ගිය අවුරුද්දෙ දෙරන සිනමා සම්මාන උළෙලෙදි ස්වර්ණා මල්ලවාරච්චිට ‘ලයිෆ් ටයිම් අචීව්මන්ට්’ අවෝර්ඞ් එකක් දුන්නා. ස්වර්ණා ගැන කෙටි හඳුන්වාදීමෙන් පස්සෙ ස්වර්ණා වේදිකාව උඩට ඇවිදගෙන එද්දි මගේ ඇෙග් හිරිගඩු පිපුනා. මටම තේරුම් ගන්න බැරි භක්තියකින් ඇස්වලට කඳුළු ආවා. ජීවිත කාලයක් පුරා ගැහැණු ජීවිතයක නිදහස වෙනුවෙන් සටන් කර පරිණත වූ ඒ ඇස්, ඒ හඩ, වචන අතර ඒ ඉඩ, පුදුමාකාර සංතෘප්තියක් දැනෙව්වා.

ස්වර්ණා කියන්නෙ මට නිළියක් නෙමෙයි. එයා ඇක්ටිවිස්ට් කෙනෙක්. එයාගෙ ඇත්ත ජීවිතේ අරගෙන ගිය අරගලය එයා එහෙම්පිටින්ම සිනමාවටත් අරගෙන එනවා. ස්වර්ණාගෙ සිනමාව එක වාක්‍යයකට සංක්ෂිප්ත කළොත් එතන තියෙන්නෙ පිරිමියෙක් අතින් අසාධාරණයට ලක්වූ ස්ත‍්‍රියක් ඒ පිරිමියාට විරුද්දව ගහන කැරැුල්ල. මේක ආනයනය කරපු ෆෙමිනිස්ට් මතවාදයක් විදිහට නැතුව  ඕගනික් විදිහට ගේන්න ස්වර්ණාට පුළුවන් වෙනවා. එයාගෙ සිනමාව කියල සටහන් තැබෙන හැම තැනකම කියවෙන්නෙ මේ එකම කතාව. එයාගෙ ජීවිත අරගලය.

ස්වර්ණාට තියෙන්නෙ කොට්ටම්බා කහට බැඳුණු කටහඩක්. ඒ කටහඩම අවිනීතකමක්, නොහික්මුණුකමක් ඉගි කරනවා. පිරිමින්ට කියන වචනවලට වඩා එහා යමක් හගවනවා. මට හිතෙන විදිහට ස්වර්ණා සිනමාවට ගෙනාවා වරදෙහි බැඳෙන ස්ත‍්‍රිය කියන එක. ඒක මාලනී කරමින් හිටපු සිරියාවන්ත, අහිංසක, බබා එකට වඩා වෙනස්. ස්වර්ණාගේ භූමිකාව ලංකාවෙ පිරිමි වගේම ගැහැණුත් අවුල් කරන සුළු එකක්. සීමාවන් සම්මතයන් ඉක්මවා අනුරාගයට ඉඩ දෙන නිදහසක්.

ස්වර්ණා කියන්නෙ මට ලංකාවෙ සිනමාවෙ අනුරාගීම නිළිය. රවුම් වටකුරු හික්මුණු සිල්වත් ස්ත‍්‍රී චරිතය වෙනුවට එයා කෙස`ග සිරුර, දිගටි මුහුණ, අවිනිශ්චිත බව සහ සටන්කාමීබව ගෙනාවා.  ලිංගිකමය හෝ ශෘංගාරමය තේමාවන් රැුගත් ප‍්‍රකාශනවලට පවා අනෙක් නිළියන්ට සාපේක්ෂව ප‍්‍රගතිශීලී විවෘතබවක් ස්වර්ණාගෙ තිබුණ. මං මුලින්ම ස්වර්ණා ඉන්නවා කිව්වොත් ඒ චිත‍්‍රපටිය බලන්න පෙළඹුනෙම ඒ අනුරාගී ඇලීම නිසා. ඒත් ස්වර්ණා හැමතිස්සෙම ස්වයං මෛථුන්‍යයකට එහා ගිය ස්ත‍්‍රීත්වය පිළිබඳ ගැඹුරු කැපුමක් මගේ පිරිමි මනසෙ ඉතුරු කළා.

