සේපියොසෙක්ෂුවල් කියන්නෙ මේ දවස්වල ගොඩක් අය ඉතා කැමැත්තෙන් තමන්ව අඳුන්නලා දෙන සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක්. ඒ කියන්නෙ තමන්ගේ ලිංගික තෝරාගැනීම ගැන ලේබල් එකක්. සේපියෝ කියන ලතින් වචනෙ තේරුම වෙන්නෙ අවබෝධය නැත්තං බුද්ධිමත්භාවය. එතකොට සේපියොසෙක්ෂුවල් කියල කෙනෙක් කියන්නෙ තමන් අනුරාගී වෙන්නෙ, ඇවිස්සෙන්නෙ, තව කෙනෙකුගෙ පෙනුම, ස්වරූපය, ලිංගිකත්වය ආදී දේවල්වලට නෙමෙයි ඒ කෙනාගෙ බුද්ධිමත්බවටයි කියන එක.

ඔයාට මාරි කියුරි ගැන හිතලා මාස්ටර්බේට් කරන්න පුළුවන් නම්, සිමොන්දි බොවා හීනෙන් දැකලා ප්‍රාණවත් වෙනවා නම්, ප්ලේටො මතක් කරද්දි වෙට් වෙනවා නම්, සෙක්සිම කෙනා කාන්ට් නම්, ජිජැක්, ග්‍රාමිස්චි, මෙයසු වගේ නම් ඇහෙද්දි ඉන්න බැරි නම්, ඔන්න ඔයාගෙ සේපියොසෙක්ෂුවල් ගතිලක්ෂණ පේනවා.

සේපියොසෙක්ෂුවල්වරුන් කියන්නෙ තමන්ට කෙනෙකුගෙ යට කලිසම ඇතුලෙ වෙන දේට වඩා ඔලුව ඇතුලෙ වෙන දේ වැදගත් කියල.

ඒ අය කැමතියි බරපතල දාර්ශනික සංවාදවලට කන්දෙන්න. දාර්ශනිකයන්ගෙ නම් ඇහුවම ඒ අයගෙ ලිංගික හැඟීම් ඇවිස්සෙනවා. හරියටම කිව්වොත් සේපියොසෙක්ෂුවල්වරුන්ට ෆෝර්ප්ලේ එකක් විදිහට කරන්නෙ දර්ශනය, විද්‍යාව වගේ බැරෑරුම් මාතෘකා ගැන කතා කරන එක.

කොස්මොපොලිටන් සඟරාවක සේපියොසෙක්ෂුවල් කෙනෙක් ලියලා තිබුන එයාට රසායන විද්‍යාව ගැන කතා කරද්දි ඇඳේදි වල් කතා කියනවා වගේම ශෘංගාරය ඇවිස්සෙනවා කියල. මේකෙ අදහස බුද්ධිමත්බව සේපියොසෙක්ෂුවල්ස්ලට ෆෙටිෂ් එකක් – අර්චනකාමයක් විදිහට වැඩකරනවා කියන එක.

මේ වචනෙ පාවිච්චියට එන්නෙ 1998දි. ලයිව්ජර්නල් කියන වෙබ් අඩවියෙ වුලිෆිබෝයි කියල කෙනෙක් තමයි මුලින්ම මේ වචනෙ එලියට දාන්නෙ. එයා කියන කතාව ටිකක් ඩිස්ක්‍රිමිනේටිව් එකක්.
“මට පයිප්ප හදන එක ගැන උනන්දුවක් නෑ (අපි දන්නවා ගොඩක් පෝර්න්වල ගෙදර පයිප්ප හදන්න එන කෙනාට ගෙදර කාන්තාව ආකර්ශනය වෙනවා) මාව ඇවිස්සෙන්නෙ විචක්ෂණශීලී, කුතුහලයෙන් පිරුනු, අලුත් අදහස් තියෙන, පොදු සම්මතයන් මායිම් නොකරන වර්ගයේ අයටයි” කියල එයා ලියනවා.

ඊට පස්සෙ මේ වචනෙ ජනප්‍රිය කරන්නෙ ඩේටින් ඇප්වලින්. තමන්ගෙ පාරිභෝගිකයා කුල්මත් කරනසුලු වර්ගීකරණයක් විදිහට මේ වචනෙ ඒ ඇප් හරහා වයිරසයක් වගේ පැතිරිලා යනවා.

