ස්වර්ණා සහ සමිතා ගැන සිරිමල් විජේසිංහ පෝස්ට් එකක් දාලා තිබුන. ඒ පෝස්ට් එක ගැන අදහසක් විදිහට තවත් කෙනෙක් දිග පැහැදිලි කිරීමක් කරලා තිබුන. සිරිමල් ඒ පැහැදිලි කිරීම හඳුන්වලා තිබුනෙ දීප්ති කුමාර ගුණරත්නගේ අදහස් මත පාදක වුනු එකක් විදිහට. සිරිමල් හෝ දීප්ති ඒ ගැන නැවත නිවැරදි කිරීමක් නොකරන තාක් අපිට පුළුවන් ඒ ස්වර්ණා සහ සමිතා කියන ගැහැණුන් දෙදෙනා ගැන දීප්තිගේ කියවීමක් හැටියෙන් සලකන්න. ඒ අදහස සම්පින්ඩනය කරලා දක්වන කොටසක් තමයි මේ.

“මේ දෙදෙනා තුළම පවත්නා පොදුසාධකය නම් ඔවුන් හිස්ටරික වීමය. එනම් තමන් කවුද යන්න නිශ්චිත පිලිතුරක් තමාගෙන් ම අසමින් සිටින්නියන්ය. තමා තුල ඇති සංකේතීය පිලිවෙල අහිමි වීමෙන් තමාට අර්ථයක් නොමැති බව හැගෙන විට හිස්ටරිකත්වය තුළින් වන්නේ තමාගේ ආත්මීය හඩට ඇහුම්කන් දීමය. බොහෝ විට මෙබදු පිරිස් තමාගේ රහසිගත අශ්ශීල විනෝදය හෙලිදරව් කරන්නේ තමාට අර්ථයක් ලබා තනු පිණිසය.

හිස්ටරිකයන් තමාගේ අශ්ශීල ජීවිතය (යථ හෙවත් සැබෑව) යථාර්ථය තුළ හෙලිකල විට සමාජයෙන් – නීතිය හෝ සදාචාරය ඔස්සේ ගැරහුම් ගෙන දේ මේ ගැරහුම හෙවත් පරපීඩිතබව (අනෙකාගෙන් බාහිරින් එන පීඩා) දැනෙන විට පමනි.

හිස්ටරිකයෙකුට තමාට අර්ථයක් ඇති යැයි හැගෙන්නේ ද හිස්ටරිකත්වය ට සදාචාරයක් අවශ්ය වන්නේ නැත්තේ එනිසාය. යමෙක් තමාගේ අශ්ශීල විනෝදය හෙලිකරයි නම් ඇය රැඩිකල්වාදී ස්ත්‍රියක් නොව පිලිවෙල අහිමි වූ හිස්ටීරිකාවකි” – දීප්තියානු අදහස

හිස්ටීරියා කියන වචනෙ හැදෙන්නෙ හිස්ටෙරා කියන ග්‍රීක වචනයෙන්. ඒකෙ තේරුම ගර්භාෂය කියන එක. මුල් කාලෙදි හිස්ටීරියාවට හේතුව විදිහට තේරුම් ගත්තෙ ගැහැණුන්ගෙ මේ ගර්භාෂය ශරීරය ඇතුලෙ එහෙ මෙහෙ ගමන් කිරීම කියල. ඉතින් හිස්ටීරියාව කියන වචනයට තියෙන්නෙ අතීතයෙ ඉඳන්ම කාන්තාවන් ඉලක්ක කරගත්, කාන්තාවන් යටපත් කරන පිරිමි බලයක ඉතිහාසයක්.