එයා නිකම්ම ශෘංගාර වස්තුවක් වුනේ නෑ. සිනමාවෙදි සාරයක් සහිත ස්ත‍්‍රිය කියන එක නිර්මාණය වෙන්නෙ ස්වර්ණා මතින්. මාලනී ගත්තොත් මට හිතෙන්නෙ එයා කරමින් හිටියෙ ‘බ්ලොන්ඞ්’ චරිතය. ස්වර්ණා සිනමාවේ නිරූපිත ස්ත‍්‍රියට අනුරාගයේ බලය සහ ආත්මයේ සාරය ගෙනාවා. මාලනී කියන්නෙ ලාංකීය සිනමාවෙ නිළි රැජිණ නම් ස්වර්ණා කියන්නෙ ලාංකීය සිනමාවෙ කැරළිකාරිය.

ස්වර්ණා කියපු ගමන් මට මතක් වෙන්නෙ දඩයම. ඒ මුගුරක් අරන් දෑත බදලා, ජේත්තුකාර රතු කැප්රි කාර් එකේ වින්ඞ්ස්ක‍්‍රීන් එක කුඩුවෙන්න ගහන රත්මලී. ඒ තමයි සිනමාවෙ ස්වර්ණා. දඩයම කියන්නෙ ලංකාවෙ සුවිශේෂී ෆිල්ම් එකක්. විවෘත ආර්තිකය එනවත් එක්ක අපේ රටේ සංස්කෘතික කලාපය පෙලෙන්න පටන් ගත්ත බය සහ චකිතය ඒ කාලෙ කෙරුණු චිත‍්‍රපටි ගනනාවකින් එලියට පැන්නා. දඩයම සහ පාර දිගේ, බඹරු ඇවිත් එයින් කීපයක්.

වසන්ත ඔබේසේකර වෙන විදිහක වැඩක් ට‍්‍රයි කරමින් හිටිය ඩිරෙක්ටර් කෙනෙක්. එයා සත්‍ය සිදුවීම් කියලා රටේ සිද්ද වෙච්ච මිනීමැරුම් ආශ‍්‍රයෙන් ත‍්‍රිලර් චිත‍්‍රපටි හැදුවා. එතනදි පාදක කරගන්නා කතාව වෙන්නෙ බාල ගොසිප් එකමයි.  ලංකාදීපෙ තුන්වෙනි පිටුව වගේ. දඩයම ෆිල්ම් එක ගත්තොත් ලොකු කාර් පාවිච්චි කරන්නෙ හොරු සහ වංචාකාරයො, උන්ට අහුවෙලා සල්ලං වෙනවා ගම්වල අහිංසක කෙල්ලො, වගේ හොඳටම ස්ටීරියො ටයිප් අයිඩියොලොජියක් තමයි දුවන්නෙ. ඒත් එයාගෙ සිනමා ආඛ්‍යානය ඇතුලෙ හැදෙන දේ ඊට වඩා වෙනස් කතාවක් කියන්න පටන් ගන්නවා.

ලංකාවෙ සිනමාවෙ හැදිච්ච ස්ටයිලිෂ්ම දුෂ්ටයා හැදෙන්නෙ දඩයමේ වෙන්න පුළුවන්. මේ දුෂ්ටයා විදිහට ජයනාත්ගෙ චරිතය කොයිතරම් හොඳට හැදෙනවද කිව්වොත් අපි දුෂ්ටයාට ආශක්ත වෙනවා. ඒ සිගරට් බොන විදිහ, සන්ග්ලාස් දාන විදිහ, නරුමකම පවා විලාසිතාවක් හදනවා.

