Tag: sri lanka

  • සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!

    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!

    ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය

    ලිංගික දිශානතියේ සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම මානසික රෝගයක් නොවන බවත්, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවන් ට වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් පවසමින් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists – SLCP) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම නිවේදනය නිකුත් කිරීමට හේතුව වන්නේ මෑත දිනක තමා මනෝ උපදේශිකාවක යැයි හඳුන්වා ගත් තැනැත්තියක විසින් මහනුවර පොලීසියේ ශ්‍රවණාගාරය තුළ පැවැත්වූ ආන්දෝලනාත්මක පුහුණු වැඩමුළුවකට ප්‍රතිචාර වශයෙනි.

    මෙම පුහුණු වැඩමුළුව සජීවීව පටිගත කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබිණි. අදාළ පුහුණු වැඩමුළුව තුළ මෙම තැනැත්තිය විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් බවත්, සමලිංගිකයන්ගේ ගොදුරු වීමෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගත යුතු බවත් ඒත්තු ගන්වන අතර, වැඩමුළුවට සහභාගී වී සිටින පොලිස් නිලධාරීන් ඊට එකඟතාව පළකරන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

    ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය යනු මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳව ලංකාවේ පවතින ඉහළතම ආයතනය වන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පුහුණු වැඩමුළුව තුළ මතුකර ඇති කරුණු වල සත්‍යතාවයක් නොමැති බවත්, නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ලිංගික අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම රෝගී කාණ්ඩයකට ඇතුළත් නොකරන බවත් ය.

    ඒ අනුව LGBTIQ ප්‍රජාවන්ට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය මත වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන වගන්ති අහෝසි විය යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

    සමලිංගිකත්වයට බලපාන නීති සංශෝධනය විය යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් විසින් පිළිගත් දෙවන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. මීට ඉහත දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් නිවාර්ණ වැඩසටහනේ (National STD/AIDS Control Program – NSACP) 2018 – 2022 වර්ෂයන්ට අදාළ ජාතික ක්‍රමෝපායික සැලැස්ම හරහා ද රජයට යෝජනා කර සිටියේ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වැනි ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවයි.


    සංස්කාරක (LGBTIQ)

  • Untitled post 5076

    වැල තහනම බොරුවක්!!
    නීතිඥ තිශ්‍ය වේරගොඩගේ ෆේස්බුක් පිටුවෙන්


    බුකියේ හැම තැනම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මූණත් එක්ක පොස්ටුවක් යනවා “අසභ්‍ය දර්ශන නැරඹුවහොත් අද සිට නිවසටම පොලිසියෙන් කියලා”. බොහෝම අමාරුවෙන් පහත දිගුව හොයාගෙන ඇහුවා.

    https://m.youtube.com/watch?v=S4y-C4as6m0&feature=youtu.be

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොහෝ අවස්ථාවල බොරු කියන නිසාත්, අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන නිසාත් බොහෝ විට මගේ හාස්‍යට ලක්වෙනවා. නමුත් මේ අවස්ථාවේදී එතුමා කියන කතාව නිවැරදී. බාල වයස්කාර දරුවන් අපයෝජයනට ලක් කිරීම හා අදාලව තමා ඔහු කරුණු කියන්නේ. නැතිව වැඩිහිටියන්ට අදාලව තිබෙන ලිංගික දර්ශන ගැන නෙමෙයි. ළමා අපයෝජනයන්ට එරෙහිව ඉතාමත්ම දැඩි නීති තියෙනවා යුරෝපයේ සහ ඇමරිකාවේ. ඒ අනුව එවැනි දර්ශන බාගත කිරීමම දඬුවම් ලැබිය හැකි වරදක් ඒ රටවල් වල. ඒවා විමර්ෂණය කිරීමට අදාලව නීති තීයෙනවා. ඒ නීති අනුව යම් යම් දේ වාර්ථා වෙනවා. එම වාර්ථා අපේ රටේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලටත් ලැබෙනවා. ඒ අනුව තමයි ඔහු කියන්නේ බාලවයස්කාර දරුවන් අපයෝජනයට අදාල අසභ්‍ය දර්ශන සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරනවා කියලා. මම හිතන්නේ නෑ, එහෙම නැතිව වැඩිහිටියන් ස්වකැමැත්තෙන් ලිංගික කටයුතු වල යෙදන දර්ශන බලන අයගේ පසු පසින් එන්න පොලිසියට නෛතික හැකියාවක් තියෙනවා කියලා. අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ පනතේ පැහැදිලිව තියෙන්නේ විකිණීමට, බෙදා හැරීමට හෝ අන්‍යාකාරයෙන් කටයුතු කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම වරදක් කියලා මිසක් තම පුද්ගලික ආශ්වාදයට ළඟ තබා ගැනීම වරදක් කියලා නෙමෙයි. ඒ උනාට අපේ රටේ පොලිසියට නම් මේ පිළිඹඳ පැහැදිලි වැටහීමක් නෑ. ඒක නිසා තමයි තමන්ගේ ජංගම දුරකථනය සොරකම් කලා කියලා පැමිණිලි කරපු පුද්ගලයෙක්ගේ ජංගම දුරකථනයේ අසැබි දර්ශන තිබ්බා කියලා ඔහුවත් අත් අඩංගුවට අරගෙන තිබ්බේ. ඔක්කෝමලාම වලිගේ පාගගෙන වගේ මේ පාර.

  • 77න් පස්සෙ සෙක්ස් ID එක

    77න් පස්සෙ සෙක්ස් ID එක

    මං ගොඩක් වෙලාවට නවකතා කියවන්නෙ ඒ නවකතා විසින් යම් ලිංගික සංස්කෘතික කලාපයක් එලිදරව් කරනවා නම් විතරයි. ඒක මගේ පුද්ගලික පටු තෝරාගැනීමක්. ඒත් මට ඒකට හේතු තියෙනවා. පොඩි කාලෙ ඉඳන් මං කියවපු ප්‍රබන්ධ අතරින් මගේ ජීවිතය වෙනස් කළේ ලිංගික කලාපයන්ට අතපෙවූ ලේඛකයන් විතරයි. අනිත් අයගෙන් මං විඳලා තියෙන්නෙ හුදු සෞන්දර්ය රසයක්. අර මිනිස් අනුරාගී කලාපයන් අතරට ගිය ලේඛකයො මගේ ජීවිතේ ආපහු හරවන්න බැරි වෙනස්කම් ඇති කළා. බාහිර දේශපාලන සමාජ දාර්ශනික කතා අතර ඇඳ උඩදි මොකද වෙන්නෙ කියන එක මගඇරලා ගිය ලේඛකයො තමන් ගැන ගැඹුරු ඇත්තක් මගඅරිනවා කියල මට දැනුන. ඒක හරිම පාර්ශ්වීය හැඟීමක්.

    මේ ටැබූ කලාපයන් අතර ලියන ලේඛකයන් එක විදිහක පරපුරක්. මං ඒ පරපුරේ කියවන්නෙක්. හෙන්රි මිලර්, බුකොව්ස්කි, ලෝරන්ස්, ෆිලිප් රොත් වගේ අය එලියෙනුත් සයිමන්, අජිත් තිලකසේන, කේකේ සහ මොහාන් රාජ් වගේ අය ඇතුලෙනුත් ඒ පරම්පරාවට එකතු වෙනවා.

    නවකතාවක් කියවන එක මට හරියට කවුරු හරි නාඳුනන කෙනෙක් එක්ක දුර ගමනක් යනවා වගේ වැඩක්. එතනදි එයා රියදුරෙක් නම් වැඩ දාලා එලවන්න පුළුවන්. වේගය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ ශිල්පීය පැත්තෙන් එයා මාර වෙන්න පුළුවන්. මං කියන්නෙ ඒවා තමයි කතාවක සාහිත්‍යාලංකාර කොටස.

    ඊට වඩා මට වැදගත් වෙනවා මාත් එක්ක යන මේ මිනිහා කවුද කියන එක. එයා එක්ක කතා කරමින් යන දේවල්. අහමින් යන සිංදු. එයා ඒ පැය කීපය ඇතුළත මාත් එක්ක ෂෙයාර් කරන්නෙ මොනවද කියන එක. ඒක තමයි කතාකරුවාගේ ආත්මය. අන්න ඒ ආත්මය කොයිතරම් බියගුළුද, නිර්භීතද, සාම්ප්‍රදායිකද, පෙරලිකාරද කියන එක මට වැදගත්.

    රටක දේශපාලන සමාජ වෙනස්කම් ඒ රටේ මිනිස්සුන්ගෙ ජීවිතේ නිරුවත් මොහොත ඇතුලෙදි නිරූපනය වෙන හැටි මට දකින්න ඕන වෙනවා. ඒ මිනිස්සු ගැහැණුන්ට සළකන හැටි, වෙනත් ලිංගිකයන් එක්ක ගනුදෙනු කරන හැටි, කවුරුවත්ම නැති වෙලාවක ඒ අය කරන දේවල්, ඒ අයගෙ ආශාව වැඩ කරන විදිහ, ආදරය, අනුරාගය, තහංචිය ගැන මට දැනගන්න ඕන. මං ලිංගික සංස්කෘතිය කියන්නෙ ඒකට.

    එතනදි මොහාන් රාජ් මඩවල ඒ පරපුරේ අපේ රටේ පුරුකක්. මං මොහාන්ව අඳුරගන්නෙ බෝදිලිමා පොතෙන්. ඒ පොතේ ඉඳන්ම මොහාන් පෙන්නුවා තමන් හොයාගෙන යන්නෙ මේ ආශා ස්කන්ධයේ ගැඹුර කියන එක. එයා ඊට පස්සෙ ඉතිහාස පොත් පෙළක් ලිව්වා. ඉතිහාස පොත් ලියන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ෆැක්ට්ස් මතු කරන්න ලියන එක. අනික ලයිෆ් මතු කරන්න ලියන එක. දෙවෙනි එකේදි කෙනෙක් අර ඓතිහාසික කාරණය මිනිස්සුන්ගෙ නිදි යහන දක්වා අරන් එන්න ඕන. පොදු ඉතිහාසයේ පුද්ගලික මොහොත හොයාගෙන යන්න ඕන. මොහාන් ඒ දෙවෙනි වර්ගයේ ලේඛකයෙක්. ඓතිහාසික කාරණා ගැන වගේ වගක් නැති වුනු පුංචි මිනිස්සුන්ගෙ සරම අස්සට ඒවායින් කරපු බලපෑම මොහාන් ලියනවා.

    එයාගෙ අලුත්ම පොත තමයි අයිඩී. වෙන විදිහකට කිව්වොත් අනන්‍යතාවය. මේක මොහාන් ලියන්නෙ නූතන පරම්පරාව ගැන. හරියටම 77න් පස්සෙ උපන් අපි ගැන. 77 ඉඳන් 2021 වෙනකල් ලංකාවෙ ආදරයේ සහ ලිංගිකත්වයේ පරිණාමය අයිඩී ඇතුලෙ තියෙනවා කියලයි මං කියන්නෙ.
    අයිඩී ඇතුලෙ කියන්නෙ කොළඹ කතාවක්. ඒක පටන් ගන්නෙ මිනිමැරුමකින්. ඉවර වෙන්නෙ සියදිවි නසාගැනීමකින්. කෙලවර වෙන්නෙ මැරුණු කෙනෙක් නැති තැනකින්. ඒක දිගහැරෙන්නෙ පරිච්ඡේද කීපයක් විදිහට.

    කතාවෙ පටන් ගැන්ම චිත්‍රපටියක් වගේ. එහාට මෙහාට කැපෙන දර්ශන එක්ක හොලිවුඩ් ක්‍රමේට මුල් විනාඩි දහය ඇතුලෙ මොහාන් ඉන්සයිටින් ඉන්සිඩන්ට් එක ගේනවා. ඒක චරිත සහ පරිසරය එක්ක කරන විශිෂ්ට රූපමය ගොඩනැංවීමක්.

    වර්තමාන කතාවෙන් පටන් අරන් අපි යනවා අතීත කතාවට. ඒ 77ට කලින් පරම්පරාව. කලුසුදු චිත්‍රපටවලින් ජීවිතය නිර්මාණය කරපු යුගය. මොහාන් ඒකට කියන්නෙ විජය මාලිනී යුගය කියල. ඒ කලුසුදු තිරය තමයි පරමාදර්ශය. පරමානන්දය. විජය මාලිනී ජනප්‍රිය ප්‍රේමය තමයි ප්ලෙතෝනික ප්‍රේමය.