එක්ස් කණ්ඩායම තියෙන කාලෙදි මේ වචනෙ ෆ්‍රොයිඩියානු අදහස විකෘති විදිහට පාවිච්චි කරමින් පිරිමි ගැහැණු චරිත හැම එකකටම පහර දුන්නා. මානසික රෝගීන් විදිහට හැඳින්නුවා. මේ නැවත අපි දකින්නෙ ඒ පරණ සාම්ප්‍රදායික පිරිමියෙක් විසින් මනෝ විශ්ලේෂණයේ බලය පාවිච්චි කරන තැනක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අන්ත දක්ෂිණාංශික මුග්ධ පිරිමියාත් හිස්ටීරියාව පාවිච්චි කරලා කාන්තා නැගීසිටීම් වලට පහර දුන්නා. මාර්තු අටවෙනිදා කාන්තා අයිතීන් වෙනුවෙන් විරෝධතා දක්වපු අයව පිස්සියන්, පිස්සු ස්ත්‍රීවාදීන් විදිහට හැඳින්නුවා. ඒ විරෝධතාවයන් මීඩියා හිස්ටීරියාවක් කිව්වා. මේ ගැහැණු හිස්ටරිකයන් වන නිසාම අඬනවා කෑ ගහනවා ඇරෙන්න වෙන කිසිදෙයක් දන්නෙ නෑ කියල අපහාස කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දීප්ති කුමාර ගුණරත්න අතර පේන මේ සම්බන්ධතාව හරි අපූරු එකක්. එක්කෙනෙක් ඇමරිකානු දක්ෂිනාංශය. අනෙකා ලංකාවෙ වාමාංශය.

ට්‍රම්ප් මෙතනදි පෙන්නන්න හැදුවෙ මේ ස්ත්‍රී විරෝධතා කියන්නෙ තාර්කික දේවල් නෙමෙයි ප්‍රතිකාර කළ යුතු මානසික ආබාධයක ලක්ෂණයක් කියල. දීප්ති ඉහත පෙන්වන්න හදන්නෙ අර ගැහැණුන්ගේ ජීවිතය ඒ අයගේ අරගලයක් නෙමෙයි ඒක මානසික ප්‍රතිකාර කළ යුතු රෝගයක් කියල.

මේ විදිහට ගැහැණුන්ව හිස්ටීරියාවෙන් යටපත් කිරීමට අඳුරු ඉතිහාසයක් තියෙනවා. මේ වචනය ඇතුලෙ හැමදාම ප්‍රකාශමාන වුනේ ගැහැණියගේ ශරීරයට එරෙහි වීමක්. ඇගේ ශරීරයම රෝගයක් හැටියෙන් ගනිමින් ඇයට ස්වාධීනත්වයක් අහිමියි කියන තැනට පත්කිරීමේ බලහත්කාරයක් මේ වචනෙ පිටිපස්සෙ තිබුන. කෙනෙක් උමතුයි කියන්නෙ එයාට යමක් ගැන අදහසක් දැක්වීමේ අයිතිය අහිමි කරන අසාධාරණ බල දිගුවක්. හිස්ටීරියාවෙදි ඒක විද්‍යාවේ නමෙන් ගැහැණිය දිහාවට දිගුවුනා.

මේක අවිද්‍යාත්මක ඓතිහාසික පිරිමි උරුමයක්. පිරිමි තාර්කිකයි, පිරිමින්ගේ අනසකෙන් මිදුනු වහාම ගැහැණු හිස්ටරිකයි. ඔවුන් ප්‍රසිද්ධ ජීවිතයට නුසුදුසුයි. ෆ්‍රොයිඩ්ට කලින් හිස්ටීරියාව කියන පොතේ හෙලන් කින්ග් ලියනවා ග්‍රීක යුගයෙදි ප්ලේටෝ සහ හිපොක්‍රටීස් හිස්ටීරියාව ගැන හිතපු විදිහ.

‘ගර්භාෂය ශරීරය පුරා ගමන් කරමින් කාන්තාවගේ පැවැත්ම අවුල් කරනවා. මේ අසනීපය ගර්භාෂ තෙරපුම කියල හඳුන්වනවා’

මේ නිසා කාන්තාවගේ චර්යාව විශ්වාස කළ නොහැකි යැයි ඒ ගොල්ලො කිව්වා. මේකට ප්‍රතිකාරයක් විදිහට කිව්වෙ ඇයව නිතරම ගර්භනීව තැබිය යුතුයි කියල. ගැහැණුභාවයෙන් මාතෘභාවයට පත් කළ යුතුයි කියල.