විවෘත ආර්තිකේ එන්න කලින් අපේ සිනමාවෙ තිබුනෙ වලව්කාරයො අතින් සල්ලං වෙන අහිංසක කෙල්ලො ගැන කතන්දර. අසූව දශකෙ වෙනකොට මේ සල්ලාල වලව්කාරයා වෙනුවට ජේත්තුකාර, කාර් පදින, ඒ කාලෙ හැටියට මිනිස්සු ධනපතියො කියලා හිතෙන් මවාගත් බිස්නස්කාර, සල්ලාල තරුණයා ආදේශ වුනා. ගමේ වුනත් ටිකක් දාංගලේ වැඩි කෙල්ල (ප‍්‍රගතිශීලී) මේ තරුණයන් අතින් කන්‍යාභාවය නැති කරගත්තා.
ඒත් දඩයමේ මේ දුෂ්ටයා වගේම කෙල්ලත් හුරුපුරුදු අහිංසක එකක් නෙමෙයි. ඔබේසේකර කතාව හැ`ගුම්බර කරන්න කෙල්ලව අහිංසක කරන්නෙ නෑ. ඒ වෙනුවට රත්මලී ෆාස්ට් කෑල්ලක් කරනවා. කෝච්චියට නැගලා බහින ටිකට එයා කොල්ලෙක් එක්ක යාලූ වෙනවා. ඒ මදිවට තාත්තා එහා පැත්තෙ ඉන්න අතරෙ.
එක තැනකදි ජයනාත් චෝදනා කරනවා රත්මලී එයා එක්ක යාලූ වුනේ කාර් එකටයි සල්ලි වලටයි කියල. එතනදි දැකලා පුරුදු සාමාන්‍ය කෙල්ල වගේ රත්මලී අසරණ වෙන්නෙ නෑ.

‘‘ කන්න අඳින්න දෙන්න බැරි කොල්ලො එක්ක ගෑනු යාලූවෙන්නෙ නෑ තමයි’’ එයා අනිත් පැත්තට දමලා අරිනවා.

දුප්පත් පැලක හිටියත් රත්මලී ගම්බද කොමලි නෙමෙයි. එයා කොල්ලොන්ව අල්ලෙ නටවන්න දන්න කෙල්ලෙක්. ජයනාත්ගෙන් ළමයෙක් ලැබුනත් එයා අපි දැකලා පුරුදු ස්ත‍්‍රිය වගේ දියවෙලා වැක්කෙරන්නෙ නෑ. ඒ වෙනුවට එයා ආපහු සටන් කරනවා.

‘‘එක්කො මාව මරපන්. නැත්තං බැඳපන්. මැරුවත් මං අවතාරයක් වෙලා උඹේ පස්සෙන් එනවා..’’
දඩයමේ ස්වර්ණා අතින් හැදෙන මේ රත්මලීගේ චරිතය හරිම ටෙක්ස්චර්ඞ් එකක් (තල ගණනාවකින් ගොඩනැගෙනවා). මුලින් නොමේරූ, නොපැහුණු, රැුවටෙන සුළු, ද`ගකාර කෙල්ලෙක් දිගින් දිගට අමාරුවෙ වැටෙනවා අපි බලන් ඉන්නවා. ඒත් එක තැනකින් පස්සෙ රත්මලී හීනෙ අත්අරිනවා. එයා යතාර්ථය බාරගන්නවා.

එතන ඉඳන් ඒ චරිතෙ හරියට කිල්බිල් වල උමා තර්මන් වගේ. ඒකෙ ලාංකීය වර්ෂන් එක. ඉතාමත් නිර්භීත, මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ තැන දක්වා ස්වර්ණා රත්මලීව අරන් එනවා. ඒ ස්ත‍්‍රීත්වය වේදනාව සහ දරාගැනීම ඇතුලෙ පරිණතවන ගැඹුරත්, අත්පත් කරගන්නා පිරිමියා ඉක්මවා යන බලයත් ඉතාම හොඳින් සටහන් කරන අතරෙ.

‘‘දඩාවතේ යන බල්ලො එක්කො බැඳලා දාන්න  ඕන. නැත්තං වෙඩි තියලා දාන්න  ඕන. මං හදන්නෙ තමුසෙව බැඳගන්න..’’

එක තැනකින් පස්සෙ රත්මලී ජයනාතව ආත්මෙන්ම අප්පිරිය කරනවා. ඉපදිච්ච, බඬේ ඉන්න දරුවන් වෙනුවෙන් සහ පිස්සු හැදුනු තාත්තා වෙනුවෙන් විතරයි එයාට ඒ කසාදෙ කොලේ ලියාගන්න  ඕන වෙන්නෙ. අප‍්‍රියතම පිරිමියාව කසාද බඳින්න සටන් කරන ගැහැණියක් කියන්නෙ මාර ග‍්‍රවුන්ඞ් එකක්. ඔබේසේකර ගොසිප් එක ඇතුලෙන් හරිම ලස්සනට වෙන වෙන මානයන් විවෘත කරනවා.

