට නොහැකි විය. ඔවුන් එය මෙසේ වෙනස් කළහ:

    • ජෝර්ජ් චැප්මන් (1614): “ද්‍රෝහී සේවිකාවන්”
    • ඇලෙක්සැන්ඩර් පෝප් (1725): “වැරදිකාර සේවිකාවන්”
    • රොබට් ෆිට්ස්ජෙරල්ඩ් (1961): “ආක්‍රමණිකයන් සමඟ පෙම් කළ ස්ත්‍රීන්”

    මෙම පරිවර්තන මඟින් හැඟවෙන්නේ එම ස්ත්‍රීන් ස්වකැමැත්තෙන් ලිංගිකව හැසිරුණු බවත්, ඔවුන් මරණයට සුදුසු වැරදිකරුවන් බවත්ය. නමුත් විල්සන් නිවැරදි ග්‍රීක අර්ථය ලබා දුන්නාය: “වහලුන්.” එවිට එම දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එය සාධාරණ යුක්තියක් නොව, කිසිදු බලයක් නොතිබූ, දූෂණයට ලක්වූ වහල් ස්ත්‍රීන් පිරිසක් ඔඩිසියස් විසින් ඝාතනය කිරීමකි.

    3. පෙන්ලොප්: උපායශීලී බිරිඳ

    මීට පෙර පරිවර්තකයන් ඔඩිසියස්ගේ බිරිඳ වන පෙන්ලොප්ව නිරූපණය කළේ නිහඬව දුක් විඳින, පතිවෘත්තාව රකින, නිෂ්ක්‍රීය කාන්තාවක ලෙසයි. නමුත් හෝමර් ඇයව හඳුන්වන්නේ “periphron” ලෙසයි. එහි තේරුම “උපායශීලී” හෝ “බුද්ධිමත්” යන්නයි.

    විල්සන්ගේ පෙන්ලොප් යනු බලා සිටින්නියක් පමණක් නොවේ; ඇය දේශපාලනිකව කටයුතු කරන, තොරතුරු රැස් කරන, තමාව ආරක්ෂා කර ගැනීමට සැලසුම් සකස් කරන චරිතයකි.

    4. කැලිප්සෝ: ආදරවන්තියකද? සිරකරන්නියකද?

    කැලිප්සෝ නම් දෙවඟන ඔඩිසියස්ව වසර හතක් තම දූපතේ රඳවා තබා ගනී. ග්‍රීක වචනය “katechein” යන්නයි—එහි අර්ථය “සිරකර තැබීම” හෝ “නතර කර තැබීම” යන්නයි.

    නමුත් පිරිමි පරිවර්තකයන් ලියා ඇත්තේ ඇය ඔහුට “ආදරය කළ” බවත්, එය “ප්‍රේම සම්බන්ධයක්” බවත්ය. විල්සන් සැබෑව පරිවර්තනය කළාය: කැලිප්සෝ ඔහුව “සිරකර තබා ගත්තාය.” එය රොමෑන්තික කතාවක් නොව, ස්ත්‍රී පුරුෂ භූමිකාවන් මාරු වූ ලිංගික බලහත්කාරකමක් සහ සිරගත කිරීමකි.

    නිගමනය: හෝමර්ව “වික්ටෝරියානු” ග්‍රහණයෙන් මුදා ගැනීම

    පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය මහාචාර්යවරියක වන එමිලි විල්සන් කළේ නවීකරණය කිරීමක් නොව, “පැරණි පක්ෂපාතීත්වයන් ඉවත් කිරීමයි.” ඇතැම් විචාරකයින් ඇයට චෝදනා කළේ ස්ත්‍රීවාදී අදහස් ඇතුළත් කරන බවටයි. ඇගේ පිළිතුර සරල විය: “මුල් ග්‍රීක පිටපත කියවන්න.”

    ඇය කළේ පිරිමි පරිවර්තකයින් විසින් සියවස් ගණනාවක් පුරා තැන්පත් කළ පීතෘමූලික මතවාදයන් ඉවත් කර, හෝමර්ගේ මුල් වචනවලට හුස්ම ගැනීමට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලය වූයේ වඩාත් අවංක, වඩාත් තියුණු සහ සදාචාරාත්මකව අභියෝගාත්මක “ඔඩිසි” කාව්‍යයකි.

    වසර 400 කට පසු, අපට අවසානයේ හෝමර් සැබවින්ම අදහස් කළ දේ කියවීමට අවස්ථාව ලැබී ඇත

    (ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්තන කරන ලද්දකි)

     

  • ඇයි ස්ටෙෆනිට බයද?

    ඇයි ස්ටෙෆනිට බයද?

    ස්ටෙෆනි සිරිවර්ධනව බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා. ඒක ඇත්ත නම් මේ රජය පැත්තෙන් ගත්ත ඉතාම හොඳ තීන්දුවක්. ඇත්තටම මේ ආන්ඩුවට මගේ තියෙන ප්‍රධානතම චෝදනාවක් වෙන්නෙ රටේ ජීවිතවලින් ශෘංගාරය අහිමි කිරීම කියන කාරණය. මේ පත්කිරීම ගැන කතාව මාව පුදුමයට පත්කලේ ඒ හින්දමයි.

    බොහෝ පැරණි අදහස්ධාරීන් මෙතනදි ස්ටෙෆනිගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනයි, ඇගේ බිකිනිය ගැනයි ප්‍රශ්න කරනවා දකින්න තියෙනවා. ඇත්තටම ඒ හේතූන්ම තමයි ස්ටෙෆනි වගේ වසගකාරී ගැහැණියක් සිරගෙදර නිරීක්ෂණයට සුදුසුම. ඇත්තටම ඒක ඇත්ත නම් රැඩිකල් පත්කිරීමක්.

    හිරගෙයක් කියන්නෙ හරිම ආතතිකාරී පරිසරයක්. විශේෂයෙන් පිරිමි රැදෙවියන් සිටින කොටස් බලය, ශක්තිය මත දිවෙන අසහනකාරී කලාප. හිර කුටියක යමෙක් කූඩු කිරීම හරහා අපි කරන්නෙ නිල වශයෙන් ආශාව නැතහොත් ජීවිතයේ ශෘංගාර කලාපය තහනම් කිරීම. සෙක්ස් කියන එක බලහත්කාරීව අත්හිටුවනවා. විෂමලිංගික දැක්මකින් නිර්මාණය වුනු මේ දඩුවම් කඳවුරු සංකල්පයේදී සමලිංගිකත්වය ගැන සවිඥානකත්වයක් තිබුනෙ නෑ. ඒ නිසා ස්වභාවයෙන්ම සමලිංගික අය වගේම වෙනත් විකල්පයක් නොමැති තැනදි සමලිංගික වෙන අය වශයෙන් සමස්තර හිරගෙවල් ආකෘතියම සමලිංගිකත්වයට නතු වෙනවා. බලය පිළිබඳ ප්‍රකාශනයක් විදිහටත් මේ සමලිංගික රමණය/දූෂනය පවතිනවා.