මධ්‍යතන කාලෙ වෙද්දිත් ස්ත්‍රිය පිළිබඳ සාම්ප්‍රදායික වටිනාකම්වලට එකඟ නොවෙන ගැහැණු රෝගීන් විදිහට හැඳින්වීම කළා. 2021දි දීප්ති කරන්නෙත් ඒකමයි. 17 වෙනි සියවස වෙනකල් බටහිර වෛද්‍ය විද්‍යාවේ න්‍යායන්ට පාදක වුනු ග්‍රීක වෛද්‍යවරයෙක් වූ ගැලන් කියනවා කාන්තාවකගේ සංසේචනය නොවුනු ඩිම්බ නරක් වීමෙන් ඇය රෝගී වෙනවා කියල. මේ නිසා ඇයව ගැබ් ගැන්වීමෙන් කාර්යබහුල කළ යුතුයි කියල. ගැලන්ගේ තියරිවලින් වෛද්‍ය විද්‍යාව මේ වෙද්දි ගැලවුනාට දිගටම ඒ විද්‍යාව ඇතුලෙ මේ අවිද්‍යාවෙ සද්දෙ ඇහුනා. 1883දි ඔගස්ටෙ ෆේබර් කියන ප්‍රංශ වෛද්‍යවරයා කියනවා, හැම ගැහැණියක්ම හිස්ටරිකයි. හැම ගැහැණියක්ම හිස්ටීරියාවේ බීජ දරාගෙනයි ඉන්නෙ’ කියල.

ඇත්තටම හිස්ටීරියාව කියන වචනෙ මුලින්ම එන්නෙ මධ්‍යතන කාලෙ මායාකාරියන් දඩයම් කිරීමත් එක්ක. 17 වෙනි සියවසේදි මේ දඩයම ඉහළින්ම සිදුවෙද්දි යුරෝපයේ කසාද බඳින්න උනන්දු නැතිවීම සහ දැඩි ලිංගික ආශාවන් පැවතීම කාන්තාවකගේ හිස්ටරික ලක්ෂණ විදිහට සැලකුනා. මේ අය සාතන් සමග සම්බන්ධ හැටියට සැලකලා ඇතැම් විට මරාදැමුනා.

19 වෙනි සියවසේදි මායාකාරියන් කියන තැනින් ගැලවිලා හිස්ටීරියාව ස්නායු රෝගයක් බවට පත්වුනා. 1800 වෙද්දි ඕනම දෙයක් හින්ද ගැහැණියක් හිස්ටරිකයෙක් විදිහට ලේබල් කරන්න පුළුවන් වුනා. එතනදි ප්‍රධානම එකක් වුනේ ස්ත්‍රීවාදී පෙරමුණුවලට එකතු වීම.

පීතෘමූලිකභාවය අභියෝග වෙමින් විප්ලවකාරී දූවරුන් කැම්පස් යන්න, රස්සා කරන්න, චන්දෙ දාන්න අයිතිය ඉල්ලද්දි ලේසිම දේ වුනේ ඒ අය මානසික ආබාධයකින් පෙලෙන හැටියට සලකුණු කරන එක. ශ්‍රීමත් ඒ. ඊ රයිට් කියන සුප්‍රකට වෛද්‍යවරයා ලිපියක් ලියනවා, මානසික ආබාධයක් කාන්තාවන් පෙරමුණ ගැනීමක් හැටියෙන් වරදවා වටහා ගැනීමක් සිදුවෙලා තියෙනවා කියල.

“මේ අයට ඕන වෙලා තියෙනවා විවාහයෙන් සහ මාතෘභාවයෙන් බාහිර වෙනත් වටිනාකම් ආරෝපනය කරගන්න. මේ සමතැන ගැන ආශාව කියන්නෙම රෝගයක්. ආත්ම ගරුත්වය ගැන කාන්තාවන්ගේ හැඟීම අනතුරුදායක විසක්. නමුත් කලබල විය යුතු නෑ. ප්‍රතිකාර තියෙනවා. ඒ තමයි එයාගෙ සැමියාගේ නිවසට වෙලා විවේක ගන්න එක” – ශ්‍රීමත් ඒ.ඊ රයිට්

19 වෙනි සියවසේ චාලට් පර්කින්ස් ගිල්මන් කියන ලේඛිකාවත් මේ විදිහෙ විවේක ප්‍රතිකාර සඳහා නියම කළ කෙනෙක්. මේ අය ඇඳටම වෙලා ඉන්න ඕන. මේදය වැඩි ආහාර ගන්න ඕන. එහෙම ගන්නෙ නැත්නම් බලෙන් කවන්න ඕන. කතා කිරීම, ලිවීම සහ ඇඳුම් මැසීම ආදිය ඒ අයට තහනම්.
පුළුවන් තරම් ගෘහනියකගේ ජීවිතයක් ගත කළ යුතු අතර පෑනක් පැන්සලක් හෝ පින්සලක් ජීවිත කාලය පුරාම අතින් ඇල්ලීම තහනම්.