    මේ පරිච්ඡේදය එක විදිහකට විජය මාලිනී හොමේජ් එකක් නැත්තං ප්‍රණාමයක් කියලයි මට හිතෙන්නෙ. ඒ තිරයේ පෙම්වතුන් ඇත්ත පෙම්වතුන් බවට රූපාන්තරණය වෙනවා. ඒ අය තමන්ගෙ ඇත්ත නම් අත්ඇරලා තිරයේ නම්වලින් ජීවත් වෙන්න ගන්නවා. ඇත්ත ජීවිතේ තියෙන්නෙ මහ පොලොවෙ නෙමෙයි කලුසුදු තිරය උඩයි කියල විශ්වාස කරනවා. මේ ජනප්‍රිය තිරයේ වීරයන් විසින් ඇත්ත පොලොවේ වීරයන්ට වඩා මිනිස් සදාචාරයක් නිර්මාණය කරනවා. කලු ජූලියේ කඩ කඩන්න කතා කළාට අපේ කතාවෙ විජයට ආදරය කරන විජය ඒක ප්‍රතික්‍ෂේප කරනවා. එයා කල්පනා කරන්නෙ තිරයේ විජය කිසි දවසක එහෙම දෙයක් කරයිද කියල. සිංහලයේ ඓතිහාසික වීර උරුමයට වඩා ආදරෙන් අපේ කතාවෙ විජය ජනප්‍රිය තිරයේ ප්‍රබන්ධිත මනුස්ස උරුමය වීරත්වයකින් වැළඳගන්නවා.ඇත්ත ජීවිතය විසින් මේ අපේ කතාවෙ විජය සහ මාලනීට තිරයේ දකින පරමාදර්ශී ජීවිතය බොහෝ දුරට අහිමි කරනවා. ඒ දෙන්නා පොලොවෙදි අනියම් පෙම්වතුන්. විජය බැඳපු තවත් පවුලක් මහනුවර ඉන්නවා. ඒත් මේ රාජගිරියේ ඔබේසේකර පුර ප්‍රේමයට කසාදය කියන්නෙ බාධාවක් නෙමෙයි. නීතිමය ප්‍රේමයට බැහැර විජයගේ රොමාන්තික ප්‍රේමය විසින් ඇත්තටම කසාද ප්‍රේමයටත් හුස්ම පිඹිනවා. කසාද ගෑනිගෙ ඇඳුම් විලාසිතා නිර්මාණය වෙන්නෙ අනියම් පෙම්වතිය අතින් ආදරෙන් සහ ගෞරවයෙන්. සම්මතය නොතකා ආදරය කරන පන්නරය තිරයේ පෙම්වතුන් විසින් උන්ට දීලා තියෙනවා.

    ගොඩක් වෙලාවට අපි කතාවට කියන දෙයක් තමයි 88-89 කාලෙ කොල්ලො කෙල්ලො නන්දා මාලනී වෙනුවට මරියසෙල් ඇහුවා නම් ඔය විදිහට මැරුම් කන එකක් නෑ කියල. ඒක සරලමතික කතාවක් වුනත් ලොකු ඇත්තක්. ඒ ජනප්‍රිය ධාරාව විසින් ලංකාවේ සාම්ප්‍රදායික ග්‍රාමීය වටිනාකම් මත පදනම් වූ වාමාංශික දේශපාලනයට බැහැරින් නාගරික නිදහස් ජීවිතයක ලිබරල් වටිනාකම් පද්ධතියක් හුරුකරමින් තිබුන.

    රාජගිරියෙ කඩයප්පං කඩේකදි අහම්බෙන් මුනගැහෙන පිරිමියෙක් එක්ක සෙක්ස් කරන ගෑනියෙකුගෙ බඩට දරුවෙක් ආවම අපිට සාහිත්‍ය විසින් නිර්මාණය කරලා දුන්න යතාර්ථයක් තියෙනවා. ඒ තමයි පිරිමියා අතුරුදන් වීම. ඒත් මොහාන් තමන්ගෙ කතාවෙදි ඒ ග්‍රාමීය චින්තාව වෙනස් කරනවා. අනියම් ප්‍රේමයේදි ලබන නිදහස ඇතුලෙ පිරිමියාට එකක් තෝරාගැනීමේ බලහත්කාරය නැති වෙනවා. ඒ කොළඹ පෙම්වතිය මාලිනී පිරිමියාගෙන් රැකෙන්න බලන් ඉන්න එකියක් නෙමෙයි.

    මොහාන් පොඩි චරිත වුනත් මතක හිටින ලකුණු ඇතුව නිර්මාණය කරනවා. පොලිස් ස්ථානාධිපති කෙනෙක් ඉන්නවා කිසි තේරුමක් නැතුව වහුතු කියන වචනෙ විසිකරන. ඒක ඒ ස්ථානාධිපතිවරයාගෙ ජීවිතේ ඇතුලෙන් තමන්ටම කියවෙන වචනයක් වගේ එකක්. මේ චරිතෙ ගොඩනැංවීම මං හරි සියුම් වැඩක් විදිහට දකිනවා. නීතියේ මුහුණුවර විදිහට අරගෙන මොහාන්ට තිබුන ලේසියෙන්ම ඒ චරිතෙ කුණු ගොඩක් කරන්න. ඒත් මොහාන් ඒක කරලා තියෙන විදිහෙන් ඒ කුණු වුනු සිස්ටම් එකේ ගිලෙන නමුත් ඒ කුණු ගඳ දැනෙන එකෙකුගේ තත්වයක් මතුවෙනවා. ඒක ඒ පොලිස් ස්ථානාධිපති ආස්වාද කරන ජීවිතයක් නෙමෙයි. ඒක වහුතු ලෝකෙක වහුතු වැඩක් කරමින් ඉන්න තමන් ගැන ඇතිවෙන වහුතු හැඟීමක් වගේ එකක්.

    ඒ වගේම කතාව පුරාම අරගෙන යන හාස්‍යමය ටෝන් එකක් තියෙනවා. ත්‍රිලර් ජොන්රා එකේ කතාවක් වුනත් ඒකෙ භයානක දේවල් කොමඩි විදිහට සිද්ද වෙනවා. හරිම සිත්ගන්නාසුලු විදිහට මතුවෙන මැජිකල් රියලිසම් ලකුණු මොහාන්ගෙ කතාවල කොහොමත් හුරුපුරුදුයි. ඒ වගේ අමතක නොවෙන තැන් කීපයක්ම අයිඩී ඇතුලෙ තියෙනවා.

    අසූ ගනංවල රේඩියෝවෙ අසන්නන්ගේ ඉල්ලීම් යන කාලෙ. පෝස්ට් කාඩ් යවලා නම කියවනකල් රේඩියෝ ඉස්සරහ බලන් ඉන්න සුවහසක් රසික රසිකාවියො. අවුරුදු ගානක් පෝස්ට් කාඩ් යවලත් නම කියවුනේ නැති පද්මිනීගේ නම එක දවසක් රෑක ගුවන්තලයට මුදාහරිනවා. නම කියවෙද්දිම ලයිට් යනවා. ඒ නම කිව්වද නැද්ද කියලවත් නිශ්චිත නැති වෙනවා. ඒ ලයිට් යන ඇසිල්ලෙ පද්මිනීගෙ පීඩොෆයිල් ප්‍රේමයක් දැල්වෙනවා.

    මොහාන් මේ පද්මිනී කියන අවුරුදු විසි තුනක විතර කෙල්ල එක්ක වෙනම කතන්දරයක් කියනවා. එයා ආදරේ කරන්නෙ ඒ වෙද්දි අවුරුදු දහයක අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන සම්පත්ට. ඒ ආදරේ තියෙන්නෙ ලයිට් ගියාම විතරයි. තමන්ගෙ නිරුවත් පියයුරුවලින් සම්පත්ව හුස්ම හිරවෙන තරමට තෙරපගෙන ඉන්න එකයි පද්මිනීගේ ආස්වාදය. ඒක පුංචි සම්පත්ගෙයි පද්මිනීගෙයි රහසක්.

    මේ පීඩොෆයිල් කතාවෙ වයස වැඩි චරිතය පිරිමියෙක් වුනා නම් මේක ලේසියෙන්ම බලහත්කාරයක් වෙන්න තිබුන. ඒත් කතාවෙ ස්ත්‍රී පුරුෂ පැත්ත මාරු වුනාම මේකෙ බලහත්කාරය දැනෙන්නෙ සම්පත්ගෙ අම්මා මාලිනීට විතරයි. කියවන අපිට ඒක හුරතල් ප්‍රේමයක් වෙනවා.

    පද්මිනී වයසින් වැඩෙන ප්‍රේමයකට කැමති නෑ. එයා පූසෙක් හැදුවත් හදන්නෙ මාස තුනයි. ලොකු වුනාම ඌව අයින් කරනවා. ඒ පූස් පැටියෙක් තුරුල් කරගෙන ඉන්න විදිහටම තමයි පද්මිනීට පුංචි සම්පත්ව දැනෙන්නෙ. පීඩොෆීලියාවෙ බලහත්කාරය දූෂනය කියන අර්ථගැන්වීමට පිටින් පවතින ආදරයේ මොහොතක් මොහාන් සලකුණු කරනවා.

    මාලිනී විශ්වාස කරන්නෙ ඇත්ත ආදරේ කලුසුදුයි කියල. කලර් ෆිල්ම්වල ඇත්ත ප්‍රේමය නෑ කියල. ඒක තමයි විවෘත ආර්තිකයෙ සංස්කෘතික කම්පනය. තමන් විශ්වාස කළ මොකක්දෝ ඇත්තක් එතනින් එහාට නැති වෙනවා. මොකක් හරි මිස් වුනා වගේ හැඟීමක් තියෙනවා. මාලනීගේ පෙම්වතා විජය ප්‍රේමදාසට වැඩ කරනවා. විජයගේ පරමාදර්ශය වුනු විජය කුමාරතුංග යූඇන්පියෙන් හිරේ දානවා. ප්‍රේමදාසගෙන් කොන්ත්‍රාත් වැඩ ගන්න අපේ රසික විජය, හිරේ ඉන්නෙ විජය වගේ රැවුල වවනවා. නැක්සලයිට් කට් එක.

    සම්පත් තමයි අපේ පරම්පරාව. පද්මිනීලගෙ ළැමට හුස්ම හිරවුනු පරම්පරාව. අපි ඉස්කෝලෙ කාලෙ අපි නිල් පත්තර බලපු හැටි, මරදානෙ බ්ලූ ෆිල්ම් බලපු හැටි, බි්‍රස්ටල් බීපු හැටි, හොරෙන් අරක්කු තොලගාපු හැටි අපේ අයිඩී එක විදිහට මොහාන් ලියනවා. ඒ අතරෙ කෙල්ලො දැක්කම කකුල් වෙවුලන ගතිය පවා තියෙනවා. ගැහැණුන්ට බය පිරිමි පරපුරක් 77න් පස්සෙ ආවා කියන එකත් ගැහැණු ලිංගිකව ශක්තිමත් වුනා කියන එකත් මේ පරම්පරාවෙ කතාව ඇතුලෙ සළකුණු වෙනවා.

    සම්පත් එයාගෙ තැපැල් කන්තෝරුවෙ වැඩ කරන, නිදහස් ලිංගික ජීවිතයක් ගත කරන මංගලාව කසාද බඳිනවා. ඒත් මංගලා කියන්නෙ සම්පත්ගෙ යාලුවෙක් විතරයි. කසාදය කියන්නෙ එයාගෙ අම්මා මාලිනීව අස්වැසීමක් විතරයි. ඒත් මේ සම්පත් මංගලා ප්‍රේමය ඇතුලෙ අපිට ග්‍රීකයො කතා කරන ෆීලියා වර්ගයේ ආදරයක් මුනගැහෙනවා. අනුරාගයෙන් තොරව මිත්‍රත්වයෙන් ගැඹුරට ගිය නිදහස් ප්‍රේමයක ආකෘතියක් එතන තියෙනවා. කසාදය තවදුරටත් තමන්ගේ අවශ්‍යතාවයක් නොවුනු පරම්පරාවක උපතත් එතන තියෙනවා.

    තැපැල් කන්තෝරුවෙදි අහම්බෙන් මුනගැහෙන, මහත්තයා රට ඉන්න දිලිනි එක්ක සම්පත්ගෙ ප්‍රේමය තනිකරම රාගී එකක්. නැවත හුස්ම හිරවෙන අන්ධකාරය ඇතුලට සමවදින ඊරොස් වර්ගයේ ප්‍රේමයක්. ඒ ප්‍රේමය එතනින් උමතු ප්‍රේමයක් නැත්තං මේනියා එකක් දක්වා දුරදිග යනවා. සම්පත්ට දිලිනිව අමතක කරන්න බැරි වෙනවා. ඒ ප්‍රේමයෙන් රෝගාතුර වෙනවා. කොටින්ම මේ අනුරාගී ප්‍රේමයේ බිඳවැටීමෙන් සම්පත් මිය යනවා.

    කවීෂ ඉපදෙන්නෙ එතනින්. කවීෂ කියන්නෙ ඔන්ලයින් ලෝකය එක්ක ගනුදෙනු කරන වර්චුවල් යුගය. සම්පත්ලා ඔන්ලයින් එද්දි කවීෂලා වෙනවා. ෆේස්බුක් යුගයෙදි අනන්‍යතාවය අහෝසි වෙනවා. අපේ සැබෑ අනන්‍යතාවයට වඩා වර්චුවල් අනන්‍යතාවය සැබෑ වෙනවා. ඒ වගේම ඕනතරමක් අනන්‍යතාවයන් එක විට පැවතිය හැකි වෙනවා. ඔරිජිනල් කොපියක් කවුරුවත් හොයන්නෙ නැති යුගයක්.