    ස්ටෙෆනි කියන්නෙ අනුරාගික ස්ත්‍රියක්. වසගයක්. ආශාවක්. සෙලිබ්‍රි‍ටි කෙනෙක් නොහොත් අතිරික්තයක්. මේ වගේ කෙනෙක් හිරගෙයක් නිරීක්ෂණයට යනවා කියන්නෙම අතිශය හිගය පවතින තැනක විශාල වෙනසක් ඇති කරන තත්වයක් වෙනවා. බලය වෙනුවට වසගය පාවිච්චි කිරීමක් වෙනවා.

    පිරිමි සිරගෙවල් විශේෂයෙන් සැලකුවොත් ස්ටෙෆනි කියන්නෙම ලිංගික ආතතිය සමනය කරන්නක් වෙනවා. අනුරාගික ස්ත්‍රීන් හමුවේ පිරිමින් මෘදු වෙනවා. ප්‍රචන්ඩත්වය අවම වෙනවා. ඒ වගේම පොදු කාරණයක් විදිහට මෙවන් තරු පංතියේ කාන්තාවක් තමන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීම ගැන ඒ අයට වටිනාකමක් දැනෙනවා. මෙච්චර කාලයක් නිල ඇදුම්, නිලධාරි බලය, අධිකාරිය, පාලනය මත මෙහෙයවුනු බන්ධනාගාරය සාමාන්‍ය සමාජයේ ආකර්ශනීය, ආදරනීය කාන්තාවකගේ නිරික්ෂණයට ලක්වෙනවා.

    ස්ටෙෆනි වගේ කෙනෙකුගේ පිටස්තරභාවය නිස‍ාම, එයාගෙ අතිරික්ත ජීවිතය නිසාම හිරගෙදරක හිරවුනු මිනිස්සුන්ගෙ අවුල ගැන සංවේදීබවත් වැඩිවෙන්න පුළුවන්. එයාගෙ නිරීක්ෂණය අනිවාර්යෙන්ම බන්ධනාගාරවල පුහුණු අධිකාරීන්ට වඩා වෙනස්. වැදගත් කාරණය වන්නේ මේ නිරීක්ෂණයට රැදෙවියන් වගේම නිලධාරීනුත් අයිති වෙනවා. තමන්ව මෙවන් තරු ගැහැණියක් විසින් නිරීක්ෂණය කරනවා කියන හැගීම ඒ අයගෙ නිලධරවාදී ආකෘතියට අභියෝග කරන ආශාවාදී එළඹුමක් වෙනවා. එතනදි ස්ටෙෆනි කියන්නෙ අනුරාග අවියක්.

    සිහිතබා ගත යුතු කාරණය වන්නේ මේ නිරීක්ෂණයක් මිස අධීක්ෂණයක් නොවන වගයි. නිරීක්ෂණයකදි වඩා වැදගත් වන්නේ උපරිම නිදහස්භාවයකින්, සංවේදීබවකින් දේවල් දැකීමයි. එතනදි පුහුණු කෙනෙකුට වඩා නුපුහුණු කෙනෙකුගේ දැක්ම විවෘතයි.

    ස්ටෙෆනීගේ පත්වීම ප්‍රශ්න කරන සාම්ප්‍රදායික අය බොහොමයක් මතු කරන්නෙ ප්‍රධාන කාරණා තුනක්. තාර්කිකත්වය, සහතිකලත්භාවය, සහ පද්ධතිය නොහොත් ක්‍රියාවලිය කියල කියන්න පුළුවන්. නමුත් මෙතනදි ස්ටෙෆනි යොදාගැනීම මේ සාම්ප්‍රදායික එළඹුමට සහමුලින්ම විකල්ප එළඹුමක් යෝජනා කරනවා. ඒ තමයි ආශාව, කැරිස්මාව, ශරීරය සහ බලපෑම කියන කාරණා. ඒක පාලනයේ ආකෘතිය වෙනස් කරන යෝජනාවක්.

    ඉතින් අහන්න තියෙන්නෙ ස්ටෙෆනි නරකද කියලා නෙමෙයි,

    ඇයි ස්ටෙෆනිට බයද?

  • ඩඩ්ලිගේ ශෘංගාරය

    ඩඩ්ලිගේ ශෘංගාරය

    ඩඩ්ලි සිරිසේන ලොකු ගානක ලිමිටඩ් එඩිෂන් වර්ගයේ වාහනයක් අරගෙන. මේ ගැන විවිධ අය විවිධාකාරයේ පෝස්ට් ලියලා තිබුන. සමහරු අහලා තිබුනා ඩඩ්ලි මේ වාහනය පදින එකෙන් පොලොන්නරුවෙ ගොවියන්ට මොනවද ලැබෙන්නෙ කියල. කොහොම හරි ඒ ගොඩක් කතාවල  ඩඩ්ලි මේ වාහනය පදින එක ගැන අවුලක් තිබුන.

    මේ අවුල එන්නෙ කොහොමද?

    හොඳට බැලුවොත් මේක මූලිකවම එන්නෙ ඉරිසියාව කියන තැනින්.

    ‘පිස්සුද? මට සල්ලි තිබුනත් මං ඔහොම එකක් ගන්නෙ නෑ’ කියල කෙනෙක් කියන්න පුළුවන්. ඔව්, අපි නොගත්තත් ඩඩ්ලි ගත්ත එක ගැනයි ඉරිසියාව. මොකද ඩඩ්ලි ආස දේ ඩඩ්ලි අරන් තියෙනවා. ඒ ආසාවේ අතිරික්තයක් බුක්ති විදීම ගැනයි මේ අවුල එන්නෙ.

    ඩඩ්ලිගේ වාහනය සහ අපේ ආශාව තේරුම් ගන්න හොඳම තැන තමයි ජෝර්ජ් බටායි. බටායි මේක විස්තර කරන්නෙ ‘සේක්රඩ් එක්සස්’ නැත්නම් ශුද්ධ වූ අතිරික්තයක් විදිහට.‍ බටායිගෙ ආර්ථිකය ගැන අදහස වුනේ අපි සදාචාරාත්මකව නාස්තියක් විදිහට දකින අතිරික්තය ආර්තිකයට,  ජීවිතයට සහ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත් කියන එකයි.

    ඩඩ්ලිගේ වාහනය ගත්තොත් ඒකෙ මුදල්මය වටිනාකම එන්නෙ සංකේතාත්මකව. සිම්බොලික් වටිනාකමක් විදිහට. ඒක හරියට ටෝකන් එකක් වගේ. ඩඩ්ලිගේ ආශාව ඒ සීමිත වර්ගයේ වාහනයක් දක්වා ඉහළ යනවා. ඒ ආශාවේ ඉහල යාමට අනුපාතිකව ඩඩ්ලිගේ ඉපැයීම් ඉහල යනවා. ඩඩ්ලි ලංකාවෙ ඉඳන් ඒ ඉපැයීම් ඉහල නංවනවා කියන්නෙ ඒ වෙනුවෙන් තව බොහෝ පිරිසක් වැඩ කරන්න ඕන වෙනවා. ඒ කියන්නෙ  බොහෝ පිරිසක් රැකියා කරන, තම තමන්ගේ පවුල් නඩත්තු කරන ආර්ථිකයක් නිර්මාණය වෙනවා. ඩඩ්ලිට අර වගේ සංකේතාත්මක ආසාවක් තිබුනෙ නැත්තං රජයේ රස්සාවක් කරගෙන මාසෙ පඩියෙන් ජීවත් වෙනවා.