මේ ප්‍රතිකාරවල අදහස වුනේ ගැහැණිය තමන්ගේ සැමියා යටතේ කීකරුව සිටින දරුවෙකුගේ මානසිකත්වයට පත්කිරීම. ඒත් මේක සාර්ථක වුනේ නෑ.

1880දි වෛද්‍ය ජෝසෆ් මෝටිමර් ග්‍රැන්විල් මේකට ප්‍රතිකාරයක් විදිහට වයිබ්‍රේටර් එක හඳුන්වාදෙනවා. ඒ මගින් හිස්ටරිකල් පැරොක්සිසම් එකක් හෙවත් සුරතාන්තය ඇති කිරීමෙන් රෝගය සුව අතට හැරෙන බව කියනවා. අද වෙද්දි ඒක ගැහැණු නිදහස සංකේතවත් කරන ස්ත්‍රීවාදී සෙක්ස් ටෝයි එකක්.

ඉතිහාසෙ ඉඳන් හැරිලා බලනකොට අපිට හිතෙන්න පුළුවන් අද ගැහැණියගේ තත්වය කොයිතරම් මානුෂික වෙලාද කියල. ඒත් දීප්තිලා වගේ ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අයත් දරන මේ වගේ අදහස් අපිව ඒ සුවදායී සිහිනයෙන් ඇහැරවනවා. තාමත් මවක්, කීකරු බිරිඳක්, හොඳ ගෘහණියක් කියන සීමාවෙ නොරැඳෙන ගැහැණියක් හිස්ටරික රෝගියෙක් හැටියෙන් ලේබල් කරනවා. ඇගේ ප්‍රසිද්ධ ජීවිතය උමතුවක් හැටියට අවලංගු කරනවා.

ඔබේ බිරිඳට රස්සාවට යන්න ඉඩදෙන්න එපා. ඒක භයානකයි.
– ඩොනල්ඩ් ට්‍රම්ප් –

1950දි ඇමරිකානු මනෝවිද්‍යා සංගමය හිස්ටීරියාව මානසික රෝගයක් හැටියෙන් බැහැර කරනවා. ඒත් අද වෙනතුරුත් සම්ප්‍රදාය අභියෝග කරන ගැහැණුන්ට මේ ලේබලය ඉලක්ක වෙනවා. විශේෂයෙන්ම ගැහැණිය එලිපිට තමන්ගේ ආශාව හොයාගෙන යද්දි කලබල වෙන ගතානුගතික පිරිමියා ඇයව රෝගියෙක් කරන්න මේ වචනයේ බලය පාවිච්චි කරනවා.

ඔයාට සාම්ප්‍රදායික නොවූ හැඟීම්, ආශාවන් තියෙනවා නම්, ඒවා බය නැතුව විවෘතව බාරගන්නවා නම්, ඔයා හිස්ටරික, පිස්සු ගැහැණියක්. ඒකයි දීප්ති උඩ කියන ලැජ්ජා නැති අදහස.

ස්වර්ණා සහ සමිතා කියන ගැහැණු චරිත දෙකම සමාජයට බොහෝ සුන්දර දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ අයගේ පුද්ගලික ජීවිත අර්බුද ඇතුලෙ වුනත් ඔවුන් රටේ බොහෝ දෙනෙකුට රසවිඳින්න දේවල් නිෂ්පාදනය කළා. මෙතනදි ස්වර්ණා ගැහැණියක් විදිහට ඉතාමත් නිර්භීත ඇඩ්වෙන්චරීය ගමනක් ආවා වුනත් මං හිතන්නෙ ඇගේ අවසාන අරමුණ වුනේ සාම්ප්‍රදායිකව පිළිගන්නා මවක් බවට පත්වීම. ඒ තරම්ම සමාජ පීඩනය විසින් ඇයව දුර්වල කරන්න ඇති. හුදකලා කරන්න ඇති. මං දකින්නෙ ස්වර්ණා තමන් ගත කළ අසම්මත, කැරලිකාර ස්ත්‍රී ජීවිතය ආඩම්බරෙන් බාරගත්තෙ නෑ කියල.නමුත් සමිතා මෙතනදි වෙනස්. ඇය ලංකාවෙ ගැහැණියක් හැටියට ආශාව සහ නිදහස වෙනුවෙන් විප්ලවීය වැඩ කොටසක් තනියම නොදැනුවත්ව කරනවා. ඒක නිසා ලැබෙන ටොන් ගණන් අපවාදවලට මුහුණ දෙනවා. ඇය තමන්ගේ අසම්මත ප්‍රේමයේ අරගලය කරන්නෙත් සම්භාව්‍ය ඉඩකඩක නෙමෙයි ජනප්‍රිය අවකාශයක.

