කාල් යුංග් කියන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට පස්සෙ මනෝ විශ්ලේෂණය වෙනස්ම මානයකට අරන් ගිය දැවැන්ත චරිතයක්. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයේ ගැලවීමක් නැති ලිංගික අර්බුදය වෙනුවට යුංග් ආත්මය, සාමූහිකත්වය, අවිඥානය සමග බැඳුනු මිනිස් පැවැත්මේ පරිපූර්ණතාවයක් ගැන ගවේෂණය කළා. තමන්ගේ හෙවනැල්ල හෙවත් අඳුර බාරගැනීමේ විවෘතභාවයක් ගැන උනන්දු වුනා. මේ ආධ්‍යාත්මික නැඹුරුවට ෆ්‍රොයිඩ් විරුද්ධ වුනා. ඒත් යුංග් මනෝ විශ්ලේෂණය, ආධ්‍යාත්මික දර්ශනවාදයන් සහ මිත්‍යා විශ්වාසයන්ගේ කලාප ඇතුලට අරගෙන ගියා. යුංග් ඇත්තටම මනෝවිශ්ලේෂකයෙක් විදිහට තමන්ව හඳුන්වාදීම පවා ප්‍රතික්‍ෂේප කළා. පැරා සයිකොලොජි සහ සයිකික් හැකියාවන් ගැන අධ්‍යනය තමන්ගේ විෂය ඇතුලට ගත්තා. යුංග් විසින් ඉදිරිපත් කරන අවිඥානයේ සිතියමත් ෆ්‍රොයිඩ්ට වඩා වෙනස් එකක්. එයා සාමූහික අවිඥානය කියන කලාපය හඳුන්වාදෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ඇදහිලි විශ්වාසයන් ඇතුලෙ ගොඩනැගෙන පුද්ගල අවිඥානයේ සාමූහික කලාපයක් විශ්වාස කරනවා. ෆ්‍රොයිඩ් තමන්ගේ කියවීම ඇතුලෙ ලිබිඩො කියන එක ලිංගික ශක්තියටම ඌනනය කළත් යුංග් ඒක සැලකුවේ ජීවිතයේ ගාමක බලය විදිහට. ඒක ඒ අවස්ථාව සහ අවශ්‍යතාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ආහාර, ලිංගිකත්වය, මරණය ආදී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඇත්තටම යුංග් විද්‍යාව තමන්ගේ සීමාව කරගත්තෙ නෑ. ඒ වෙනුවට එයා ගොඩක් සමීප වුනේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත ෂාමන් කෙනෙකුට.

කාල් යුංග් ලිංගකත්වය ගැන ඉතාම ගැඹුරු කතිකාවක් අරගෙන ආවා. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයෙන් බොහෝ දේ උපුටාගත්තත් සමාජ දේශපාලන කතිකාවලදි කාල් යුංග් මගහැරුනෙ මේ ආධ්‍යාත්මික ගැඹුර ගැන දැනීම ඒ මතවාදී පිරිස්වලට නොතිබීම නිසාමයි.

කාල් යුංග් ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන්නෙ මිනිසා මෙහෙයවන දිව්‍යමය ශක්තීන් දෙකක් බඳුව විස්තර කළා. මිනිසාට පුළුවන් ආධ්‍යාත්මිකත්වයෙන් සහ ලිංගිකත්වයෙන් යන දෙකෙන්ම තමන්ව වෙන් කරගන්න. ඔහුට පුළුවන් ආධ්‍යාත්මිකත්වය මවක් ලෙස සළකා ඇයව අහසේ රඳවන්න.
ලිංගිකත්වය ෆැලොස් යනුවෙන් හඳුන්වා එය පියා හැටියෙන් පොළොවේ තබාගන්න. මේ මව සහ පියා දෙකම අධිමානුෂික දේවත්වයන්. ඒවා තුලින් මිනිසාට දෙවියන්ගේ ලෝකය අනාවරණය වෙනවා. මේ ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන දෙන්නා අපිට අනෙක් දෙවිවරුන්ට වඩා බලපානවා. මොකද ඒ අය අපේ සාරයට ළඟින්ම බැඳී ඇති නිසා.

