ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය

ලිංගික දිශානතියේ සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම මානසික රෝගයක් නොවන බවත්, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවන් ට වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් පවසමින් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists – SLCP) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කිරීමට හේතුව වන්නේ මෑත දිනක තමා මනෝ උපදේශිකාවක යැයි හඳුන්වා ගත් තැනැත්තියක විසින් මහනුවර පොලීසියේ ශ්‍රවණාගාරය තුළ පැවැත්වූ ආන්දෝලනාත්මක පුහුණු වැඩමුළුවකට ප්‍රතිචාර වශයෙනි.

මෙම පුහුණු වැඩමුළුව සජීවීව පටිගත කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබිණි. අදාළ පුහුණු වැඩමුළුව තුළ මෙම තැනැත්තිය විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් බවත්, සමලිංගිකයන්ගේ ගොදුරු වීමෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගත යුතු බවත් ඒත්තු ගන්වන අතර, වැඩමුළුවට සහභාගී වී සිටින පොලිස් නිලධාරීන් ඊට එකඟතාව පළකරන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය යනු මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳව ලංකාවේ පවතින ඉහළතම ආයතනය වන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පුහුණු වැඩමුළුව තුළ මතුකර ඇති කරුණු වල සත්‍යතාවයක් නොමැති බවත්, නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ලිංගික අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම රෝගී කාණ්ඩයකට ඇතුළත් නොකරන බවත් ය.

ඒ අනුව LGBTIQ ප්‍රජාවන්ට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය මත වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන වගන්ති අහෝසි විය යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

සමලිංගිකත්වයට බලපාන නීති සංශෝධනය විය යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් විසින් පිළිගත් දෙවන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. මීට ඉහත දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් නිවාර්ණ වැඩසටහනේ (National STD/AIDS Control Program – NSACP) 2018 – 2022 වර්ෂයන්ට අදාළ ජාතික ක්‍රමෝපායික සැලැස්ම හරහා ද රජයට යෝජනා කර සිටියේ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වැනි ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවයි.


සංස්කාරක (LGBTIQ)