Tag: sigman proid

  • අමාගේ සමරිසි විරෝදේ

    අමාගේ සමරිසි විරෝදේ

    අමා දිසානායක කියල ගෑනු කෙනෙක් මනෝ උපදේශිකාවක් විදිහට නුවර පොලිසියට කරන වැඩසටහනක වීඩියෝවක් සංසරණය වෙනවා. මේක නිකං යූටියුබ් වීඩියෝවක් වුනානං කතා කරන්න වටිනකමක් ඇති දෙයක් නෙමෙයි. ඒත් අමා මෙතනදි ගිහින් උපදෙස් දෙන්නෙ පොලිසියට. ඒ නිලධාරීන් ලවා කෑගහලා ප්‍රතිඥා ගන්නවා තමන් සමලිංගිකත්වයට විරුද්ධයි කියල. මං දන්නෙ නෑ ලිංගිකත්වය මත වෙනස්කොට සැලකීම පුහුණු කරවන මේ වගේ වැඩසටහන්වලට රාජ්‍ය ආයතනවල ඉඩදෙන්නෙ මොන ප්‍රතිපාදන යටතෙද කියල.

    මේ ගැන මංගල සමරවීරත් දෙරණෙදි ප්‍රශ්න කරනවා.

    අමා දිසානායක මේ විදිහට පොලිසිය තුල සමලිංගික විරෝධය වර්ධනය කරන්න උත්සාහ කරන්නෙ පොලිස්පති තුමාගේ අනුදැනුම ඇතුවද කියල මංගල එතනදි අහනවා.පොලිසිය කියන්නෙ ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලදි කොහොමත් අන්තිම ග්‍රාම්‍ය තැනක පවතින ආයතනයක්. වෙරලක ඉන්න පෙම්වතුන් අල්ලාගෙන යාමත් සදාචාරය රකින මෙහෙවරක් හැටියෙන් සළකන පොලිසිය අතින් වෙනස් ලිංගිකත්වයන් ඇති පිරිස් නිතර අතවර, අපහාස සහ අපහරණයන්ට ලක්වෙනවා. පොලිසියට ඒ දේවල් උගන්නන්නෙ, ඒ පිරිහුනු මතවාදයන් සනාථ කරන්නෙ, ඔවුන්ට ඒවා සමාදන් කරවන්නෙ අමා දිසානායක වගේ කට්ටිය.

    සමරිසිභාවය කියන දේ මානව චර්යාවට විරුද්ධයි කියල අමා කෑ ගහලා කියනවා. මානව ඉතිහාසය ලියවෙන්න ගත්ත දවසෙ ඉඳන්මත් පවතින සමලිංගිකත්වය මානව චර්යාවට විරුද්ධ වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් සමලිංගිකත්වය මානව චර්යාවක් නෙමෙයිද එතකොට?

    හැමෝම සමලිංගිකයන් වුනොත් ළමයි හදන්න බෑ කියල තමයි අමා මානව වර්ගයා රැකගන්න ඉස්සරහට එන්නෙ. ඉතින් හැමෝම සමලිංගික වෙන්නෙ මොකටද? එහෙම වෙන්නෙ කොහොමද? මේවා දැවෙන ප්‍රශ්න. අනිත් අතට අමා හිතන් ඉන්නෙ ලෝකෙ මිනිස් ජනගහනය අඩුවෙමින් යනවා කියලද? අඩුගානෙ ලංකාවෙවත් ඒක එහෙමද? අමා කියන විදිහට හැමෝම අනිවාර්යෙන් ළමයි හදන්නම ඕනද? සෙක්ස් කරන්න අවසර තියෙන්නෙ ළමයි හදනවා නම් විතරද?

    දරුවන් හැදීම කියන කාරණයට බැහැරින් සෙක්ස් නොකළ යුතුයි කියල කිව්වෙ ක්‍රිස්තියානි පල්ලිය. මේ වෙද්දි අපි සෙක්ස් කරද්දි වැඩියෙන් මහන්සි වෙන්නෙ ළමයි නොහදා ඒක කරගන්නෙ කොහොමද කියන එකට. කොන්ඩම්, උපත් පාලන පෙති, ගබ්සා මේ හැම විප්ලවයක්ම සිද්ද වෙන්නෙ ළමයි හැදීම අඩු කරගැනීමේ උවමනාව ඒ තරම් දරුණු හින්ද. මිනිස්සු සෙක්ස් කරන්නෙ ආස්වාදයට. තෘප්තියට. දරුවන් හැදීම සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය බිඳිලා දැන් සියවස් ගානක් වෙනවා. අමා තාම අපේ පොලිසියට උගන්නන්නෙ ඒ කුණුබක්කියට වැටුනු අදහස්. ඊට පස්සෙ පොලිසිය ඒ කුණු ගෙනැත් අපේ ඇඟේ හලනවා.

    මෙතනදි අමා දිසානායක සමලිංගිකත්වය ගැනත් කිසි දෙයක් නොදන්නා වග ලැජ්ජාවකින් තොරවම හෙලි කරනවා. තමන්ගේ දරුවා සමලිංගිකයෙකුගේ ගොදුරක් වෙනවට කැමතිද කියල අමා අහනවා. ඒ බයටම මිනිස්සු සමලිංගිකයන්ට විරුද්ධ වෙන්න ඕන කියලයි එයා කියන්නෙ.

    ළමා අපචාර සහ සමලිංගිකත්වය කියන්නෙ එකක් විදිහටයි අමාට තේරෙන්නෙ. පහුගිය කාලයක් පුරාම අපේ දැරියන් අතවරයට ලක්වුනේ සමලිංගිකයන් අතින් නෙමෙයි. විෂම ලිංගික චීවරධාරී, පොලිසි, නීති, වෛද්‍ය, මැති ඇමති ආදී පිරිස් අතින්. සමලිංගිකත්වය සහ ළමා අපචාර අතර සම්බන්ධය මේ මනෝ උපදේශකවරිය කොහොම ගොඩනගනවද කියන එක දන්නෙ නාථ දෙයියොම විතරයි. ළමා අපචාරවලට හේතුවෙන කාමුකත්වය කියන්නෙ පීඩොෆීලියාව. ඒක සමරිසි හෝ විෂම හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් දරන කෙනෙක් අතින් වෙන්න පුළුවන්. සමලිංගිකයන් ළමා අපචාරිකයන් හැටියට පොලිසියට ඉගැන්වීම කොයිතරම් භයානකද?

    එහෙම නැත්නම් එයා සමලිංගිකත්වය යනු බෝවෙන තත්වයක් කියලා හිතුවද දන්නෙත් නෑ. සමලිංගිකයෙක් හා ඇසුරු කිරීමෙන් ඔබේ දරුවා සමලිංගිකයෙක් විය හැකිය වගේ ලෝකෙ පළමු වරට යම් මනෝ විද්‍යාත්මක හෙලිදරව් කිරීමක් අමා කරනවා වෙන්නත් පුළුවන්. ලංකාවෙ මෑතක ඉඳන් ගොඩක් විද්‍යාව සම්බන්ධ කලාපවල අපි ලෝකය හෙල්ලුම් කන වර්ගයේ හෙලිදරව් කිරීම් කරනවා.

    ඊට පස්සෙ අමා දිසානායක සම්පූර්ණයෙන්ම නිරුවත් වෙනවා. එයා කියනවා පහුගිය කාලෙ මේ සමරිසි පිරිස් එකතු වෙලා ආණ්ඩුව පෙරලුවා කියල. නැවත ඒ වගේ දෙයක් වෙයි කියල අනතුරු අඟවනවා. මේක පොහොට්ටුවෙන් ගෙනාපු සමනළ විරෝධයත් එක්ක හරියටම එක මත එක පිහිටනවා. ප්‍රොපගැන්ඩාව එලිවෙනවා. මේ සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙ ජාතිවාදී ආගම්වාදී රාජපක්ෂ දේශපාලනයේ ජනප්‍රිය මතවාදයමයි. පැණියෙ ඉඳන් සමරිසිභාවය දක්වාම විද්‍යාව සපයන්නෙ එකම අධිකාරියක්.

    දැන් අපි අමාව පැත්තකින් තියලා මේ කතාවෙ ඇත්ත පැත්ත ගැන බලමු. අමා දිසානායක කරපු පර්යේෂණයන් අනුව කොහොම වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට සමලිංගිකත්වය කියන්නෙ කිසිසේත්ම මානසික ව්‍යාධියක් නෙමෙයි. විකෘතියක් නෙමෙයි. පූර්ණ නිරෝගී මනුස්සයෙකුගේ ලිංගික පිහිටීම සමලිංගික වෙන්න පුළුවන්. ඒක තමයි ලෝකය පිළිගන්නා විද්‍යාත්මක මතය වෙන්නෙ.

    ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකභාවය, බයිසෙක්ෂුවල් නැත්තං ද්විත්ව ලිංගිකභාවය, සංක්‍රාන්ති හෝ අන්තර් ලිංගිකභාවය යන කිසිවක් රෝගී, විකෘති තත්වයන් නොව ඒවා මානව ලිංගිකත්වයේ විවිධත්වයන් හැටියෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා.

    ඒ ගොල්ලොන්ගෙ තියෙනවා ICD- International Classification of Diseases කියල අන්තර්ජාතික රෝග වර්ගීකරණයක්. 1977 වෙනකල් ඒකෙ සමලිංගිකත්වය රෝගයක් වශයෙන් දක්වලා තිබුන. ඒත් 1990 වෙද්දි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක ඉවත් කරලා සමලිංගිකත්වය නිරෝගී ලිංගික තෝරාගැනීමක් හැටියෙන් අවධාරණය කළා.

    නමුත් මේ අමා දිසානායක වගේ අය විසින් නිර්මාණය කරන හෝමොෆෝබියා කියන තත්වය, ඒ කියන්නෙ සමලිංගික භීතිකාව මානසික රෝගී ලක්ෂණ දරන්න පුළුවන් කියල ලිංගික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජර්නලයේ පළවෙන පර්යේෂණයකින් එලිවෙනවා. හෝමොෆෝබියාව ඇති අයගෙ සයිකොටිසිසම් පෞර්ෂයක්, ඒ කියන්නෙ ප්‍රකෝපකාරී, අනෙකා කෙරෙහි වෛරය මුසු, ආවේගකාරී, සමාජ විරෝධී හැසිරීම් සහ අපරිණත ආරක්ෂන යාන්ත්‍රණ (ඩිෆෙන්ස් මිකැනිසම්) දරන පෞර්ෂයක් දකින්න ලැබෙනවා කියල ඒ පර්යේෂකයන් කියනවා. මේ පෞර්ෂය ඇති අය මනෝව්‍යාධිමය තත්වයට පත්වීමේ අවදානමක් දරනවා.

    අනිත් පැත්තෙන් මේ හොමෝෆෝබියාව නිසා සමාජයේ සමලිංගික දරුවන්ට ආතතිකර තත්වයක් ඇති කරනවා. ඒ අයට මානසික කායික පීඩා ඇතිවිය හැකි වාතාවරණයක් නිර්මාණය කරනවා. ඒකෙන් ඒ දරුවන් තුල ඩිප්‍රෙෂන් වගේ රෝගී තත්වයන් ඇති කරන්න පුළුවන්. මේ නරක ප්‍රතිඵලත් අවසානයේ දරන්න සිද්ද වෙන්නෙ සමාජයටයි. විවෘතව ලිංගිකත්වයන් බාරගන්නා සමාජයක පුරවැසියන්ගේ මානසික තත්වය වඩා යහපත් සහ නිරෝගී බව පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.

    සමලිංගික සහ අනෙක් ලිංගිකත්වයන් ප්‍රතික්‍ෂේප කරන ලෝකයේ එක කඳවුරක් තියෙනවා. අරාබිය, ඉරානය, උගන්ඩාව, රුසියාව වගේ රටවල සමලිංගිකත්වය පීඩාවට ලක්කරන නීති තියෙනවා. අපේ පොලිසිය ආදියට මේ ලබා දෙන උපදේශකත්වයන් හරහා අපේ රාජ්‍ය මතවාදය පිහිටන තැනත් සළකුණු වෙනවා. අපි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වෙතින් මේ ප්‍රතිගාමී ඒකාධිපති රටවල් පැත්තට ගමන් කරමින් ඉන්නවා.

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ හොමොෆෝබියා හෙවත් සමරිසිභීතිකාව තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් ගේනවා. කෙනෙක් විෂම ලිංගික වෙන්නෙ ජීව විද්‍යාත්මක කාරණා නිසා පමණක් නෙමෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. මේ දැඩි විෂම ලිංගිකත්වය පිටිපස්සෙ තියෙන්නෙ දෙමව්පියන්ගෙන් සහ සමාජයෙන් ලැබෙන සමරිසි විරෝධය බව එයා කියනවා. ඒ කියන්නෙ අපි විෂම ලිංගික වෙන්නෙ සමලිංගිකත්වයට ඇති බය නිසා.

    ෆ්‍රොයිඩ් කියන විදිහට හැම දරුවෙකුටම තමන්ගේ සමාන ලිංගික මව හෝ පියා ගැන ආකර්ශනයක් පවතිනවා. මේක විසඳෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙදි. ඒත් සමහර අයගෙ මේක හරියට විසඳෙන්නෙ නෑ. ෆ්‍රොයිඩ්ගෙ අදහස් තවත් ඉස්සරහට අරගෙන ගිහින් සැන්ඩර් ෆෙරන්චි කියන හංගේරියානු මනෝවිශ්ලේෂකයා මේ සමරිසිභීතිකාව ගැන තවදුරටත් හොයනවා. මේ භීතිකාව පිටිපස්සෙ තියෙන්නෙ තමන්ගේ යටපත් කළ ආශාව කියලා ෆෙරන්චි කියනවා. සමරිසිභාවය ගැන තියෙන බය, පිළිකුල, විරෝධය තමන් තුලම ඒ ගැන පවතින කැමැත්තට ප්‍රතිවිරෝධයක් හැටියෙන් ඇතිවෙන තත්වයක් කියල ෆෙරන්චි විස්තර කරනවා.මේ සමරිසිභීතිය පිටිපස්සෙ තියෙන තව කාරණයක් තමයි සිම්බොලික් රේසිසම් නැත්තං සංකේතමය වර්ගවාදය කියන එක. කලුසුදු භේදය, දෙමළ සිංහල භේදය ආදී විදිහට අපි හදාගත්ත අපේ කල්පිත වටිනාකම් පද්ධතියක් වඩා උසස් සහ මාරයි කියන හැඟීම මේ ලිංගික ප්‍රශ්නෙදිත් තියෙනවා. සමරිසිභාවය එක්ක අපි ස්වභාවිකයි කියල පිළිගන්න පවුල, ලිංගිකත්වය, අපේ ලිංගික තත්වය වගේ සංකේතීය කාරණා අර්බුදයට යනවා. අපේ ආගම්වලින් ගොඩනගපු ගතානුගතික විශ්වාස අවුලට යනවා. එතකොට අපිට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනවා. අපි බය වෙනවා. ප්‍රචන්ඩ විදිහට ඒක යටපත් කරන්න හදනවා. සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙත් ජාතිවාදය ආගම්වාදය පිටිපස්සෙ තියෙන වර්ගවාදයම තමයි. එක විදිහක වෙනස් කොට සැලකීමක් තියෙන කෙනෙක් ළඟ අනිත් සියල්ලත් අඩුවැඩි වශයෙන් තියෙන්නෙ ඒකයි. උදා විදිහට ජාතිවාදියෙක් නම් බොහෝවිට එයා සමරිසි විරෝධියෙක්. මේ හෝමොෆෝබියාව රාජපක්ෂ මතවාදය එක්ක ඉබේටම ගැටගැහෙන්නෙ මෙතනදි. ඇත්තටම මේ ලිංගිකත්වය පිළිබඳ අර්බුදය තමයි ජාතිය ආගම රකින්න කියල සිංහ වෙස් අරගෙන හපන්න පනින්නෙ.


