අද ඒ කියන්නෙ මැයි 06 වෙනිදා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙ උපන්දිනේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නෙ ලිංගිකත්වය පිළිබඳ අදහස් කැරැල්ලෙ පුරෝගාමියෙක්. ෆ්‍රොයිඩ්ව ඒ නිසාම ඒ කාලෙ වික්ටෝරියානු සමාජයෙන් අවමානයට ලක්වුනා. මව සහ පුතා අතර ලිංගික බැඳීමක් තියෙනවා කියල ෆ්‍රොයිඩ් ගෙනාපු කතාවෙන් වියනාව හෙල්ලුනා. ෆ්‍රොයිඩ් විපරීතයෙක් විදිහට සළකුනු වුනා.

ෆ්‍රොයිඩ්ගේ ප්‍රශ්නය වුනේ කවුරු හරි විපරීත නැත්තං පර්වර්ට් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි. ඒ වෙනුවට කවුරු හරි සාමාන්‍ය වෙන්නෙ කොහොමද කියන එක.

මොකද මානව ලිංගිකත්වය කියන්නෙම මූලිකවම විපරීත වුනු සංසිද්ධියක්. ඒක බාධාවීමේ ප්‍රකාශනයක්.

ෆ්‍රොයිඩ්ට අනුව සෙක්ස් කියන්නෙ ලිංගේන්ද්‍රියන් දෙකක් විනිවිදීම නෙමෙයි. එයා ලිංගිකත්වය කියල කතා කලේ ඊට වඩා විශාල කලාපයක්. කෙනෙකුගේ ලිබිඩෝ උද්දීපනයක් ඇති කරන, ශෘංගාර හැඟීම් මතුකරන ඕනම ක්‍රියාවක් ෆ්‍රොයිඩ් සෙක්ෂුවල් විදිහට හැඳින්නුවා. අයිස්ක්‍රීමක් කන තැන ඉඳන්, ෆුට් මසාජ් එකක්, දත්මැදීමක් පවා සෙක්ස් ඇක්ට් එකක් වෙන්න පුළුවන්.

පරිණාමවාදී දෘෂ්ටියකින් මානව ලිංගිකත්වය කියවන්න උත්සාහ කිරීම නොමග යනසුලු වෑයමක්. මානව ලිංගිකත්වය කියන්නෙ අතිශය සංකීර්ණ කලාපයක්. දරුවන් බිහිකිරීමට වඩා බොහෝ දේ අපිට සෙක්ස් ඇතුලෙ කරන්න තියෙනවා. කරමින් ඉන්නවා. දරුවන් බිහිකිරීම කියන එක ඒකෙ අනවශ්‍යම දේ වෙන්න පුළුවන්. අපේ මුළු ශරීරයෙන්ම අපිට තෘප්තිය ලබන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ මානවයාගේ එක තැනකට හෝ කලාපයකට සීමාවුනු දෙයක් නෙමෙයි.

අතදරුවා කාලෙ ඉඳන් සෙක්ස් තියෙනවා කියල ෆ්‍රොයිඩ් කිව්වා. ඒක එයා මුඛ ලිංගික අවධිය කියල හැඳින්නුවා. ඊට පස්සෙ ගුද අවධිය හෙවත් ඒනල් ස්ටේජ් එක එනවා. කටේ ඇඟිලි ගහගෙන ඉඳීමේ ඉඳන් මළපහ කිරීමේ පුහුණුව දක්වා දරුවෙක් ලබන ලිංගික තෘප්තිය ෆ්‍රොයිඩ් විස්තර කළා. මිනිස්සු කුලප්පු වුනා.

ළමයෙක් බලාගන්නවා කියන්නෙම ලිංගික අත්දැකීම් ගොඩක්. ඇසීමෙන්, දැකීමෙන්, ස්පර්ශයෙන් විශාල ලිංගික පරාසයක් දරුවෙක් මේ ක්‍රියාවලියෙදි අත්විඳිනවා. මේක අපි වැඩිහිටි ලිංගිකත්වය කියල දකින දේට වඩා වෙනස්. ඊට වඩා විස්තෘතයි. වැඩිහිටි අවධියේදි අපේ ලිංගිකත්වය නිර්මාණය වෙන්නෙ මේ සංවේදනා සහ අත්දැකීම උඩයි. වයසින් වැඩෙද්දි මේ පැතිරුනු ලිංගික අවකාශය අපේ ලිංගේන්ද්‍රියන් වටා කේන්ද්‍ර වෙන්න පටන් ගන්නවා.

ඇත්තටම ළමා අවධියේ ලිංගිකත්වය වැඩිහිටි අවධිය කරා ගෙනාවොත් ඒක සම්මත සමාජය දකින්නෙ පර්වර්ෂන් එකක් විදිහට. විපරීතයක් විදිහට. උදා විදිහට වොයරිසම් කියන එක වැඩිහිටි සමාජයේ පර්වර්ට් දෙයක්. ඒත් ළමා කාලෙදි මේ විදිහට බලාසිටීම ඉතාම සාමාන්‍ය ලිංගික උත්තේජනයක්.

