Tag: prostitute

  • ගණිකා වෘත්තියේ උරුමය සහ කරුමය

    ගණිකා වෘත්තියේ උරුමය සහ කරුමය

    ඊයෙ අනීෂා ජයකොඩිගෙ ‘ගෙලාන්’ පොත එලිදැක්වීම පදනම් ආයතනයේ තිබුන. ගෙලාන් කියන්නෙ සිංගප්පූරුවෙ රතු වීදිය. ගණිකාවන්ගේ අඩවිය. අනීෂා සිංගප්පූරුවෙ මුනගැහුනු ගණිකාවන්ගේ ජීවිත ගැන කතන්දර ගෙලාන් පොතේ තියෙනවා. ඉතිං ඒ පොත එළියට එන දවසෙ අදහස් දැක්වීමකට මටත් කතා කළා. මායි, මොහාන් රාජ් මඩවලයි, මිලින්ද රාජපක්ෂයි, හිටපු පොලිස්පති ප්‍රියන්ත ජය‍කොඩි, මයුරි ලියනගේ, සහ උදය දේවාමුල්ල අදහස් දක්වන්න ඇවිත් හිටියා.

    ගණිකාවන් වෙනුවෙන් සිද්ද වෙන වැඩක් හින්දම ඒ ගැන ම‍ගේ ලොකු උවමනාවක් උනන්දුවක් තිබුන. ඒ හින්දම ඒ වෘත්තියේ ඉතිහාසය පදනම් කරගෙන මගේ අදහස් දැක්වීම කරන්නයි මං සූදානමෙන් හිටියෙ. නමුත් අවාසනාවන්ත විදිහට කාලය අවහිර වුනා. අවසන් කතාව හින්දම සියල්ල සංක්ෂිප්ත කරන්න සිද්ද වුනා.

    කතාව කෙටි වුනත් ඒ වෙනුවෙන් වූ සුදානම දිගු එකක් නිසාම ගණිකා වෘත්තියේ ඉතිහාසය ගැනත්, එය අද ඇති තත්වය දක්වා පරිණාමය වූ හැටි ගැනත් ලිපියක් විදිහට ලියා තබන්න කල්පනා කළා.

    රටක දියුණුව මනින්න පුළුවන් වැදගත්ම කාරණයක් තමයි ඒ රටේ ආශාව සංවිධානය වෙලා තියෙන ආකාරය නිරීක්ෂණය කරන එක. ඒ කියන්නෙ ආශාවන් තෘප්තිමත් කරමින් නිදහස් කරගන්නා දිශාවටද නැත්නම් තහනම් කරමින් සඟවාගන්නා දිශාවටද සමාජ සම්බන්ධතා සකස් වෙලා තියෙන්නෙ කියන එක. එහෙම ආශාවන් නිදහස් කිරීම පෙරදැරි කරගන්නා සමාජයන් නිරෝගී වෙන අතරෙ ආශාවන් තහනම් කරන සමාජයන් ප්‍රචන්ඩ වෙනවා.

    දැන් හැමදේම නිවැරදි කරගෙන යන ට්‍රෙන්ඩ් එකත් එක්ක ගොඩක් අය ගණිකාව කියන වචනෙ අවුල්, ඒ වෙනුවට ලිංගික ශ්‍රමික කියන වචනෙ පාවිච්චි කරමු කියලා යෝජනා කරනවා. මං කැමති ගණිකාව කියන වචනෙ පාවිච්චි කරන්න. ඒ වචනෙට අදාල ගෞරවය නැවත කැඳවන්න.

    ඉන්දියාවෙ ගණිකා කියලා හැඳින්නුවෙ ඉතා ධනවත් නිදහස් කාන්තාවන්. ඒ අය නිකංම ශ්‍රමිකයන් නෙමෙයි. ඒ අය සූසැට කලාවන් ඉගෙන ගෙන තිබුනා. අපි අද දන්නා, නැටුම්, සංගීත, සිත්තම්, ගෙත්තම් ආදී සියලු කලාවන් මේ ගණිකාවන්ගේ විෂය නිර්දේශයට අයිති වුනා. ගණිකාවන් කියන්නෙ උසස් ප්‍රභූන් ඇසුරු කළ, කිසිදු පිරිමියෙක් යටතේ වාසය නොකළ, නිර්මාණාත්මක කාන්තාවන්ට. ඒ අය සමග රමණය කියන්නෙ හුදු ලිංගේන්ද්‍රිය තෘප්තිමත් කිරීමක් නෙමෙයි. ඒක ආත්මය සංතර්පනය කිරීමක් වුනා.

    මේ ලිපියෙ දක්වන කරුණුවල‍ට පදනම් වෙන්නෙ බ්‍රයන් සේඩි විසින් රචිත ‘ඩික්‍රිමිනලයිස්ඩ් ප්‍රොස්ටිටියුෂන් කියන පොතයි. ඒ පොත සේඩි විසින් පටන් ගන්නෙ මේ විදිහෙ උපුටා දැක්වීමකින්.

    ‘ඔබට ගණිකා වෘත්තිය තහනම් කරන්න පුළුවන්. නමුත් ඊ‍‍ට ඇති ජනප්‍රියතාවය සුළුවෙන් හෝ අඩු කරන්න ඔබට බෑ’.

    ලෝකෙ පරණම රැකියාව කියන්නෙ ගණිකා වෘත්තිය. ඒත් මේක නිවැරදි කතාවක් නෙමෙයි. නමුක් ඇත්ත කතාව වෙන්නෙ ඉතිහාසය ලියන ලද අය විසින් ගණිකාවන් බොහෝ විට අමතක කර දමා තිබීමයි. ඒ නිසා ගණිකා වෘත්තිය ලෝකයේ පැරණිතම රැකියා ගණයට වැටෙන නමුත් ඒ පිළිබඳ ලේඛනගත වීමක් අපිට හුනගැහෙන්නෙ ක්‍රි. පූ 2400දි විතර. ඒ සුමේරියාවෙන්. 

    ගණිකා වෘත්තිය කියන්නෙ උත්තරීතර රැකියාවක්. සමහර විට ලෝකයේ උත්තරීතරම රැකියාව කියල අපිට කියන්න පුළුවන්. ගණිකාවක් කරන්නෙ තමන් වෙත පැමිණෙන කෙනෙකුට නිවීම ලබා දීම. ආස්වාදය ලබා දීම. ඔවුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ශරීරය පරිත්‍යාග කිරීම. ඒ අර්ථයෙන් ගණිකාවක් විසින් කරන්නෙ පූජකයෙක් විසින් කරනවාටත් වඩා එහා ගිය ආධ්‍යාත්මික කර්තව්‍යයක්.

    මේ අර්ථගැන්වීම පසෙකින් තිබුවත් ගණිකා වෘත්තිය ලෝකෙ මුල්කාලීනව පවතින්නෙ පල්ලියත් එක්ක බැඳිලා. ඒ කියන්නෙ දේවස්ථාන ආශ්‍රිතව. ඒකට කියනවා ටෙම්පල් ප්‍රොස්ටිටියුෂන් කියල. කාන්තාවන් දෙවියන් උදෙසා පූජාවක් විදිහට තමන්ගේ ශරීරය පරිත්‍යාග කළා. ඒ අය සමග යහන්ගත වීමෙන් ලැබෙන ප්‍රතිලාභ පල්ලිය විසින් හෝ රජය විසින් ලබා ගත්තා. ගණිකා වෘත්තියේ ආරම්භය සළකුනු වෙන්නෙ ඒ විදිහෙ පූජාවක් හැටියට.

    ක්‍රි.පූ 1800 විතර බැබිලෝනියාවෙ තත්වය ගත්තොත් ගණිකාවන්ට අනෙක් කාන්තාවන්ට නැති විශේෂ අයිතීන් තිබුනා. ඒ අයට පියාගේ දේපොල ලැබීමට, සහෝදරයන්ගේ ඉඩම්වලින් ආදායම් ලැබීමට අයිතිවාසිකම් තිබුන. 

    ඒ වගේම හැම කෙනෙකුටම අනිවාර්යෙන්ම ආරාම ගණිකාවක් විදිහට සේවය කිරීම කරන්න වුනා. පල්ලියෙන් තමයි ගණිකා වෘත්තිය කරගෙන ගියේ. 

    ග්‍රීසියේ සෝලන් රජුගේ කාලයේදී  රාජ්‍ය ගණිකා නිවාස නිර්මාණය වෙනවා. ඒ නිවාස වලින් උපයන  මුදලින් කාමයට, ලිංගිකත්වයට අධිපති  ඇෆ්‍රොඩයිට් දෙවගන වෙනුවෙන් දොවොල් හදනවා. ග්‍රීසියේ ගණිකාවන් කියන්නෙ රජයේ වහලුන් විදිහටයි සැලකුනෙ. ඒ අයට සේවා කළ යුතු ආකාරය ගැන නීති පනවලා තිබුන. වීදිවල සාමාන්‍ය ජනතාවට අවහිර කිරීම තහනම් කරලා තිබුන.  ගෙවල් ඉස්සරහ ඉඳන් හෝ ජනෙල් අද්දර ඉදන් ඒ අය ව්‍යාපාර කළා.

    ග්‍රීසියේ ගණිකාවන්ගේ ස්ථරායනයක් තිබුන. මැද පංතියේ ගණිකාවන් වුනේ නිදහස් ගැහැනුන්. ඒ අය ගණිකා වෘත්තියෙන් මුදල් උපයලා ඒ මුදල් රජයට ගෙවලා  වහල්බවෙන් නිදහස් වුනා. ඒ අය සිංදු කිව්වා, නැටුවා. මිනිස්සු සතුටු කළා.

    මැද පංතියෙන් තව ඉහලට යන්න පුළුවන්කමක් ග්‍රීසියෙ තිබුනා. එතනින්  ඉහල පාංතික ගණිකාවක් වෙන්න කෙනෙකුට පුළුවන්. එහෙම අයට කියනවා කෝර්ටිසාන් කෙනෙක් කියල. මේ අය ඇසුරු කලේ ප්‍රභූන්. ඉහළ ධනවතුන්. මේ තත්වයට පත්වෙන්න නම් ගණිකාවකට පෙනුම පමණක් ප්‍රමාණවත් වුනේ නෑ. යහන්ගත වීම පමණක් ප්‍රමාණවත් වුනේ නෑ. ඒ අයට සෑහෙන බුද්ධි පරිචයක් ලබාගන්න සිද්ද වුනා. ඒ වගේම පුද්ගල ඇසුර පිළිබඳ, සමාජය පිළිබඳ දක්ෂතාවලින් පරිපූර්ණ වෙන්න සිද්ද වුනා. කෝර්ටිසාන් කෙනෙකුගේ ඇසුරේදි ඒ ප්‍රභූන් ඉහළ මට්ටමේ සංවාද අප‍ේක්ෂා කළා. ඒ අය එක්ක කාලය ගත කිරීමෙන් ගත පමණක් නෙමෙයි බුද්ධියත් පුබුදුවා ගැනීම අරමුණු කළා. මහා ඇලෙක්සැන්ඩර්ට හිටියා හෙටේරා කියලා ඉහළ පාංතික ගණිකාවක්. එයා ඇලෙක්සැන්ඩර්ට යුද උපදෙස් පවා දුන්නා. ඇලෙක්සැන්ඩර් විසින් ඇතැම් නගර ගිනිබත් කලේ හෙට්රාගේ උපදෙස් අනුවයි.

    ප්‍රොස්ටිටියුට් කියලා ඉංග්‍රීසියෙන් ගණිකාව හඳුන්වන්නට යෙදෙන වචනයේ ලතින් තේරුම වෙන්නෙ විකිනීම සඳහා ඇති, නැත්නම් මහජනයාට විවෘත වූ වගේ අදහසක්. 

    රෝමානු කාලෙදි ගණිකා වෘත්තිය තමයි  නිදහස් ගැහැණියකට මුදල් උපයා ජීවත් විය හැකි එකම ක්‍රමය වුනේ. ඒ  කාලෙදි ගණිකාවන්  සමාජයෙන් පහත් කොට සැලකීමකුත් තිබුන. නමුත් අප්‍රේල් මාසයේ ෆ්ලෝරියා සමයෙදි මේ අයව සාදරයෙන් පිලිගත්තා ෆ්ලෝරියා කියන්නෙ සමෘද්ධියේ උත්සවය. අපි  වසන්ත මංගල්‍යය කියන්නෙත් මීට සමාන උත්සවයකට. ෆ්ලෝරියා උලෙලේදී ගණිකාවන් ග්ලැඩියේටර් ලා එක්ක බොරු සටන්වල යෙදෙමින් ජනතාව ආස්වාදයටත් විනෝදයටත් පත් කළා.

    ගණිකා වෘත්තිය යමෙක් විසින් ප්‍රමෝට් කලොත් අද වුනත් සමාජය ඒක කොයි ආකාරයකින් බාරගනීවිද? අනිවාර්යෙන් අවි අමෝරාගෙන ඒවි.

    නමුත්  මාර්කස් පෝර්සියස් කේටෝ කියන රෝම අධිරාජයා ගණිකා වෘත්තිය ප්‍රමෝට් කළා. එයා මෙහෙම කිව්වා ක්‍රි. පූ 60දි.

    ‘ කවුරු හරි හිතනවා නම් තරුණයන්ට ගණිකාවන්ගේ ඇසුර තහනම් කළ යුතුයි කියල ඒ කෙනා අපේ කාලයේ ඇති නිදහස පිළිබද දැනීමක් නැති කෙනෙක්. අපේ මුතුන්මිත්තන්ගේ සම්ප්‍රදායන් සමග ගැලපෙන්නෙ නැති කෙනෙක්. ගණිකා වෘත්තිය සාමාන්‍ය දෙයක් නොවූ කාලයක් තිබුනෙ නෑ. කොයි කාලෙද මේවා තහනම් කලේ? ගණිකා සේවනය කියන්නෙ මිනිසුන් බුක්ති විඳින  නීත්‍යානුකූල වරප්‍රසාදයක්’

    ආර්තිකය පිරිහෙනවත් එක්ක රෝමයේ කුප්‍රකට කලිගියුලා තමයි ගණිකාවන්ගෙන් මුලින්ම බදු අය කරන්න පටන් ගන්නෙ. ඒක එයා කරන්නෙ ගණිකාවන් ලබන ආදායම මත නෙමෙයි. නූතන පිම්ප් ලාගේ ක්‍රමයට. ලැබෙන ගාන මොකක් වුනත් එයාට ෆ්ලැට් ගානක් නියම වෙලා තිබුන.

    කලිගියුලා එයාගෙ මාලිගාවෙම ගණිකා නිවාසයක් හදලා ලොකු නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ට සහ දූවරුන්ට  ඒකෙ වැඩ කරන්න කියලා අණ කළා.

    ඔන්න ඊට කාලෙකට පස්සෙ ගණිකා නිවාස පරිපාලනය කරන රාජ්‍ය  නිලධාරීන් පත්වෙනවා. ඒක රජයේ කර්මාන්තයක් විදිහට පවතින්න ගන්නවා. ගණිකා නිවාස පිලිගත්තා විතරක් නෙමෙයි රජයෙන් හෝ ආගමික ආයතනවලින් ඒවා පවත්වාගෙන ගියා. එහෙම තමයි පැරණි සමාජයේ ගණිකා වෘත්තිය ස්ථාපනය වෙලා තිබුනෙ.