    අපිට ධනවාදී වේවා සමාජවාදී වේවා ආර්ථිකය ගැන පොදුවේ තියෙන්නෙ මෙන්න මේ වගේ අදහසක්. උපයනවා, ඉතුරු කරනවා, පුළුවන් නම් ආයෝජනය කරනවා, වර්ධනය කරනවා, හැකිතාක් කාර්යක්ෂම වෙනවා, රිපීට්. මේ චක්‍රය නැවත නැවත කරකවනවා. මේ ක්‍රමයට අනුව නාස්තිය කියන්නෙ දෝෂයක්. අතිරික්තය කියන්නෙ පාපයක්. සුඛෝපභෝගීත්වය කියන්නෙ සැක කළ යුතු තත්වයක්.

    බටායිගේ ආර්ථික දර්ශනය වෙනස්. එයා කියන්නෙ අපි කොහොමත් අපිට ඵලදායීව පාවිච්චි කළ හැකි පමණට වඩා අතිරික්තයක් නිෂ්පාදනය කරනවා. මේ අතිරික්තය නාස්ති නොකලොත් ඒක ප්‍රචන්ඩත්වය, යුද්ධය , අර්බුද ඇති කරන තත්වයන් දක්වා ගමන් කරනවා. ඔය පන්සල් හදන්නෙ, පිළිම හදන්නෙ, මහා පූජා පවත්වන්නෙ මේ ශුද්ධ වූ   නාස්තිය වෙනුවෙන් තමයි. ඒක අපි මහා යාගයන් විදිහට ඈත අතීතයේ පටන්ම පාවිච්චි කරපු සංස්කෘතියක්. ඒකෙම ලෞකික වර්ෂන් එක තමයි ඩඩ්ලිගෙ කාර් එක.

    බටායි කියන්නෙ සුඛෝපභෝගීත්වය ‘සේක්‍රඩ් වේස්ට්’ එකක් කියල. මෙතනදි උත්සව පැවැත්වීම, සැණකෙලි, පාර්ටි, ආර්ට්, පූජා, තෑගි දීම්, කැසිනෝ විශේෂයෙන් ශෘංගාරය කියන කලාපය අයිති වෙනවා. ඒවායින් අරමුණු කරන්නේ ලාභයක් නෙමෙයි. අතිරික්තය පුළුස්සා දැමීමක්.

    මේක සමාජයට තේරුම් ගන්න අමාරුයි. මේ මුදල් අර්ථවත්ව ඵලදායීව පාවිච්චි කරන්න ඕන කියල මිත්‍යාවක තමයි ජනතාව ඉන්නෙ. හැබැයි මේ අතිරික්තය තමයි අපිට කියන්නෙ ජීවිතය කියන්නෙ යන්තම් ගැටගසා යුතු දෙයක් නෙමෙයි කියල. ඒක උපරිමයෙන් විඳිය යුතුයි කියල. ආර්ථිකය කියන්නෙ ඵලදායිතාව විතරක් නෙමෙයි කියල. ආශාව කියන්නෙ තාර්කික දෙයක් නෙමෙයි කියල.

    ඕනෑම අතිරික්තයක් විසින් ප්‍රකට කරනවා විශාල නිදහසක්. ඒක ස්වාධීනත්වය එක්ක බැදුනු දෙයක්. තමන් අනාගත ලාභයන් ගැන හෝ, මිනිස්සු තමන් ගැන හිතන්නෙ කොහොමද කියන එක ගැන හෝ තවදුරටත් වද වෙන්නෙ නෑ කියල ඩඩ්ලි කාර් එක පැදගෙන යමින් කියනවා.

    ඉතින් මේ කාර් එක කියන්නෙ ගමනාගමනය සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වඩා ප්‍රයෝජනවත් වීම හෝ යහපත් වීම ගැන කාරණයක් නෙමෙයි. ඒක තමන්ගේ අතිරික්තය දහනය කිරීම පිළිබඳ යාතුකර්මයක්. රිචුවල් එකක්.

    ඒ හින්ද ලක්ෂරි කාර් එකක් අපි දකින කොට අපි ‍මතක තියාගන්න ඕන. මේ නාස්තියක් නෙමෙයි.  සමාජය පාලනය කළ නොහැකි ප්‍රචන්ඩත්වයෙන්, විනාශයෙන් ආරක්ෂා කරන සංකේතාත්මක  පූජාවක්. මට සල්ලි හම්බුනොත් මං ඩඩ්ලි වගේ කාර් එකක් ගන්න එකක් නෑ. චිත්‍රපටියක් හදයි. හැබැයි ඩඩ්ලිගේ කාර් එකයි, මගේ චිත්‍රපටියයි අතර මට උස් පහත් වෙනසක් නෑ. දෙකම අතිරික්තය දැල්වෙන තැන්.

     

  • සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ

    සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ

    අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්. ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්.

    එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන බුවෙක්.

    ‘දැක්කනෙ.. සල්ලි තමයි.. සල්ලි තියෙනවා නම් නාකි වුනත් ගින්දර වගේ කෙල්ලො ඉන්නවා’
    මේ කතාවට මට හිනා ගියා.
    ‘පිස්සුද බං? ඕන තරං කෙල්ලො ඉන්නවා නාකි මිනිස්සුන්ට ආස. සල්ලිවලට ආස අයත් ඇති. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක වගේම වැඩිමල් මනුස්සයෙක් එක්කත් වෙනම ආතල් එකක් තියෙනවා’
    මං ඌට පැහැදිලි කරන්න හැදුවා.

    ‘පිස්සු කතා කරනවා. මොකක්ද වෙනස? මොකක්ද වෙනස කියන්නකො? නගින්නෙවත් නැති වයසෙ උන් එක්ක සල්ලි මිස වෙන මොන ආතල්ද?’
    ඌ මට අභීයෝග කළා.

    ‘නෑ මචං. උඹ දන්නෙ එච්චර වුනාට ඔය පයිය කෙලින් කරගෙන දාලා හොල්ලනවට වඩා සෙක්ස්වල තව ඕන තරම් ආතල් තියෙනවා. ඕකට වඩා කොච්චර දේවල් කරන්න පුළුවන්ද දිවෙන්?’
    මං හොඳටම දන්න කාරණයක් කිව්වා.

    “බම්බුව. පයිය කෙලින් කරගන්න බැරි උන් කියන කතා ඕවා. අර පයිය තියාගෙන ඇට දෙකෙන් ගහනවා කියන්නෙ’’ ඌ දිව දැමීම සම්බන්දෙන් ඉතාම අපහසුතාවයකින් පෙළෙනවා කියලා මට දැනුනා.

    ඌ මගේ කණට ළංවුනා. මට රහසක් කිව්වා.
    ‘සෙක්ස් කරන්න සොබා ධර්මෙන් දීලා තියෙන්නෙ මේක (පයිය). ඒකෙන් කරාමයි ළමයෙක් හරි හදාගන්න පුළුවන්. මොකෝ ඔය නාකි එක්ක ගිහින් ළමයෙක්වත් හදාගන්න කියලද?’

    ‘හෝව් හෝව්.. සෙක්ස් කරන එකයි ළමයි හදන එකයි දෙකක්නෙ. මොකටද බං ළමයි හදන්නෙ? අපි ට්‍රයි කරන්නෙම ළමයි හැදෙන්නෙ නැති විදිහට කරන්‍නනෙ’
    මං ඉතිං මගේ විදිහ කිව්වා.