    ඉස්සර ලොකු තිරයෙ විජේගෙන් පොලොවෙ ඉන්න සිය දහසක් විජයලා රූපාන්තරණය වෙද්දි දැන් පොලොවෙ පුංචි ස්ක්‍රීන් ඉස්සරහ ඉන්න කවීෂලාගෙන් ඕන තරමක් එකිනෙකට වෙනස් වර්චුවල් ප්‍රතිරූප මැවෙනවා. පැවතීමට අවශ්‍ය එකම සාධකය වෙන්නෙ ෆේස්බුක් මිතුරන් ඉන්න එක විතරයි.

    මිතුරන් පවතින නිසා මම පවතිමි කියන එකයි සකර්බර්ගියානු තියරිය.

    කවීෂලාගෙ පරම්පරාවට එද්දි ශරීරය වෙනුවට ස්ක්‍රීන් එක මාරු වෙනවා. ස්පර්ශය තව දුරටත් හමෙන් දැනෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඇසීමෙන් සහ දැකීමෙන් ස්පර්ශය පරදන තරම් පහසක් ලබන්න පුළුවන් වෙනවා. වර්චුවල් අනුරාගය ඉස්සරහ සැබෑ ශරීර අනුරාගය පරදිනවා. මේ වර්චුවල් පරපුරේ අමුතු සුබපැතීමක් තියෙනවා.
    ගුඩ් නයිට්. බුදු සරණයි.

    මොහොතකට කලින් කැමරා කාච ඉදිරියේ නිරුවත්ව කළ දීර්ඝ රමණයකින් පස්සෙ ඒ ගොල්ලො එකිනෙකාට සුබපතන්නෙ එහෙමයි. මහින්ද යුගය වෙද්දි ආශාව පවා බෞද්ධ වෙනවා. කිසි ආධ්‍යාත්මික තේරුමකින් තොරව හිස් ආගමික හැඟීමක් මේ පරපුරේ ජීවිතයම ආක්‍රමණය කරනවා. මේ තමයි මහින්ද යුගය. නැවත බුදු දහම ලක්දිවට වැඩි සමය. මේ පරපුර අද දක්වා දිගුව ඇවිත් අවුරුදු පහලොවක දැරියක් අපයෝජනයෙන් පස්සෙත් ඒ ගොල්ලො බුදු සරණයි කියනවා. මේ වෙද්දි බුදු දහමේ පවා ඔරිජිනල් කොපිය අතුරුදන්. කාටවත් ඒක වැඩක් නෑ.

    කවීෂ ප්‍රේමයෙන් වෙළෙන්නෙ දිලිනිගෙ දුවත් එක්ක. දිලිනි කියන්නෙ වර්චුවල් කවීෂගෙ ඕෆ්ලයින් පැවැත්ම වුනු සම්පත්ගේ උන්මත්තක ප්‍රේමය. මව සහ දුව කියන දෙන්නා එක්කම යහන්ගත වෙන පෙම්වතෙක් නිර්මාණය වෙනවා. මේක එක විදිහකට ඉන්සෙස්ට් ප්‍රේමයක්. ඒත් මොහාන් කතාවට එන්නෙ පෙම්වතාගෙ පැත්තෙන් මිස සදාචාරය පැත්තෙන් නෙමෙයි. අපි දකින්නෙ සම්පත්ගෙ හිතේ තියෙන සදා නොමැකෙන දිලිනි පිළිබඳ භක්තිවන්ත ප්‍රේමයමයි. එයාගෙ දුව වුනු නදී ආකර්ශා තුලිනුත් කවීෂ යළි ඉපදී ඇවිත් හොයන්නෙ දිලිනිමයි.

    මේ කිසි සම්බන්ධයක් ඇතුලෙදි මොහාන් වරදකාරීත්වයක් අරගෙන එන්නෙ නෑ. මේ චරිත කොයිතරම් අසම්මත තහනම් ප්‍රේම කලාපයන් මතින් ගියත් ඒ අය කරන්නෙ වරදක් කියන සදාචාර හැඟීමෙන් පෙළෙන දුර්වලයින් අයිඩී පොතේ නෑ. ඒ වෙනුවට තමන් ආශා කරන දේ ඒ අය හඹාගෙන යනවා. අත්පත් කරගැනීම් සහ අහිමිවීම් අතර සැනහෙනවා. මේ විදිහෙ වරදකාරීත්වයක් මතුකරන එකම තැන වෙන්නෙ දිලිනිගේ මරණය විතරයි. නැවත සාම්ප්‍රදායික පවුල ඇතුලට ගිය දිලිනි ආපහු නදීගෙ ලෝකෙදි සම්පත්ට මුනගැහෙන්නෙ අම්මා කෙනෙක් විදිහට. ඉස්සර තමන්ව තාප්පෙට තද කරගන්න රාගයෙන් මුසපත් ගැහැණිය විදිහට නෙමෙයි. මාලිනීට පද්මිනීගේ ආදරය වෙනුවට අපචාරයක් පෙනුනා වගේම දිලිනිට කවීෂගෙ ආදරය වෙනුවට දරාගත නොහැකි අපචාරයක් පේන්න ගන්නවා. ඇය ඒ සදාචාරය වෙනුවෙන් දිවි නසාගන්නවා.

    ඒත් මරණයට මොහොතකට පෙර ඇය නැවත සම්පත්ගේ ප්‍රේමය සිහිකැඳවනවා.

    මේ පොත පුරාම ඉන්න ගැහැණු ශක්තිමත්. ඒ අය තමන් කැමති හැමදෙයක්ම කරනවා. පිරිමින්ව පොළඹවාගන්නවා. ඕන වෙලාවට අතෑරලා දානවා. ඇත්තටම පොතේ පිරිමි සෑහෙන දුර්වලයි. මොහාන් චරිත ගොඩනැංවීමේදී ස්ත්‍රීවාදී නැඹුරුවක් අරගෙන තියෙනවා. නිදහස හොයන, යටහත් නොවෙන, පිරිමි උස්සලා පොලොවෙ ගහන ගෑනු තමයි අයිඩී පොතේ ඉන්නෙ. පරණ ගැහැණියගේ අනන්‍යතාවය මාරු වෙලා තියෙනවා.

    ඒ වගේම මොනොගමික පවුලට විරුද්ධවත් මොහාන්ගෙ චරිත සටන් කරනවා. පැවතිය හැකි විවිධාකාර සම්බන්ධතා රටාවන් මතු කරනවා. සාම්ප්‍රදායික පවුල හැමවිටම අසමත් තැනක් වෙනවා. ආශාව පවතින්නෙ ඊට පිටතින් . ඉතිහාසයක් පුරා දරාගත් පවුලේ බරෙන් මිනිස්සු නිදහස් වෙන කාලයක් විදිහට මොහාන් මේ පරිච්ඡේදය සළකුණු කරනවා.

    සැබෑ පෙම්වතුන් වෙසෙන්නේ එක ඇඳක එක නිවසක නොවේ. ඔවුන් ඉන්නෙ සමහර විට ග්‍රහලෝක දෙකක කියල මොහාන් කියනවා.

    ව්‍යභිචාරී ප්‍රේමයේ ඛේදවාචකයෙන් කවීෂ කම්පනය වෙනවා. එයාව මරාගෙන අර බුදු සරණයි කොටන දහම් මතුවෙනවා. දහම් සදාචාරයේ සිංහල බෞද්ධකමේ නියෝජිතයෙක් වෙනවා. ප්‍රේමයෙන් පරාජිත වෙලා දහම හොයාගෙන යන අතීත මොඩලය මේ වෙද්දි පවතින්නෙ නෑ. දහම වෙනුවට ව්‍යාපාරික මහණුන් පිරිසක් තමයි ඉන්නෙ. ඒ අය වහුතු පොලිසිය එක්ක ළඟින් වහුතු සදාචාරය ආරක්ෂා කරන්න කැපවෙනවා. මේ පොලිසියේ සදාචාර ආතතිය එක තැනක ලස්සනට මතුවෙනවා.

    ගෙදර පරීක්ෂා කරන්න එන පොලිස් නිලධාරිනියො නදීගේ බ්‍රා ඇද ඇද බලන අතර ඒවා ඉරනවා. පියයුරු වහන්න මේ තරම් සුකුරුත්තං මොකටද කියල ඉරිසියා කරනවා. ඒ ඉරිසියාව සදාචාර නීතියේ වේශයෙන් ඇවිත් මිනිස්සුන්ගෙ නිදහසට කෙලිනවා.

    දහම හොයාගෙන යන දහම්ට වෙන්නෙත් දිවි නසාගන්න. දහම තරම් කෙළෙසුනු බිමක් තවත් නැති වෙනවා. ඒ තමයි 2021 ලංකාව. දහම් දිවිනසාගත්තට පස්සෙ කවීෂ ආපහු ඉපදෙනවා. ඒ කවීෂ පිටිපස්සෙ දහම් ඉන්නවද, සම්පත් ඉන්නවද, ඒ කවුරුවත්ම නැද්ද කියල අපි දන්නෙ නෑ. ඒත් නදී එක්ක තිබුනු ආදරය විතරක් තියෙනවා. අනන්‍යතාවය නැති වුනත් ආදරය තිබුනම මදිද?

    පොතේ ආරම්භයේදී තියෙන කතාව විසිරුවා හකුළුවා ගන්න ප්‍රාතිහාර්යමය ගතිය මැද හරියෙදි තරමක් ගිලිහෙනවා කියල මට හිතුන. අන්තර්ජාල යුගයත් එක්ක අපි කතාව ඇතුලෙ දකින ලෝකය පටුවේගෙන යනවා. සම්බන්ධතා කීපයකට විතරක් සීමා වෙනවා. ඒ හින්දම විජය මාලිනී කතාව තරම් විසිරුනු පැතිරුනු සෞන්දර්යයක් අපිට අහිමි වෙනවා කියල මට දැනුන. එහෙම වෙද්දි ඒ චරිත වෙනුවට සිදුවීම් මූලික වෙන්න ගන්නවා. වාර්තාමය තැනකට එනවා.

    අයිඩී කියන්නෙ තව පැත්තකින් මොහාන්ගෙ අයිඩී එක මාරුවෙන තැනකුත් වෙනවා. මෙච්චර කාලයක් අතීතයේ ඉතිහාසය ලියමින් හිටපු මොහාන් වර්තමානයේ ඉතිහාසය ලියන්න පටන්ගන්නවා. එයා ඒකට තෝර ගන්නෙ ස්ක්‍රීන් එකේ වෙනස් වීම. ලොකු තිරය උඩ ඉඳන් අපේ අත උඩ තිරය දක්වා ලංකාවේ ජීවිතය පැමිනීමේ කතාව අයිඩී කියල ලියනවා. අපි විසින් නරඹන ලොකු තිරය වෙනුවට එකවිට අපි සහ අපිව නරඹන තිරය දක්වා ගමෙනදි අපේ ආදරයේ සහ අපේ අනුරාගයේ අනන්‍යතාවය මාරු වීම ත්‍රිලර් එකක්ද නැත්තං ඇඬෙන කොමඩියක්ද කියල මොහාන් අහනවා.


    Chinthana Dharmadasa

  • දැරිය දවාලූ ගින්දර කාගෙද?

    දැරිය දවාලූ ගින්දර කාගෙද?

    ලංකාවෙ එක ළඟ එක ලිංගික අර්බුද තුනක් ඉස්මතු වුනා. සෙක්ස් චැට් එකක බලහත්කාරය කියන උපරි ව්‍යුහයේ තැනකින් පටන් ගත්ත අසහනය ඇවිලිලා ගිහින් බදුර්දීන්ගෙ ගෙදර දැරියක් දවා පුළුස්සා මරා දැම්මා. ඒක හරිම අයිරොනිකල්. ගින්දර කියන්නෙම මනෝවිශ්ලේෂනයට අනුව සෙක්ස්. තහනම් වූ ආශාවන්. බූමිතෙල් හලාගෙන ගිනි තියාගත් ඇගේ ශරීරය ලිංගිකව අතවරයට ලක්වී තිබුන.

    මුලින්ම රාත්‍රියේ තොන්ග් එක පෙන්නන තැනින්, දාර්ශනිකත්වයේ බලහත්කාරයෙන් ඇරඹුන සංවාදය ඊට පස්සෙ පහලොස් හැවිරිදි දැරියක් අපයෝජනය කළ ලැයිස්තුවකින් වැහුන. ඒ අපයෝජන ලැයිස්තුව ගිනිබත් කරමින් තවත් ඒ වයසෙම දැරියක් අතවරයට ලක්වී දිවි නසාගත්තා.