දෙවිවරුන්ගේ ලෝකය ප්‍රකාශමාන වෙන්නෙ ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන දෙක හරහායි. අහසේ ඉන්න දෙවියන් ආධ්‍යාත්මික වෙන අතර පොලොවෙ ඉන්න දෙවියන් ලිංගික වෙනවා.
ඒ වගේම පිරිමියාගේ ලිංගිකත්වය වඩා පොළොවට බැඳුනු එකක් කියල යුංග් කියනවා. ඒ කියන්නෙ වඩා භෞතිකයට සමීපයි කියන එක. නමුත් ගැහැණියගේ ලිංගිකත්වය ආධ්‍යාත්මික එකක් වෙනවා.

ආධ්‍යාත්මිකත්වයේ ගුණය වෙන්නෙ වැළඳගැනීම, පිළිසිඳගැනීම. හරියට ගැහැණියක් වගේ. ඒ හින්ද අපි කියනවා දිව්‍යමය මාතාව කියල. ලිංගිකත්වය කියන්නෙ නිර්මාණය කිරීම, ඇති කිරීම. ඒක පිරිමියි. ඒකට කියනවා ෆැලොස් කියල. පොලොවේ පියාණන්. පිරිමියෙකුගේ ලිංගිකත්වය ගොඩක් පොළොවට බද්ධයි. ගැහැණියකගේ ඒක ආධ්‍යාත්මිකයි. අනිත් පැත්තෙන් පිරිමියෙකුගේ ආධ්‍යාත්මිකත්වය දිව්‍යමයයි. ඒක තව වඩා ගැඹුරට ගමන් කරන්න පුළුවන් එකක්.

තමන්ගේ ලිංගිකත්වයන්ගේ වෙනස තේරුම් නොගැනීම නිසා පිරිමි සහ ගැහැණු උනුන්ගේ යක්ෂයන් බවට පත්වෙලා තියෙනවා කියල යුංග් පැහැදිලි කරනවා.

“ආධ්‍යාත්මිකත්වය සහ ලිංගිකත්වය කියන්නෙ ඔබේ ගුණාංගයන් නෙමෙයි. ඒවා ඔබ සතුව පවතින හෝ ඔබ විසින් අත්පත් කරගන්නා දේ නෙමෙයි. ඒවා විසින් ඔබව අත්පත් කරගැනීමයි සිද්ද වෙන්නෙ. ඒවා ඉතාම බලගතු දිව්‍යමය ශක්තීන්. දෙවියන්ගේ ප්‍රකාශමාන වීම්. ඒ නිසා ඒවා පවතින්නෙ ඔබට එපිටින්. ඒවා පවතින්නෙ ඒවා තුලමයි” – කාල් යුංග්

කිසිම මිනිහෙක් තමන් විසින් ආධ්‍යාත්මික වන්නේ හෝ තමන් විසින් ලිංගික වන්නේ හෝ නෑ. ඔහු ලිංගිකත්වයේ සහ ආධ්‍යාත්මිකත්වයේ නීතියට යටත් වෙනවා පමණයි. කිසි කෙනෙකුට මේ දිව්‍යමය ශක්තීන්ගෙන් ගැලවී ඉන්න බෑ.

ලිංගිකත්වයේ දිව්‍යමය ශක්තිය සර්පයෙක් වගේ අප කරා එනවා. ඇය අර්ධ මානුෂිකයි. ලිංගිකත්වයට අපි කියනවා සිතුවිල්ල ගැන ආශාව කියල. ආධ්‍යාත්මිකත්වයේ දිව්‍යමය ශක්තිය අපි කරා එන්නෙ ශ්වේත පක්ෂියෙක් වගේ. ඔහුත් අර්ධ මනුස්ස ස්වරූපයක් ගන්නවා. ඒකට අපි කියනවා ආශාව ගැන සිතුවිල්ල කියල.