වැඩිහිටි ලිංගිකත්වය කියන්නෙ සමාජානුයෝජනය හරහා අපේ ලිංගික කලාපයන් සීමාකළ, වාරණ පැනවුනු සංවේදන කලාපයක්.

විපරීතය කියන්නෙ කවුරුවත් විසින් ලබාගන්නා දෙයක් නෙමෙයි. ඒක උපතින්ම එන දෙයක්. ලොකු වෙද්දි සිද්ද වෙන්නෙ ලැජ්ජාව සහ වරදකාරීත්වය විසින් ඒ පර්වර්ෂන් එක යටපත් කිරීම. සෙක්ස්වලට සමාජය පිලිගන්නා පොදු හැඩයක් ලබාදීම.

ෆ්‍රොයිඩ් හරිම තීරණාත්මක තැනක් ප්‍රශ්න කළා. සාමාන්‍ය කියන්නෙ මොකක්ද, අසාමාන්‍ය කියන්නෙ මොකක්ද? ඒ කියන්නෙ නෝමල් සහ ඇබ්නෝමල් අතර බෙදීම.

‘විද්‍යාත්මකව මානසික කලාපයේ සාමාන්‍ය දේ මේකයි කියල කියන්න බෑ’ – ෆ්‍රොයිඩ්

ෆ්‍රොයිඩ් නිසා අපිට අපෙන් බාහිර ඇබ්නෝමල් කියල වෙනම කැටගරියකට මිනිස්සු දාලා නිදහස් වෙන්න බැරි වෙනවා. එයා රෝගීන් එක්ක කාලයක් තිස්සෙ කරපු පර්යේෂනවලින් හොයාගන්නවා ඒ රෝග ලක්ෂණ අපි හැමෝටම පොදුයි කියල. ඒ කියන්නෙ ඒවා සාමාන්‍ය තත්වයන් කියල.
නෝමල් කියන එක හැදෙන්නෙ ලිංගිකත්වය බෙදිලා, කැඩිලා, සංස්කරණය වෙලා, යටපත් වෙලා. කවදාවත් සම්පූර්ණයෙන් අත්පත් කරගන්න බැරි දෙයක් විදිහට.

අපිව පොඩි කාලෙදි බලාගන්න අය අතිනුයි අපේ ලිංගිකත්වය නිර්මාණය වෙන්නෙ. ෆ්‍රොයිඩ් මේක අවධීන් තුනක් විදිහට බෙදාදක්වනවා. කලින් කියපු ඕරල් නැත්තං මුඛ අවධිය, ඊළඟට ඒනල් නැත්තං ගුද අවධිය, තුන්වෙනුව ෆැලික් නැත්තං ලිංගේන්ද්‍රි අවධිය විදිහට. ඕරල් ඒනල් අවධි පහුකරලා ඊළඟට අපි එනවා අපේ ලිංගේන්ද්‍රියන් ස්පර්ශ කරමින් තෘප්තිමත් වෙන අවුරුදු 03 සිට 06 දක්වා විතර කාලෙට. අපේ ශරීරය ගැනත්, අපේ ලිංගේන්ද්‍රියන්ගෙ වෙනස ගැනත් උනන්දු වෙන වයස. මේ කාලෙ කොල්ලො ඇඟිල්ලෙන් ජුංඩා කරකව කරකව වටේ දුවනවා.

ළමයි හදපු අය, අම්මලා මේ ලිංගිකත්ව අවධීන් ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඒත් අපි වැඩිමහල් වෙද්දි මේ සියල්ල අමතක කරනවා. ඒවා ගැන කතා කිරීම පවා ලැජ්ජාව දනවන දෙයක් වෙනවා. මේ විදිහට අපි අපේ සවිඥානයෙන් අපේ ළමාකාලෙ ලිංගික අත්දැකීම් එලියට දැම්මට ඒවා වෙනත් වේශයන්ගෙන් නැවත මතුවෙනවා.

මානව රෝගය නැත්තං හියුමන් සිම්ප්ටම් එක කියන්නෙම ලිංගිකත්වය එක්ක ගැටගැහුනු දෙයක් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා. හිස්ටීරියාව, නියුරෝසියාව විදිහට අපිට මුනගැහෙන්නෙ බාධාවුනු, නැත්තං බලහත්කාරයට, අපචාරයට ලක්වුනු ළමාවියේ ලිංගික අත්දැකීම් කියල එයා කිව්වා.

ෆ්‍රොයිඩ් මනොවිශ්ලේෂණයෙන් කලේ මේ දේවල් නිරාවරණය කරන එක. ඒ ගැන හැංගුනු භීතිකාවන් දුරු කරන එක. ඒ යටපත් කළ ලිංගිකත්වය සම්බන්ධ කාරණා නැවත සවිඥානයට ගෙන ඒමෙන් ඒ රෝගය අවසන් වෙනවා.

සෙක්ස් කියන්නෙ හැංගිලා කතා කරන්න ඕන දෙයක් කියන සමහරෙකුගේ උදහස ෆ්‍රොයිඩ්ට අනුව කියෙව්වොත් ඒ අය ගැන මොන වගේ දෙයක් එලිවෙයිද?