    Chinthana Dharmadasa

  • සෙක්ස් ගැන යුංග්

    සෙක්ස් ගැන යුංග්

    කාල් යුංග් කියන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට පස්සෙ මනෝ විශ්ලේෂණය වෙනස්ම මානයකට අරන් ගිය දැවැන්ත චරිතයක්. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයේ ගැලවීමක් නැති ලිංගික අර්බුදය වෙනුවට යුංග් ආත්මය, සාමූහිකත්වය, අවිඥානය සමග බැඳුනු මිනිස් පැවැත්මේ පරිපූර්ණතාවයක් ගැන ගවේෂණය කළා. තමන්ගේ හෙවනැල්ල හෙවත් අඳුර බාරගැනීමේ විවෘතභාවයක් ගැන උනන්දු වුනා. මේ ආධ්‍යාත්මික නැඹුරුවට ෆ්‍රොයිඩ් විරුද්ධ වුනා. ඒත් යුංග් මනෝ විශ්ලේෂණය, ආධ්‍යාත්මික දර්ශනවාදයන් සහ මිත්‍යා විශ්වාසයන්ගේ කලාප ඇතුලට අරගෙන ගියා. යුංග් ඇත්තටම මනෝවිශ්ලේෂකයෙක් විදිහට තමන්ව හඳුන්වාදීම පවා ප්‍රතික්‍ෂේප කළා. පැරා සයිකොලොජි සහ සයිකික් හැකියාවන් ගැන අධ්‍යනය තමන්ගේ විෂය ඇතුලට ගත්තා. යුංග් විසින් ඉදිරිපත් කරන අවිඥානයේ සිතියමත් ෆ්‍රොයිඩ්ට වඩා වෙනස් එකක්. එයා සාමූහික අවිඥානය කියන කලාපය හඳුන්වාදෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ඇදහිලි විශ්වාසයන් ඇතුලෙ ගොඩනැගෙන පුද්ගල අවිඥානයේ සාමූහික කලාපයක් විශ්වාස කරනවා. ෆ්‍රොයිඩ් තමන්ගේ කියවීම ඇතුලෙ ලිබිඩො කියන එක ලිංගික ශක්තියටම ඌනනය කළත් යුංග් ඒක සැලකුවේ ජීවිතයේ ගාමක බලය විදිහට. ඒක ඒ අවස්ථාව සහ අවශ්‍යතාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ආහාර, ලිංගිකත්වය, මරණය ආදී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඇත්තටම යුංග් විද්‍යාව තමන්ගේ සීමාව කරගත්තෙ නෑ. ඒ වෙනුවට එයා ගොඩක් සමීප වුනේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත ෂාමන් කෙනෙකුට.

    කාල් යුංග් ලිංගකත්වය ගැන ඉතාම ගැඹුරු කතිකාවක් අරගෙන ආවා. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයෙන් බොහෝ දේ උපුටාගත්තත් සමාජ දේශපාලන කතිකාවලදි කාල් යුංග් මගහැරුනෙ මේ ආධ්‍යාත්මික ගැඹුර ගැන දැනීම ඒ මතවාදී පිරිස්වලට නොතිබීම නිසාමයි.

    කාල් යුංග් ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන්නෙ මිනිසා මෙහෙයවන දිව්‍යමය ශක්තීන් දෙකක් බඳුව විස්තර කළා. මිනිසාට පුළුවන් ආධ්‍යාත්මිකත්වයෙන් සහ ලිංගිකත්වයෙන් යන දෙකෙන්ම තමන්ව වෙන් කරගන්න. ඔහුට පුළුවන් ආධ්‍යාත්මිකත්වය මවක් ලෙස සළකා ඇයව අහසේ රඳවන්න.
    ලිංගිකත්වය ෆැලොස් යනුවෙන් හඳුන්වා එය පියා හැටියෙන් පොළොවේ තබාගන්න. මේ මව සහ පියා දෙකම අධිමානුෂික දේවත්වයන්. ඒවා තුලින් මිනිසාට දෙවියන්ගේ ලෝකය අනාවරණය වෙනවා. මේ ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන දෙන්නා අපිට අනෙක් දෙවිවරුන්ට වඩා බලපානවා. මොකද ඒ අය අපේ සාරයට ළඟින්ම බැඳී ඇති නිසා.

    දෙවිවරුන්ගේ ලෝකය ප්‍රකාශමාන වෙන්නෙ ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන දෙක හරහායි. අහසේ ඉන්න දෙවියන් ආධ්‍යාත්මික වෙන අතර පොලොවෙ ඉන්න දෙවියන් ලිංගික වෙනවා.
    ඒ වගේම පිරිමියාගේ ලිංගිකත්වය වඩා පොළොවට බැඳුනු එකක් කියල යුංග් කියනවා. ඒ කියන්නෙ වඩා භෞතිකයට සමීපයි කියන එක. නමුත් ගැහැණියගේ ලිංගිකත්වය ආධ්‍යාත්මික එකක් වෙනවා.

    ආධ්‍යාත්මිකත්වයේ ගුණය වෙන්නෙ වැළඳගැනීම, පිළිසිඳගැනීම. හරියට ගැහැණියක් වගේ. ඒ හින්ද අපි කියනවා දිව්‍යමය මාතාව කියල. ලිංගිකත්වය කියන්නෙ නිර්මාණය කිරීම, ඇති කිරීම. ඒක පිරිමියි. ඒකට කියනවා ෆැලොස් කියල. පොලොවේ පියාණන්. පිරිමියෙකුගේ ලිංගිකත්වය ගොඩක් පොළොවට බද්ධයි. ගැහැණියකගේ ඒක ආධ්‍යාත්මිකයි. අනිත් පැත්තෙන් පිරිමියෙකුගේ ආධ්‍යාත්මිකත්වය දිව්‍යමයයි. ඒක තව වඩා ගැඹුරට ගමන් කරන්න පුළුවන් එකක්.

    තමන්ගේ ලිංගිකත්වයන්ගේ වෙනස තේරුම් නොගැනීම නිසා පිරිමි සහ ගැහැණු උනුන්ගේ යක්ෂයන් බවට පත්වෙලා තියෙනවා කියල යුංග් පැහැදිලි කරනවා.

    “ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන්නෙ ඔබේ ගුණාංගයන් නෙමෙයි. ඒවා ඔබ සතුව පවතින හෝ ඔබ විසින් අත්පත් කරගන්නා දේ නෙමෙයි. ඒවා විසින් ඔබව අත්පත් කරගැනීමයි සිද්ද වෙන්නෙ. ඒවා ඉතාම බලගතු දිව්‍යමය ශක්තීන්. දෙවියන්ගේ ප්‍රකාශමාන වීම්. ඒ නිසා ඒවා පවතින්නෙ ඔබට එපිටින්. ඒවා පවතින්නෙ ඒවා තුලමයි” – කාල් යුංග්

    කිසිම මිනිහෙක් තමන් විසින් ආධ්‍යාත්මික වන්නේ හෝ තමන් විසින් ලිංගික වන්නේ හෝ නෑ. ඔහු ලිංගිකත්වයේ සහ ආධ්‍යාත්මිකත්වයේ නීතියට යටත් වෙනවා පමණයි. කිසි කෙනෙකුට මේ දිව්‍යමය ශක්තීන්ගෙන් ගැලවී ඉන්න බෑ.

    ලිංගිකත්වයේ දිව්‍යමය ශක්තිය සර්පයෙක් වගේ අප කරා එනවා. ඇය අර්ධ මානුෂිකයි. ලිංගිකත්වයට අපි කියනවා සිතුවිල්ල ගැන ආශාව කියල. ආධ්‍යාත්මිකත්වයේ දිව්‍යමය ශක්තිය අපි කරා එන්නෙ ශ්වේත පක්ෂියෙක් වගේ. ඔහුත් අර්ධ මනුස්ස ස්වරූපයක් ගන්නවා. ඒකට අපි කියනවා ආශාව ගැන සිතුවිල්ල කියල.

    මිනිස් වර්ගයා සමස්තයක් හැටියෙන් පුරුෂමයයි සහ ස්ත්‍රීමයයි. ඒ කියන්නෙ ගැහැනු හෝ පිරිමි කියන එක නෙමෙයි. මැස්කියුලීන් සහ ෆෙමිනින් කියන්නෙ මේල්-ෆීමේල් කියනවට වඩා ලොකු පරාසයක්. කෙනෙක් ඇත්තටම දන්නෙ නෑ තමන්ගේ ආත්මය ගැහැණුද පිරිමිද කියන එක.

    අපිට සැබවින් ජීවත් වෙන්න නම් ලිංගිකත්වය බාරගන්න වෙනවා කියල යුංග් කියනවා. සාන්තුවරභාවයක් මවා පාමින් ඒක ප්‍රතික්‍ෂේප කිරීම නතර කරන්න වෙනවා.

    ෆ්‍රොයිඩියානු විදිහට සිහින ලිංගිකමය ආකාරයෙන් පමණක් වූ කියවීම මානසිකත්වය ප්‍රචණ්ඩ ආකාරයෙන් සීමා කිරීමක් විදිහට කාල් යුංග් දැක්කා. පොඩිකාලෙ ලිංගික ෆැන්ටසි කියන එක විතරක් නෙමෙයි සිහිනයක සම්පූර්ණ කතාව. ඒ සිහිනවල නිර්මාණශීලී කොටසක් අඩංගු වෙනවා. අපිව අපි පෙළෙමින් සිටින නියුරෝසියාවෙන් එලියට අරන් යාමේ අරමුණ තියෙන්නෙ එතනයි.