මිනිස් වර්ගයා සමස්තයක් හැටියෙන් පුරුෂමයයි සහ ස්ත්‍රීමයයි. ඒ කියන්නෙ ගැහැනු හෝ පිරිමි කියන එක නෙමෙයි. මැස්කියුලීන් සහ ෆෙමිනින් කියන්නෙ මේල්-ෆීමේල් කියනවට වඩා ලොකු පරාසයක්. කෙනෙක් ඇත්තටම දන්නෙ නෑ තමන්ගේ ආත්මය ගැහැණුද පිරිමිද කියන එක.

අපිට සැබවින් ජීවත් වෙන්න නම් ලිංගිකත්වය බාරගන්න වෙනවා කියල යුංග් කියනවා. සාන්තුවරභාවයක් මවා පාමින් ඒක ප්‍රතික්‍ෂේප කිරීම නතර කරන්න වෙනවා.

ෆ්‍රොයිඩියානු විදිහට සිහින ලිංගිකමය ආකාරයෙන් පමණක් වූ කියවීම මානසිකත්වය ප්‍රචණ්ඩ ආකාරයෙන් සීමා කිරීමක් විදිහට කාල් යුංග් දැක්කා. පොඩිකාලෙ ලිංගික ෆැන්ටසි කියන එක විතරක් නෙමෙයි සිහිනයක සම්පූර්ණ කතාව. ඒ සිහිනවල නිර්මාණශීලී කොටසක් අඩංගු වෙනවා. අපිව අපි පෙළෙමින් සිටින නියුරෝසියාවෙන් එලියට අරන් යාමේ අරමුණ තියෙන්නෙ එතනයි.

පවතින ක්‍රමයට හැඩගැසීම වෙනුවෙන් ලොකු අරගලයක් කරපු තරුණයන්ගෙ අභ්‍යන්තර ලිංගික ප්‍රශ්න අඩු බවක් යුංග් දැක්කා. ඒත් කිසිම අවුලක් නැතුව පවතින ආකාරයට හැඩගැසුනු අයට ලිංගිකත්වය සහ හීනමානය පිළිබඳ ප්‍රශ්න වැඩි වැඩියෙන් ඇතිවුනා.

ජීවිතේ හැම ලොකු ප්‍රශ්නයක්ම වගේ (ලිංගිකත්වය කියන්නෙත් එහෙම එකක්) අපේ සාමූහික අවිඥානයේ ප්‍රාථමික රූපරටා එක්ක සම්බන්දයි. මේ රූපවලින් අපේ ජීවිතේ ඇත්ත ප්‍රශ්න තුලනය කිරීම හෝ අස්වැසීම සිද්ද කරනවා. මේක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. මේ රූප නිර්මාණය වෙන්නෙ අවුරුදු දහස් ගානක් තිස්සෙ මිනිස්සු තමන්ගෙ පැවැත්ම ඇතුලෙ කළ අරගලයන්ගේ අත්දැකීම් වලිනුයි. ඒවා අපේ නූතන මනසෙ අරගලත් එක්ක සම්බන්දයි. මේ කියන්නෙ අපේ දේව ඇදහිලි, බලි තොවිල් ආදිය අපේ අභ්‍යන්තර ලිංගික මානසික කාරණා එක්ක කරන සන්නිවේදනය ගැනයි.

ලිංගික නිදහස පිළිබඳ සදාචාරාත්මක කාරණය කියන්නෙ මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් දැවැන්තම දෙයක් වෙන අතර සියලු විශිෂ්ට මනස් ඒ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය යෙදවිය යුතුයි කියල කාල් යුංග් යෝජනා කරනවා.

“ඇමරිකාවෙ තරුණ අරගලකරුවන් දිහා බලන්න. මේ අරගලකරුවන් නියෝජනය කරන්නෙ නො-මිනිස්, කෘතිම ඇමරිකානු ජීවිතයට එරෙහි සැබෑ විවෘත ස්වභාවික මිනිසායි. ඇමරිකානුවො ජීවිතයේ ස්වභාවික විදිහෙන් තනිකරම වෙන්වෙලයි ඉන්නෙ. ඔවුන්ගේ විශාල මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට හේතුවත් ඒකයි”– කාල් යුංග්
යුංග්ට අනුව අපේ මනස ගැහැණු සහ පිරිමි දෙකෙන්ම සමන්විතයි කියන එක මූලිකවම තේරුම් ගත යුතු කාරණයක්.