    සදාචාරය සහ නීතිය පැත්තකින් තිබ්බොත් පෙර සිදුවීමේ දැරියට නිදහසක්, තෝරා ගැනීමක් තිබුන. ඇයට වෘත්තීයභාවයක් තිබුන. ආරක්ෂාවක් තිබුන. වරද තිබුනෙ නීතියෙන් තහනම් වයසක් වුනු එකයි. ඇයව ගිනි තියාගන්න තත්වයට පත් කරන්නෙ, ලෝකාපවාදයට ලක් කරන්නෙ සදාචාර නීතියේ මැදිහත්වීම විසිනුයි. ඇය සමග යහන්ගත වූ පිරිමින් ගනං කරමින් ඇයව ගල් ගසා මරාදැමීමට යෝජනා කරමින් සිටි සදාචාරවාදීන්ගේ රෙද්ද ගැලවී යන මොහොත දැන් උදාවෙලා තියෙනවා. සැබෑ අපරාධය යනු කුමක්ද යන ප්‍රශ්නය ගිනි ගත් පහලොස් හැවිරිදි දරියකගේ සිරුරක් විලාසයෙන් සදාචාරය මත්තට කඩාපැනලා තියෙනවා.

    මේ දෙවෙනි දැරියට තෝරා ගැනීමක් නෑ. ඇයට නිදහසක් තිබිලා නෑ. ඇයට කිසිදු ආරක්ෂාවක් තිබිලා නෑ. ඇය කිසිදු වෘත්තීමයභාවයකින් තොරව බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාරියක් විදිහට ඉඳලා තියෙනවා. ඇයට මාසෙකට රුපියල් විසිදාහක් ගෙව්වා කියනවා. පළමු ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වූ දැරිය එක වරකට රුපියල් විසිදාහක මුදලක් අය කළ වගක් කියවුනා.

    මුලින්ම මෙහෙකාර දැරියක් ගිනි තියාගත්තා කියන ප්‍රවෘත්තිය පළවුනා. ඒ ගැන කිසි කෙනෙකුට ඒ තරම් ගානක් තිබුනෙ නෑ. හරියට මෙහෙකාර දැරියන් ගිනි තියාගැනීම සාමාන්‍යයක් වගේ තත්වයක් තිබුනෙ. ඊළඟට ඇය ලිංගික අතවරයට ලක්ව සිටි වග හෙළිදරව් වුනා. ඒකෙන් ඒක ප්‍රවෘත්තියක තත්වය ලබාගත්තා. හැබැයි කලින් දැරිය වගේ මේ සිද්දිය තලුමරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. දුප්පත්කමත්, බලහත්කාරයත්, ඒවාට ජීවිතයෙන් විරෝධය පාමින් දැවී පිළිස්සී ගිය සිරුරකුත් විතරයි ඉස්සරහ තියෙන්නෙ. ප්‍රශ්නය ඇත්තටම පවතින තැන අමුවෙන් පුළුටු ගඳ විහිදුවමින් තියෙනවා.

    මේ සම වයස් දැරියන් දෙන්නාගේ කතාව පුදුමසහගත රූපකමය අර්ථයක් දරනවා. එක්කෙනෙක් සිංහල. අනෙකා දෙමළ. එක්කෙනෙක් අපේ සමාජයේ සදාචාර බහුතරය විසින් යෝජනා කරන පරිදි ඇඟ විකුණන්නෙ නැතුව ශ්‍රමය විකුණන්න බංගලාවට එනවා. මිළක් නැතුවම අවශ්‍ය විටෙක ශරීරය සම්පාදනය කරන්න ඇයට සිද්ද වෙනවා. අන්තිමට ඒ ආත්ම ගෞරවය පිළිබඳ කාලකණ්ණි සමාජ බලහත්කාරය විසින් ඇයව ගිනි තියාගෙන මැරෙන තැනකට පත් කරනවා.

    අනෙක් දැරිය ඒ වෙනුවට සදාචාරයට බම්බු ගහගන්න කියල මුදලට යහන්ගත වීම තෝරගන්නවා. ඇය කිසිම අර්බුදයකින් තොරව මවගේද උදව් ඇතුව යම් ආර්ථිකයක් එයින් උපයාගන්නවා. සමාජයේ ඉහළම ස්ථරවල විවිධ අය ඇයට මුදල් ගෙවා ඇගේ පහස ලබාගන්නවා. එතනදි නීතිය ප්‍රචන්ඩ විදිහට කඩා පනිමින් ඇයව සමාජයක් ඉදිරියේ නිරුවත් කරනවා. ඇය ගිනි තියාගෙන මැරෙන්නෙ නැත්තෙ ඇයි කියල සදාචාරවාදියො ප්‍රශ්න කරනවා.

    මෙතනදි සදාචාරයේ ආශීර්වාදය ලබමින් අඩු වයසින් ගෙදරක මෙහෙකාර සේවයට ගිය දැරියට වඩා සදාචාරය නොතකා හරිමින් ලිංගික ශ්‍රමිකයෙක් ලෙස මුදල් ඉපැයීම තෝරාගත් දැරිය ප්‍රගතිශීලියි. පීඩිත බවේ පතුලේ ඉඳන් සදාචාරය රකින්න යාමෙන් වෙන කෙනෙකුගේ අපචාරයේ ගොදුරක් වෙනවාට වඩා දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඇත්තටම මේ පොදු සදාචාරයේ කාර්යය වෙන්නෙ ඒ ගොදුරු නිර්මාණය කරන එකයි. තෝරගන්න තියෙන්නෙ තමන්ගේ නිරුවතෙහි බලය තමන්ගෙ අතට ගන්නවද නැත්තං ඒක වෙන කෙනෙකුට පාවා දෙනවද කියල විතරයි.

    සෙක්ස්ට් එකක්, වර්චුවල් අකුරු පෙළක් මගින් කළ හැකි බලහත්කාරය ගැන සංවාදයක් එක තැනක යද්දි ඊට යටිතලයෙ තියෙන්නෙ ගිනි තියාගෙන මැරෙන තරමෙ අපචාරී සංස්කෘතියක්. හැබැයි ඒ සෙක්ස්ට් එකේ ඉඳන් මෙතන ගිනි තියාගැනීම දක්වාම පවතින එක හේතුවක් තියෙනවා. ඒ තමයි යටපත් කළ ලිංගික ආතතිය. සදාචාරය කියල අපි කතා කරන මිත්‍යාව. ඒ ආතතිය නිදහස් කිරීමට ඇති සියලු කවුළු වසා දමමින් අපි කරන්නෙ බලහත්කාරය ආරක්ෂා කරන එකයි. රාත්‍රියේ චැට් කවුළුවකින් දාර්ශනිකයෙක් විදිහට, ගෙදරක කාමරේ දොරෙන් තාත්තා කෙනෙක් විදිහට, පන්සලේ ආවාසෙදි හාමුදුරු කෙනෙක් විදිහට, රෑක කාමරේට ගෙදර හාමු විදිහට මේ බලහත්කාරය එබිකම් කරන්න පුළුවන්.පීඩිතයන්ගේ ශරීර පුළුස්සා දමමින් ඒ යටපත් කළ බිහිසුණු ආශාව ඇවිලී යනවා. මෙතනදි ඇත්තටම ඒ ආශාවත් අපහරණයට ලක්වෙලයි තියෙන්නෙ. නිරෝගී විදිහට විවෘතව ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න බැරි සමාජයක අපහරණයට ලක්වූ ආශාව සදාචාර නීතිය සහ සමාජ බලය කියන දෙයාකාරයෙන්ම පාපයක් විදිහට මෝචනය වෙනවා.

    මේ දැරියන් දෙදෙනාගේම ජීවිතවලට අපේ සදාචාරය වග කියන්න ඕන. දෙවෙනි දැරිය ගිනි තියාගන්නෙ ඒ සදාචාරයට මුහුණ දෙන්න බැරුව. පළවෙනි දැරියට ජීවත් වුනත් මළාක් වැනි තත්වයක් ඇති කරන්නෙත් ඒ සදාචාරයමයි. ඒ වගේම රාත්‍රී හුදකලාවෙ කෙල්ලෙක්ව බියපත් කරන බලහත්කාරී සෙක්ස්ට් එකක අනුරාගය නිර්මාණය කළෙත් ඒ සදාචාරයමයි.

  • හතේ අපේ පොත

    හතේ අපේ පොත

    හතේ අපේ පොත මුල්කරගෙන කෞෂාල් රණසිංහ සමීක්ෂණයක් කරලා තිබුන. ඒ ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ගැන. ඊට කලින් කෞෂාල් 2010-2015 අවුරුදු අතර ලංකාවෙ කාන්තා හිංසනය ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ අනුව අවුරුද්දට සාමාන්‍යයෙන් කාන්තා දූෂණ 1750ක් විතර මේ රටේ සිද්ද වෙනවා. අවුරුදු පහට ස්ත්‍රී දූෂණ 10,500ට වඩා සිද්ද වෙලා තියෙනවා. මේ දූෂන කියන්නෙ වාර්තා වෙන ඒවා විතරක්. අනිවාර්යෙන්ම වාර්තා නොවෙන දූෂන ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න ඕන. මොකද ඒ නිසා මුහුණදීමට සිදුවෙන අපවාදය, සමහර විට බලහත්කාරය, බය, නොදැනුවත්කම හින්ද අපේ වගේ රටක දූෂනයක් වාර්තා වෙන්නෙ අඩුවෙන්. කසාදය තුල සිදුවන දූෂන බොහෝ විට සාමාන්‍යයක් වශයෙන් බාරගන්න තත්වයකුයි තියෙන්නෙ.

    මේ වාර්තාවෙ ඊළඟට දැක්වෙනවා අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින් සමග කැමැත්තෙන් ලිංගිකව සම්බන්ධතා පැවැත්වීම් ගැන. ඒ කියන්නෙ ව්‍යවස්ථාපිත දූෂන. දැන් අවුරුදු 15 දැරියගෙ සිද්ධිය හා සමාන සිදුවීම්. මේ කාල පරිච්ඡේදය ඇතුලෙ ඒ වගේ සිදුවීම් 7891ක් සිද්ද වෙලා, වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුද්දකට අවුරුදු 16ට අඩු දැරියන් 1300ක් විතර මේ ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වෙනවා.

    ඊට පස්සෙ වයස අනුව මේ අතවරයට ලක්වෙන ගැහැණු ළමයින් දක්වලා තියෙනවා. අවුරුදු 15-16 වයසෙ ළමයින් 600ක් විතර අවුරුද්දට ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වෙනවා. 15-14 අතර 500ට ආසන්න ප්‍රමාණයකුත් අවුරුදු 13-14 ගැහැණු ළමයින් 200ට ආසන්න ප්‍රමාණයකුත් මේ විදිහට වාර්තා වෙලා තියෙනවා. වාසනාවකට මේ තත්වය වයස සීමාව පහළ බැසීමත් එක්ක පහත වැටෙනවා වුනත් අවුරුදු 10ට අඩු දැරිවියන් පවා 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් රටේ අවුරුද්දට දූෂණය වෙනවා.ස්ත්‍රී දූෂන සහ ව්‍යවස්ථාපිත දූෂන කියන අංශ දෙකෙන්ම වැඩිවීමේ ප්‍රවණතාවයක් තමයි 2010-2015 අවුරුදු වල පේන්න තියෙන්නෙ. මේ සිද්ධීන් පිළිබඳ සළකා බැලීමෙන් පස්සෙ 2015දි තීරණය කරනවා හතේ අපේ පොත ළමයින්ට ලබා දෙන්න.

    මේක ලංකාවෙ රජයකින් කරයි කියල කීයටවත් හිතාගන්න බැරි තරමෙ දියුණු වැඩක්. ප්‍රගතිශීලී වැඩක්. ලිංගික සෞඛ්‍යය පිළිබඳව පාඩමක් පොතට දැම්මා කියල කීයටවත් ඉස්කෝලෙ ගුරුවරියක් ඔය පාඩම විස්තරාත්මකව ළමයින්ට උගන්වන්නෙ නෑ. අපේ කාලෙදි නං ප්‍රජනනය පාඩම ඔයගොල්ලො ගෙදරදි කියවගන්න කියල ටීචර් නිකං හිටියා. මේ හින්දම හතේ අපේ පොත නිර්මාණය වෙන්නෙ ළමයි උනන්දුවෙන් කියවන රසයක් එක්ක. අපි පවා හොරෙන් වැඩිහිටි සඟරා හොයන් බලන මේ ගැටවර වයසෙදි හතේ අපේ පොත ඒ කුතුහලයට කතා කරනවා. ඒ කුතුහලය ඇතුලෙන් ලබා දිය යුතු දැනුම දෙනවා. වැදගත්ම කාරණය පොත පුරාම දකින්න තියෙන සෙක්ස් පොසිටිව් ඇටිටියුඩ් එක. කිසිම තැනක ඒක වරදකාරීබවක හෝ අධෛර්ය කළ යුතු පිළිවෙතක පිහිටුවා නැතිකම. ඒ පොත කියවද්දි ලංකාවෙ මේ විදිහට හිතන්න පුළුවන් අතලොස්සක් හෝ අධ්‍යාපනවේදීන් සිටීම ගැන ආඩම්බරයක් ඇතිවුනා.