    ක්‍රි.ව 6 වෙනි සියවසේදි ස්පාඤ්ඤයේ රජු ගණිකා වෘත්තිය පළවෙනි වතාවට  තහනම් කරනවා. ගණිකා සේවය ලබාදීලා අහුවුනොත් කෝටු පාර 300ක් දීලා නගරයෙන් පිටමං කරනවා.  තව රජවරුන් උත්සාහ කළා ගණිකා වෘත්තිය නතර කරන්න. කොයිතරම් දරුනු දඩුවම් දුන්නත් සමාජයෙන්  ‍මේ අවශ්‍යතාවය නැති කරන්න කිසි කෙනෙකුට බැරි වුනා.

    එක පාලකයෙක් ගණිකාවන්ගේ නාහය කපා දැමුවා. ඔවුන් සමග සොල්දාදුවෙක් හිටියොත් ඔහුගේ  ඇගිලි කැපුවා. තව රජෙක් ගණිකා වෘත්තියේ යෙදී හසුවන කෙනෙක් ඇඳිවත පවා නැතිව රටෙන්  පිටමං කළා. ගණිකා නිවාස බිමට සමතලා කළා. 

    ඒත් සුවහසක් පිරිමින්ගේ ගත් සිත් නිවාලමින් ගණිකාවන් ජීවත් වුනා.

    තව පැත්තකින් මේවාට ඉඩදුන්නු ප්‍රදේශ තිබුනා. ප්‍රංශය සහ වැනීසිය උදාහරණ. වැනීසියේ කවුන්සිලය විශ්වාස කළා ගණිකා වෘත්තිය නැතුව ලෝකයට පවතින්න බෑ කියල. ඒ අය රතු වීදි නිර්මාණය කරලා දුන්නා. ගණිකා නිවාස වලට පොලිස් ආරක්ෂාව ලබා දුන්නා. ගණිකාවන් නිසා රටේ සමලිංගිකත්වය අඩුවෙලා යනවා කියල ඔවුන් විශ්වාස කළා.

    පල්ලියෙන් ලෝකය පුරාම ගණිකා වෘත්තිය ප්‍රතික්ෂේප කරන්න කලින් බොහෝ කාලයක් මේ වෘත්තිය අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් නගරවල  පැවතුනා. පිරිමි ආශාව වෙනුවෙන් මේ වෘත්තිය පැවතිය යුතුයි කියල විශ්වාස කළා. මෑත පල්ලිය එහෙම වුනත් ලිංගිකත්වය සම්බන්ධ  පල්ලියේ දැක්ම නිදහස් කාලයකුත් තිබුන.

    සාන්ත ඇක්වයිනාස් කිව්වා,  නගරයක ගණිකා වෘත්තිය හරියට මාලිගාවක වැසිකිලිය වගේ කියල. ඒවා නැති කලොත් මාලිගාව ගඳ ගහලාථ විෂ වායු පිරිලා  බිඳවැටෙනවා. 

    සාන්ත ඔගස්ටින් කියනවා ලස්සන කතාවක්.

    ‘ගණිකා වෘත්තිය තහනම් කලොත් කාමය විසින් සියල්ල දූෂණය කරනු ඇත’ 

    10 වෙනි සියවසේ පල්ලිවල ප්‍රතිපත්ති වලට කිව්වෙ පෝර්නොක්‍රසි කියල. ඒවා ඒ තරම් අසභ්‍යයි.  සමහර පූජකයන්ට ගණිකා නිවාස තිබුනා. 

    එහෙම පල්ලිය නැති කරන්නෙ මාර්ටින් ලූතර් කිං සහ ජෝන් කැල්වින්. ඒ ප්‍රොතෙස්තන්ත ආගම හරහා. මේ අය ගණිකා වෘත්තියට සහ විවාහයට පෙර ලිංගික ඇසුරට කියන දෙකටම විරුද්ධ වෙනවා.

    මේ විදිහට ටිකෙන් ටික  කන්සවේටිව් තත්වයන් වර්ධනය වෙන්න පටන් ගත්තා. යුරෝපයේ 1්‍ර5 සියවසේදී සියල්ල කණපිට හැරුනා. ඒ  සිෆිලිස් හින්ද. සියවසක් යනකල් සිෆිලිස්වලට බෙහෙත් හොයාගන්න බැරි වුනා. ඒ හින්ද මැකුවොත් හිරේ වගේ තත්වයක් උදාවුනා.

    ගණිකා නිවාස වැහුනා. ප්‍රොතෙස්තන්ත සහෝදරත්වයෙන් කණ්ඩායම්  පාරට බැහැලා රාත්‍රියේ ගැහැනුන් ගැන්ග් රේප් කරන්න ගත්තා. ‘වේසි’ කියලා කෑ ගැහුවොත් ගැහැණියකට ඕනම දෙයක් කරන්න ඔවුන්ට  ඉඩ තිබුන

    පියුරිටන් ඇමරිකාවෙ මුලින්ම ගණිකාවක් වධයට පමුනුවන්නෙ 1673. පාර දිගේ යන ගමන් ඕනම කෙනෙකුට ඇයව දූෂණය කරන්න ඉඩ දුන්නා. මේ මොන දේ කළත්  ගණිකා වෘත්තියට ඇති ඉල්ලුම තව තවත් වැඩිවුනා.

    ඇමරිකාවෙ වයිට්හවුස් එක හදද්දිත් ඒ වැඩ කරපු අයට යන්න ළගම ගනිකා නිවාසයක් තිබුනා. ඒකෙ ඔවුන්ට  බොන්න සූදු කෙලින්න පුළුවන් වුනා. නමුත් වැඩ නොකර ‍කම්කරුවො  එතනට යන්න ගත්ත නිසා ඒක වහලා දැම්මා.

    යුද්ධවලට යද්දි සොල්දාදුවො එක්ක ගණිකාවො ගියා. රත්තරං හොයාගෙන ආපු පතල්කාරයොත් එක්ක ගණිකාවො ආවා. ඒ තැන්වල ඔවුන් නතර වෙලා ඔවුන්ගේ සේවය ලබා දුන්නා.

    ඇමරිකානු සිවිල් යුද්ද කාලෙදි කොන්ඩම් තිබුනත් සමාජරෝග  බෝවෙන්න ගත්තා. ඒ කාලෙ තිබුනු  බැටළු අතුනුබහන්වලින් තැනූ කොන්ඩම්වලින් වැඩක් වුනේ නෑ. 

    ඊට පස්සෙ ක්ලබ් සංස්කෘතිය පැතිරෙන්න පටන් ගත්තා. ඒවාට ඩාන්ස් ගර්ල්ස්ලා ආවා. මේ ඩාන්ස් ගර්ල්ස්ලා අනුරාග නැටුම්වලට අමතරව ගණිකා සේවයත් සපයන්න ගත්තා. මේ අය නිසා ක්ලබ්වලට බිස්නස් වැඩි වුනා.

    ගණිකා වෘත්තියේ ඉතිහාසය ගැන පොතක් ලියනවා විලියම් සැන්ගර් 1858දි.  එයා වෛද්‍යවරයෙක්. එයා කාන්තාවන් 2000ක් ගැන අධ්‍යයන පදනම් කරගෙන මේ පොත ලියන්නෙ. ඒකෙ එයා කතා කරනවා ගණිකා වෘත්තිය පැවතීමට ඇති හේතු සහ එයින් ඇති වෙන බලපෑම් ගැන. ඒ පොතේ සැන්ගර් විසින් ගැහැණියක් ගණිකාවක් බවට පත්වීමට හේතුවන කාරණා කීපයක් අනාවරණය කරනවා.

    එක කාරණයක් තමයි ආර්ථිකය. මුදල් ඉපැයීම පිණිස කාන්තාවන් මීට යොමුවෙනවා කියන එක. අනෙක් රැකියාවල යෙදීමෙන් ලැබෙන අඩු පඩිය සහ අතවර සැලකීමේදී ගණිකා වෘත්තිය වඩා හොඳ තෝරාගැනීමක් වූ බව සැන්ගර් කියනවා. 

    ඒ වගේම මේ වෘත්තිය හරහා කාන්තාවන් ස්වාධීනත්වයක් අත්පත් කරගත් බවත් කියනවා. විශේෂයෙන් අසාර්ථක විවාහයන්ගෙන් සහ පීඩාකාරී පවුල්වලින් පැනයන ගැහැණුන් තමන්ගේ ජීවිතය තනිව ගොඩනගා ගන්න ගණිකා වෘත්තියට යොමුවීම ගැන පැහැදිලි කරනවා. ඒ වගේම ලුතර් කිං සහ කැල්වින්ගේ ප්‍රොතෙස්තන්ත ආචාර ධර්ම අනුව විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් පාපී වූ ගැහැණුන් විවාහයකට නුසුදුසු යැයි සමාජයෙන් සැලකීම නිසාත් ගණිකා වෘත්තියට යොමු වූ අවස්ථා සැන්ගර් විසින් පෙන්වා දෙනවා.

    ලංකාවෙ අමද්‍යප ව්‍යාපාරය වගේ ඇමරිකාවෙ ගණිකා විරෝධී ව්‍යාපාර ඇතිවෙනවා 20 වෙනි සියවසේදි. ආගමික කණ්ඩායම් පල්ලිවල බලය එක්ක දේශපාලනයට බලපෑම් කරනවා 

    නමුත් තාක්ෂණය එක්ක ගණිකා වෘත්තිය පිමි පනිනවා. මේ වෙද්දි ඔන්ලි ෆෑන් වගේ ප්ලැට්ෆෝම් හරහා ගණිකා වෘත්තිය සියලු සීමා මායිම්  බිඳහෙලමින් මිනිස් තෘප්තිය පොම්ප කරන්න පටන් අරගෙන තියෙනවා. සෑම ආකාරයකම ආශාවක් සංතර්පනය කළ හැකි ආකාරයේ ‍වේදිකාවන් නිර්මාණය වෙනවා. ඒ අතරම කාන්තාවකගේ ආරක්ෂාව සහ ස්වාධීනත්වය කියන කාරණා මේ තාක්ෂණය නිසාම තව තවත් ශක්තිමත් වෙමින් පවතිනවා.

    මේ වෙද්දි ඕනම කෙනෙකුට පුළුවන් ගණිකාවක් හැටියට හොඳ ආදායමක් උපයාගන්න. නමුත් එකල ගණිකාවක් සතුව තිබූ අනෙක් කුසලතාවයන් මෙකල දකින්න නෑ. සංවාදයට සුදුසු, විවිධ විෂයන් ගැන දැනුමැති, ඉන්ද්‍රිය සංතර්පනයේ ශික්ෂණය සහ පුහුණුව ලත් ඒ ආධ්‍යාත්මික ගුරුවරියක් බඳු ගණිකාව අහිමි වෙලා තියෙනවා. 

    රටක නීත්‍යානුකූල අවසරය, ගෞරවය, ආරක්ෂාව මේ වෘත්තියට අවශ්‍ය වෙන්නෙ වෙන කිසිවකටත් වඩා ඒ ලෞකික පරමානන්දය කැඳවන උතුම් ගැහැණිය නැවත නිර්මාණය වීමට ඒ අවකාශය අවශ්‍ය නිසායි.


    චින්තන ධර්මදාස

  • ගණිකා වෘත්තිය නීතිගතයි, වචනෙට

    ගණිකා වෘත්තිය නීතිගතයි, වචනෙට

    මං ජීවිතේ ගණිකාවන් ඇසුරු කරලා තියෙන්නෙ අතිසීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව මගේ ලිංගික අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න ගණිකාවන් අපොහොසත් වීමයි. නමුත් ගණිකාවන්ට තෘප්තිමත් කළ හැකි අතිබහුතරයක් පිරිමි ලංකාවෙ ඉන්නවා. ඒ සේවය ඒ අයට අවශ්‍යයි.

    මං එක ගණිකාවක් සමග ඉඳිද්දි එයා කිව්වා එයාගෙ පියයුරු උරන්න එපා කියල. දරුවට කිරි දෙනවා කියල. එයා රස්සාව කරලා ‍එනකල් මහත්තයා ළමයා බලාගන්නවා කිව්වා.

    මේ කතාව ම‍ගේ අනුරාගය සම්පූර්ණයෙන්ම ඉවර කළා. එයා මට අවශ්‍ය සේවය, තෘප්තිය ලබා දෙනවා වෙනුවට එයාගෙ පුද්ගලික ප්‍රශ්නයක් ඇඳ උඩ‍ට අරගෙන ආවා. ඒක මං දකින්නෙ වෘත්තිමයභාවයක් නැතිකම විදිහට.

    මීට සමාන කතා ගණිකාවන් විසින් බොහෝ වෙලාවට කියනවා. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්; නමුත් ඇයගේ පුද්ගලික ප්‍රශ්නය ඇගේ පාරිභෝගිකයාට අදාල දෙයක් නෙමෙයි.

    ගණිකා වෘත්තිය නීතිගත වෘත්තියක් කිරීම අත්‍යාවශ්‍යයි කියල මං කියන්නෙ මේ පැත්තෙන්. ඇය විසින් ලබාදෙන සේවය ගුනාත්මක තෘප්තිමක් එකක් වෙන්න ඕන. ඇය නිකං ශරීරය විකුණනවා නෙමෙයි. එයා ෆැන්ටසියක් විකුණන්න ඕන. ඒ වෙනුවෙන් එයාට පුළුවන් එයා කැමති මිළක් නියම කරන්න. නමුත් ඇයට මිළ ගෙවිය යුත්තේ පරිභෝගිකයා තෘප්තිමත් නම් පමණයි.

    කෙනෙකුට දරුවෙකුට කිරි දෙන තන පුඩුවක් වඩා අනුරාගී වෙන්න පුළුවන්. ඒත් මට මුනගැසුනු කාන්තාව කලේ දුප්පත්කම, හිඟනකම වෘත්තිය ඇතුලට අරගෙන එන එකයි. ඒක ඒ වෘත්තියට කරන අගෞරවයක්.

    ගණිකා වෘත්තිය නීතිගත විමෙන් පස්සෙ ඒක බහුවිධකරණය වෙන්න ගන්නවා. ගණිකාවක් කියන්නෙ කායික රමණය සඳහා ශරීරයක් විතරක් නෙමෙයි. ඉතාම හොඳ සංවාද කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට නටන්න පුළුවන්, කාලය ගත කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියල්ලත් එක්ක රමණය කිරීමයි ඒ අත්දැකීම තෘප්තිමත්, අර්ථවත් එකක් කරන්නෙ.

    ගණිකාවන් ඉතා ධනවත් වෙන්න ඕන. ඔවුන් අනුරාගයේ ගිනිසිලුව ඇවිලෙමින් තියාගන්න ඕන. කාමයේ කලාවන් ප්‍රගුණ කරන්න ඕන. උපතින් ලද සිරුර පමණක් මුදලකට විකිනීම ඇත්තෙන්ම ඒ පාරිභෝගිකයාට කරන අවමානයක්. ඒ තරම් අවම රසයකින් තෘප්තිමත් කළ හැකි පීඩිත මට්ටමෙන් සැලකීමක්.