    පවතින ක්‍රමයට හැඩගැසීම වෙනුවෙන් ලොකු අරගලයක් කරපු තරුණයන්ගෙ අභ්‍යන්තර ලිංගික ප්‍රශ්න අඩු බවක් යුංග් දැක්කා. ඒත් කිසිම අවුලක් නැතුව පවතින ආකාරයට හැඩගැසුනු අයට ලිංගිකත්වය සහ හීනමානය පිළිබඳ ප්‍රශ්න වැඩි වැඩියෙන් ඇතිවුනා.

    ජීවිතේ හැම ලොකු ප්‍රශ්නයක්ම වගේ (ලිංගිකත්වය කියන්නෙත් එහෙම එකක්) අපේ සාමූහික අවිඥානයේ ප්‍රාථමික රූපරටා එක්ක සම්බන්දයි. මේ රූපවලින් අපේ ජීවිතේ ඇත්ත ප්‍රශ්න තුලනය කිරීම හෝ අස්වැසීම සිද්ද කරනවා. මේක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. මේ රූප නිර්මාණය වෙන්නෙ අවුරුදු දහස් ගානක් තිස්සෙ මිනිස්සු තමන්ගෙ පැවැත්ම ඇතුලෙ කළ අරගලයන්ගේ අත්දැකීම් වලිනුයි. ඒවා අපේ නූතන මනසෙ අරගලත් එක්ක සම්බන්දයි. මේ කියන්නෙ අපේ දේව ඇදහිලි, බලි තොවිල් ආදිය අපේ අභ්‍යන්තර ලිංගික මානසික කාරණා එක්ක කරන සන්නිවේදනය ගැනයි.

    ලිංගික නිදහස පිළිබඳ සදාචාරාත්මක කාරණය කියන්නෙ මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් දැවැන්තම දෙයක් වෙන අතර සියලු විශිෂ්ට මනස් ඒ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය යෙදවිය යුතුයි කියල කාල් යුංග් යෝජනා කරනවා.

    “ඇමරිකාවෙ තරුණ අරගලකරුවන් දිහා බලන්න. මේ අරගලකරුවන් නියෝජනය කරන්නෙ නො-මිනිස්, කෘතිම ඇමරිකානු ජීවිතයට එරෙහි සැබෑ විවෘත ස්වභාවික මිනිසායි. ඇමරිකානුවො ජීවිතයේ ස්වභාවික විදිහෙන් තනිකරම වෙන්වෙලයි ඉන්නෙ. ඔවුන්ගේ විශාල මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට හේතුවත් ඒකයි”– කාල් යුංග්
    යුංග්ට අනුව අපේ මනස ගැහැණු සහ පිරිමි දෙකෙන්ම සමන්විතයි කියන එක මූලිකවම තේරුම් ගත යුතු කාරණයක්.

    “අපි දන්නවා කළලය හැදෙන්නෙ පිරිමි ගැහැණු ජාන දෙකම එකතු වෙලා කියල. එතනදි අපේ ලිංගිකත්වය තීරණය වෙන්නෙ බහුතර ජාන වලින්. එතකොට සුළුතර ජානවලට මොකද වුනේ?”

    අපේ ලිංගික සදාචාරය පිළිබඳ ප්‍රශ්නයෙදි යුංග් ඒක මධ්‍යතන යුගයෙ තිබුනු මූල්‍ය පිළිබඳ සදාචාර තත්වය එක්ක ගලපනවා. මධ්‍යතන කාලෙදි මූල්‍ය ගනුදෙනු සැලකුනෙ සදාචාර විරෝධී වරදක් විදිහට. මොකද එහෙම වෙන්ව, අවස්ථා අනුව විශේෂිතව නිර්මාණය වුනු මූල්‍ය පිළිබඳ සදාචාරයක් ඒ කාලෙ අපිට තිබුනෙ නෑ. පැවතුනෙ නිකං සමූහ සදාචාරයක් විතරයි. අද ලිංගිකත්වය ගැන තියෙන්නෙත් ඒ වගේම සමූහ සදාචාරයක් විතරයි. ජීවිතයට සමීපව, විශේෂිතව ගොඩනැගුනු ලිංගික සදාචාරයක් අපිට තාම නෑ.
    ආදරය සහ ලිංගිකය වගේම හැම ආශාවක් කියන්නෙම ජීවිතය තේරුම් ගැනීමට විවෘත වෙන අවස්ථාවක් කියල කාල් යුංග් කියනවා.

    “ගැහැණු විශ්වාස කරනවා පිරිමින් විසින් එයාලව තමන්ගේ අරමුණුවලින් දුරස් කරනවා කියල. පිරිමි හිතනවා ගැහැණු විසින් තමන්ව තමන්ගේ කාර්යයන්ගේ ඈත් කරනවා කියල. ඒත් ඇත්තටම මෙතන තියෙන්නෙ අනෙක් ලිංගිකයා ගැන සහ තමන්ගේ අවිඥානය ගැන තමන් තුල පවතින බයයි” – යුංග්

    කිසිම පිරිමියෙකුට ගැහැණියක් නැතුව ජීවත් වෙන්න බෑ. එයාගෙ ජීවිතේ සමතුලිත වෙන්න මේ අනෙක් අර්ධය උවමනායි. කිසිම ගැහැණියකට පිරිමියෙක් නැතුවත් බෑ. මේ අර්ධයන් දෙකටම තමන්ගේ ප්‍රතිවිරුද්ධ අර්ධයන් උවමනා වෙනවා කියල යුංග් කියනවා.

    ලිංගිකත්වය සහ ආධ්‍යාත්මිකත්වය කියන්නෙ ප්‍රතිපක්ෂ දෙකක්. ඒ එකකට අනෙක නැතිව පවතින්න බෑ. ගැහැණු ගැඹුරු තලයේදී පිරිමින්ට වඩා බෙහෙවින් ශක්තිමත්. ගැහැණු දුර්වලයි කියන එක මෝඩ කතාවක් කාල් යුංග් කියන විදිහට.

    “අපේ ශිෂ්ටාචාරය විසින් ලිංගිකත්වය එක පැත්තකින් වනචාරී කියල අයින් කරන අතරෙ අනිත් පැත්තෙන් ආදරය කියල උත්කර්ෂයට නංවනවා”

    පිරිමි බොහෝ විට ලිංගිකත්වය එක්ක බැඳිලයි ඉන්නෙ. මොකද ඒ ගොල්ලොන්ට ඒක හොඳටම දැනෙනවා. ඒ ගොල්ලොන්ට නැත්තෙ ශෘංගාරයයි.

    අද අපිට සෙක්ස් ගැන කතාකරද්දි ඒක ආදරයෙන් වෙන් කරලා කතා කරන තත්වයක් නිර්මාණය වී තිබීමම අවාසනාවක්. මේ දෙක වෙන් කරන්න බෑ කියන එකයි යුංගියානු අදහස. ලිංගික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සුවපත් කළ හැක්කේ ආදරයෙන් විතරයි.

    ඩයොනීසියානු උමතුව කියන්නෙ ඇත්තටම ලිංගිකත්වයෙන් ආපු ප්‍රතිවිරෝධයේ රැල්ලක් වගේ. ඉතිහාසය පුරා ලිංගිකත්වයේ වැදගත්කම නොතකා හැරීමට සහ ක්‍රිස්තියානිය තුලට ඇතැම් දේ රිංගවාගැනීම හරහා ඒවායේ සාරයන් කැපකිරීමට එරෙහිව ලිංගිකත්වය විසින් ගහපු කැරැල්ලක් විදිහටයි ඩයොනීසියානු ලිංගික උත්කර්ෂය කාල් යුංග් විස්තර කරන්නෙ.