මැරලින් ෂිප්පා කියන ප්‍රංශ ඇමතිවරිය සම්මුඛ සාකච්ඡාවකදි මේ වචනෙන් එයාගෙ ලිංගික අනන්‍යතාවය සලකුණු කරනවා. ඒකත් එක්කම මේ වර්ගීකරණය පිටිපස්සෙ තියෙන පංතිමය, අනෙක් අය පහත් කරනසුලු, තමන් විශේෂ වනසුලු, අර්බුදකාරී ස්වරූපය සාකච්ඡාවට එනවා.

ඔන්ලයින් තමන් සේපියො සෙක්ෂුවල්ද කියල හඳුනාගන්න තියෙන පරීක්ෂාවලදි පවා අහන්නෙ තව කෙනෙක් හෙළා දකින ප්‍රශ්න. එක තැනක අහනවා, මෝඩ අයව දැකීමෙන් ඔයාව ඉරිටේට් වෙනවද කියල. මේ විදිහට තව පිරිසක් මෝඩයි, ඇවරේජ් විදිහට සලකමින් තමන්ව බුද්ධිමත් ලෙස උලුප්පා දැක්වීමක් මේ වචනෙ පිටිපස්සෙ තියෙනවා.

ඩේටින් ඇප් එකක තමන් සේපියොසෙක්ෂුවල් කියල දාගත්තම කෙනෙක් අනෙක් අය අතර තමන්ගේ සුවිශේෂී උසස්භාවය ලකුණු කරනවා. ඒ වගේම සේපියොසෙක්ෂුවල් කෙනෙකුට කැමති වීම ඇතුලෙ අනිත් අයත් ඒ උසස් වංශයට ඇතුල් වෙනවා.

ප්‍රශ්නෙ තියෙන්නෙ බුද්ධිමත්භාවය කියන්නෙ මොකක්ද? අපි මෙතනදි අයිකිව් ලෙවල් එකෙන් වැඩි අය බුද්ධිමත් කියල ගන්නවද? එතකොට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක අදාල නැද්ද? වචන කතා කරන්න අපහසු නමුත් බුද්ධිමත් අය ඉන්න බැරිද? ස්ටී්‍රට් ස්මාර්ට් කියල හඳුන්වන සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දේවල් ගැන වටහාගැනීමෙන් ඉහල නමුත් අධ්‍යාපනය අතින් පහල අයට මොකද කරන්නෙ? දේවල් ගැන දැනගැනීම, ලොකු වචන සහ නම්වලින් කතා කිරීමද අපි බුද්ධිමත්බව මනින නිර්ණායකය වෙන්නෙ? නැත්තං අපි සමාජය බුද්ධිමත් කියල හඳුන්වන උගත්කම් වලින් මේක මනිනවද?

මේ විදිහට සුවිශේෂ කාණ්ඩ කිරීම්වලට අපි යනවා නම් ලේඛකයන්ට අනුරාගයෙන් බැඳීම ස්ක්‍රිබොසෙක්ෂුවල්, නීතිඥයන්ට අනුරාගයෙන් බැඳීම ජුරොසෙක්ෂුවල් වගේ නම් කරන්න වෙයිද? ස්නුපි ඩොගි ඩොග් වගේ කංසාවලට අනුරාගී චරිතයක් ගත්තොත් එයා මරිවුවානාසෙක්ෂුවල් වෙනවද?

රාමු ලොකු කණ්ණාඩි දාගෙන, දාර්ශනික බරකතා හරඹ කරන විලාසිතාකාරයන් පිරිසක් අතර සේපියොසෙක්ෂුවල් කියන අනන්‍යතාවය බෝවෙන්න පටන් ගන්නවා.

ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් බුද්ධිමත්භාවයට ආශා කරනවා. පොදුවෙ බුද්ධිමත්බව සතු ආකර්ශනයක් තියෙනවා. ඒ වගේම මෝඩකම් රසවිඳින්න දන්න, ඒවායේ ගැඹුරක් දකින බුද්ධිමත් අයත් ඉන්නවා. බුද්ධිමත් බව ගැන මොකක් හරි අපැහැදිලි නිර්ණායකයක් මත පදනම් වෙලා සේපියොසෙක්ෂුවල් කියල තමන්ව හඳුන්වාගන්නා අයත් නැවත ගේ, ස්ටේ්‍රට්, බයි, හෝ ඒසෙක්ෂුවල් කියන කාණ්ඩයකට අයිති වෙනවා.