“අපි දන්නවා කළලය හැදෙන්නෙ පිරිමි ගැහැණු ජාන දෙකම එකතු වෙලා කියල. එතනදි අපේ ලිංගිකත්වය තීරණය වෙන්නෙ බහුතර ජාන වලින්. එතකොට සුළුතර ජානවලට මොකද වුනේ?”

අපේ ලිංගික සදාචාරය පිළිබඳ ප්‍රශ්නයෙදි යුංග් ඒක මධ්‍යතන යුගයෙ තිබුනු මූල්‍ය පිළිබඳ සදාචාර තත්වය එක්ක ගලපනවා. මධ්‍යතන කාලෙදි මූල්‍ය ගනුදෙනු සැලකුනෙ සදාචාර විරෝධී වරදක් විදිහට. මොකද එහෙම වෙන්ව, අවස්ථා අනුව විශේෂිතව නිර්මාණය වුනු මූල්‍ය පිළිබඳ සදාචාරයක් ඒ කාලෙ අපිට තිබුනෙ නෑ. පැවතුනෙ නිකං සමූහ සදාචාරයක් විතරයි. අද ලිංගිකත්වය ගැන තියෙන්නෙත් ඒ වගේම සමූහ සදාචාරයක් විතරයි. ජීවිතයට සමීපව, විශේෂිතව ගොඩනැගුනු ලිංගික සදාචාරයක් අපිට තාම නෑ.
ආදරය සහ ලිංගිකය වගේම හැම ආශාවක් කියන්නෙම ජීවිතය තේරුම් ගැනීමට විවෘත වෙන අවස්ථාවක් කියල කාල් යුංග් කියනවා.

“ගැහැණු විශ්වාස කරනවා පිරිමින් විසින් එයාලව තමන්ගේ අරමුණුවලින් දුරස් කරනවා කියල. පිරිමි හිතනවා ගැහැණු විසින් තමන්ව තමන්ගේ කාර්යයන්ගේ ඈත් කරනවා කියල. ඒත් ඇත්තටම මෙතන තියෙන්නෙ අනෙක් ලිංගිකයා ගැන සහ තමන්ගේ අවිඥානය ගැන තමන් තුල පවතින බයයි” – යුංග්

කිසිම පිරිමියෙකුට ගැහැණියක් නැතුව ජීවත් වෙන්න බෑ. එයාගෙ ජීවිතේ සමතුලිත වෙන්න මේ අනෙක් අර්ධය උවමනායි. කිසිම ගැහැණියකට පිරිමියෙක් නැතුවත් බෑ. මේ අර්ධයන් දෙකටම තමන්ගේ ප්‍රතිවිරුද්ධ අර්ධයන් උවමනා වෙනවා කියල යුංග් කියනවා.

ලිංගිකත්වය සහ ආධ්‍යාත්මිකත්වය කියන්නෙ ප්‍රතිපක්ෂ දෙකක්. ඒ එකකට අනෙක නැතිව පවතින්න බෑ. ගැහැණු ගැඹුරු තලයේදී පිරිමින්ට වඩා බෙහෙවින් ශක්තිමත්. ගැහැණු දුර්වලයි කියන එක මෝඩ කතාවක් කාල් යුංග් කියන විදිහට.

“අපේ ශිෂ්ටාචාරය විසින් ලිංගිකත්වය එක පැත්තකින් වනචාරී කියල අයින් කරන අතරෙ අනිත් පැත්තෙන් ආදරය කියල උත්කර්ෂයට නංවනවා”

පිරිමි බොහෝ විට ලිංගිකත්වය එක්ක බැඳිලයි ඉන්නෙ. මොකද ඒ ගොල්ලොන්ට ඒක හොඳටම දැනෙනවා. ඒ ගොල්ලොන්ට නැත්තෙ ශෘංගාරයයි.

අද අපිට සෙක්ස් ගැන කතාකරද්දි ඒක ආදරයෙන් වෙන් කරලා කතා කරන තත්වයක් නිර්මාණය වී තිබීමම අවාසනාවක්. මේ දෙක වෙන් කරන්න බෑ කියන එකයි යුංගියානු අදහස. ලිංගික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සුවපත් කළ හැක්කේ ආදරයෙන් විතරයි.