    ‘ළමයි හදන්නෙ නැතුව මොන ජීවිතයක්ද? කසාදයක් බඳිනවා කියන්නෙ ළමයෙක් දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන එකට. ආසාවල් පිරිමහන්න එකඑකා පස්සෙ යන උන්ට ජීවිතයක් නෑ’

    අපි එකඑක්කෙනා ජීවිතේ කියල හිතන දේ මොනතරම් වෙනස්ද කියල මට හිතුන. ජීවිතේ කියන්නෙ තමන් ගත කරන දේටමයි එයින් පිට ජීවිතයක් නොපවතී කියල විශ්වාස කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. මං ඉස්සරහ ඉන්නෙ ඒ වගේ මිනිහෙක්.

    ‘ දැන් උඹම කල්පනා කරලා බලපං. මේ හොම්බෙන් ගිය රටක ඉඳගෙන තව ළමයි හදන්න ඕන කියන්නෙ මොන ගොනාද?’ මං උගෙන් ඇහුවෙ තව දැනගන්න.

    ‘රටට කෙළවුනේ අපි හින්ද නෙමෙයිනෙ. දේශපාලකයො හොරකම් කරපු හින්ද’ ඌ පැනපු ගමන් ජවිපෙ පහරක් එල්ල කළා..

    ‘ඇයි එත‍කොට උඹලා වගේ හිතන උන් පෝලිමට ළමයි හදලා, ඒ ළමයින්ට නිකං උගන්නන්න, උන්ට ආන්ඩුවෙ රස්සා දෙන්න, ලෙඩ වුනාම ඉස්පිරිතාලවල නිකං බෙහෙත් දෙන්න ආන්ඩුවෙ සල්ලි වියදම් වෙන්නෙ නැද්ද?’

    ‘ඉතිං ඉතිං ඒවටනෙ අපි බදු ගෙවන්නෙ. අපි කන බොන හැමදේකින්ම අපි බදු ගෙවනවනෙ’ ජිම් යාලුවා උජාරුවෙන් උත්තර දුන්නා.

    ‘ඉතිං බං ඔය බදු ඇති නං ණය වෙන්නෙ මොකටද?’

    ‘ඒක තමයි කියන්නෙ, දේශපාලකයො හොරකම් කරන හින්ද කියල’

    මං යාලුවා ළගට ගියා,
    ‘මචං ලංකාවෙ ලොකුවටම හොරකම් කළා කියන රාජපක්ෂ හොරකම් කලෙත් ඌටම නෙමෙයි, උගේ ළමයි තුන්දෙනාට. ඔය හොරකම් කරන දේශපාලකයො හොරකම් කරන්නෙත් උඹලා වගේම උන්ගෙ ළමයි හොඳට තියන්න. කන්න අඳින්නත් නැතුව ඉන්න අතරෙ ළමයි හදන පවුලක මිනිහෙකුට හොරකමක් නොකර ජීවත් වෙන්න බැරි වෙනවා. උන් තමයි දේශපාලකයො ළගට ගිහින් මොකක් හරි ගානක් කපා ගන්න පුළුවන් ඕන කුජීත වැඩකට සෙට්වෙන්නෙ’’’

    මං තේරුම් කරන්න හැදුවා. ඒත්,
    ‘එතකොට ඔයා කියන්නෙ දේශපාලකයො හොරකම් කරන්නෙ නෑ කියලද?’
    දේශපාලකයා විසින්ම තමන් අමාරුවෙ දැම්මා කියල තමන් නිදහස් වීමේ දැඩි උවමනාවක් රටේ ගොඩක් අයට වගේම මගේ යාලුවාටත් තිබුන.
    ‘නෑ මං කියන්නෙ දේශපාලකයො කියන්නෙත් උඹලමයි. උන් හොරකම් කරන්නෙ උඹලටත් එක්කයි. උන්ගෙ ළමයින්ටයි උඹලගෙ ළමයින්ටයි’’

    මං කියන කතාව ඌට කොහොමවත් තේරුම් කරන්න මට බැරි වුනා. මට එක වෙලාවකදි අමුතු කාරණයක් පෙනුනා. ඒ තමයි මගේ යාලුවට ආපස්සට හැරිලා තමන් දිහා බලන්න හැකියාවක් නැති බව. ඌත් ළමයි ඉස්කෝලවලට දාගන්න දේශපාලකයො ළගට ගිය වග මං දන්නවා. චන්දවලට වැඩ කරලා උදව් ගත්ත වග මං දන්නවා. ඒත් ඒවා කරපු යාලුවයි, දැන් මං ඉස්සරහ කතා කරන යාලුවයි දෙන්නෙක්.

    මගේ යාලුවාව කුපිත කළේ අර කෙල්ල විසින් දැරූ අනුරාගයයි. ඒ නාකි සුද්දට ඇය ලැබීම ගැන ඇති වුනු ලිංගික ඉරිසියාවයි. තමන් සමාජයෙන් කියන විදිහට කසාදයක් බැඳගෙන ළමයි හදමින්, උන්ගෙ වැඩවලට නහිමින්, එකම ගැහැණියක් සමග ජීවිතය ගත කරන්න සිදුවීමේ කණස්සල්ල අර යුවළගේ සතුට දනවන ආශාව නලියන ජීවිතයට එරෙහිව මතුවුනා. මගේ යාලුවා බිරිඳට හොරෙන් යම් යම් කොටු පැනීම් කරන බව ෂුවර්. ඒත් ඌට ඒකෙ ශෘංගාරය, නිදහස කිසිදවසක විඳින්න ලැබෙන්නෙ නෑ. මගේ යාලුවාගෙ සියලු සදාචාර විනිශ්චයන් පදනම් වෙන්නෙ මේ තමන්‍ගේ ආශාව කිසිදවසක සාක්ෂාත් කරගත නොහැකි වීමේ අසහනය උඩයි.

    යාලුවාට සිද්ද වෙනවා තමන්ටම සනාථ කරගන්න අර යුවළට නැති ජීවිතයක් තමන්ට තියෙනවා කියල.
    ඒ ආඩම්බරය එයා ගන්නෙ සම්මතයෙන් නැත්තං සදාචාරෙන්. එතනදි ඌ‍ ඒ වෙනුවෙන් තමන්ට කරන්න සිද්ද වෙන හොරකම්, රැවටීම් සහ තක්කඩිකම් අමතක කරනවා.

    රටට කෙළවෙන්නෙ තමන් නිසා නෙමෙයි දේශපාලකයො නිසයි කියල හිතනවා. තමන්ට කෙළවෙන්නෙ ජීවිතේ විඳින අනිත් මිනිස්සු නිසා කියල හිතනවා.

    මේ වගේ මිනිස්සු එකතු වෙලා ගන්න තීරණවලින් රටක් වෙනස් වෙයි කියලා ඒ වගේ මිනිස්සුම ගොඩක් බලන් ඉන්නවා.

  • ඩයනා බය වුනේ කාටද?

    ඩයනා බය වුනේ කාටද?