    මේ පොත නව යොවුන් දරුවන්ට රාජිතයි, අඛිලයි, දේශීය වෛද්‍ය අමතා්‍යංශ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තෑග්ගක් විදිහට දුන්නා කියලයි පොතේ මුල් පිටුවෙ තියෙන්නෙ. ඒත් මේ පොත සම්පාදනය කිරීම පිටිපස්සෙ ඉන්න දැනුම බෙදන නිර්මාණශීලී පිරිසටයි වැඩි ගෞරවය හිමිවෙන්න ඕන.

    ඒ පිරිසගෙ නම් අන්තිම පිටුවෙ දාලා තියෙනවා. විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන සහ අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යක්‍ෂිකා රේනුකා පීරිස් කියන කාන්තාවන් දෙන්නා තමයි මගපෙන්වීම කරලා තියෙන්නෙ. ඒ අනුව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු බලපිටිය, වෛද්‍ය එස් වී ඒ ගාමිනී සමරවික්‍රම, වෛද්‍ය ජීවරංග ගුණසේකර කියන අය තමයි මේක ලියලා තියෙන්නෙ. මේ නිර්මාණශීලී මෙහෙවරට අදාල තවත් නම් ලැයිස්තුවක්ම එතන තියෙනවා.

    පොත පටන් ගන්නෙම මල්කි ඇවිත් හසුන්ට මේ පොත ගැන කියන තැනින්.
    “හසුන් අපිට මරු පොතක් හම්බුනානෙ.
    ඒ මොකක්ද?
    කියවලම බලන්නකො.. මං නං එක හුස්මට කියෙව්වා..”

    පොත පිරිමි ළමයෙකුට හඳුන්වා දෙන්නෙ ගැහැණු ළමයෙක් විසින්. ලිංගික විෂය ගැන කතා කිරීම තව දුරටත් පිරිමි ළමයින්ගෙ විතරක් වැඩක් නෙමෙයි. ඒවා ගැන දැනගන්න ගැහැණු ළමයිනුත් උනන්දුයි. දැනගෙන අනිත් ගෑණු ළමයි එක්ක රහස් කිය කිය ඉන්න නෙමෙයි. ඒ ගැන පිරිමි ළමයි එක්ක කතා කරන්නත් උනන්දුයි.

    මේ ඇටිටියුඩ් වෙනස යෝජනා කිරීමම යෝද පියවරක්. ගැහැණු පිරිමි අතර අනාගත ලෙඩ කන්දරාවක් ඉවර කරන එළඹුමක්.

    ඊට පස්සෙ හරිම ලස්සන පණිවුඩයක් අරන් එනවා.

    “දැන් අපි හතවසරෙ. ගතයි සිතයි දෙකම වෙනස් වෙලා. අපි නව යොවුන් වියට පත්වෙලා. අලුත් හැඟීම් ඇතිවෙන්න පටන් අරන් අපි දන්නෙම නැතුව. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නත්, නිර්මාණශීලීව හිතන්නත්, අත්හදා බලන්නත් හිතෙනවා. මේක අපිට හරිම අභියෝගයක්. මේ වෙනස්කම මොනවද කියල දැනගෙන ඒ අභියෝගවලට මුහුණ දුන්නොත් අපේ අනාගතේ සුන්දර ලස්සන එකක් වෙයි..”

    ලිංගිකත්වය හරිම ධනාත්මකව අනාගතය ලස්සන කරන දෙයක් විදිහට ළමයින්ගෙ අතරට අරන් යනවා. හරිනම් සම්මාන දිය යුතු නිර්මාණ කාර්යයක්. ඒත් මැදගොඩ අබේතිස්ස මේක අරන් පාරට බැස්සෙ හරියට වැල පත්තරයක් අතට ගත්තා වගේ ලිංගික ආතතියකින්. ඒ බොරු සදාචාරයට හරිම ලේසියෙන් මේ රටේ බහුතරයක් දෙමව්පියන් බය කරන්න පුළුවන්. ඒකෙන් මේ රටේ එක පරපුරක ලිංගික ප්‍රශ්න තොගයක් විසඳෙන්න තිබුනු ඉඩ අර අබේතිස්ස විසින් ජනතාවට අහිමි කරනවා. 2019 මේ පොත මුද්‍රණය කිරීම නතර කරනවා.

    මේ නිසයි කෞෂාල් ලිංගික අධ්‍යාපනය ගැන වැඩිදුර සමීක්ෂණයක් කරන්නෙ. ඒකට 350ක විතර පිරිසක් සම්බන්ධ කරගන්නවා. 60%ක් පිරිමි, 38%ක් ගැහැණු සහ තව 2%ක් වෙනත් ලිංගිකත්වයන් ඇති අය මෙතන ඉන්නවා.

    මේ සමීක්ෂණයට අනුව 98%ක් පිරිසක් කියන්නෙ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතුයි කියලයි. ඒ වගේම මේ අයගෙන් 52%ක පිරිසකට ඒ අධ්‍යාපනය තමන්ගේ පාසැලෙන් ලැබිලා නෑ. පොත්පත්වලින් ලිංගික අධ්‍යාපනය ලබපු අය ඉන්නෙ 1.7%ක් විතර. 26%ක් ඒ කියන්නෙ වැඩි කොටසක් ලිංගික අධ්‍යාපනය ලබලා තියෙන්නෙ නිකංම. ඒක හරි අපැහැදිලි තත්වයක්. එක්කො නිකංම සෙක්ස් ඉගෙන ගත්ත අයගෙ ලිංගික හැසිරීම් ගැන අපි අධ්‍යනයක් කරන්න ඕන, නැත්තං මේ නිකංම යනු පෝර්න් හෝ වෙන මොකක් හරි අඥාත කාරණයක්ද කියල හොයන්න ඕන. 24%ක් සෙක්ස් ගැන යමක් ඉගෙන ගෙන තියෙන්නෙ යාලුවන්ගෙන්. ඊට පස්සෙ 16%ක් ගුරුවරුන්ගෙන්. 8%ක් තමන්ගෙ දෙමව්පියන්ගෙන්. නමුත් ඉන්ටර්නෙට් එකෙන් කියල සඳහන් වෙන්නෙ නොසලකා හැරිය හැකි තරම් ප්‍රමාණයක්. ලෝකෙ සෙක්ස් හොයලා අංක එකට ආපු අපි ඉන්ටර්නෙට් එකෙන් සෙක්ස් ඉගෙන ගෙන නෑ කිව්වම ටිකක් පිළිගන්න අමාරු තත්වයක්. හැබැයි ලිංගික අධ්‍යාපනය කියන එකට පෝර්න් පවා අදාල කර ගැනෙන තරමෙ පුළුල් විමසීමක් මේ සමීක්ෂණයෙ වුනාද කියන එක අපැහැදිලියි.

    ඒ අය ලිංගික අධ්‍යාපනය හැටියට ඉගෙන ගත්ත කාරණා විමසීමේදී නම් පිළිවෙලින්, ප්‍රජනන සෞඛ්‍ය, ලිංගිකව බෝවන රෝග, අතවරයකින් ගැලවෙන ආකාරය සහ ලිංගිකත්වය තේරුම් ගැනීම කියන කාරණා මතුවෙලා තිබුන. ඒක හොඳ තත්වයක්. නමුත් ආරක්ෂක ලිංගික ක්‍රම වගේ දේවල් ගැන අධ්‍යාපනය තිබුනෙ ඉතා අඩු මට්ටමක.

    වැදගත්ම කාරණය මේ ලිංගික අධ්‍යාපනය නොලැබීම නිසා තමන් ජීවිතයේ ප්‍රශ්නවලට මැදිවුනු බව 40%ක් දෙනා කියනවා. 54%ක් එහෙම අධ්‍යාපනය නැතිවීමෙන් කිසි අවුලකට මුහුණ දීලා නෑ. නමුත් 40%ක් කියන්නෙ පොඩි පිරිසක් නෙමෙයි. අනෙක අවුලකට මුහුණ නොදුන්නා කියන්නෙ අවුල් නෑ කියන එකත් නෙමෙයි.

    මෙතනදි ඒ සහභාගි වුනු අය තමන් මුහුණ දුන් ප්‍රශ්න කීපයක් සඳහන් කරනවා. පොදු ප්‍රවාහනවල සිදුවන අතවර, හොඳ සහ නරක ස්පර්ශ නිවැරදිව තෝරාගත නොහැකි වීමේ තත්වයන්, අතවරයක් යනු කුමක්දැයි නොදැන සිටීම, තමන්ගේ ආර්තවය පිළිබඳ නිසි කරුණු නොදැනීම, නව යොවුන් වියේ තමන්ගේ කායික මානසික වෙනස්කම් තේරුම් ගත නොහැකි වීම, ප්‍රවේශම්කාරී ලිංගික හැසිරීම් ගැන නොදැනීම, පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ආදිය එතන තියෙනවා.

    හතේ අපේ පොත මුද්‍රණය කරන්නෙම මේ කාරණා පිළිබඳ ළමයින් දැනුවත් කරන්නයි. ඒක දරුවන් නොමග යවන පොතක් හැටියෙන් හුවා දක්වමින් එය යමෙක් වර්ජනය කරන්නේ නම් ඒකෙන් සිද්ද වෙන්නෙ ඒ අතවරයන්, අපචාරයන් ආරක්ෂා කිරීමයි. තමන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වත් නොදන්නා, අඩු වයසින් මව්වරුන් බවට පත්වන අනාගත පරම්පරාවක් පවත්වාගැනීමයි. වෙන විදිහකින් කිව්වොත් ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය නිසා වෙන්නෙ අතවර අපචාර අවම වූ තමන්ගේ ලිංගිකත්වය පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති පරපුරක් බිහිවීමයි. එය නතර කර දැමීමේ අදහස අවුරුදු පහලොවේ දැරිය බඳු මේ ක්‍රමයට ගොදුරු වන තවත් බොහොමයක් දෙනා නිර්මාණය කිරීමයි.

  • ලිස්ට් එකේ නම නැද්ද?

    ලිස්ට් එකේ නම නැද්ද?

    අවුරුදු 15 දැරිය එක්ක ලිංගිකව හිටියා කියල හතලිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඉලක්කම් තුනේ ගානක ලිස්ට් එකක් තියෙනවා කිව්වා. අනිවාර්යෙන්ම ඔය ලැයිස්තුවට මේ රටේ හැම වෘත්තියකම, තත්වයකම කෙනෙක් ඇතුලත් වෙනවා. සඟ වෙද ගුරු ගොවි කම්කරු හැම පාර්ශ්වයකම නියෝජනයක් ඔතන තියෙනවා.

    මේක දූෂනයක් විදිහට හඳුන්වමින් කරගෙන යන්නෙ ලිංගික අලෙවියක්. නීතිමය තත්ව යටතේ බාලවයස්කාරියක නිසා ඇගේ කැමැත්ත මත ලිංගිකව හැසිරුනත් එය දූෂනයක් හැටියෙන් සැලකීමක් තමයි මෙතන තියෙන්නෙ. බලහත්කාරී ප්‍රචණ්ඩ දූෂනයක් නෙමෙයි. ඇය කරගෙන ගිහින් තියෙන්නෙ වෘත්තියක්. ඒත් ඒක නීතියෙන් වරදක්.

    නමුත් මේ සිද්ධිය හරහා මාධ්‍ය විශාල ලිංගික පුවත් වියමනක් නිමවමින් හිටියා. එක එක සැකකරුවා බැගින් හඳුන්වාදෙමින් රටේම ජනතාවට අපචාරී ලිංගික රසයක් විකුණන්න ගත්තා. මේ සිද්ධිය පිටිපස්සෙ තිබුනු සාකච්ඡාවට ගත යුතු ආර්ථික දුෂ්කරතා , පවුල සහ විවාහය, අපේ ලිංගික ආතතිය, කුහක සදාචාරය ආදී සංකීර්ණ ප්‍රශ්න කිසි තැනක කතාවට ගැනුනෙ නෑ. මේක සෙක්සි ස්කෝර් එකක් වුනා. අපි ලොකු ගැන්ග් බැන්ග් එකක් රස විඳින්න පටන් ගත්තා. අවුරුදු පහලොවක දැරියකගේ යෝනිය ඇතුලෙ අපේ සියලු සදාචාරයන් පුපුරා ගොසින් ඕජස් ලෙස පිටතට වැගිරෙන්න ගත්තා.

    මේ නම් ලැයිස්තුව කොටුවෙ එක නමක් ළඟ ඇවිත් නැවතුනා. ජනාධිපතිට ගිය කෝල්, සාසනය බිඳ වැටීම ගැන බය සංකා ගොසිප් විදිහට ආවා. කොටුවෙ නම මේ වෙනුවෙන් නීතිය ඉදිරියට ගියා. ඔන්න ඔතනින් පස්සෙ මේ අවුරුදු 15 දැරිය සම්බන්ධ සිද්ධිය වෙනස්ම ටර්න් එකක් ගන්නවා.එකපාරට රාවණ ඇල්ලෙන් රාවණාගේ මූන මතු වෙනවා. ඒත් එක්කම කිසිම තේරුමක් නැති නම් ලැයිස්තුවක් මේ ලිංගික වරදේ චෝදනා ලැබුවන් විදිහට මුදාහරිනවා. ඒ අපචාරය සම්පූර්ණයෙන් විහිළුවක් කරනවා. පණිවුඩය ඩිස්ටෝර්ට් කරනවා.

