නිල් පැහැ ඇඳ කවරයක් ඇතිරූ ඇඳ මත එයයි මායි වැතිරිලා ඉන්නේ නිරුවතින්. මේක එයාගේ කොන්දේසියක්. මොකුත් කරන්න කලින්, අපි දෙන්නා විනාඩි දහයක් නූල් පොටක්වත් නැතුව ඔහේ කතා කර කර ඉන්න ඕන. ඒ විනාඩි දහය ඇතුලේ මම එයාව හෝ එයා මාව නොඅල්ලා හිටියොත් දෙන්නම දිනුම්. එක්කෙනෙක් හරි හදිස්සි වුනොත් ඒ කෙනා පරාදයි. ජනේලෙන් එන ඉර එලි පොදක් එයාගේ බඩ හරියට වැදිලා, ඒ හරිය දිස්නෙ දෙනවා. ඊට චුට්ටක් උඩින් තියෙන එයාගේ පියයුරු වල තුඩු මගේ දිහාට හැරිලා මට අඬගහනවා.  

“මොනවා දිහාද බලන්නේ ආ..?”

එයා එයාගෙ ඇස් චූටි කරලා තරහෙන් වගේ අහනවා. මම උඩ බලාගන්නවා. පැත්තක තියෙන බෑග් එක අරගෙන එයා හැමදාම වගේ CAMEL සිගරට් පැකැට් එකක් ඇදලා ගන්නවා. තව ටික වෙලාවකින් සිගරට් දුමෙන් එන අමුතු සුවඳක් කාමරය පුරවන බව මම දන්නවා. මම හිනාවෙනවා.

“හිනාවුනා කියලා ඔයාට දෙන්නෙ නෑ.”

මම කවදාවත් එයාගේ වංශවත් සිගරට්ටුවේ පහස බලාපොරොත්තු නොවුනත්, එයා හැමදාම ඒක කියනවා. සිගරට් එක එයාගේ තොල් අස්සට යන්නේ, මට සුරාන්තමය හැඟීමත් අත් කරලා දෙන ගමන්. ඒක ඒ තරම් හිතට දැනෙන, ඇස පිනවන දසුනක්. පළවෙනි දුම් රොටුව වාතාවකාශයට නිදහස් කලාට පස්සේ ඇය ඔහේ කියවන්න ගන්නවා.

“දන්නවද..? ආතර් සේනානායකව..?”

මම ඔලුව දෙපැත්තට වනනවා.

“මොනවද අනේ ඔයාලා History කියලා ඉගෙන ගන්නේ..?

මම ආයෙත් හිනාවෙනවා.

“මිනිහගේ තමා රිච්මන්ඩ් කාසල් කියන ලංකාවෙ ලොකුම බංගලෝ එක. මිනිහා බැන්ද හයි ක්ලාස් ගෑණි, මිනිහගේ ඩ්‍රයිවර් එක්ක යාලු වුණා. ගෑණිට ළමයි හිටියෙත් නෑ. මිනිහා ඩෙස්පරේටඩ් වෙලා ගෙදරින් ආවා. පොර අන්තිමට ජීවත් වුණේ අන්න අර ඈත පේන Queens එකේ  කාමරයක් අරගෙන.”  

එයා ජනේලේ දිහා බලන්නෙවත් නැතුව, ඒ දිහාවට අත දික්කරලා, අනිත් අතේ සිගරට්ටුවත් දරාගෙන කියවන් යනවා. මම ඇඳෙන් නැගිටලා ජනේලේ දිහාවට ලං වුණා. ඈතින් QUEENS හෝටලය විරාජමාණව නුවර නගරය මැද වැඩ ඉන්නවා පේනවා.

“ඒ මිනිහ නම් ගෑණිට ළමයි නැති වුනාම අන්ත්‍රස්ධාන් වුනා. ඒකට අපේ එක්කෙනා ගෙදරම ලැග ගෙන මට ඇනුම් පද කිය කියා ඉන්නවා.”  