    ගණිකා වෘත්තිය ඊට හිමි ගෞරවනීය අනුරාග මුනිවරියන්ගේ සේවාවක් බවට දියුණු වෙන්න ඕන. මොකද ඒ අයට පුළුවන් සමාජයක් සුවපත් කරන්න.

  • මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

    මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

    ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි. ලිබරල් වික්‍රමසිංහ වුනත් මේ වෙලාවෙ කරමින් ඉන්නෙ අන්ත ප්‍රතිගාමී බයියන් චූන් කරන වැඩ.

    හැබැයි ජාතික ජන බලවේගය මේ ගැන සීරියස්ද?
    ඒ කියන්නෙ ගණිකා වෘත්තිය තවත් වෘත්තියක් විදිහට පිළිඅරගෙන ඊට අවශ්‍ය වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව රජයක් විදිහට සැලසීම කියන කාරණයට ඇත්තටම මේ අය එකගද? මීට කලින් ජනතා විමුක්ති පෙරමුනේ අය කියමින් හිටපු ගණිකා වෘත්තිය වගේ තත්වයකට මේ පිරිස යොමු වුනු සමාජ කාරණා වෙනස් කිරීම වගේ පරණ හණමිටි දැන් මේ පිරිස පැත්තකින් තියලද?

    එහෙනං මෙන්න අත්දෙකම එකතු කරලා ජාජාබෙට අත්පුඩියක්.
    මේ කතාව අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධ වේදිකාවක කිව්වොත් ෆැකල්ටි ඔෆ් ‍සෙක්ස් අපිත් මාලිමාව දිනවන්න වැඩ කරනවා, සහතිකයි.

    මොකද ඒ වගේ ආර්ථික නිදහස පිළිබඳ කාරණයක් පිළිගන්නවා කියන්නෙම එවන් රජයක් මිනිස් නිදහස, ගරුත්වය සහ සතුට ගරු කරනවා කියන එකයි.

    ඒත් අපි හැමවෙලාවකම මෙහෙම කතා අහන්නෙ පක්‍ෂයක පැත්තකින් ඉන්න චරිත නිකං අවධානය ගන්න කරන කතා විදිහටයි. ජාතික ජන ‍බලවේගය මේ පාර එහෙම නෙමෙයි කියල අපි ප්‍රාර්ථනා කරමු.

  • ‘එයා දැන් බැඳලා’ බැලුවද?

    ‘එයා දැන් බැඳලා’ බැලුවද?

    පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා. මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා. ටීවී එකේ වාරණය වූ තේමාවක් වන ‘ලිංගිකත්වය’ ටෙලි රෙසිපි මැද්දට කැදෙව්වා. සාලෙ මැද තියලා තියෙන ටීවී එකේ ගණිකාවක් ගැන කතාවක් සතිපතා ප්‍රචාරය කළා. වෙනදා එන සදාචාර පැමිණිලි වෙනුවට මෙදා පාර පැසසුම් හෝ ගාලා එන්න ගත්තා. නැවත තමන්ට වැඩිහිටියෙකුගේ අයිතිය ලැබීමේ ප්‍රීතියෙන් ටෙලි ප්‍රේක්ෂක ජනතාව ප්‍රීතිගෝෂා නැගුවා.

    රූපවාහිනී මහගෙදර බඳු ITN එක පළවෙනි වතාවට ගමට එරෙහිව සෙක්ස් කැරැල්ලක් ගැහුවා. විස්මය දනවන කාරණය වුනේ ඒක මිනිස්සු උඩ පැනලා බාරගත්ත එක. ජනතාව මාරු වෙලාද නැත්තං සමාජ බලය මාරු වෙලාද?

    ලංකාවේ දෙවෙනි ඉණිම බලන ස්වභාවික ප්‍රේක්ෂකයා තමන් නරඹන දේ ගැන කළකිරිලා ‘ එයා දැන් බැඳලා’ බලන්න පෙලඹුනා කියන එක බාරගන්න මට තරමක් අමාරුයි.‘මචං ෆේස්බුක් එකේ හැමෝම බලන්නෙ ‘එයා දැන් බැඳලා. ඒත් එලියට බැහැලා ඇහුවොත් ඔක්කොම බලන්නෙ ’දෙවෙනි ඉණිම’. කොහොමද බං එහෙම වෙන්නෙ?’ මගේ යාලුවෙක් මගෙන් ඇහුවා.

    ඒක වෙන්නෙ මෙහෙමයි.
    සෝෂල් මීඩියා හරහා රැල්ලක් නිර්මාණය කරලා ඒ රැල්ලට ප්‍රේක්ෂක බලයක් හදාගන්න ‘එයා දැන් බැඳලාට’ පුළුවන් වුනා. ඒක නොබැලුවොත් කොන්වෙන තත්වයක් හැදුනා. ඒක නැරඹීම හින්දම තමන් යම් උසස් රසිකත්වයක් ඇති කෙනෙක් බව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුනා. ඉන් කුල්මත් වුනු ජනතාව ඒ වෙනුවෙන් ස්වාධීනව සම්මාන දෙන්න පවා ගත්තා. කෘතිමව නිර්මාණය වුනත් ඒක අගය කරන්න ඕන තත්වයක්.
    ‘මං පිට්ටනිය හැදුවා. දැන් ගහන්නයි තියෙන්නෙ’ කියල ප්‍රසන්න ජයකොඩි කියන්නෙ මේ කාරණය වෙන්න ඕන. ඒ අලුත් ප්‍රේක්ෂක අවකාශය / බලය නිර්මාණය කිරීම.

    කොහොම වුනත් මේ අධික උණුසුම නිසාම මං ඒක බලන එක පුළුවන් තරම් පස්සට දැම්මා. යමක් ගැන ඇතිවෙන සාමූහික උමතුව මාව ඒ නිර්මාණයෙන් ඈත් කරනවා. සියල්ලන්ගේ සුරතාන්තයට ඉඩදීලා බලන් ඉඳලා මං අන්තිමට දවසක් ඉඳගෙන එක දිගට කොටස් 27ම බලලා ඉවර කළා.

    මේක බලද්දි මට එකපාරටම මතක් වුනේ සර්ජි ලියොනේ විසින් කරපු Once upon a time in the West කියන ෆිල්ම් එක. මේ ලංකාවෙ සුද්දිගෙ චරිතය මට ඒ ෆිල්ම් එකේ නිව් ඔර්ලියන්ස් ඉඳන් එන ජිල් එක්ක සමීපව පෙනුනා. මේ දෙන්නා කොහෙත්ම සමාන නෑ. ඒත් ලංකාවෙ මේ ගැහැණියගේ චරිතය සහ බටහිර මේ ගැහැණියගේ චරිතය එකට තියලා බලන්න වටිනවා.

    කවුද මේ ගැහැණිය? නගරයේ ගණිකාවක්ව හිඳ ගමට ඇවිත් පවුලක්ව ‘යහපත්’ වීමට උත්සාහ ගන්නා ගැහැණිය. ප්‍රසන්නගේ කතාවෙ කේන්ද්‍රීය සරාගි වස්තුව වෙන්නෙත් ඇය.

    එයා දැන් බැඳලා කියන්නෙ ලංකාවෙ බහුල ලිංගික මනෝ ව්‍යාධීන් සහ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කරන නාට්‍යයක්. ඒ දුර්වලතා දෙස බලා සිටින්න අපි තුල ඇල්මක් ඇති කරන්නේමත් ඒවා අපිට ආමන්ත්‍රණය කරන හින්දමයි. නැත්නම් ප්‍රසන්නගේ අනෙකුත්‍ ටෙලි/සිනමා කෘතිවලට සාපේක්ෂව මේක දුර්වල වියමනක්. පිටපත දියාරුයි. එකතැන ගතවෙනසුලුයි. සමහර තැන් ක්‍රින්ජ් පවා.

    එයා දැන් බැඳලා සාර්ථක වෙන්නෙ ඒකෙ කතා කරන්නෙ සෙක්ස් හින්ද.

    පිටපත දුර්වල වුනත් ප්‍රසන්න ඉතා ප්‍රබල චරිත නිර්මාණයක් කරනවා. මනියා, පීතර, සිරි, සුද්දි කියන චරිත ඒ රඟපාන නළුනිළියන් විසින් මැනවින් හුස්ම පොවමින් පණ පිහිටුවනවා. විශේෂයෙන්ම පීතර ඒ චරිතයේ අපූර්වත්වයත් එක්ක පිටපතේ දුර්වල තැන් මතින් නාට්‍යය ඉස්සරහට ඇදගෙන යන්න ලොකු වැඩකොටසක් කරනවා.

    පීතර කියන්නෙ ලංකාවෙ අපචාරී පියා. මේ අපචාරී පියා විසින් දුර්වල පිරිමියෙක් වන ‘සිරි’ ව නිර්මාණය කරනවා. සිරි කියන්නෙ අම්මා හොයමින් ඇවිදින මැදිවියේ පුතෙක්. එයා වෛශ්‍යාවක් තුලින් අම්මාව හොයාගන්න හදනවා. ලිංගික ශ්‍රමිකයෙක්ව ලිංගිකහරණය කරන්න උත්සාහ ගන්නවා.

    මේ වෛශ්‍යාව තුලින් අම්මා හෙවීම ලංකාවෙ ගොඩක් බහුල මානසික තත්වයක්. අපේ ගණිකාවන් ගැන ලියවුනු සිංදු බොහොමයක් අරගෙන බැලුවත් ඒ ලියන්නා මේ වෛශ්‍යාව ශුද්ධ වූ මාතෘත්වය දක්වා ඔසවා තැබීමේ අසහනයෙන් පෙලෙන බව තේරුම් ගන්න පුළුවන්. අපිට ගණිකාවකගේ විවෘත ලිංගික ප්‍රකාශනය දරාගන්න අමාරුයි.

    අපේ කතාවෙ ප්‍රධාන චරිතය සිරි මේ විදිහට පියාගේ අපචාරීත්වය විසින් ලිංගික වශයෙන් දුර්වල කරන ලද ගැමි නෝන්ජල් පිරිමියෙක්. ලිංගිකත්වයට බයෙන් හැංගෙන, එය වසා උත්තරීතර සළු පොරවන්නට තනන සියලු පිරිමි මේ අවුලෙන් පෙලෙනවා.

    අපේ වීරවරිය එයා පොදු ගැහැණියක් වීම නිසා ජීවිතේ පුද්ගලික ආදරය අහිමිවීම ගැන තැවෙන ගැහැණියක්. අපි හැමෝම දුක්වෙන්නෙ අපිට නැති දේ ගැන. එයා ඒ පුද්ගලික ආදරය සොයාගැනීම වෙනුවෙන් තමන්ගේ ලිංගික ජීවිතය කැප කරන්න තීරණය කරනවා. කසාදය නමින් තමන්ගේ ස්පර්ශය සීමා කරනවා.

    සිරි එන්නෙ වෛශ්‍යාවක් බඳින්න. සුද්දි එන්නෙ පත්තිනියක් වෙන්න.
    නාට්‍ය ඇතුලෙ අපි නැවත නැවත මුහුණ දෙන ප්‍රශ්නය වෙන්නෙ සුද්දි පතිවත් රකින ගැහැණියක් කියල පිළිගන්න ලෑස්ති කවුද කියන එක. හැමෝම බලන්නෙ රෙද්දෙ තුත්තිරි දිහා. ඇය ගණිකාවක් වීමේ අනුරාගය, ආකර්ශනය වඩා ප්‍රබලයි. බිරිඳක් කියන්නෙ දුර්වල ගැහැණියක්. ගණිකාවක් කියන්නෙ නිදහස් ගැහැණියක්.

    එයා දැන් බැඳලා වඩා ජනප්‍රිය වෙන්න සේමිනී මේ චරිතය කරන එකත් බලපෑවා කියල මං හිතනවා. පහුගිය කාලෙ සේමිනීගේ නම ගැටගැහෙමින් අනුරාගී හඩපට කීපයක් සමාජජාලාවල මෝචනය වුනා. ෆෝන් එකෙන් ෆෝන් එකට ඒවා මාරු කරමින් ජනතාව ස්වයං වින්දනයක් ලැබුවා. ඊට ටික කාලයකට පස්සෙ සේමිනී ගණිකාවක් විදිහට ටීවී එකෙන් එනවා. මේක මේ චරිතයට ආශක්ත කරන්න අවිඥානක හෝ බලපෑමක් කරනවා. නාට්‍යයේ චරිත සුද්දිට පිස්සු වැටෙන හේතුවටම නාට්‍යය නරඹන්නා නාට්‍යයට පිස්සු වැටෙනවා. අවුරුදු ගානක් පහු වුනත් ප්‍රසන්නගෙ නාට්‍යය ඉතාම නිවැරදි වෙලාවට ස්ථානගත වෙනවා.

    සුද්දි තමන්ගේ ගණිකා වෘත්තියෙන් පිටත පවුල තුල ඇතැයි කියල හිතන සදාචාරයක්, ශික්ෂාවක් ඔලුවෙන් හදාගෙන ඇතුල් වෙන්නෙ ලංකාවෙ ගමේ අශිෂ්ට ව්‍යභිචාර පවුල ඇතුලට. ඒ පවුලෙ තාත්තාගෙන් පුතාලගෙ ගෑනු පරිස්සම් කරන්න ඕන. සහෝදරයන්ගෙන් පරිස්සම් කරන්න ඕන. එලියෙදි පි‍ට පිරිමින්ගෙන් පරිස්සම් කරන්න ඕන. සිරි සියලු වැඩ දෙවෙනි කොට තමන්ගේ බිරිඳ පරිස්සම් කිරීමේ ක්‍රියාවට එළඹෙනවා.

    පවුල පවතින්නෙ සෙක්ස් කිරීමේ ‘සීමාව’ පැනවීම මත. ඒ සීමාව සළකුනු කරන්නෙ ලැජ්ජාව සහ අපවාදය විසින්. ඒ ලැජ්ජාව විසින් ගැහැණිය දුර්වල කරනවා. මුලින් පිරිමින්ට පමණක් වෙන්වූ වැඩ‍ මොනවා දැයි අසමින් ඒ පිරිමි මානයන් වෙනස් කරන ‘අතීත’ වෛශ්‍යාව අන්තිමට නාකි පිරිමියෙකුගේ අත ගසා දාන්නවත් බැරි ගෘහනියක තත්වයට පත්වෙනවා.

    මේ චරිතවල ඉමෝෂනල් ගමන පිටපතේ සාර්ථකව ගොඩනැගෙන්නෙ නෑ. නිකංම දෙබසකින් වගේ ලොකු ඉමෝෂනල් පිමි මාරු වෙනවා. ඊට අදාල වෙන විශ්වාසනීය තත්ව ගොඩනැගීමක් වෙන්නෙ නෑ. මූනු මත නිකරුනේ ගොඩක් වෙලා රැදෙන කැමරාව අපිට නොතේරෙන යමක් මෙතන වෙනවා යැයි හැගීමක් ඇති කරන්න හිස් මහන්සියක් ගන්නවා.