වසන්ත ඔබේසේකරගෙ සිනමාකරණයත් මෙතනදි වෙන උත්සාහයක් ගන්නවා. අදාල නොවෙන රූපයක් මත ඊළග ජවනිකාවට අදාල හඩ පටයක් යැවීම,  ඕනවට වඩා වෙලාවක් තිස්සෙ රඳවාගෙන ඉන්න රූප රාමු මගින් අපේ තේරුම් ගැනීමේ යම් හිඩැසක්, ගැප් එකක් ක‍්‍රියේට් කරන්න එයා උත්සාහ ගන්නවා. මට හිතෙන විදිහට වසන්ත ඔබේසේකර පොප් සිනමාවක් ඇතුලෙන් යම් ගැඹුරු දේවල් ස්පර්ශ කරන්නෙ කොහොමද කියල ට‍්‍රයි අත්හදා බලනවා. (ඒත් කැඩපතක ඡායා සහ ඊට පස්සෙ කරපු නිර්මාණ දක්වා එද්දි ඔබේසේකරගේ සිනමාව බලන් ඉන්න අමාරු වෙන තත්වයක් දක්වා බංකොලොත් වුනා)

ස්වර්ණා දඩයම ඇතුලෙ මාතෘත්වය ඉමෝෂනල් තැනකින් ගලවලා අරගෙන අරගලකාරීත්වයත් එක්ක ගැටගහනවා. රත්මලී ළමයා ගැන වද වෙවී එතන අඩඅඩා ළතැවෙන ගැහැණියක් නෙමෙයි. එයා බඩත් උස්සගෙන පාරට බහිනවා තමන්ට යුක්තිය ඉල්ලන්න.

රත්මලී මැරෙනවා. ඒත් ඈ ඉතුරු කරන සාරය, දිගින් දිලටම දුර්වලයන් හැටියට පාවිච්චි වෙන එකට විරුද්ද අරගලය දැවැන්තව නැගී සිටිනවා.

අද වුනත් ෂූට් කරගන්න බැරි තරම් විශිෂ්ට විදිහට දඩයමේ අවසානය ගොඩනැගෙනවා. ඒ පාවිච්චි කරන ෂොට්, එඩිට් එක සහ ස්වර්ණාගේ රංගනය ෆිල්ම් එකේ කූටප‍්‍රාප්තිය අමතක නොවෙන තැනකට ගේනවා. ඒ අති ප‍්‍රචණ්ඩ අවසානයට පස්සෙ ඔබේසේකර වචනයකින් වත් නරඹන්නාගේ කම්පනය අස්වසන්නෙ නෑ. නිකම්ම දූවිල්ලෙන් වහලා දාලා ෆිල්ම් එක ඉවර වෙනවා.

ස්වර්ණා කියන්නෙ සමාජ සම්මතයන් අනුව හික්මවුණු හැදිච්ච කෙල්ල නෙමෙයි. ඒ වෙනුවට නැහැදිච්ච සීමාවන් පවා තරණය කරන සවිඥාණක ස්ත‍්‍රීත්වයක් එයා අරන් එනවා. එයාගෙ සටන වෙන්නෙ පිරිමියාගේ කොටුවෙන් පිට යන ස්ත‍්‍රියගේ නිදහස නැවත පිරිමින් විසින් ඇයව පාවිච්චි කිරීමට කොන්දේසියක් කරගන්නවාට විරුද්දවයි. ඒ නිදහස් ගැහැණියට, වේසියක්, බඩුවක් වීමට වඩා ආත්මයක්, අයිතියක් හිමියි කියල කියන්නයි. මට මැඩෝනා එමී අවෝර්ඞ්ස් වලදි කරපු කතාව මතක් වෙනවා.