දැන් අපි බලමු මේක සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක් විදිහට ගන්න එක විද්‍යාත්මක නොවෙන්නෙ ඇයි කියල. මෙතනදි අපිට සෙක්ස් කියන විෂයේ අධ්‍යයන කාරණා ටිකක් තේරුම්ගන්න වෙනවා. සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් ඒ කියන්නෙ ලිංගිකමය රුචිඅරුචිකම් සහ සෙක්ෂුවල් ඔරියන්ටේෂන්, ඒ කියන්නෙ ලිංගිකමය දිශානතිය කියන්නෙ දෙකක්.

ලිංගිකමය රුචිඅරුචිකම් කියන්නෙ අපි කවුරු හරි ගැන අනුරාගී වෙන්න මූලික වෙන අපි ආශා කරන කාරණා. ඒවා අපිට ලැබෙන්නෙ අපේ ජීවිතේ අතීත අත්දැකීම් ඇතුලෙන්. ඒවා අලුත් වෙනවා. වෙනස් වෙනවා.

ඒත් ඔරියන්ටේෂන් නැත්තං දිශානතිය කියන්නෙ එහෙම එකක් නෙමෙයි. ඒක සාපේක්ෂව ස්ථාවර එකක්. අපිට අපේ ලිංගිකත්වය ගැන දැනෙන විදිහයි ඒකට පදනම් වෙන්නෙ. අපේ ඔරියන්ටේෂන් එක අනුව අපි ලිංගික සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ වර්ණාවලියෙ නිශ්චිත ප්‍රදේශයක අයට ආකර්ශනය වෙනවා. එතනදි විෂම ලිංගික කියන්නෙ තමන්ගේ විරුද්ධ ලිංගික පාර්ශ්වයට ආකර්ශනය වීම. සමලිංගික කියන්නෙ තමන් හා සමාන ලිංගිකයන්ට ආකර්ශනය වීම. බයිසෙක්ෂුවල් කියන්නෙ පිරිමි හෝ ගැහැණු දෙපිරිසටම ඇතිවෙන ආකර්ශනය. පෑන්සෙක්ෂුවල් කියන්නෙ ලිංගභේදයක් නැතුව ඕනම කෙනෙකුට ලිංගිකව ආකර්ශනය වීම. ඒසෙක්ෂුවල් කියන්නෙ ලිංගික ආකර්ශනයක් ඇතිවෙන්නෙම නැති අය. මේ ඕනම වර්ගීකරණයක පැහැදිලි දෙයක් තමයි මේ හැම එකක්ම සෙක්ස් නැත්තං ලිංගිකය එක්ක සම්බන්ධයි කියන එක.

ලිංගිකත්ව අධ්‍යයනවලදි අපි අංශ තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක සෙක්ස්. ඒ කියන්නෙ ජීව විද්‍යාත්මකව අපේ ලිංගික පිහිටීම. මේක ගැහැණු හෝ පිරිමි අතර එකක්. සෙක්ෂුවලිටි නැත්තං ලිංගිකත්වය කියන්නෙ අපේ ලිංගික ආකර්ශනය පවතින තැන, අපේ ලිංගික චර්යාව සහ අපේ ලිංගික අනන්‍යතාවය සම්බන්ධ කොටස. ඔරියන්ටේෂන් කියන්නෙ ලිංගිකව අපි කවුද කියන එක නම් සෙක්ෂුවලිටි කියන්නෙ අපි එහෙම වෙන්නෙ කොහොමද කියන එක. අපි විෂම ලිංගිකද, සමලිංගිකද, බයිසෙක්ෂුවල්ද කියන අපේ තෝරාගැනීම අපේ ලිංගිකත්වය සම්බන්ධ දෙයක්.