    නිතර ගමේ වෙනත් අය ගැන කතා ඇහුනත් ‘එයා දැන් බැඳලා’ කතාව ඇතුලෙ අපිට ගමක් මුනගැහෙන්නෙ නෑ. වැටක් අයිනෙං යන හුදකලා ගැහැණියක්, ත්‍රීවීල්කාරයො කීපදෙනෙක් වගේ තමයි අපිට ගම කියල දකින්න තියෙන්නෙ. ඒ ගමෙන් ඇත්තට සිද්ද වෙන බලපෑමක් නෑ. ඒ වෙනුවට සියල්ල සිද්ද වෙන්නෙ පවුල ඇතුලෙන්මයි. අපේ ලෝකය කියන්නෙ නැවත අපේ පවුලමයි වගේ ඇතුලතට හැරීමක් ප්‍රසන්න යෝජනා කරනවා වගේ.

    කොහොමටත් මුලු ටෙලි නාට්‍යයම ඉතාම අවමතාවාදීයි. කතාව මූලිකව දිගහැරෙන්නෙ ගෙදර, පතල, මුරමඩුව කියන තැන් තුන අතර. ගෙදර කියන්නෙ පවුල/අපචාරය/නිදහස අවම කලාපය. මුර මඩුව කියන්නෙ නිදහස, රසය, ආදරය. ඒක තියෙන්නෙ පවුලෙන් පිට. පතල කියන්නෙ රස්සාව. සිරි කියන්නෙ එතනදි බිම් පණුවෙක්.

    එයාට තමන්ගේ ජීවිතේ අර්ථය මුනගැහෙන්නෙ මුරමඩුවෙ තමන්ගේ සහෝදරයයි තවත් මිතුරෙකුයි එක්ක ගණිකාවක් හවුලේ රස විඳින මොහොතෙයි. මේකෙන් තේරුම් ගන්න ඕන කාරණය කෙනෙකුට ස්පා එකකදී වුනත් අවබෝධය ලැබෙන්න පුළුවන් කියන එකයි.

    ප්‍රසන්න මේ නාට්‍යයෙදි පාවිච්චි කරන අවමතාවාදී රීතිය ලංකාවෙ ටෙලිවලට ඉතා මැනවින් ගැලපෙනවා කියන එක පැහැදිලියි. ගොඩක් විච්චූර්ණ, පැටලිලිසහගත සංස්කරණ වෙනුවට චරිත කීපයක් එක්ක තැන් කීපයක දිගහැරෙන කතා ප්‍රේක්ෂකයා එක්ක ලේසියෙන් බැදෙනවා. සමහර විට ඒ විස්තර අතර මහන්සි වෙන්න දෙයක් නැති හින්දම වෙන්න ඇති. එහෙම සුළු චරිත ටිකක් එක්ක, මේ තරම් පුංචි කතාවක් කොටස් විසි හතක් දක්වා අරගෙන යාම ප්‍රසන්නගෙ දක්ෂකම.

    මෙතනදි තෝරාගන්න ලොකේෂන් එකත් (සීතල රිවර්ස්ටන් වගේ කඳුකරය) නරඹන්නාව බැඳ තියාගන්න හොඳ රැහැනක් වෙනවා. ඒ සුන්දර වටපිටාව බලන් ඉන්න ආසයි. ඒ කඳු අතර දිගහැරෙන්නෙ අතර ආර්ථික හෝ දේශපාලන ආදී හෝ වෙනත් ප්‍රශ්නවලින් පීඩා නොවිඳින ඩිස්ටෝපියානු පවුලක කතාවක්. ඒ පවුලේ එකම ප්‍රශ්නය සෙක්ස්. ඇත්තටම අපෙත් ලොකුම ප්‍රශ්නෙ සෙක්ස්. ඉතින් ඒ කඳු මිටියාවත අතරදි ප්‍රසන්න අපිට අනෙක් සැරසිලි අයින් කරලා අපේ ඇත්ත අවුල මුනගස්සනවා කියන්න පුළුවන්. අපිට අපේ රෝගය මුනගැහෙනවා. ‘එයා දැන් බැඳලා’ කියන්නෙ ඒ රෝගය.

    ප්‍රේමයේදී ගණිකාවක් කසාද බඳින්න තරම් එඩිතර පිරිමියා කසාදයේදී ළමයා තමන්ගෙද කියන සැකෙන් තැති ගන්නවා. මේ අතර කඳු නාය යනවා, ළමයි ලොකු වෙනවා වගේ එකපාර සිද්ද වෙන අද්භූත සිද්දිත් තියෙනවා.

    කතාවෙ මූලික හරය වෙන්නෙ ලංකාවෙ සමාජය (ගම) දරාගත නොහැකි තරමේ ලිංගික අහේනියකින් පෙලෙනවා කියන එකයි. ඒ ගමේ ලස්සනක් ඇති ගැහැණු පරාණයක් නැති බව පැහැදිලියි. පිට පොත්ත සුදුවීම නිසාම සුද්දී යැයි නම් ලබා ඇය අනුරාගී වස්තුවක් බවට පත් කරන්නෙත් ඒ හිගයයි. ඒ කාම අහේනිය එක්ක, එක තැන ගතවෙනි ජීවිතවල කාංසාව අපිටත් දැනෙන තරමට ඒ කදුකරය, මීදුම අපිවත් ඊට ඇතුල් කරගන්නවා.

    එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කැමරාව ඉතාම දුර්වල බව කියන්න වෙනවා. ඒ වගේම සංස්කරණය කාලය දිගු කිරීම සඳහාම සිද්ද වෙන බවක් පේන්න ගන්නවා. ඒ කිසිවක තියුණු බවක්, අලුතෙන් යමක් එක් කිරීමක් දකින්න ලැබෙන්නෙ නෑ. තේමා සංගීතය ඉතාම ආකර්ශනීය වන අතර මැද තැන තැන ඇහෙන ට්‍රාන්ස්/සයිකඩෙලික් සංගීත ඛණ්ඩය මේ චරිතවල අභ්‍යන්තරය මතු කරන්න උත්සාහ ගන්නවද, ඒක එහෙම වැඩ කරනවද කියන සැකසහිතයි.

    මේක බලලා ඉවර වුනාම මට ඉස්සර අපේ ගෙවල් පැත්තෙ හිටපු සිරිට සමාන කම්මල්කාරයෙක් මතක් වුනා. මේ මනුස්සයාගෙ බිරිඳ නිතරම වෙන පිරිමි එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. මේ මනුස්සයා ඒවා ගැන දැනගත්තත් ඊට විරුද්දව මොකුත් කරන්න පුළුවන්කමක් එයාට තිබුනෙ නෑ. වරින් වර මේ කාන්තාව අර සෙක්ස් පිනිසම තමන් හො‍යාගෙන එන පිරිමි එක්ක පැනලා යනවා. ඉතිං අර සැමියා ඉතාම දුකසේ කාලයක් ගත කරනවා. කොහොම හරි මිනිහා බිරිඳ ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයාගන්නවා. කරන වැඩ සියල්ල අත්හැර ඇයව හොයාගෙන ගිහින්, එතන ලැගලා අඩලා දොඩලා කොහොම හරි ආපහු එක්කගෙන එනවා. හරිම ආදරෙන් ටික කාලයක් මේ දෙන්නා ඉන්නවා. ආපහු ගෑනි පැනලා යනවා.

    මේක නිතර නිතර සිද්ද වුනත් අර පිරිමියා ගැහැණිය තුලින් දැකපු මැජික් එක කවදාවත් ඉවර වුනේ නෑ. කොයිතරම් පිරිමි එක්ක නිදාගත්තත් අර පිරිමියාට ඒ ගැහැණියගේ කිසිම අඩුවක් දැනුනෙ නෑ. පළාතෙම මිනිස්සු පොන්නයා කියද්දි ඒ මනුස්සයා හැමදාම එක වගේ තමන්ගේ බිරිඳට ආදරය කළා. ඇයව දැකීමෙන් පවා පිනාගියා. කොයි පිරිමි එක්ක ගියත් නැවත තමන් ගෙදර එනකල් බලන් ඉන්න පිරිමියෙක් ඉන්නවා කියල ඒ බිරිඳත් හදවතින් දැනගෙන හිටියා.


    චින්තන ධර්මදාස

  • මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    එංගලන්තෙ ජීවත් වෙන මාලිමාවට බැතිමත් තරුණයෙක් පෝස්ටුවක් දමමින් මේ ලංකාවට එන්නෙ රුසියානු බඩු බවත් ඒ අය ටුවරිස්ට්ලා නොවන බවත් ප්‍රකාශ කරලා තිබුණ. ඒ වගේම එංගලන්තෙ වගේ රටවල මේ රුසියානු ‘බඩු’ වලට ඇතුල්වෙන්න පවා නොදෙන බව මේ තරුණයා ප්‍රකාශ කරලා තිබුනෙ ආඩම්බරෙන්. වඩාත් ආකර්ශනීය විදිහට මේ තරුණයා විසින් රුසියානුවන් ‘නියම සුද්දන්’ නොවන බවත් නියම සුද්දා කවුද යන්න තමන් දන්නා බවත් තමන්ගේ එංගලන්තවාසී බව ඇතුලෙ ඉදිමෙමින් සළකුණු කරනවා. මේ ප්‍රකාශ ඇතුලෙ මට පැහැදිලිව පේන කාරණා කීපයක් තියෙනවා.

    එකක් ලිංගික ශ්‍රමික වෘත්තිය සම්බන්ධයෙන් ඔහු තුල ඇති පහත් පිලිගැනීම. ඒ හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව එයා මේ යුවතියන් ‘බඩු’ බවට ඌනනය කරනවා. මේක ලංකාවෙ අපි ‘බයි’ සංස්කෘතිය කියලා විවේචනය කරපු මිසොජිනිස්ටික් තත්වයක්. ලිංගිකව නිදහසේ හැසිරෙන ගැහැණුන් පහත් විදිහට තේරුම් ගැනීම. පිරිසිදු නැති, වටිනාකමක් නැති, ඇතුල්වෙන්න පවා අයිතියක් නැති කොටසක් විදිහට දැකීම.

    මෙතන තවත් වැදගත් දෙයක් වෙන්නෙ මේ සියලු රුසියානු තරුණියන් ‘බඩු’ බව තීරණය වෙන්නෙ කිසිම සමීක්ෂණයකින් හෝ වාර්තාවකින් නෙමෙයි. උදයංගගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන පිංතූර දාන හින්ද. මේ අය ලිංගික ශ්‍රමිකයන් වෙන්න පුළුවන්, නිරූපිකාවන් වෙන්න පුළුවන්, උදයංගගෙ මිතුරියන් වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණවේදීන් වෙන්න පුළුවන්. වෙන ඕනම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ සියලු තත්වයන් අතරින්, උදයංග පිංතූරයක් පළ කරන සැණින් මේ තරුණයා තීරණය කරනවා පැමිණෙන සියල්ලන් ‘බඩු’ බවට. මේකත් බයි ලක්ෂණයක්. දකුණු පළාතේ ඉතා කුප්‍රකට මිනීමැරුම කුරාම් ෂීක් සිද්දිය සිද්ද වුනෙත් මේ එංගලන්තවාසී තරුණයාට සමාන උපකල්පනයක් මත. කුරාම්ගේ රුසියානු පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා ‘බඩුවක්’ විදිහට රාජපක්ෂවාදී සම්පත් විදානපතිරණ නිගමනය කරලා තිබුන.

    දෙවෙනුව මේ මාලිමාකාමී තරුණයාගෙ ඔලුවෙ ‘නියම සුද්දන්’ ඉන්නවා. ඒ සුද්දන් යනු වැඩියෙන් ඩොලර් වියදම් කරන අයයි. මේ කතාවම මේ පක්ෂයේ ආර්තිකය සම්බන්ද විශේෂඥ සුනිල් හඳුන්නෙත්තිත් කියනවා. එයා කියන විදිහට අපිට දැන් එන්නෙ, අපෙන් කාලා, අපේ තැන නිදාගෙන, අපේ බීච් එක පාවිච්චි කරලා යන සංචාරකයො. එහෙම අයගෙන් ආර්ථිකයට වැඩක් වෙන්නෙ නෑ. අපි සංචාරකයෙක් මනින්න ඕන එයා දෙන ටිප් එකෙන්. වියදම් කරන ප්‍රමාණයෙන්. (මේ කියන හඳුන්නෙත්ති කන බොන අඳින විදිහ ගැන එයාගෙම ප්‍රකාශ සංසන්දනය කිරීමෙන් වැඩි ආනන්දයක් ලබන්න පුළුවන්)

    ලංකාවට වියදම් කිරීමේ හැකියාව නැති, විවිධ නිර්මාණශීලීත්වයන්ගෙන් හෙබි විදේශිකයො ගොඩක් එනවා. ඒ අය ලංකාවෙ මිනිස්සු එක්ක එකතු වෙලා විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. ලංකාව ගැන යූටියුබ් චැනල් කරනවා. වැදගත්ම දේ මේ අය ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු එක්ක මුහු වෙනවා. ඒ හින්ද වඩාත් සංචාරක හිතැති සංස්කෘතියක් නිර්මාණය වෙනවා. ඒ අවශ්‍යතා සහ ආශාවන්ට වඩා නිවැරදිව සමීප වෙන්න පුළුවන් අවස්ථා නිර්මාණය වෙනවා. තමන්‍ට හුරු, සමීප සංස්කෘතියක ජීවත්වෙන අය විසින් ලබන අත්දැකීම් විඳින්න තවත් විදේශිකයන් පෙළඹෙනවා. ඒ අය කරන්නෙ ඇත්තටම මිළ කළ නොහැකි සංචාරක ප්‍රවර්ධනයක්.

    මෙතනදි හඳුන්නෙත්ති කතා කරන්නෙ තමන්ගේ අතට ලැබෙන මුදල පමණක් ගණං කරන හෝටල්කාරයෙක් වගේ. Eco System එකක් ගැන කිසිම දැනීමක් නැතිව. අපේ රටට එන හැම විදේශිකයාම අපිට වැදගත්. ඔවුන් වියදම් කරන මුදල කියන්නෙ ප්‍රධාන සාධකය නෙමෙයි.

    අපි ආපහු මාලිමාකාමී තරුණයාගේ කතාවට එමු.

    වඩාත් හාස්‍යජනක කාරණය වෙන්නෙ එංගලන්තයට ගිහින් ඒ රටේ ආර්ථිකය මත යැපෙන මේ තරුණයා එය මහා ආඩම්බරයක් හැටියෙන් පිළිගනිමින් ලංකාවේ ශ්‍රම රැකියාවක් පිණිස එනවා යැයි ඔහු උපකල්පනය කරන කාන්තාවන් දෙස අවඥාවෙන් බැලීමයි. ලංකාවෙන් වෙන රටවලට පෝලිමේ පනින අතර වෙන රටකින් ලංකාවෙ රස්සා පිණිස එන එකට විරුද්ධ වීම කුහකයි. ඒ කුහකකම රාජපක්ෂවාදයේ ලකුණක්. අපේ උත්සාහය විය යුත්තේ ඕනෑම කෙනෙකුට ලෝකෙ ඕනෑම රටකට ගිහින් තමන් කැමති ඕනෑම රැකියාවක් කිරීමේ අවස්ථාව නිර්මාණය කිරීම මිස දේශසීමා අඳිමින් මිනිස් සංචරණය සීමා කිරීම නෙමෙයි. නිදහස් වෙළඳපොලක වැදගත්ම කාරණයක් මිනිස්සුන්ට ඕනම තැනක ගිහින් තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස. ඒ අය එක්ක එන්නෙ මුදල් විතරක් නෙමෙයි. දැනුම, සංස්කෘතිය, අදහස්, ජාන, ජීවන සහ සිතීමේ විලාස.

