ඉතිහාසය ගමන් කරන්නෙ චක්‍රාකාරවයි. දේශපාලන නිවැරදිභාවයේ වසංගතය සහ කතා කිරීමේ නිදහසට එරෙහිව ආ බලවේග 1980 ගණන්වල ඉස්මතු වූ අතර 90 ගණන්වලදී ඒවා පරාජය කරදමන්නට හැකිවිය. දැන් ඒවා තවත් වෛරී ස්වරූපයෙන් මතුවෙමින් ඇත. ඇමරිකාවේ විශ්ව විද්‍යාල වගේම ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය පවා ‘යහපත් අරමුණු’ වෙනුවෙන් යැයි පෙනී සිටින සිතීමේ නිදහස හසුරුවන පොලිසියක් යටතට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ 1478 ඇතිවූ කතෝලික අධිකාරය බඳුවම මේ අයද අධානග්‍රාහීය. අපි මේ මුහුණ දෙමින් ඉන්නේ අනෙකා දරා ගැනීමේ හැකියාව අහිමිබව ‘අනෙකා දරාගැනීම’ හැටියෙන් ප්‍රකට කරන සමූහයේ අධිකාරිය වෙනුවෙන් පුද්ගල නිදහස පාගාදමන ආචාර ධර්මීය වියවුලකටයි
මගේ අලුත් පොතේ ‘නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින්’ හි මූලිකම කාරණා වුනේ විවෘත, ජංගම එමෙන්ම ලිබරල් හෝ කන්සවේටිව් මතවාදයන්ගෙන් හිරනොවුනු, නිදහසේ සිතීම සහ නිදහසේ කතා කිරීමයි. ලිබරල් සහ කන්සවේටිව් අතර ගැටුම ප්‍රංශ විප්ලවයෙන් ඇතිවූ වම සහ දකුණ අතර ගැටුම තරම්ම පරණ එකකි. මේ දෙබෙදුම් වලින් අපිට අද පවතින ගෝලීය දේශපාලනය සහ තාක්ෂණික යුගය කියවා ගත නොහැකිය. ලිබරල් සහ කන්සවේටිව් අතර ධ්‍රැවීකරණය ඉතාම දැඩිවී ඇති අතර දැන් එය යතාර්ථය ගැන දැනීමක් නැති මානසික රෝගයක තත්වයට පැමිණ ඇත.
මගේ ස්ත්‍රීවාදය පදනම් වෙන්නෙ 1950 ගණංවල මගේ ළමාකාලයේ අත්විඳින හුස්ම හිරකරන තරමේ අනුකූලතාවයට එරෙහි අරගලයක් හැටියටයි. ඇමරිකාව දශක දෙකක ආර්ථික අස්ථාවරත්වයකින් සහ යුද්ධයකින් හෙම්බත්ව සිටි අතර තරුණ කෙල්ලන්ව ‘ගැහැණුකම’ කියන කොටුවක් ඇතුලෙ හිරකරන වික්ටෝරියානු කල්ට් එකක් ගෙවල් ඇතුලෙ ඇතිවෙමින් තිබුනා.
1991 දි ඩේට් රේප් ගැන මගේ ලිපිය නිව්යෝර්ක් නිව්ස්ඩේ හි පළවුනා. අද වෙනකල් මගේ අතින් ලියවුනු ආන්දෝලනාත්මකම ලිපිය එයයි. ඒක තවත් පත්තරවල පලවෙමින් ලොකු කලබැගෑනියක් ඇතිකළා. මිඩ්වෙස්ට්වල ස්ත්‍රීවාදී කණ්ඩායම් මාව විශ්ව විද්‍යාලයෙන් පලවා හරින්නැයි ඉල්ලමින් මගේ විශ්ව විද්‍යාලයේ සභාපතිවරයාට බලපෑම් එල්ල කළා. මගේ දේශනශාලාවල පිටත ශිෂ්‍යයන් පිකට් කරන්න ගත් අතර ඔස්ට්‍රියානු සහ බ්‍රිතාන්‍ය රූපවාහිනී සාකච්ඡාවලින් සහ ලන්ඩන් ක්වීන් එලිසබත් වේදිකාවෙන් මට මගේ කැමැත්තෙන් ඉවත්ව යන්න සිද්දවුනේ ගැටුම් ඇතිකරගන්න ඇති අකමැත්ත නිසයි.
මං අදටත් එදා ඩේට් රේප් ගැන පෙනී හිටපු තැනම ඉන්නවා. කාන්තාවන්ව ළමයි වගේ සලකන, සිදුවීම්වල වගකීම පිරිමි පිට පවරන, පසුව කණස්සලු තනන, අම්මලා තාත්තලා වගේ වෙන්න හදන අය ස්ත්‍රීවාදීන් විදිහට සලකන්න බෑ. බේබි බූමර්ස්ලා වුනු මගේ පරම්පරාව සටන් කලේම මේ දෙමව්පිය ආරක්ෂාව බඳු සංකල්පයට විරුද්ධවයි. අද තරුණ කාන්තාවො මේ අම්මලා තාත්තලා වගේ ආරක්ෂකයො හොයමින් ඒ කාලයට නැවත යන්න දරන උත්සාහය ශෝචනීයයි. මගේ යෝජනාව මේ අධිකාරිවාදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කතාබහ හෝ වෙනත් ආකාරයන් සිදුවන පුද්ගලික සම්බන්ධතා, සමාජ ජීවිතය ගැන විමසිලිමත් වෙන එක නතර කළ යුතුයි. අපරාධයක් සිදුවුනොත් එය පොලිසියට දැන්විය යුතුයි. එහෙම නැත්නම් විශ්ව විද්‍යාල පරිපාලනය පංතියේ අධ්‍යාපනය ලබාදීමේ පහසුකම් ගැන පමණක් තමන්ගේ උනන්දුව පවත්වාගත යුතුයි.
සටන්කාමී ඉතාලි- ඇමරිකානු මාරියෝ සැවියො විසින් නායකත්වය දුන් ෆ්‍රී ස්පීච් මූව්මන්ට්, කතා කිරීමේ නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරය පටන් ගත්තෙ මම කොලේජ් එකට ආපු 1964 අවුරුද්දෙ. ඒක මගේ පරම්පරාවේ උච්චතම තැනක්. සියලු පවත්නා තත්වයන් අභියෝග කළ මේ ෆ්‍රී ස්පීච් මූව්මන්ට් එක තමයි 1960 නිදහස සීමා කරන ප්‍රභූ අධිකාරියට එරෙහි සැබෑ ජනතා විප්ලවයට මගපෑදුවෙ. අද මේ තියෙන වම කොහොමද මේ කතා කිරීමේ කොන්දේසිවලට, අපුලසහගත නිරන්තර පරීක්ෂාවට, ශිෂ්‍ය ජීවිතය පාලනය කිරීමට සහයෝගය දෙන්නෙ? ඇමරිකානු විශ්ව විද්‍යාල ඒ අයගේ අධ්‍යාපනය කියන අරමුණින් බැහැර වෙලා නිලධාරි තන්ත්‍රයකින් හසුරුවන රජයේ කොලනි බවට පත්වෙලා. මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බුද්ධිමත් ස්ත්‍රීවාදයක් ගොඩනැගිය හැක්කේ තමන්ගේ ක්‍රියාවල ස්වයං වගකීම බාරගැනීමට තරම් ධෛර්යයක් ඇති ශක්තිමත් පිරිමින්ගෙන් සහ ගැහැණුන්ගෙන් පමණි.