තුන්වෙනුව ජෙන්ඩර් නැත්තං ස්ත්‍රීපුරුෂ සමාජභාවය කියන්නෙ සංස්කෘතිකමය කොටසට. මේක අපිට සමාජයෙන් ලැබෙන කොටස. මං ඉපදෙද්දි මං පිරිමි ළමයෙක් විදිහට ඉපදෙනවා නෙමෙයි. සමාජය මට පිරිමි ළමයෙක් කියන අනන්‍යතාවය දෙනවා. මම ඒක බාරගන්නවා. ඒකට කියනවා සිස්ජෙන්ඩර් කියල. ඒ වගේම සමාජයෙන් දෙන මේ ජෙන්ඩර් අයිඩෙන්ටිටිය බාරගැනීම ප්‍රතික්‍ෂේප කරන අය ඉන්නවා.

මේ අංශ තුනම ගත්තත් අපිට පේනවා ඒවා අපේ බයොලොජිකල් සෙක්ස් එකත් එක්ක සම්බන්ධයි. ඒකට පක්ෂව හෝ විපක්ෂව මේ තුනම පිහිටන්නෙ ඒ මත. හැබැයි සේපියොසෙක්ෂුවල් වගේ එකක් එහෙම නෙමෙයි. ඒක අපේ ජීව විද්‍යාත්මක ලිංගිකය එක්ක සම්බන්ධයක් නෑ. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය වගේ විද්‍යාත්මක දේහයන් සේපියොසෙක්ෂුවල් වගේ අනන්‍යතාවයන් ලිංගික අනන්‍යතාවයන් හැටියට පිළිනොගන්නෙ මේ හින්දයි. මොකද ඒක සෙක්ස් සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඒක සෙක්ස්වල ප්‍රකාශනයකුත් නෙමෙයි.

සේපියොසෙක්ෂුවල් අපිට තේරුම් ගන්න වෙන්නෙ සමාජ අනන්‍යතා කණ්ඩායමක් විදිහට. ඒක හරියටම අපි යූඇන්පී නැත්තං ජේවීපී වගේ දෙයක්. සේපියොසෙක්ෂුවල් කියන්නෙත් ස්මාර්ට්, කල්චර්ඩ්, යුනික්, ඒ වගේම පොෂ් කියන හැඟවුම්කාරක දනවන කාණ්ඩවීමක්.

මේ විදිහෙ අනන්‍යතා අර්බුද ලිංගික අනන්‍යතාවයන් විදිහට මතුවීම ඒ ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතීන් සහ නිදහස වෙනුවෙන් කරන සටන්වලට අහිතකර බලපෑමක් ඇතිකරනවා. මේ ලිංගික අනන්‍යතාවයන් ගැන සටන් කරන්නෙ ඒක කෙනෙකුගෙ ජාතිය සම්බන්ධ ප්‍රශ්නයක් වගේම මූලික කාරණාවක් විදිහට අරගෙනයි. ස්ථාවර, වෙනස් නොවනසුලු අනන්‍යතාවයක් විදිහට සලකමිනුයි. ඒත් මේ විදිහෙ ඉතාම මතුපිට කාරණාවලින් ලිංගිකත්වය නිර්වචනය කිරීම ඒ ගැඹුරු මානුෂික සටන්වල බර හෑල්ලු කිරීමක් වෙනවා.

සේපියොසෙක්ෂුවල් කියන එක තනිකරම ඉන්ටර්නෙට් එකෙන් හදපු ලිංගික අනන්‍යතාවයක්. පොත් බලනවා, බරසාර කතා කියනවා, සුපර් ස්මාර්ට් වෙනවා කියන්නෙ ලිංගික අනන්‍යතාවයක සළකුනු නෙමෙයි. ඒක විකල්ප සංස්කෘතියක්, ප්‍රවණතාවයක් විදිහට හොඳ එකක්. ඒත් ලිංගික අනන්‍යතාවයන් සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයන් සහ ජීව විද්‍යාඥයන් මැදිහත්වීමෙන් ඒ ගැන කරන නිශ්චය කිරීම වැදගත් වෙනවා.

1976දි මිෂෙල් ෆුකො පලවෙනි පාරට කියනවා සෙක්ෂුවලිටි නැත්තං ලිංගිකත්වය කියන එක සමාජ නිර්මිතයක් කියල. ඒක ජීව විද්‍යාත්මක එකක් නෙමෙයි කියල. මේ අලුත් ලිංගිකත්වයන් නිර්මාණය වෙන්න පටන් ගන්නෙ එතන ඉඳන්. එදා ඉඳන් අපි එක දිගට අලුත් අලුත් ලිංගිකත්වයන් නිෂ්පාදනය කරනවා.