    ඩයනා ගමගේ කංසා සම්බන්ධයෙන් ඉතාම ප්‍රගතිශීලී මැදිහත්වීමක් කරන කෙනෙක්. ඒ වගේම කාන්තාවක් විදිහට බය නැතුව මේ අදහස් මතු කරන එක විශේෂයෙන්ම අගය කරන්න ඕන. නමුත් ඩයනාගේ මේ පෙනී සිටීම් ගැන අපට මුල පටන් තිබුණු ප්‍රශ්නය වුනේ ඇය මේ කියන විවෘත නිදහස් සංස්කෘතිය සැබවින්ම දරනවාද කියන එකයි. කංසා නීතිගත කිරීම ලංකාවට ඉතාම අවශ්‍ය සාධනීය පියවරක් බව තරයේම විශ්වාස කරන අතර එවන් යෝජනාවක් ඉදිරිපත් කරන කාන්තාවක් හැටියට ඩයනා තවමත් පැරණි පුහු සදාචාරවාදී සංස්කෘතියම කරපින්නාගත් කෙනෙක් වීම අවාසනාවක් බවත් අපි විශ්වාස කරනවා.

    මේ ආකාරයෙන් ප්‍රගතිශීලී ඩයනාගේ සැඟවුනු කුහක සදාචාරය එලියට පැන්නේ මෑතක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි. එතනදි ඇයට කවුරුන් හෝ විසින් ඇය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා කළා යැයි චෝදනා කිරීමක් සම්බන්ධයෙන් කරුණු පළ කරනවා. ඩයනා කියන්නෙ තමන් කිසිසේත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය බවක් නොකී බවයි. සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ ප්‍රකාශය අපද දැක තිබුනු අතර එය ඩයනාගේ තවත් බය නැති පියවරක් හැටියෙන් විවිධ තැන්වල අගයන්නටද පසුබට වුනේ නෑ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මේ රටේ සෞඛ්‍යාරක්ෂාව සහ මිනිස් ආරක්ෂාව යන අංශ දෙකෙන්ම වැදගත් කාරණයක්. එමගින් ගණිකා වෘත්තිය නියාමනය කිරීමට හැකිවන අතරම සමාජ බෝවීමේ අවදානම අවම කරන ක්‍රියාවලීන් නීත්‍යානුකූලව ක්‍රියාවට නැගීමට හැකිවෙනවා. ඒ වගේම විවිධ කාරණා නිසා ලොව පැරණිතම වෘත්තියක් වන ගණිකා වෘත්තියට යොමුවන කාන්තාවන්ට නීතිමය ආකාරයෙන් ආරක්ෂාව සැලසිය හැකි වෙනවා. එමෙන්ම ඔවුන්ව ඇසුරු කරන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවටත් ඒක හේතු වෙනවා. එය ලංකාවේ රජයක් විසින් ක්‍රියාවට නැංවිය හැකි මානුෂිකම වෙනස්කම හැටියෙන් අපි විශ්වාස කරනවා.

    ඒ වගේම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මේක ආර්තික ව‍ශයෙන් බලපානවා. ඕනම රටකට ගිය කෙනෙක් ඒ රටට ආවේණික ආහාර මෙන්ම ලිංගිකත්වය රසය විඳිය යුතු බවයි අපේ විශ්වාසය. රටක් විඳිනවා කියන්නෙ එබඳු ඉන්ද්‍රියමය විඳීමකට. තායිලන්තයට ගිය කෙනෙක් දන්නවා මේ ලිංගික නිදහස කොයිතරම් ආකර්ශනීයද කියන වග. පාරාදීසය යැයි විරුදාවලී ලත් අපේ රට පාරාදීසයකට අවශ්‍යම වූ මත්වීමේ සහ ලිංගිකව හැසිරීමේ නිදහසින් සීමා වී තිබීම ඇත්තටම ඛේදජනකයි.

    ඒත් ඩයනා කියන්නේ තමන් එවැන්නක් නොකී බවයි. තමා පැවසුවේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් පිළිපැදිය යුතු නීති ගැන බවයි. වක්‍රාකාරයෙන් ඇය සමාජයට කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් ඇය පෙනී නොසිටින බවයි. කංසා නීතිගත කරන්න බය නැති ඩයනා ගණිකා වෘත්තිය නීතිගත කරන්න බය වෙන්නෙ ඇයි?

    ඒක තමයි අපේ මුග්ධ වූ සදාචාරයේ ස්වරූපය. එක විටෙක මහා ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අය තවත් විටෙක ඊට සමාන්තරවම මේ මුග්ධ සදාචාරය රකින්නට පෙනී ඉන්නවා. එයින් බයට පත්වෙනවා. අපවාදයෙන් සැලෙනවා. ගැහැණියක් විදිහට මිනිස් නිදහස පිළිබඳ ගැඹුරු අදහසකින් මේ ඩයනා කංසා වෙනුවෙන් පෙනී සිටියා නම් එයා මෙහෙම කතාවක් කියයි.
    ‘ඔව් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන තමයි. ඒත් මං එහෙම දෙයක් ප්‍රකාශ නොකළ වග කියන්න ඕන. කවුරු හරි ඒ වෙනුවෙන් සටන් කරනවා නම් ඒ කාන්තාවන් වෙනුවෙන් මං ඒ සටනට සහයෝගය දෙනවා’’

    ඒත් ඩයනා මේ චෝදනාවෙන් කෝපයට පත්වෙනවා. එයා අපි නොදන්නා කවුරුන් හෝ තවත් කාන්තාවන් පිරිසකට බැන වදිනවා. ඒ බැනවැදීම ඇතුලෙ ඇගේ අතිශය නොදියුණු සංස්කෘතික කලාපයක් එලියට පනිනවා. ‘කොළඹ හතේ නෝනලා…’ කියමින් බැන වැදීම ආරම්භ කරන ඇය කියන්නේ මේ නෝනලා විසින් යතුරු පාර්ටි දමන බවයි. පළමුවෙන්ම ඇය කාන්තාවක් විදිහට තවත් කාන්තාවකගේ හෝ පිරිසකගේ ලිංගික කාරණයක් ඉදිරියට දමමින් ඔවුන්ගේ සදාචාරය ප්‍රශ්න කරනවා. එය කාන්තාවක් හැටියට ඉතා පහත් ක්‍රියාවක්. ඒ වගේම කවුරුන් හෝ යතුරු පාර්ටි දැමීම අපකීර්තියක් වෙන්නෙ කොහොමද? යතුරු පාර්ටි හෙවත් කී පාර්ටීස් හැටියෙන් හඳුන්වන ස්වින්ගින් සාද ( පෙම්වතුන් පෙම්වතියන් ජෝඩු වශයෙන් මාරු වෙමින් අනුරාගය විඳින සාදයන්) ඉතා දියුණු සංස්කෘතියක්. තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් සමග හාද වුනා යැයි කියමින් මිනි මරාගන්නා සමාජයකට විවෘත ආදරයක රසයක් එකතු කිරීමක්. ඩයනා මෙතනදී කරන්නේ ඒක අපවාදයක් හැටියෙන් ඉලක්ක කිරීමයි. එතනදි නිරුවත් වෙන්නෙ සාද පැවැත්වූ අය නෙමෙයි ඩයනාගේ නොදියුණුකමයි.