    ගණිකා වෘත්තිය කියන්නෙ අපේ රටේ ආඩම්බරෙන් කරන වෘත්තියක් නෙමෙයි. ඒ වගේම ඒ වෘත්තීය පුහුණුවෙන් සහ දැනුමෙන් අපි ඉන්නෙ අන්තිම පහත් අඩියක. නමුත් සංචාරක කර්මාන්තයේ වර්ධනයට මේ ආශා කර්මාන්තයේ පැවැත්ම අනිවාර්යයක් වෙනවා. මෙතනදි රුසියානු ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ මේ කර්මාන්තයේ ඉතාම ප්‍රවීනයන් හැටියටයි පිළිගන්නෙ. ඒ අය ලංකාවට ඇවිත් තමන්ගේ වෘත්තියෙහි යෙදීම අපිට සලකන්න වෙන්නෙම ආයෝජනයක් හැටියට.

    මේ මාලිමාභක්තික තරුණයා විසින් කරපු ප්‍රකාශය වෙනුවෙන් මාලිමාවේ ෆේස්බුක් ප්‍රචාරක හැටියට නිල වශයෙන්ම පෙනී සිටින දර්ශන ඩයසුත් පෙනී ඉන්නවා. එයාට අනුව මේ ලිංගික ශ්‍රමිකයන් ලංකාවට පැමිනෙන එකෙන් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා අඩුවීම නිසයි මාලිමාව මේ රුසියානු කාන්තාවන්ට විරුද්ධ වෙන්නෙ. ඒක අන්තිම ආරක්ෂණවාදී පිළිවෙතක්. තමන්ගේ රටේ වෘත්තියක් වශයෙන් පිළිනොගත් ක්ෂේත්‍රයක රැකියාවක් පිණිසවත් වෙන රටක කෙනෙක් එන එකට විරුද්ධ වීම විකාරසහගතයි. අපි ඒක පැත්තකින් තියමුකො. වැදගත් කාරණය වෙන්නෙ මාලිමාව ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. (වෘත්තියක ආරක්ෂාව ගැන හිතන කෙනෙක් මුලින්ම උත්සාහ කරන්නෙ ඒ වෘත්තිය නීතිගත කරන්නයි) අවාසනාවට මං තාම කිසිම තැනක මාලිමා ප්‍රධානියෙක් ඔය සම්බන්ධයෙන් කතාවත් කරනවා අහලා නෑ. නමුත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් මාලිමාව ඉදිරිපත් වෙනවා නම් අපි එකපයින් ඒකට සහයෝගය දෙනවා.

    නමුත් මාලිමාවාසීන් දැනගත යුතු කාරණයක් වෙන්නෙ වෘත්තියක් නීතිගත කිරීමට කලින් ඒ වෘත්තිය සම්බන්ධයෙන් ගරුත්වයක් ඇති කිරීමේ වැදගත්කමයි. කාන්තාවන් ‘බඩු’ බවට පත් කිරීමේ සංස්කෘතියක් ඇතුලෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න පුළුවන් වෙන්නෙ නෑ. පළමුව ලිංගික ශ්‍රමිකයෙක් යෙදෙන වෘත්තිය ගරුත්වයක් ඇතුව පිළිගන්න කියන එක මාලිමා බැතිමතුන්ට දේශනා කරන්න. දෙවෙනුව ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කිරීමට පියවර ගන්න. තෙවනුව ලිංගික සෞඛ්‍යය පිළිබඳ තත්ව තහවුරු කිරීමට අරගල කරන්න. ඊට පස්සෙ පුළුවන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ක්‍රියාත්මක වෙන්න.

    මාලිමාවට සම්බන්ධ අයගේ මෙවන් අනියම් ප්‍රකාශ වැදගත් වෙන්නෙ ඒවා තුලින් මාලිමාවේ අවිඥානය කියවෙන නිසයි. ඒ කාලෙ X කණ්ඩායම කිව්වෙ ‘ඔබේ අවිඥාණය අපි’ කියල. ඒ වගේ කාන්තාවන් දිහා බලන දෘෂ්ටිය, මුදල් සම්බන්ධයෙන් ඇති ආකල්පය, බටහිර ධනපති දියුණුව ගැන ඇති ආශාව, ආඩම්බර වෙන්න මොකුත්ම නැත්තං බටහිර රටක ඉන්න එක ගැනවත් ආඩම්බර වෙමින් ලංකාව ආරක්ෂා කරන්න ගන්න උත්සාහය මේ ආදී ලක්ෂණ අපි නැවත නැවත සිහියෙන් කියවාගන්න ඕන. මේ ලක්ෂණ අපිට මතක් කරන්නෙ අපි දන්න පරණ ‘බයියාව’. එතකොට අපිට මාලිමාව මොනවා කිව්වත් ඒ පිටිපස්සෙ පවතින සාමූහික අවිඥානය තේරුම් ගන්න පුළුවන් වෙනවා.

  • ලංකාවේ ශෘංගාර මූල්‍ය රැජන

    ලංකාවේ ශෘංගාර මූල්‍ය රැජන

    තිළිණි ප්‍රියමාලිගෙ මූල්‍ය වංචා ගැන සෑහෙන කතා පැතිරෙනවා. බිලියන දහයකට ආසන්න මුදලක් තිළිණි ළග තියෙනවා කියලත් කියනවා. හැබැයි පැමිණිලි නං තියෙන්නෙ තාම අටක් විතරලු.

    තිළිණි ළග මුදල් ආයෝජනය කරපු අය පොඩි මිනිස්සු නෙමෙයි. ඉහළ ප්‍රභූ පෙල‍ේ කට්ටිය. හාමුදුරුවරු, දේශපාලකයො, ව්‍යාපාරිකයො, ක්‍රීඩකයො ආදී අපි දන්න අදුරන සෙලිබ්‍රිටිලා ගොඩක් තිළිණිගෙ සාක්කුවේ ඉන්නවා. ජාති ආගම් පංති භේදයක් නැතුව එකට එකා වගේ ආයෝජන කරලා තියෙනවා.

    මේ අතර තිළිණි ප්‍රියමාලි කියන්නෙ කවුද කියලා විස්තර පලවෙනවා. වඩු කාර්මිකයෙකුගේ දුවක් වුනු ඇය අටේ පංතියට විතරක් උගත් කෙනෙක් කියලයි කියන්නෙ. පෙරදී නොතිබුනු ආකාරයේ සුන්දර රූ ශෝභාවක් පසු කාලෙකදි හිමිකරගන්නා ඇය චිත්‍රපට, දේපොල වෙළඳාම් ආදී සමාගම් ගණනාවක හිමිකාරිනියක් වෙනවා. සිනමා සම්මාන උළෙලක් පවා පවත්වනවා.

    තිළිණිගේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙන්නෙ උගත්කම්, පවුල් පසුබිම් නෙමෙයි. තිළිණිගේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙන්නෙ ප්‍රභූ පංතියෙ විතරක් නෙමෙයි ලංකාවෙම අන්තිම අසාර්ථක තැනක්. ඒ තමයි සෙක්ස්. තිළිණි අළෙවි කරන්නෙ ශෘංගාරය. උගත් බුද්ධිමත් දක්ෂ කීර්තිමත් සියලු පිරිස් තිළිණිගේ මේ ශෘංගාර අළෙවිය ඉස්සරහ දණගානවා. ඒ තමයි ලංකාවෙ සමාජයේ ඇත්ත නිලය.

    මීට කලින් තිළිණි විසින් ලිංගික ශ්‍රමිකයන් විදිහට කාන්තාවන් යොදාගත් ව්‍යාපාර පවා කළ බව කියනවා. ඒ වගේම මේ අලුත් ආයෝජන සඳහාත් එයා ප්‍රසිද්ධ නිළියන් සරාගී ඇමිනුම් විදිහට පාවිච්චි කරනවා. මේ ඉහළ ප්‍රභූ පංතියෙ ලිංගිකව දුර්වල පිරිමි එක්ක මේ නිළියන් සෙක්ස් සංවාද කරනවා. ඇතැම් විට සංවාස කරනවා. මේ අනුරාගයෙන් මුසපත්ව මුදල් ආයෝජන කරනවා. ඒ ආයෝජන ගැන නැවත පැමිනිල්ලක් හෝ කළ නොහැකි විදිහට ඔවුන්ගේ ලිංගික රහස් තිළිණි ළග තැන්පත් වෙනවා.

    තිළිණි සෙල්ලම් කරන්නෙ පිරිමින්ගෙ රහස් ජීවිතය එක්ක. බොහෝ විට රහසිගත ආදායම් එක්ක. රහස් ආශාවන් එක්ක. එළිමහනෙ නීතියට සදාචාරයට ආගමට හෝ සංස්කෘතියට තිළිණිව දමනය කරන්න බෑ. එයා ලංකාවෙ ඉහළම ප්‍රභූ පංතියෙ අනුර‍ාගී රහස් භාණ්ඩාගාරයක්. තිළිණි ඉන්නෙ ජාති ආගම් පංති සියල්ලටම ඉහළින්.

    තිළිණිගේ දුරකතන ඇමතුමකදී ඇය කියනවා ඈ ගැන ආදර හැගීමකින් මිලියන ගණන් දුන් පිරිමි ගැන. කවදා හෝ ඇගේ පහස ලබාගත හැකියි කියන ආශාවෙන් මුදල් විසි කරමින් මේ පිරිමින් දැවටෙනවා. ඇය විවාහ හතරක් කරගත්ත බව කියනවා. හතරවෙනි එක විවාහයක් නෙමෙයි ප්‍රේමයක් පමණක් කියලත් කියනවා. ඒ කොහොම වුනත් ඇය පිරිමි වසඟ කරන මහා බලයක් සතු සුවිසල් ගැහැණියක් බව අවිවාදිතයි.

    ඇගේ ව්‍යාපාර සඳහා, මේ ප්‍රභූ පංතිය වසඟ කිරීමට අඩුම තරමෙ ඇය ඉංග්‍රීසියවත් යොදාගන්නෙ නෑ. අමු සිංහලෙන් ලෝකයේ මහා ආයෝජනයන් කළ හැකි බව කියමින් ඇය මේ ශෘංගාර ක්‍රීඩාව කරනවා. ශෘංගාරය හමුවේ භාෂාව අසරණ වෙනවා. උගත්කම් නිලතල බිම දිගේ යනවා.

    ගොඩක් අය සක්විත රණසිංහ සමග තිළිණි ප්‍රියමාලි සංසන්දනය කරනවා. ඒක ඉතාමත් වැරදි සහගතයි. සක්විති ශෘංගාර මූල්‍ය ගණුදෙනුවක් කළ කෙනෙක් නෙමෙයි. සක්විති කරන්නෙ රැවටීම. තිළිණි කරන්නෙ සිඩක්ෂන්.

    තිළිණි කියන්නෙ ලංකාවෙ පළමු ශෘංගාර මූල්‍ය රැජන. ඇය සිරගෙදරක ජීවිතය ගත කළ යුතු ගැහැණියක් නෙමෙයි. ඇය විසින් පෙන්වා දුන්නේ ලංකාවේ පිරිමි අවුල. ලිංගික අතෘප්තිය. වෙනත් කිසිවකින් වසන් කළ නොහැකි මහා පුරුෂයන්ගේ දෙපරැන්ද අතර අසරණකම.

    තිළිණි ප්‍රියමාලි කියන්නෙ ගැහැණියක් සතු වසඟයේ කූටප්‍රාප්තියක්. ඇගේ අනුරාගයේ අනුහස විසින් දිනාගත් ලෝකය කෝටි ප්‍රකෝටිපති මහා පිරිමින්ගේ වත්කම් දෙකයි පණහට වට්ටනසුලුයි. දැන් ඇය හෙරක්, වංචාකාරියන් හැටියෙන් නැවත නැවත පුවත් පළකරමින් විව්ස් උපයන මාධ්‍ය පවා අළෙවි කරන්නේ ඇගේ ශෘංගාරයම මිස අනෙකක් නෙමෙයි. ඒ සියල්ල ඇය සතු වෙළඳපොල.

    SL දේශයේ දර්ශන හඳුන්ගොඩ කියන විදිහට ඇගේ දෑතට මාංචු දාන්න පොලිසියටවත් බෑ. පොලිසියේ ඉහළම නිලයන් පවා ඇගේ අනුරාග නිලයට දමනය වෙලා අවසන්. නීතිය හරියට කෙලින් වෙන්නෙ නෑ. තිළිණි ඉස්සරහ සියල්ල අඩකුඹයි.

    නමුත් හඳුන් ප්‍රාර්ථනා කරන හැටියට තිළිණි සිරගතව මාංචු ලා සිටිනු දැකීම අපේ පැතුම නෙමෙයි. ඇය අනුහස් ඇති ගැහැණියක්. ඇගේ ලිංගික ශක්තිය සුවිසල් එකක්. ඇය ඉක්මණින් නිදහස ලබාවි කියල අපි විශ්වාස කරනවා. ඇය සතු රහස් ගබඩාවන් සදාතනිකව වැසී තිබිය යුතුයි. ඒවා විවෘත වීමෙන් මහා කුවේරයන්ගේ පවුල් දෙදරා නොයා යුතුයි.

    සල්ලිවලින් කෝටිප්‍රකෝටිපතීන් වුවත් ලිංගිකත්වයෙන් අන්ත අසරණ පුංචි පිරිමින් සිත් සනීපයෙන් නින්දට යායුතුයි.

    තිළිණි ප්‍රියමාලි කළ ව්‍යාජ ව්‍යාපාර ලෝක වෙළඳපොලේ නැති වුනත් ඇය ගැන තැනෙන චිත්‍රපටයකට ලෝකයේ සැබවින්ම ලොකු වෙළඳපොලක් තැ‍නෙනු ඇති.

  • ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ආර්තික අර්බුදය හින්දා ලංකාවෙ කාන්තාවන්ට වි‍ශේෂ වූ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අයගෙ රැකියා නැති වෙනවා. මෙහෙම රැකියා නැතිවෙන බොහොමයක් පිරිස් ගණිකා වෘත්තියට එකතු වෙමින් පවතිනවා කියලා ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරනවා.

    කාන්තාවන්ගේ රැකියා අහිමිවීම නිසා ඒ අයගෙ පවුල්වල දුෂ්කරතා මතුවෙනවා. මේ හේතුවෙන් දිවිනසා ගන්නා අය ගැන පවා පුවත් වාර්තා වෙනවා. නමුත් ඊට වඩා ධෛර්යය සම්පන්න කාන්තාවන් තමන්ගේ ජීවිතයේ දැවැන්තම අභියෝගයක් බාරඅරගෙන, තමන්ට ප්‍රමාණවත් මුදලක් උපයාගත හැකි එකම මාධ්‍යය විදිහට විවෘත වෙලා තියෙන ලිංගික ශ්‍රමික කලාපයට ඇතුප්වෙනවා.