    “ආදරය සහ එහි අර්බුද ගැන කතා කිරීම ජීවිතයේ වැදගත්ම දේ වන අතර ඒ ගැන ගැඹුරින් විමසීම අදාල පුද්ගලයාට වඩා විශාල පරිමාණයක වැදගත්කමක් ගන්නවා” – කාල් යුංග්

    කෙනෙක් ජීවත් වන සමාජයේ ආත්මය හසුකරගැනීම දුෂ්කරයි. කලාවේ ප්‍රවනතාවය, පොදු ජන රසය, මිනිස්සු කියවන ලියන දේවල්, ඒ අය ඇති කරගන්නා සමාජ, දවසේ මූන දෙනවා යැයි කියන ප්‍රශ්න, මේ කැටලොග් එකේ ලිංගික ප්‍රශ්න තියෙන්නෙ අන්තිමට වෙන්න පුළුවන්. ලිංගික ප්‍රශ්න ගැන කතා කරන්නෙ පවතින සදාචාරයට අභියෝග කරන, එහි වරදකාරී බවෙන් ගැලවෙන්න හදන පිරිමි ගැහැණු ටික දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේවා පැත්තකට දැමිය හැකි හෝ නොතකා හළ හැකි ප්‍රශ්න නෙමෙයි. මේ අලුත් ලිංගික ප්‍රවණතාවයන්ගේ හේතු හොයාගෙන යන එක ප්‍රයෝජනවත් වෙනවා වෘත්තීමය සදචාරකාරයන්ගේ සංස්කෘතිය පිරිහෙනවා කියන බයිලා අහන් ඉන්නවට වඩා.

    යුංග් කියන විදිහට,
    “අපේ ශිෂ්ටාචාරය දිගටම ලිංගිකත්වයේ වැදගත්කම අවතක්සේරු කළා. ඒක යටපත් කළා. ඒක නිසා ලිංගිකත්වය ඒකට අදාල නැති හැම තැනටම ආවා. හැම තැනම අනපේක්ෂිත විදිහට අපිට ලිංගිකත්වය මුනගැහෙන්න ගත්තා. ඒ හින්දම මිනිස් මනස ඉතාම සමීපව තේරුම් ගැනීම කියන ලස්සන දේ වෙනුවට ලිංගිකත්වයෙන් වෙනම විපරීත තේරුම් මවා දුන්නා. ඍජු ලිංගිකත්වය කියන්නෙ සරල දෙයක්. ඒක අප්‍රසන්න දෙයක් නෙමෙයි. යටපත් කිරීම විසිනුයි සෙක්ස් කියන දේ කුහක කැත එකක් බවට පත් කළේ.

    අපිට සැබෑ ලිංගික සදාචාරයක් නෑ. තියෙන්නෙ නීතිමය එළඹුමක් විතරයි. අපි හැම ලිංගික චර්යාවක්ම නීතියෙන් පාගගෙන ඉන්න උත්සාහ කරනවා. මේ වෙනස් මානසිකත්වයන් සහ නිදහස් ලිංගික ක්‍රියාවන් ගැන අපිට නිසි සදාචාරමය දැනීමක් සංවර්ධනය කරගන්න තාම බැරි වෙලා තියෙනවා”

  • ආදරණීය හිස්ටීරියා

    ආදරණීය හිස්ටීරියා

    ස්වර්ණා සහ සමිතා ගැන සිරිමල් විජේසිංහ පෝස්ට් එකක් දාලා තිබුන. ඒ පෝස්ට් එක ගැන අදහසක් විදිහට තවත් කෙනෙක් දිග පැහැදිලි කිරීමක් කරලා තිබුන. සිරිමල් ඒ පැහැදිලි කිරීම හඳුන්වලා තිබුනෙ දීප්ති කුමාර ගුණරත්නගේ අදහස් මත පාදක වුනු එකක් විදිහට. සිරිමල් හෝ දීප්ති ඒ ගැන නැවත නිවැරදි කිරීමක් නොකරන තාක් අපිට පුළුවන් ඒ ස්වර්ණා සහ සමිතා කියන ගැහැණුන් දෙදෙනා ගැන දීප්තිගේ කියවීමක් හැටියෙන් සලකන්න. ඒ අදහස සම්පින්ඩනය කරලා දක්වන කොටසක් තමයි මේ.

    “මේ දෙදෙනා තුළම පවත්නා පොදුසාධකය නම් ඔවුන් හිස්ටරික වීමය. එනම් තමන් කවුද යන්න නිශ්චිත පිලිතුරක් තමාගෙන් ම අසමින් සිටින්නියන්ය. තමා තුල ඇති සංකේතීය පිලිවෙල අහිමි වීමෙන් තමාට අර්ථයක් නොමැති බව හැගෙන විට හිස්ටරිකත්වය තුළින් වන්නේ තමාගේ ආත්මීය හඩට ඇහුම්කන් දීමය. බොහෝ විට මෙබදු පිරිස් තමාගේ රහසිගත අශ්ශීල විනෝදය හෙලිදරව් කරන්නේ තමාට අර්ථයක් ලබා තනු පිණිසය.

    හිස්ටරිකයන් තමාගේ අශ්ශීල ජීවිතය (යථ හෙවත් සැබෑව) යථාර්ථය තුළ හෙලිකල විට සමාජයෙන් – නීතිය හෝ සදාචාරය ඔස්සේ ගැරහුම් ගෙන දේ මේ ගැරහුම හෙවත් පරපීඩිතබව (අනෙකාගෙන් බාහිරින් එන පීඩා) දැනෙන විට පමනි.

    හිස්ටරිකයෙකුට තමාට අර්ථයක් ඇති යැයි හැගෙන්නේ ද හිස්ටරිකත්වය ට සදාචාරයක් අවශ්ය වන්නේ නැත්තේ එනිසාය. යමෙක් තමාගේ අශ්ශීල විනෝදය හෙලිකරයි නම් ඇය රැඩිකල්වාදී ස්ත්‍රියක් නොව පිලිවෙල අහිමි වූ හිස්ටීරිකාවකි” – දීප්තියානු අදහස

    හිස්ටීරියා කියන වචනෙ හැදෙන්නෙ හිස්ටෙරා කියන ග්‍රීක වචනයෙන්. ඒකෙ තේරුම ගර්භාෂය කියන එක. මුල් කාලෙදි හිස්ටීරියාවට හේතුව විදිහට තේරුම් ගත්තෙ ගැහැණුන්ගෙ මේ ගර්භාෂය ශරීරය ඇතුලෙ එහෙ මෙහෙ ගමන් කිරීම කියල. ඉතින් හිස්ටීරියාව කියන වචනයට තියෙන්නෙ අතීතයෙ ඉඳන්ම කාන්තාවන් ඉලක්ක කරගත්, කාන්තාවන් යටපත් කරන පිරිමි බලයක ඉතිහාසයක්.

    එක්ස් කණ්ඩායම තියෙන කාලෙදි මේ වචනෙ ෆ්‍රොයිඩියානු අදහස විකෘති විදිහට පාවිච්චි කරමින් පිරිමි ගැහැණු චරිත හැම එකකටම පහර දුන්නා. මානසික රෝගීන් විදිහට හැඳින්නුවා. මේ නැවත අපි දකින්නෙ ඒ පරණ සාම්ප්‍රදායික පිරිමියෙක් විසින් මනෝ විශ්ලේෂණයේ බලය පාවිච්චි කරන තැනක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අන්ත දක්ෂිණාංශික මුග්ධ පිරිමියාත් හිස්ටීරියාව පාවිච්චි කරලා කාන්තා නැගීසිටීම් වලට පහර දුන්නා. මාර්තු අටවෙනිදා කාන්තා අයිතීන් වෙනුවෙන් විරෝධතා දක්වපු අයව පිස්සියන්, පිස්සු ස්ත්‍රීවාදීන් විදිහට හැඳින්නුවා. ඒ විරෝධතාවයන් මීඩියා හිස්ටීරියාවක් කිව්වා. මේ ගැහැණු හිස්ටරිකයන් වන නිසාම අඬනවා කෑ ගහනවා ඇරෙන්න වෙන කිසිදෙයක් දන්නෙ නෑ කියල අපහාස කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දීප්ති කුමාර ගුණරත්න අතර පේන මේ සම්බන්ධතාව හරි අපූරු එකක්. එක්කෙනෙක් ඇමරිකානු දක්ෂිනාංශය. අනෙකා ලංකාවෙ වාමාංශය.

    ට්‍රම්ප් මෙතනදි පෙන්නන්න හැදුවෙ මේ ස්ත්‍රී විරෝධතා කියන්නෙ තාර්කික දේවල් නෙමෙයි ප්‍රතිකාර කළ යුතු මානසික ආබාධයක ලක්ෂණයක් කියල. දීප්ති ඉහත පෙන්වන්න හදන්නෙ අර ගැහැණුන්ගේ ජීවිතය ඒ අයගේ අරගලයක් නෙමෙයි ඒක මානසික ප්‍රතිකාර කළ යුතු රෝගයක් කියල.