එයා හිනාවෙවී තවත් දුම්රොටුවක් පිඹිනවා. ඒක හෙමින් පාවෙලා ඇවිල්ලා මගේ ඉස්සරහින් ජනේලයෙන් අහසට යනවා. හරි සුවඳයි. මම එයා දිහා බලනවා. එයා සිගරට්ටුව ඇඳ විට්ටමේ වද්දලා නිවලා පැත්තකට වීසි කරනවා.

“විනාඩි දහය හරි ඩාර්ලින්.”

ඊලඟට එන්නේ ස්පර්ශයන්. කාලෙකින් හමුවුණු මිත්‍රයෝ වගේ කරනා වැළැඳ ගැනීම්. අලුත යාලු වුණ ජෝඩුවක් වගේ කරනා සිප ගැනීම්. කොහු අඹයක් සූප්පු කරනවා වගේ දෙතොල් ඉරීම්. ඒ අපේ ශෘංගාර පොතේ පෙරවදන. ඊට පස්සෙ පොඩි විවේකයක්. ඒ වෙලාව ඇතුලේ රජ කරන්නේ නිහඬතාවයක්. මුලින්ම මහන්සි අරිනවා. ඉන් පස්සේ දෙන්නට දෙන්නා මූණු බලාගෙන හිනාවෙනවා. මීට මිනිත්තු කිහිපයකට කලින් හැසිරුණු විදිහ අමතක වෙලා සද්ද නැතුව මතක් කරන්න ට්‍රයි කරනවා. අන්තිමට දෙන්නම ලැජ්ජාව නවත්තලා ආයෙත් දෙතොල් සිපගන්නවා. ඊලඟට ආරම්භ වෙන්නේ අපේ ශෘගාර පොතේ පලවෙනිම පරිච්ඡේදය.

අපේ ආදර කතාව – ජයාන් සේනානායක සහ ඩිනාලි මහමුදලිආරච්චි (පිටුව 01)

—————————-

මිනිහට ඕන මාව සතුටු කරන්න. මගෙන් නැගෙන තෘප්තිමත් වෙනවා යැයි හැඟෙන සාධක එයාව සතුටු කරන බව එයා මාත් එක්ක කියලා තියෙනවා. වැඩිහිටි ගෑණියෙක් සතුටු කරලා පිරිමියෙක්ට ආඩම්බර නම් වෙන්න පුලුවන්. මම ඒක දන්නවා. ඔය එයාගේ සතුට කියන්නේ ඒ ආඩම්බරේට වෙන්න ඇති. ඒ ආඩම්බරේ මිනිහව Horny කරනවා ඇති. පිරිමින්ට සතුටු වෙන්න පුලුවන් දේවල්. ඒවා ඇතුලෙත් තියෙන්නේ Selfishness. හැබැයි ඒ ආත්මාර්ථකාමීකම් වලට මම ආදරෙයි.

එයා මගේ කකුල් දෙක ඈත් කරලා, එයාගේ මූණ ඒ ඉඩට ඔබන්නේ, ගහක කඳක බෙනයක් දැක්කම ඒකට ඔලුව ඔබන බීවර් කෙනෙක් වගේ. ලෝකේ මම විඳින, විඳපු උපරිම සතුට උපදින්නේ එයාගේ තොල් වලිනුයි, මගේ යෝනි තොල් වලිනුයි කියලා මම දැනගත්තේ එයා මුණගැහුනට පස්සේ. හිතලා බැලුවම ඒකත් දෙතොල් සිප ගැනීමක්. ඒත් ඒක වගේ නෙමෙයි මේක. මේක අනන්තය තරම් මහා දුරකට මාව අරගෙන නිරාමිස හැඟීමක්. මම වටින ගෑණියෙක් කියලා මට කියලා දෙන හැඟීමක්.