ඩයොනීසියානු උමතුව කියන්නෙ ඇත්තටම ලිංගිකත්වයෙන් ආපු ප්‍රතිවිරෝධයේ රැල්ලක් වගේ. ඉතිහාසය පුරා ලිංගිකත්වයේ වැදගත්කම නොතකා හැරීමට සහ ක්‍රිස්තියානිය තුලට ඇතැම් දේ රිංගවාගැනීම හරහා ඒවායේ සාරයන් කැපකිරීමට එරෙහිව ලිංගිකත්වය විසින් ගහපු කැරැල්ලක් විදිහටයි ඩයොනීසියානු ලිංගික උත්කර්ෂය කාල් යුංග් විස්තර කරන්නෙ.

“ආදරය සහ එහි අර්බුද ගැන කතා කිරීම ජීවිතයේ වැදගත්ම දේ වන අතර ඒ ගැන ගැඹුරින් විමසීම අදාල පුද්ගලයාට වඩා විශාල පරිමාණයක වැදගත්කමක් ගන්නවා” – කාල් යුංග්

කෙනෙක් ජීවත් වන සමාජයේ ආත්මය හසුකරගැනීම දුෂ්කරයි. කලාවේ ප්‍රවනතාවය, පොදු ජන රසය, මිනිස්සු කියවන ලියන දේවල්, ඒ අය ඇති කරගන්නා සමාජ, දවසේ මූන දෙනවා යැයි කියන ප්‍රශ්න, මේ කැටලොග් එකේ ලිංගික ප්‍රශ්න තියෙන්නෙ අන්තිමට වෙන්න පුළුවන්. ලිංගික ප්‍රශ්න ගැන කතා කරන්නෙ පවතින සදාචාරයට අභියෝග කරන, එහි වරදකාරී බවෙන් ගැලවෙන්න හදන පිරිමි ගැහැණු ටික දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේවා පැත්තකට දැමිය හැකි හෝ නොතකා හළ හැකි ප්‍රශ්න නෙමෙයි. මේ අලුත් ලිංගික ප්‍රවණතාවයන්ගේ හේතු හොයාගෙන යන එක ප්‍රයෝජනවත් වෙනවා වෘත්තීමය සදචාරකාරයන්ගේ සංස්කෘතිය පිරිහෙනවා කියන බයිලා අහන් ඉන්නවට වඩා.

යුංග් කියන විදිහට,
“අපේ ශිෂ්ටාචාරය දිගටම ලිංගිකත්වයේ වැදගත්කම අවතක්සේරු කළා. ඒක යටපත් කළා. ඒක නිසා ලිංගිකත්වය ඒකට අදාල නැති හැම තැනටම ආවා. හැම තැනම අනපේක්ෂිත විදිහට අපිට ලිංගිකත්වය මුනගැහෙන්න ගත්තා. ඒ හින්දම මිනිස් මනස ඉතාම සමීපව තේරුම් ගැනීම කියන ලස්සන දේ වෙනුවට ලිංගිකත්වයෙන් වෙනම විපරීත තේරුම් මවා දුන්නා. ඍජු ලිංගිකත්වය කියන්නෙ සරල දෙයක්. ඒක අප්‍රසන්න දෙයක් නෙමෙයි. යටපත් කිරීම විසිනුයි සෙක්ස් කියන දේ කුහක කැත එකක් බවට පත් කළේ.

අපිට සැබෑ ලිංගික සදාචාරයක් නෑ. තියෙන්නෙ නීතිමය එළඹුමක් විතරයි. අපි හැම ලිංගික චර්යාවක්ම නීතියෙන් පාගගෙන ඉන්න උත්සාහ කරනවා. මේ වෙනස් මානසිකත්වයන් සහ නිදහස් ලිංගික ක්‍රියාවන් ගැන අපිට නිසි සදාචාරමය දැනීමක් සංවර්ධනය කරගන්න තාම බැරි වෙලා තියෙනවා”