    ඒ වගේම කොළඹ හතේ යැයි කියමින් මේ ආඩපාලිය මතුකිරීම හරහා ඇගේ අවලස්සන පංති හීනමානයක්ද ඉස්සරහට පනින වග කියන්න ඕන. නොදියුණු, කුහක සංස්කෘතියක් දරමින් කංසා නිදහස වෙනුවෙන් ඇය පෙනී සිටින විට කංසා සංස්කෘතිය ගැන ඩයනා දන්නේ මොනවාදැයි හිතෙන එක වරදක් නෙමෙයි.

    මළ කඳන් එකට ගැටගැසූ පරිද්දෙන් ගතවන බහුතර ගැහැණු පිරිමි සම්බන්ධතාවලට වඩා කී-පාර්ටි පෙම්වතුන් ජීවිතය රස විඳින්නෝයි. ඒ අය අලුත් අත්දැකීම් සොයා යන්නෝයි. සමාජයෙන් පැනවූ සදාචාර නීති නොතකා තමන්ගේම ශෘංගාර සංස්කෘතියක් තනාගත්තෝයි.

    කංසා නිදහස අයිති ඒ වගේ මිනිස්සුන්ට. නම ලන්ඩන් වුනාට හැම ඩයනා තාම වැඩවසම්ය.

  • ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක්

    ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක්

    අද උදේ නැගිට්ට ගමන් දැක්කෙ හිතට ලොකු දුකක් දෙන වීඩියෝවක්. රේල්පාරක් ළග තරුණ භික්ෂුවක් සහ කෙල්ලක් ආදරය කරමින් ඉඳලා බෞද්ධ ගිහි පිරිසක් විසින් අත්අඩංගුවට අරගෙන. මේ අය ඒ කෙල්ලවත් තරුණ භික්ෂුවත් වටකරගෙන නින්දා අපහාස කරනවා. තමන්ගේ බෞද්ධ භික්ෂුව කියන මොකක්දෝ ශුද්ධ වූ දේ කෙලෙසුවා වගේ අර දෙන්නා වැරදිකරුවන් කරලා තියෙනවා. ලැජ්ජාවෙන් බියෙන් පීඩාවට පත්ව සිටින අර දෙන්නාව වීඩියෝ කරනවා. මේක මේ වටවුනු පිරිසට යම් චූන් එකක් වගත් දැනෙනවා. සදාචාරය ආරක්ෂා කිරීමේ ලයිසන් එක මත මේ ගිහි පිරිමින් විසින් පාදඩ විදිහට අර තරුණ යුවළ අපචාරයට ලක්කරනවා.

    බෞද්ධ භික්ෂූන් විසින් ගිහියන්ගේ ලිංගික ජීවිතවලට බලපෑම් කරමින් තමන් සතු කරගෙන සිටින ආගමික බලයෙන් ලංකාවෙ සිදුකරන බලහත්කාරයට මං දැඩිවම විරුද්ධයි. එමෙන්ම ගිහියන්ගේ කතා කිරීමේ, ප්‍රකාශනයේ නිදහසට පවා හාමුදුරුවරුන් අතපොවන්න පටන්ගත්තා. නමුත් බෞද්ධයන් වෙන අපි ඒ හාමුදුරුවරු ගානට වැටිය යුතු නෑ. හාමුදුරුවන්ට වගේම බෞද්ධ ගිහියන්ටත් තියෙනවා රැකිය යුතු ශිෂ්ටකම්.

    මේ තරුණ හාමුදුරුවන්ගේ ප්‍රේමය මට ආකර්ශනීය වගේම හදවතට දැනෙන එකක්. බොහෝ විට කුඩා කාලයේ මහණ කරවන මේ හාමුදුරුවරු තමන්ගේ තරුණ වයසත් එක්කම දැනෙන ආදර හැගීම්වල පැටලෙනවා. සිවුර කියන්නෙ ආදරය ආශාව මඩින බලයක් නෙමෙයි. හාමුදුරු කෙනෙක් තමන්ගේ ආශාවන්ට ඉඩදීමෙන් සහ අත්හැරීමෙන් තමයි ගැඹුරු අවබෝධයකට පත්වෙන්නෙ. සමහර කෙනෙකුට තමන්ගේ නිදහසට සිවුර බාධාවක් විදිහට හැගෙනවා. ඒ අය සිවුරු හැර යනවා. තවත් කෙනෙක් කාලයත් එක්ක අත්හැරීමේ සහ අල්ලාගැනීමේ ගැටුම අතර පරිණත වෙනවා. ඒ අය මේ දේවල් ඉක්මවා ගිහින් ප්‍රඥාවට පත්වෙනවා. නමුත් මේ කිසි දෙයක් පිටත පොලිසියක් බඳු බලහත්කාරයකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. බෞද්ධ දායකයා කියන්නෙ පන්සලේ පොලිසිය නෙමෙයි.

    ඒ ප්‍රේමය ගැන නරක ඇහැකින් බැලිය හැක්කේ නොමිනිස් සිතැත්තෙකුටම පමණයි. ඒ තරම් අහිංසක බැඳීමක්. එය දකින කෙනෙක් තුල ඇති කරන්නේ සතුටක්. නිදහසක් ගැන හැගීමක්. සිවුර පවා ඒ ආදරය තවත් ගැඹුරු කරනවා. වාරණය වුනු හැගීම් දැනීම් එක පසෙක, ආදරය දුන්නු ඒ සියුමැලිය තව පසෙක. හරියට රේල් පාරක් ‍වගේමයි. භික්ෂුවකගේ ආදරය කියන්නෙත් අපේ බෞද්ධ සංස්කෘතියෙ උරුමයක්. අපි වික්ටෝරියානුවන් නෙමෙයි. අපිට ඉන්නවා බේබදු හාමුදුරුවරු, ආදරය කරන රමණය කරන හාමුදුරුවරු. ඒ අය ප්‍රඥාවට පත් නොවේ යැයි කියන්න අපි කවුද?

    මේ ගිහියන් විසින් අතට ගන්නෙ තමන් දෙන දානමාන වල බලය වග පැහැදිලියි. අපි කන්න බොන්න දෙනවා නම්, අපි වඳිනවා නම්, අපි කියන විදිහට හිටු කියලයි මේ කියන්නෙ. ගිහියන් විසින් මේ සත්කාර කරන්නෙ හාමුදුරුවන්ට ආදරේට නෙමෙයි. ඉන් පින් ලබාගෙන ඊළග ආත්මය සැපවත් කරගන්න. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. ඒ මේ ආත්මයෙන් ඔබ්බට අපේක්ෂා කරන ප්‍රතිලාභ ‍වගේම මේ ආත්මයේ පන්සලේ ප්‍රධාන දායක තැන වීමෙන් ලබන ලෞකික ප්‍රතිලාභත් තියෙනවා. තමන්ගේ මේ අපේක්ෂාවන් සඳහා යම් හාමුදුරු කෙනෙක් සුදුසු නෑ කියල හිතනවා නම් ගිහියන්ට පුළුවන් ඒ අයට සත්කාර කිරීම නතර කරන්න. වෙන ගැලපෙන හාමුදුරු කෙනෙක් හොයාගන්න. තර්ජනය කරමින්, මැරකම පාවිච්චි කරමින් තවත් මනුස්සයෙක් පීඩාවට ලක් කිරීමෙන් මේ බෞද්ධයන් අප‍ේක්ෂා කරන විමුක්තිය මොකක්ද? මොකක් වුනත් ඒක අශිෂ්ට එකක්.