    මේ විදිහට ගැහැණුන්ව හිස්ටීරියාවෙන් යටපත් කිරීමට අඳුරු ඉතිහාසයක් තියෙනවා. මේ වචනය ඇතුලෙ හැමදාම ප්‍රකාශමාන වුනේ ගැහැණියගේ ශරීරයට එරෙහි වීමක්. ඇගේ ශරීරයම රෝගයක් හැටියෙන් ගනිමින් ඇයට ස්වාධීනත්වයක් අහිමියි කියන තැනට පත්කිරීමේ බලහත්කාරයක් මේ වචනෙ පිටිපස්සෙ තිබුන. කෙනෙක් උමතුයි කියන්නෙ එයාට යමක් ගැන අදහසක් දැක්වීමේ අයිතිය අහිමි කරන අසාධාරණ බල දිගුවක්. හිස්ටීරියාවෙදි ඒක විද්‍යාවේ නමෙන් ගැහැණිය දිහාවට දිගුවුනා.

    මේක අවිද්‍යාත්මක ඓතිහාසික පිරිමි උරුමයක්. පිරිමි තාර්කිකයි, පිරිමින්ගේ අනසකෙන් මිදුනු වහාම ගැහැණු හිස්ටරිකයි. ඔවුන් ප්‍රසිද්ධ ජීවිතයට නුසුදුසුයි. ෆ්‍රොයිඩ්ට කලින් හිස්ටීරියාව කියන පොතේ හෙලන් කින්ග් ලියනවා ග්‍රීක යුගයෙදි ප්ලේටෝ සහ හිපොක්‍රටීස් හිස්ටීරියාව ගැන හිතපු විදිහ.

    ‘ගර්භාෂය ශරීරය පුරා ගමන් කරමින් කාන්තාවගේ පැවැත්ම අවුල් කරනවා. මේ අසනීපය ගර්භාෂ තෙරපුම කියල හඳුන්වනවා’

    මේ නිසා කාන්තාවගේ චර්යාව විශ්වාස කළ නොහැකි යැයි ඒ ගොල්ලො කිව්වා. මේකට ප්‍රතිකාරයක් විදිහට කිව්වෙ ඇයව නිතරම ගර්භනීව තැබිය යුතුයි කියල. ගැහැණුභාවයෙන් මාතෘභාවයට පත් කළ යුතුයි කියල.

    මධ්‍යතන කාලෙ වෙද්දිත් ස්ත්‍රිය පිළිබඳ සාම්ප්‍රදායික වටිනාකම්වලට එකඟ නොවෙන ගැහැණු රෝගීන් විදිහට හැඳින්වීම කළා. 2021දි දීප්ති කරන්නෙත් ඒකමයි. 17 වෙනි සියවස වෙනකල් බටහිර වෛද්‍ය විද්‍යාවේ න්‍යායන්ට පාදක වුනු ග්‍රීක වෛද්‍යවරයෙක් වූ ගැලන් කියනවා කාන්තාවකගේ සංසේචනය නොවුනු ඩිම්බ නරක් වීමෙන් ඇය රෝගී වෙනවා කියල. මේ නිසා ඇයව ගැබ් ගැන්වීමෙන් කාර්යබහුල කළ යුතුයි කියල. ගැලන්ගේ තියරිවලින් වෛද්‍ය විද්‍යාව මේ වෙද්දි ගැලවුනාට දිගටම ඒ විද්‍යාව ඇතුලෙ මේ අවිද්‍යාවෙ සද්දෙ ඇහුනා. 1883දි ඔගස්ටෙ ෆේබර් කියන ප්‍රංශ වෛද්‍යවරයා කියනවා, හැම ගැහැණියක්ම හිස්ටරිකයි. හැම ගැහැණියක්ම හිස්ටීරියාවේ බීජ දරාගෙනයි ඉන්නෙ’ කියල.

    ඇත්තටම හිස්ටීරියාව කියන වචනෙ මුලින්ම එන්නෙ මධ්‍යතන කාලෙ මායාකාරියන් දඩයම් කිරීමත් එක්ක. 17 වෙනි සියවසේදි මේ දඩයම ඉහළින්ම සිදුවෙද්දි යුරෝපයේ කසාද බඳින්න උනන්දු නැතිවීම සහ දැඩි ලිංගික ආශාවන් පැවතීම කාන්තාවකගේ හිස්ටරික ලක්ෂණ විදිහට සැලකුනා. මේ අය සාතන් සමග සම්බන්ධ හැටියට සැලකලා ඇතැම් විට මරාදැමුනා.

    19 වෙනි සියවසේදි මායාකාරියන් කියන තැනින් ගැලවිලා හිස්ටීරියාව ස්නායු රෝගයක් බවට පත්වුනා. 1800 වෙද්දි ඕනම දෙයක් හින්ද ගැහැණියක් හිස්ටරිකයෙක් විදිහට ලේබල් කරන්න පුළුවන් වුනා. එතනදි ප්‍රධානම එකක් වුනේ ස්ත්‍රීවාදී පෙරමුණුවලට එකතු වීම.

    පීතෘමූලිකභාවය අභියෝග වෙමින් විප්ලවකාරී දූවරුන් කැම්පස් යන්න, රස්සා කරන්න, චන්දෙ දාන්න අයිතිය ඉල්ලද්දි ලේසිම දේ වුනේ ඒ අය මානසික ආබාධයකින් පෙලෙන හැටියට සලකුණු කරන එක. ශ්‍රීමත් ඒ. ඊ රයිට් කියන සුප්‍රකට වෛද්‍යවරයා ලිපියක් ලියනවා, මානසික ආබාධයක් කාන්තාවන් පෙරමුණ ගැනීමක් හැටියෙන් වරදවා වටහා ගැනීමක් සිදුවෙලා තියෙනවා කියල.

    “මේ අයට ඕන වෙලා තියෙනවා විවාහයෙන් සහ මාතෘභාවයෙන් බාහිර වෙනත් වටිනාකම් ආරෝපනය කරගන්න. මේ සමතැන ගැන ආශාව කියන්නෙම රෝගයක්. ආත්ම ගරුත්වය ගැන කාන්තාවන්ගේ හැඟීම අනතුරුදායක විසක්. නමුත් කලබල විය යුතු නෑ. ප්‍රතිකාර තියෙනවා. ඒ තමයි එයාගෙ සැමියාගේ නිවසට වෙලා විවේක ගන්න එක” – ශ්‍රීමත් ඒ.ඊ රයිට්

    19 වෙනි සියවසේ චාලට් පර්කින්ස් ගිල්මන් කියන ලේඛිකාවත් මේ විදිහෙ විවේක ප්‍රතිකාර සඳහා නියම කළ කෙනෙක්. මේ අය ඇඳටම වෙලා ඉන්න ඕන. මේදය වැඩි ආහාර ගන්න ඕන. එහෙම ගන්නෙ නැත්නම් බලෙන් කවන්න ඕන. කතා කිරීම, ලිවීම සහ ඇඳුම් මැසීම ආදිය ඒ අයට තහනම්.
    පුළුවන් තරම් ගෘහනියකගේ ජීවිතයක් ගත කළ යුතු අතර පෑනක් පැන්සලක් හෝ පින්සලක් ජීවිත කාලය පුරාම අතින් ඇල්ලීම තහනම්.

    මේ ප්‍රතිකාරවල අදහස වුනේ ගැහැණිය තමන්ගේ සැමියා යටතේ කීකරුව සිටින දරුවෙකුගේ මානසිකත්වයට පත්කිරීම. ඒත් මේක සාර්ථක වුනේ නෑ.

    1880දි වෛද්‍ය ජෝසෆ් මෝටිමර් ග්‍රැන්විල් මේකට ප්‍රතිකාරයක් විදිහට වයිබ්‍රේටර් එක හඳුන්වාදෙනවා. ඒ මගින් හිස්ටරිකල් පැරොක්සිසම් එකක් හෙවත් සුරතාන්තය ඇති කිරීමෙන් රෝගය සුව අතට හැරෙන බව කියනවා. අද වෙද්දි ඒක ගැහැණු නිදහස සංකේතවත් කරන ස්ත්‍රීවාදී සෙක්ස් ටෝයි එකක්.

    ඉතිහාසෙ ඉඳන් හැරිලා බලනකොට අපිට හිතෙන්න පුළුවන් අද ගැහැණියගේ තත්වය කොයිතරම් මානුෂික වෙලාද කියල. ඒත් දීප්තිලා වගේ ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අයත් දරන මේ වගේ අදහස් අපිව ඒ සුවදායී සිහිනයෙන් ඇහැරවනවා. තාමත් මවක්, කීකරු බිරිඳක්, හොඳ ගෘහණියක් කියන සීමාවෙ නොරැඳෙන ගැහැණියක් හිස්ටරික රෝගියෙක් හැටියෙන් ලේබල් කරනවා. ඇගේ ප්‍රසිද්ධ ජීවිතය උමතුවක් හැටියට අවලංගු කරනවා.