    ANI පුවත්සේවය වාර්තා කරන විදිහට මේ නිසා රටේ ගණිකා නිවාස වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා. පහුගිය මාස කීපයේ පමණක් ගණිකා වෘත්තියේ 30%ක පමණ වර්ධනයක් පෙන්වනවා. ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරන සංවිධානයක් වන ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ලංකා පෙන්වා දෙන විදිහට මේ කාන්තාවන් බොහොමයක් මේ රැකියාවට යොමුවෙන්නෙ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ දුෂ්කරතා නිසයි. මේ කාන්තාවන් තමයි බොහොමයක් පවුල්වල උපයන්නා වෙන්නෙ. සමහරුන්‍ දරුවන් එක්ක දික්කසාදව ජීවත් වෙන අය. තවත් සමහරුන්ගේ සැමියන් කිසිදු ඉපැයීමක් කරන්නෙ නෑ. සමහරු ජීවත් වෙන්නෙ මහළු දෙමව්පියන් සමග. මේ තමයි ඒ අයට තමන්ගෙ පවුල ජීවත් කරවන්න ගන්න තිබුණු එකම මාර්ගය.

    විශේෂයෙන්ම ඇගළුම් ක්ෂේත්‍රයේ විශාල වශයෙන් රැකියා අහිමි වීමක් සිදු වෙනවා. මෙහෙම රැකියා අහිමි වෙන බොහොමයක් දෙනා ගණිකා වෘත්තියට යොමුවන නැඹුරුවක් පේන්න තියෙනවා. ගොඩක් අයට සිද්ද වෙන්නෙ ස්පාවල රැකියා හොයාගන්න.

    සැ.යු- ගණිකාව යන වචනය අප පාවිච්චි කරන්නේ සිතාමතාමය. එය ඉන්දියාවේ ගණිකා යන ප්‍රභූමය, ගෞරවනීය වෘත්තිය සම්බන්ධ සැබෑ අර්ථය නැවත අත්පත් කරගත යුතු බවට අපි විශ්වාස කරනවා.

    රෙහානා කියන අවුරුදු 21ක තරුණියකගේ ප්‍රකාශය අනුව මාස 07ට කලින් එයාගෙ ඇගළුම් රැකියාව නැති වීම නිසා පවුලට ආදායමක් නැති වෙනවා. එයාට ස්පා හිමිකරුවෙක් ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රැකියාව කරන්න කතා කරනවා. මුලින් ප්‍රතික්ෂේප කළත් ඒ තිබුණු ආර්තික තත්වය නිසාම එයාට සිද්ද වෙනවා මේ රැකියාවට එන්න.

    අවුරුදු 42ක රෝසි කියන කතාව අනුව ඇය අවුරුදු 07ක දරුවෙකුගේ මවක්. දික්කසාද වෙලා ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවා‍ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නවත් ඇයට ලැබෙන ආදායම මදි වෙනවා. ඇය මෙතෙක් කරගෙන ගිය පොඩි කඩේ මේ ආර්තික අර්බුදයත් එක්ක පවත්වාගෙන යන්න අමාරු තත්වයක් එනවා. මේ හින්ද ඇයට සිද්ද වෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට සේවය කරන්න.

    ඇත්තම තත්වය නම් රුපියල් 15000-20000ක් පමණ මුදලක් මාසයකට උපයපු කාන්තාවකට පුළුවන්කම ලැබෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට දවසකට එබඳු මුදලක් උපයාගන්න. ඒක ආකර්ශනීය තත්වයක්.

    ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ප්‍රකාශ කරන ආකාරයට මේ ආර්ථික අර්බුදය හමුවේ බොහොමයක් කාන්තාවන්ගේ සැමියන් ඔවුන් හැර ගොස් තිබෙනවා. මේ නිසා ජීවත් වෙන මාර්ගයක් නැතිකමෙනුත් ලිංගික ශ්‍රමිකයන් විදිහට වැඩ කරන අය ඉන්නවා. මේ අය උපත් පාලන ක්‍රමයන් ගැන නොදැනුවත් සහ නොසැලකිලිමත් බව නිසා ගැබ් ගැනීම් සිද්ද වෙනවා. මේ වෙද්දි ඉහත ආයතනය විසින් එවන් ගැබ්ගැනීම් සිදුවුනු කාන්තාවන් දෙදෙනෙක් රැකබලාගන්නවා. රජයෙන් කිසිම සහායක් මෙවැනි ගැහැණුන් වෙනුවෙන් ලැබෙන්නෙ නැහැ.

    ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය හැටියට අප යෝජනා කරන්නෙ මේ පවතින ආර්ථික අර්බුදය ගැන සබුද්ධිකභාවයකින් රජයට ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කරන ලෙසයි. එය අභියෝගාත්මක තීරණයක් බව ඇත්ත. නමුත් මානුෂිකබව සියල්ලට ඉහළින් සැලකූ රජයක සානුකම්පික තීරණයක් හැටියට යම් දවසක අගය කරනු ඇත.

    මෙවන් ප්‍රවෘත්තියක් ලැබුනු විගස පොලිසි මගින් සිදුකරන ගණිකා නිවාස වැටලීම් සහ ඒවා මහා ප්‍රවෘත්ති වශයෙන් මීඩියාවල පළකිරීම වහාම නතර කරන්න පියවර ගන්න. අපට මේ කාන්තාවන්ගේ ආර්තිකය රැකබලාගත නොහැකි නම් අවම වශයෙන් ඔවුන් මුදලක් උපයන වෘත්තියේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම්සහගත වෙන්න. මේ අයට නීතිමය සහ සෞඛ්‍යමය රැකවරණ සැලසීමට අවකාශ ලබාදෙන්න.

    මේ අයට උපත් පාලනය සහ ලිංගික රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුම ලබාදීමට ඉක්මන් පියවර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෝලිම්වල, විවිධ අර්බුද මැද ජීවත් වෙන පිරිමින්ගේ ආතතිය පුපුරා යාමට නොදී සමනය කිරීමට මේ කාන්තාවන් විසින් කරන සමාජ සේවය පිළිගත යුතු වෙනවා.

    ගණිකා වෘත්තිය යනු අනෙක් කවර හෝ වෘත්තියක් තරමටම ගෞරවනීය වෘත්තියක් බව අපගේ පක්ෂයේ පිළිගැනීමයි. අනෙක් වෘත්තීන් හා සමානවම එයට වෘත්තීමය අයිතිවාසිකම් හිමිවිය යුතුය. එය කාන්තාවක් විසින් ස්වාධීනව, තමන්ගේ තීරණයෙන්, තමන්ගේ ශරීරයෙන් හා ශෘංගාරයෙන් මුදල් උපයන නිදහස් රැකියාවක් විය යුතුය. රජයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ ආර්තිකයක ගැහැණුන් ජීවත් වීම වෙනුවෙන් කරන කර්මාන්තයකට අකුල් හෙලීමට තරම් අමානුෂික, ඊනියා සදාචාරාත්මක රජයක් බවට මේ නව රජය පත් නොවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    මෙයට, ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය.

  • අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

    අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

    තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම පොලිසියේ මීඩියා පබ්ලිසිටිවලට පාවිච්චි කරන්නෙ. පොලිසිය විසින් මේ කියන ගණිකා නිවාසයෙන් කාන්තාවන් පිරිසක් එලියට අරගෙන එනවා. කිසිදු උසාවියකින් තවමත් වරදකරුවන් කර නැති මේ කාන්තාවන් ඒ කැමරා ඉදිරියේ නිරුවත් කරනවා. ගර්භනී කාන්තාවන් වෙනම අරගෙන පෙන්නනවා.

    මොකක්ද මේ නීතියේ සදාචාරය? මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පුද්ගලිකව නඩු පැවරිය යුතුමයි. යූටියුබ්කාරයන්ට මෙවන් අවස්ථා වීඩියෝගත කරමින් තමන්ගේ චැනල්වල විව්ස් වැඩි කරගන්නට කාන්තාවන් බිලිදීමේ වරද කරන්නෙ මෙතන පොලිසියයි. මේක අශිෂ්ට අසභ්‍ය අමුනුස්ස ක්‍රියාවක්. නීතිය ක්‍රියාත්මක කරන අය එය කරන්නේ මෙයාකාරයෙන් නම් මේ රටේ මිනිස් ගරුත්වය සහ මිනිස් අයිතිවාසිකම් ගැන කවර කතන්දරද? පොලිසිය කරන්නෙ කුණු රහ බෙදන එකයි. ඒ වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදෙන එකයි. අපි කියන සදාචාරය මේකයි.

    ලංකාවෙ නීතියෙන් ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙමෙයි. මේ කාන්තාවන් වරදකරුවන් වෙන්නෙ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විතරයි. ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ලද්දේ නම් ඒ අයිතිකරුවන් හෝ තැරැව්කරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති. ‍නමුත් මෙතන බරපතලම වරද කරන්නේ පොලිසියයි.

    කාන්තාවක් ගර්භනීව හිඳිමින් මේ අවදානම් කාලෙදි ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රස්සාව කරන්න එනවා කියන්නෙ ඒක ඒ මිනිස්සු මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය ගැන මානුෂීය ප්‍රකාශනයක්. එහෙම දුක් විඳින කාන්තාවන් කැමරාව ඉස්සරහට ගෙනත් අවමන් කරනවා කියන්නෙ අමානුෂිකත්වයේ පාදඩම මොහොතක්.

    මේ පණිවුඩය අපිට දැනුම් දෙන්නෙ උපුල් සන්නස්ගල. රාත්‍රී 11ට ලැබෙන ප්‍රවෘත්තිය දැකලා කැළඹෙන සන්නා වහාම ලයිව් ඇවිත් මේ අසභ්‍ය පොලිස් සංස්කෘතිය එලිකරනවා. මාධ්‍ය සහ නීති අංශවල අයගෙන් වගේම පොලිස්පති, පොලිස් ඇමති ආදීන්ගෙනුත් මේ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිනවා. මේ සිදුවීම වෙනුවෙන් පුරවැසියෙක් විදිහට වගකීම්සහගතම මැදිහත්වීම කිරීමෙ වෙනුවෙන් සන්නස්ගලට අපේ ගෞරවය හිමිවෙනවා.

    එතනදි සන්නා මේ වගේ මීඩියා චැනල් කරන අයට නිවැරදිම වචනය පාවිච්චි කරනවා. ‍යූටියුබ් ගණිකාවො. මේ වගේ පබ්ලිසිටි වෙනුවෙන් නීතිය ගණිකා වෘත්තියේ යොදවන පොලිස් නිලධාරීන්ටත් නිවැරදිම වචනය වෙන්නෙ ඒක. පෙ‍ාලිස් ගණිකාවො. ගණිකාවන් යැයි කියමින් අත්අඩංගුවට ගත් පිරිස ගැන සාක්ෂි නැති වුනාට සදාචාරයේ වේශයෙන් එතනට ගිය යූටියුබ් සහ පොලිස් ගණිකා පිරිසගේ වීඩියෝ සාක්ෂි තියෙනවා.

    නීතියෙන් යුක්තිය ඉටු කරන හැටි, කාන්තා සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන හැටි අපි බලාගෙන ඉන්නවා.

  • ඓතිහාසික ගණිකා උරුමය

    ඓතිහාසික ගණිකා උරුමය

    ගණිකා වෘත්තිය ලෝකෙ පරණම වෘත්තිය කියල කට කතාවට කිව්වට ඒක ඇත්තක් නෙමෙයි. ලෝකෙ පරණම වෘත්තිය වෙන්න ඕන දඩයම හෝ ආහාර එකතු කිරීම සම්බන්ධ දෙයක්. හැබැයි හැම ශිෂ්ටාචාරයකම ගණිකා වෘත්තිය පැවතුනා. සල්ලි හෝ භාණ්ඩ සේවා හුවමාරුව පටන් ගත්ත තැන ඉඳන් සෙක්ස්වලටත් දේවල් හුවමාරු වුනා.

    ක්‍රිපූ 18වෙනි සියවසේ බැබිලෝනියාවෙ හමුරාබි කියන රජතුමා ගණිකාවන්ගේ උරුමයන් වෙනුවෙන් වගන්ති නීති පොතට ඇතුලත් කරනවා. සහෝදරවරු ඉන්නවා නම් ඒ අය තමන්ගේ ගණිකා නැගෙණිය සමග දේපොල බෙදාගත යුතු ආකාරය දක්වනවා. ගණිකාවන් තමයි පිරිමින්ගෙන් යැපෙන්නෙ නැති එකම ගැහැණු කාණ්ඩය විදිහට සලකන්නෙ.

    අපි අතීතෙට ගියොත් ගණිකා වෘත්තිය කියන එක අතිසුලබ දෙයක්. ඒත් අද ඇමෙරිකාවෙ වුනත් තාම ගණිකා වෘත්තිය නීති විරෝධීයි. නෙවාඩා ප්‍රාන්තෙ විතරයි ගණිකා වෘත්තිය නීතිගත විදිහට පිලිගන්නෙ. එංගලන්තෙ වගේ රටක් ගත්තොත් ලිංගික සේවා ලබාදීම නීතිවිරෝධී නෑ. ඒත් ගණිකා නිවාස පවත්වාගෙන යාම ආදිය නීති විරෝධීයි. ලංකාවෙ මෑත දෙන ලද නඩු තීන්දු අනුව නම් ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. ගණිකා සේවයේ යෙදවීම තමයි නීති විරෝධී වෙන්නෙ. ඒත් ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත නෑ.

     

    ක්‍රි.පූ 6 වෙනි සියවසේ ග්‍රීසියෙ අධිනාගරික ප්‍රදේශවල රාජ්‍ය අනුග්‍රහයෙන් ගණිකා නිවාස ඉදි කළා. ග්‍රීසියේ ගණිකාවන් කාණ්ඩ තුනක් හිටියා. පොර්නායි කියන්නෙ වහල් ගණිකාවො. ඊළඟට හිටියා නිදහසේ ඉපදුනු වීදි ගණිකාවො. මේ වර්ග දෙකේ පිරිමින් සහ ගැහැණුන් දෙපිරිසම හිටියා. තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට මුදල් ගෙවලා මේ දෙපිරිසෙන් තමන්ගේ ආශා සංසිඳුවාගන්න පුළුවන්. ඊළඟට හිටියා හෙටේරා කියල ඉහළම මට්ටමේ ගණිකාවන්. මේ අය හිටියෙ ගැහැණු විතරමයි. මේ අය දාර්ශනික සංවාද පවත්වන, කවි ගැන විචාර කරන මට්ටමේ දැනුමක් තිබුනු අය. සමාජයේ ඉහළම වංශවතුන් තමයි හෙටේරලව ඇසුරු කළේ.

    හෙටේරලා විවිධ ශිල්පවල දක්ෂ අය. ගායනය, නර්තනය සමහරු ජිම්නාස්ටික් පවා කළා. පුද්ගලික සාදයකට ගියත් අද කාලෙ ගානෙන් ඩොලර් හත්අටදාහක් දවසට හම්බු කළා. ඒ අය ගැන සාහිත්‍ය ලියවුනා. කලා නිර්මාණ කෙරුනා.