    මේකෙ අරමුණ වෙන්නෙ මේ සම්බන්ධයෙන් චෝදනා ලබන, ඊළඟට ඉන්න ඇත්ත නාමයන්ගේ අපවාදය හෑල්ලු කිරීම වෙන්න පුළුවන්. හැමෝටම චෝදනා එල්ල වුනාම ඒ චෝදනාව ජෝක් වෙනවා. සමහර විට ඊටත් වඩා දුර ගිහින් මේ සම්පූර්ණ නඩු සිද්ධියම වසා දැමීමක් වෙන්නත් පුළුවන්.

    ඒ දෙකෙන් මොකක් වුනත් අපි කැමතියි. මේ දැරියව දිගින් දිගටම අපචාරී විදිහට කෙලෙසීම හැරුනු කොට එයින් සමාජයට යහපතක් අත්වෙමින් තිබුනෙ නෑ. සදාචාරවාදියො තමන්ගේ සදාචාරය තවත් පුම්බාගනිමින් කුණු රස විඳිමින් ස්වයං වින්දනයෙ යෙදුනා. ලිංගික සතුට අහිමිව පීඩා විඳින කාන්තාවන්ගෙ කණස්සල්ල දැරිය එල්ලා මරන්න යෝජනා කරන තරමට ප්‍රචණ්ඩ වුනා. ළමා අපචාර, දූෂන සම්බන්ධව රටේ බරපතල තත්වය නම් ලැයිස්තුවක විනෝදයක් වුනා. ඊළඟට ලිස්ට් එකේ ඉන්නෙ කවුද කියන එක මිස ප්‍රශ්නය තියෙන තැන අමතක වුනා.

    හැබැයි මේ ප්‍රශ්න යට ගැසීමේ මාධ්‍ය ප්‍රවණතාව හරි ඉන්ටරෙස්ටින් එකක්. එක්ස්ප්‍රස් පර්ල් නැව ඇවිලිලා යද්දි පියුමිව උස්සලා ගන්නවා. නැව ගැන කතාව සම්පූර්ණයෙන්ම අවතැන් කරනවා. එතනදි නැවක් වහන්න ලිංගිකත්වය පාවිච්චි කරනවා. රටක් ඉස්සරහ ඇවිලෙන මහා නැවක් නොපෙනී යන තරමට අපේ යටපත් ලිංගික ආශාවන්ගේ ආතතිය විශාල වෙනවා. කතා කළේ පියුමි ගැන. කතා නොකර මගහැරියෙ අපි සෙක්ස්වලින් කොයිතරම් දුප්පත් තැනකද ඉන්නෙ කියන එක ගැන.

    මෙතනදි ප්‍රශ්නෙ ආවෙම දරුණු ලිංගික අපචාර රසයක් එක්ක. ඒ ලිංගික අපචාරීබව සමාජය පුරා උඩුදුවපු පිළිකාවක් වගේ නිරාවරණය වුනා. දවසින් දවස ප්‍රතිරූපයෙන් ප්‍රතිරූපය සමාජය ඉස්සරහ නිරුවත් වෙන්න පටන් ගත්තා. එක් දැරියකගේ යෝනියක් නිරුවත් වීමෙන් මොහොතකින් රටේ ඉහල සිට පහලටම රෙදි ගැලවුනා. 2500ක අතීතයේ හිලක් පේන්න ගත්තා. ප්‍රශ්නෙ කොටුවට යනකල් ආවා. ඊට පස්සෙ බෝගහේ හැපුනා.

    මෙතනදි මේ ලිංගික පුවත වහන්න තරමෙ පුවතක් හොයාගන්න පුළුවන්කමක් නෑ. පියුමි නෙමෙයි කාව දැම්මත් මේ අපචාරී රසය එක්ක කරටකර හැප්පෙන්න බෑ. ඉතින් කරන්න තියෙන එකම විදිහ වෙන්නෙ හැමෝම අපචාර ලැයිස්තුවට දාන එක. වෙන විදිහකින් කිව්වොත් තමන්ගේ ප්‍රතිවාදියාත් ඇතුලත් කරන එක. එතකොට මේ අපචාරය තමන් දරන මතවාදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ ලිංගික කුහකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් පැත්තෙන් මේ අවුරුදු පහලොවේ දැරිය එක්ක යහන්ගත වීම මුලු රටම කරපු දෙයක් බවට පත්වෙනවා. මේ අලුත් ලැයිස්තුවෙ ලිංගිකත්වය ගැන විවෘත අදහස් දරන ප්‍රගතිශීලී පිරිස් පවා මේ මඩේ ගිල්වීමේ උවමනාව පැහැදිලිව පේනවා.

    ඒක හරියටම ගැලපෙන ස්ට්‍රැටජියක්. ලිංගික ප්‍රවෘත්තියක යටපත් කළ නොහැකි බලය ගැන දැනීමෙන්ම කරපු වැඩක්. සංකේතාත්මකව කිව්වොත් අවුරුදු පහලොවේ දැරිය අපහරණය කිරීමේ වගකීම එය කළ නොකළ හැමෝටම බාරගන්න වෙනවා.

    නමුත් මේ බොරු ලැයිස්තුව වෙනුවට නිවැරදි ලැයිස්තුව හරියට පරීක්ෂා කළොත් අපේ රටේ සමාජ මනෝවිද්‍යාත්මක කාරණා සමූහයක් තේරුම් ගන්න පුළුවන්. දැනටමත් නඩු විස්තරවල කියවෙන හැටියට මේ හැම දුරකථන ඇමතුමක්ම නිමා වෙන්නෙ බුදු සරණයි කියන වචනෙන්.මීට සම්බන්ධ පුද්ගලයන් හැමෝම වගේ ලිංගිකව සහ සංස්කෘතිකව ඉතාම පටු සීමාවන්ගේ පිහිටන අය. දැනට හෙලිදරව් වෙන හාමුදුරු, පොලිසි, වෛද්‍ය සහ දේශපාලන චරිත රටේ ගණිකා වෘත්තිය, සමලිංගික අයිතිය, ලිංගික අධ්‍යාපනය, ගබ්සාව ආදිය ගැන පෙනී සිටින තැන් අපි අත්දැකීමෙන් දන්නවා. මේ ලිංගිකත්වය සහ සංස්කෘතිය වාරණය කිරීම තහනම් කිරීම පිළිගන්නා පිරිස්ම තමයි අපචාරී ලිංගික ක්‍රියාවන්ගෙන් වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නෙත්. ඒ අයගේ අපචාරය තෘප්තිමත් කරන්න සදාචාරය පවතින්න ඕන වෙනවා. සෙක්ස් එලිපිට කතා කරන්න ඕන දෙයක් නෙමෙයි කියන යෝජනාව පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව ඒක.

    යම් තැනක තමන්ගේ දෙබිඩිකම ප්‍රශ්නයට මැදිවෙද්දි ඒ අය වහාම ලිංගිකව විවෘත ප්‍රගතිශීලී අදහස් දරන අයටත් චෝදනා කරන්න පටන් ගන්නවා. ඒක මතුපිටින් හුදු ගැලවීමේ ප්‍රයෝගයක් වුනත් ඊට යටින් තමන් පෙළෙන ලිංගික අසහනය වසන් කිරීමේ උවමනාවක්. වෙන විදිහකින් කිව්වොත් තමන්ගේ කුහක, බෙදුනු පැවැත්ම ආරක්ෂා කරගැනීමේ යාන්ත්‍රණයක්. තමන්ගේ ලිංගික තෘප්තිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන ආවරණයක්. ඒ දෙබිඩිබව එලිවීම කියන්නෙ තෘප්තිය අහිමි වීම.

    මේ අලුතෙන් නිර්මාණය කරන ලැයිස්තු හරහා සිද්ද වෙන්නෙ මේ රටේ ලිංගික අපචාරයන්ට සදාචාරයේ සහ සංස්කෘතියේ පටු සීමාවන් එක්ක ඇති ඍජු සම්බන්ධය වසන් කිරීමයි. අන්න ඒකට අපි විරුද්ධයි.

    අපචාරය අපහරණය කියන්නෙම අපේ සදාචාරයේ නිර්මාණයක්.

  • අරක්කුවලට නිදහස

    අරක්කුවලට නිදහස

    මෙතෙක් අරක්කු බීමට ලැබුනේ අපචාරයක සැලකිල්ලයි. ඕනෑම වැදගත් දවසක තේරුමක් ඇකුව හෝ නැතුව මුලින්ම වැසී යන්නේ වයින් ස්ටෝර්ස් එකයි. රට පුරා නඩත්තු කළේ දහම් පාසැල් සමාජයකුයි. ඒ මදිවාට වැඩිහිටි වුවත් ගැහැණුන්ට අරක්කු මිළදී ගත නොහැකියි. විවාහයට පමණක් නොව ජවිපෙ ආදී පක්ෂවල තනතුරු දැරීමටත් අරක්කු නොබීම සුදුසුකමකි.

    ඒත් දැන් ඉතිහාසෙ පළමු වරට අරක්කු ගෙදරටම ඩිලිවර් කරවා ගන්න පුළුවන්.

    සුපිරි වෙළඳසැල්වලින් මත්පැන් නිවෙසටම ගෙන්වා ගැනීමේ නිදහස ලබාදීම වෙනුවෙන් රජයට ප්‍රශංසා කළ යුතුමය. මෙය රජයේ අහිමිවන ආදායම ගැන සළකා බලා ගන්නා ලද තීරණයක් වුවත් මෙය රටේ ජීවත් වන්නේ වැඩිහිටි පුරවැසියන් බව පිලිගැනීමේ තීරණයක්ද වෙයි. එයින් ආර්ථිකයට මත්පැන් වලින් ලබාදෙන ප්‍රබල දායකත්වයත්, තමන්ගේ මත්විම පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස වැඩිහිටියන් සතු විය යුතු බවත් පැහැදිලිව ප්‍රකාශමාන වෙයි.

    සුපිරි වෙළඳසැල් වලට පමණක් අවසර ලබාදීම හරහා දිනකට කාලේ තුනක් පානය කරන නිර්ධන පාංතිකයා නොසලකා හැරීමක් දකින්න තිබුනත් රජය පැත්තෙන් ගත් පළමු වැඩිහිටි පියවරක් වශයෙන් මෙය වැදගත් තීන්දුවකි. බීලා සල්ලි නාස්ති කිරීම හෝ ගෘහ ප්‍රචන්ඩත්වය වැනි හේතූන් හුවා දක්වමින් දියුණු මත්වීමේ සංස්කෘතියක් නිර්මාණය වීමට අවහිර කළ අමද්‍යප සුචරිතවාදීන්ට සහ වෛද්‍යවරුන්ගේ පුහු සෞඛ්‍ය අධිකාරීමය සීමාවන්ට අභියෝග කිරීමකි. එමෙන්ම නොදැනුවත්ව වුවද ස්ත්‍රීන්ටද මත්වීමේ සම අයිතිය ලැබෙන අවස්ථාවකි.

    අනෙක් සියලු ආහාර ද්‍රව්‍ය මෙන්ම තමන්ගේ අරක්කු බෝතලයද නිවසටම ගෙන්වා ගත හැකිවීම අරක්කුද අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සමව සැලකීමකි. එමෙන්ම මත්වීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ මානසික අයිතියක් හැටියෙන් බාරගැනීමකි.

    කොවිඩ් නිසා සිදුවුනු තවත් වැදගත්ම වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය.

  • අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය

    අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය

    ආදරේ කියන වචනය හරිම අර්බුදකාරී වචනයක්. මේ වචනෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. ඒ වචනෙ ඇහුවම අපේ පිරෙන්නෙ මොනවද කියල අපි දන්නෙත් නෑ. ඒ වචනෙ ඇතුලෙ අපේ අසනීප ගොඩක් පිරිලා තියෙන්න පුළුවන්. අපි ආදරේ කියන මීදුම ඇතුලෙ අපිට කිසිදවසක මුනනොගැහෙන අපේම ඔලුව ඇතුලෙ ඉන්න අනෙකෙක් හොයමින් ඇවිදිනවා වෙන්න පුළුවන්. ඕනම ආදරයක ගමන අපි තේරුම් ගත්තොත් ඒක ප්‍රමෝදයක ඉඳන් අතෘප්තියක් දක්වා ගමනක්. සිහිනයක ඉඳන් යතාර්ථය දක්වා ගමනක්.

    මේ ආදරේ කියන එක පුද්ගලික ආදරයක් කියන සීමාවෙ ඉඳන් දේශපාලන ආදරය වගේ පොදු තැන් දක්වාම එනවා. අපේ දේශපාලන නායකයො අපිට වීරයො වෙනවා. අපි ඒ අයට ආදරය කරනවා. ඊටත් එහා ගිහින් අපි ඒ අයව අදහනවා. එහෙම වුනාම අනුහස් නායකයො බිහිවෙනවා.