මෙතනදි සමිතා ගැහැණියක් පිළිබඳ සම්මතයන් ගණනාවක්ම අභියෝග කරනවා. පිළිගන්නා සම්මත විවාහය අභියෝග කරන ඇය සුන්දර යැයි සම්මත ස්ලිම් සිරුරක් හෝ ප්‍රේමවන්ත යැයි සම්මත වයසක් හෝ පයිසයකට මායිම් නොකර සිනාමුසුව තමන්ගේ ආදරය සහ ආශාව වැළඳගන්නවා. ලංකාවෙ ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ නිදහස් රොමාන්තික අවකාශයක් සමිතා විසින් විවෘත කළා කියන එකයි මගේ පිළිගැනීම.

මේ ගැහැණුන්ට හිස්ටරිකයි කියන නිරෝගී දීප්ති සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියන එක ඕන නම් ඒ එක්ස් සංස්කෘතියෙ පිරිස් අතර යන සංවාදයකදි තේරුම් ගන්න පුළුවන්.

ෆ්‍රොයිඩ්ගෙ වැදගත්ම මැදිහත්වීම සිද්ද වුනේ හිස්ටීරියාව කියන එක කායික රෝගයක් නෙමෙයි මානසික රෝගයක් හැටියෙන් තේරුම් කිරීමෙන්. ඒ වගේම හිස්ටීරියාව කියන්නෙ කාන්තාවන්ට පමණක් හැදෙන රෝගයක් නෙමෙයි, කුඩා කාලයේ ලිංගික අතවරයකට, ට්‍රෝමැටික අත්දැකීමකට, බරපතල ලිංගික යටපත් කිරීමකට, දඬුවමකට පාත්‍ර වුනු කෙනෙකුගේ ඒ යටපත් අත්දැකීම නිසා පසු කාලයක ශාරීරිකව ප්‍රකාශමාන වන ව්‍යාධිමය තත්වයන් හැටියෙන් ෆ්‍රොයිඩ් විස්තර කළා. ඒ කියන්නෙ හිස්ටීරියාව යනු පුද්ගලික රෝගයක් නෙමෙයි ඒක සමාජයෙන් ඇති කරන රෝගයක් කියන තැන ලකුණු කරන්නෙ ෆ්‍රොයිඩ්. ඒ යටපත් බියජනක අත්දැකීම සිහිකැඳවීම හරහා ඒ රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා.

එතකොට හිස්ටීරියාව කියන්නෙ සමාජය ඇතුලෙ පවතින ලිංගික යටපත් කිරීම සහ බලහත්කාරය සම්බන්ධ රෝගයක්. හිස්ටීරියාව සැබවින්ම ප්‍රකාශමාන වෙන තැනකදි වුනත් ඒකෙන් ඒ පුද්ගලයා ලේබල් කිරීම, එය ඔහුගේ හෝ ඇයගේ අශ්ශීල ආශාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට දැක්වීම කියන්නෙ අශිෂ්ටකමක්. අශ්ශීල කියන වචනෙ හරියට ගැලපෙන්නෙ එතනට.

කෙනෙක් තමන්ගේ දේශපාලනය ඇතුලෙ ගැහැණුන්ට පුද්ගලිකව මානසික රෝගීන් හැටියට අපහාස කරනවා කියන්නෙ ඒ මනුස්සයාගේ දේශපාලනයෙ රෙදි ගැලවෙන තැනක්.