මම මාව බබෙක් වගේ බලාගන්න පටන් ගත්තේ එයා මුණගැහුණ දවසේ ඉඳලා. මම මගේ ඇඟට ආදරේ කරන්න ගත්තේ එදා ඉඳලා.  

මේ දේවල් පටන් ගත්තේ කොහොමද කියලා ලියන්න මම ආස නෑ. එදා මම නිකන්ම නිකන් one-night stand affair එකක් හොයපු කාමාතුර ගෑණියක්. මිනිහගෙ අඩුව ඇහැට කණට පේන කොල්ලෙක්ගෙන් වහගන්න උත්සාහ කරපු වේසියෙක්. ඒත් අද..

අපේ ආදර කතාව – ජයාන් සේනානායක සහ ඩිනාලි මහමුදලිආරච්චි (පිටුව 34)

—————————-

එයා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්. අපි දෙන්නා එහෙම ලොකුවට ගැලපෙන්නෙ නෑ. ගලපගන්න කියලා උත්සාහ කරන්නවත් අපට ඕන වුනේ නෑ. එයාට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා ලෝයර් කෙනෙක්. මම ආර්ට් ෆැකල්ටියේ ස්ටුඩන්ඩ් කෙනෙක්. මම ආදරය විඳින්නෙක්. ඇය ආදරය ලබන්නෙක්. දෙකම එකද..? වෙන්නැති.

ඒත් අපි අපි ගැන හිතාගත්තේ එහෙමයි. ඒක ලේසියි.

එයාට තියෙනවා කාටවත් නැති තරම් ලස්සන පුන් පියයුරු යුග්මයක්. මම මුලින්ම එයා දිහා උවමනාවෙන් බැලුවේ “ඒ දෙන්නා” නිසා. තැන KCC එකේ උඩම තට්ටුවේ තියෙන බර්ගර් කින්ග් එක. වටේපිටේ හැමතැනම සෙනග. කන්න මත් නෙමෙයි. එදා නුවරට හොඳටෝම වහින දවසක්. වැස්සට ඉන්න එතන හොඳයි. එයා හිටියේ මට අඩි හතරක් විතර එහා තිබ්බ මේසයකට වාඩි වෙලා. මමයි, එයාගේ පියයුරු යුවළයි විනාඩි දෙකකට විතර තනි වුනා. ලෝකේ අනිත් හැම රූපයක්ම Out of focus වෙලා තිබ්බේ. ලෝකේ හැම සද්දයක්ම ඇහෙන්නේ නැතුව තිබ්බේ.

ඊලඟ මොහොතෙදී ඇය මගේ ඉස්සරහා හිටගෙන හිටියා.

“May I sit..?”

එයා අහපු දේ සිංහල තේරුම මම දන්නවා. ඉංග්‍රීසියෙන් yes කියන්නත් දන්නවා. ඒත් Yes කිවුවොත් දිගටම ඉංග්‍රීසියෙන් කතා කරාවිද කියන බයට මම, “වාඩිවෙන්න” කියලා සිංහලෙන් කිවුවා. එයා වාඩිවුණා. එයා ඇඳගෙන හිටියේ නිල් ඩෙනිම් ට්‍රවුසර් එකක්. ඒකටම කැපෙන ක්‍රීම් පාට බ්ලවුස් එකක්.  බ්ලවුස් එක යටින් ඇඳපු සුදු පාට ස්කිනියර් එක එයාගේ ඇඟේ ලස්සන හැඩය ගැන ලොකු කතාවක් කිවුවා. මම ඒ දිහා නොබලා ඉන්න උත්සාහ කලා. ඒ තමා එහෙම නොබලා ඉන්න මම කරපු අවසානම උත්සාහය.

“අද රෑට වැඩක් තියෙද..?”