    රෝම කාලෙ වෙනකල්ම ගණිකා වෘත්තිය නීතිගතයි. ක්‍රිස්තියානි රෝම අධිරාජයන් විසින් තමයි මේක ටික ටික අධෛර්ය කරන්න පටන් ගන්නෙ. ඒක ක්‍රිස්තියානි ආගමේ බලපෑම.

    ස්පාඤ්ඤයෙ විසිගොත් රජු තමයි ක්‍රි.ව පළවෙනි සියවසේදි ක්‍රිස්තියානිය වැළඳගෙන ගණිකා වෘත්තිය පළවෙනි වරට තහනම් කරන්නෙ. ඒ තමන්ගෙ රට ක්‍රිස්තියානි ඇදහිල්ල එක්ක පෙළට තියාගන්න. ගණිකාවක් සමග ඉඳලා අහුවෙන පිරිමියෙකුට කිසි දඬුවමක් නියම වුනේ නෑ. ගැහැණියට කස පහර 300ක් සමග පිටුවහල් කිරීමේ දඬුවමක් නියම වුනා. මරණ දඬුවම පවා පැනවීමේ හැකියාව තිබුන.

    මධ්‍යතන යුගයත් එක්ක එංගලන්තෙ දෙවෙනි හෙන්රි ගණිකා වෘත්තිය අධෛර්ය කළත් ඒක තහනම් කරන්න උත්සාහ ගත්තෙ නෑ. නිතර මේ ගණිකා නිවාස පරීක්ෂා කිරීම් වලට ලක්වුනා. ඒ ඒවා ඇතුලෙ වෙනත් නීති විරෝධී දේවල් වෙනවද කියල බලන්න.

    1358දි ඉතාලිය ගණිකා වෘත්තිය ආදරෙන් වැළඳගන්නවා. ඒක ලෝකෙට අවශ්‍ය වෘත්තියක් හැටියෙන් වැනිසියේ මහා කවුන්සිලය ප්‍රකාශයට පත් කරනවා. ප්‍රධාන නගරවල රජයේ මුදල්වලින් ගණිකා නිවාස ඉදි කරනවා.

    ගණිකාවකට අනිත් කාන්තාවන්ට නැති වරප්‍රසාද ලැබුනා. උදා විදිහට වෙනත් කාන්තාවකට අධ්‍යාපනය ලබන්න පුළුවන් වුනේ කන්‍යාරාමයකට ගියොත් විතරයි. නමුත් ගණිකාවකට නිදහසේ අධ්‍යාපනය ලබන්න හැකියාව තිබුන. ඒ වගේම විවාහක ස්ත්‍රියකට ලැබෙන ආරක්ෂාව සහ ස්ථාවරත්වයත් ඇයට ලැබුන. නොබැඳ හිටපු අයට වඩා ගණිකාවන්ගේ ජීවිතය ලස්සන වුනා. ඒ අයට හැමදේම අතරෙ තමන්ගේ ආශාවන් සන්තර්පනය කරගන්නත් පුළුවන්කම තිබුන.

    මේ ගණිකාවන් උසස් සංස්කෘතියක් තිබුණු ගැහැණු. මේ අය හෙටේරලා වගේම ගැඹුරු දේවල් ගැන සංවාද කළා. සෙක්ස්වලට අමතරව මේ බුද්ධිමය ගැහැණු ඇසුර වංශවතුන් ප්‍රිය කළා. මේ හින්දම මේ ගණිකාවන්ට පුළුවන්කම තිබුණ රටේ දේශපාලනයට සිඩක්ෂන් ඇතුලෙ ලොකු බලපෑමක් කරන්න.

    1500 ගණං වෙද්දි ගොඩක් යුරෝපයේ රටවල ගණිකා වෘත්තිය මරණ දඬුවම ලැබිය හැකි වරදක් මට්ටමට ඇවිත් තිබුනා. හැබැයි කවුරුවත් ඕක ක්‍රියාත්මක කළේ නෑ. පස්වැනි පෝප් සික්ස්ටස්ට ඕන වෙනවා මේ අණ තදින් ක්‍රියාත්මක කරන්න. එයා කිව්වා ගණිකා වෘත්තියෙ යෙදෙන හැම කෙනෙක්ම මරාදාන්න කියල. එයාගෙ අණ කොයිතරම් දුරට ක්‍රියාත්මක වුනාද කියල සාක්ෂි නෑ.

    මේ පෝප්ම තමයි ගබ්සාව අපරාධයක් කියල කිව්වෙත්. මුලින් පල්ලියෙ තිබුනෙ සති 20ක් යනකල් කළලය මිනිස්බවෙන් තොරයි කියල විශ්වාසයක්. සික්ස්ටස් ඒක වෙනස් කළා. පිළිසිඳ ගත්ත තැන ඉඳන්ම නැති කිරීම අපරාධයක් කියල කිව්වා.

    ඔටෝමන් අධිරාජ්‍යය කාලෙදි ගණිකාවො වුනේ ගැහැණුම නෙමෙයි. තුර්කියෙ තිබුණ බාත්හවුස් කියල ස්නානාගාර වගයක්. මේවායේ වැඩට හිටියෙ තරුණ කොල්ලො. මේ ගොල්ලො තමයි එතනට එන පිරිමි ක්ලයන්ට්ලට සේවා සැපයුවෙ. සොඩොමි, ඒ කියන්නෙ සමලිංගික, ගුද සංසර්ග ආදී විකෘති යැයි සම්මත ලිංගික හැසිරීම් නීතියෙන් තහනම් වුනත් මේ කොල්ලො කොහොම හරි ඒ අවශ්‍ය තෘප්තිය තමන්ගේ ක්ලයන්ට්ලට ලබාදුන්නා. ඒ ගොල්ලො ඉතා සමීප සම්බන්ධතා මේ ධනවතුන් එක්ක ගොඩනගා ගත්තා. ඒ ලැබෙන මුදල් ඒ අයටම තියාගන්න අවසර තිබුනු නිසා ඒ ගොල්ලො ලොකු මුදලක් මේ රැකියාවෙන් ලැබුන.

    ජපානෙ අපි ගණිකාවන් කිව්වම අහලා තියෙන්නෙ ගේෂා ස්ත්‍රීන් ගැනනෙ. ඒත් ගේෂා කියන්නෙ ජපානෙ සෙක්ස්වලට හිටපු අය නෙමෙයි. ඒ ගොල්ලො එන්ටර්ටේනර්ස්ලා. නැත්තං සත්කාර සේවා සපයන අය. ජපානෙ ඔයිරාන් නැත්තං ප්ලේ වුමන් කියල කියන්නෙ ලිංගික ශ්‍රමිකයො විදිහට හිටපු අයට.

    1600-1800 විතර වෙනකල් ජපානයේ ඊඩෝ කාලය කියල හඳුන්වන පරිච්ඡේදයෙදි ගණිකාවන්ට ඉහළම තත්වයක් තිබුන. මේ කාලෙදි ගණිකා වෘත්තිය නීතිගතයි. මේ අය සේවය කළේ උසස් අය වෙනුවෙන්. ඒ නිසා ඉතාම වැදගත් භාෂාවක් කතා කළා. අනර්ඝතම ඇඳුම් ඇන්දා. ජපානයේ පවුල්ම ක්‍රමය දැඩි පීතෘ මූලික එකක්. නමුත් ඉන් පිටත හිටපු ගණිකාවන්ට නිදහස් ගැහැණු විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබුන. ඒ අයට බලය සහ අනුහස දෙකම තිබුන. කසාද ගෑනියෙකුට ජපානෙ තිබුනෙ ඊට වඩා ගොඩක් වෙනස් තත්වයක්.

    දෙවෙනි ලෝක යුද්ද කාලෙදි අධිරාජ්‍යවාදී සොල්දාදුවො ගණිකා නිවාස සහ ගම්මාන හැමතැනකම ගැහැණු දූෂනය කළා. මරලා දැම්මා. 80,000-300,000 අතර පිරිසක් හිර කරගෙන මිලිටරි පිරිස්වලට ලිංගික සුවපහසුව ලබන්න බලකා හැදුවා. අද වෙනකලුත් ජපානය මේ බලහත්කාරී ගණිකා සේවයේ වගකීම බාරගන්නෙ නෑ.

    ප්‍රංශයේ ගණිකා වෘත්තිය වෙනුවෙන් අමුතු වැඩක් කළා. එතෙක් පැවතුනු සාම්ප්‍රදායික තහංචි අයින් කරලා ඒ වෙනුවෙන් වෙනම සදාචාර කාර්යාංශයක් හැදුවා. මේක වුනේ ප්‍රංශ විප්ලවයට පස්සෙ. මුලින්ම පැරිසියෙන් පටන් අරන් මේ කාර්යාංශය පස්සෙ රට පුරාම ක්‍රියාත්මක වුනා. මේකට පැවරුණු කාර්යය වුනේ ගණිකා නිවාස අධීක්ෂණය කරන එක. ඒ අය නිසි විදිහට නීතියට අනුකූලව සේවා සැපයීම කරනවද කියල සොයාබලන එක. ඒවා ආශ්‍රයෙන් වෙනත් නීති විරෝධී දේවල් සිද්ද නොවීම තමයි මේ සදාචාරයේ අරමුණ වුනෙ. අවුරුදු සීයකට ආසන්නව මේ සදාචාර පොලිසිය තිබුන. පස්සෙ අහෝසිවෙලා ගියා.

    ඉන්දියාව ගත්තම ගණිකා වෘත්තිය ගැන ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක පූර්ව වෛදික අවධිය වෙනකල් යනවා කියලයි කියන්නෙ. ඔය ගණිකා කියන වචනෙම වුනත් ඉන්දියාවෙ එකක්. ගණිකා කියන්නෙ ඉහළම ස්ථරයේ ලිංගික ශ්‍රමය සපයන ගැහැණු. ඒ අය ශිල්ප 64ක් දැනගෙන හිටියා. විවිධ දර්ශනවාද සහ සෞන්දර්යවේදයන් දැනගෙන හිටියා. ඒ අයට වෙනම මන්දිර තිබුන. ඒවායේ සංවාද සංවාස රති ක්‍රීඩා කෙරුනා.

    පූර්ව වෛදික කාලෙ ගත්තොත් ගණිකා වෘත්තියක් කියල එකක් ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. මොහොන්ජදාරොවෙන් හම්බුන ලෝකඩ පිලිමයක් තියෙනවා කාන්තාවක් මාතෘ දෙවඟන වෙනුවෙන් නර්තනයේ යෙදෙන හැටි දැක්වෙන. හැබැයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නෙ දියුණු වාණිජ ශිෂ්ටාචාරයක්. මේ නිසා වයින් සහ ස්ත්‍රීන් වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුළුවන් වෙළෙන්දො හිටියා. ඒත් මේ නගරවල ගණිකා නිවාස කියල වර්ගයක් ස්ථාපිත වෙලා තිබුන කියන්න සාක්ෂි තාම හොයාගෙන නෑ.

    වේද යුගයෙදි ආර්යයො ගත්තොත් ඒ ගොල්ලො කෘෂිකර්මාන්තෙ එක්ක හිටපු අය. ඒ අය වැස්ස අව්ව වෙනුවෙන් දෙවියන්ට පූජා පැවැත්තුවා. මේ පූජාවලදි ඒ අය සෝම පානය කළා. මේ අවස්ථාවල අයාලේ යාමත් යම් පමණකට සිදුවුනා කියල අනුමාන කරන්න පුළුවන්. කසාදය කියල එකක් තාම සම්මත වෙලා නැති නිසා මේකට ගණිකා සේවනය කියල කියන්න බෑ.

    කාලයත් එක්ක සමූහ පවුල් ක්‍රමයක් සහ මාතෘමූලික රටාවක් ගොඩනැගෙද්දි මේ අයාලේ යාම ආගමික සහ දේශපාලන උත්සව වගේ තැන්වලට විතරක් සීමා වුනා.

    ඍග් යජූර් වේද කාලෙ එද්දි විවාහය ගැන සංකල්පයක් හැදිලා තිබුන. ඒකෙ හැටියට දෙන්නෙක් හෝ කීපදෙනෙක් දරුවන් ලැබීමේ අරමුණ ඇතුව සමාජ සම්මතයෙන් ලිංගික ක්‍රියාව සඳහා එළඹීම විවාහයක්. ඒත් විවාහය එක්ක තිබුනු නීති ඉතාම ලිහිල් නිසා මිනිස්සුන්ට ලිංගික නිදහස තිබුන. ගණිකා වෘත්තියක අවශ්‍යතාවය ඇතිවුනේ නෑ. ඍග්වේදයේ ඒ කාලයේ නර්තනයේ යෙදුනු ගැහැණු ගැන යම් විස්තර කියවෙනවා. ඒත් ගණිකා වෘත්තියක් වගේ තත්වයක් තිබුනෙ නෑ කියලයි හිතන්නෙ.

    වෛදික නොවන අනෙක් ද්‍රවිඩ වගේ පිරිස් ලිංග සහ යෝනි වන්දනාවෙ යෙදුනා. මේ කාලෙ ආර්ය වෙළෙන්දො මේ ද්‍රවිඩ රජවරුන්ට තෑගි විදිහට සුන්දර කන්‍යාවක් පිරිනමන්න පටන් ගන්නවා. මේ රජවරුන් එක්ක දිගට සම්බන්ධතා පවත්වාගන්න මිත්‍රත්වය තහවුරු කරගැනීමක් විදිහටයි මේක කරන්නෙ.
    ඍග් වේදයේ තැන් කීපයක ඒ කාලෙ ලිංගික ශ්‍රමික තත්වයට ආසන්න තත්වයන් තිබුනු වග සඳහන් වෙනවා. රජවරුන් සහ වංශවතුන් විසින් වහල් කෙල්ලන්ට තෑගි පිරිනැමීමක් ගැන ඒකෙ කියවෙනවා. ඒ වගේම මේ කාලෙදි සහෝදරයෙක් නැති සහෝදරියක් ඉබේටම ගණිකාවකට සමාන තත්වයකට පරිවර්තනය වුනු වග පේනවා.

    මේ වෛදික සමාජයේ ලිංගික චර්යාවන් පැවැතුනු තැන් තිබුන. උදා විදිහට ‘සමන’ කියල කරත්ත රේස් තරග තිබුන. මේවට එන ගැහැණු ඒ අයගෙ පෙම්වතුන් එක්ක මුලු රාත්‍රියෙම විනෝද වුනා. ඒ වගේම ගණිකාවනුත් මේ උත්සවවලට ආවා.

    තව තිබුනා වෛදික සභා කියල ජාතියක්. මේවා එක එක දේවල් වෙනුවෙන් පාවිච්චි වුනු ශාලාවන්. ඒවා අද කාලෙ ක්ලබ් විදිහටත් පාවිච්චි වුනා. මේ ශාලාවකට එන ශභාවත් යෝෂා කියල ගැහැණියක් ගැන ඍග් වේදයේ කියවෙනවා. ඒ චරිතය ගණිකාවක් හැටියෙන් අනුමාන කරනවා.