    මේ කාරණය ගැන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉතා ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. ෆ්‍රොයිඩ් එයාගෙ රෝගීන්ට ප්‍රතිකාර කරන අතරෙදි තේරුම් ගන්නවා මේ රෝගීන් එයාට දැඩි ලෙස ආදරය කරන්න පටන් අරන් කියල. ඒ වගේම ඒ ආදරේ කරන්නෙ තමන්ට නෙමෙයි ඒ අය විසින් මවා ගන්නා ලද කෙනෙකුට කියන එකත් ෆ්‍රොයිඩ් තේරුම් ගන්නවා. මේ එක එක අය තමන්ගේ ළමා කාලයේ වීරයෙකුගේ රූපයක් හැටියෙන් ෆ්‍රොයිඩ්ව දකිනවා. ඒක පරමාදර්ශී තත්වයක්. අපිට ආදරේකදි වෙන්නෙ මේක.

    අහස සේ ඔබ අනන්තයි.. පොලොව සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබව පමණයි.. ඔබ අනන්තයි..

    මේ කියන්නෙ මිනිහෙකුගේ ස්වභාවයක් ගැන නෙමෙයි. ආදරයකදි අපේ හැමදේම අනෙකාගේ රූපයෙන් පිරී යන එක. සියල්ල ඒ අනෙකා තුල පිළිඹිඹු වෙන එක.

    හැම ආදරයක්ම ළමා කාලයේ අත්දැකීමක් යළි ජීවත් කිරීමක් කියල කියන්නෙ ඒ හින්ද. නමුත් ඒ ළමා කාලය එහෙම යලි ජීවත් කරවිය හැකි එකක් නෙමෙයි. මේක දේශපාලනයෙදි නායකයෙකුට ආදේශ වෙනවා. අපේ හැමදෙයක්ම ඒ නායකයා ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. අපේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඒ නායකයා වෙනවා.

    මේකට ෆ්‍රොයිඩ් කිව්වෙ ට්‍රාන්ස්ෆරන්ස් කියල. අපේ මවාගැනීමකින් අපි ආදරය කරන කෙනාව අන්දනවා. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත නායකත්වය ගත්තොත් එයා මුලින්ම ජනාධිපතිවරනෙට එනකොට යුද්දෙ කරනවද නැද්ද කියන එක ගැනවත් හරි අදහසක් එයාට තිබුනෙ නෑ. ඒත් එයාව යුද්දෙට තල්ලු වුනා. යුද්දෙ දින්නා. ඒ හරහා අනුහස් නායකත්වයක් නිර්මාණය වුනා. මහින්දට ලස්සන ආමන්ත්‍රණයක් හැදුනා.

    අප්පච්චි..

    මේ අප්පච්චි කියන වචනෙ අපේ ගැඹුරු සාමූහික අවිඥානයක් එක්ක සම්බන්ද එකක්. දැඩිමුන්ඩ, සූනියම් වගේ දෙවිවරුන්ට කතා කරන්නෙ අප්පච්චි කියල. අනිත් අතට ඒ තමයි අපිට ළමාකාලෙ අහිමි වුණු පියා ගැන සිහිනය. පොඩි එකෙකුට තමන්ගෙ තාත්තා පේන වීරත්වය. තාත්තා කියන වචනෙටත් එහා ගිහින් පැරණි සිංහල උරුමයේ පීතෘත්වය ස්පර්ශ කරමින් එන අප්පච්චී හැඟීම. තාත්තට වඩා අප්පච්චි ලොකුයි. ජාතියක්ම මහින්ද ඇතුලෙන් මේ අප්පච්චි දැක්කා. එතනින් නැවතුනේ නෑ. ඒ අප්පච්චිව මහ රජානෝ බවට පත් කළා. ඒ චරිතයත් එක්ක කාලතරණ අත්දැකීමක ජීවත් වෙන්න පටන් ගත්තා.

    මේක මහින්ද නිර්මාණය කරන එකක් නෙමෙයි. රෝගී ජනතාව විසින් කරන සාමූහික නිර්මාණයක්. තමන්ගේ රෝගයේ ප්‍රමාණයට වීරයා විශාල වෙනවා. ඒ රෝගයේ ඉතිහාසය දක්වාම වීරයාගේ මුල් දුවන්න පටන්ගන්නවා. මහින්ද රට වෙනුවට පවුල කියන එක ගෙනාවා. තමන්ගෙ රාජපක්ෂ පවුලට භෞතික වාසි ගැනීමේ පවුල්වාදය විතරක් නෙමෙයි රටේ සමස්තයට තමන් රාජ්‍යය කියන එකෙන් ආපහු පවුල ඇතුලට ගමන් කිරීමේ සිහිනය මහින්ද නිර්මාණය කළා. ඒ පවුලෙ අප්පච්චි තමයි මහින්ද.

    වීරයෙක් නිර්මාණය වෙන්න කාරණා දෙකක් බලපානවා. එකක් තමයි මොනයම්ම ආකාරයකින් හෝ පවතින දක්ෂතාවය. ඒක තියෙන බොහොමයක් අය ඉන්නවා. අනික තමයි මිනිස්සු තේරුම් ගැනීමේ හැකියාව. මේකට කියන්නෙ එම්පතිය කියල. අනෙකාගේ හැඟීම් දැනීම් බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීම නෙමෙයි, ඒක දැනීමේ ගුණය. මහින්දට ඒක සුවිශාලව පිහිටනවා. ඒ සමීපත්වය මහින්දගෙන් මිනිස්සුන්ට දැනෙනවා.

    මේ රටම පවුලක් වීම ඇතුලෙ අපේ සමාජ අවිඥානයේ තියෙන තවත් රෝගයක් එලියට එනවා. ඒ තමයි පවුල ඇතුලෙ ළමා කාලයේ මුහුණ දෙන ලිංගික යටපත් කිරීම. සෙක්ෂුවල් රිප්‍රෙෂන් කියන එක.

    විල්හෙල්ම් රීච් කියන මනෝ විශ්ලේෂකයා මේ කාරණය ගැන වැඩිදුරට හොයනවා. එයා පර්යේෂණය කරනවා ඇයි ඒකාධිපති ස්වරූපයේ නායකයන්ට ජනතාව පෙම් බඳින්නෙ කියල. ඒ ගැන රීච් ලියනවා මාස් සයිකොලොජි ඔෆ් ෆැසිසම් කියල පොතක්. පීතෘ මූලික පවුල ඇතුලෙ දරුවන්ගේ ලිංගික යටපත් වීම ඒකාධිපතීත්වයට ඇති ආශාව ආදරය ඇතුලෙ පිළිඹිඹු වෙනවා කියල එයා කියනවා. ඒකාධිපතියන් බිහිවන සමාජය නිර්මාණය වෙන්නෙ පීතෘමූලික පවුලෙන්. පවුල් ඇතුලෙ ළමයා කීකරු කිරීම කියන එක සිද්ද වෙන්නෙ ළමයාගේ ලිංගික ආශාවන් මර්දන කිරීම හරහා. ඒ අකීකරු කැරලිගහන ලිංගික ආශාවන් තමයි අනාගතයේ නිදහස්කාමී, ආධිපත්‍ය නොඉවසනසුලු පුරවැසියා නිර්මාණය කරන්නෙ. ඒත් දැඩි පිරිමි පෞර්ෂ උසුලන අප්පච්චිලා දරුවන්ව බෙලහීන කරනවා. මේ කීකරු ළමයා මහා නායකයෙක් ප්‍රාර්ථනා කරනවා. ඒ නායකයා නියෝජනය කරන්නෙ අර පීතෘ මූලික පවුලේ මානසික ආබාධය. අපේ රට කියන්නෙ අම්මා. අප්පච්චි කියන්නෙ මහින්ද. අපි සමාජය විදිහට පරිකල්පනය කරන්නෙ අපේ ඊඩිපස් පවුල.

    මේ පීතෘ මූලික පවුලෙන් යටපත් කරන ලිංගික ආශාවන් විකෘති ආකාරයන්ගෙන් තෘප්තිමත් වෙන්න පටන් ගන්නවා කියල විල්හෙල්ම් රීච් කියනවා. ඒවා ජාතිය රැකගැනීමේ, ආගම රැකගැනීමේ යුද්ද කෝලාහල විදිහට එලියට එනවා. යටපත් කළ ලිංගික ආශාව වෙනත් සදාචාරවාදී විකෘති හැඩවලින් තෘප්තිය හොයන්න පටන් ගන්නවා. රාජපක්ෂ ආන්ඩුවලදි චන්ඩිකම් වැඩි වෙන්නෙ මේ හින්ද. චන්ඩි පොලු අරන් එනවා බුද්ධාගම රකින්න. අපි චන්ඩි ජාතියක් වෙනවා.

    සෙක්ස් කියන එක සදාචාරය සම්බන්ධ කාරණයක් නෙමෙයි. සදාචාරය එක්ක නිතර ගැටගහන සංස්කෘතිය කියන එක ගත්තොත් සංස්කෘතිය කියන සංකල්පයට සෙක්ස් වලින් කිසිම අර්බුදයක් නෑ. ඇත්තටම සංස්කෘතියට සෙක්ස් කියන එක ධනාත්මක දෙයක්. නමුත් සෙක්ස් කියන එක ගැටගැහෙන්නෙ දේශපාලනය නැත්තං බලය කියන දේත් එක්ක. සෙක්ස් යටපත් කිරීම හරහා දේශපාලනයට ලිංගික ආර්ථිකය එකතු කරගන්න පුළුවන් වෙනවා. මේක සිද්ද වෙන්නෙ ආගම හරහා. ඕනම ආගමක් සෙක්ස් පාලනය කරනවා. ආගමෙන් කප්පාදු කරන සෙක්ස්වල බලය දේශපාලනයට හැරෙනවා. ආගම සහ දේශපාලන බලය කියන දෙක හැමවිටම එකට පවතින්නෙ මේ හින්දයි. ඒකාධිපති හිට්ලර් කෙනෙකුගෙ ඉඳන් රජකම් කරන අප්පච්චි කෙනෙක් දක්වාම යන්නෙ මේ කප්පාදු කරන ලද ලිංගිකත්වයේ ආබාධය.

    මහින්ද ගැන ආදරය ඇතුලෙ අපේ මනෝ ආබාධිත ලිංගික සංස්කෘතිය පේන්න පටන් ගන්නවා. නායකයා කියන්නෙ ජනතාවගේ යටපත් කරන ලද ආශාව. මහින්දට කලින් මේ රූපයට සමීප වුනේ ආර් ප්‍රේමදාස. ප්‍රේමදාස මේ රජාගෙ චරිතයට හොඳටම ඇඳගත්තා. ෆ්‍රොයිඩ්ගෙ භාෂාවෙන් කවුන්ටර්ට්‍රාන්ස්ෆරන්ස් එකකට ගියා. එතකොට ජනතාව මේ පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන අතරම ප්‍රේමදාස අනිත් පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන්න පටන්ගත්තා. ඒක හරිම විනාශකාරී සම්බන්ධයක් වුනා.

    මේ ට්‍රාන්ස්ෆරන්ස් එකේ දේශපාලන වාසිය වගේම අවාසියත් එනවා. ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. ආදරයේ අතෘප්තිකර යුගය එළඹෙන්න ගන්නවා. අපි රැවටිලා කියලා අපිට හිතෙන්න ගන්නවා. මහින්ද කියන චරිතය තේරුම් ගන්න හොඳම විදිහක් තමයි අපේ පරණ සන්නි නැටුම්. අපි ඒ ඇදහිලි ඇතුලෙ අපේ රෝගය යකෙකුගේ රූපයක් බවට පත් කරනවා. මහින්ද කියන්නෙත් ඒ වගේම ජාතියක රෝගයක් පිළිඹිඹු කරන රූපයක්. ඒක ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන.

    ජේආර් වගේ චරිතයක් ගත්තොත් මේ තියෙන විධායක බලය තිබුනත් ජේආර් අප්පච්චි කෙනෙක් හෝ දෙවියෙක් වෙන්නෙ නෑ. එයාට තියෙන්නෙ ඔතොරිටේටිව් නායකත්වයක්. තමන්ට නිලයෙන් පවරන ලද භූමිකාවේ බලය විතරයි. පවුල් බලය වගේ අතුරු කාරණා එකතු වුනත් ඒ නායකත්වය ජනතාවගේ අවිඥානයේ බලය අත්පත් කරගන්නෙ නෑ. මහින්ද ගත්තොත් එයාට තියෙන්නෙ ව්‍යවස්ථාවෙ බලය නෙමෙයි. ඒක ජාතියේ අවිඥානයක බලය.