    හාමුදුරුවරු කියන්නෙ එක්තරා සමාජ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් ඉටු කරන පිරිසක්. අපි මරණයේදී ගොඩයාමක් අප‍ේක්ෂා කරන්නෙ පිරිතක් කියල, මළාට පස්සෙ නම් පාංශුකූලයක් දීලා, බණක් දානයක් දීලා ආදී වශයෙන්. මේ දේවල් අපි කරන්නෙ සිවුරු දරාගෙන, ඒ ගාථා චාරිත්‍ර දැනුම සහිතව ඉන්න හාමුදුරුවරුන් පාවිච්චි කරලා. අපිට පන්සල සහ චීවරය කියන්නෙ අපේ ආධ්‍යාත්මික අවශ්‍යතාවයක්. ඒක සංකල්පයක්.

    හාමුදුරු කෙනෙකුටත් තියෙනවා මේ දේවල් කරනවට අමතරව ගත කරන්න මනුස්ස ජීවිතයක්. ඒ අය තමන්ගේ ආශාවන් අවබෝධ කරගන්න ඕන. ඒවායේ ස්වභාවය තේරුම් ගන්න ඕන. සමාජ අපවාදය නිසා නෙමෙයි තමන්ගේ ජීවිතය ඇතුලෙන් ඒ ආශා තෘෂ්නාවන් ඉක්මවා යන්න ඕන. ඒක තමයි යම් කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ශ්‍රමණයෙක් වෙනවා නම් එයාගෙ සොයායාම වෙන්නෙ. අපේ පෙරකී උවමනා වෙනුවෙන් භික්ෂුවකගේ පැවැත්මේ සක්මන බාධා කරන්න බෞද්ධයෙකුට බෑ. භික්ෂුන් කියන්නෙ අපේ වහලුන් නොවන වග අපි තේරුම් ගන්න ඕන. ඇත්තටම හාමුදුරුවරු හරි බණ කිව්වා නම් බෞද්ධයො මෙහෙම වෙන්නෙ නෑ.

    ඒ වගේම හාමුදුරුවන්ටම ඇතිවන ගැහැණු ප්‍රේමයත් ඉතාම සුන්දර එකක්. ඒක එක්තරා විදිහක ෆෙටිෂ් එකක් (අර්චනකාමයක්). තමන්ගේ ජීවිතයේ ඉතාම හුදකලා වුනු, තමන්ගේ ආශාවන් පවා වරදක් වුනු, පීඩිත පිරිමියෙකුට ආදරය කිරීමෙන් විශාල ආත්ම තෘප්තියක් ලබන ගැහැණුන් මට මුනගැහිලා තියෙනවා. ඒ පාපය සහ ශුද්ධවන්තභාවය අතර සැරිසරන ගැහැණු කලාපය ඉතාම ගැඹුරු එකක්. ඇත්තටම කිව්වොත් ඒ ආදරය බෙහෙවින් පිරිසිදු ආදරයක්. හරියට මරියා මග්දලේනා හෝ අම්බපාලියගේ වගේ.

    මෙසේ හාමුදුරුවරුන්ට පීඩා කරන ගිහියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හාමුදුරු කෙනෙක්ද නැද්ද කියන එක වෙනුවට මනුස්ස අයිතිය පැත්තෙන් පෙනී සිටිය යුතුයි. කොටට ඇඳුම් ඇන්දා කියා ස්ත්‍රියක් දූෂණය කිරීමේ අයිතිය පවරා ගන්නෙත් මෙවන් මැරයන්ම වග අපි මතක තියාගත යුතුයි. සමාජයක සදාචාරය ආරක්ෂා කරන්නට අනෙකාට එරෙහිව බලය පාවිච්චි කරන්නා අතිශය භයානක වගට උදාහරණ ඕනෑතරම්ය.

    ආදරයට විරුද්ධ වෙන මේ ගිහියන් ජාතිවාදය, ආගම්වාදය දෙසන විට සාදුකාර දෙන අයයි


    චින්තන ධර්මදාස

  • කපා කපා කෑලි කපා – Ti Westගේ X සිනමාව

    කපා කපා කෑලි කපා – Ti Westගේ X සිනමාව

    Ti West ගෙ අලුත් ෆිල්ම් එක X. හොරර් ත්‍රිලර් සහ සොෆ්ට් පෝර්න් කැටගරිවලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න ඕන එකක්. පෝර්න් ෆිල්ම් එකක ඇතුලෙ හොරර් ෆිල්ම් එකක් හම්බුවෙනවා වගේ වැඩක්. Ti West කියන්නෙ හොරර් ජොන්රා එකේ ඉන්ටලෙක්චුවල් කෙනෙක්. ඉතින් මේ ෆිල්ම් එක හරහා එයා හොලිවුඩ් සිනමාවෙ එක්තරා ඉතිහාස පරිච්ඡේදයක් ස්පර්ශ කරනවා.

    එයාගෙ සිනමා කලාවට කියනවා lowbrow cinema කියල. ඒ කියන්නෙ බොරු කැටයම්, කලා සංකීර්ණ නැති ඕනම කෙනෙකුට වැටහෙන සරල වින්දනාත්මක සිනමාවක්. ඒ සරල බව ඇතුලෙ එයා දෙන ගේම් එකයි පුදුම හිතෙන්නෙ. house of devil, Sacrament වගේ Ti Westගෙ කලින් ෆිල්ම් බලලා තියෙන කෙනෙකුට මේක තේරෙනවා.

    කතාව දිගහැරෙන්නෙ 1979. ඒ කියන්නෙ හෝම් වීඩියෝ මාර්කට් එක නැගලා එන දවස්. තරුණ සෙට් එකක් යනවා මේ මාර්කට් එකට ඇඩල්ට් ෆිල්ම් එකක් කරන්න. ගම් පලාතක පාලු ලොකු ගොවිපොලකට. ඒක ඇතුලෙ ෆාමර්ස් ඩෝර්ටර්ස් නැත්නම් ගොවියාගේ දියණියෝ නමින් වැඩිහිටි චිත්‍රපටියක් හදන එක තමයි බලාපොරොත්තුව. මේකෙ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර්ට මාර්කට් එක පිනා යන සෙක්ස් ෆිල්ම් එකක් ඕන වුනාට ඩිරෙක්ටර්ට ඕන වෙන්නෙ ආර්ට් ෆිල්ම් එකක්. ඩිරෙක්ටර්ගෙ පෙම්වතිය ඉන්නෙ ලොකු අවුලක. ආර්ට් ෆිල්ම් එකක් කියල බාල සෙක්ස් ෆිල්ම් එකක් ගහන තමන්ගෙ පෙම්වතා එක්ක තරහක.

    එක තැනකදි මේ සදාචාර ප්‍රශ්නයක පෙලෙන පෙම්වතිය තීරණය කරනවා එයත් මේ ෆිල්ම් එකේ පෙනී ඉන්නවා කියල. මෙච්චර වෙලා මේක ආර්ට් ෆිල්ම් එකක් වශයෙන් තර්ක කරපු ඩිරෙක්ටර් කරකැවිලා යන්නෙ එතකොට.
    ‘එහෙම මැද්දෙදි ප්‍රධාන චරිත අලුතෙන් එකතු වෙන්න බෑ’ කෙල්ලව වලක්වන්න ඩිරෙක්ටර් කියනවා.
    ‘එහෙනං සයිකො ෆිල්ම් එකේ තියෙන්නෙ’ කෙල්ල කියනවා.
    ‘ඒක හොරර් එකක්. මේක පෝර්න් එකක්’

    Ti West කරන්නෙ හොරර් පෝර්න් එකක්.