එයා ලං වෙලා ඇහුවා. මම ගැස්සිලා එයා දිහා බැලුවා. එයාගෙන් පෙර කියූ දේ තහවුරු කරනා හිස වැනීමක්. මගෙන් එකඟතාවය පළ කරනා හිස වැනීමක්. මේ ඔක්කොම වෙද්දි අර වැහැපු ලොකු වැස්ස ඉවර වෙලා අවුව පොඩ්ඩක් වැටිලා තිබ්බා. 

වැස්සට ඇවිල්ලා හිටිය කවුරුත්ම තම තමන්ගේ රාජකාරී වලට ආයෙ යන්න ගිහිල්ලා. ඒත් අපි දෙන්නට විතරක් අපි දෙන්නගෙන් වියුක්ත බාහිර ලෝකයක් තියෙනවාය කියන එකත් චුට්ටකට අමතක වෙලා තිබ්බා. ඇත්තමයි ඒක හරිම ලස්සන තත්පර කීපයක්.

අපේ ආදර කතාව – ජයාන් සේනානායක සහ ඩිනාලි මහමුදලිආරච්චි (පිටුව 58)

—————————-

එයා පොඩි එකෙක් වගේ නිදි. අපි තවත් Weekend එකක් ඉවර කලා. ටික වෙලාවකට කලින් ගිනි ගන්න තරම් රත් වෙලා හිටපු, එයාගේ කෙනා calm වෙලා, cool වෙලා. එයත් නිදිද දන්නෑ. මේ කලබල අස්සේ මටත් හිතෙන දේවල්. මම දෙන්නවම හරිම පරිස්සමෙන් බෙඩ් ශීට් එකෙන් වැහුවා. මේ අද දවසට ගන්න අන්තිම සිගරට් එක. මම ඇඳේ වාඩි වුණා.

මෙයා හරිම අහිංසක ළමයෙක්. අපි කතා කරද්දි  මට ඒක දැනෙනවා. ගොඩක් වෙලාවට මම කතා කරනවා. එයා අහන් ඉන්නවා. මට තියෙන්නෙ නොකරපු දේවල් කරන ආසාවක්. මට ඕන වෙලා තිබ්බා පොඩ්ඩක් හරි මම ගැන පුදුම වෙන මිනිහෙක්ව. මම කවදාවත් මිනිහෙක්ගෙ (මිනිහගේ) ඇඟ උඩ නැගපු නැති ගෑණියෙක්. මට ඕන වුනා තත්පර තිහකට හරි මට යටත් වෙන මිනිහෙක්ව. මෙයා පොඩියි. අහිංසක පාටයි. මම දිහා කන්න වගේ බලන් හිටියා. මම මෙයාව තෝරගත්තා. ඒක තමයි මගේ ජීවිතේ ගත්තු ඉක්මන්ම තීරණය.

එදා රෑ අපි හැසිරුණේ පිස්සුවෙන් වගේ. කන්න බොන්න වත් සිහියක් තිබ්බෙ නෑ. අපි Sofa එකට වැටුණා. මිනිත්තු දෙක තුනක් යද්දී එතන ඉඩ මදි බව අපට තේරුණා. Porn වල එහෙම තිබ්බට නිදහසේ දෙයක් කරන්න නම් හරියන්නේ ඇඳම තමයි කියලා මම ඒ කලබලේ එයාට කියලා දුන්නා. එයා ඒක පිළිගත්තා. අපි මහා ගිරිස්ම කාන්තාරෙක, ක්ශේම භූමියකට ඇතුල් වුනා හා සමාන හැඟීමකින් ඇඳට වැටුණා. එයා මාව බදාගත්තේ හරි පරෙස්සමෙන්. ඒක ආදරයක් නෙමෙයි වෙන්නැති. සමහරවිට මම වැඩිහිටි ගෑණියෙක් නිසා වෙන්න ඇති. අක්කා කෙනෙක්, ආන්ටි කෙනෙක් වගේ දැනෙනවද දන්නෙත් නෑ. ඒත් ඉතින් මම ආසයි ඒ කරන පරිස්සමට.