    ලංකාවෙ දේව සංකල්ප හොඳට පරීක්ෂා කළොත් පැහැදිලිවෙන දෙයක් තමයි අපේ දෙවියා සහ යක්ෂයා දෙකම එකට පවතින අපූර්වත්වය. ඒක හොඳ විතරක් කරන සුද්දවන්ත එකක් නෙමෙයි. නපුර නරක කිරීමේ හැකියාවත් දරන එකක්. ඒ දේව සංකල්පයත් එක්ක මහින්ද හොඳටම ගැලපුනා. හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින් මහින්ද වැඩ කළා. අපේ පන්සල් ඇතුලට දේවාල එන්නෙත් මේ හින්ද. බුද්ධාගමේ තියෙන හොඳින් විතරක් අපේ ආශාව තෘප්තිමත් නොවෙන හින්ද.

    මේ වීරයාගේ චරිතය ඒ විදිහටම ගෙනැත් අපි වැඩ කරන විරුවා නිර්මාණය කරන්න හැදුවා. ඒත් ඒක දරන්න ගෝටාබයට පුළුවන් වෙන්නෙ නෑ. ප්‍රධානවම මහින්දට තිබුනු එම්පතිය, මිනිස් අඳුරේ ඉඳන් ආලෝකය දක්වා විහිදෙන පරාසය ගෝටාබය සතු වෙන්නෙ නෑ. ඒ අප්පච්චිව අපිට ගෝටාබය ඇතුලෙන් පේන්නෙ නෑ. එයා නියෝජනය කරන්නෙ ජේආර් වර්ගයේ ඔතොරිටේටිව් නායකත්වයක්. මේ හැඟීම්මය බිඳවැටීම ලක්ෂ හැටනවයක ජනතාවට දරුණුවට බලපානවා. ඒ බෙලහීන ලිංගිකත්වය රකින, පණදෙන අප්පච්චි සහ පවුල ඒ අයට අහිමි වෙනවා.

    මේක නාමල්ට එන්නෙත් නෑ. නාමල් කියන්නෙම දැවැන්ත පීතෘ චරිතයකින් පුද්ගලිකවත් යටපත් වුනු පෞර්ෂයක්. ඒක අනුහස් නායකත්වයක් බිහිකරන මනෝ ලිංගික පදනමක පිහිටන්නෙ නෑ. මහින්ද ඇතුලෙන් පරාවර්තනය වෙන රැස් වළල්ලක් විතරයි නාමල් කියන්නෙ.

    මහින්ද කියන්නෙ ඇල්ෆාමේල් පෞර්ෂයක්. ඒ කටහඬ, ඒ ශරීරය, ඒ භාවිතය හැම දෙයක්ම අපේ ප්‍රාථමිකම ලිංගික ආධිපත්‍ය දරන නායකයාගේ රූපය එක්ක ගැටගැහෙනවා. මානව පරිනාමයේ අපිට සමීපතම චිම්පන්සි ගත්තොත් ඒ නායකයා කරන ලොකුම වැඩේ වෙන්නෙ පුළුවන් තරම් ගැහැණු සමග ලිංගිකව හැසිරීම. ඒ නායකයා තමන් කැමති අයට ඒ ගැහැණු එක්ක හැසිරෙන්න දෙනවා. තමන් කැමති අයට ආහාර සහ තවත් වරප්‍රසාද දෙනවා. මේ ලිංගික ආධිපත්‍යය පිළිගන්නා යටහත් පිරිමියා අර ඇල්ෆාමේල්ට භක්තිවන්ත වෙනවා. තමන්ට නැති ලිංගික පෞර්ෂය නායකයා ඇතුලෙන් විඳිනවා.

    මේ සාම්ප්‍රදායික නායකත්වය ඇරුනම ඒකට අභියෝගාත්මක වෙන අනිත් නායකත්වය වෙන්නෙ නිදහස්කාමියා, නැත්තං අරගලකරුවා කියන පෞර්ෂය. මෙයා සාම්ප්‍රදායික නායකත්වය එක්ක, සිස්ටම් එකත් එක්ක ගැටෙනවා. සටන්කාමීයි. මර්දනය කළ ලිංගික ආශාවේ නිදහසක් මේ පෞර්ෂය විසින් ප්‍රක්‍ෂේපනය කරනවා. මේකත් අනුරාගී නායකත්වයක පිහිටීමක්.

    රංජන් රාමනායකට මේක තියෙනවා. එයාගෙ හඬපට ලීක් වීම හරහා අපිට අපේ සීමා කළ, කප්පාදු කළ ලිංගිකත්වය ඇතුලෙන් ආකර්ශනයක් වීරත්වයක් නිර්මාණය වෙනවා. රංජන්ගෙ විනෝදකාමී ජීවිතේ ඇතුලෙ අපිට තහනම් වූ නිදහසක් රස විඳිනවා. එයා බෑඩෑස්, රිබෙල් කැරැක්ටර් එකක්. රංජන්ට මේක එන්නෙ සිනමාව හරහා. සිනමාවේ අනුරාගය, විපරීතය සහ වීරත්වය රංජන් ඇත්ත ජීවිතේට අරන් එනවා.

    හැබැයි මේක මහින්දට තියෙන ආදරේ වගේ ගැඹුර සම්බන්ධයක් එක්ක සාපේක්ෂව ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඊඩිපස් අවුල රංජන් වගේ චරිත ඇතුලෙන් තෘප්තිමත් වෙන්නෙ නෑ. මංගල සමරවීර කියන්නෙත් රංජන් හා සමාන තවත් රිබෙලියස් කැරැක්ටර් එකක්. වස්ති වීඩියෝවෙ මංගලගෙ ටික්ටොක් අරගලය දැකීමෙන් ජනතාව පිනා යන්නෙ ඒකයි. ලිංගිකත්වය, ආගම, සංස්කෘතිය වගේම ජීවන විලාසිතාව පැත්තෙනුත් මංගල ලිංගිකව යටපත් කළ පුරවැසි සමාජය කම්පනය කරනවා.

    අනුහස් නායකත්වයක් රටකට හොඳද නරකද වගේ දෙයක් කතා කරලා තේරුමක් නෑ. මොකද ඒක සමාජය විසින් නිර්මාණය කරන තත්වයක්. ආදරයකදි අපිට අතාර්කික වෙන්න පුළුවන්. ඒක පුද්ගලික සම්බන්ධයක්. නමුත් දේශපාලනය කියන්නෙ තාර්කික තීරණ ගන්න වෙන පිට්ටනියක්. ඒකට භක්තිය වගේ දෙයක් ඒ තරම් ගැලපෙන්නෙ නෑ. නමුත් අපේ රෝගය හරියටම ස්පර්ශ කරන කෙනෙක් වටා අනුහස් නායකත්වයක් බිහිවීම වළක්වන්නත් බෑ.

    ෆ්‍රොයිඩ් කියන විදිහට මේ ට්‍රාන්ස්ෆරන්ස් එකෙන් රෝගියා ඇහැරෙන්න ඕන. මේ තමන් විසින් කරන ප්‍රක්‍ෂේපනයක් බව තේරුම් ගන්න ඕන. ඒක තමා විසින්ම තේරුම් ගැනීමෙන් විතරයි රෝගියාට රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ. එතකොට ඒ වගේ ඇදහිල්ලක ඉන්න ජනතාව ඒ හීනෙන් ඇහැරවන්න පුළුවන් තරමෙ හෙල්ලීමක්, කම්පනයක් ඇති කිරීම විතරයි සවිඥානක සමාජයක් වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නෙ.

    එතකොට අනුර කුමාර වගේ කෙනෙකුට මේ විදිහෙ අනුහස් නායකත්වයක් නිර්මාණය වෙයිද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට හිතෙන්නෙ නෑ කියන එකයි. අනුර කුමාර හෝ ජවිපෙ නියෝජනය කරන්නෙ සමාජයේ හොඳ ළමයාගේ චරිතය. ඒක නැවතත් පීතෘ මූලික පවුලෙන් යටපත් කළ ලිංගිකත්වයේ ස්වරූපයමයි. ඒක නිදහස්කාමී එකක් නෙමෙයි. හොඳ ළමයා හොඳයි. ඒත් එයා අපේ ආශාව නියෝජනය කරන්නෙ නෑ. අපේ ශෘංගාරය එතන නෑ.

    සජිත් ප්‍රේමදාස වගේ චරිතයක් ගත්තොත් එයා නායකත්වය සතු සුවිශේෂ දක්ෂතාවය හෝ මිනිසුන්ව දැනෙන එම්පතිය කියන දෙකම දරන කෙනෙක් නෙමෙයි. ප්‍රේමදාසගේ අනුහස විතරක් ඒ හදවතේ නායකත්වය නිර්මාණය කරන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අනිත් අතින් චම්පික රණවක ගත්තත් එයත් පිහිටන්නෙ ජවිපෙට සමීපව. දහම් පාසැල් ළමයාගේ වැඩිහිටි රූපය. අනගාරික ධර්මපාලගේ හෙවනැල්ල. මේකට අපි කැමති වෙන්න පුළුවන්. ඒත් අපිට දෙවියා විතරක් වැඩක් නෑ. අපිව නායකයෙකුට සමීප කරන්න නායකයාගේ නරකත්, දුර්වලතාවයත් වැදගත්. එතනයි එම්පතිය හැදෙන්නෙ. චම්පික ගැන වරින් වර පැතිරෙන කාමකතා වුනත් මං හිතන්නෙ චම්පිකට උදව්වක් කියල. ඒවායින් අපිට ඒ චරිතය සමීප කරනවා. අපේ යටපත් ආශාවක නියෝජනයක් කරනවා.

    මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් චම්පික ජාතිය ගැන කතා කරන එකයි මහින්ද ජාතිය ගැන කතා කරන එකයි ගත්තොත්. චම්පිකගෙ ජාතිය බුද්ධිමය තාර්කික එකක්. මහින්දගේ ජාතිය, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම වගේ කිසිම ලොජික් එකක් නැති ඉමෝෂනල් එකක්. මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීමට මිස තර්කයට නෙමෙයි.

    නායකයෙක් කියන්නෙ ජනතාවගේ ආශාවේ නිරූපණයක්. ඒක අපිව පිරිහීම කරා ගෙනයන රෝගයක් වෙන්න පුළුවන් ඒ වගේම දැනුවත්ව කළොත් ප්‍රතිඵලදායී වෙන්නත් පුළුවන්. නමුත් නායකයා ගැන අනුරාගයක් ගොඩනැගෙන්න අවිඥානික හේතු අනිවාර්යෙන්ම පවතින්න ඕන. එතනදි මතවාදය වැදගත් නෑ. චරිතයයි වැදගත් වෙන්නෙ. මිනිස්සුන් කැමති වුනේ මහින්දගේ මතවාදයට නෙමෙයි. මහින්දට.
    මහින්ද කියන්නෙ මෙතෙක් නිර්මාණය වුනු අපේ සිංහල ජාතියේ සුවිසල්ම අවිඥානක පිළිඹිඹුව කියලයි මං දකින්නෙ. ඒ හින්දම මහින්ද කියන පෞර්ෂය වඩාත් සමීපව කියවන එක අපේ සමාජයේ ගැඹුරු රෝග ලක්ෂණයන් තේරුම් ගැනීමක් වෙනවා. අපේ දේශපාලනයේ හැඩය පටන් ගන්නෙ අපේ පවුල ඇතුලෙන්. ඒ පවුල ඇතුලෙ ලිංගිකත්වය යටපත් කරන ආකාරයෙන් කියන වටහා ගැනීමේ වැදගත්කම පසක් කරනවා.

    එතකොට මහින්දගෙන් පස්සෙ පොහොට්ටුවට මොකක් වෙයිද? මගේ අදහස නම් මහින්ද නැතුව පොහොට්ටුවක් නෑ කියන එකයි. මහින්ද කියන්නෙ අපේ රටේ දේව යක්ඛ සංකල්පය එක්තැන් කළ නූතන අප්පච්චි. පක්ෂයකට වඩා ඒක ඊළඟට දේවාලයක් කියලයි මං හිතන්නෙ.

  • ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

    උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා. ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත් ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

    එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

    මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි… මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න ඕන.

    බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.

    ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ඡේදනයක්.

    මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

    මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

    ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

    මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

    සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර – මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

    ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

    සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි, ‘ට්‍රේනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

    අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

    මම නං ගඟේ පනිනවා – වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා – රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

    සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

    ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
    ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ…

    සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැකිලි වෙනුවට ඇඟට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.

    සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
    දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
    මං දුන්නා තව එකක් දැන් දෙකයි

    එපා යන්න- තවත් එන්න
    ඇඟේ ඇලි ඇලි ඈ යලි යලි පවසයි…

    මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත් ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

    එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

    ‘නෝනා මට සමාවෙන්න ඕනා
    මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
    මගේ අතින් වැරදි වුණා තමයි
    ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
    නෝනා මට සමාවෙන්න ඕනා‘

    ‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ – සුනිල් පෙරේරා

    සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

    ‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
    – සුනිල් පෙරේරා

    ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
    ‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

    එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
    එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

    මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

    ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

    ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත් ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

    77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.


    චින්තන ධර්මදාස


    Original interview from –
    Interview with Sunil Perera for lt part 1
    Interview with Sunil Perera for lt part 2