“ලෝකෙ කියන විදිහට ඔයා කෙල්ලෙක් නම් ඔයාට සිද්ද වෙනවා සෙල්ලම හරියට කරන්න. ඔයාට පුළුවන් ලස්සන වෙන්න, කියුට් වෙන්න. ඒත් වැඩිය ස්මාර්ට් වෙන්න හදන්න එපා. මොකක් හරි දෙයක් ගැන හැමෝම පිළිගන්න දේට පිටන් ඔයාගෙ අදහසක් තියාගන්න එපා. ඔයාට පුළුවන් පිරිමි අතින් ඔබ්ජෙක්ටිෆයි වෙන්න, ටිකක් වල් විදිහට අඳින්න. ඒත් ඒ වල්කම අයිති කරගන්න හදන්න එපා. ඔයාගෙ සෙක්සුවල් ෆැන්ටසි ලෝකෙට දැනගන්න තියන්න එපා. පිරිමි කැමති විදිහට ඔයා ඉන්න  ඕන. වඩා වැදගත් වෙන්නෙ පිරිමි අතරෙ ඔයා ඉන්න එක ගැන ගැහැණුන්ට අවුලක් නොවෙන විදිහට හැසිරෙන එකයි”

මැඩෝනා මේ කියන්නෙ පිරිමි සමාජෙක ගැහැණියකට අප‍්‍රකාශිතව පනවා ඇති සීමාව ගැන. ස්වර්ණා ලංකාවෙ මේ සීමාවන්ට අභියෝග කළා. නිව්යෝර්ක් ටයිම්ස්වල මැඩෝනා වෙනුවෙන් කැමිල් පැග්ලියා ලියන මේ වචන ස්වර්ණාටත් අදාල වෙන්නෙ ඒකයි.

“මැඩෝනා තරුණ කෙල්ලන්ට කියල දුන්නා පූර්ණ වශයෙන් ස්ත‍්‍රීත්වය සහ ලිංගිකත්වය වැළඳගන්නත් ඒ අතරෙම තමන්ගෙ ජීවිතය ගැන පූර්ණ පාලනයක් ඇතුව ඉන්නත්. එයා පෙන්නුවා ආකර්ශනීය, අනුරාගී, ජවසම්පන්න, අභිවෘද්ධිකාමී, ප‍්‍රචණ්ඩ සහ සරල යන හැමදේම එකවිටම අත්පත් කරගන්නෙ කොහොමද කියල”

මැඩෝනා එක්ක අනෙක් පැත්තෙ තියාගෙන ස්වර්ණාව සංසන්දනය කරනවා නෙමෙයි. ඒත් ලංකාවෙ ස්ත‍්‍රීත්වය සම්බන්දව පැවතුණු සීමාමායිම් වෙනස් කරන්නත්, අලූත් අනුරාගී මෙන්ම හිතන්න පුළුවන් ස්ත‍්‍රියක් නිර්මාණය කරන්නත් ස්වර්ණා පෙරමුණ ගත්තා. මං දකින්නෙ සිනමාව කියන්නෙ ස්වර්ණාගෙ ජීවිත අරගලයේ එක ප‍්‍රකාශනයක් විතරයි. වඩා වැදගත් වෙන්නෙ ගැහැණියක් විදිහට තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන් ප‍්‍රකාශමාන කිරීමේ නිදහස වෙනුවෙන් එයා තනියම කරගෙන ගිය අරගලයයි.

අවුරුදු 16න් සිනමාවට ඇවිත් 2016දි අවුරුදු පනහක සිනමා ජීවිතය සම්පූර්ණ කරද්දි මාව කම්පනය කළේ සිනමාවට වඩා ස්වර්ණා ජීවිතයෙන් අත්කරගෙන තිබුණු ජයග‍්‍රහණයයි. තාරුණ්‍යය පිරුණු, නිදහස හොයන වල්මත් දෑස් වෙනුවට ස්වර්ණාගේ ඇස්වල මුනිවර තෘප්තියක් තිබුන. දඩයමේ ඉඳන් ඇගේ ඇස අගට එද්දි ස්වර්ණා ගැහැණියක් විදිහට ස්තී‍්‍රත්වයේ ගැඹුර අත්පත් කරගෙන තිබුන.


චින්තන ධර්මදාස

2017 ජනවාරි, රාවය ස්වර්ණා විශේෂ අතිරේකයෙන්