ඇඳට වැටුණට පස්සෙයි තේරුණේ. එයාට මගේ Boobs ගැන පුදුම ආදරයක් තිබ්බේ. ජීවිතේට මිනිහෙක් මාව වත් හුරතල් නොකරපු තරම් එයා ඒවා හුරතල් කලා. මම මේ කොල්ලට ආදරේ කරන්න අරගෙනද කියලා මම මගෙන්ම මෝඩ ප්‍රශ්නයක් අහ අහ උන්නු වෙලාවක් ඒක. එදා ඉඳලා මාස හයක් ගිහිල්ලා. දැන් මම, මේ ආදරෙන් අයින් වෙන්නේ කොහොමද කියන තවත් මෝඩ ප්‍රශ්නෙකට උත්තර හොයනවා.

අපේ ආදර කතාව – ජයාන් සේනානායක සහ ඩිනාලි මහමුදලිආරච්චි (පිටුව 92)

—————————-

ටයිටැනික් එකේ රෝස්, ජැක් ට “to the stars” කියනවා වගේ, එයාගේ පරණ sunny කාර් එකේ යතුර මට දීලා “ඔහේ යමු” කියලා කියනවා. නගර සීමාව පහුවුණාම, කිසිම ආරාධනාවක් නැතුව, එක පාරටම මගේ ඩෙනිම් කලිසමේ ශිපර් එක අරින්න එයාට ඕන වෙනවා. ඊලඟට එන්නේ අතින් කරන සාත්තුව. ඊලඟට රෝස පාට ලිප්ස්ටික් ගාපු තොල් වලින් කරන සාත්තුව. කාර් එකේ වේගයට සමානුපාතිකව එයාගේ වේගය වැඩි කරන්න එයා දක්ශයි. ඒ නිසා මම කාර් එකේ වේගේ වැඩි කරනවා. කාර් එක 60 ට 70 ට යද්දී එයාගේ ඔලුව මගේ වම් අතේ වැදෙනවා. හුළඟට එයාගේ කොණ්ඩේ එහේ මෙහේ යනවා. මම නිදහස් වෙලාවක් බලලා හෙමිහිට එයාගේ කොණ්ඩෙ අතගානවා.

මේ සම්බන්ධේ නිශා දැනගනියි කියලා මට තියෙන බය තරම්වත් බයක්, මේ සම්බන්ධේ හස්බන්ඩ් දැනගනීවි කියලා එයාට තිබුනේ නෑ. එයා මාත් එක්ක ඕන තැනක, ඕන වෙලාවක යන්න සූදානම් පිට හිටියා.

“ඔයා කියන තැනකට ඕන වෙලාවක මම එනවා”

එයා එහෙම කිවුවා. එයා එහෙම කලා.

ත්‍රී වීල් පාර්ක් එකේ අයියා කෙනෙක් එක්ක යාලු වුණ, සාමාන්‍ය පෙළ පන්තියක කෙල්ලෙක් වගේ, ආදරේ කරන මිනිහා වෙනුවෙන් මැරෙන්න වුනත් පුලුවන් තරමේ අවංක හිතක් එයාට තිබ්බේ. අනික් අතට යුරෝපානු රටක ගෑණියෙක් වගේ හිතන්න පුලුවන් පුදුමාකාර විදිහට නිදහස් හිතකුත් එයාට අයිති වෙලා තිබ්බා. ඒක අර ලෝකෙට පේන්න උජාරුවෙන් වර්ණ ගන්වන So called “නිදහසක්” නෙමෙයි. ඇත්තම නිදහසක්.