    බ්‍රාහ්මණ කාලෙදි ගණිකා වෘත්තිය පිලිගැනීමට ලක්වුනා. වෛශ්‍ය කියන වෙළඳ කුලය වෙනුවෙන්ම සේවා සැපයීමට වේශ්‍යා හෙවත් වේසි කියල සිංහලෙන් කියන වෘත්තිය පැවතුනා. ගණිකා, බණ්ඩිකා, රුප්ජිවා, වරංගනා, කුල්ටානි, සම්භාලි, පුම්සාලි කියන වේශ්‍යා වර්ග තිබුන. අන්තපුර විදිහට වෙනමත් පුද්ගලික ස්ත්‍රීන් විදිහට වෙනමත් කාන්තාවන් හිටියා. මේ කාලෙ පාරිශුද්ධභාවය, කන්‍යාභාවය වගේම මොනොගමික කසාදය වගේ දේවල් හොඳටම ස්ථාපිත වුනු කාලයක්. අනිත් පැත්තෙන් වෙළදාමත් එක්ක නගර බිහිවෙමින් ගණිකා වෘත්තිය සාමාන්‍ය මිනිසුන්ගෙ අවශ්‍යතාවයක් බවට පත්වුනා.
    ඒත් ගණිකාවන් වෙනුවෙන් පැනවූ නීති රීති හෝ ඒ අයගෙ ජීවිත රටාව සඳහනක් හෝ බ්‍රාහ්මන සාහිත්‍යයේ මුනගැහෙන්නෙ නෑ.

    ඊට පස්සෙ ඉන්දියාවෙ පුරාවෘත්ත යුගය එනවා. ඒ කියන්නෙ මහාභාරතය, රාමායනය වගේ එපික් ලියවුන කාලෙ. මේ කාලෙදි ගණිකාවන්ට නීතිමය පිලිගැනීමක් තියෙනවා. මහාභාරතයේ පවා එනවා ජයග්‍රහණය කරලා එන රාමාව පිළිගන්න වෛශ්‍යාවන්ට නියෝග කරන තැනක්. මේ යුගයෙදි ඒ අය රක්තවර්ණ වටිනා වස්ත්‍රවලින් සැරසිලා විවිධ සමාජ උත්සවවලට සහභාගි වුනා. රතුපාටෙන් සංකේතවත් කලේ ආශාවේ භයානකකම.

    ස්මෘති අවධියෙදි මේ ගණිකාවන්ට තිබුණු තත්වය නැවත පිරිහෙන්න ගන්නවා. ඒ අයව සමාජයෙන් පිටුවහල් කරන ලද කොටසක් හැටියට සලකන්න ගන්නවා. අන්තපුරයක් පාලනය කරන හෝ ඉහල මට්ටමේ වංශවතෙකුගේ ස්ත්‍රියක් වීම තමයි උපරිමයෙන් ලබන්න පුළුවන් තත්වය වුනෙ.

    බෞද්ධ යුගයෙදි ආපහු මේ තත්වය වෙනස් වෙනවා. ඒ කාලෙ ප්‍රඥාවන්තයන් පොකුරු පිටින් බිහිවුනු යුගයක්. බුදුන් සමග මහාවීර වගේ තවත් ශෘස්තෘවරුන් ගැඹුරු දර්ශනයන් දේශනා කරමින් හිටියා. පාටලීපුත්‍ර කියන පලාතෙ චන්ද්‍රගුප්ත මෞර්ය කාලෙදි තිබුනා ගණිකා නගරයක්. මේ කාලෙදි තමයි මේක රාජ්‍ය ආදායමක් කරගන්න පුළුවන් කියල කල්පනා කලේ. ගණිකා නිවාසවලට ටැක්ස් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ ලියනවා ගණිකාවක් පැවතිය යුතු ආකාරය ගැන. ඇගේ සේවාවන් සකස් විය යුතු අන්දම ගැන. ඒ වගේම දක්ෂ ගණිකාවන්ව ඔත්තු සේවාවල පවා යොදා ගැනුනා. අර්ථ ශාස්ත්‍රය අනුව ගණිකාවක් කියන්නෙ රාජ්‍ය දේපොලක්. ඇයට හානි කිරීම වරදක්.

    කාමසූත්‍ර, නාට්‍ය ශාස්ත්‍ර ආදිය ලියවෙන ගුප්ත යුගය වෙද්දි ගණිකා වෘත්තිය ඉතා ඉහළ තැනකට එනවා. මේ අයට නගරවල වෙනම ක්වාර්ටස් තියෙනවා. පණ්ඩිතයො දාර්ශනිකයො නිතර ගිහින් මේ අය එක්ක සාකච්ඡා කරනවා. මේ අතර ග්‍රීකයො විසින් මදුරාපුරය ආක්‍රමණය කරනවා. ඒත් මේ ලිබරල් සොල්දාදුවන් වඩා හොඳින් ගණිකාවන්ට සළකන්න ගත්තා කියලයි කියන්නෙ.

    නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරනවා ගණිකාවක් කියන්නෙ කවුද කියල. ඇය විවිධ කලාවන්හි දක්ෂ වෙන්න ඕන. විද්‍යාව සහ සාහිත්‍ය දැනගන්න ඕන. සූසැට ශිල්පය ප්‍රගුන කරන්න ඕන. නැටුම් සංගීතය ආදියෙහි සුරු වෙන්න ඕන. වැඩිහිටියන්ට සහ සමාජ සම්ප්‍රදායන්ට ගරු කරන්න ඕන.

    මේ නිසා ගණිකාවක් සාමාන්‍ය ගැහැණියක් සතුව තිබුනු දුර්වලතා වලින් තොර ඉතාම නිදහස් ශක්තිමත් සහ බුද්ධිමත් ගැහැණියක් වුනා කියලයි කියන්නෙ. ගණිකාවන්ට පුහුණු වීම පිණිස පාඨශාලා පවා තිබුනා.

    මධ්‍යතන යුගය වෙද්දි කෝවිල්වලට දේවදාසියන් ලෙස ගැහැණු දරුවන් බාරකිරීමේ සම්ප්‍රදායක් පවතිනවා. මේ අයට කෝවිලේ වතාවත් කිරීම තමයි මුලින්ම පැවරුනෙ. ඊට පස්සෙ දෙවියන් වෙනුවෙන් නර්තන පූජා පැවැත්වීම කෙරුනා. දේවදාසියන් දෙවියන්ට විවාහ කරදී ඇති නිසා යළි කිසි දවසක සාමාන්‍ය මනුස්සයෙකු සමග විවාහ වෙන්න බැරි වුනා. ගොඩක් වෙලාවට පහල කුලවල දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො තමයි දේවදාසියො විදිහට කෝවිල්වලට පවරගත්තෙ. මේ පූජ්‍ය පක්ෂය ටික ටික දූෂ්‍ය වෙනවත් එක්කම දේවදාසියො කෝවිලේ ලිංගික ශ්‍රමිකයන් වුනා. වයසත් යනවත් එක්ක ඒ අය කිසිම පිළිසරණක් නැති ගණිකාවන් විදිහට පාරට වැටුනා.

    ඉන්දියාවෙ සුල්තාන් යුගයෙදි ගණිකා වෘත්තිය සශ්‍රීක වෙන්න පටන් ගත්තා. සුල්තාන්ලට ඕනවුනේ ලෝකෙ ඕනම තැනක තියෙන ඉහලම සැප විඳින්න. ලෝකෙ පුරාම රටවල්වලින් ඒ ගොල්ලො ගණිකාවන් ඉන්දියාවට ගෙන්න ගත්තා. තමන්ගේ මන්දිර අන්තපුර බවට පෙරලුවා. ඒ ගැන කිසිම සදාචාරාත්මක අවුලක් සුල්තාන්ලට තිබුනෙ නෑ. විවිධ රටවල විවිධ ආගම්වලින් ගෙන්වාගන්නා ගණිකාවන්ව මුස්ලිම් ආගමට හරවාගත්තා. සමහර තැන්වල කාන්තාවන් කාලයකට කුලියට ගතහැකි ක්‍රමයක් පවා ක්‍රියාත්මක වුනා.

    මෝගල් අධිරාජ්‍යය කාලෙදිත් ගණිකා වෘත්තිය රාජ්‍ය මට්ටමෙන් කෙරුනා. අක්බාර් අධිරාජයා කාන්තාවන් 5000කින් සමන්විත අන්තපුරයක් තමන් වෙනුවෙන් පවත්වාගෙන ගියා. ඉතාම හොඳින් මිළමුදල් ලැබෙන කාලයක් නිසා වංශවතුන් වඩාත් සුඛ විහරණවලට වියදම් කළා. තමන් වෙනුවෙන්ම වෙනම රති ක්‍රීඩා මන්දිර පවත්වාගෙන ගියා. වෙනම කාන්තාවන් නඩත්තු කළා. ගොඩක්ම ප්‍රකට වුනේ පුද්ගලිකව වංශවතුන් සඳහා සැපයෙන ගණිකා සේවය සහ අන්තපුර ක්‍රමය.

    බි්‍රතාන්‍යයො තමයි ගණිකා වෘත්තිය සීමා කරන නීති සම්මත කරන්නෙ. මොකද ඒ රටේ වැඩකරන්න ආපු හැම සුද්දටම ඉන්දියාවෙ තවත් ගැහැණියක් හෝ ගැහැණුන් කීපදෙනෙක් ඉන්න තත්වයක් ඇතිවෙනවා. ඒ අයගෙ පවුල් අවුල් වෙන්න ගන්නවා. ඒ වගේම සමාජ රෝග බෝවීමේ අවදානමක් ඇතිවෙනවා. මේ නිසා මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් බි්‍රතාන්‍යයන්ට එනවා. මුලින් බෝවෙන රෝග පණතක් විදිහට මේ වෑයම එනවා. පස්සෙ සදාචාර විරෝධී ජාවාරම් තහනම් කිරීමේ පණතක් විදිහට 1956දි ගණිකා වෘත්තිය සීමාකරන නීති ගේනවා. මේ පනත ගණිකා ජාවාරමට එරෙහිව ගෙනාවත් ඇත්තටම පීඩාවට පත්වුනේ ඒ වෘත්තියේ යෙදෙන ගැහැනුන්මයි. මේ නිසා ගණිකාවක් හැටියට සේවයේ යෙදෙන කෙනෙක්ව ගණිකා ජාවාරමේ යෙදුනා කියන වරදට හසුකළ නොහැකි අන්දමේ ප්‍රඥප්ති පස්සෙ නිර්මාණය වුනා.

    සමහර සීමිත පලාත්වල ගණිකා වෘත්තිය පවත්වාගෙන යන්න බි්‍රතාන්‍යයන්ටත් සිද්ද වෙනවා. මුම්බායිවල කාමාතිපුර කියන්නෙ ආසියාවෙ ලොකුම රෙඩ් ලයිට් ස්ටී්‍රට් එක. මේක බි්‍රතාන්‍යයන් වෙනුවෙන්ම පවත්වාගෙන ගිය ගණිකා ප්‍රදේශයක්.

    1999දි විතර ස්වීඩනය ගණිකා වෘත්තිය ගැන වෙනස්ම එළඹුමක් ගන්නවා. ඒ අය මේක කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වයක් විදිහට ස්ත්‍රීවාදී කෝණයකින් මේ දිහා බලනවා. මේ නිසා ගණිකාවන් රජය මැදිහත්වීමෙන් වෙනත් වෘත්තීන් වලට පුහුණු කරනවා. ඒ වගේම සෙක්ස් විකිනීම වරදක් නොවුනත් සෙක්ස් මිළදී ගැනීම වරදක් බවට පත් කරනවා.

    දකුණු අප්‍රිකාව වගේ රටවලට ගණිකා වෘත්තියේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. දුප්පත් රටවල් ගොඩක් වටවෙලා තියෙන හින්ද ගණිකා වෘත්තියට ලේසියෙන්ම යොමුවන පිරිස වැඩියි. මේ නිසා සෙක්ස් ට්‍රැෆිකින් නැත්තං වෙනත් රටවල අයගේ විවිධ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ගැහැණුන් විකිනීම දරුණුවට සිද්ද වෙනවා. 25%ක් විතරම මෙතනදි ගොදුරු වෙන්නෙ බාලවයස්කාර දැරියන්. 2007 වගේ කාලෙදි ඒ රජය ඉතා දැඩි නීති සම්පාදනය කරමින් මේ තත්වය පාලනය කරන්න උත්සාහ ගත්තා.

    ඇමරිකාවෙ නෙවාඩා ප්‍රාන්තයේ විතරක් ගණිකා වෘත්තිය නීතිගතයි. ගණිකා නිවාස පවත්වාගෙන යන්න නිශ්චිත තැන් තියෙනවා. කොන්ඩම පැළඳීම අනිවාර්යයි. තීරණය ගැනීමේ අයිතිය ලිංගික ශ්‍රමිකයා නැත්නම් ඒ කාන්තාව සතුයි. අනිවාර්යෙන්ම සතිපතා රෝග පරීක්ෂාවන් සිද්ද කරනවා.

    නෙවාඩා වල මේ නිදහස ලැබෙන්න හේතුව එහේ ජනතාව ලිබරල් වීමද? නෑ ඒ ගොල්ලො ලිබටේරියන්. ඒ අය පුද්ගලිකව ගණිකා වෘත්තියට අකමැතියි. නමුත් තමන්ගේ පුද්ගලික අකමැත්ත රාජ්‍යය නීතියක් බවට පත්වෙලා යමක් සීමා කිරීම ගැන ඒ අය ඊට වඩා අකමැතියි. ගණිකා වෘත්තිය කියන එක රාජ්‍ය මට්ටමෙන් නීත්‍යානුකූලව පවත්වාගෙන යාම වරදක් නෑ කියලයි ඒ මිනිස්සු දකින්නෙ.

    ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන විවිධ සංවාද මතුවෙනවා. ඒ අතරෙ හැමදාම ගොසිප් පිටුවල, හිරු නිව්ස්වල ගණිකා නිවාස වටලනවා. ඒ කාන්තාවන් මාධ්‍ය සහ නීතියේ අතවරයට ලක්කරනවා. ඒත් නෙවාඩාව වගේ අපි අකමැති වුනත් සමාජයට අවශ්‍ය දෙයක් තිබිය හැකියි කියන එක පිලිගන්න තරමට අපේ රටේ මනස දියුණු වෙලා නෑ. ඒ නීති නිසා තව මනුස්සයෙකුගේ ජීවිතයට තියෙන බලපෑම අපේ සදාචාරයෙන් එලියට ඇවිත් බලන්න අපි ලෑස්ති නෑ. අපි කැමතියි හංගන්න. තවත් යටපත් කරන්න. සෙක්ස් කියන එක හැංගිලා කරන්න ඕන දෙයක් කියල අපි විශ්වාස කරනවා. ඒ හැංගීම නිසා ජාවාරම් බිහිවෙනවා. ගැහැණු දූෂණය වෙනවා. සමාජ රෝග පැතිරෙනවා. ගැහැණු පොලිස් අතවරවලට ලක්වෙනවා. ඒ වගේම ගෙවන මුදලට සරිලන සෞන්දර්යාත්මක ආස්වාදයක් ලැබීමේ අවස්ථාව පාරිභෝගික අපි හැමෝටමත් නැති වෙනවා.

    ඒත් අපි සදාචාරය කියන්නෙ මේකට.