    ඔබේ බිරිඳට රස්සාවට යන්න ඉඩදෙන්න එපා. ඒක භයානකයි.
    – ඩොනල්ඩ් ට්‍රම්ප් –

    1950දි ඇමරිකානු මනෝවිද්‍යා සංගමය හිස්ටීරියාව මානසික රෝගයක් හැටියෙන් බැහැර කරනවා. ඒත් අද වෙනතුරුත් සම්ප්‍රදාය අභියෝග කරන ගැහැණුන්ට මේ ලේබලය ඉලක්ක වෙනවා. විශේෂයෙන්ම ගැහැණිය එලිපිට තමන්ගේ ආශාව හොයාගෙන යද්දි කලබල වෙන ගතානුගතික පිරිමියා ඇයව රෝගියෙක් කරන්න මේ වචනයේ බලය පාවිච්චි කරනවා.

    ඔයාට සාම්ප්‍රදායික නොවූ හැඟීම්, ආශාවන් තියෙනවා නම්, ඒවා බය නැතුව විවෘතව බාරගන්නවා නම්, ඔයා හිස්ටරික, පිස්සු ගැහැණියක්. ඒකයි දීප්ති උඩ කියන ලැජ්ජා නැති අදහස.

    ස්වර්ණා සහ සමිතා කියන ගැහැණු චරිත දෙකම සමාජයට බොහෝ සුන්දර දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ අයගේ පුද්ගලික ජීවිත අර්බුද ඇතුලෙ වුනත් ඔවුන් රටේ බොහෝ දෙනෙකුට රසවිඳින්න දේවල් නිෂ්පාදනය කළා. මෙතනදි ස්වර්ණා ගැහැණියක් විදිහට ඉතාමත් නිර්භීත ඇඩ්වෙන්චරීය ගමනක් ආවා වුනත් මං හිතන්නෙ ඇගේ අවසාන අරමුණ වුනේ සාම්ප්‍රදායිකව පිළිගන්නා මවක් බවට පත්වීම. ඒ තරම්ම සමාජ පීඩනය විසින් ඇයව දුර්වල කරන්න ඇති. හුදකලා කරන්න ඇති. මං දකින්නෙ ස්වර්ණා තමන් ගත කළ අසම්මත, කැරලිකාර ස්ත්‍රී ජීවිතය ආඩම්බරෙන් බාරගත්තෙ නෑ කියල.නමුත් සමිතා මෙතනදි වෙනස්. ඇය ලංකාවෙ ගැහැණියක් හැටියට ආශාව සහ නිදහස වෙනුවෙන් විප්ලවීය වැඩ කොටසක් තනියම නොදැනුවත්ව කරනවා. ඒක නිසා ලැබෙන ටොන් ගණන් අපවාදවලට මුහුණ දෙනවා. ඇය තමන්ගේ අසම්මත ප්‍රේමයේ අරගලය කරන්නෙත් සම්භාව්‍ය ඉඩකඩක නෙමෙයි ජනප්‍රිය අවකාශයක.

    මෙතනදි සමිතා ගැහැණියක් පිළිබඳ සම්මතයන් ගණනාවක්ම අභියෝග කරනවා. පිළිගන්නා සම්මත විවාහය අභියෝග කරන ඇය සුන්දර යැයි සම්මත ස්ලිම් සිරුරක් හෝ ප්‍රේමවන්ත යැයි සම්මත වයසක් හෝ පයිසයකට මායිම් නොකර සිනාමුසුව තමන්ගේ ආදරය සහ ආශාව වැළඳගන්නවා. ලංකාවෙ ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ නිදහස් රොමාන්තික අවකාශයක් සමිතා විසින් විවෘත කළා කියන එකයි මගේ පිළිගැනීම.

    මේ ගැහැණුන්ට හිස්ටරිකයි කියන නිරෝගී දීප්ති සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියන එක ඕන නම් ඒ එක්ස් සංස්කෘතියෙ පිරිස් අතර යන සංවාදයකදි තේරුම් ගන්න පුළුවන්.

    ෆ්‍රොයිඩ්ගෙ වැදගත්ම මැදිහත්වීම සිද්ද වුනේ හිස්ටීරියාව කියන එක කායික රෝගයක් නෙමෙයි මානසික රෝගයක් හැටියෙන් තේරුම් කිරීමෙන්. ඒ වගේම හිස්ටීරියාව කියන්නෙ කාන්තාවන්ට පමණක් හැදෙන රෝගයක් නෙමෙයි, කුඩා කාලයේ ලිංගික අතවරයකට, ට්‍රෝමැටික අත්දැකීමකට, බරපතල ලිංගික යටපත් කිරීමකට, දඬුවමකට පාත්‍ර වුනු කෙනෙකුගේ ඒ යටපත් අත්දැකීම නිසා පසු කාලයක ශාරීරිකව ප්‍රකාශමාන වන ව්‍යාධිමය තත්වයන් හැටියෙන් ෆ්‍රොයිඩ් විස්තර කළා. ඒ කියන්නෙ හිස්ටීරියාව යනු පුද්ගලික රෝගයක් නෙමෙයි ඒක සමාජයෙන් ඇති කරන රෝගයක් කියන තැන ලකුණු කරන්නෙ ෆ්‍රොයිඩ්. ඒ යටපත් බියජනක අත්දැකීම සිහිකැඳවීම හරහා ඒ රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා.

    එතකොට හිස්ටීරියාව කියන්නෙ සමාජය ඇතුලෙ පවතින ලිංගික යටපත් කිරීම සහ බලහත්කාරය සම්බන්ධ රෝගයක්. හිස්ටීරියාව සැබවින්ම ප්‍රකාශමාන වෙන තැනකදි වුනත් ඒකෙන් ඒ පුද්ගලයා ලේබල් කිරීම, එය ඔහුගේ හෝ ඇයගේ අශ්ශීල ආශාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට දැක්වීම කියන්නෙ අශිෂ්ටකමක්. අශ්ශීල කියන වචනෙ හරියට ගැලපෙන්නෙ එතනට.

    කෙනෙක් තමන්ගේ දේශපාලනය ඇතුලෙ ගැහැණුන්ට පුද්ගලිකව මානසික රෝගීන් හැටියට අපහාස කරනවා කියන්නෙ ඒ මනුස්සයාගේ දේශපාලනයෙ රෙදි ගැලවෙන තැනක්.

  • ශෘංගාර මනසේ කැරලිකරුවාට සුබ උපන්දිනයක්! ‘සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්’

    ශෘංගාර මනසේ කැරලිකරුවාට සුබ උපන්දිනයක්! ‘සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්’

    අද ඒ කියන්නෙ මැයි 06 වෙනිදා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙ උපන්දිනේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නෙ ලිංගිකත්වය පිළිබඳ අදහස් කැරැල්ලෙ පුරෝගාමියෙක්. ෆ්‍රොයිඩ්ව ඒ නිසාම ඒ කාලෙ වික්ටෝරියානු සමාජයෙන් අවමානයට ලක්වුනා. මව සහ පුතා අතර ලිංගික බැඳීමක් තියෙනවා කියල ෆ්‍රොයිඩ් ගෙනාපු කතාවෙන් වියනාව හෙල්ලුනා. ෆ්‍රොයිඩ් විපරීතයෙක් විදිහට සළකුනු වුනා.

    ෆ්‍රොයිඩ්ගේ ප්‍රශ්නය වුනේ කවුරු හරි විපරීත නැත්තං පර්වර්ට් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි. ඒ වෙනුවට කවුරු හරි සාමාන්‍ය වෙන්නෙ කොහොමද කියන එක.

    මොකද මානව ලිංගිකත්වය කියන්නෙම මූලිකවම විපරීත වුනු සංසිද්ධියක්. ඒක බාධාවීමේ ප්‍රකාශනයක්.

    ෆ්‍රොයිඩ්ට අනුව සෙක්ස් කියන්නෙ ලිංගේන්ද්‍රියන් දෙකක් විනිවිදීම නෙමෙයි. එයා ලිංගිකත්වය කියල කතා කලේ ඊට වඩා විශාල කලාපයක්. කෙනෙකුගේ ලිබිඩෝ උද්දීපනයක් ඇති කරන, ශෘංගාර හැඟීම් මතුකරන ඕනම ක්‍රියාවක් ෆ්‍රොයිඩ් සෙක්ෂුවල් විදිහට හැඳින්නුවා. අයිස්ක්‍රීමක් කන තැන ඉඳන්, ෆුට් මසාජ් එකක්, දත්මැදීමක් පවා සෙක්ස් ඇක්ට් එකක් වෙන්න පුළුවන්.