වේදනාවෙන් මිරිකුණු තැන් වලින් කලාව උපදිනවා. එයා මට සංසර්ගය කලාවක් බව හැමදාම කියලා දුන්නා. ඉගැන්නුවා. එයාගේ වේදනා විඳපු හිත, ගත මේ පොඩි කොල්ලගේ සරාගයේ උල්පත වුණා. සමවයසේ කෙල්ලෙක් ලඟ නැති පරිණත බවක් ඇගේ සතිඅන්ත ශෘංගාර නිමේශයන් ඇතුලේ තියෙන බව මට තේරුණා. මම ඒකට ආදරය කරන්න ගත්තා. මම ආදරය කලේ ඒ කුඩා මොහොතවල් වලට ද, එයාට ද කියලා මම දැනුත් කල්පනා කරනවා. මම ආදරය කරන්නේ එයාටම වෙන්න ඇති.

අපේ ආදර කතාව – ජයාන් සේනානායක සහ ඩිනාලි මහමුදලිආරච්චි (පිටුව 130)

—————————-

ඕක වුනේ ගොඩාක් කාලෙකට කලින්නේ දරුවෝ. අවුරුදු හතරක් විතර වෙනව ඇති දැන්. අනේ මම දැන් මැරි කරලා දරුවෙකුත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ බලන්නකෝ බොරුනම්. දැන් ඕක ගැන කතා කරන්න ඕන නෑනේ ඒ නිසා. මට මගේ පාඩුවේ ඉන්න ඕන. මගේ දැන් මහත්තයා හරිම හොඳ කෙනෙක්. කලින් සම්බන්ධෙ ගැන කිවුවම, අපි අතරෙ වුණ දේවල් ගැන කිවුවම, පොඩ්ඩක් බැනලා මට සමාව දුන්නා. අනේ ඒ හන්දා ඕක ගැන අහලනම් ආයෙ මට කතා කරන්න එපා. මට මොකූත් ඔය දේවල් මතක නෑ. මතක් කරන්න ආසත් නෑ.

– නිශාදි අනුපමා (ගෘහණියක්) –

—————————-

ඒකි ගැන මට කියන්න දෙයක් මොකුත් නෑ. එක එක පර බල්ලෝ බැල්ලියෝ පොත් වල ලියලා තියෙන ඒවා දැක්කම කොහොමත් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මම රටේ වැදගත් මනුස්සයෙක්. පළාත් සභාවක මහ ඇමති කෙනෙක්. දළදා හාමුදුරුවන්ට වැඳලා දවස පටන් ගන්න මිනිහෙක්. අපට අපේ කියලා සාරධර්ම ටිකක් යන්තන් ඉතුරු වෙලා තියෙන නිසා, පොඩි උන් එක්ක නිදි වැදපු වල් ගෑණු ගැන කතා කර කර ඉන්න කිසිම උවමනාවක් මට නෑ. දැන් කරුණාකරලා තමුසෙ මේ යටිබඩත් අරගෙන මෙතනින් අයින් වෙලා යන මගුලක යනවා.

– ගරු පළාත් සභා මන්ත්‍රී රන්ජි බිබිලියාන –

—————————-

නෝනා.., මේ අහන්න. ඒ දෙන්නා මලේ නෑ. නෝනා රට ගියා ඒ මහත්තයත් එක්කම. ඔය නෝනයි ඒ මහත්තයයි ලියපු පොතක තියෙනවාය කියලා මේ තැන හොයාගෙන එනවා සතියකට පාරක්වත් කවුරුහරි. ඇවිල්ලා නෝනා ඉන්නවද අහනවා. නෑ කිවුවට අහන්නෙ නෑ. ලොකු මහත්තයට හොඳටෝම තරහයි ඔය වැඩේ ගැන. ගෙදර ඇඩ්‍රස් එක පොතෙන් අයින් කරන්න කියලා නඩුවකුත් දාලලු තියෙන්නේ. ලොකු නෝනා ලංකාවේ නෑනේ ඉතින්.