    මේ විදිහට චිත්‍රපටිය පුරාම ඒ අතීත සිනමා සළකුනුවල මතක තැවරිලා තියෙනවා. ටෙක්සාස් චේන් සෝ මැසකර් වගේම ඩීප්ත්‍රෝට් එකේ ලින්ඩා ලව්ලේස් පවා මතක් වෙනවා.

    මීට අමතරව මේ ගොවිපොල අයිති ගැහැණියගේ ජීවිතයේ ආශා තෘප්තිමත් නොවීමේ ඛේදවාචකයකුත් මේක ඇතුලෙ තියෙනවා. හරියට අපේ කිරිබත්ගොඩ ඥානානන්දගේ පන්සල පන්නයේ කාමවිරෝධී ක්‍රිස්තියානි නිකායක බැතිමත්තු වෙන මේ ඇමරිකානු ගැමියො දැඩි ලෙස සිරගත වූ ආශාවලින් පෙලෙනවා. ඒ ආශාවන් එලිපිට සංතර්පනය කරන අය ගැන වෛරයෙන් පෙලෙනවා. ඒ අය සාතන්ගේ බලපෑමට හසුවූ අය නිසා ඔවුන් මරාදමා ලෝකය යහපත් කළ යුතුයි කියල හිතනවා. මේ ෆිල්ම් එක යට තියෙන දේශපාලන ආඛ්‍යානය වෙන්නෙ ඒක.

    Director Ti West

    අවසානයේදි අපි දැනගන්නවා මේ පියුරිටන් නිකායේ ප්‍රධාන දේශකයාගේ දියණිය තමයි අපිට පෝර්න් නිළියක් විදිහට මුනගැහෙන්න කියන එක. ඒ දේශනවල වචන පවා කටපාඩම් ඇය ජීවිතය හොයාගෙන ඉන්නෙ ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ආශාවන්ගෙන් මත්වීම ඇතුලෙ. කාමසුඛල්ලිකානු ලෝකය ඇතුලෙ.

    ඒ පැරණි ආගමික- සෙක්ස් විරෝධීන් මෙන්ම සෙක්ස්වල ආර්ට් හොයන, සෙක්ස්වල සල්ලි හොයන සියල්ලනුත් කපා කපා කෑලි කපා මැරී යනවා. ඉතිරි වෙන්නෙ ඒ ලෝක දෙකේම පැල්ම තුලින් එලියට එන අපේ නවක පෝර්න් නිළිය පමණයි. එයා තමයි කතාවෙ වීරවරිය.

  • සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බහුවිවාහයට අවසර දෙන්නැයි අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා තිබුන. ඒත් සරත් වීරසේකර, විමල් වීරවංස, උදය ගම්මන්පිල මේකට විරුද්ධ වෙලා තිබුන.

    ග.ගො ඥානසාරගේ කොමිසමේ වාර්තාව එනකල් මේ සංශෝධන නොකර ඉන්න ඇමති මණ්ඩලය තීරණය කරලා.

    වාසුදේව විතරක් නැගිටලා වෙනම සංස්කෘතීන් සඳහා වෙනම නීතීන් බලපාන්න පුළුවන් කියල වචනයක් දාලා. හැබැයි එකගෙයි කෑම කියන්නෙත් සිංහල බහුවිවාහ ක්‍රමයක්.

    ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වෙනත් ලිංගිකයෙක් වේවා තමන් කැමති කෙනෙක් හෝ කීපදෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් කියල පිළිගන්න බැරි වෙන්නෙ ඇයි?

    ඒකෙන් කිසි කෙනෙකුට තමන්ගේ පරම එකම ප්‍රේමය පමණක් විවාහ කරගන්න තහනමක් පැනවෙන්නෙ නෑ. ඒ වගේම කැමති කෙනෙකුට දෙන්නෙක්, කැමති කෙනෙකුට පස්දෙනෙක් ආදී වශයෙන් විවාහ කරගන්න වුනත් පුළුවන්. කිසි කෙනෙකුගේ නිදහසට අවහිරයක් නොවන මේ වගේ තීරණයක් ගන්නවා වෙනුවට නෑ නෑ විවාහ වෙන්නෙ එක්කෙනත් එක්කයි වගේ තැනක රජයක් පෙනී ඉන්නෙ අහවල් කාරණයකටද?

    මේවට තමයි කියන්නෙ මිනිස්සුන්ගේ නිදන කාමරේ ඇඳ උඩටත් ආණ්ඩුව එනවා කියල. මේවා පුද්ගලික ප්‍රශ්න. රාජ්‍ය ප්‍රශ්න හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල කාරණා නෙමෙයි.

    තමන්ට විවාහ විය හැක්කේ කී දෙනෙක් එක්කද කියල කියන්නත් ආණ්ඩුවක් ඕන කියන ජනතාවක් කොයිතරම් මෝඩද? තමන්ගේ ජීවිතය ගැන එබඳු වගකීමක් ගන්නවත් බැරි අය විවාහයකට සුදුසුද?

    ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්. නීතියක් රටකට පොදු වෙන්න ඕන. ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන. මුස්ලිම් සංස්කෘතිය ගැන සලකලා රටේම බහුවිවාහවලට නීතියෙන් අවසර ලබාදීමයි සිද්ද විය යුත්තෙ. නැත්තං ඒක ජාතියක් විශේෂ කොට සැලකීමක් වෙනවා.

    බහු විවාහයක් අවශ්‍ය කෙනෙකුට ආගම මාරු කිරීම අනිවාර්යයක් වෙනවා. බහු විවාහයක් කරගෙන ඉන්න කෙනෙකුට ආගම මාරු කරන්න බැරි වෙනවා.

    රජයට විවාහය අදාල වෙන්නෙ දේපොල හා උරුමයන් සම්බන්ධ නීතිමය කාරණාවලදියි. ඒ වෙනුවෙන් ඕනෑම විවාහයක් බහුවිවාහයක් හැටියෙන් සලකලා ඒ සිටින දෙන්නා හෝ තුන්දෙනා හෝ කීපදෙනා අතර ඒවා බෙදී යා යුතු සාධාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි කරන්න තියෙන්නෙ.

    බහු විවාහය සඳහා නිදහස රටටම ලබාදෙන්න කියන එකයි ජනතා ඉල්ලීම විය යුත්තෙ.

    ප.ලි – කොහොමත් ගෑස් නැතුව, ලයිට් නැතුව, කිරිපිටි නැතුව මේ රට යන අත හැටියට බහු විවාහය ආර්තික අතිනුත් ප්‍රායෝගික ක්‍රමයක්. තනි තනි පවුල් නඩත්තු වෙනවට වඩා ලොකු තනි පවුල් ඇතුලෙ සාමූහික පැවැත්ම පිරිවැය අඩු කරනවා. ජනගහනයත් අඩු කරනවා.