    පරිණාමවාදී දෘෂ්ටියකින් මානව ලිංගිකත්වය කියවන්න උත්සාහ කිරීම නොමග යනසුලු වෑයමක්. මානව ලිංගිකත්වය කියන්නෙ අතිශය සංකීර්ණ කලාපයක්. දරුවන් බිහිකිරීමට වඩා බොහෝ දේ අපිට සෙක්ස් ඇතුලෙ කරන්න තියෙනවා. කරමින් ඉන්නවා. දරුවන් බිහිකිරීම කියන එක ඒකෙ අනවශ්‍යම දේ වෙන්න පුළුවන්. අපේ මුළු ශරීරයෙන්ම අපිට තෘප්තිය ලබන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ මානවයාගේ එක තැනකට හෝ කලාපයකට සීමාවුනු දෙයක් නෙමෙයි.

    අතදරුවා කාලෙ ඉඳන් සෙක්ස් තියෙනවා කියල ෆ්‍රොයිඩ් කිව්වා. ඒක එයා මුඛ ලිංගික අවධිය කියල හැඳින්නුවා. ඊට පස්සෙ ගුද අවධිය හෙවත් ඒනල් ස්ටේජ් එක එනවා. කටේ ඇඟිලි ගහගෙන ඉඳීමේ ඉඳන් මළපහ කිරීමේ පුහුණුව දක්වා දරුවෙක් ලබන ලිංගික තෘප්තිය ෆ්‍රොයිඩ් විස්තර කළා. මිනිස්සු කුලප්පු වුනා.

    ළමයෙක් බලාගන්නවා කියන්නෙම ලිංගික අත්දැකීම් ගොඩක්. ඇසීමෙන්, දැකීමෙන්, ස්පර්ශයෙන් විශාල ලිංගික පරාසයක් දරුවෙක් මේ ක්‍රියාවලියෙදි අත්විඳිනවා. මේක අපි වැඩිහිටි ලිංගිකත්වය කියල දකින දේට වඩා වෙනස්. ඊට වඩා විස්තෘතයි. වැඩිහිටි අවධියේදි අපේ ලිංගිකත්වය නිර්මාණය වෙන්නෙ මේ සංවේදනා සහ අත්දැකීම උඩයි. වයසින් වැඩෙද්දි මේ පැතිරුනු ලිංගික අවකාශය අපේ ලිංගේන්ද්‍රියන් වටා කේන්ද්‍ර වෙන්න පටන් ගන්නවා.

    ඇත්තටම ළමා අවධියේ ලිංගිකත්වය වැඩිහිටි අවධිය කරා ගෙනාවොත් ඒක සම්මත සමාජය දකින්නෙ පර්වර්ෂන් එකක් විදිහට. විපරීතයක් විදිහට. උදා විදිහට වොයරිසම් කියන එක වැඩිහිටි සමාජයේ පර්වර්ට් දෙයක්. ඒත් ළමා කාලෙදි මේ විදිහට බලාසිටීම ඉතාම සාමාන්‍ය ලිංගික උත්තේජනයක්.

    වැඩිහිටි ලිංගිකත්වය කියන්නෙ සමාජානුයෝජනය හරහා අපේ ලිංගික කලාපයන් සීමාකළ, වාරණ පැනවුනු සංවේදන කලාපයක්.

    විපරීතය කියන්නෙ කවුරුවත් විසින් ලබාගන්නා දෙයක් නෙමෙයි. ඒක උපතින්ම එන දෙයක්. ලොකු වෙද්දි සිද්ද වෙන්නෙ ලැජ්ජාව සහ වරදකාරීත්වය විසින් ඒ පර්වර්ෂන් එක යටපත් කිරීම. සෙක්ස්වලට සමාජය පිලිගන්නා පොදු හැඩයක් ලබාදීම.

    ෆ්‍රොයිඩ් හරිම තීරණාත්මක තැනක් ප්‍රශ්න කළා. සාමාන්‍ය කියන්නෙ මොකක්ද, අසාමාන්‍ය කියන්නෙ මොකක්ද? ඒ කියන්නෙ නෝමල් සහ ඇබ්නෝමල් අතර බෙදීම.

    ‘විද්‍යාත්මකව මානසික කලාපයේ සාමාන්‍ය දේ මේකයි කියල කියන්න බෑ’ – ෆ්‍රොයිඩ්

    ෆ්‍රොයිඩ් නිසා අපිට අපෙන් බාහිර ඇබ්නෝමල් කියල වෙනම කැටගරියකට මිනිස්සු දාලා නිදහස් වෙන්න බැරි වෙනවා. එයා රෝගීන් එක්ක කාලයක් තිස්සෙ කරපු පර්යේෂනවලින් හොයාගන්නවා ඒ රෝග ලක්ෂණ අපි හැමෝටම පොදුයි කියල. ඒ කියන්නෙ ඒවා සාමාන්‍ය තත්වයන් කියල.
    නෝමල් කියන එක හැදෙන්නෙ ලිංගිකත්වය බෙදිලා, කැඩිලා, සංස්කරණය වෙලා, යටපත් වෙලා. කවදාවත් සම්පූර්ණයෙන් අත්පත් කරගන්න බැරි දෙයක් විදිහට.

    අපිව පොඩි කාලෙදි බලාගන්න අය අතිනුයි අපේ ලිංගිකත්වය නිර්මාණය වෙන්නෙ. ෆ්‍රොයිඩ් මේක අවධීන් තුනක් විදිහට බෙදාදක්වනවා. කලින් කියපු ඕරල් නැත්තං මුඛ අවධිය, ඊළඟට ඒනල් නැත්තං ගුද අවධිය, තුන්වෙනුව ෆැලික් නැත්තං ලිංගේන්ද්‍රි අවධිය විදිහට. ඕරල් ඒනල් අවධි පහුකරලා ඊළඟට අපි එනවා අපේ ලිංගේන්ද්‍රියන් ස්පර්ශ කරමින් තෘප්තිමත් වෙන අවුරුදු 03 සිට 06 දක්වා විතර කාලෙට. අපේ ශරීරය ගැනත්, අපේ ලිංගේන්ද්‍රියන්ගෙ වෙනස ගැනත් උනන්දු වෙන වයස. මේ කාලෙ කොල්ලො ඇඟිල්ලෙන් ජුංඩා කරකව කරකව වටේ දුවනවා.

    ළමයි හදපු අය, අම්මලා මේ ලිංගිකත්ව අවධීන් ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඒත් අපි වැඩිමහල් වෙද්දි මේ සියල්ල අමතක කරනවා. ඒවා ගැන කතා කිරීම පවා ලැජ්ජාව දනවන දෙයක් වෙනවා. මේ විදිහට අපි අපේ සවිඥානයෙන් අපේ ළමාකාලෙ ලිංගික අත්දැකීම් එලියට දැම්මට ඒවා වෙනත් වේශයන්ගෙන් නැවත මතුවෙනවා.

    මානව රෝගය නැත්තං හියුමන් සිම්ප්ටම් එක කියන්නෙම ලිංගිකත්වය එක්ක ගැටගැහුනු දෙයක් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා. හිස්ටීරියාව, නියුරෝසියාව විදිහට අපිට මුනගැහෙන්නෙ බාධාවුනු, නැත්තං බලහත්කාරයට, අපචාරයට ලක්වුනු ළමාවියේ ලිංගික අත්දැකීම් කියල එයා කිව්වා.

    ෆ්‍රොයිඩ් මනොවිශ්ලේෂණයෙන් කලේ මේ දේවල් නිරාවරණය කරන එක. ඒ ගැන හැංගුනු භීතිකාවන් දුරු කරන එක. ඒ යටපත් කළ ලිංගිකත්වය සම්බන්ධ කාරණා නැවත සවිඥානයට ගෙන ඒමෙන් ඒ රෝගය අවසන් වෙනවා.

    සෙක්ස් කියන්නෙ හැංගිලා කතා කරන්න ඕන දෙයක් කියන සමහරෙකුගේ උදහස ෆ්‍රොයිඩ්ට අනුව කියෙව්වොත් ඒ අය ගැන මොන වගේ දෙයක් එලිවෙයිද?