නෝනා හරි හොඳයි. හැබැයි අපේ මහත්තයට වඩා ගොඩක් බාලයි. හරි කරුණාවන්තයි. මහත්තයා නැති දවස් වලට ඔය පොඩි මහත්තයත් එනවා ගෙදරට. අපි දැනගෙන හිටියා වැඩේ බරපතලකම. ඒත් ඉතින් ඕවා ගැන කියන්න ගියේ නෑ. එයැයිලගේ දේවල් එයැයිලට, අපේ දේවල් අපිට කියලා අපි ලොකු මහත්තයට කටක් හෙල්ලුවේ නෑ ඕවා ගැන. දැන් ඒ දෙන්නා ඔය ඉන්න රටකට වෙලා සතුටින් ඇති නෝනා.

අනේ.. මම කියවන්න එහෙම වැඩිය දන්නෙ නෑ නෝනා. මොනවද හැබෑවට ඔය පොතේ තියෙන්නේ. එන කාගෙනුත් මම ඇහුවට කියන්නෑ. “හිකි හිකි” ගාලා ලැජ්ජාවට හිනාවෙලා “යන්නං” කියලා යනවා. ඔන්න ඉතින් නෝනත් හිනාවෙනවා. ඉතින් කොහොමෙයි කොරන්නේ.

– සිරිදාස සපුතන්ත්‍රී (කම්කරු) –

—————————-

( නාද වෙන දුරකථනයක් )

Hello, Jayan speaking !

දැන් ඉංග්‍රීසි පුලුවන්ද ජයා..?

කවුද මේ..?

මම ඔයාලගෙ පොත කියෙවුව කෙනෙක්.

නැහැ නැහැ වෙන්න බෑ. කටහඬ හොඳටම පුරුදුයි.

වෙන්න බෑ නෙමෙයි. එහෙම තමයි. හැබැයි ඔයා මාව අඳුරනවත් තමයි. මම චමාලි. මතකද දන්නෙ නෑ.

දෙවියනේ චමා. ඉතින් ඉතින්..

ඉතින් නෙමෙයි. මම මේ දෙයක් ඔයාගෙන් දෙයක් අහන්න ගත්තේ..?

[පසුබිමින් : කවුද බබා..? නෑ Darling මේ පරණ යාලුවෙක්.]

මම මේ දෙයක් ඔයාගෙන් දෙයක් අහන්න ගත්තේ..?

ඔව් ඔව් අහන්න.

ඇයි මගේ ගැන ඔයාගේ පොතේ අකුරක්වත් නැත්තේ ජයාන්..?

ඔයා ගැන මොන…

ඔයාට ලැජ්ජ හිතුණද..?

මොකටද..?

ඔයා එකට නිදාගත්තු ගෑණු ගාණ වැඩි වුණාම, ඔයා Cheater කෙනෙක් කියලා පොත කියවන මිනිස්සුන්ට හිතේවි කියලා.

මොනවද චමාලි ඔයා මේ කියන්නේ..?

කමක් නෑ. මම මේ නිකන් ගත්තේ. ඔයා ගියේ ඔක්කෝම සම්බන්ධතා කියන්නෙවත් නැතුව අත ඇරලා නේ. නිශාදි මම එක්ක අඬන හන්දා මට අඬන්න විදිහක් තිබුණේ නෑ. දරාගෙන හිටියා තනියම. රෑට කාටත් හොරා ඇඬුවා. මම හිතුවේ ඔයා ඩිනාලිගේ ඇඟේ එල්ලුණේ ඒ ගෑණිගේ සල්ලි වලට කියලා. එහෙම නෑනේ ඉතින්. ඒ ගෑණි හන්දා හරි ඔයා සතුටින් ඉන්නවනම් එච්චරයි. මම තියන්නම් එහෙනම්.

[පසුබිමින් : කවුද ඔයාගේ ඔය පරණ යාලුවා..? ඩිනාලි කුමාරිහාමි නෙමෙයිනේ..?]

What..? ඔයා ඩිනාලිවත් හැලුවද ජයා..? තමුසෙ…

(ඇමතුම විසන්ධි වෙන හඬ….)

– නිමි –

ලිවුවේ : මහේල හෙට්ටිආරච්චි