ගයිනොසෙක්ෂුවල් – ඒ කියන්නෙ කාන්තාවන්ට ආකර්ශනය වීම. මෙතනදි තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක අදාල වෙන්නෙ නෑ.
ඩෙමිසෙක්ෂුවල් – මේ අය ආකර්ශනය වෙන්නෙ හැඟීම්වලට. රූපයට හෝ ලිංගිකත්වයට නෙමෙයි. සේපියොසෙක්ෂුවල් වගේම ගොඩක් අය ආඩම්බරෙන් වැළඳගන්නා ලිංගිකත්වයක්.

ඔබ්ජෙක්ටම්සෙක්ෂුවල් – මේස පුටු වාහන ආදී අජීවී වස්තු දැකීමෙන් ප්‍රාණවත් වීම.
ඔටෝසෙක්ෂුවල් – වෙන කවුරුන් හෝ ලිංගික ක්‍රියාවේ යෙදෙනු බලා ස්වයං වින්දනය කිරීම.
ඇන්ඩ්‍රොජිනොසෙක්ෂුවල් – ස්ත්‍රී හෝ පුරුෂ නොවන ඇන්ඩ්‍රොජිනස් පෙනුමට ලිංගිකව ආකර්ශනය වීම.
ඇන්ඩ්‍රොසෙක්ෂුවල් – පුරුෂයන්ට ආකර්ශනය වීම. තමන්ගේ ස්ත්‍රී පුරුෂභාවය අදාල නැත.
ග්‍රේසෙක්ෂුවල් – ඉඳහිට කාලයකට සැරයක් ලිංගික ආශාවන් ඇතිවීම.

මේ විදිහට විවිධ ලේබල් නිර්මාණය කරන එකෙන් සිද්ද වෙන වටිනා දේවලුත් තියෙනවා. එකක් තමයි ඒ ලිංගික ආකර්ශනය පිළිබඳ සොයන්න පෙළඹෙන එක. භාෂාව කියන්නෙ හරි අමුතු උපකරණයක්. ඒක ඇතුලෙ වචනයක් නිර්මාණය වෙනවා කියන්නෙ ඒ විදිහෙ යතාර්ථයක් පවතින්න පටන් ගන්නවා කියන එක. ඉතින් මේ අලුත් වර්ගකිරීම් වලින් අපි ලිංගිකත්වය කියල දකින පරාසය විශාල වෙනවා. අලුත් සංකල්ප සහ චර්යාවන් නිර්මාණය වෙනවා.

ඒ වගේම මේ අලුත් හඳුන්වාදීම් නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක සෙක්ස්වලින් කැඩෙනවා. සෙක්ස් නිදහසේ ඕනම ආකාරයකින් පවතින්න පුළුවන් දෙයක් වෙනවා. ඒක තවදුරටත් ශරීරය හෝ සමාජය විසින් පැනවූ සීමා ඇතුලෙ පවතින්නෙ නැති වෙනවා.

අනිත් අතට මේක අපිට කියන්න පුළුවන් හයිපර්-ඉන්ඩිවිජුවලිටි එකකට යාමක් කියල. අපේ පුද්ගලිකභාවය ගැන අතිසියුම් බෙදීම් නිශ්චයන් සලකුණු කිරීමක් මෙතනදි වෙනවා. අපේ ආශාව අපි අලුතෙන් ඩිෆයින් කරගන්නවා.

හැබැයි මේකෙ අනිත් පැත්තත් මේ විදිහටම සිද්ද වෙනවා. ඕනම ලේබල් එකකින් සීමා කිරීමකුත් ඇතිවෙනවා. සෙක්ස්වල තිබුනු ගලායාමේ හැකියාව පුංචි පුංචි කොටුවලට පටු කිරීමකුත් එතන තියෙනවා.
ෆුකො මේ ගැන කියනවා. මේ විදිහෙ බුද්ධිමය නිර්වචන විසින් අනෙකාව පමණක් නෙමෙයි තමන්වත් නිශ්චිත නිර්වචනයකට අඩංගු කරගැනීමට බලකිරීමක් ඇති කරනවා කියල.

ඕනම කෙනෙකුට ඩෙමිසෙක්ෂුවල්, සේපියොසෙක්ෂුවල් අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් මේ ලේබල් කිරීමෙන් ඒවා ස්ථාවර නිශ්චිත සීමා බවට පත් කරනවා.

මේ විදිහට ආශාවන් තමන්ගේ ලිංගික අනන්‍යතාවයන් බවට පත්කරගැනීමේ ප්‍රවණතාවය 70-80 කාලෙදි ආරම්භ වෙනවා. බෙයාර්ස්ලා, ලෙදර් ඩැඩීස්ලා, බුච් ගැහැණු වගේ අනන්‍යතා කණ්ඩායම් ඒ කාලෙ හැදුන. එතනදි ඒ අයගේ ජීවන විලාසිතාව ලිංගික අනන්‍යතාවයක් විදිහට හුවා දක්වන්න උත්සාහ කළා. හැබැයි කුයර් මුමන්ට් ඒ කියන්නෙ අමුතු ලිංගිකයන් වෙනුවෙන් වූ ව්‍යාපාරය එක වෙලාවකදි සියලු ලිංගික අනන්‍යතාවයන් ප්‍රතික්‍ෂේප කළ යුතුයි කියන තැනට ආවා. තමන්ට බාහිරයට අවශ්‍ය පරිදි නිශ්චිත නොවී ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියන එකයි ඒ අයගෙ අදහස වුනේ. ඕනෑම වෙලාවක ඕනෑම ලිංගිකත්වයක් තමන්ට වියහැකි බව පිලිගැනීම ඒ උවමනාව පිටිපස්සෙ තිබුන. හැබැයි මේ වෙද්දි අපිට ඕන වෙලා තියෙන්නෙ වඩවඩාත් අපිව ඩිෆයින් කරගන්න. විශේෂ කරගන්න.

අනෙක් අතට මේ විදිහෙ ටැග් කිරීම්වලින් තමයි අපි දකින ලෝකය විශාල වීම සිද්ද වෙන්නෙත්. කලින් කිව්වා වගේ හැම අලුත් වචනයක්ම අලුත් විශ්වයක් නිර්මාණය කරනවා.

මිෂෙල් ෆුකො කියනවා, සෙක්ස් ඇත්ත කතා කරනවා කියල. සෙක්ස් අපි ගැන ඇත්ත අපිට කියනවා. නැත්තං අපි ඇත්ත කියල හිතන් ඉන්න දේ ගැන, අපි සවිඥානකයි කියල හිතන දේ ගැන ගැඹුරු ඇත්ත අපිට මුණගස්සනවා.

ඒක හින්ද සෙක්ස් වලට බොරු කරන්න බෑ.

සේපියොසෙක්ෂුවල් කියන වචනෙ තියෙන තමන්ව උදුම්මා ගැනීමේ සහ අනුන්ව පහත් කිරීමේ කැත ගතිය හින්දම මීට වඩා සොඳුරු සළකුණු කිරීමක්, ලේබලයක් නිර්මාණය වුනා. ඒ තමයි නොයෙටිසෙක්ෂුවල් කියන එක. ඒකෙ අදහස කෙනෙකුගෙ මයින්ඩ්ස්කේප් එකට ඒ කියන්නෙ එයාගෙ මනසේ තියෙන සුවිශේෂභාවයට අනුරාගී වීම කියන එක. එතනදි නිර්මාණාත්මකබව, හැඟීම්මය බව, මෝඩකම, හාස්‍යය සියලු දේ තියෙන්න පුළුවන්. අපි අනුරාගී වෙන්නෙ ඒ පුද්ගලයාගේ මනස් කලාපයට. ඒක බුද්ධිමත් වීම හෝ වෙනත් නිර්ණායකයකට යටත් වීම අවශ්‍ය නෑ. ඒ මනස ඇතුලෙ ටි්‍රප් කරන්න අපි ආසයි.

ඉතින් සේපියෝසෙක්ෂුවල් කියල ආඩම්බරෙන් කියන්න කලින් ටිකක් හිතන්න.